රැකියාවක මහිමය – ඉස්ලාමීය විමසුමක්

0

මේ මිහිමත වෙසෙන මිනිසා දිනපතා දවස අරඹන්නේ අවශ්‍යතා රාශියක් පොදි බැදගෙනය. අතීතයේ ‘ආහාර’ නම් අවශ්‍යතාවයට පමණක් සීමා වූ මිනිසා අද වනවිට ‘ඇඳුම්’ හා ‘නිවාස’ යන අවශ්‍යතාවයන් පසුකරමින් තවත් අවශ්‍යතා රාශියකට මැදී වී ජීවත් වෙමින් සිටී. ඒ අනුව නූතන මිනිසා සම්ප්‍රදායක ආහාර, ඇදුම් හා නිවාස යන මූලික අවශ්‍යතාවයන් තුල තවදුරටත් කොටු කල නොහැක.

ලෞකික වශයෙන් මේ ආකාරයට අවශ්‍යතා රාශියකට මැදි වී ජීවිත් වන නූතන මිනිසා අධ්‍යාත්මික වශයෙන් ද  වගකීම් රාශියකට මැදිව ජීවත් වීම මාගේ මෙම මාතෘකාවට අනුව විමසා බැලිය යුතුම සාධකයකි. විශේෂයෙන් ඉස්ලාම් දහමේ ඉගෙන්වීම තුලින් විමසා බලන මෙම විෂය පිලිබදව කථා කිරීමේ දී ඉහතින් සදහන් ආකාරයට මනුෂ්‍යාගේ මූලික අවශ්‍යතාවයන් පිලිබදව අවධානය යොමු කිරීමට අමතරව ඉස්ලාමීය රාමුව තුල මුස්ලීම්වරයෙකුට පැවරෙන වගකීම ද විමසා බැලීම මුඛ්‍ය අවශ්‍යතාවයකි. මන්ද මනුෂ්‍යාගේ මෙලොව මෙන්ම පරලොව ජයග්‍රාහණය පිලිබදව කථා‍ කරන විට මේ අංශ දෙකම තීරණාත්මක වන බැවිණි.

ඉස්ලාම් දහම මුස්ලීම්වරයෙකු සම්බන්ධයෙන් මූලික වගකීම් 05 ක් අනිවාර්‍ය කරයි. එනම්,

  • තව්හීද් නම් ඒකදේව සංකල්පය පිලිගැනීම,
  • සලාත් නම් දෛනික වන්දනය ඉටුකිරීම,
  • වර්ෂයකට වරක් මාසයක් උපවාසයේ නිරතවීම,
  • තමන් උපයන ධනයෙන් ‘සකාත්’ නම් අනිවාර්‍ය බද්ධ ගෙවීම,
  • ජීවිතයේ එක්වරක් හෝ මක්කාවට ගොස් ‘හජ්’ නම් නැමදුම ඉටුකිරීම,

ඉහත මූලික වගකීම් 05 බුද්ධිමත් ලෙස විමසා බලන්නේ නම්, එහි පලමු කාරණා 03 හැරුණු විට අනිකුත් කාරණා දෙක සපුරාලීමට නම්, එහි තීරණාත්මක සාධකය ධනයයි. මේ අනුව වර්ථමාන මූස්ලීම්වරයෙකු තම ආහාර, ඇඳුම්, නිවාස… යන මූලික අවශ්‍යතාවය සපුරාගැනීමට පමණක් නොව ආගමික වශයෙන් පැවරෙන මූලික වගකීම වන ‘සකාත්’ හා ‘හජ් නැමදුම’ ඉටුකිරීමට ද මූලික අවශ්‍යතාවය  වන්නේ ‘ධනයයි’. මේ ධනය රැස්කිරීමේ උපාය මාර්ගය තුල ‘රැකියාව’ යන්න ඔහු මුස්ලීම් වුවත්, නොවුවවත් මනුෂ්‍යයාගේ මූලික අවශ්‍යතාවයකි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ සූරා බනූ ඉස්රාඊල් නම් පරිච්චේදයේ 12 වන වාක්‍යයෙන් හා සූරා ජුම්මා පරිච්චේදයේ 10 වන වාක්‍යයෙන් ඉතා පැහැදිළිව මෙසේ අවදාරණය කරයි.

දහවල සහ රාත්‍රිය අපි සංඥාවන් දෙකක් ලෙස කළෙමු. තවද රාත්‍රියේ සංඥාව අපි මකා දැමීම, නුඹලාගේ රබ්(පරමාධිපති)ගේ වරප්‍රසාද (ධනය) නුඹලා සොයා ගැනීමටත්, තවද නුඹලා වර්ෂ ගණනද සංඛ්‍යාවද දැනගැනීමටත් අපි දහවල් කාලයේ සංඥාව දීප්තිය බවට පත් කළෙමු…

 ශූද්ධ වූ කුර්ආනය 17-12

සලාතය අවසන් වූ පසු මහපොළොවේ විසිර ගොස් අල්ලාහ්ගේ සම්පත් (ධනය) සොයන්න. අල්ලාහ්ව අධික ලෙස සිහිපත් කරන්න. ඔබලා ජයග්‍රාහකයින් වනු ඇත.

ශුද්ධ වූ කුර්ආනය 62-10

ඉහත වාක්‍ය දෙක හොදින් විමසා බලන්නේ නම් ධනය රැස්කිරීම පිලිබදව ඉස්ලාම් දහම කොතරම් දුරකට මිනිසා උනන්දු කරනවාද? යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. නූතන ලොව තුල වෙසෙන මිනිසාට කිසිවක් ඉබේ ලැබෙන්නේ නැත. ඔහු ජීවත් වීම සඳහා නොඑසේ නම් ඔහුගේ අවශ්‍යතාවයන් සපුරාගැනීම සදහා කිසියම් ආකාරයකට ඔහුගේ මනස මෙහෙයවීම අත්‍යඅවශ්‍ය වේ. එනම්, කිසියම් නිෂ්පාදනයක් කිරීමට හෝ ඒ සදහා සහයවීමක් ලෙස මැදිහත්වීම අත්‍යඅවශ්‍ය වේ. මෙය අප සරලව ‘රැකියාව’ ලෙස හදුන්වමු. මීට අමතරව ජීවත් වීමේ තවත් උපක්‍රමයක් ද ඇත. ඒ පිලිබදව චවනයකින් දෙකකින් හෝ මෙහි පැවසීම සුදුසු යයි හැ‍ගේ. එනම්, ඒ රැකියා කරන පිරිස මත පරපෝෂිතයන් ලෙස හිඳ ඔවුන්ගෙන් උකහා ගෙන ජීවත්වීමය. මෙය ඉතා සරලව අප ‘සිඟමන’ ලෙස හදුන්වන්නෙමු. මේ දෙකොට්ඨාශයම නූතන ලෝකයේ අප අවට පවා දක්නට ඇත. රැකියාවක නිරතවන්නා ආත්ම ගරුත්වයක් ඇතුව තම මූලික අවශ්‍යතාවයන් හා මූලික වගකීම් ඉටුකරමින් ජීවත්වන විට ‘සිඟන්නා’ තම මූලික අවශ්‍යතාවය ඉටුකර දෙනතුරු බලාහිඳී. මෙම ගුණාංගය ඉස්ලාම් දහම දැඩිව පිලිකුල් කරන අතර ඒ තුලින් ද උනන්දු කරන්නේ මනුෂ්‍යයෙකු වශයෙන් රැකියාවක් කිරීමේ අවශ්‍යතාවයයි. මෙය මුහම්මද් (සල්) තුමාණන්ගේ ශුද්ධ වූ නබිවදනකින් තවදුරටත් පැහැදිලි කරන්නේ නම්,

වරක් මුහම්මද් (සල්) තුමාණන් පැවසූ හදීසයක් ‘අහමද්’ නම් හදීස් මූලාශ්‍රයේ මෙසේ සදහන් වේ.

ඔබ කිසිවකුගෙන් කිසිවක් සිඟමන් යැදීමෙන් වලකින්න. ඔබ ඔබේ වාහනයේ නැඟ සිටින විට ඔබගේ කසය (සතුන් හසුරුවන කෙවිට) බිම වැටුනේ නම්, එය අහුලා ගැනීමට පවා කිසිවකුගෙන් පිහිටක් නොපතන්න.

මූලාශ්‍ර ග්‍රන්ථය – අහ්මද්

ඉහත හදීසයේ පමණක් නොව තවත් බොහෝ නබිවදන් තුල මෙම සිඟමන් යැදීමේ පලවිපාක හා එයින් වැලකීම පිණිස වූ අවවාද දක්නට ලැබෙන අතර ඒ අතුරින් ‘අඛණ්ඩව සිඟමන් යදින්නන් පරලොවේ දී මුහුණේ මාංශ නොමැතිව නැඟිට්ටු වනු ලබයි’ යන දැඩි අවවාදය පමණක් මෙතැනදී ඔබේ විමසුමට තබමින් මා මීලඟට යොමු වන්නේ සිඟමන් ‍නොගෙන රැකියාවක් කිරීමේ මහිමය හා වැදගත්කම කියාපාන ශුද්ධ වූ නබිවදන් දෙකක් ඔබේ විමසුමට තැබීමටය.

අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් මෙසේ පවසන ලදී. ‘ඉහලින් ඇති (දෙනු ලබන) අත, පහලින් ඇති (ලබාගන්නාගේ) අතට වඩා උසස් වන්නේය. නුඹ සමීපතම ඥාතීන්ගෙන් පරිත්‍යාග (සදකා) කරන්න අරඹත්වා !, තම අවශ්‍යතාවයට අමතරව ඇති දෑ පරිත්‍යාග (සදකා) කිරීම ය, උසස්ම පරිත්‍යාගය වන්නේ. කවුරුන් අන් අය හමුවේ දෑත් දිගු කොට සිඟමන් නොඉල්ලා ආත්මගරුත්වයක් ඇතුව ජීවත් වන්නේද, ඔහු අල්ලාහ් (දෙවි) ද ගෞරවයට පාත්‍ර කරන්නේය…

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

තවත් අවස්ථාවක…

අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් මෙසේ පවසන ලදී. ‘නුඹලා අතුරින් කෙනෙකු කඹයක් රැගෙන උදෑසනම කැලෑවට ගොස් කඳු නැඟ දර කපා (එය ගෙනවිත්) අලෙවි කර එයින් තමන්ගේ අවශ්‍යතාවය සපුරාගෙන අන්අයට ද එයින් කොටසක් පරිත්‍යාග (සදකා) කිරීම මනුෂ්‍යයන් හමුවේ සිඟමන් යැදීමට වඩා උසස් ගුණාංගයක් වන්නේය.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත නබි වදන් දෙක හොදින් විමසා බලන්නේ නම් රැකියාවක් කිරීම කොතරම් උසස් ගුණාංගයක් ලෙස ඉස්ලාම් සලකනවාද යන්න තේරුම් ගැනීම තවදුරටත් අපහසු නොවේ. මනුෂ්‍යාගේ ආත්මගරුත්වය ඉතා වැදගත් සාධකයක් ලෙස සලකන ඉස්ලාම් දහම ඒ පිලිබදව කොතරම් සැලකිලීමත් වී තිබෙනවාද යන්න ඉහත පලමු හදීසයෙන් මනාව පැහැදිලි වන අතර, ‘කැලෑවට ගොස් කඳු නැඟ දර කපා’ යන ප්‍රකාශයෙන් සාධාර්ණව ක්‍රියා කොට අතිදුෂ්කර ආකාරයට හෝ ධනය ඉපයීමෙන් ජීවත් වීම සිඟමන් යැදීමට වඩා උතුම් පියවරක් ලෙස පැවසීම තුල යහපත් රැකියාවක් කර ජීවත් වීමේ අවශ්‍යතාවය හා මහිමය පැහැදිලි වේ. පරිපෝෂිතයෙකු මෙන් තවත් කෙනෙකු මත නොයැපී ආත්මගරුත්වය රැකෙන ලෙස  යහපත් හා සාධාර්ණ ලෙස ධනය උපයා ඒ තුලින් ඉස්ලාම් පවසන ‘සදකාව’ නම් උතුම් වූ දානමය පිංකමට දායකවීමට උනන්දු කරවන ඉහත හදීසයන්ට අමතරව තමන් විසින් දුක්මහන්සි වී උපයන ධනයෙහි වටිනාකම හා මහිමය පහත හදීස් දෙක තුලින් තවදුරටත් අවබෝධ කරගත හැක.

අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් මෙසේ පවසන ලදී. එනම්, ‘කිසිවකු තම දෑතින් ධනය උපයා එයින් ලබාගන්නා ආහාරවලට වඩා උසස් වු ආහාරයක් කිසිවිටෙක ඔහුට අනුභව කල නොහැක.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී. ‘කිසිවකු යහපත් හා සාධාර්ණ ලෙස ධනය උපයා එයින් රටඉදි තරමක ප්‍රමාණයක් හෝ සදකා (නම් පරිත්‍යාගය) කරන්නේ ද එය අල්ලාහ් (දෙවි) තම දකුණතින්  පිලිගෙන පසුව නුඹලා, නුඹලාගේ අශ්ව පැටවුන් හැඩිදැඩි කරන්නා‍ක් මෙන් (නුඹලා කල) එම කුසල ද කඳුමෙන් උස් වනතුරු වර්ධනය කරන්නේය.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි

මෙසේ ධනය ඉපයීමේ අවශ්‍යතාවය හා එසේ උපයන ධනයෙහි මහිමය ඉස්ලාම් දහම මේ ආකාරයට කියාපෑම තුල අවදාරනය කරන්නේ යහපත් රැකියාවක අනිවාර්‍ය අවශ්‍යතාවය නොවේද?. මෙහි විශේෂයෙන් කිවයුතු කාරණයක් වන්නේ මීට වසර 1400 කට පෙර පැවති සරල සමාජයක් තුල ප්‍රකාශ වූ මෙම ඉස්ලාමීය ඉගෙන්වීමන් වර්තමාන සංකීර්ණ සමාජයට ද කොතරම් හොදින් ගැලපෙනවාද යන්න ලෝක ප්‍රජාව බුද්ධිමත්ව විමසා බැලීම කාලීන අවශ්‍යතාවයක් යන්නයි. මෙතැනදී සුළු වශයෙන් හෝ කථා කලයුතු තවත් පාර්ශවයක් ද ඇත. ඒ ධනය රැස් කිරීම තුලම තම දිවිය ගෙවාදමන මසුරුකමින් පිරි පිරිසය. මෙවැනි පිරිස ද ඉහතින් සදහන් ඉස්ලාම් පවසන ‘සදකාව’ නම්, අසම සම ආදර්ශය පිලිබදව නැවත නැවතත් විමසා බැලිය යුතුය. මේ ආකාරයට උපයන සියල්ල දාන මාන කරන්නට ඉදිරිපත් වන පිරිස, කිසිවක් නොඋපයා පරපෝෂිත ලෙස ජීවත් වන්නට අදහස් කරන පිරිස හා ධනය රැස්කිරීමේ අවශ්‍යතාවය නිසි ලෙස අවබෝධ කර නොගෙන ජීවත් වන පිරිස පහත හදීසය පිලිබදව ද විමසා බැලිය යුතුව ඇත. එනම්,

මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී. ‘ඔබෙන් පසුව ඔබගේ දූදරුවන් අනුන්හට අත් නොපා ජීවත්වීමට මං සලසා දී ඔවුන්ට වඩා හොඳ අනාගතයක්ට මඟ පාදා මියයෑම ඉතා‍ අගනේය.’

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

නුතන ලොව තුල මනුෂ්‍යාගේ මූලික අවශ්‍යතාවය සපුරා ගැනීමේ ක්‍රියාවලිය තුල රැකියාව යන්න තීරණාත්මක මෙන්ම අත්‍යඅවශ්‍ය සාධකයක් යන්නෙහි කිසිවකුටත් විවාදයක් පැවතිය නොහැක. එම මූලික අවශ්‍යතාවය සපුරාගත් මනුෂ්‍යා යහපත් මුස්ලීම්වරයෙකු ලෙස ජීවත්වීමේ දී  රැකියාව මූලික අවශ්‍යතාවයක් යන්න මෙතෙක් ඉදිරිපත් කල කරුණු තුලින් තවදුරටත් අවබෝධ වියයුතුය. එය සාරාංශ කොට ඔබේ මතකයට නැවත ගෙන එන්නේ නම්,

  • ඉස්ලාම් ප්‍රතික්ෂේප කරන අනුන් මත යැපෙන නොඑසේ නම් පරපෝෂිත  ‘සිඟමන්’ සංකල්පයෙන් මුස්ලීම්වරයෙකු මිදීමට නම් ඔහුට රැකියාව අත්‍යඅවශ්‍ය සාධකයකි,
  • ඉස්ලාමීය මූලික වගකීම් අතුරින් එකක් වන ‘සකාතය’ ඉටුකිරීම සදහා ද රැකියාව යන්න අත්‍යඅවශ්‍ය සාධකයකි.
  • ඉස්ලාම් පවසන ‘හජ්’ නැමදුම ඉටුකිරීම සදහා ද ධනය හා එය රැස්කිරීමේ මාර්ගය වන රැකියාව අත්‍යඅවශ්‍ය සාධකයකි.
  • ඉස්ලාම් නිරන්තරයෙන් උනන්දු කරන ‘සදකාව’ නම් උසස් දානය සදහා ද ධනය හා එය රැස්කිරීමේ මාර්ගය වන රැකියාව අත්‍යඅවශ්‍ය සාධකයකි.
  • තම දු දරුවන් අනුන්ට අතනොපා ජීවත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමේ දී ද මේ ධනය හා එය රැස්කිරීමේ මාර්ගය වන රැකියාව අත්‍යඅවශ්‍ය සාධකයකි.

එසේනම් මේ සියල්ලෙන් බැහැර එනම්, උපයාගත් දෙයින් මිස දානයක්, සකාතයක් නොදෙන හජ් වන්දනයක් ඉටු කිරීමට උනන්දු නොවන එසේම සිඟමන් තුලින් අනුන්මත යැපෙන එපමණක් නොව තම දූදරුවන් සමාජය තුල අත පා ජීවත් වන පරිසරය උදා කර දී යන පුද්ගලයා සැබෑ මුස්ලීම්වරයෙකු විය හැකිද?. මේ සියල්ල තුල ‘රැකියාව’ යන්න ඉස්ලාම් මුස්ලීම්වරුන් කෙරෙහි දැඩිව අවධාරණය කරන වර්ථමාන ලොවේ මූලික අවශ්‍යතාවයක් නොවේද?. මේ මූලික අවශ්‍යතාවය තවදුරටත් අවදාරණය කරන පහත නබිවදන අවසාන වශයෙන් ඔබේ බුද්ධිමත් විමසුමට තබන්නට කැමැත්තෙමි.

මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී, ‘සාර්ථක හා යහපත් දිවියක් මනුෂ්‍යයෙකු හට උදාවීමට කාරණා 04 ක් සම්පූර්ණ වීම අත්‍යඅවශ්‍ය වේ. එනම්,

  • යහපත් බිරිඳක්,
  • විශාල (සැප පහසු) නිවසක්,
  • යහපත් අසැල්වාසියෙක්,
  • සැප පහසු වාහනයක්,

මුලාශ්‍ර ග්‍රන්ථය – ඉබුනුහිබ්බාන්

මෙම හදීසය තුල ඉහතින් මෙතෙක් සාකච්චා කල කරුණු සියල්ල අන්තර්ගතව තිබෙනවා යන්න මාගේ පිලිගැනීමයි. එපමණක් නොව ධනය හා එය රැස්කිරීමේ මාර්ගය වන ‘රැකියාව’ මුස්ලීම්වරයෙකුට පමණක් නොව සමස්ථ මිනිස් සමාජයටම කොතරම් වැදගත් සාධකයක් වනවාද යන්නත්, එය ඉස්ලාම් දහම කොතරම් දුරකට උනන්දු කරනවාද යන්නත් මෙතෙක් සාකාච්චා කල කරුණු තුලින් ඔබට පැහැදිලි වන්නට ඇතැයි සිතමි. එසේනම් එවන් වූ සාර්ථක හා පරිපූර්ණ දිවියක් සදහා අපගේ මනස ද විවෘත කරත්වා !, යන ප්‍රාර්ථනය අල්ලාහ් (දෙවි) හමුවේ තබමින් මෙය අවසන් කරන්නේ එදා එනම්, මීට වසර 1400 කට පෙර මුහම්මද් (සල්) තුමාණන්ගේ සමකාලීන අනුගාමිකයෙකු හෙවත් සහාභිවරයෙකු වන ඉබුනු මාලික් (රලි) තුමා කල ප්‍රාර්ථනාවකිනි. එනම්,

යා අල්ලාහ් !, නුඹගේ අණ පරිදි මේ මිහිතලයේ නන් දෙසටම පැතිර යමි. නුඹගේ දායාදයන් මට ලබාදෙත්වා !, නුඹ දායාද කරන්නන් අතරින් ශ්‍රේෂ්ඨවන්තයාය !

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *