යහමඟ අඩවිය අඛණ්ඩ මෙහෙවරක

0

මීට වසර කිහිපයකට ඉහත ‘ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිසය…’ යන තේමාව පෙරටු කොට අරඹන ලද ‘යහමඟ’ වෙබ් අඩවිය ‘අල්හම්දුලිල්ලාහ්’ අද වනවිට ශ්‍රී ලාංකීය සමාජය තුල යහපත් මෙහෙවරක් සිදු කරන වෙබ් අඩවියක් බවට පත්ව ඇත. සිංහල භාෂාව හසුරුවන ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම පිලිබදව කිසියම් අවබෝධයක් ලබාදීම එකම අරමුණූ කරගෙන ආරම්භ කරන ලද මෙම වෙබ් අඩවිය අද වනවිට එහි විෂය පථය පුළුල් කරමින් ඉදිරියට ම ගමන් කරමින් ඇත. මෙලෙස ඉදිරියට යන ‘යහමඟ’ අඩවිය තම ගමන් මඟ තුල තවත් වසරක් නිමා කොට නව වසරක් අභියස සිටින මේ මොහොතේ ගෙවීගිය වසර පිලිබදව වූ මිහිරි හා අමිහිරි මතකයන් බොහොමයක් ඉතිරිව තිබුණත් මෙය ඒ පිලිබදව කථා කිරීමට සුදුසු අවස්ථාවක්  නම් නොවේ.

විශේෂයෙන් ගෙවීගිය වර්ෂය තුල ශ්‍රී ලාංකීය සමාජය තුල සීඝ්‍රයෙන් වර්ධනය වූ සිංහල ජාතිවාදී ව්‍යාපාර ඉස්ලාම් දහමටත් මුස්ලීම් සමාජයටත් එල්ල කල අභියෝගය කිසිසේත් සුළුකොට තැකිය නොහැක. මෙවැනි ව්‍යාපාර හමුවේ ‘හතු පිපෙනවා සේ’ ජාතිවාදයට එරෙහි බොහෝ ව්‍යාපාර විශේෂයෙන් වෙබ් හා බ්ලොග් අඩවීන් නිර්මාණය වීම හා එවැනි ව්‍යාපාරවලට එරෙහිව පෙනීසිටීම සතුට ට කාරණයක් මෙන්ම ‘යහමඟ’ ට ද ශත්කියක් වූවත්, එවැනි ව්‍යාපාර අති බහුතරයක් මේ වනවිට ‘හිරු දුටු පිණි බිංඳු’ මෙන් කරලියෙන් සමුගැනීම අවාසනාවන්ත මෙන්ම කණගාටුදායක තත්වයකි. මෙවැනි සමාජ පසුබිමක ‘යහමඟ’ ට තම වගකීම හැකි පමණින් හෝ අඛණ්ඩව ඉටුකිරීමට හැකිවීම පිලිබදව අද ‘යහමඟ’ අවංකව සතුටු වන අතර ඒ සදහා දැඩි අදිෂ්ඨානයක්, ධෛර්‍යයක් හා සිත් තුල උනන්දුවක් ඇති කල අල්ලාහ් (දෙවි)ට ‘අල්හම්දුලිල්ලාහ්’ යයි තූති පුදකර සිටිමි.

සියල්ල මිල මුදලින් තීන්දු කරන ලෝකයක් තුල අද අපට දක්නට ඇත්තේ ආගම දහම විවිධ වූ පටු අරමුණු සදහා අවස්ථාවක් කරගත් සමාජ පසුබිමකි. එවැනි සමාජයක් තුල තනි පුද්ගලයෙකු ලෙස එසේම රාජකාරි වශයෙන් හා පවුල් වගකීමන් තුල  සිර වී මේ ආකාරයට මෙම අඩවිය පවත්වාගෙන යාම එතරම් සරල කාරණයක් නොවේ. ජීවිතයේ බොහෝ දුෂ්කරතාවයන් හා කාර්‍ය බහුලත්වයන් මධ්‍යයේ අඛණ්ඩව මෙලෙස ඔබ හා ඉස්ලාම් දහමේ දැනුම බෙදාහදාගෙන වසර ගණනාවක් කටයුතු කිරීමට හැකිවීම පිලිබදව ප්‍රථමයෙන් අල්ලාහ් (දෙවි)ට තුති පුදන අතර රටේ සුළු ජාතිකයෙකු ලෙස මෙය කිසිසේත් මඟහැර යාහැකි වගකීමක් නම් නොවන බවත් මා පැහැදිලිව අවබෝධ කර සිටිමි. ඒ අනුව එම වගකීම පහත අරමුණු හා ඉලක්ක ඔස්සේ ‘යහමඟ’ අඩවිය තුලින් ඉටුකරන්න උත්සාහ කරමි.

  • ආගම් අතර අවබෝධයෙන් ගොඩනැ‍ගෙන සාමකාමී හා සහජීවනයෙන් පිරි රටක් නිර්මාණය කිරීම,
  • අද ආගම් වෛරය, ක්‍රෝධය හා ඊර්ෂියාවට වඩා යමක් මිනිස් සමාජයට දායාද කොට නැත. එවන් සමාජ පසුබිමක ‘ඉස්ලාම්’ පෙන්වාදෙන දිව්‍යමය ආදර්ශය මිනිස් සමාජයට කියාපෑම,
  • ජාතිවාදී කල්ලීන් ‘ආගම්’ නමින් සමස්ථ ජාතියට කරන විනාශය ජාතියට අනාවර්ණය කිරීම,
  • සියළු ජාතීන් අතර සහෝදරත්වයෙන් බැඳි සුභ අනාගතයක් ගොඩනැඟීම,
  • අල්ලාහ් (දෙවි) විසින් ලබාදුන් උතුම් දහම මිනිස් සමාජයට අනාවර්ණය කිරීම,

මෙවැනි යහපත් අරමුණු රාශියක් මූලික කරගෙන ක්‍රියාත්මක වන ‘යහමඟ’ වෙබ් අඩවිය 2013 වර්ෂයේ සිට ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය ඉලක්ක කරගෙන ඉස්ලාම් දහම පිලිබදව හා එහි නීතිරීති පිලිබදව කථා කිරීම ද ආරම්භ කරන ලදී. ඒ ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය තුල පවතින ආගමික අනවබෝධ අවස්ථාවක් කරගෙන විවිධ පාර්ශවයන් මුස්ලීම් සමාජය නොමඟ යැවීමටත්, ඔවුන් ‘සම්ප්‍රදායක’ හා ‘සම්ප්‍රදායක නොවන’ මුස්ලීම්වරුන් ලෙස භේදබින්න කිරීමටත් ක්‍රියා කරන ආකාරයක් පසුගිය කාලවල දක්නට ලැබූ නිසා ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව මුස්ලීම් සමාජය තුල කථා කිරීමේ වගකීම ද ‘යහමඟ’ බාරගන්නා ලදී.

වසර ගණනාවක් මුළුල්ලේ විවිධ පිරිසගේ හා සංවිධානවල බාධක කිරීමන් මධ්‍යයේ ඒ සියළු බාධා කිරීමන් ආශිර්වාදයක් කරගෙන ඉදිරියට ගලායන යන ‘යහමඟ’ අඩවිය. ඒ සියල්ල තනිවම දිනාගත් ජයග්‍රහණයන් නම් නොවේ. මෙම අඩවියේ සාර්ථකත්ව සදහා මේ පසුපස හිඳ මෙය හැඬ කරන කිහිපදෙනෙකු ද සිටින බව මෙහි සදහන් නොකරන්නේ නම් එය විශාල අඩුවකි. ඒ,

  • ආරම්භයේ මෙම අඩවියට ‘යහමඟ’ යන නම යෝජනා කොට එදා පටන් මේ දක්වා ‘යහමඟ’ ගන්නා සෑම පියවරක දීම ඒ සදහා දිරිය ලබාදෙමින් කටයුතු කරන ‘ඉබුනු ජෙමීල්’ සහෝදරයා මෙම අඩවියේ සාර්ථකත්වය තුල ප්‍රධාන චරිතයකි. ඔහුට අල්ලාහ් (දෙවි)ගේ ආරක්ෂාව හා අශිර්වාදය ද සියළු කටයුතුවල සාර්ථකත්වය ද ‘යහමඟ’ ප්‍රාර්ථනා කර සිටිමි.
  • විදේශ රටක කාර්‍යබහුල සේවයක නිරත වන අතර තුර තම බිරිදගේ ද පූර්ණ දායකත්වය ලබාදෙමින් මෙම අඩවිය තුල පැවතී තාක්ෂණික දුර්වලතාවය. එනම් HTML අඩවියක් ලෙස පැවතී මෙම අඩවිය PHP අඩවියක් ලෙස පරිවර්ථනය කොට ඉතා අලංකාර අඩවියක් ලෙස මෙය නිර්මාණය කර දී මෙහි ඉදිරි ගමනට ද අවශ්‍ය තාක්ෂණික උපදෙස් ද ලබාදෙමින් සහය වූ අස්මිල් සහෝදරයා ඇතුළු ඔහුගේ පවුලේ සියළු දෙනා සතුටින් මතක් කරන අතර දුර රටක ජීවත් වන ඔහු ඇතුළු පවුලේ සියළුදෙනාට අල්ලාහ් (දෙවි)ගෙන් ආශිර්වාදය හා ආරක්ෂාව මෙන්ම සාර්ථකත්වය ද ‘යහමඟ’ ප්‍රාර්ථනා කර සිටිමි.
  • මීට අමතරව බොහෝ කාර්‍යබහුලත්වයන් මධ්‍යයේ ඉතා දුෂ්කර කාර්‍යයක්ව පැවතී yahamaga.com නම් Domin නාමය මාගේ නමින් ලියාපදිංචිව නොපැවති. අවස්ථාවක එය අබූ අර්ශද් අයිතියට පවරාදීමට මැදිහත් වී සාර්ථකව එය ඉටුකර දුන් නව්ෆර් සහෝදරයාට ද ‘යහමඟ’ ස්තූතිය පුදකරන අතර ඔහුට අල්ලාහ් (දෙවි)ගේ ආරක්ෂාව හා අශිර්වාදය ද සියළු කටයුතුවල සාර්ථකත්වය ද ‘යහමඟ’ ප්‍රාර්ථනා කර සිටිමි.
  • මීට අමතරව මෙම අඩවියට වටිනා ලිපි ලබාදෙමින් පාඨකයින් වශයෙන් ඔබ ලබාදුන් පාඨක නිර්මාණ ද ‘යහමඟ’ අඩවියට විශාල ශක්තියක් වූ අතර එම පිරිස ද සතුටින් මෙහි මතක් කර සිටිමි.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ,  ‘යහමඟ’ අඩවියට තවත් වර්ෂයක් නිමා වුවත් ‘යහමඟ’ මෙහෙවරේ නිමාවක් නම් පෙනෙන තෙක් මානයක නැත… නමුත් මේ මොහොතේ ඔබ පතන දහසක්… දසදහසක් දෑ… මෙහි නොමැති වන්නට පුළුවන… නමුත් පුංචිම පුංචි දෙයක් හෝ ඉටුකොට ඇතැයි මා හට සතුටු වන්නට පුළුවන… එපමණක් නොව, මේ මෙහෙවර අදට නොව උදාවන හෙට දවස සදහාය… ඒ තුල යහපත් අරමුණු දිනාගැනීම සදහාය… වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නම් අඳුරු දුරළු යහපත් සමාජයක් සදහාය… ආශ්චර්‍යමත් දේශයක් උදෙසාය… එසේනම් අවංක වූ ඒ මෙහෙවරේ සාර්ථකත්වය සදහා ඔබ සියළුදෙනාගේ අවංක වූ ප්‍රාර්ථනාව ‘යහමඟ’ සදහා අපේක්ෂා කරමින් මේ කෙටි සටහනට විරාමය තබන්නේ, ‘යහමඟ’ අඩවියට නන්අයුරින් සහය දැක්වූ සෑම සියළුදෙනාටම ‘යහමඟ’ ස්තුතිය ද පුදකරමින.

මීට පෙර සටහන් කියවන්න,

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *