ලේඛිකා සාරා මාලනී පෙරේරා අත්අඩංගුවට

0

පසුගිය 2010.03.27 දින අත්අඩංගුවට ගත් ලේඛිකාව පිලිබදව පුවත්පත් මගින් මෙන්ම අන්තර්ජාල සිංහල Blog මඟන් ද විවිධ කරුණු දැන ගැනීමට හැකි විය. එහි දී විශේෂයෙන් 2010 මාර්තු මස 30 වන දින “සති මැද ලංකා” පුවත්පතේ පහත ආකාරයේ ලිපියක් පලවී තිබුණි. එනම්,

2010 මාර්තු මස 30 වන දින සතිමැද “ලංකා”

බෞද්ධාගම සහ ඉස්ලාම් ආගම පිළිබඳව විවරණයක යෙදෙමින් කෘති දෙකක් රචනා කළ සාරා මාලනී පෙරේරා නම් කතුවරියක් මිරිහාන පොලිසිය විසින් කොළඹදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය විසින් රචනා කළ “අඳුරින් එළියට” (From Darkness to Light) සහ “ප‍්‍රශ්න සහ පිළිතුරු” (Questions and Answers) යන කෘති දෙක හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බව සාරාගේ සහෝදරියක වන මාරියම් මහත්මිය විදෙස් ප‍්‍රවෘත්ති සේවයකට පවසා තිබිණි. Gulf Daily News ප‍්‍රවෘත්ති සේවයට ඇය වැඩිදුරටත් පවසා තිබුණේ අදාළ කෘති මඟින් බෞද්ධාගමට අපහාසයක් සිදුවන බවට “හෙළ උරුමය” නම් සංවිධානයක් කළ පැමිණිල්ලක් මීට හේතු වී ඇති බවයි. සාරා මාලනී නම් තම සහෝදරිය අධිකරණයට පවා ඉදිරිපත් නොකොට නීති විරෝධී ලෙස මෙසේ රඳවාගෙන සිටීම බරපතළ අසාධාරණයක් බවද ඇය Gulf Daily News වෙත පවසා තිබිණි. මේ පිළිබඳව BBC ලෝක සේවයට අදහස් දක්වමින් සාරාගේ නීතීඥයාවන ඇලෙක්ස් ප‍්‍රනාන්දු මහතා පවසා තිබුණේ මෙතෙක් මෙම අත්අඩංගුවට ගැනිමට හෝ රඳවා තබා ගැනීමට හේතුවක් පොලිසිය විසින් ඉදිරිපත් කර නැති බවයි.

ලංකාවේ උපන් සාරා මාලනී පෙරේරා උපතින් බෞද්ධාගමික කාන්තාවක වන අතර පසුව ඉස්ලාම් ආගම වැලඳගෙන තිබේ. බහරේන්හි පදිංචිව සිටි ඇය මාස කිහිපයකට පෙර ලංකාවට පැමිණ තිබේ. ඇය ලියූ කෘති දෙකේ මුද්‍රිත පිටපත් තොගයක් නැව් මඟින් බහරේන් වෙත ප‍්‍රවාහනය කිරීම සඳහා ප‍්‍රවාහන සමාගමකට භාරදී ඇති අතර අදාළ සමාග මේ හිමිකරු විසින් මෙම කෘති පිළිබඳව හෙළ උරුමයට දැනුම් දී ඇති බවත් ඔවුන්ගේ අනුදැනුම මත කොළඹදී ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවත් Gulf Daily News වාර්තා කර තිබිණි.

මේ පිළිබඳව අප මිරිහාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු සාරා මාලනී අත්අඩංගුවට ගත් බව සඳහන් කළ අතර වැඩිදුර තොරතුරු ලබාදිය නොහැකි බව පැවැසීය. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු සඳහන් කළේ රාජ්‍ය විරෝධී ක‍්‍රියාවකට සම්බන්ධ බවට සැක කරමින් ඇය අත්අඩංගුවට ගෙන රඳවාගැනීමේ නියෝග (Detention Order) යටතේ රඳවාගෙන ප‍්‍රශ්න කරන බවයි. සාරා මාලනී ග‍්‍රන්ථ කතුවරියක් ද යන්න තමා නොදන්නා බව පැවැසූ ඒ මහතා මීට අදාළ වාර්තාවක් තමන් ඉල්ලා ඇතත් මෙතෙක් එය නොලැබුණු බවද සඳහන් කළේ

ඉහත ලිපිය කියවන අපට මෙම සාරා මාලනී පෙරේරා අත්අඩංගුවට පත්වීමට කල ලොකුම වරද ඉස්ලාම් දහම වැලද ගැනීමද? එසේත් නැත්නම් බුදුදහමට එරෙහිව පොත් ලිවීමද? යන සැකය අපට ඇති වේ. මන්ද රාජ්‍ය විරෝධි කුමන්ත‍්‍රණ මත අත්අඩංගුවට ගනු ලැබු ඇයට එරෙහිව තවම චෝදනා පත‍්‍රයක් නැත. එසේම මෙම සිදුවීම තුල සුපුරුදු පරිදි ප‍්‍රධාන චරිතය රඟ දක්වන්නේ හෙල උරුමය සංවිධානයයි. ඔවුන්ගේ මෙවැනි ක‍්‍රියා කලාපයන් ලාංකීය සුළු ආගම් අනුගාමිකයන් හට අළුත් දෙයක් නොවේ. එසේම ඇය අත්අඩංගුවට පත්වීමට පසුබිම් වූ සිදුවීම ද විවිධ සැකයන් ඇති කරයි. ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ද යම් යම් සැකයන් ඇතිවීම කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැක. මෙහි දී ඉස්ලාම් දහම හා බද්ධව මෙම චෝදනාව පවතින නිසා මේ සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය ද ලාංකීය සමාජය දැනගත යුතුවේ. එනම්,

සැබැවින්ම ඇය රාජ්‍ය විරෝධි ක‍්‍රියාවක නියලී තිබේ නම් එය ඉස්ලාම් දහම අනුමත නොකරන බරපතල වරදකි. එසේම සැබෑ මුස්ලීම්වරයෙකු දේශ ද්‍රෝහීයකු හෝ රටේ නීතියට අවනත නොවන කෙනෙකු විය නොහැක. මෙය ඉස්ලාම් මුස්ලීම්වරුන්ට අවධාරනය කරන අනිවාර්‍ය කාරණයක් යන්න ඇය මෙන්ම මුස්ලීම් ප‍්‍රජාව ද අවබෝධ කරගත යුතුය. නමුත් ඇයට එරෙහිව දේශද්‍රෝහී චෝදනා පත‍්‍රයක් කිසිවකු හෝ කිසියම් සංවිධානයක් නිර්මාණය කරන්නේ නම් එය ඉතාම පහත් මිලෙච්ඡ ක‍්‍රියාවකි. එයට එරෙහිවීම මනුෂ්‍යත්වය අගයන සෑම කෙනෙකුගේම අනිවාර්‍ය යුතුකමකි.

එසේම මෙම සිදුවීමත් සමඟ ලාංකීය සමාජයට අවධාරනය කල යුතු තවත් කාරණයක් ඇත. එනම් මෙම තත්වයට ඇය පත්වීමට බලපෑ හේතුව ඇය ඉස්ලාම් දහම වැලද ගැනීම නම්, මෙම අත්අඩංගුවට ගැනීම ලාංකීය සුළු ආගම්වලට හා එහි අනුගාමිකයන්ට කරන බරපතල අනතුරු ඇඟවීමක් ලෙසයි අප දකින්නේ. එසේම රටේ ව්‍යවස්ථාවෙන්ම මේ රටේ සෑම පුරවැසියෙකුටම ලබාදී තිබෙන අයිතිය වන ආගමික නිදහස අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. කිසියම් කෙනෙකු තමන් උපතින් උරුම වූ දහමින් බැහැරව වෙනත් දහමක් හෝ දර්ශනයයක් පිලිපැදීම කිසිවිටෙකත් වරදක් විය නොහැක. මන්ද මීට වසර 2500 කට පෙර බුදුදහම ප‍්‍රකාශ වන්නේ ද අද මෙන්ම වෙනත් ආගම්, ඇදහිලි, විශ්වාසයන් හා දර්ශනයන් පිලිපදින සමාජයක යන්න අප අමතක කලයුතු නොවේ. එසේම ගෞතම බුදුන් විසින් අවබෝධ කරගත් එම සත්‍ය සමාජයට ප‍්‍රකාශ කිරීම ද වරදක් නොවේ. මන්ද ඒ වන විට සමාජයේ පැවති ඇදහිලි, විශ්වාසයන්ට සාපේක්‍ෂව තමන් විසින් අවබෝධ කරගත් මාර්ගය වඩාත් නිවරැදි යයි තමන් සිතන නිසා. එම පදනමේ හිද කිසිවකු තමන් අවබෝධ කරගත් සත්‍යයක් සමාජයට දේශනා කිරීම හෝ තමන් අවබෝධ කරගත් මාර්ගයක් පිලිගෙන ඒ ඔස්සේ කටයුතු කිරීම ද වරදක් නොවේ. එය වරදක් වේ නම් එදා බුදුදහම සමාජයට ප‍්‍රකාශවීමත් වරදක් වනු ඇත. කිසිවකු එය වරදක් යයි නොපවසනු ඇත. අප ද එය වරදක් ලෙස නොදකිමු එසේම අද එය සිදු වුවත් ශිෂ්ඨසම්පන්න සමාජයක් ලෙස එය වරදක් ලෙස නොදැකිය යුතුය. එසේ ක‍්‍රියා කිරීම බුදුදහම ද අනුමත කරන ආදර්ශයකි. එසේ තිබිය දී සැබැවින්ම ඇය බුදුදහම අතහැර යාම පිලිබදව කිසියම් හැගීමක් ඇත්නම් කලයුතුව ඇත්තේ ආගමික ඉගෙන්වීමන් ගෙනහැර දක්වමින් ඇයට හා සමාජයට කරුනු පහදා දීමයි. එයයි සිදුවිය යුත්තේ නමුත් සිදුවන්නේ කුමක්ද? සමාජයේ කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවය මත බෞද්ධ සමාජයට බුදුදහම හා එහි ඉගෙන්වීම් ප‍්‍රකාශ කරනවා වෙනුවට අනිත් අගම්වලට විවිධ ආකාරයේ තහන්චි දමමින් සමාජයට වැරදි ආදර්ශයක් පෙන්වා දෙමින් අසාර්ථක වෑයමක නිරතව සිටී. මෙවන් ක‍්‍රියා සැබෑ බෞද්ධයකු කිසිවිටෙකත් අනුමත නොකරනු ඇත. එසේම් බුද්ධිමත් සමාජය මෙවැනි ක‍්‍රියා සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමුකල යුතුය.

ඔවුන්ගේ පදනමේ හිද බැලූවේ නම් එනම්, බුදුදහම විමර්ශනටය කරමින් පොත් ලිවීම අත්අඩංගුවට ගැනීමට තරම් වරදක් නම්, මේ වන විට ඉස්ලාම් දහමට එරෙහිව ලාංකීය සමාජය තුල ප‍්‍රකාශයට පත්වී ඇති පොත් සංඛ්‍යාව කොපමණද? අතුරින් කිහිපයක් සදහන් කරන්නේ නම්,

  • සිහළ අභියොගය ( පාඨලී චම්පික රණවක )
  • ජාතික මනස හා මහා සිංහලය ( බෙංගුමුවේ නාලක හිමි )
  • අල් ජිහාද් අල්කයිදා ( පාඨලී චම්පික රණවක )
  • මගේ දේශය අවදිකරන හඩ ( සෝම හිමි )
  • බුදුසමය හා දෙවියෝ ( නිවන්දම ශ‍්‍රී ධර්මකීර්ති හිමි )
  • වෙනත් සමයන් අතර බුදුසමය ( කන්නිමහර සුමංගල හිමි )
  • සිංහලේ ජාතික සටන ( දයාවංශ ජයකොඩි )
  • අල්ලාහු අක්බර් ( කොලට් සේනානායක, නාරද කරුණාතිලක )
  • ආදම් සිංහලයකි ( මතුගම මහින්ද විජේතිලක )
  • අඩසඳ කළුවර ( සුජිත් අක්කරවත්ත )
  • ධර්මපාල ලිපි ( ආනන්ද ඩබ් පී ගුරුගෙ )
  • 58 හදිසි අවස්ථාව ( ටාසි විට්ටච්චි )
  • පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක් ( බෙල්ලන ඥානවිමලනා හිමි )
  • අදුරු මිසදිටු බිද හෙළන්නට ( ඤානදීප හිමි )
  • නුවණැස පාදන සිරි සදහම් ( ඥානානන්ද හිමි )

ඉහත පදනමේ හිද බලනවිට මේ පිරිස් වෙනුවෙන් ක‍්‍රියාත්මක නීතිය කුමක්ද?. ඇය විසින් ලියන ලද පොත නම් මෙම අත්අඩංගුවට හේතුව මේ පිරිස් සදහා ඒ නීතිය ක‍්‍රියාත්මකවීමක් අප නොදකින්නේ ඇයි?. මෙහිදී ද යමක් පැවසිය යුතුය. එනම් ඉස්ලාම් තවත් දහමක් හෝ තවත් පිරිසකගේ විශ්වාසයක් අපහස කිරීම අනුමත නොකරන එසේ කිරීම පිලිබදව දැඩිව අවවාද කරන දහමකි. ඒ අනුව ඇය විසින් හෝ වෙනත් ඕනෑම කෙනෙකු විසින් කිසියම් දහමක් අපහසයට ලක්කරයි නම් එම ක‍්‍රියාව ඉස්ලාම් නොවේ. නමුත් තමන් අවබෝධ කරගත් දැනුමෙන් සමාජය තුල සංවාදයක් ගොඩනැගීම කුමන දහමින් සිදුකලත් එය ඇගයීමට ලක් කලයුතු කාරණයක් මිස අත්අඩංගුවට ගැනීමට කාරණයක් නොවේ. ඉහත සදහන් සමහරක් කෘතීන් සෘජුවම කිසිදු පදනමකින් තොරව ඉස්ලාම් විවේචනයට හා අපහසයට ලක්කරයි. එහි සමහරක් කතෘ සමාජයේ ප‍්‍රබල දේශපාලන චරිත (උදාහර්නයට “අල් ජිහාද් අල්කයිදා” කතෘ පාඨලී චම්පික රණවක මෙහි ඔහු මුස්ලීම් සමාජයේ සමහරක් ක‍්‍රියාකලාපය දෙස බලා ඉස්ලාම් දහම විවේචනය කර ඇත. මේ පදනමේ හිද බුදුදහම කිසිවකු විවේචනය කරයි නම් එය මෝඩ මෙන්ම අන්තවාදී ක‍්‍රියාවක් යන්න සියළු දෙනා අවිවාදයෙන් පිලිගන්නා සත්‍යයකි.) අප කිසිවිටෙකත් ඉහත පිරිසගේ තත්වයට පත්ව මෙම පිරිස් අත්අඩංගුවට පත් කලයුතු යයි නොපවසමු. අප අවශ්‍ය නම් කලයුතු වන්නේ එම කෘතීන්ට පිලිතුරු සැපයීම පමණි. මන්ද සැබෑ දහමකට එරෙහිව විවේචනයන් එල්ලවීම හෝ එහි ඉගෙන්වීම් සමාජයට විවෘතවීම පිලිබදව කලබල වියයුතු නොවේ. නමුත් මිත්‍යාවන්ට එසේ ක‍්‍රියාකල නොහැක. මිත්‍යාවන්ට පැවැත්ම ඇත්තේ එය සමාජයෙන් වසන් වන තරමටය. ඒ අනුව බියවිය යුතු වන්නේ මිත්‍යාවන් මිස සැබෑ දහමන් නොවේ.

මෙවැනි සිදුවීම්වල දී ලාංකීය සමාජයේ සමහරක් ස්වාමිණ් වහන්සේලා ඉදිරිපත් කරන චෝදනාවක් වන්නේ බුදුදහම පිලිබදව නිසි අවබෝධයක් නොමැති ජනතාව මේ විවිධ පිරිස් තම තමන්ගේ ආගම්වලට හරවා ගන්නා බවයි. මෙය බෞද්ධ සමාජයම අවතක්සේරුවට ලක්කර වන හාස්‍ය උපදවන තර්කයකි. මන්ද ලාංකීය සමාජයේ රූපවාහිණි, ගුවන්විදුලි හා මුද්‍රත මාධ්‍යයන් කිහිපයක්ම මේ බුදුදහම ප‍්‍රචාරය සදහාම කටයුතු කරමින් සිටින මේ වකවානුවේ විශේෂයෙන් එම ප‍්‍රචාරයන්ට සාපේක්‍ෂව අනිකුත් ආගම් සදහා එවැනි ප‍්‍රචාරයන් සිදුනොවන වකවානුවක ලාංකීය බෞද්ධ සමාජය බුදුදහම නොදන්නවා යයි කිසිවකු පවසන්නේ නම් මෙම ක‍්‍රියාවලියන් තුල කොතනක හෝ වරදක් ඇති බව බෞද්ධ සමාජය ම අවබෝධ කරගත යුතුය. එසේම මෙවැනි පදනම් විරහිත තම වගකීම්වලින් බැහැර වන මෙම තර්කයන් පිලිබදව බෞද්ධ සමාජය වරක් නොව දෙවරක් සිතිය යුතුය. එසේ සිතීමට පොළොඹවන ලිපියක් පසුගිය දිනක අන්තර්ජාලයේ හමුවිය. එහි මෙවැනි අත්අඩංගුවට ගැනීම් පිලිබදව ද ඇය කථා කොට ඇත. එම Blog සටහන මෙහි ඉදිරිපත් කරන්නේ ඇයට ද යමක් පවසමිණි. එනම්,

“ඔබ වැනි පිරිස් වර්ථමාන ලාංකීය සමාජයේ කාලීන අවශ්‍යතාවයකි.”
Link :- http://arunishapiro.wordpress.com/2010/03/27/#comment-553
අරුණි ශපීරෝ‍ වෙතින්

දැනුම කොයිබට ද? ජිහාඩ් ජේන් හා බහරේන් මාලනී

දැනුම යනු ජීවත්වීමට අවශ්‍ය තොරතුරු දැනගැනීම සේ සලකා මේ සටහන ලියමි. පුද්ගලයා එකතු කර ගන්නා දැනුම අනුව ඔහුගේ හෝ ඇයගේ ජීවිතය පෝෂණය වෙයි. අනිකුත් අය හඳුනා නොගන්නා දැනුම හඳුනා ගන්නා අයට, අනෙකුත් අය රස නොවිඳින ජීවිතයේ අත්දැකීම් තුලින් සතුටු වන්නට හැකි වන්නේය. දැනුම අවියක් කර ගෙන ජීවිත සටන ද දිනත හැකිය.

එක් පැත්තකට පමණක් නැඹුරු වී දැනුම ලබා ගන්නාට තවත් පැති බොහොමයක් මඟහැරී යයි. නැඹුරු වූ පැත්ත නිවැරදි යයි පෙනෙන්නට වීම නිසා ‍අනිත් පැති ගැන සොයා බැලීමත් නතර වෙයි. තමන් විශ්වාස කරන අයගේ මත හා වාද පමණකට මනස සීමා වෙයි. එවැන්නා තුල ඇත්තේ සීමිත වූ දැනුමකි.

සෑම පැත්තක් ගැනම සොයා බලන්නාට තමාගේ පැත්ත ගැන වඩා හොඳින් තර්ක කළ ද හැකිය. තම විශ්වාස හා මතවාද ගැන වඩා හොඳ අවබෝධයක් ලැබේ. මුකවාඩම් බඳින්නට ගිය කල වන්නේ මොළය මොට වීම පමණි. ඥානාලෝකයක් පහළ නොවේ.

අද ලෝකය දැනුම ඉතා පහසුවෙන් ලබාගත හැකි ලෝකයකි. අවශ්‍ය වන්නේ පිරිසිදු වූ දැනුම එකතු කරගත හැකි ඇරුණු මනසකි. පිරිසිදු යන්නෙන් අදහස් කරන්නේ වෙනත් මත කරපින්නා ගෙන ඒ තුලින් අළුත් දෙයක් අවබෝධයට ගන්නා උත්සාහය නොව අළුත් දේ දිහා බැලීම කරේ ඇති මත පොදි බිම තබා කිරීමය. මෙය කිරීම කොතරම් දුෂ්කරදැයි වැටහෙන්නේ ඊට උත්සාහයක් ගන්නා අයෙකුට පමණි.

එසේම, මෙතෙක් තමා මතවාද වලට නැඹුරු වී ඇත්තේ කෙසේද යන්න නොදන්නා අයටත් ඇරුණු මනසකින් ලෝකය දකිනු නොහැකිය. අපි කරපින්නා ගෙන යන මතවාද කොහෙන් ආවා ද යන්න ගැනත් අපි දැනුමක් ලද යුතුය. එයත් ඉතා දුෂ්කර වූ කාර්යයකි. බොහෝ අවස්ථාවල මූලාශ්‍රය සොයන කල මූලාශ්‍රයේ හිඩැස් දකිනු හැකිය. පාරම්පරික මතවාද වලින් ගතයුතු වැදගත් කොටස රැගෙන අත්හළ යුතු දොස් බැහැර කරන තුරු සිටිනා වළෙන් ගොඩ එන්නට පාර නොපෙනේ.

තම පැත්ත හෝ තමා පිළිගන්නා මතය හෝ තමා කැමති දේ ගැන තුලින් පමණක් දැනුම සොයන්නට හිර නොවූ අයෙකුට ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකිනු හැකිය. අනාගත වාක්‍ය කියනු හැකියාව පහළ වේ. මන්ද ඇත්ත ඇති සැටියෙන් දකින්නේ ඉතා සුළු පිරිසකි. උදාහරණයක් සේ සෑම මැතිවරණයක දී ම තම පක්ෂය ඉහළින්ම ජය ගන්නා බව පුන පුනා කියන්නෝ ලොව සිටිති. ඔවුන් දැනුම ලබන්නේ තම පක්ෂය තුලින් පමණි. තමා අකමැති සත්‍යය තත්වය දකින්නා පියවි සිහියෙන් සිටින්නෙකි. එවැන්නාට පමණක් අනාගතයේ කුමක් සිද්ධ වනු ඇතැයි සිතාගත හැකිය. තමා අකමැති වුවත් අනාගතයේ මෙවැන්නක් සිදුවෙනු ඇතැයි දැනුම ලබා එහෙත් එය පිළිගැනීම ප්‍රතික්ෂේප නොකර සිටීම ද ඉතා දුෂ්කර වූ කාර්යයකි. එය හරියට ප්‍රේමයෙන් වෙළී සිටින ආදරවන්තයා හෝ ආදරවන්තිය අද හෙට සබඳතාවය නවතා දමනු ඇතැයි දැන දැන එය නොපිළිගැනීම වැනිය.

ෆිලඩෙල්ෆියාවේ කොලීන් ලාරෝස් අද තමන්ව “ජිහාඩ් ජේන්” ලෙසින් හඳුන්වා ගෙන යුරෝපයේ හා අසියාවේ මුස්ලිම් අන්තවාදීන්ට සහාය පළ කළ බවට චෝදනා ලැබ සිටියි. ඇය අන්තර්ජාලයෙන් මුස්ලිම් අන්තවාදීන්ට මුදල් ආධාර එකතු කිරීමත්, ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා පුද්ගලයන් බඳවා ගනු පිණිස අන්තර්ජාලයේ සටහන් ලිවීමත්, හොර ගමනාගමන ලියකියවිලි සාදා දුන් බවටත් ඇමෙරිකන් ආණ්ඩුව ඔප්පු කළහොත් ඇයව ත්‍රස්තවාදියෙකු ලෙසින් සිරගත කරනු හැකිය. ඇය හිර අඩස්සියට ගත් නිලධාරීන් රේඩියෝවට කියා සිටියේ ඇය එවන් ක්‍රියාවන්ට එළඹුනේ අසහනය හා කරදර වලින් පිරි ජීවිත පසුබිම නිසා බවය. එය ත්‍රස්තවාදී ක්‍රියා වලින් නිදහසට හේතු සාධකයක් නොවෙයි. නමුත් රජයට ඇය ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නියැළුන බව ඔප්පු කරගත නොහැකි වුවහොත් ඇයගේ අන්තර්ජාල සටහන් හුදෙක් නිදහස් ප්‍රකාශනයට ඇති නිදහස ලෙසින් (එවිට අසහනය නිසා ලියූ සටහන් බව සාධක වී) ඇය චෝදනා වලින් නිදහස් වෙනු ඇත.

බහරේන් වසනා සාරා (සේරා) මාලනී පෙරේරා අද ලංකාවේ පොලිසීයක රඳවා ගෙන ඉන්නේ තමන් බුද්ධාගමෙන් මුස්ලිම් ආගමට ගිය හැටි ගැන (මුස්ලිම් දහමට බුද්ධාගමේ අය හරවනු පිණිස) පොත් දෙකක් ලිවීම නිසාය. ඇය ද රටට විරුද්ධව හා ආණ්ඩුවට විරුද්ධව කටයුතු කළා යයි චෝදනා ලැබ සිටියි. බීබීසී වාර්තාව ලියන්නා පොලිස් ප්‍රකාශක කියූ අන්දමට ඇය සිංහල නමකින් යුත් කාන්තාවක් වුව ද හැඳ සිටින්නේ මුස්ලිම් කාන්තාවක් ලෙසින් යයි ද ලියා ඇත. ඇයගේ මුල් නම සාරා (සේරා කියා ද උච්චාරණය වෙයි) යන්න සිංහල නමක් නොව හිබෲ නමකි. නම ගැන වාර්තාවේ සඳහන මෙසේය. “Sarah Malanie [sic]Perera” මෙහිදී [sic] යන්නෙන් අදහස් කෙරෙන්නේ වචනය ලිවීමේ දී අකුරු වැරදීමක් (එය කලින් ලියූ අය අතින්) බව පෙන්විමටය. මාලනී ඇයගේ නම කෙසේ ඉංග්‍රීසියෙන් ලියනවාදැයි නොදනිමි. බහරේන් පුවත්පත කරන ලද නමේ අකුරු වැරදීම බීබීසී වාර්තාකරුවා පෙන්වන්නේ මාලනී අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ලියූ නම අනුව ද? ඇයගේ ආගමන විගමන බලපත්‍රයෙහි ඇති අනුව ද? නැත්නම් ඇය තවත් නමකින් යුත් තැනැත්තියක් ද? ඇය බුද්ධාගමෙන් මුස්ලිම් ආගමට ගිය, ඒ ගැන ලියා ඇති ප්‍රථම පුද්ගලයා නොවන්නේය. මා කළින් සටහනක සඳහන් කළ xxxxxxxxxxx ද එම චෝදනාවෙන් වරදකරුවකු වෙයි. කෙනෙකු තම ආගම වෙනස් කිරීමත්, අන්‍ය ආගමකට පිරිස් බඳවා ගැනීමට කටයුතු කිරීමත් ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව වරදක් සේ ඔප්පු කරන්නේ කෙසේදැයි මම නොදනිමි.

නිතර තොරතුරු ලෝකය ගැන අවධානයෙන් සිටින නිසා අද ලෝකයේ බුද්ධාගම ගැන විමසන මහත් පිරිසක් ඇති බවත් සටහන් කළ යුතුය. එහෙත් කාන්තාරයක වතුර පොදක් සොයා ගැනීමට ඇති අපහසුව සේ ඉංග්‍රීසියෙන් බුදු බණ කියන්නට ද හැකියාව ඇති ධර්මය උගත‍් අයෙක් පළාතක නැත. අද ඇමෙරිකාවේ පිරිස් හිතා ඉන්නේ බුද්ධාගම යනු ටිබෙටන් දලෙයි ලාමා කියන්න පමණක් කියාය.

ලිසා මිලර් නිවිස්වීක් සඟරාවේ ආගම ගැන ලියන ප්‍රධාන කර්තෘ වෙයි. ඇයගේ නවතම පොත දිව්‍යලෝකය ගැනය. ඇය රේඩියෝවේ “ඩයාන් රීම්” වැඩසටහනින් දිව්‍යලෝකය ගැන කළ සාකච්ඡාවක දී වැඩ සටහනට කතා කළ අසන්නියක් ඇය බුද්ධාගම ගැන දන්නවා ද කියා ඇසීය. (ඒ මා නොවේ!) ඇය බුද්ධාගම ගැන කිසිත් නොදන්නා බව පැවසීය. දිව්‍යලෝකය ගැන පොතෙන් ඇය ඉදිරිපත් කරන්නේ මරණයෙන් පසු “ස්වර්ගයක්” ගැන සාකච්ඡාවකි. නිව්ස්වීක් වැනි සුප්‍රසිද්ධ සඟරාවක ආගම ගැන ලියන කතුවරියක් වූ කළ ඇය ලෝකයේ ප්‍රධාන ආගමක් වන බුද්ධාගම ගැන දැනීමක් නැතිවීම කණගාටුවට කරුණකි.

අද ඇමෙරිකාවේ හා කැනඩාවේ ඇති බුද්ධාගමේ පන්සල් බොහොමයක් නිරත වන්නේ ලංකාවේ හැදී වැඩී ඇමෙරිකාවට අවුත් ඉන්නා වැඩිහිටි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් චාරිත්‍ර වාරිත්‍ර පවත්වන හුරුවටය. පන්සල් අද සිංහල කෑම කන්නට යන තැනක් වී ඇත. කුඩා දරුවන්ට සිංහල කියා දීම හා මල් පහන් පූජා කිරීමට අවස්ථාවක් ලබා දීම උතුම් කාර්යයක් සේ සැලකීම ගැන මගේ අමනාපයක් නැත. එහෙත් මේ රටවල ඉපිද හැදෙන වැඩෙන දරුවන්ට ධර්මය ඉදිරිපත් කළ යුත්තේ තාර්කිකව හා දාර්ශනිකවය. ඔවුන්ට එය වටහා ගැනීමට හැකි ඇරුණු මනස් ඇත. එසේ ඉදිරිපත් නොකර සිටිනා කල ලංකාවෙන් අවුත් ඉන්නා වැඩිහිටියන්ගේ අභාවයත් සමඟ මෙහි උපන් දරුවන් (බුද්ධාගමේ දෙමාපියන්ගේ) ආගමික අතරමං වීමට ලක්වෙති. ඔවුන් පන්සල්වලට තවත් දායක නොවනු ඇත. ලාංකික පන්සල් නිතරම ලංකාවෙන් එන අය පමණක් වෙතින් යැපෙනු ඇත.

මා ද ඇමෙරිකන් ළමයි හා ලාංකික ළමයි වෙනුවෙන් (ඔවුන් වයස 3 පමණ දී පටන් ගත්) බෞද්ධාගමේ දහම් පාසැලක් මෙම රටේ පැවැත්වූයෙමි. ඔවුන් අද වයස 18 ඉක්ම වූ අයයි. සෑම දෙනාම අද දිනයේ ද තමන් බෞද්ධාගමිකයන් යයි කියා ගනිති. පන්සිල් පද රකිති. බුද්ධාගම ගැන විමසීම සාමාන්‍ය ලාංකික බෞද්ධයෙකුට වඩා වැඩිය. එහෙත් පන්සල් නොයති. මන්ද පන්සල් වල “දෙවියන්ට ආරාධනා කර” දහම් දෙසීමත් “මළගිය අයට පින් පිණිස” කරන අවසානයත් ඔවුනට දිරවන්නේ නැති නිසාය. චාරිත්‍ර හා සම්ප්‍රදා ඇදහීම පෙරදැරි කරගත් ආයතන මිස ධර්මයට මුල් තැනක් දිය හැකි අයෙකු එනතෙක් ප්‍රෙක්ෂකයෝ අතුරු සිදුරු නැතිව පිරි නමුත් හිස් වේදිකාවක් ඉදිරියේ ඔවුන් බලා සිටිති.

ලංකාවට එන එකෝන්ලාට හා මාලනියටන්ට විරෝධතා දියත් කරනවාට වඩා ධර්මය දැන උගතෙක් එය කියා පෑම වඩා කාලෝචිතය. මාර්තු 26 දා ලක්බිම පත්‍රයේ “බුදු දහම විකෘති කල පොත්පත් රට පැටවීමේ කුමන්ත්‍රණයක් අද තිබෙනවා” යයි දිවියාගහ යසස්සි නාහිමි පවසන්නේ ධර්මය ගැන ලියූ පොතක් නොව තවත් නාහිමිවරයෙකුගේ චරිතාපදාන කෘතිය දොරට වැඩුමේ උළෙලේ දී ය.

අද වරයිසන් වයර්ලස් සමාගම ස්කයිප් මඟින් පිටරටට තම වයර්ලස් ෆෝනයෙන් සම්බන්ධ වන්නට අවස්ථාව සලසයි. එයින් පිටරට ඇමතුම් වයර්ලස් මඟින් නොමිලේ ලබාගත හැකියාව ලැබේ. මෙයින් ප්‍රයෝජන ගෙන ධර්ම සාකච්ඡා මඟින් ධර්මය පහදා දීම වැඩි කරන්නට (ඉංග්‍රීසියෙන්) අයෙක් ඉදිරිපත් වෙයි ද? නැතහොත් තියෙන අඩුපාඩුකම් මදිවාට තව අළුත් අඩුපාඩුකම් ද මවාගෙන ධර්මය අමතක කර බුද්ධාගමත් තවත් අන්තවාදී ආගමක් වෙයි ද?

මෙසේ ලියන මා ද නීතිය කැඩීමක් කරන්නේ ද යයි සැකය. විචාරය නීති කැඩීමක් ද? ඉන් උදාවන්නේ එකම නොවූවත් “දෙවියන්වහන්සේ” අදහන පලස්තීනයත් ඊශ්‍රායලත් සේ සදා සටන් වදිමින් ඉන්නා ලෝකයක් ද?

තමන් වාසය කරන ප්‍රදේශයේ පවතින නීති රීති ගැන දැනුම ලබා ගැනීමෙන් බන්ධනාගාරයට යෑම වළක්වා ගත හැකිය. නිදසුන් ලෙසින් කෙන්ටකි‍ ප්‍රාන්ත්‍රයේ ලෙක්සින්ග්ටන් නගරයේ දී අයිස් ක්‍රීම් ‍කෝන් එකක් සාක්කුවේ දමාගෙන යෑම තහනම්ය. වර්ජීනියාවේ පුලැස්කි කෝරළය (ටෙනසි ප්‍රාන්තයට යාබද ව) තුල වාහනයක් පැයට සැතපුම් 80 කට වඩා වේගයෙන් පදවා ගෙන (අධිවේගී මාර්ගයේ) යන්නකුට වසරක් හිරබත් කන්නට නීතියෙන් අනුමතය. වර්ජීනියාවේ තවත් නීතියක් නම් ශරීර කෘතියක නියැළෙන අයෙකු දිහා වැසිකිළියක් තුල දී එබී බැලීමත් වසරක හිරබත් කන්නට හැකි වරදකි. බොහෝ අවස්ථාවල දී මෙම අතීතයේ ස්ථාපිත නීති ක්‍රියාත්මක නොවේ. ඒවා කඩකරන අයට වන්දි ගෙවා, ඇප ගෙවා නිදහස ලබාගත හැකිය. නමුත් අවශ්‍ය වූ විටෙක දී ඇප නොදී, වන්දි නොගෙවා දඬුවම් පැමිණ වීමේ හැකියාව ද පාලකයා සතුය.

රටක නීති පද්ධතියක් ස්ථාපිත වන්නේ සම්මතයෙන් දඬුවම් කිරීමට නොවේ. එහෙත් අද ලෝකයේ ඕනෑම කෙනෙකුට තවත් අයෙකුට ඇති අකැමත්ත නිසා පමණකින් චෝදනාවක් එල්ල කොට උසාවියට (රිමාන්ඩ් බාරයටත්) යවත හැකියාව ඇති බවක් පෙනේ. වරද විමසා දඬුවම් තීරණය කෙරෙන කල කෙනෙක් එයින් නිදොස් යයි ඔප්පු වුවහොත් එවැන්නෙකුට නැති නීතියක් ඇති සේ ක්‍රියාත්මක කළ අයගෙන් වන්දි නොලැබේ. රටක, ප්‍රදේශයක පවතින නීති රීති ගැන තම නොදන්නාකම ද නිදහසට හේතු සාධක නොවන නිසා නිතරම නීති රීති ගැන සෙවිල්ලේ සිටිය යුතුය.

ස්ථාපිත වන සෑම නීතියක්ම මිනිසාගේ සුවසෙතට කියා ස්ථාපිත වුවත් එයින් අවසානයේ පීඩනයට ලක්වන්නේ ද මිනිසාමය. මගේ වාහනය නිපදවා ඇත්තේ පැයට සැතපුම් 160 කට යා හැකි ලෙසිනි. එහෙත් ඇමෙරිකාව තුල නීත්‍යානුකූලව යා හැකි වැඩිම වේගය පැයකට සැතපුම් 70 කි. (ජර්මනියේ වේග සීමාවක් නැති ඔටෝබාන් හි සිද්ධ වන රිය අනතුරු වලට වඩා ජර්මනියේ මාරක රිය අනතුරු වැඩි පැයකට සැතපුම් 30 සීමාව ඇති අතුරු මාර්ග වලය. ජර්මන් මහේස්ත්‍රාත්වරියක් මෙය කියා ඇත.) සිගරුට් බීම ජිවිතයට හානිකරය. එහෙත් එය ලියූ සිගරුට් පැකට් ආණ්ඩුව වැඩි බදු අය කරගෙන ජිවිත හානියට මුහුණ දෙන දුම් බොන්නාට විකුණති. සුරා හලකට ගොස් ඇති පදම් බීමත් වන්නට ඉඩකඩ ඇත. එහෙත් වයස 21 වන්නට පෙර සුරා පොදක් කට කෑ කල හිරබත් කන්නට සිද්ධ වේ. පෙන්සිල්වේනියාවේ ගුරු වෘත්තියේ යෙදෙන්නට අපේක්ෂා කරන්නෙක් මෙම වරදකට අසුවුව හොත් වෘත්තියේ යෙදෙනු නොහැකිය.

නීති කඩ කිරීමට පුද්ගලයා වෙත අසීමිත ඉඩ ප්‍රස්ථා ලබා දෙන ලෝක නීති පද්ධති පුද්ගලයා වෙතින් බලාපොරොත්තු වෙන්නේ මනාව වඩවා ගත් හික්මීමක් හා දැනුමක් ද? එසේ වඩවා ගත් හික්මීමක් හා දැනුමක් ඇත්තාට ඇති එකම වාසිය දඬුවම් නොලැබ සිටීම පමණක් ද? නැතහොත් දැනුමෙන් පෝෂණය වූ හික්මීමෙන් වඩවා ගත් චර්යාව නිසා පිටස්තරයෙක් අනිසි චෝදනාවක් කළ විට ඊට සමාජය ඉක්මණින් නිර්දෝෂීභාවය ඔප්පු කර වන්දියක් ලබා දෙයි ද? අනිසි චෝදනා ඉදිරිපත් කළ අයට දඬුවම් කරයි ද? චෝදනාව නිසි හෝ අනිසි යයි තීරණය කෙරෙන්නේ සමාජයේ එදින පවතින සම්මතය අනුව ද? එසේ නම් වඩා ගන්නා දැනුම කොයිබට ද? හික්මීම කුමකට ද?

එසේම ලාංකීය සමාජය තුල මේ ආකාරයේ වූ සාරා මාලනී පෙරේරලා බොහෝමයක් ඉදිරියටත් බිහිවනු ඇත. අද මුස්ලීම් සමාජයේ සිදුවන මෙය හෙට දවසේ තවත් සමාජයක සිදුවිය හැක. කලයුතු වන්නේ අන් අයගේ අදහස් ගරු කරමින් ඒවාට බුද්ධිමත් අවධානය යොමු කරමින් ජනතාවගේ බුද්ධියට කථා කරනවා මිස මෙවැනි පැලැස්තර යෙදීම නොවේ.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ඉහත සිදුවීම ඔස්සේ විවිධ උපකල්පනයන් ඇතිවීම වැලැක්වීය නොහැක. එනමුත් කිසිවකු පූර්ව නිගමනවලට එළඹීමට අවශ්‍ය නොවේ. එසේම සැබෑ මුස්ලීම්වරයෙකු සැමදා නීතිගරුකය. ඒ අනුව මේ සාරා මාලනීලා වෙනුවෙන් රටේ නීතිය සාධාරණව ක‍්‍රියාත්මක වන ආකාරය අප බලාපොරොත්තු ඇතුව බලාසිටිමු.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *