ලොකෝත්තර විමුක්තියට ලෞකික සැප සම්පත් බාධාවක් ද?

0

නූතන මිනිසා ලෞකික සැපසම්පත් කෙරෙහි දක්වන්නේ අසීමත කෑදරකමකි. මේ සැපසම්පත් රුස්කාරීම සදහා ඔහු තම ජීවිතය තුල කරනු ලබන කැප කිරීමන් හා දුෂ්කර ක්‍රියාවන් සිළුපටු නොවේ. කෙසේ වෙතත් මේ තුල සියළු දෙනා එම අභියෝගය හමුවේ එක ලෙස ජයගන්නේ නැත. සමහරක් පිරිස් මෙහි සාර්ථකත්වය උපරිමයෙන් තම ජීවිතයට ලඟා කරගන්නා විට තවත් සමහරෙක් එහි පරාජිය අත්විදී. මෙවැනි සමාජ පසුබිමක මේ විෂය පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක් ද?. යන්න පිලිබදව කෙටි හැදින්වීමක් සිදුකරන්නට අදහස් කරමි. මන්ද අද ලොව බොහෝ දහමන් මෙම විෂය දකින්නේ ඉස්ලාම් දහම දකින ස්වරූපයට වඩා තරමක් වෙසන් ස්වරූපයකින් වන බැවිණි.

ඉස්ලාම් දහම ධනකුවේරයන් පිලිබදව පමණක් හෝ අන්ත දුඟීන් පිලිබදව පමණක් හෝ මේ දෙකටම මධ්‍යස්ථ පාර්ශවයන් පමණක් පිලිබදව කථා කරන අන්තවාදී ආගමක් නොවේ. මේ පිලිබදව මීට ඉහත මෙම අඩවිය තුල සාකච්චා කල ‘ඉස්ලාම් මිනිස් අයිතීන් උදුරා ගන්නේද?’ යන ලිපිය මඟින් දීර්ඝ ලෙස කරුණූ දක්වා ඇත. ඉස්ලාම් දහම එක් අන්තයනකට සීමා වූ දහමක් නොව මිලමුදල්, යානවාහන, ඉඩකඩම්, අඹුදරුවන්…

යනාදී මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් ලෙස හොදින් අවබෝධ කරගෙන ඒ සදහා උනන්දු කරවන දහමකි. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස ශුද්ධ වූ නබිවදනක් මෙහි දී ඔබේ බුද්ධිමත් විමසුමට ඉදිරිපත් කිරීමට අදහස් කරමි. එනම්,

මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී, ‘සාර්ථක දිවියක් සදහා කාරණා 04 ක් සම්පූර්ණ වී තිබීම අත්‍ය අවශ්‍ය වේ. එනම්,

  1. යහපත් බිරිඳක්,
  2. විශාල (සැප පහසු) නිවසක්,
  3. යහපත් අසැල්වාසියෙක්,
  4. සැප පහසු වාහනයක්,

ග්‍රන්ථය – ඉබුනු හිෆ්ෆාන්

සාර්ථක දිවියක් සදහා මනුෂ්‍යයෙක් සතුව පැවතුය යුතු මූලික අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් ඉස්ලාම් දහම පවසන ඉහත කාරණයන් බුද්ධිමත් ලෙස විමසා බලන්න. මෙහි පලමු හා තෙවන කාරණය හැර අනිකුත් කාරණා දෙක සෘජුවම ලෞකික සැපසම්පත් හා බැදි කාරණයන්ය. මේ තුලින් ද පැහැදිල වන්නේ ඉස්ලාම් දහම ලෞකික ධනය අසීමිත ලෙස රුස් කිරීම පිලිබදව තහංචි හෝ සීමාවන් පනවන දහමක් නොවන බව නොවේද?. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයකින් නිදසුනක් ගෙනහැර දැක්විය හැක. එය මෙසේය…

…ඇයට (කුමාරිකාවට) ‘මෙම මාලිගාවට ඇතුල් වනු’ යයි කියන ලදී. ඇය එහි (මාලිගාවේ) පොළොව දුටු විට (පොළොවට ඔබ්බන ලද පළිගු දැක) එය ජලය යයි සිතා තමන්ගේ වස්ත්‍රය (නොතෙමෙන්න) වළලුකර දක්වා එසෙව්වේය. (එවිට සුලෙයිමාන්, ‘එය ජලය නොව) පළිගු ගල් ඔබ්බවන ලද මාලිගාවකි’ යයි කීවේය…

ශුද්ධ වූ කුර්ආන් 27-44

මේ ඉහත වාක්‍යයෙන් පැවසෙන්නේ මුහම්මද් (සල්) තුමාණන්ටත් සියවස් ගණනාවකට පෙර ජීවත් වූ දේව වක්තෘවරයෙකු මෙන්ම ධනකුවේරයෙකු වූ සුලෙයිමාන් (අලෛ) (බයිබලයේ සදහන් ආකාරයට ‘සොලමන්’) තුමාණන්ගේ මාලිගාව ගැනය. මෙහි ඔබේ අවදානයට ගෙන ආයුතු කාරණා දෙකක් ඇත. එනම්,

  • මවිතයට පත්වන්නේ කුමාරිකාවක්,
  • පැමිණෙන්නේ දෙවියන්ගේ වක්තෘවරයෙකුගේ නිවසට,

ඉහත කරුණුවලට අනුව සුලෙයිමාන් (අලෛ) තුමාගේ නිවස රජ කුමාරිකාවක් මවිත වන තරමට නිමාවු එකක් නම් එය කොතරම් විශිෂ්ඨ නිර්මාණයක්ව පැවතිය යුතුද?. එය දියුණු තාක්ෂණයක් පවතින වර්ථමානයේ සිදුවන්නක් නම් එය එතරම් සැලකිය යුතු කාරණයක් නොවේ. නමුත් මෙය සිදුවන්නේ ක්‍රි පූ 990-930 (මීට වසර 2970 කට) පමණ ‍පෙරය. එසේ නම් දියුණූ තාක්ෂණික මෙවලම් නොමැති අවධියකය. එපමණක් නොව මෙවැනි අධිසුඛෝපභෝගි නිවසක දෙවියන්ගේ වක්තෘවරයෙකු ජීවත් වූවා යනුවෙන් ශුද්ධ වූ කුර්ආනය අපට පැවසීම තුල එවන් වූ දිවියක් ඉස්ලාම් අනුමත කරනවා යන්න පැහැදිලි වනවා නොවේද?. මෙහිදී ධනය එසේත් නැත්නම් සැපසම්පත් රුස්කිරීම සදහා ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට කොන්දේසි විරහිතව පූර්ණ නිදහසක් ලබාදී ඇතැයි වැරදි අවබෝධයක් ඇති කර ගතයුතු නොවේ. තමන් උපයන ධනයට ඉස්ලාම් සීමාවක් නොදැම්ම ද එය උපයන ආකාරය තුල විවිධ කොන්දේසි ඉස්ලාම් පනවා ඇත. විශේෂයෙන් ‘පොලී’ වැනි දෑ පිලිබදව දැඩිව අවවාද කිරීම ‍(මේ පිලිබදව තවත් කරුණූ දැනගැනීම සදහා ‘ව්‍යාපාරයක් තුල සුරකිය යුතු ගුණාංග’  යන ලිපිය කියවන්න) මෙහි සදහන් කලයුතු ප්‍රධාන කාරණයකි. මෙය තවදුරටත් අවබෝධ කර ගැනීම පිණිස ඔබේ අවධානයට තවත් කාරණයක් ඉදිරිපත් කරන්නේ නම්, ඉස්ලාම් දහම තුල මුස්ලීම් සමාජයට අනිවාර්ය කරන වගකීම් 05 ක් ඇත. ඒ අතුරින් එකක් වන්නේ ‘සකාත්’ නම් දුප්පත් ජනතාව සදහා ධනවතුන් විසින් බෙදා දෙන අනිවාර්ය බද්දයි. මීට අමතරව ‘සදකා’ නම් පරිත්‍යාග ක්‍රමයක් පිලිබදව ද ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට අවධාරණය කරයි. මේ දෙක මුස්ලීම්වරයෙකු ඉටු කිරීම සදහා ධනය අත්‍යඅවශ්‍ය සාධකයකි. මීට අමතරව මෙවැනි තවත් බොහෝ කාරණයන් සදහන් කලහැක. මෙහිදී අවධාරණය කලයුතු තවත් කාරණයක් ඇත. එනම් මෙතෙක් ඉදිරිපත් කල කරුණූ පුද්ගල  දිවියකට ධනය කොතරම් වැදගත් යන්න පිලිබදව වුවත්, මෙය එලෙස පුද්ගල  දිවියකට සීමා කලහැකි කාරණයක් නොවේ. සමාජයක් ලෙස ගත්තද, රටක් ලෙස ගත්තද මෙය එහි වැදගත් සාධකයකි. ඒ අනුව පැහැදිලි වන්නේ පුද්ගලයෙකු ලෙස, පවුලක් ලෙස, සමාජයක් ලෙස මෙන්ම රටක් ලෙසත් ධනය රුස් කිරීම කෙරෙහි ඉස්ලාම් මිනිස් සමාජය උනන්දු කරවන්නේ එය එහි තීරණාත්මක සාධකයක් නිසාම පමණි.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ‘ලෝකොත්තර විමුක්තිය උදෙස ලෞකික සැපසම්පත් අත්හල යුතුයි’ යනුවෙන් ලොව සියළු දහමන් එක හඬින් විලාප නඟද්දී ‘නෑ නෑ එය ඔබේ දෙලොව සාර්ථකත්වය සදහා මූලික අවශ්‍යතාවයක්’ යයි ඉස්ලාම් දහම පවසන්නේ මිනිස් මුලික අවශ්‍යතාවයන් හා හැඟීමන් නිසි ලෙස අවබෝධ කරගත් දිව්‍යමය දහමක් වූ නිසාම පමණි. එසේ නම් මේ තුලින් ද තහවුරු වන්නේ ඉස්ලාම් දහම මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් නිසි ලෙස ආරක්ෂා කර දී ඇති දහමක් වන බවත්, ඒ තුල ඔහුගේ නිදහස පූර්ණ ලෙස ආරක්ෂා කර දී ඇති බවත්ය.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *