රිසානා නාෆීක්ගේ මරණය හමුවේ කිඹුල් කඳුළු

19

ඊයේ දිනයේ සවූදි අරාබියේ මරණ දඬුවමට ලක් වූ රිසානා රෆීක් අද අප රටේ සියළු මාධ්‍යයන් හි උණූසුම් පුවතක් බවට පත්ව ඇත. සංවේදී කාගෙත් සිතට කම්පනයක් ගෙන දෙන මෙම මරණ දඬුවමේ පුවත පිලිබදව මෙලෙස ශ්‍රී ලාංකීය මාධ්‍යයන් වාර්ථා කිරීම පිලිබදව ‘යහමඟ’ ට විරුද්ධ මතයක් නැත. එපමණක් නොව රටේ සුළුතරයක් වන මුස්ලීම් ප්‍රජාව නියෝජනය කරන මේ රිසානා රෆීක් නිදහස් කර ගැනීම වෙනුවෙන් රටේ ජනාධිපති තුමාගේ පටන් බොහෝ පාර්ශවයන්ගේ අවංකව මැදිහත් වීම පිලිබදව අපට ඇත්තේ ඉමහත් සතුටකි. එම මැදිහත් වීම රටේ සුළුතරය වන අපට යහපත් අනාගතයක් පිලිබදව බලාපොරොත්තු ඇති කර වන්නකි. මේ හේතුව නිසා ප්‍රථමයෙන් රිසානා රෆීක් නිදහස් කර ගැනීමේ සටනට මැදි වූ ඒ සියළු පාර්ශවයන්ට ‘යහමඟ’ මාගේ ගෞරවණීය ස්තූතිය පල කරමි.

ඒ සමඟ ම මුස්ලීම් ප්‍රජාවගේ අවදානයට මෙහිදී ගෙන ආයුතු වැදගත් කාරණා කිහිපයක් ද ඇත. ඒ අතුරින් ප්‍රධාන ම කාරණ නම්, රිසානා රෆීක් සහෝදරියට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සදහා ඇය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ චෝදනා නිවරුදි ද? සැබෑවටම ඇය වරදකාරිය ද? එම දඬුවම ක්‍රියාත්මක කල ආකාරය සාධාර්ණ ද? වැනි කාරණා සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයට වාද විවාද පැවතිය හැක. මා ‍එසේ පවසන්නට හේතුව අප රටේ සමහරක් මාධ්‍යයන් අද ඉහත සිද්ධිය වාර්ථා කිරීමේ දී එම නඩු තීන්දුව නිවරුදි නොවන බවත්, ඇය නිර්දෝෂි බවත් ප්‍රකාශ කරමින් කරුණූ ඉදිරිපත් කර තිබීමය. නමුත් ඇය සැබෑවටම වරදකාරියක් නම් ඇය සම්බන්ධයෙන් ක්‍රියත්මක වූ දඬුවම විවේදනය කිරීමට හෝ අභියෝගයට ලක් කිරීමට මුස්ලීම්වරයෙකුට අවසර නැත. මන්ද ‘මරණ දඬුවම’ යන්න (කොන්දේසි සහිතව) ඉස්ලාම් අනුමත කරන නීතියකි. එය අභියෝගයට ලක් කිරීමට හෝ විවේචනය කිරීමට කිසිදු මුස්ලීම්වරයෙකුට අවසර නැත. (මේ පිලිබදව ඉදිරි දින කිහිපය තුල සවිස්තරව මෙම අඩවිය තුල කරුණු සාකච්චා කිරීමට අදහස් කරමි) මා මෙසේ එම කාරණය මුස්ලීම් සමාජයට දැඩිව අවධාරණය කිරීමට ප්‍රධාන හේතු දෙකක් ඇත. එනම්,

  • පලමු හේතුව – මරණ දඬුවම පිලිබදව අත්දැකීම නොමැති ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාව වන අපට මෙම රිසානා සහෝදරියගේ මරණ දඬුවම තරමක් සංවේදී සිදුවීමකි. ඒ තුල ඉස්ලාමීය ඉගෙන්වීමන් පසෙකලා හැඟීමන්ට වහල් වී ආවේගශීලි ලෙස ප්‍රකාශ නිකුත් කිරීමෙන් අප වැලකී සිටිය යුතුය.
  • දෙවන හේතුව – ඊයේ වනතුරු ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාව හා ඉස්ලාම් දහම ගරහමින් සිටී බොහෝ බ්ලොග් ඕපාදූප අඩවීන් අද වනවිට රිසානා රෆීක් සහෝදරිය වෙනුවෙන් කිඹූල් කඳුළු සලන ආකාරයක් දක්නට ඇත. බොරදියේ මාළු බාන්නට සැරසෙන මේ පිරිසගේ කුමන්ත්‍රණ හමුවේ බුද්ධිමත් ලෙස ක්‍රියා කිරීම අපගේ වගකීම වියයුතුය.

මුස්ලීම් සමාජයේ අවදානයට ඉහත කාරණය ගෙන එන ගමන් ඉහත රිසානා රෆීක් සහෝදරියගේ මරණ දඬුවම අවස්ථාවක් කරගෙන ඉස්ලාම් දහම හා ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාව විවේචනය කිරීමට පිඹූරුපත් සකසන පිරිසගේ අවදානයට කෙටියෙන් හෝ සදහන් කලයුතු කාරණයක් ද ඇත. එනම්, අද ඉස්ලාම් පවසන ‘මරණීය දඬුවම්’ නීතිය විවේචනය කරන මුස්ලීම් නොවන ඔබ අද ‘අප රට තුලත් මරණ දඬුවම ක්‍රියාත්මක කලයුතුයි!’ යන තැනට යොමු වෙමින් සිටින බව අමතක නොකරන්න. එසේම අප රට තුල නිළ වශයෙන් මරණ දඬුවම සිදු නොවුවත් නිළ නොවන ලෙස මරණ දඬුවම ක්‍රියාවට නැංවෙන බව ද අමතක නොකරන්න. එම සිදුවීමන් බහුතරයක් ජනතාව අනුමත කරන බවද අමතක නොකරන්න. එපමණක් නොව අප රට තුල දිනපතා සිදුවන ළමා හා ස්ත්‍රී දූෂණ, ඝාතන හමුවේ ඔවුන් සදහා මරණ දඬුවම ක්‍රියාත්ම කලයුතු බව බහුතර ජනයා අපේක්ෂා කරන බවද අමතක නොකරන්න. එම තත්වය අවබෝධ කර ගැනීම පිණිස පසුගිය දින කිහිපය තුල අප රටේ වාර්ථාව වූ පහත පුවත් මොහොතක් විමසා බලන්න.

  • ළමා හිංසනයට එරෙහිව ජාතික දිනය – විමසුමක්
  • අවුරුදු 84ක මහලු කතකුත් දූෂණය කරයි
  • ස්ත්‍රී දූෂක, මිනීමරු සම්පත් චන්ද්‍රපුෂ්පට නැවත සභාපති වරම්
  • සංගීත සංදර්ශනය බලා යමින් සිටි නිළියට හතර දෙනකුගෙන් අතවර
  • අතවර වලින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්වේ
  • මසකට එක බැගින් විදේශීය කතුන් දූෂණයට
  • තවත් විදෙස් කතක් දුම්රියේදී අතවරයට
  • පාසල් දැරියක දූෂණය කළ කෝටිපති සල්ලාලයා
  • ස්ත්‍රී දූෂක සාරුවා නැවත සභාපති තනතුරේ වැඩ බාරගනී
  • අකුරැස්සේ ස්ත්‍රී දුෂක සභාපති
  • දැරිය දූෂණය කල අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති අත් අඩංගුවට
  • දැරිය දූෂණය කල ප්‍රාදේශීය සභා සභාපතිට සැප වාට්ටුවක්

අවසාන වශයෙන් මුස්ලීම් නොවන සහෝදර ජනතාවගෙන් විමසන්නට ඇත්තේ ඉහත ආකාරයට දූෂණයට හෝ ඝාතනයට ලක්වන්නේ ඔබේ ම දරුවා, සහෝදරිය, නම් දැන් එම අපරාධකරුවන් සම්බන්ධයෙන් ඔබේ විනිශ්චය කුමක් ද? යන්නයි. එසේම මුස්ලීම් ජනතාවගෙන් ද අවසාන වශයෙන් විමසන්නට ඇත්තේ රිසානා රෆීක් සහෝදරියගේ මරණය තුල ඔබ හැඟීමන්ට වහල් වී ක්‍රියා කොට ඉස්ලාම් දහමත්, මුස්ලීම් සමාජයත් ගරහන්න පිඹූරුපත් සකසන පිරිසට මේ තුල ඒ සදහා අවස්ථාවන් සලසා දෙනවාද? නැද්ද? යන්නයි.

බුද්ධිමත් තීන්දුව ඔබට භාරයි!,

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 19 යි.

  1. amaan 2013-01-20 at 15:39

    මෙහි මොහොමඩ් කියා අදහස් ප්‍රකාශ කරන්නා සැබෑවටම මොහොමඩ් ද.

  2. සුදේශ් ජයන්ත (ජෙද්ද සිට) 2013-01-18 at 21:07

    මෙය මියගිය ළදරුවාගේ සහ මරණ යට ලක් වූ සොයුරියගේ මෙන්ම ස්ලාම් හෝ මුස්ලිමුන් ගේ ප්‍රශ්නයක් ලෙස නොවේ මා දකින්නේ. මුල සිට අවසානය දක්වා සහ ඒ අතර මේ සම්බන්දයෙන් ක්‍රියා කල සමහර පුද්ගලයන්ගේ ආගමික මෙන්ම නීතිමය අනවභෝධය සහ දරදඩු කම නිසා සිදුවූ අවාසනාවන්ත තත්වයකි. මෙවැනි පුද්ගලය්න් සෑම ආගමක මෙන්ම සෑම සමාජයකම දැකිය හැක. මියගිය දැරිය ගේ සහ සොයුරියගේ පරලොව ජිවිත වලට සැනසීම ලැබේවා ! .ඉහත කාරණයේදී වැරදි ලෙස ක්‍රියාකළ අය “විනිශ්චය දිනයේදී” දෙවියන් හමුවේ ප්‍රතිපල ලබාගැනීම ගැන බිය වෙත්වා !…… මොකද, මෙය දැන් ජීවත්ව සිටින ඔවුන්ගේ ප්‍රශ්නයකි.

  3. mohamed 2013-01-14 at 20:28

    ඔබ මාගේ ප්‍රකාශය අවබෝධ කරගෙන නැත. මා කියා සිටියේ මේ සිදුවීමත් සමග මතු වූ යම් ඍජු සමාජ කතිකාවක් ගැනය. එය මෙම ලිපිය තුලින් විග්‍රහ වී නැත. ඔබ සෞදි අරාබියාව සම්බන්ධයෙන් කුමක් පැවසුවද ඔබගේ ඒ ස්ථාවරය මෙහි ඔප්පු කරන්නට සමත් වී නැත. එය මෙහි පලවී ඇති පාඨකයන්ගේ ප්‍රතිචාර වලින් ඔබටම තේරුම් ගත හැක. ඔබ මුලු අවධානයම යොදවා ඇත්තේ මේ පුවතත් සමගම ඉස්ලාමයට එල්ල විය හැකි චෝදනාව ගැන පමණි.

    ඔබගේ ලින්කය තුලින් සමස්ථ සිද්ධිය ගැන පූර්ණ නිගමනයට ඒමට නොහැක. පලමු ප්‍රකාශයේ සඳහන් වන ආකාරයට ඇය විසින් උසාවියේ පැහැදිලි කල බවක් කීවද පසුව එය පොලිසීයේ බලපෑම මත බව පාපෝච්චාරණය කල බවක්ද පැවසේ. දෙවන කාරනාව ඇඟිලි සලකුණු බෙල්ලේ සටහන් වී තිබී නිසාම චේතනාවෙන් මරණය සිදු කලා යැයි කීම උගහටය. මන්ද එය මේ ලින්කයේන් සඳහන් වන ආකාරයටද විය හැක. කල යුතුව තිබුනේ පශ්චාත් මරණ පරික්ෂණයක් අනිවාර්යයෙන් සිදු කිරීමය.

  4. mohamed 2013-01-14 at 10:15

    @අබූ අර්ශද්
    ඔබගේ වරද නිවැරදි කල හැක්කේ සිදුවීම අලලා ගවේෂණයක් සිදු කොට නැවත ලිපියක් පල කිරීම් තුලින් පමණි. මා පැහැදිලිවම කියා ඇත්තේ මේ සිද්ධියත් සමග මතු වූ සමාජ කතිකාව වූයේ ඉස්ලාමය හෝ ලංකාවේ අපරාධ ගැන නොව සෞදි අරාබියාව හරිද වැරදිද යන්න පමණි. ඔබ කල යුතුව තිබුනේ ඉස්ලාමය හා සෞදි අරාබියාව යන දෙකම බේරා ගැනීම නොව සැබෑ ලෙසින්ම දෙකම සංසන්දනය කිරීමයි.

    ප.ලි-යහමග ගැන මට කිසිඳු විවේචනයක් නැත. විවේචනය ඇත්තේ ඇතැම්විට ඔබ දරන මතවාදය සමග පමණි. මෙය ඕනෑම කෙනෙකු හෝ ඕනෑම වෙබ් අඩවියකට පොදු වන අතර එවන් එකක් දුටු විට එහි ගොස් කමෙන්ට්ස් කිරීම මාගේ සිරිතයි.

    • අබූ අර්ශද් 2013-01-14 at 15:34

      නැවතත් ඔබට පවසන්නට ඇත්තේ යහමඟ කිසිදු විටෙක රටක් හෝ ජන සමාජයක් නියෝජනය නොකරන බවත් ඉස්ලාම් දහම වෙනුවෙන් පමණක් පෙනීසිටින බවත්ය. ඔබ චෝදනා කරන ආකාරයේ වරදක් මා දැනුවත්ව මෙම ලිපිය තුල සිදුවී ඇතැයි මා නොපිලිගනිමි. නිදසුන් කිහිපයක් උපුටා දක්වනනේ නම් සලකා බැලිය හැක. අනික පහත link වෙත ඔබේ අවදානය යොමු වන්නේ නම් ඔබ දරණ මතයේ කිසියම් වෙනසක් වනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි
      Sri Lankan Maid Sentenced to Death for Murdering Infant

  5. nauzermohammed 2013-01-13 at 19:03

    හොඳ ලිපියක් ස්තුතියි .

  6. Kasun 2013-01-12 at 17:54

    ඔබගේ සිතුම් පැතුම් තවමත් ඉතා ප්‍රාථමික යි . කෙනෙක් දැන දැන වැරද්දක් කරයි නම් ඔහුට හෝ ඇයට දඩුවම් ලබා දිය යුතුයි . Rizana Nafeek අතින් සිදු වුයේ දැන කල වරදක් නොවේ . මෙම නඩුව නිසි ලෙස විභාග කොට නොමෙත . ෂරිය නිතිය අනුව අවු : 18 ට අඩු අයට මරණ දඩුවම ලබා දෙන්නේ නැත . සිද්දිය වනවිට ඇය අවු: 17 මාස 4 කි . එසේනම් නිතිය ක්‍රියාත්මක වුයේ කෙසේද ?

    • අබූ අර්ශද් 2013-01-13 at 19:53

      පලමුවෙන් සදහන් කලයුතු කාරණය රිසානා රෆික් සහෝදරිය‍ට ලබාදුන් නඩු තීන්දුව හරිද? වැරදිද? යන්න එය නිසි ආකාරව විභාග වුනාද? යන්න පිලිබදව මා මගේ ලිපියේ තීන්දුවක් දී නැත. එම නඩු තීන්දුව නිවරුදි නම් එතැනින් එහාට සිදුවූ කරුණූ පිලිබදව තමා මා කථා කොට ඇත්තේ එමනිසා ලිපිය නැවතත් කියවා බලන්න. කෙසේ වෙතත් ඔබ පවසන තර්කය ද නිවරුදි නොවන බව Sri Lankan Maid Sentenced to Death for Murdering Infant යන ලිපිය කියවන්නේ නම් අවබෝධ වනු ඇත. එසේම වයස පිලිබදව ඔබ ගෙන එන තර්කය මොහොතකට සත්‍යයි උපකල්පනය කලත් ඇය බාලවයස් දැරියක් ලෙස නොව විදේශගතව ඇත්තේ. අනික ඔබේ පවසන ආකාරයට ශරීයා නීතිය ක්‍රියාත්මක කිරීමට වයස අවුරුදු 18 සම්පූර්ණ වියයුතු යන්න ඔබට ලැබී ඇති වැරදි තොරතුරකි.

  7. යථාර්තය 2013-01-12 at 11:52

    ඒ තුල ඉස්ලාමීය ඉගෙන්වීමන් පසෙකලා හැඟීමන්ට වහල් වී ආවේගශීලි ලෙස ප්‍රකාශ නිකුත් කිරීමෙන් අප වැලකී සිටිය යුතුය.
    හැකිනම් පැහැදිලි කරන්න ඇයි ඔබ මෙලෙස මේ ආකාරයෙන් මේවා විවේචනය නොකළ යුතු යැයි පවසන්නේ කියා?
    එය දේව නීතියක් ලෙසම ඔබ පිලිගන්න යැයි එයින් අදහස් කරනවා නේ ද?මෙලෙසම හරි හෝ වැරදි වුවත් එය පිළිගත යුතු බවක් ඔබ කියනවා නේද?

  8. mohamed 2013-01-12 at 10:16

    අන්තවාදීන් විසින් හෙලන කිඹුල් කඳුලුවල කිසිඳු විශේෂත්වයක් නොමැති බව මුස්ලිම්, මුස්ලිම් නොවන පමණක් නොව කඳුලු හෙලන ඔවුන් පවා දනිති. ලිපියේ පහතින්ම සඳහන් වන අපරාධවලට එරෙහිව දැඩි නීතී සැකසිය යුතු බවට සමාජ සංවාදයන් ආරම්භ වූයේ අද ඊයේ පටන් නොවේ. කලින්මය. නමුත් රිසානාගේ සිද්ධියත් සමග ඇරඹුනු සමාජ කතිකාව වන්නේ ඇයට සාධාරණය ඉෂ්ඨ වුවාද? සෞදි අරාබියාවේ ක්‍රියාත්මක වන්නේ සැබෑ ඉස්ලාමීය ‘ෂරීයා’ වද? යන්නයි. ලිපියේ ඉස්ලාමය ගැන සඳහන් වී තිබුනත් මේ කරුණ අරභයා සෞදි අරාබියාවේ ක්‍රියා පිලිවෙත ගැන කිසිඳු දෙයක් සඳහන් වී නොතිබීම ලේඛකයා සියුම්ව ඇඟ බේරා ගැනීමේ ප්‍රයත්නයක යෙදෙන බවක් පැහැදිලි වේ. මෙය වඩාත් තහවුරු වන්නේ මීට කලින් සෞදි අරාබියාව ගැන පලකල ලිපිය, මා විසින් දමන ලද ප්‍රතිචාරයෙන් අනතුරුව රතුපාටින් වරහන්කර පෙන්වා නිවැරදි කිරීම තුලින්ය. සමාජ මෙහෙවරක යෙදෙන්නන් විසින් කලයුත්තේ මෙවන් කාලීන සිදුවීම මුල්කරගෙන ‘අරකටත් නැති-මේකටත් නැති’ ලිපි පලකිරීම නොව මේ සම්බන්ධව සැබෑ තොරතුරු සියුම්ව ගවේෂණාත්මකව හා විග්‍රහාත්මකව පලකිරීමයි. එසේ නොවන අවස්ථාවලදී අපට ඒමට සිදුවන සාධාරණ නිගමනය වන්නේ ලේඛකයාගේ හා සෞදි අරාබියාවේ මතවාදයන් එකහා සමපාතවන බවයි. අනික මෙවන් නිහඬතාවයන් අපට විශේෂයෙන්ම මධ්‍යස්ත මතදාරී මුස්ලිම්වරුන්ට අඟවන්නේ අරගල දෙකක් එකවර සිදුකල යුතු බවයි. එය ඉස්ලාමයට එරෙහිව සිදුවන මුස්ලිම් නොවන අන්තවාදයට හා ඉස්ලාමය තුල සිටිමින් එහි ප්‍රතිරූපයට හානි කරන ‘සෞදි-සලෆි’ අන්තවාදයට එරෙහිව බවයි. මුස්ලිම්වරුන් එකා මෙන් සිටගත යුතු මේ මොහොතේ එය එසේ සිදුනොවේවායි යන්න මාගේ පැතුම වන අතර මාගේ එකම පැතුම සෞදි අරාබියාවටද යහපත් හා සාධාරණ සමාජයක් වෙනුවෙන් ඉක්මනින් ‘වසන්තය’ උදා වේවා යන්න පමණි.

    • අබූ අර්ශද් 2013-01-13 at 20:50

      ඔබ කවදත් ‘යහමඟ්’ දෙස වැරදි දෘෂෟඨියකින් බලන බවක් පෙනේ කෙසේ වෙතත් මෙහි පවසන්නට ඇත්තේ මා නියෝජනය කරන්නේ කිසියම් රාජ්‍යයක් හෝ ජනතාවක් නොව ඉස්ලාම් දහමයි. ඉහත ලිපිය තුලින් මා කථා ක‍ලේ මුස්ලීම්වරුන් වර්ථමාන තත්වය තුල ක්‍රියා කලයුත්තේ කෙසේද? යන්න මිස සවුදිය හරිද? වැරදිද? යන්න පිලිබදව නම් නොවේ. තවත් සරලව පවසනවා නම් මා සවුදි විරෝදියෙකු ද නොවේ පාක්ෂිකයෙකුද නොවේ. එය මගේ විෂ්‍ය පථයට අදාල ද නොවේ. මා ඉදිරිපත් කල කරුණුවල වරදක් ඇත්නම් එය කරුණූ සහිතව පෙන්වා දෙන්නේ නම් එය නිවරුදි කිරීම පිලිබදව සලකා බැලිය හැක.

  9. nationwide 2013-01-12 at 09:31

    අප රටේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්දයෙන් රට පුර මතු කර ඇති විවාදය කාලින සහ ප්‍රයෝගික යෝජනාවක් බව මගේ පෞද්ගලික හැගීම වේ .මන්ද යත් ඔබ සදහන් කරන පරිදි රට පුරා පැතිර යන අපරාද රැල්ල මැඩ පැවැත්වීම පිලිබදව විවාදයක් නොමැති බැවිනි.නමුත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම මගින් , රට තුල සිටින සියලු අපරාද කරුවන් එල්ලුම් ගස දක්වා යැවිය යුතු යයි අවධාරනය නොකෙරේ .ඉහත සිද්දිය ඇති වූ රටේ මෙන් නොව අප රටේ ක්‍රමවත් අධිකරණ ධුරාවලියක් පවතින බව අප සම සිහි තබා ගත යුතුය.යම් ප්රාතමික අධිකරණයකින් සහනයක් නොලැබේ නම් ඉන් ඉහල අධිකරණයක් වෙත ගොස් නැවත අභියාචන කල හැකි බව මතක තබා ගත යුතුය.ඉන් නොනැවතී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රොටෝකෝලය වෙත ගොස් ජාත්‍යන්තර නඩු විභාගයකට පෙනී සිට සාධාරණය ඉෂ්ට කර ගත හැක.ඔබ අප සම මතක තබා ගත යුතු වැදගත්ම දෙය නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් ලබා දී ඇති ප්‍රතිපාදනයි .ඔබ සදහන් කරන ආකාරයට ලංකාව තුල මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් මෙමෙ අපරාධය ලංකාවතුල සිදු වුවා නම් ප්‍රතිපලය වන්නේද මෙය යි ඔබ අදහස් කරනවා නම් පිළිතුර ම ඉහත දක්වා අත්තිමි.

  10. sf.azeem 2013-01-12 at 04:56

    විපක්ෂ නායකයාගේ මාමාගේ පුවත් පතේ සදහන් පරිදි රිසානා සහෝදරිය නිර්දෝෂී විය යුතුය. එහි සදහන් වන්නේ දරුවට කිරි පෙවීමේදී ,පෙවූ කිරි පිටි දරුවාගේ උගුරේ යාම නිසා මරණයට පත්වූ බවය. පසුව එරට පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගත බවද, පසුව අදිකරණයෙන් මරණ දඩුවම නියම කල බැවි. මෙය අදහගන්නත් බැහැ. නමුත් සාක්ෂි නැත . සවුදි රජය ෂරිය නීතියට අනුව මේ විදිහට තීන්දුවක් දේවිද ? ෂරිය නීතිය මම අනුමත කරනවා. ඒ යි න් ක්ස්විටකත් අසාදාරනයක් වෙන්න බැරි බව මම විශ්වාස කරනවා . කෙසේ වෙතත් තීන්දුව දී හමා ර යි . ඒ චෝදනා සම්බන්දයෙන් සැබෑවටම ඇය වරදකාරියද ?ඉන්ෂා අල්ලාහ්” ඔබ පල කිරීමට නියමිත ලිපිය මම අපේක්ෂා කරමි.

  11. Dilan 2013-01-11 at 12:20

    අද දවසේ pettah rail way station එකේ තිබුණු විරෝධතාවට මුස්ලිම් කී දෙනෙක් සහභාගී වුනාද?අඩුම තරමේ සවුදි තානාපති කාර්යාලයේ හිටපු ඔබලාගේ තානාපතිට නිවැරදිව රාජතාන්ත්‍රික කටයුත්ත කරන්න පුළුවන් වුනාද?එයාව නැවත ලංකාවට ගෙන්න ගන්නේ මොකක් නිසාද?මරණ දඩුවම පිළිබද අත්දැකීම් නැති වීම ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ වාසනාවකි.ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම දීම පිලිබඳ විවාදයක් නැත.ඒ අරබයා රිසානාගේ මරණ දඬුවම සාදරනීකරණයට ලක් කිරීමට ඔබ උත්සහ කිරීම පිලිබඳ මට පුදුමයක් නැත.මක් නිසාද මරණ දඬුවම ලබා දුන්නේ ඔබේ මහ ගෙදරින් වීම නිසාය.යුරෝපා සංගමය පවා මෙම මරණ දඬුවම සාධාරණ එකක් නොවන බව කියා සිටිමින් ශෝක පණිවුඩ නිකුත් කර ඇත.කෙසේ වෙතත් ජාතිකත්වය පසෙක ලා රිසානා සිරගත කල දින සිට අද දක්වා සිංහලයින් ඒ වෙනුවෙන් හඬක් නැගු බව මතක් කර දීමට කැමතිය.ඔබට සෞදි තානාපති කාර්යාලය අසලට ගොස් විරෝදය දැක්වීමට ඇති නොහැකියාව පිලිබඳ මට ඇත්තේ බලවත් අප්‍රසන්න හැංගීමක් වන අතර අවසානයේ කියන්නට ඇත්තේ මෙපමණකි……………කිඹුල් කඳුළු හෙලන අපේ සිංහල එවුන්ට තියන අමාරුවක මහත…………………………………………………………………..

    • අබූ අර්ශද් 2013-01-13 at 20:42

      ඔබට පවසන්න ඇත්තේ සම්ප්‍රදායක විවේචනවලට නොගොස් බුද්ධිමත් ලෙස හා විෂය දැනුම ඇතුව කරුණූ ඉදිරිපත් කරන්න යන්න පමණි. අඩුම තරමින් ඔබ විවේචනය කරන ලිපියේ අන්තර්ගතය පවා ඔබ නොදන්න බවයි ඔබේ අදහස දැක්වීම තුල පැහැදිලි වන්නේ.

  12. Kalu malli 2013-01-10 at 22:00

    අනික රිසානා අතින් පොඩි දරුවෙක් නැති උනේ ඒ ළමයට කිරි පොවද්දී පිටි උගුරේ ගිහින් …… එම වැරද්ද වෙද්දී රිසානාගේ වයස 17. 18ට අඩු වයස් පුද්ගලයෙක් මිනිහෙක් හිතල මැරුවත් මරණ දඩුවම දෙන්නේ නෑ කිසිම ශිෂ්ටසම්පන්න රටක නීතියකින් ….. පොඩ්ඩක් එක ගැන හිතල බලන්න රිසානාට සිදු උන අසාධාරණය වහන්නේ නැතුව !!!!!

  13. Kalu malli 2013-01-10 at 21:53

    ලංකාවේ වැරදි කියල මෙව දැම්මට මීටත් වඩා කැත වැඩ ඇති තරම් මැද පෙරදිග රටවලදී අපි අහල තියෙනවා ….

    • අබූ අර්ශද් 2013-01-13 at 20:59

      මම මෙහි සිදුවන වැරදි වැඩ පෙන්වීමේ අරමුණීන් එම කරුණූ ඉදිරිපත් නොකල බවත් එම කරුණූ ඉදිරිපත් කිරීම තුලින් මා අපේක්ෂා කලේ කුමක්ද? යන්නත් සාමාන්‍ය බුද්ධියක් ඇති කිසිවකුටත් අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. එසේම මා කිසි විටෙක සවුදි රටේ වැරදි සිදු නොවන බව සදහන් කලේ ද නැත. එසේ සදහන් කරන්නේත් නැත. මන්ද සවුදිය යනු 100% සියළු වැරදිවලින් මිදුණූ රටක් නොවේ.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *