ලෝකය මැව්වේ අල්ලාහ් ද? මහා බ්‍රහ්මයා ද?

8

ඉස්ලාම් දහම ලොව අනිකුත් දහමන් මෙන්ම දේව විශ්වාසය පදනම් කරගත් දහමක් යන්න මීට ඉහත දී ලිපි කිහිපයක් මඟින් සාකච්ඡා කොට ඇත. අද ආගම් බොහෝමයක් විද්‍යාව හා මිනිස් බුද්ධිය හමුවේ අවලංගු වෙමින් පවතින අවධියකි. විශේෂයෙන් ආගම් හා එහි ඉගෙන්වෙන දෙවිවරුන් නමින් ගොඩනඟන ලද පුරාවෘතයන් හා මිත්‍යාවන් මිනිස් සමාජය හමුවේ අවලංගු වෙමින් පවතින අවධියකි. බුද්ධිමත් මිනිසා ආගම් නමින් අන්ධ භක්තිකයන් බවට පත්කරවමින් සිටින වකවානුවකි. ඉස්ලාම් පවසන දේව විශ්වාසය කුමන ආකාරයේ එකක් ද යන්නත්, එය මනුෂ්‍ය බුද්ධියට කොතරම් ගෝචරද යන්න මිනිස් සමාජයට අවධාරණය කරනු පිණිසත්, ඉස්ලාම් පවසන දේව වාදය විවිධ මාතෘකාවන් ඔස්සේ මෙම යහමඟ අඩවිය තුල මීට ඉහත සාකච්ඡා කොට ඇත. මෙම ලිපිය ආරම්භයේ එවන් ලිපි කිහිපයක් පිළිබඳව ඔබගේ මතකය අවධි කරන්නේ නම්,

  • දේව වාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරයිද? – වර්තමාන මිනිස් සමාජය සියල්ල විද්‍යා ඇසින් බලන්නට උත්සාහ කරන විට එම විද්‍යා ඇසින් ඉස්ලාම් පවසන දේව වාදය බලන විට එය විද්‍යාවට පරස්පර එක්ක නොවන විශ්වාසයක් යන්න මෙම ලිපිය තුලින් සාකච්ඡා කරන ලදී.
  • දේව විශ්වාසය හා සයවන බුද්ධිය – වර්තමාන මිනිස් සමාජය සියල්ල තාර්කිකව අවබෝධ කරගන්නා උත්සාහ කරන මේ අවධියේ ඉස්ලාම් පවසන දේව වාදය එම තාර්කික නීතිරීති වලට පරස්පර එකක් නොවන බව මෙම ලිපිය තුලින් සාකච්ඡා කරන ලදී.
  • ඉස්ලාම් පවසන දේව වාදය – ඉස්ලාම් පවසන දේව වාදය සම්බන්ධයෙන් සමාජයේ විවිධ ගැටළු මතු කරන නිසා ඒ පිළිබඳව කෙටි අවබෝධයක් ලබා දීම මෙම මාතෘකාව තුල සිදු කරන ලදී.
  • ස්වර්ගය සදහා තීරණාත්මක සාධකය කුසල් ද? දේව කරුණාව ද? – ඉස්ලාම් පවසන දෙවියන් පිළිබඳව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයේ බහුතරයකට පවා ඇත්තේ අවම දැනුමකි. විශේෂයෙන් දේව කරුණාව පිළිබඳව මෙහිදි සාකච්ඡා කරන ලදී.

මේ ආකාරයට දේව විශ්වාසයේ විවිධ පැතිකඩ මෙම අඩවිය තුල සාකච්ඡා කර තිබිය දී කවදත් “තමන් නොදන්නා, නොපිලිගන්නා දෑ හෙළා දැකීම” එකම න්‍යාය කරගත්, කෙසේ හෝ ඉස්ලාම් දහම විවේචනය කරමින් එයට එරෙහිව මඩ ව්‍යාපාරයන් දියත් කිරීම එකම අරමුණ කරගත්, ජාත්‍යන්තර ඉස්ලාම් විරෝධි වෙබ් අඩවි, බ්ලොග් හා කාටූන් රූප ඒ සදහා එකම පදනම් කරගත් රාලෙක් මීට දින කිහිපයකට පෙර නැවතත් මුස්ලීම් සමාජයට “ඉස්ලාමිකයන්ට ප්‍රශ්න දෙකක්” යන ලිපිය ඔස්සේ කෙටි අභියෝගයක් කර තිබුණි. එය මෙසේ ය…

මුස්ලිම්වරුන්ට ප්‍රශ්න දෙකක් | Two questions for Muslims

හොඳයි අපි මොහොතකට පිලිගනිමුකෝ ලෝකය කියන්නේ මැවීමක් කියල. දැන් එන ප්‍රශ්න දෙකක් තියෙනව.

  • මැව්වේ එක දෙවියද? කීප දෙනෙක් එකතු වෙලා ද? එක්කෙනෙක් විතරයි කියල කියන්න තියෙන සාක්කි මොනවද?
  • මැව්වේ එක දෙවියෙක් නම් ඒ කොයි දෙවියද? අල්ලා ද? යෙහෝවාද? මහා බ්‍රහ්මද? ලෝකය මැව්වේ අල්ලාම විතරයි, නමුත් මහා බ්‍රහ්ම හෝ යෙහෝවා නෙවේ කියන්න තියෙන සාක්කි මොනවද?

ඔන්න ඔය ප්‍රශ්න වලට පුළුවන් නම් උත්තර දෙන්න.

Posted – June 4, 2011
(සැ: යු: මෙම ලිපියෙහි ඉදිරිපත් කර තිබූ කාටූන් රූපය පමණක් ඉවත් කොට ඇත.)

ඉහත ලිපිය තුලින් මතු කරන කාරණය වෙත අවධානය යොමු කිරීමට මත්තෙන් මෙවන් ප්‍රශ්නයක් මේ රාලට ඇතිවීමට හේතු වූ කාරණය පිළිබඳව කෙටි අවධානයක් යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක් යයි සිතමි. ඒ මේ රාලට මතු වූ ගැටළුව ශ්‍රී ලාංකීය සැලකිය යුතු තරම් බෞද්ධයන් හට තිබෙන පොදු ගැටළුවක් වන නිසාය. ඒ දේව සංකල්පය පිළිබඳව ඔවුනට තිබෙන උදාසීන මතවාදයන් නිසාය. ඉහත අභියෝගය තුල රාල සදහන් කළ අල්ලාහ්, මහා බ්‍රහ්ම හා යෙහෝවා… යන්න පිලිවලින් ඉස්ලාම්, හින්දු හා කිතුණු දහමේ සඳහන් දෙවිවරුන් ය. එම දෙවිවරුන්ගේ නම් පදනම් කරගෙන “මෙවන් මිත්‍යා විශ්වාස අප දහම තුල නැත. අප දහම තුල ඇත්තේ මිනිස් බුද්ධියට ගෝචර කරුණු පමණය” යන්න නිරන්තරයෙන් (තම බ්ලොග් තුල) කියාපාන්නට උත්සාහ කරන මේ රාල හැමදාමත් කලේ දේවවාදය ගැරහීමය. තම බ්ලොග් අඩවිය තුලින් ඉස්ලාම් ආගම හා මුස්ලීම් සමාජය ප්‍රබල ලෙස විවේචනය කරමින් ඒ තුලින් තමා බුදු දහමට හා බෞද්ධ සමාජයට ඉමහත් මෙහෙවරක් කරන සැබෑ බුද්ධ පුත්‍රයෙකු බවත්, තමා නිර්මල බුදු දහම නියෝජනය කරන බවත් පෙන්වීමට උත්සාහ කරන මේ රාල මෙන්ම මෙවැනි තුට්ටු දෙකේ ව්‍යාපරාවලට කවදත් ආවඩන සමහරක් පිරිස් සිටින අප සමාජයේ එවන් වූ පිරිසගේ අවධානයට සහා බෞද්ධ විද්වතුන් යයි පවසා ගන්නා පිරිසගේ මඟපෙන්වීමන් තුල නොමඟ යන බෞද්ධ සමාජයේ අවධානයට (ඉස්ලාම් භක්තිකයෙකු ලෙස හිඳ) දේව වාදය පිළිබඳව ත්‍රපිටකයේ සඳහන් කරුණු කිහිපයක් ගෙනහැර දැක්වීමට අදහස් කරමි. ඒ බුදු දහමට අපහාස කිරීමට හෝ බෞද්ධ සමාජය අපහසුතාවයට ලක් කිරීම සදහා නොව “මේ රාලලා ගල් ගසන්නේ වීදුරු ගෙවල් තුල හිඳ” යන්න  (මීට ඉහතදීත් මෙවැනි අනාවරණයන් මෙම අඩවිය තුල සිදුකොට ඇත.) නැවතත් අවබෝධ කරලීම සඳහාය.

බෞද්ධ සමාජයේ බහුතරයකට දේව සංකල්පය පිළිබඳව කිසියම් අවබෝධයක් පැවතුන ද සමහරක් පිරිස් කිසිදු පදනමකින් තොරව දේව සංකල්පය දැඩි ලෙස හෙලා දකී. එවන් පිරිසගේ අවධානයට බෞද්ධ සාහිත්‍යය තුල හා ජාතක කථා පොත්වල සඳහන් වන දේව සංකල්පයන් මා අමුතුවෙන් මතක් කරදීමට අවශ්‍ය නොවේ. නමුත් කිසියම් ආගමික විෂයක් කථා කිරීමේදී ඒ සදහා එහි ඉගෙන්වීමන් පදනම් කර ගත යුතු නිසාත්, බෞද්ධ සාහිත්‍යය හා ජාතක කථා බුදු දහමේ ආගමික මූලාශ්‍ර ගණයට අයත් නොවන නිසාත්. ආරම්භයේ සිට ආරක්ෂා වූ ආගමික ඉගෙන්වීමන් අන්තර්ගත ලියවිල්ලක් නොතිබුණ ද ත්‍රපිටකය පිළිබඳව බෞද්ධ සමාජය තුල කිසියම් පිලිගැනීමක් පවතින නිසාත්, මා මෙහිදී ත්‍රපිටකය පදනම් කරගෙන ඉහත විෂය සලකා බැලීමට අදහස් කරමි. ඒ අනුව මා මෙහිදී බෞද්ධ සමාජයේ අවධානයට යොමු කරන්නේ බුදුන්ගේ ශුද්ධ වූ වදන් බව පැවසෙන ත්‍රපිටකයේ සදහන් දේව සංකල්ප කිහිපයක් පිළිබඳවයි. ඒ පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරිමට මත්තෙන් මෙතැන දී සඳහන් කළ යුතු විශේෂ කරුණක් ඇත. ඒ බුදු දහමේ පැවසෙන දෙවිවරුන් ඉස්ලාම් දහමේ පැවසෙන දේව සංකල්පයට වඩා පරස්පර එකකි. ඒ අනුව බුදු දහමේ පැවසෙන ‍දේවවාදය ඉස්ලාම් කිසිදු විටෙක පිලිනොගන්නා බවයි. නමුත් මෙහි ඉහතින් මතු කරන ගැටළුවේ මූලික හරය දෙවියන් සිටිනවා ද? ඔවුන් මනුෂ්‍යයන්ට වඩා සුවිශේෂි කොට්ඨාශයක් ද? යන්නයි. මේ පිළිබඳව දැන ගැනීමට ත්‍රිපිටක සඳහන් පහත වාක්‍යයන් කිහිපය ඔබට මහත් පිටුවහලක් වනු ඇත.

චාතුර් මහාරාජික දෙවියන්ගේ ආයු ප්‍රමාණය කොපමණද? මිනිසුන්ට අයත් යම් පණස් වසක් වේද? චාතුර්මහාරාජික දෙවියන්ට මෙය එක් දවාලකි.   ඒ රාත්‍රියෙන් රාත්‍රි තිසක් මාසයකි. ඒ මසින් දොළොස් මාසයක් අවුරුද්දකි. ඒ අවුරුදු ගණනින් දිව්‍ය අවුරුදි පන්සියයක් චාතුර්මහාරාජික දෙවියන්ගේ ආයු ප්‍රමාණයයි. මිනිසුන්ගේ ගණනින් කොපමණ වේද? අවුරුදු නවලක්‍ෂයකි. මේ චාතුර් මහාරාජික දෙවියන්ගේ ආයු ප්‍රමාණයයි කියනු ලැබේ.

  • (ඒ ආකාරයටම) – තව්තිසා දෙවියන්ගේ…  අවුරුදු තුන් කෙළ සැට ලක්‍ෂයකි. මේ තව්තිසා දෙවියන්ගේ ආයු ප්‍රමාණයයි කියනු ලැබේ.
  • (ඒ ආකාරයටම) – නිර්මාණරතී දෙවියන්ගේ… අවුරුදු දෙසිය තුන් කෝටි සතලිස් ලක්‍ෂයකි.
  • (ඒ ආකාරයටම) – පරනිර්මිත වසවර්ති දෙවියන්ගේ… අවුරුදු නවසිය විසි එක්කෝටි හැට ලක්‍ෂයකි.

මේ ආකාරයට දෙවිවරුන් විශාල සංඛ්‍යාවකගේ ආයුකාලය පිළිබඳව විවිධ විග්‍රහයන් ත්‍රපිටකයේ විසාඛූපෝසථ සූත්‍රය හි දක්නට ලැබේ. ඉහතින් ඉදිරිපත් කොට ඇත්තේ ඒවා අතුරින් කිහිපයක් පමණි. දේව වාදය හාස්‍යයට හා විවේචනයට ලක්කරන බෞද්ධ ප්‍රජාව මේ ත්‍රපිටක වාක්‍යයන්ට දෙන අරුත කුමක්ද? යන්න බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතු ය.

“පරිනිර්වාණ ආසනයේ බුදුන් වහන්සේ වැඩ සිටිනා අවස්ථාවක දී උපවාන තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිටි සේක. බුදුහු උපවාන තෙරුන් දෙස බලා ‘මහණ තොප මා ඉදිරියේ නොසිට ඉවතට යව’ යි වදාළහ. බොහෝ කලක් බුදුරදුන්ට උපස්ථාන කළ, උන්වහන්සේ ළඟින් හැසුරුණු උපවාන තෙරුන්, තමන්ගේ අවසාන කාලයේදී තමන් ළඟින් ඉවත් කෙළේ මන්දැයි ආනන්ද හිමියන්ට කුකුසක් ඇතිවිය. ඉක්බිති අනඳ හිමියෝ බුදුරදුන් වෙත සිට ‘ස්වාමිනී, මේ උපවාන ස්ථවිරයෝ බොහෝ කලක් ඔබ වහන්සේට උපස්ථාන කළහ. ඔබ වහන්සේ ළඟින් අසුරු කළහ. එසේ ද වුවත් දැන් ‘මහණ ඉවත් වෙව’ යි උපවාන ස්ථවිරයන් ඔබ වහන්සේ ළඟින් ඉවත් කළහ. එසේ කිරීමට ස්වාමිනි හේතු කවරේද?’ යි විමසූහ. එවිට බුදුහු මෙසේ පිළිතුරු දුන්හ. ‘ආනන්දය, දස දහසක් සක්වල දෙවියෝ තථාගතයන් දැකීමට දැන් මෙහි ඇවිත් සිටිනවා. කුසිනාරා නුවරත් මේ සල් උයනත් අතර දොළොස් යොදුනක ප්‍රමාණයේ දෙවියෝ අතුරු සිදුරු නැතිව පිරී සිටිනවා. ආනන්දය, ඒ දෙවියෝ මෙතැන සිට දෝෂාරෝපණයකුත් කරනවා. අපි තථාගතයන් දකින්නට අවේ බොහෝම දීර්ඝ කාලයකින්. අද රාත්‍රියේ අන්තිම යාමයේ උන්වහන්සේ පිරිනිවන් පානව. එහෙම තියෙද්දී මේ භික්ෂු නමක් තථාගතයන් වසාගෙන මෙතැන සිටිනවා. මේ අන්තිම අවස්ථාවේවත් අපට බුදුන් දකින්නට ඉඩක් නැතැයි දෙවියන් දොස් පවරනවා. ආනන්දය, මා උපවාන තෙරුන් මෙතැනින් ඉවතට යැව්වේ බාධකයන් නැතිව දෙවියන්ට මා දැක ගැනීමට ඉඩ සැලසීමටයි.’ ” (මහා පරිනිබ්බාණ සූත්‍රය)

බුදුන් වහන්සේ පරිණිර්වාණයට මොහොතකට පෙර සිදුවුවා යයි පැවසෙන ඉහත සිදුවීම තුල දේව සංකල්පය පිලිඹිබු වනවා නොවේද? බෞද්ධ සමාජය මෙම කරුණු බුදුන්ගේ දේශන බව පිලිගන්නවා නම් බුදු දහම තුල දේව සංකල්ප ප්‍රතික්ෂේප කළ හැකිද?

මීට අමතරව ත්‍රපිටකයේ සඳහන් පරාභව සූත්‍රය, දේවතා සූත්‍රය, මංගල සූත්‍රය, ධජග්ග සූත්‍රය, ආටානාටිය සූත්‍රය, ආයාචනා සූත්‍රය… යනාදී සූත්‍ර හොඳින් අධ්‍යනය කලේ නම් බුදු දහමේ දේව සංකල්පය සඳහන් වීම පමණක් නොව එය කොතරම් අනිකුත් ආගමික දේව සංකල්පයන් හා සමාන්තරව පවතිනවා ද? යන්න පහසුවෙන් අවබෝධ කරගත හැකි වනු ඇත.

මේ ආකාරයට ත්‍රපිටකයේ සඳහන් දෙවිවරුන් පිළිබඳව පිටු ගණනාවකට ලිවිය හැක. නමුත් මේ සියල්ල තුලින් බෞද්ධ සමාජය සරලව වටහාගත යුතු  කාරණය නම් බුදු දහම තුල දේව සංකල්පයක් පවතිනවා යන්නයි. එම දේව සංකල්පය අනිකුත් ආගමික දේව සංකල්පයට වඩා වෙනස් වුවද, අනිකුත් ආගමික දේව සංකල්පයන්ට එරෙහිව මතු කරන බොහෝ චෝදනා මෙම දේව සංකල්පය සඳහාත් පොදු (හා වලංගු) වන බව අවබෝධ කර නොගැනීම අනවබෝධයක් ද? නොඑසේ නම් කුහකකමක් ද? යන්න මා හදෙහි නිතර මතුවන පැනයකි. එම පැනයට පිළිතුරු සෙවීම ඔබටම භාර කරමින් ඉහත ප්‍රශ්න දෙකට පිළිතුරු ලබා දීමට පෙර තවත් එක් ත්‍රපිටක (බුද්ධ දේශනයක්) වෙත ඔබගේ අවධානය යොමු කරමි. එනම්,

“(මෙය දීර්ඝ සූත්‍රයක් වන අතර අවශ්‍ය කොටස පමණක් උපුටාගන්නා ලදී) …ඉක්බිති ඒ භික්‍ෂු තෙම බ්‍රහ්ම කායික නම් දෙවියන් වෙත පැමිණ, ඒ බ්‍රහ්ම කායික දෙවියන්ගෙන් මේ කාරණය ඇසුවේය. ‘මේ කාරණය අපිද නොදනිමු, මහණ, අපට වඩා ඉතා රූප සම්පත් ආදියෙන් යුක්ත වූද, යස ඉසුරු ආදියෙන් උතුම් වූද, සියල්ලන් මැඩ පවත්වා සිටියා වූද, අන්‍යයන් විසින් මැඩපැවැත්විය නොහැක්කා වූද, ඒකාන්තයෙන් සියල්ල දන්නා වූ සියලු ජනයා තමා යටතෙහි පවත්වන්නා වූ ලෝකයට අධිපති වූ, ලෝකය සාදන්නා වූ, ලෝකය මවන්නා වූ, සත්වයන් කොටස් වලට බෙදන්නා වූ පුරුදු කරන ලද ධ්‍යාන ඇත්තා වූ, උපන්නා වූද උපදින්නා වූද සියලු සත්වයන් හට පියා වූ මහාබ්‍රහ්ම වූ බ්‍රහ්මයෙක් ඇත්තේය. මේ කාරණය ඔහු දන්නේය’, ‘ඇවැත්නි, ඒ මහාබ්‍රහ්ම තෙම දැන් කොතනදැයි’ ඇසුවේය. ‘මහණ, බ්‍රහ්මතෙම යම් තැනකදැයි කියා හෝ බ්‍රහ්මතෙම යම් ස්ථානයකදැයි කියා හෝ අපි නොදනිමු. මහණ,… ‘කේවට්ටය, එවිට ඒ බ්‍රහ්මතෙම ටික වේලාවකින්ම පහළ වූයේ ය. එවිට ඒ භික්‍ෂුතෙම, ඒ මහාබ්‍රහ්මයා වෙත පැමිණ බ්‍රහ්මයාගෙන් මේ කාරණය ඇසුවේ ය. මෙසේ ඇසූ කළ ඒ මහාබ්‍රහ්ම තෙම ඒ භික්‍ෂුවට මෙසේ කීයේ ය. ‘මහණ, මම බ්‍රහ්ම වෙමි, මහාබ්‍රහ්ම වෙමි. සියල්ලන් මැඩපවත්වා සිටින්නා වූ ප්‍රධානියා වෙමි. අනුන් විසින් මැඩපැවැත්විය නොහැක්කෙක් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දක්නෙමි. සියලු ජනයා වසඟයෙහි පවත්වමි. ලොවට ප්‍රධාන දෙවියා වෙමි. ලෝකයට කර්තෘ වෙමි. ලෝකය මවන්නෙක් වෙමි. ලෝකයට උත්තම වෙමි. සත්වයන් කොට්ඨාශ වලට බෙදන්නෙක් වෙමි. පුරුදු කරන ලද ධ්‍යාන ඇත්තෙමි. උපන්නාවුද, උපදින්නාවූද සියලු සත්වයන්ට පියා වෙමි…'” (කේවට්ට සූත්‍රය)

මෙම ලිපියට පාදක වූ රාල මතු කරන ප්‍රශ්නයේ එන “මහා බ්‍රහ්ම” පිළිබඳව ත්‍රපිටකයේ සඳහන් වන්නේ මුස්ලීම්, හින්දු හෝ කිතුණුවෙකු විසින් සටහන් කිරීමෙන් නොවේ. එසේ නම් ඔහුගේ ඉහත පැනය උඩ බලන් කෙල ගැසීමක් ද? නොඑසේ නම් විදුරු ගෙවල් තුල හිඳ ගල් ගැසීමක් ද? එසේත් නැත්නම් තවත් වරක් නා ගැනීමක් ද? යන්න තීරණය කිරීම පාඨක ඔබට බාරය. කෙසේ වෙතත් “මහා බ්‍රහ්මයා” සෙවීමේ වගකීම දැන් රාලට ඇති බව පමණක් මෙහි අවධාරණය කරමින් ඔහු විසින් “ඉස්ලාමිකයන්ට යොමු කළ ප්‍රශ්න දෙක” වෙත දැන් අවධානය යොමු කරමි.

1. ලෝකය මැව්වේ එක දෙවිය ද? කීප දෙනෙක් එකතු වෙලා ද? එක්කෙනෙක් විතරයි කියල කියන්න තියෙන සාක්කි මොනවද?

ඔහුගේ මෙම ප්‍රශ්නය තුල ඔහුට ඇති ගැටළුව මේ ලෝකය මවන ලද්දේ එක දෙවියෙකු විසින් ද? එසේත් නැත්නම් දෙවිවරුන් කිහිප දෙනෙකු විසින් ද? යන්නයි. ඔහුගේ ප්‍රශ්නය යොමු කරන්නේ මුස්ලීම්වරයෙකු වෙත නිසා මා මුස්ලීම්වරයෙකු ලෙස ඉස්ලාමීය ඉගෙන්වීම ඔහුට පවසනවා නම් “මේ මුළු විශ්වයම හා එහි අන්තර්ගත සියල්ලම මවන ලද්දේ එකම දෙවියා වන අල්ලාහ් (දෙවියන්) විසින් ය” යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. එය ශුද්ධ වූ කුර්ආනයේ 40-64 හා 65 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවියන්) මෙසේ පවසයි.

“අල්ලාහ් (දෙවියන්) නුඹලාට පොළොව වාසස්ථානයක්ද, අහස වියනක් ද කලේය. තවද ඔහු නුඹලාව මුර්තිමත් කොට නුඹලාගේ ස්වරූපය අලංකාර කොට යහදෙයින් නුඹලාට සම්පාදනය කලේය. ඔහුයි නුඹලාගේ හිමි අල්ලාහ්. සියලූ ලොවෙහි අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. ඔහු සදාතනිකය, ඔහු හැර වෙන දෙවියෙක් නැත.”

ඉහත වාක්‍යය හොඳින් අධ්‍යනය කලේ නම් රාලගේ පලමු ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් ලැබෙනු ඇත. ඒ මේ මුළු විශ්වය හා එහි අන්තර්ගතය මවන ලද්දේ එකම දෙවියා වන අල්ලාහ් (දෙවියන්) විසින් යන්න පැවසීමෙන් ය. නමුත් දෙවියන් පිළිබඳව නිසි අවබෝධයක් නොමැති පිරිස් දෙවියන් දෙස මිනිසාට සාපේක්ෂව බැලීමේ ප්‍රතිඵලයක් ලෙස බහුදේව සංකල්පය මිනිස් සමාජය තුල නිර්මාණය විය. “එක මොහොකත එක් ක්‍රියාවකට වඩා කළ නොහැක” යන්න මනුෂ්‍ය ස්වභාවයයි. එය මනුෂ්‍ය දුර්වලතාවයක්, ඉස්ලාමීය ඉගෙන්වීම අනුව දෙවියන් සියලු දුර්වලතාවයන් වලින් සුවිශුද්ධය. ඒ අනුව මේ විශ්වය හෝ එහි අන්තර්ගත මැවීමට තවත් කෙනෙකුගේ සහයෝගයක් දෙවියන්ට අවශ්‍ය නොවේ. එනම් දුර්වලතාවයන්ගෙන් සමන්විත කිසිවකු දෙවියෙකු විය නොහැක යන්න ඉස්ලාම් විසින් මුස්ලීම් සමාජයට අවධාරණය කරන මූලික කරණකි. එම හේතුව නිසා තමා අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනයේ 21-22 වාක්‍යය මඟින් පහත ආකාරයට මිනිස් සමාජයට පවසන්නේ.

“ඒ දෙතැන (අහස, පොළොව) අල්ලාහ් (දෙවියන්) හැර තවත් දෙවිවරුන් සිටියේ නම්, ඒ දෙතැනම ව්‍යාකූල වන්නේය.’’

අද දෙවියන් නමින් නිර්මාණය කරගත් හින්දු හා බෞද්ධ පුරාවෘතයන් බොහෝමයක් සමාජ භාවිතයේ දක්නට ලැබේ. එහි දෙවියන් අතරත්, දේව දරුවන් අතරත් හා දේව බිසවන් අතරත් නිර්මාණය වූ ගැටුම් පිළිබඳව විස්තර වේ. වර්තමාන සමාජය තුල අද දක්නට තිබෙන මෙම පුරාවෘතයන් පිළිබඳව ඉස්ලාම් අනාවැකි පවසන ලද්දේ මීට වසර 1400 කට පෙරය. ශුද්ධ වූ කුර්ආනයේ අල්ලාහ් (දෙවියන්) ඉහත ආකාරයට බහුදේව වාදය බිඳ දමන්නේ ඒක දේව සංකල්පය කොතරම් වැදගත් සාධකයක් ද? යන්නත් ප්‍රායෝගික මතවාදයක් ද? යන්නත් මිනිස් සමාජයට අවබෝධ කරදෙමිනි. (වැඩි විස්තර සදහා “ඉස්ලාම් පවසන දේව විශ්වාසය” යන ලිපිය කියවන්න) ඒ අනුව ඉස්ලාම් පවසන දෙවියන් සියලු දුර්වලතාවයන්ගෙන් සුවිශූද්ධ වන නිසා තවත් දෙවිවරුන්ගේ හෝ වෙනයම් ආකාරයක කිසියම් බලයක් මේ විශ්ව නිර්මාණය සඳහා අල්ලාහ් (දෙවියන්)ට අවශ්‍ය නොවූ බව පැහැදිලි වේ.

2. ලෝකය මැව්වේ ඒක දෙවියෙක් නම් ඒ කොයි දෙවියද? අල්ලා ද? යෙහෝවාද? මහා බ්‍රහ්මද? ලෝකය මැව්වේ අල්ලාම විතරයි, නමුත් මහා බ්‍රහ්ම හෝ යෙහෝවා නෙවේ කියන්න තියෙන සාක්කි මොනවද?

ඔහු මතු කරන මීළඟ ගැටළුව ලෝකය මැව්වේ කොයි දෙවියන්ද? එනම් අල්ලාහ් ද?, යෙහෝවා ද?, මහා බ්‍රහ්මයා ද? යන්නයි. මෙහිදී පලමු ප්‍රශ්නයට ලබා දුන් පිළිතුර තුල දෙවන ප්‍රශ්නයට පැහැදිලි පිලිතුරක් ලැබී ඇතැයි මා සිතමි. එනමුත් දෙවන ප්‍රශ්නය තුල මතු කරන “අල්ලාහ් ද?, යෙහෝවා ද?, මහා බ්‍රහ්මයා ද?” යන කාරණයට කෙටි පිලිතුරක් ලබා දීම අත්‍යාවශ්‍ය යයි සිතමි. ඒ අනුව අන්තර්ජාලය තුල සැරිසරන ඔබට සරල නිදසුනක් ගෙන එය පැහැදිලි කරන්නේ නම්, අන්තර්ජාලය තුල සැරිසරන ඔබට mohomad, unclemaitreya හා xxxxrala නමින් ක්‍රියාත්මක සිංහල භාෂාමය බ්ලොග් අඩවීන් (මෙම අඩවිවල සම්පූර්ණ ලිපිනය මෙහි පල නොකරන්නේ එම අඩවීන් සඳහා අනවශ්‍ය ප්‍රසිද්ධියක් මේ තුලින් නිර්මාණය වීම වක්වාලීම සඳහා ය.)  තුනක් ඔබේ නෙත ගැටී තිබන්නට පුළුවන. මෙම අඩවිය පවත්වාගෙන යන පුද්ගලයා වන්නේ (යහමඟ ට පාඨකයෙකු ලබාදුන් තොරතුරු අනුව) රාල, රවා, සිද්දීක්, ඇටමැස්සා… යනාදී නම්වලින් පෙනී සිටින එකම පුද්ගලයා ය. එම පුද්ලගයා “රාල” ලෙස පෙනී සිට නිර්මල බුදු දහම පවසන බව පවසමින් ඉස්ලාම් දහම පදනම් විරහිතව විවේචනය කරයි. “සිද්දීක්” ලෙස පෙනී සිට ඉස්ලාම් නමින් ඉස්ලාම් විරෝධි අඩවියක් පවත්වාගෙන යයි. තවත් පසකින් “අන්කල් මෛත්‍රි” නමින් අඩවියක් නිර්මාණය කරගෙන තමා මෛත්‍රී බුදුන් බව පවසමින් දහම් ප්‍රචාරයේ යෙදෙන පුද්ගලයෙකුට එරෙහිව බ්ලොග් එකක් පවත්වාගෙන යයි…  මේ ආකාරයට එකම පුද්ගලයා විවිධ නම්වලින් පෙනී සිට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරනවා යන්න පැහැදිලිය.

එසේ ඔහු ක්‍රියා කරද්දී එකම දෙවියා තමන් දරණ ආගමික මතවාදයට ලඝු කොට “අල්ලාහ්” යනුවෙන් පිරිසක් පැවසීමත්, තවත් පිරිසක් තවත් ආගමික මතවාදයකට ලඝු කොට එම දෙවියාම “යෙහෝවා” යනුවෙන් පැවසීමත්, තවත් පිරිසක් තමන්ගේ ආගමික මතවාදයකට එම දෙවියා ලඝු කොට “මහා බ්‍රහ්මයා” යනුවෙන් පැවසීමත් දෙවියන්ගේ දුර්වලතාවයක් හෝ බහු දේව සංකල්පයක් නොව මිනිස් වර්ගයාගේ අනවබෝධය පමණි. ඉහත නිදසුනේ ආකාරයට එකම පුද්ගලයා රාල, සිද්දීක් හෝ රවා යනුවෙන් සමාජය විවිධ පුද්ලගයන් ලෙස හදුනාගෙන සිටියා සේ තමන් පිලිගන්නා ආගමික මතවාදය තුල දකින ලද දෙවියන් අනිකුත් ආගමික මතවාදයන් තුල දකින්නේ කෙසේ ද? යන්න නිසි ලෙස අවබෝධ කරගැනීමට අතපසු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉහත සඳහන් “ලෝකය මැව්වේ අල්ලාහ් ද?, යෙහෝවා ද?, මහා බ්‍රහ්මයා ද?” යන පැනය මතු වේ. ඒ අනුව ඉහත ප්‍රශ්න දෙක තුල රාලගේ අනවබෝධය පිලිඹිබු වුවා මිස ඉස්ලාම් පවසන දේව වාදය අභියෝගයට ලක් නොවන බව අවසාන වශයෙන් පැහැදිලිව සටහන් කරමි.

අබූ අර්ෂද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 8 යි.

  1. අධීශ ජයනාත් 2012-09-29 at 00:27

    @ අබූ අර්ශද්
    මගේ කිසිදු ප්‍රතිචාරයක් තුළින් ඔබගේ ඉස්ලාම් දහම හෝ අල්ලාහ් දෙවියන් හෝ කුරානය හෝ විවේචනය කිරීමට අදහස් නොකරමි. නමුත් බුදුදහම පිලිබඳ යම් හෝ වැරදි අර්ථකතනයක් දීමට උත්සහ කරන අවස්ථාවකදී ඒ පිලිබඳ ප්‍රතිචාරයක් ලබාදීමට සැමවිටම උත්සුක වෙමි.

    • abuarshed 2012-09-30 at 05:25

      ඔබගේ මැදිහත්වීම මා අගයකොට සකලමි. එසේම බුදුදහමට වරදක් සිදුවන ආකාරයට මෙම අඩවිය තුල කිසියම් ලිපියක් හෝ අදහසක් පලවී ඇත්නම් එය හේතු සහිතව පෙන්වා දෙන්නේ නම් එම වරද නිවරුදි කිරීම පිලිබදව සලකා බැලිය හැක.

  2. අධීශ ජයනාත් 2012-09-29 at 00:22

    @ අබූ අර්ශද්
    ඔබගේ අවධානය මගේ ප්‍රතිචාරය වෙත යොමුවීම ඉතා අගයකොට සලකමි.

    සියයට සියයක් බුදුදහමට අනුකුලවේ. බුදුදහම තුල කෙනෙකු වැඳුම් ලැබීමට සුදුසු වනුයේ ඔහුගේ ජාතකය නොව(දෙව් බඹ මිනිස්) ඔහුගේ ක්‍රියාකලාපයයි. යම් මිනිසෙකු තුල ඉතා උසස් ගුණාංග (දෙවියන්ටද වඩා) ඇත්නම් ඔහුට දෙවියන් පවා වන්දනා කරනබව බුදුදහමේ පැහැදිලිව පෙන්වා ඇත.
    (නමුත් ඔබ සිටින ඉස්ලාමීය රාමුව තුල දෙවියෙකුට වඩා උතුම් මිනිසෙකු ගැන සිතීම කලනොහැක්කක් බව මම දනිමි. මගේ ඉස්ලාම් මිතුරෙකුට (ඔහුගේ සිංහල දැනුම ඉතා දුර්වලය) බුදුදහම තුල දෙවියන්ට සහ මිනිසුන්ට ඇති තැන ගැන විස්තර කිරීමට මගේ ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත් නොවීය.) බුදුදහම තුලදී මට මෙන්ම ඔබටද දෙවිකෙනෙකු වීමට කිසිදු බාධාවක් නොමැත. මක්නිසාද යත් ඔබගේ ඊළඟ භවය(ඉපදීම) තීරණය කරනුයේ ඔබගේම ක්‍රියාකලාපය මිස වෙනත් පරිබාහිර බලවේගයක් විසින් නොවන බැවිනි.(අපට දෙවියන් යනු උත්තරීතර බලවේගයක් නොවේ. දෙවියන් යනුද කරනලද පින් අවසන්වුපසුව නැවත මිනිසෙකු සතෙකු හෝ අපායගාමී සත්වයකු වන තවත් එක් සත්ව කොටසක් පමණි(කුසල් හෝ පින් යනු එකක් නොව දෙකකි. ඔබට පින් කලහැක නමුත් කුසල් කල නොහැක. ඒ මක්නිසාද යත් කුසල් සැමවිටම නිවනම අරමුනුකරගත් දෙයක් වන බැවිනි.) )

  3. අධීශ ජයනාත් 2012-09-28 at 01:22

    බුදුදහම තුල මැවීම් වාදයක් නැත. තිබෙන්නේ හේතුඵල වාදයක් පමණි(මෙය සාමාන්‍ය හේතුඵල වාදය නොවේ ). පටිච්චසමුප්පාදය යනු එයයි. අපට මහ බ්‍රහ්මයා නොව ඔහුගේ තාත්තා ලෝකය මැව්වත් කමක් නැත.ඒ මක්නිසාදයත් මැවුම්වාදය පිලිබඳ ප්‍රශ්න අපට අදාල නැති බැවිනි(මහාචාර්යවරයෙක්ගෙන් මොන්ටිසෝරි ප්‍රශ්න අහල තේරුමක් නෑනෙ).

  4. අධීශ ජයනාත් 2012-09-28 at 01:14

    බෞද්ධ ඉගැන්වේම තුල දෙවියන් යනු අප වැනිම සත්ව කොට්ටාශයකි. ඉස්ලාම් ඔබට කවදාවත් අල්ලාහ් විය නොහැක. නමුත් බෞද්ධ අපට නියමිත පාරමී පුරා බුදුකෙනෙකුද විය හැක. බුදුදහම අනුව යන අප කිසිවිටකත් අපගේ විමුක්තිය නොදන්නා දෙවියෙකුට බාරදෙන්නේ නැත. නමුත් එදිනෙදා ජීවිතයේ ඇතිවන ගැටළු සඳහා දෙවියන්ගෙන් උපකාර ගැනීම බෞද්ධයනට ගැටළුවක් නොවේ(ලෙඩකට වෙදෙක් වගේ දෙවියෙකුගෙනුත් උදව් ගන්න පුළුවන් ගෙවීමක් විදිහට පින් අනුමෝදන් කරනව. හැබැයි නියම බෞද්ධයන් දෙවියන් වෙනුවෙන් සත්තු එහෙම මරන්නේ නෑ.). අපේ කියමනක් තියෙනව “හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳි” කියල.

    • abuarshed 2012-09-28 at 09:39

      ඔබේ කරුණූ දැක්වීම තුලින් බුදුදහම පිලිබදව විග්‍රහයක් ඉදිරිපත් කිරීම පිලිබදව මාගේ විරුද්ධත්වයක් නැහැ. නමුත් ඔබ අවසානයේ පවසන “හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳි” යන්න කොතරම් දුරකට බුදුදහමට අනුකූලද?

  5. ටිංටිං සිල්වා 2012-02-08 at 23:10

    ඔබ සදහන් කල ආකාරයටම ස්ලාමි හි දෙවියන් ගැන සදහන් වන ආකාරය සහ බුදුදහමේ දෙවියන් ගැන සදහන් වන ආකරය දෙකකි මේ ගැටලුව ඇත්කේ දෙවියන් යන වචනයේ ව්‍යාකරනමය දෝශයක් ලෙසයි මා දකින්නේ බුදුදහමට අනුව දෙවියන් යනුවෙන් හදුන්වන්නෙ කවරේක්දැයි විස්තර කිරිමට මා කැමතිය සාමාන්‍ය ජිවිතයේ සිටින මිනිසු්න අපි දනිමු බල්ලන් පුසන් කුඹින් වැනි තිරිසන් සතුන් අපි දනිමු එහෙති සිටින්නේ ඇසට පෙනෙන මෙම ජිවින් පමනිකක් නොවේ එක්තරා අවස්ථවන කාශ්‍යප මහරහතන් වහන්සේ ජලය පෙරැරෙදි කඩක සිටි ක්ශුද ජිවින් දිවිසින් දුටු බවට සදහන් වේ මා දන්න තරමින් නමි ක්ශද ජිව්න ගැන ගැන ඉතිහාසයේ කායවෙන් පලමු තැන මෙයයි ඇතැමි විට එකල සිටි ජනතාව මෙය බොරැවක් යැයි පිතිශෙප කරන්නට ඇත එමෙන්ම ආලෝකමය මානසික ස්ළුභාවයක් ඇති සියුමිශරිර සහිත දැඩි කුසල ශක්තිම මත පහල වන මෙවැනිම ජිවින් දෙවියන් ලෙස බුදුදහම හදුන්වයි එමෙන්ම මුස්ලිමි වරැ ජින් ලෙස හදුන්වන භුතියන් සිටන බව වරක් මුස්ලිමි මිතුරෙක් මට කිවෙිය(මෙම ප්රකාශයෙ වරදක් ඇත්නමි නිවැරදි කරන්න) එලෙසම අකුසල ශක්තිය මත ඵහල වන ප්රේතයන් ලෙස හදුන්වන සියුමි ශරිර සහිත ජිවින්ද සිටිනක බව බුදුදහමේ සදහන වේ එක් තරා අවස්ථාවක ශාරිපුත්ථ මහ රහතන් වහන්සේ දුටුවායැයි කියන කුනුවු ශරිරයක් සහිතව අහසේ පාවෙමින් සිටි ප්රේථයෙක් ගැන සදහන් වේ බුදුදහමේ සදහන් වන මෙම දෙිවයන් සහ ප්රේථයන් තවත් ජිවින් කොටිටාශයක් පමනි ඔවුනිටද අපදන්නා ජිවින්ට මෙන්ම ආයුකාලයක් ඇත නිශ්චිත පැවිත්තම්ක්ද ඇත ඇත් කන්ඩායමක කුඹ්රැලක මිමැසි රංචුවක මුවරැලක නායකයෙක් නිටිනවා මෙන්ම ඔවුන්ගේ ජිවින පැවැත්ම තුල ප්රධානින් සිටි
    මිනිස්සමාජය තුල මිනිසුන් නිර්ෂන පාංතිකයින් මධ්‍යම පාංතිකයින් යනාදිවශයෙන් බෙදන්නාක්මේන මෙම ජිවින්ද විවිධ ශක්තිමටිටම් තුල උපදි යාම තුසිත පරනිමිමත බහ්ම යනාදි ලෙස වර්ග කර ඇත්තේ මෙම ජිවි මටිටමිය
    පධාන කාරනය වන්නෙ බුදුදහම තල මෙම දෙවියන් ලෙස හදුනවන පිරිස ආලෝකමය මානසික ස්වභාවයකින් යුතු සියුමි ශරිර සහිත මිනිසාට වඩා ඉහල තත්වයකින් යුතු පරිසරයේ වෙසෙන තවත් එක් ජිවින් පිරිසක් පමනක් බවය

    • abuarshed 2012-02-09 at 08:16

      ඉහත ලිපිය තුලින් මෙන්ම මෙම අඩවිය තුල ඇති දේව වාදය පිලිබදව අනිකුත් ආගම් හා දර්ශනයන් සමඟ සංසන්ධනාත්මක ලෙස කථා කල බොහෝ ලිපි තුලින් ‘දෙවියන්’ පිලිබදව වූ වාදයට එරෙහිව විවිධ තර්ක ගෙන එන පිරිසට ‘තමන් පිලිගෙන පිලිපදින දහම තුලත් දෙවියන් පිලිබදව කථා කරනවා’ යන්න හේත්තු ‍ගැන්වීම සදහා විවිධ තර්ක හා සාක්ෂී ගෙන ආවා මිස ඉස්ලාම් පවසන දේවවාදය බුදුදහමේ, හින්දු දහමේ හෝ කිතුණූ දහමේ තිබෙන බවට කිසිදු තැනක තර්ක කර නැත. මන්ද මේ සියළු දහමන් තුල දේව වාදය තිබුණත් ඒවා එකින් එකට වෙනස්ය. බුදුදහමේ සදහන් දේව වාදය පිලිබදව ඉහත සහෝදරයා ඉදිරිපත් කරන තර්කය බොහෝ ලෙස සමානය. නමුත් එම වාදය ඉස්ලාම්, හින්දු හෝ කිතුණූ දහම පිලිගන්නේ නැත. මේ නිසා ඉහත ලිපිය පමණක් කියවා මා පවසන කාරණය අවබෝධ කරගන්නවාට වඩා ‘දේව වාදය’ සම්බන්ධයෙන් මෙම අඩවිය තුල සදහන් සියළු ලිපි කියවා ඉන් අනතුරුව ඒ පිලිබදව තර්කයන් මතුකිරීම තමා වඩාත් සුදුසු යන්නත් මාගේ හැඟීමයි.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *