යහමඟ සොයන ඔබටයි !

0

‘යහමඟ’ යනුවෙන් මේ කථා කරන්න යන්නේ මේ අඩවිය ගැන නම් නොවේ. මිනිස් දිවිය තුල ලෞකිකව හා ලෝකොත්තරව වැදගත් ඉලක්කයක් වන, එසේම සෑම දහමක් දර්ශනයක් ම මනුෂ්‍යා තුල ගොඩනැඟීමට නිරන්තරයෙන් වෙරදරණ, මිහිමත වෙසෙන සෑම මනුෂ්‍යයෙකුම නිරන්තරයෙන් පතන අපේක්ෂා කරන හරි මඟ, නොඑසේ නම්, නිවරුදි මඟ, සත්‍ය මඟ, විමුක්තියේ මඟ… යනාදී ලෙස හදුන්වන ‘යහමඟ’ නම් උතුම් මර්ගය පිලිබදවයි. මුළුමනින්ම මුස්ලීම් සමාජය ඉලක්ක කරගෙන ඉදිරිපත් කරන මේ ලිපිය කාලීන වශයෙන් ඉතා වැදගත් ලිපියක් වනවා යන්න මාගේ දැඩි විශ්වාසයයි. එකම දෙවි, අල්ලාහ් පිලිගෙන, ඔහු විසින් පහල කල දේව පුස්තකය වන ශුද්ධ වූ කුර්ආනය පිලිගෙන, ඔහුගේ අවසාන වක්තෘවරයා වන මුහම්මද් (සල්) තුමාණන්ගෙන් ආදර්ශ ලද සමාජය අද ආගමික මතවාද හා මතභේද තුල භේදබින්න වී දුර්වල සමාජයක් ලෙස ලෝකය තුල සීසිකඩ වී ජීවත් වන ආකාරයක් අප දකිනවා පමණක් නොව අත්විඳින්නෙමු. එහි අනිසි ප්‍රතිපලයක් ලෙස ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනයා ඉස්ලාම් විරෝධින්ගේ පහසු ගොදුරක් වී ඇති ආකාරයත් අප දකිනවා පමණක් නොව ශ්‍රි ලාංකීය අප ද අත්විදින්නෙමු. මෙවන් පසුබිමක ‘යහමඟ සොයන ඔබටයි !’ යන මේ ලිපිය සර්වකාලීනව වැදගත් ලිපියක් වනවා නොඅනුමානය. නමුත් මෙම ලිපියේ අරමුණු දිනාගැනීමට නම් ආරම්භයේදී ම පාඨක ඔබෙන් ආයාචනයක් හා අල්ලාහ් (දෙවි)ගෙන් ප්‍රාර්ථනයක් කලයුතුව ඇත. එනම්,

යමක් හරිද? වැරදිද? යන්න තීන්දු කිරීමට හෝ අවබෝධ කර ගැනීමට කිසිවකු උත්සාහ කරන්නේ නම් ඒ සදහා ඔහු හෝ ඇය තුල ගොඩනඟා ගතයුතු අවම අවශ්‍යතාවයක් ඇත. ඒ ඔබ හමුවේ තැබෙන අළුත් මතවාද හෝ තර්ක මෙතෙක් ඔබ දරණ මතවා‍දයන්ගෙන් බැහැරව විමසා බැලීමට තරම් මනස විවෘත වීමයි. එසේ නොමැතිව තමන් කාලාන්තරයක් මුළුල්ලේ පිලිපැද ආ, පරම්පරා ගණනාවක්ම කරගෙන ආ, මේවා අපේ සම්ප්‍රදායන්… යනාදී පටු සීමාවන් තුල හිඳ යමක් දෙස බැලීමට උත්සාහ නොකලයුතුය. මෙය ආගමික කාරණයක දී පමණක් නොව ඕනෑම කාරණයක දී අනුගමනය කලයුතු අනිවාර්‍ය ක්‍රමවේදයකි. ඔබට යමක් පැහැදිලි ලෙස අවබෝධ කරගැනීමේ අවංක උවමනාවක් පවතින්නේ නම්, එහිදී මෙතෙක් ඔබ දරණ විශ්වාස, මතවාද, ආකල්ප සියල්ලෙන් බැහැරව විවෘත මනසින් එම විෂය දෙස බැලිය අත්‍යඅවශ්‍යය. නමුත් අවාසනාවකට බොහෝ විට සිදුවන්නේ තම මතවාදය තුල දැඩිව හිඳ එය සාදා‍රණීකරනය කරන්න වෙහෙසෙනවා මිස එයින් බැහැරව අනිකුත් මතවාද විමසා බැලීමට හෝ  බුද්ධිමත් ලෙස අධ්‍යනය කරන්නට උනන්දු නොවීමයි. මේ ඉරණම මෙම ලිපියට ද අත් නොවේවා!, යනුවෙන් අල්ලාහ් (දෙවි)ගෙන් ප්‍රාර්ථනා කරමින් ඉදිරියට යොමු වෙමි.

‘යහමඟ’ පිලිබදව ඉස්ලාමීය දෘෂ්ඨියෙන් කථා කරන විට එහිදී මූලික වශයෙන් අවබෝධ කර ගතයුතු කාරණයක් ඇත. ඒ ඉස්ලාම් දහමේ ඉගෙන්වීමට අනුව ‘යහමඟ’ යන්න අල්ලා‍හ් (දෙවි)ගේ ආශිර්වාදය මත මනුෂ්‍යා තුල තමා විසින් ම ගොඩනඟා ගතයුතු ගුණාංගයක් යන්නයි. එය තවත් කෙනෙකු විසින් බලෙන් පැටවිය හැකි හෝ වර්ධනය කලහැකි ගුණාංගයක් නොවේ. මෙයට ඉස්ලාමීය මූලාශ්‍රයන් තුලින් අනන්තවත් සාක්ෂී ගෙන ඒමට පුළුවන. පහතින් සාකච්චා කරන ‘නබිවරයාණෙනි!, නුඹ සිතන කෙනෙකු යහමඟ ගැන්වීම නුඹට කල නොහැක’ (28-56) යන ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය එයට එක් නිදසුනකි. ඉහත එම වාක්‍යය තුලින්ම ලිපියෙහි මාතෘකාවට දැන් යොමු වන්නේ නම්,

‘අබූතාලිෆ්’ යන නම මුස්ලීම් සමාජයට අලුත් වදනක් නොවනවා යන්න මාගේ දැඩි විශ්වාසයයි. මුහම්මද් (සල්) තුමාණන්ගේ පියාගේ වැඩිමල් සහෝදරයෙකු වන මේ ‘අබූතාලිෆ්’ ඉස්ලාම් දහමේ ආරම්භ කාලයේ හා ගමන්මඟ තුල ප්‍රධානතම හා තීරණාත්මක සංධිස්ථානයක් යන්න වර්ථමාන මුස්ලීම් සමාජයේ බො‍හෝ දෙනෙකු තවම අවබෝධ කරගැනීම ට අසමත් වූ සත්‍යයකි. මා මෙසේ පවසන විට ‘මුස්ලීම් නොවන ඔහු පිලිබදව අපි දැනගන්නේ මොකටද?’ යනුවෙන් පවා ඔබට සිතෙන්නට පුළුවන. ඔබට එසේ සිතෙනවා නම් එය පුදුමයට කාරණයක් ද නොවේ. මන්ද ඔහු, මුහම්මද් (සල්) තුමාණන් ඔහුගේ අවසාන මොහොතේ ඉස්ලාම් දහම වැලදගන්නා ලෙස කොපමණ ආයාචනා කලත් එය ප්‍රතික්ෂේප කොට එම තත්වයේම මියගිය කෙනෙකු වූ බැවිණි. ‘එවැනි කෙනෙකු ගැන මොනවාට ඉගෙන ගන්නද?’ යන්න බැලූ බැල්මට සාධාර්ණ වූ තර්කයකි. නමුත් මමත්, ඔබත් එලෙස අවබෝධ කර සිටින ‘අබූතාලිෆ්’ කිසිවකුගේ හව්හරණක් පිහිටක් නොමැතිව එදා ඉස්ලාම් දහම ප්‍රකාශ වනවිට ඊට එරෙහිව මතු වූ විරෝධතා මැඩලීමේ ප්‍රධාන පලකයක් වී සිටියා යන්න එදාමෙදා තුර කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි. එදා නබිතුමාණන්ට එරෙහි ඉස්ලාම් විරෝධි ව්‍යාපාර මැඩලීමේ මෙහෙවරේ ප්‍රධාන චරිතයක් වූයේ ඔහුය. එයට හේතුව ඔහු ඉස්ලාම් දහම නොපිලිගත්ත ද නබිතුමාණන්ට අසීමිත ලෙස ආදරය දැක්වීමය. එය පහසුවෙන් අවබෝධ කරගැනීම පිණිස එක් සිද්ධියක් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නේ නම්,

(ඉස්ලාමීය ආරම්භ කාලයේ) ඉස්ලාමයට දැඩි විරෝධයක් පවතින වකවානුව එක්තරා දිනක නබිතුමාණන් නිවසින් බැහැරව සිටි මොහොතක (නබිතුමාණන් නිවසින් බැහැර වුවානම්, හැකි ඉක්මණින් යලිත් නිවස කරා පැමිණීම එතුමාගේ සිරිතකි) නබිතුමාණන්ගේ නිවස ඉදිරිපිට ඉස්ලාම් විරෝධීන් දෙදෙනෙකු සිනාසිසී කථා කරමින් සිටීමත්, ‍ නබිතුමාණන් නැවත නිවසට පැමිණීම ප්‍රමාදවීමත් පිලිබදව සැක සිතූ අබූතාලිෆ් නිවස තුලට දිවගොස් කඩුව රුගෙන දිව එන විට නිවස දොරකඩ නබිතුමාණන් සිටිනු දැකීය. ඒ මොහොතේ නබිතුමාණන් ‘ඇයි ඔබ මෙලෙස කඩුවක් රුගෙන?’ යයි විමසුවේය. එයට අබූතාලිෆ් ‘(නිවස ඉදිරිපස සිටින පිරිස පෙන්වා) මේ පිරිස් ඔබට හානියක් කර මෙතැන සිනාසිසී සිටිනවා යයි මා සිතුවෙමි. ඔබ තව ටිකක් හෝ ප්‍රමාද වුයේ නම් මොවුන්ගේ හිස පොළොවට පතිත වන්නට තිබුණි’ යයි පවසමන ලදී – (හදීස්)

ලොවපුරා වෙසෙන සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම ඉස්ලාම් අනිවාර්‍ය කරන ගුණාංගයක් තමා තම ප්‍රාණයට වඩා මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය දැක්වීම යන්න. නමුත් ඉස්ලාමය ප්‍රතික්ෂේප කරන, එපමණක් නොව තමන් දරණ මතවාද හා ඇදහිලිවලට එරෙහිව ඉස්ලාම් දහම ප්‍රචාරයේ යෙදෙන මුහම්මද් (සල්) තුමාණන් හට අබූතාලිෆ් කොතරම් ආදරය කලාද යන්න ඉහත සිද්ධිය තුලින් අවබෝධ කරගැනීම ඔබට අපහසු නොවනු ඇත. අබූතාල්ෆගේ ආදරය හමුවේ, ඔහු කෙරෙහි නබිතුමාණන්ගේ ආදරය ද ඊට දෙවැනි නොවීය. අබූතාලිෆ් ඉස්ලාමය වැලද නොගැනීම පිලිබදව නබිතුමානණ්ට විශාල දුකක් කණස්සල්ලක් පැවතුණි. ඔහුගේ මුවින් (ඉස්ලාමය වැලද ගැනීමේ දී කිවයුතු වදන වන ‘ලාඉලාහ් ඉල්ලල්ලාහ්’ (වැදුම්පිදුම් කරන්නට අල්ලාහ් (දෙවි) හැර වෙන කිසිවෙක් නැත) යන) ‘කලිමාව’ කියවා ගැනීම පිණිස ඔහුගේ කණට ඇසෙන සේ නිතර නිතර නබිතුමාණන් කලිමාව කීම සිරිතක් කරගෙන සිටියේය. මේ ආකාරයට ඉස්ලාම් දහමට අනඟි මෙහෙවරක් කල, ප්‍රායෝගිකව ම නබිතුමා කෙරෙහි පැවති ආදරය සෙනෙහස නිරන්තරයෙන් මතුකොට පෙන්වූ, නබිතුමාණන් පවා දැඩිව ආදරය කල, ඒ අබූතාලිෆ්ගේ අවසාන මොහොත හා එතැනදී සිදුවූ සිදුවීමන් ලොව ‘යහමඟ’ සොයන ඕනෑම කෙනෙකුට ඉතා වැදගත් පාඩමකි. එය මෙසේය…

අබූතාලිෆ්ගේ අවසාන මොහොත…

අබූතාලිෆ්ගේ අවසාන මොහොතේ නබිතුමාණන් ඔහු හමුවට පැමිණ ‘මාගේ ලොකු තාත්තතේ !, -ලාඉලාහ් ඉල්ලල්ලාහ්- යයි පවසන්න. එම වදන ඔබ පැවසුවේ නම්, එය පදනම් කරගෙන ‘කියාමත්’ (හොද නිරක විනිශ්චය කරන) දිනයේ  අල්ලාහ් (දෙවි) හමුවේ ඔබේ විමුක්තිය වෙනුවෙන් මා (දෙවි හා)වාද කරන්නෙමි.’ යයි පවසන ලදී. එවිට එතැන සිටී අබූජහ්ල් (මොහු අබූතාලිෆ්ගේ සහෝදරයෙකි) හා අබ්දුල්ලාහ් බින් අබී උමයියා යන දෙදෙනා ‘අබූතාලිෆ් !, ඔබ අපගේ පියවරුන් (පැරණ්නන්) වන අබ්දුල් මුත්තලිෆ්ගේ මාර්ගය ප්‍රතික්ෂේප කොට යන්නට සැරසේන්නේද?’ යනුවෙන් පවසන ලදී. මේ ආකාරයට නබිතුමාණන් හා අබූජහ්ල් මාරුවෙන් මාරුවට අබූතාලිෆ්ගෙන් (බොහෝ වේලාවක්) ආයාචනා කරමින් සිටින විට අවසානයේ දී අබූතාලිෆ් ‘මගේ මරණය අබ්දුල් මුත්තලිෆ්ගේ දහමේ තමා’ යනුවෙන් පවසන ලදී. එවිට නබිතුමාණන් ‘මම ඔබ වෙනුවෙන් අල්ලාහ් (දෙවි)ගෙන් පව් සමාව අයදිමි. එය මට තහනම් කරන තුරුම’ යයි පවසන ලදී. එම මොහොතේ තමා ‘සමානයන් තබන්නන් (ශිර්ක්) කරන්නන් අපායවාසීන්ම බව පැහැදිලි වූවායින් පසු, ඔහු වෙනුවෙන් සමාව අයදීම, ඔහුගේ ඥාති වුවත් වක්තෘවරයාණන්ට හෝ මුමීන්වරුන්ට අවසර නැත’(ශුද්ධ වූ කුර්ආනයේ 9-113) යන ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය හා ‘නබිවරයාණෙනි!, නුඹ සිතන කෙනෙකු ‘යහමඟ’ ගැන්වීම නුඹට කල නොහැක’ (ශුද්ධ වූ කුර්ආනය 28-56) යන ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය පහල වුයේ.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී 3885

ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය දෙකක්ම පලවීමට පදනම් වූ ඉහත සිද්ධිය තුලින් මා ආරම්භයේ සදහන් කල නබිතුමාණන් හා අබූතාලිෆ් අතර පැවතී බැදීම කොතරම් ශක්තිමත් එකක් වූවාද යන්න තවදුරටත් මනාව තහවුරු වේ. ඊට අමතරව ඉතා වැදගත් කාරණා දෙකක් ද ඒ සිදුවීම තුල අන්තර්ග වේ. එනම්,

  • අපේ පැරණ්නන්ගේ මාර්ගයේ ජීවත් වීම යන්න,
  • ‘යහමඟ’ ගැන්වීම නබිතුමාණන්ටත් කල නොහැක්කක් යන්න,

ඉහත එම කාරණාවලට යොමුවීමට ප්‍රථම ආරම්භ කාලයේ ඉස්ලාම් දහමටත්, මුස්ලීම් සමාජයටත්, විශේෂයෙන් නබිතුමාණන්ටත් ශක්තියක් වූ අබූතාලිෆ්ගේ කියාමත් දින ඉරණම මොනවගේ එකක් වනු ඇත්තද? යන්න තවත් හදීසයක් තුලින් විමසා බැලීම මෙහිදී වඩා සුදුසු යයි සිතමි.

(අබූතාලිෆ් මියගියාට පසු දිනක්) අබ්බාස් (රලි) තුමා නබිතුමාණන් හමුවට පැමිණ ‘ඔබගේ ලොකු පියා (පියාගේ වැඩිමල් සහෝදරයා වන අබුතාලිෆ්) වෙනුවෙන්, ඔහු (ඔබටත්, ඉස්ලාමයටත්)කල උපකාරයන් වෙනුවෙන් ඔබ කුමක් කර ඇත්තේද?. මන්ද අල්ලාහ් (දෙවි) මත දිවුරා කියමි, ඔහු ඔබතුමාව (විරුද්ධවාදීගේ ප්‍රහාරවලින්) ආරක්ෂා කරන්නෙකු ලෙසත්, ඔබතුමා වෙනුවෙන් (ඔබතුමාගේ හතුරන් සමඟ) කෝපවන්නෙකු ලෙසත් සිටියා නොවේද?’ යයි විමසුවේය. එයට නබිතුමාණන් ‘ඔහු දැන් (අපායේ) කකුලේ වළලුකරය දක්වා වූ සුළු ගින්නක තමා සිටින්නේ මම මැදිහත් නොවෙන්න අපායේ පහලම ස්ථානය ඔහුට හිමිවන්නට තිබුණි’ යයි පවසන ලදී.

මූලාශ්‍රය – බුහාරී 3883

ඉහත හදීසය තුලින් ද අබූතාලිෆ්ගෙන් ඉස්ලාමයට හා මුහම්මද් (සල්) තුමාණන්ට ඉටු වූ සේවය තවදුරටත් පිළිඹිබු කරන අතර එවන් මෙහෙවරක් කල අබූතාල්ෆ්ට අවසානයේ අත් වූ ඉරණම ද පැහැදිලිව පවසයි. නමුත් ඉහත හදීසය තුලින් ‘අපායේ සුළු ගින්නක් තම කකුලේ වළලුකරය දක්වා පවතී’ යයි පැවසීම මෙහිදී සරල කාරණයක් ලෙස කිසිසේත් ඔබ නොගතයුතුය. මන්ද එම ගින්නේ බලපෑම තවත් හදීසයකින් නබිතුමාණන් පැවසීමේ දී…

…එම ගින්නේ බලපෑම හේතුවෙන් ඔහුගේ මොළය උණූ වී යනු ඇත. (දීර්ඝ හදීසයක කොටසකි)

මූලාශ්‍රය – බුහාරී 3885

මෙතෙක් සාකච්චා කල කරුණු තුලින් අබූතාලිෆ්ගෙන් ඉස්ලාමයට හා මුහම්මද් (සල්) තුමාණන්ට ඉටු වූ සේවය හා එවන් මෙහෙවරක් කල ඔහුට අවසානයේ අත්වූ ඉරණම පිලිබදව දැන් ඔබට කිසියම් අවබෝධයක් ලැබී ඇතැයි සිතමි. දැන් මෙම කාරණය වෙනත් දෘෂ්ඨියකින් විමසා බැලීම ද අත්‍යඅවශ්‍යය. ඉස්ලාම් දහමටත්, මුහම්මද් (සල්) තුමාණන්ට අනගි එසේම අසමසම මෙහෙවරක් කල අබූතාලිෆ්ට ඉස්ලාම් දහම නම් ‘යහමඟ’ අවබෝධ කරදීමට ගත් සියළු උත්සාහයන් අසාර්ථක වුවත්, එදාපටන් ඉස්ලාමයටත්, මුහම්මද් (සල්) තුමාණන්ටත්, මුස්ලීම්වරුන්ටත් බොහෝ එදිරිවාදීකම් කල පිරිස් පසුකාලීනව කිසිදු වෙහෙසකකින් හා ආයාසයකින් තොරව ඉස්ලාම් දහම පිලිගෙන යහමඟ ගිය ආකාරයත් ඔවුන් ස්වර්ගය කෙරෙහි සුභාරංචි ලද ආකාරයත් ඉස්ලාමීය මූලාශ්‍රයන් තුලින් අප අසන්නෙමු දකින්නෙමු. නිදසුන් කිහිපයක් පවසනවා නම්,

  • උමර් (රලි) තුමා  – මුහම්මද් (සල්) තුමාණන් ඝාතනය කරන්නට කටයුතු කල කෙනෙකි.
  • අබූ සුෆියාන් – ඉස්ලාමයට එරෙහි දියත් වූ බොහෝ යුද්ධවල පෙරමුණ ගත් කෙනෙකි,
  • වග්ෂි – නබිතුමාණන් ඉතා ප්‍රියකල එසේම සමීපතම ඥාති ද වන හම්සා (රලි) තුමාණන් ඝාතනය කල කෙනෙකි,
  • හින්දා – වග්ෂි විසින් ඝාතනය කල හම්සා (රලි) තුමාගේ හඳවත කඩාගෙන එය හපා කෙල ගසන ලද කාන්තාවකි.
  • සුමාමා – මුස්ලීම්වරුන් සමූල වශයෙන් ඝාතනය කල වීරයෙකි.
  • ඉක්රිමා – ඉහතින් සදහන් අබූජහ්ලේ පුත්‍රයා මෙන්ම ඉස්ලාමයට එරෙහිව යුද ගණනාවක පෙරමුණ ගත් කෙනෙකි.
  • හාලිද් ඉබුනු වලීද් – උහුද් යුද්ධ මොහොතේ දී මුස්ලීම්වරුන්ට එරෙහිව දෙවන ප්‍රහාරයේ නායකත්වය ගෙන කටයුතු කල කෙනෙකි.
  • මීට අමතරව ඉස්ලාම් දහම පසුකාලීනව වැලදගත් අතිබහුතරය ඊට පෙර කාලවල ඉස්ලාමයට එරෙහිව යුද පෙරමුණු ගත් පිරිස්ය.

ඉහත ආකාරයට ආරම්භයේ පටන් ඉස්ලාම් දහමටත්, මුස්ලීම්වරුන්ටත් එරෙහිව එදිරිවාදිකම් කල පිරිස් පසුකාලීනව ඉස්ලාම් දහම වැලද ගෙන යහමඟ ලබන විට, එවැනි එදිරිවාදිකම්වල නිතර නොවුවා පමණක් නොව එවන් විරුද්ධවාදීන්ගෙන් නබිතුමාණන්ව ආරක්ෂා කිරීමට කටයුතු කල අබූතාලිෆ්ට ඉස්ලාම් දහම යහමඟ නොපෙන්වුයේ ඇයිද?. මෙය අද සෑම මුස්ලීම්වරයෙකුම විවෘත මනසින් විමසා බැලිය යුතුම කාරණයකි. අල්ලාහ් (දෙවි)ගේ අවසාන මෙන්ම ප්‍රියතම දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාට තම පියාගේ සහෝදරයා මෙන්ම ප්‍රියතම ඥා‍ති ලොකු තාත්තා ද වන අබූතාලිෆ් ‘යහමඟ’ ගැන්වීම කල හැක්කක් නොවන බව ශුද්ධ වූ කුර්ආනය පැවසූ ආකාරය අප ඉහතින් දුටුවෙමු. එය නැවත ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නේ නම්,

නබිවරයාණෙනි!, ඔබ සිතන කෙනෙකු ‘යහමඟ’ ගැන්වීම නුඹට කල නොහැක’

ශුද්ධ වූ කුර්ආනය 28-56

අල්ලාහ් (දෙවි) ඉහත වාක්‍ය තුලින් කිසිවකු යහමඟ ගැන්වීමේ අයිතිය හෝ ශක්තිය අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට ම නැතැයි පැවසූ පසු ඔබත්, මාත් එදා මෙදා තුර ලොව පහල වූ ආගමික විද්වතුන් හා විශාරදයින් කොතැන ද යන්න තීරණය කිරීම ඔබට තවදුරටත් අපහසු නොවනු ඇත. කොතරම් ආකර්ෂණශීලි ලෙස ආගමික දේශනා ඉදිරිපත් කලත් ඒ තුල ශුද්ධ වූ කුර්ආන් හා හදීස් පාඨයන් කොතරම් අන්තර්ගත කලත් ඒ කිසිවක් තුලින් කිසිවකුත් යහමඟ ගැනවීම කල නොහැක. එවැනි යමක් කරන්නට මේ දහම තුල හැකියාවක් තිබුණේ නම්, එදා නබිතුමාණන් අනිවර්‍යයෙන්ම අබූතාලිෆ්ව යහමඟ ගන්වන්නට තිබුණා නොවේද?. අද සමහරක් පිරිස් මේ දහම වරක් දෙවරක් දේශනා කොට ‘මේ පිරිසට කියලා වැඩක් නැහැ’ යයි අත්හැර දමයි. නමුත් ‘හිදායත්’ හෙවත් ‘යහමඟ’ අපේ අතේ නැත. අපට ඇත්තේ දහම දේශනා කිරීම පමණක් බව ඉහත කරුණූ තුලින් පැහැදිලි වනවා නොවේද?.

මේ සියල්ල විවෘත මනසින් නැවත නැවතත් විමසා බැලීමට ඔබට ආරාධනා කරමින් ද (ඉන්ෂාඅල්ලාහ්) මීළඟ ලිපියෙන් ‘අබූ තාලිබ්ට යහමඟ නොලැබීමට හේතුව කුමක්ද?’ යන්න විමසා බැලීමේ පොරොන්දුවෙන් ද මේ ලිපියට විරාමය තබමි.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *