යහගුණ පිලිබදව ඉස්ලාමීය විමසුමක්

0

වර්ථමාන මිනිසා සැලකූවිට ඔහු විද්‍යාව, තාක්ෂණ, කාලව… යනාදී සෑම අතින්ම සිටින්නේ එහි ඉනිපෙත්තෙහිය. එනමුත් ඔහුගේ උත්සාහයන් නිසා වී නැත. ඔහු තවත් යෝධ පියවරයන් උදෙස තම බුද්ධිය තව තවත් මෙහෙයවමින් සිටී. දිනෙන් දින නන්අයුරින් තම බුද්ධිය වර්ධනය කර ගනිමින් නවතම ලෝකයක් කරා ඇදීයන මේ මිනිසා දකින විට “මෙහි අවසානය කොතැනක වේද?” යන්න සිතන්නට හැඟේ. මේ ආකාරයට දියුණුවේ ඉනිපෙත්ත කරා ඇදී යන මේ විශ්මිත මිනිසා සාරධර්ම හා සදාචාරසම්පන් අතින් විනාශ මුඛය කරා ඇදීයමින් පැවතීම කථා නොකලම බැරි මාතෘකාවකි. තාක්ෂණය ඉදිරියේ වහසිබස් දොඩන මේ මිනිසා සාරධර්ම අතින් ලබාගෙන ඇති පසුබෑම ඉතා ඛේදජනකය. දිනෙන් දින මිනිස් සමාජය තුල නිර්මාණය වන මහළු නිවාස, ළමා නිවාස, ළමා හිංසන, මානව හිමිකම් කඩවීම, ඒ සදහා පිහිටා ඇති සංවිධාන, ළමා අපයෝජන, ඒ වෙනුවෙන් නැඟෙන හඬ… යනාදී මෙකීනොකී සියල්ල කියාපාන්නේ ඒ පරිහානිය මිස අන්කිසිවක් නොවේ. මෙවන් අවධියක සමාජය තුල මේ පිලිබදව පුළුල් සංවාදයන් මෙන්ම මෙවැනි තත්වයන්ගෙන් මිනිස් සමාජය මුදවා ගතයුතු ක්‍රියාකාරී මෙන්ම ප්‍රායෝගික සැලැස්මන් ලහි ලහියේ සකස් වියයුතුව ඇත. එය කාලීන අවශ්‍යතාවය ද වන අතර සෑම හදවතක්ම අපේක්ෂා කරන අහිංසක බලාපොරොත්තුවක් ද වේ. මේ අහිංසක ජනතා අපේක්ෂාව මනාව පිලිඹිබු කරන තරමක වෙනස් ආකාරයේ නිදසුනක් වෙත මා ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. ඒ මේ දිනවල රුපවාහිනී මාධ්‍යයන් හි විකාශය වන සංවේදී වෙළද දැන්වීමක් මඟිනි, එය පහතින් නරඹන්න.

ඉහත රූපරාමු තුලින් පිලිඹිබු කරන්නේ මීට කලකට ඉහත අප සමාජය තුල සර්වසාධාරණ ලෙස දක්නට තිබූ යහපත් සමාජ ක්‍රියාවලියකි. මෙවන් සාරධර්ම එවකට සමාජය තුල සුලබ දසුනක් විය. නමුත් එවන් දසුන් අද අපේ හඳවත්වලට සංවේදී වන තරමට අප එවන් සාරධර්මයන්ගෙන් ඈත් වී ඇත. මෙහි මා ඉදිරිපත් කරන්නේ එවන් වෙළද දැන්වීම් එකක් වුවද මේ ආකාරයේ වෙළද දැන්වීම් රාශියක් මේ දිනවල විකාශනය වන බව ඔබ දැනටමත් දන්නවා ඇත. මෙහිදී බුද්ධියෙන් විමසා බැලිය යුතු කාරණ්‍ය වන්නේ මෙවන් වූ දර්ශන රාමු පදනම් කරගෙන වෙළද දැන්වීම් නිර්මාණය කරන්නේ නම් එය වර්ථමාන ජනතාවට සංවේදී බව වෙළද දැන්වීම් නිර්මාණකරුවන් හොදින් අවබෝධ කරගෙන ඇති බව පැහැදිලි වෙනවා නොවේද?. එසේම එය නැරඹීම තුලින් පොදු ජනතාව වින්දනයක් ලැබීම තුල මෙය පොදු ජනතාවගේ හඳවත් අපේක්ෂා කරන අහිංසක බලාපොරොත්තුවක් බවත් මනාව පැහැදිලි වේ. මේ සියල්ල තුලින් කියාපාන්නේ කුමක්ද? එවන් සාරධර්ම අපෙන් ඈත්ව ගොස් යන්න නොවේද?. මෙවන් වූ සමාජයක් තුල නැවතත් එම සාරධර්ම ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය ඇත. සමාජය තුල පවතින වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය… යානාදී කුරිරු ගුණාංග වෙනුවට ආදරය, අනුකම්පාව, සාමය, සමඟිය, සහජීවනය… යනාදී යහගුණාංග සමාජයට ආදේශ කිරීමේ අවශ්‍යතාවය ඇත. එය ඉහත වීඩියෝ දර්ශන තුලින් අපට අවධාරනය කරනවා නොවේද?. මනුෂ්‍යත්වය අගයන මනුෂ්‍ය චින්තන ගරු කරන උතුම් වූ සමාජයක් උදෙසා සමස්ථ මිනිස් සමාජයම සාමූහික වැඩපිලිවලකට යාමේ අවශ්‍යතාවය ඇත. එවන් මෙහෙවරක් තුල ඉස්ලාම් මිනිස් සමාජයට දෙන ආදර්ශ අසමසමය. එවැනි ආදර්ශයන් කිහිපයක් මීට ඉහත දී ද මෙම යහමඟ අඩවිය තුල සාකච්චා කල බව ඔබ දැනටමත් දන්නවා ඇති. අද දින ද එවන් වූ දිව්‍යමය ආදර්ශයක් වන “යහගුණ” යන්න පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීමන් පදනම් කරගෙන මෙහි සාකච්චා කිරිමට අදහස් කරමි.

ලොව සෑම දහමක් දර්ශනයක්ම මිනිස් සමාජයට දේශනා කල සර්වකාලීනව වැදගත් පොදු කාරණයක් ඇත්නම් ඒ “යහගුණ” යන්නයි. ඉස්ලාම් දහම ද මේ පිලිබදව ඉතා පුළුල් ලෙස කථා කොට ඇති බව ආගමික මූලාශ්‍ර අධ්‍යනය කරන විට දැකගන්නට ලැබේ. එවන් ඉගෙන්වීමන් කිහිපයක් ඔබගේ අවධානයට ඉදිරිපත් කරන්නේ නම්,

“නබිතුමාණන් මෙසේ පවසන ලදි. ‘(සැබෑ (දෙවියන් පිලිබදව) විශ්වාසවන්තයා) ‘ඊමාන්’ පරිපූර්ණ තැනැත්තා වන්නේ තම ගුණාංගයන් තුලින් ද ඉතා අලංකාර වූ තැනැත්තාය.’ ”

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි

ඉහත හදීසය හොදින් විමසා බැලුවේ නම් “යහගුණ” සදහා ඉස්ලාම් කොතරම් වැදගත් තැනක් ලබාදී තිබෙනවාද? යන්න ඔබට පැහැදිලි ලෙස අවබෝධ කරගත හැකි වනු ඇත. එය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා තවත් නබිවදනක් ඔබේ විමසුමට යොමු කරන්නේ නම්.

“නබිතුමාණන් එක්තරා අවස්ථාවක මෙසේ පවසන ලදී ‘මාව (මිනිස් සමාජය තුල) යහගුණාංග පරිපූර්ණ කරනු පිණිසම (දෙවියන්) යවා ඇත. ‘ ”

මූලාශ්‍ර ග්‍රන්ථය – මුඅත්තා මාලික්

මුහම්මද් (සල්) තුමාණන් දේව වක්තෘවරයෙකු ලෙස එතුමාණන්ගේ මෙහෙවර දේව අනපනත් ප්‍රකාශ කිරීම හා එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම බව මුස්ලීම්වරුන් වන අප හොදින් අවබෝධ කරගෙන සිටින්නෙමු. එනමුත් ඉහත හදීසය තුලින් එතුමාණන් තම එකම මෙහෙවර “මිනිස් සමාජය තුල යහපත් ගුණාංග පතුරුවාලීම” යන්න පැවසීම තුල ඉස්ලාම් එය කොතරම් වැදගත් කොට සලකනවාද? යන්න හොදින් පැහැදිලි වේ. තවදුරටත් එහි අවශ්‍යතාවය නබිතුමාණන් අවධාරණය කිරීමේ දී මෙසේ ද පවසන ලදී.

“නුඹලා අතුරින් ශ්‍රේෂ්ඨයන් කවුරුන්ද? යන්න පවසනවා නම්, ඒ නුඹලා අතර යහගුණ ඇති තැනැත්තාය.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

අද සමාජය විවිධ කරුණු පදනම් කරගෙන මනුෂ්‍යාගේ ශ්‍රේෂ්ඨත්වය නිර්ණය කරයි. නමුත් යහගුණාංග වලින් තොර වූ ශ්‍රේෂ්ඨත්වයක් කිසිසේත් මනුෂ්‍යෙයකු හට පැවතිය නොහැක. ඕනෑම පුද්ගලයෙකුගේ යහගුණ තමා ඔහුගේ ශ්‍රේෂ්ඨ බව පිලිඹිබු කරණ සාධකය වන්නේ. මෙම ශ්‍රේෂ්ඨ බව එනම් යහගුණාංග “අප තුල කොතෙක් දුරකට තිබෙනවාද?” යන්න සෑම පුද්ගලයෙකුම වර්ථමානයේ ස්වයං විමසුමක් කලයුතුය. අප අතර බොහෝ පිරිස් සමාජය තුල ශ්‍රේෂ්ඨයන් උත්තමයන් ලෙස රඟදක්වයි. නමුත් ප්‍රායෝගික දිවිය තුල එවන් ලක්ෂණ ඔවුන් තුල දක්නට නොවේ. බලන්න පහත නබිවදන නබිතුමාණන්ගේ ගුණාංග කොයිතරම් ප්‍රායෝගික වුවාද? යන්න.

“අනස් (රලි) තුමාණන් මෙසේ පවසන ලදී ‘මම නබිතුමාණන්ගේ සේවකයෙකු ලෙස වසර 10ක් කටයුතු කලෙමි. එතුමාණන් කිසිදු දවසක හෝ කිසිදු මොහොතක (මාගේ ක්‍රියාවක් පිලිකුල් කර) ‘චී’ යයි පවසා නැත. මම කල කිසිදු ක්‍රියාවක් ‘ඇයි එසේ කලේ’ යයි දොස් පවසා නැත. මා නොකල ක්‍රියාවක් වෙනුවෙන් ‘ඇයි එය නොකලේ’ යයි ද දොස් පවසා නැත.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීසය තුලින් අනස් (රලි) තුමාණන් සදහන් කරන්නේ නබිතුමාණන් සමඟ ගතකල දිනක් දෙකක් හෝ දින කිහිපයක් පිලිබදව නොවේ. වසර 10 ක තරම් දීර්ඝ කාලයකි. නබිතුමාණන්ගේ සේවකයන් අතුරින් ලාබාලම මෙන්ම දීර්ඝ කාලීන සේවකයෙකු වන අනස් (රලි) තුමාණන්ගේ ඉහත ප්‍රකාශය ඉතා වැදගත්ය. අවවාද අනුශාසනා කට වචනයට පමණක් සීමා වූ වකවානුවක එය වචනයට පමණක් සීමා නොකොට “යහගුණ” යන්න තම ජීවිතය තුලින් නබිතුමාණන් පිලිඹිබු කොට පෙන්වන ලදී. මෙවැනි ආදර්ශ බොහෝමයක් නබිතුමාණන්ගේ ජීවිතය තුල දක්නට ඇත. (එවැනි ආදර්ශ කිහිපයක් මීට ඉහත “ඉස්ලාම් පවසන ආදර්ශමත් ගුණාංග” යන ලිපිය තුලින් ද ඉදිරිපත් කරන ලදී) නබිතුමාණන්ගේ දූත මෙහෙවර තුල “යහගුණාංග” යන්න සුවිශේෂි අංගයක් වුවා යන්නට ඉහත හදීසයන් මෙලෙස සාක්ෂි දරණ විට අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනය ද 68-4 වාක්‍යය මඟින් මෙසේ පවසයි,

“(නබිතුමණි!) නියත වශයෙන්ම ඔබ උතුම් වූ යහගුණාංගයන්ගෙන් යුක්ත වුවෙකි.”

මේ ආකාරයට “යහගුණ” අවධාරණය කරන උත්තරීතර දිව්‍යමය මඟපෙන්වීමට උරුමකම් කියන මුස්ලීම්වරුන් වන අප ද එම වර්ණනයට උරුමකම් කිවහැකි තත්වයක සිටින්නෙමුද? මෙයයි සෑම මුස්ලීම්වරයෙකුම විමසා බැලියයුතු පැනය. නබිතුමාණන් පැවසූ ඒ “ශ්‍රේෂ්ඨත්වයටත්” අල්ලාහ් දෙවියන් පවසන ඒ “උතුම්” වූ තත්වයටත් අප කොතරම් සමීපව ජීවත්වන්නෙමුද? යන්න සෑම මුස්ලීම්වරයෙකුම තම මනසින් අනිවාර්යයෙන් විමසා බැලිය යුතුය. ඉහත හදීසය තුලින් අනස් (රලි) තුමා පවසන සහතිකය අපගේ සේවකයෙකුගෙන් ලබාගත හැකිද? සේවකයෙකුගෙන් නොව තම බිරිදගෙන්, දරුවන්ගෙන්, සහෝදරයෙකුගෙන්, මිතුරෙකුගෙන්… ලබාගත හැකිවේද?. ඔබේ පිලිතුර “නැත” යන්න නම්, එයින් පිලිඹිබු කරන්නේ “යහගුණ” අපේ ජීවිතයෙන් බොහෝ දුරට ඈත් වී යන්න නොවේද?. එසේනම් එම යහගුණ නැවතත් අපේ ජීවිතවලට ලඟාකර ගැනීමේ අවශ්‍යතාවය සෑම මුස්ලීම්වරයෙකුටම ඇත. එය ඉස්ලාම් දැඩිව අවධාරණය කරන අංගයක් යන්න ඉහත කරුණුවලින් දැනටත් ඔබට අවබෝධ වනු ඇත. එය තවත් හොදින් අවබෝධ කරගැනීම සදහා පහත හදීසය බලන්න.

නබිතුමාණන් හමුවට පැමිණි පිරිසක් “අල්ලාහ් (දෙවියන්)ගේ ගැත්තන් අතුරින් ඔහුට වඩාත් ප්‍රිය කෙනා කවුරුන්ද?” යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් “ඔවුන් අතුරින් ගතිගුණවලින් යහපත් වූ තැනැත්තාය” යනුවෙන් පවසන ලදි.

මුලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීසයන් තුලින් පැහැදිලි වන්නේ “යහගුණ” යන්න මනුෂ්‍යා තුලින් ඉස්ලාම් කොතරම් දුරකට අපේක්ෂා කරනවාද? යන්නයි. එය තවදුරටත් ඔබට අවධාරණය කරනු පිණිස මෙම ලිපිය අවසානයේ තවත් හදීසයක් ඔබගේ අවධානයට යොමු කිරීමට අදහස් කරමි. එම හදීසය හොදින් විමසා බැලුවේ නම් මේ “යහගුණ” සදහා ඉස්ලාම් ලබාදී ඇති තැන කොතැනද? යන්න ඔබට හොදින් පැහැදිලි වනු ඇත. එය මෙසේය.

“වරක් නබිතුමාණන් මෙසේ පවසන ලදි. (විනිශ්චය දිනයේ දී හොද නරක කිරා බැලීමේ) තරාදිය මත තබන ලද ‘යහගුණවලට’ වඩා බරින් අධික කිසිවක් නැත. කිසිවකු ‘සලාතය’ (දෛනිකව පස්වතාවක් ඉටුකරන අනිවාර්ය වන්දනය), උපවාසය යනාදීය තුලින් (කිසිවකු) ලඟා කරගන්නා තැනට යහගුණ ඇති කෙනෙකු තම යහගුණාංග තුලින් ලඟාවනු ඇත.”

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි, මුස්නද් බස්සාර්

ඉහත හදීසය හොදින් විමසා බැලුවේ නම් “යහගුණ” සදහා ඉස්ලාම් ලබාදී ඇති තැන මනාව පැහැදිලි වනු ඇත. සැම මුස්ලීම්වරයෙකුම දෙවියන්ට කලයුතු අනිවාර්ය යුතුකම් 05 අතුරින් ප්‍රධාන දෙකක් වන “සලාතය” හා “උපවාසය” යන තැනට “යහපත් ගුණාංග” යන්න ද සම කොට ඉස්ලාම් කථා කොට ඇති බව පැහැදිලිය. එසේනම් අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ දිව්‍යමය ආදර්ශය වන මේ පිලිබදව වරක් නොව දෙවරක් සෑම මුස්ලීම්වරයෙකු ම විමසා බැලිය යුතුය. එසේම ඉස්ලාමීය ඉගෙන්වීමන් අභියෝගයට ලක් කරන පිරිස් ද මේ අසමසම ආදර්ශය බුද්ධිමත් අයුරින් විමසා බැලිය යුතුය. එවිට ඉස්ලාම් දහමේ අසමසම මඟපෙන්වීම පමණක් නොව මුස්ලීම් සමාජයේ බහුතරයකගේ ක්‍රියා කලාපය ද ඉස්ලාම් විරෝධි ආගමික අනවබෝධය හේතුවෙන් සිදුවන්නක් බව පැහැදිලි වනු ඇත.

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *