ලෝක සරණාගත දිනය – ඉස්ලාමීය විමසුමක්

0

June 20ලොව සිදුවූ හා සිදුවෙමින් තිබෙන නොයෙක් සිදුවීමන් පදනම් කරගෙන ජාත්‍යන්තර දින ප්‍රකාශයට පත්වීම අද ලෝක සම්ප්‍රදායක් වී ඇත. එවැනි සුවිශේෂි දින කිහිපයක් පිලිබදව විටින් විට යහමඟ අඩවිය තුල මීට ඉහත සාකච්චා කොට ද ඇත. අද දිනයේ ද යහමඟ අඩවිය තුල සාකච්චා කරන්නේ එවැනි වූ තවත් සුවිශේෂි දිනයක් පිලිබදවයි. ඒ ‘ජාත්‍යන්තර සරණාගත දිනය‘ නම් දිනය පිලිබදවයි. 2000 වර්ෂයේ දී ලොවපුරා වෙසෙන සරණාගතයින්ට තම සහයෝගය පලකිරීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක සරණාගත දිනය ලෙස ජූනි 20 ප්‍රකාශයට පත්කරන ලදී.එවන් වූ දිනයක් යහමඟ අඩවිය තුල අද දවසේ සාකච්චා කිරීමට මුස්ලීම්වරුන් වන අපට සාධාර්ණ වූ හේතු ගණනාවක් ඇත. ඒවා අතුරින් ප්‍රධානතම හේතු දෙකක් පවසන්නේ නම්,

  • ලෝක සරණාගතයින් අතුරින් අති බහුතරය මුස්ලීම්වරුන් වීම,
  • ශ්‍රී ලාංකීය සමාජය තුල ද ජාතිවාදය, දේශසීමාවාදය, ආගම්වාදය හා ත්‍රස්ථවාදය වැනි හේතු මත මුස්ලීම් සරණාගත සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වෙමින් පැවතීම,

ඉස්ලාමීය ඉතිහාසය හොදින් අධ්‍යනය කරන්නේ නම්, ජාත්‍යන්තරයේ හා ජාතිකතලයේ සමස්ථ ප්‍රජාව අතුරින් මුස්ලීම් ප්‍රජාව මුස්ලීම්වරුන් වූ නිසාම සරණාගතයින් බවට පත්කල හා පත්වූ අවස්ථා ගණනාවක් දැකගත හැක. විශේෂයෙන් මුහම්මද් (සල්) තුමාණන් මඟින් ඉස්ලාම් දහම ප්‍රකාශ වූ ආරම්භ කාලයේ ‘මුහාජිරීන්වරුන්‘ නමින් තම මව්බිම වූ මක්කාවේ සිට මදීනාවට පලාගිය මුස්ලීම් සරණාගතයින් මෙහි විශේෂයෙන් සදහන් කලහැක. අල්ලාහ් (දෙවි) එකම දෙවි බවත්, ඔහු විසින් පහල කල මාර්ගය සත්‍ය මාර්ගය බවත් පිලිගෙන පිලිපැදීම එදා පටන් අද දක්වා ම බොහෝ මුස්ලීම්වරුන් අද සරණාගතයින් වීමට මූලික වූ හේතුවී ඇත. තම ආගමික ඉගෙන්වීම තුල කොටු වී මුස්ලීම්වරුන් කටයුතු කිරීම අද ලොවපුරා වෙසෙන මුස්ලීම් නොවන අන්තවාදී පිරිසගේ නොසතුටටත්, මුස්ලීම්වරුන්ට එරෙහි කුමණ්ත්‍රන දියත් කිරීමටත් හේතු වී ඇත. අවාසනාවන්ත ලෙස පසුගිය දශකයක කාලයක් තුල මෙය දැන් දැන් අප රට තුලත් සාමාන්‍ය තත්ත්වයක් බවට පරිවර්ථනය වෙමින් ඇත. විශේෂයෙන් 2014/06/15 දින ‘පොසොන් සතිය‘ හා ‘ලෝක සරණාගත දිනය‘ සමරණ ලෙසින් අළුත්ගම, බේරුවල හා ඒ අවට ප්‍රදේශවල සිංහල බෞද්ධ ජාතිවාදීන් විසින් දියත් කල මිලෙඡ්ච ප්‍රහාරය හා මංකොල්ලකෑම මෙයට සමීපතම නිදසුනකි. පවුල් ගණනාවක් සරණාගතයින් කරමින්, ව්‍යාපාරික ස්ථාන ගණනාවක් විනාශ කරමින් මුස්ලීම් ප්‍රජාව තෝර තෝරා ප්‍රහාර එල්ල කලේ ඔවුන් මුස්ලීම්වරුන් වූ නිසාම මිස අනි කිසිදු කාරණයක් නිසා නොවන බව එහි ගොස් ඔවුන් සමඟ කථා කලේනම් ඔබට අවබෝධ වනු ඇත.

මෙය මේ රට තුල මුස්ලීම්වරුන්ට එරෙහිව දියත් වූ පලමු ඛේදවාචකය නොවේ. ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් කලින් කලට ජාතිවාදීන්ගේ හා ත්‍රස්ථවාදීන්ගේ ගොදුරක් වූ අවස්ථා රාශියක් ඉතිහාසය පුරාවට දැකිය හැක. විශේෂයෙන් යාපනයේ සිට මුස්ලීම්වරුන් ඇදිවතින් නෙරපා හැරීමත් අදත් ඔවුන් විවිධ ප්‍රදේශවල සරණාගතයින් ලෙස ජීවත්වීමත් ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් වන අපට අමතක කල නොහැක.මෙතැනදී විශේෂ කාරණයක් සදහන් කලයුතුව ඇත. එනම්, සමහරක් ඊනියා විද්වතුන් මේ දිනවල ඉහත යාපන සිදුවීමත් අළුත්ගම/බේරුවල සිදුවීමත් එක සමාන කොට කථා කරන්න උත්සාහ දරණ ආකාරයක් මාධ්‍යයන් තුල දැකීමට ඇත. පැහැදිලිවම ඉහතින් මා සදහන් කල 2014/06/15 අළුත්ගම, බේරුවල හා ඒ අවට සිද්ධිය එසේ යාපන සිද්ධියට සමකොට සැලකිය නොහැකි තත්ත්වයන් බව මුස්ලීම් ප්‍රජාව වටහා ගතයුතුව ඇත.එදා යාපන මුස්ලීම් ප්‍රජාවගේ දේපල හා ඉඩම් උදුරාගැනීම (මංකොල්ලකෑම) අරමුණින් එම ප්‍රදේශවලින් මුස්ලීම් ප්‍රජාව පලවාහරින විට රජයත්, මාධ්‍යයත්, වගකිවයුතු පාර්ශවයනුත් ඔවුන් වෙනුවෙන් මැදිහත් වූවා, හඬක් නැගුවා. නමුත් අද සිංහල බෞද්ධ අන්තවාදීන් මුස්ලීම් ප්‍රජාව ඉල්කක කොට ප්‍රහාර දියත් කරන විට එදා මැදිහත් වූ ඒ සියළු පාර්ශව අද මුනිවත රකී. රටක සුළු ජාතීන් සම්බන්ධයෙන් මෙලෙස කටයුතු කිරීම එදා තත්වයට වඩා භයානක තත්ත්වයකි. ඒ කෝණයෙන් බැලුව ද ‘සරණාගතයින්‘ සම්බන්ධයෙන් වු මෙම විෂය ශ්‍රී ලාංකීය අපට කාලීන මාතෘකාවකි.

ජීවිත කාලය පුරාවට ගොඩනැඟූ දේපල අහිමිව, මහන්සියෙන් හා කැපවීමෙන් ගොඩනඟාගත් ව්‍යාපාරික ස්ථාන අහිමිව, දරුවන්ට ආදරණීය පියවරුන් අහිමිව, බිරිදෑවරුන්ට තම ස්වාමියා අහිමිව, ජීවිතයේ බොහෝ දුරක් යන්න සැලසුම් කල තරුණයින්ගේ පා අහිමිව… මෙකීනොකී තවත් බොහෝ දෑ අහිමිව අද අසරණව ඔබ අප සරණ බලා සිටින අළුත්ගම, බේරුවල හා ඒ අවට ජනතාවට මෙන්ම මෙවැනිම ඛේදවාචකයන්ට විවිධ ප්‍රදේශවල මුහුණ දී සරණාගතයින් වී ජීවත් වන මුස්ලීම් ප්‍රජාවගේ සිත නිවාලනු පිණිස ඉස්ලාමීය ඉගෙන්වීමන් කිහිපයක් ඔබේ විමසුමට පෙලගසන්නට අදහස් කරමි.

මෙහි ප්‍රථමයෙන් වටහා ගතයුතු කාරණය වන්නේ අද ශ්‍රී ලාංකීය ඔබත්, මාත් අත්විඳින හා දකින තත්ත්වය අහඹූ තත්ත්වයක් නොඑසේ නම්, සරල සිද්ධියක් යනුවෙන් නොසලකා හැරිය හැකි මට්ටමේ එකක් නම් නොවේ. මෙය ඔබත් මාත් මුස්ලීම්වරුන් වූ නිසාම මුහුණදෙන අතීතයේ පටන් සෑම මුස්ලීම්වරයෙකුම විටින් විට මුහුණදුන් තත්වයකි. අල්ලාහ් (දෙවි)ගේ දහම මේ මිහිමත ප්‍රකාශ කරන්නට පැමිණි වක්තෘවරුන්ටත් මේ අවාසනාවන්ත ඉරණම උදා වූ ඉතිහාසය අප ශුද්ධ වූ කුර්ආනයේ දකින්නෙමු. නබිවරුන් හෙවත් දේව වක්තෘවරුන් ඝාතනය වීම, උපන් බිමින් නෙරපීම සුලභව සිදුවූ බව ශුද්ධ වූ කුර්ආනය අපට සාක්ෂි දරයි. සරලව පවසනවා නම් ‘සරණාගත දිවිය මුලින්ම ලෝකයේ අත්වින්දේ නබිවරුන් හෙවත් දේව වක්තෘවරුන් මිස වෙන කවුරුන්දෝ !‘ යයි සිතන තරමට ඔවුන්ගේ දිවිය දුක්කම්කටලුවලින් පිරී පැවතුණි. ශුද්ධ වූ කුර්ආනය තුලින් ම එය ඔබේ විමසුමට සමීප කරන්නේ නම්,

අල්ලාහ් (දෙවි) ප්‍රතික්ෂේප කරන්නන්, නබිවරුන් (වක්තෘවරුන්) හමුවට පැමිණ ‘අපගේ භූමියෙන් ඔබලා පලවා හරින්නෙමු. එසේ නොකරන්න නුඹලා අපගේ දහම පිලි(ගෙන වැලද)ගත යුතුයි‘ යයි පවසන ලදී.

ශුද්ධ වූ කුර්ආනය 24-23

අතීතයේ පැවතී රටින් පිටුවහල් කිරීම, දේශසීමාවෙහි රදවා තැබීම වැනි තත්වයන් වර්ථමාන ලෝකයේ ඒ ආකාරයටම දක්නට නැතත් තම උපන් බිම තුල කිසිවකුගේ හවුහරනක් නොමැතිව සරණාගතයින් ලෙස ජීවත් වන අවාසනාවන්ත තත්ත්වය අදත් ලොව තුල දක්නට ඇත. අද ලොවපුරා වෙසෙන අතිබහුතර සරණාගතයින්ගේ තත්ත්වය මෙය බව ද අමතක කලයුතු නැත. ඒ අනුව අල්ලාහ් (දෙවි) පිලිගෙන ජීවත් වන සෑම මුස්ලීම්වරයෙකුට මෙවැනි අවාසනාවන්ත ‘සරණාගත‘ තත්ත්වයන් උදාවීමට හැකි බව ඉහත 24-23 ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය පැහැදිලිව අවදාරණය කරන ආකාරය පෙනේ. තමන් කොතරම් දුරකට දහම තුල ස්ථීර වන්නේ ද ඒ තරමට ම මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් වැඩි වැඩියෙන් මුහුණදීමට සිදුවෙනවා යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. මෙය ශුද්ධ වූ කුර්ආනය මෙසේ අවදාරණය කරයි.

කවුරුන් තම ප්‍රදේශයෙන් අසාධාර්ණ ලෙස නෙරපා හරින ලද්දේ ද ඔවුන් අපගේ දෙවි ‘අල්ලාහ්‘ යයි පැවසීම හැර අන් කිසිවක් නිසා හෝ නෙරපු වේ නැත.

ශුද්ධ වූ කුර්ආනය 22-40

මෙම තත්ත්වය මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවිතය තුල අප හොදින් දුටුවෙමු. නබිතුමාණන්ගේ දිවිය තුල පමණක් නොව එතුමා අනුගමනය කල සමකාලීන (සහාභාවරුන්) පිරිස් ද මෙම අවාසනාවන්ත තත්ත්වයට ගොදුරු විය. වර්ථමානයේ ලොවපුරා සරණාගතයින් අත්විඳින ආකාරයටම තම උපන් බිම තුල මුස්ලීම්වරුන්ට සරණාගතයින් ලෙස ජීවත්වීමට සිදුවූ ආකාරයත් අප ඉතිහාසය තුල දකින්නෙමු. ඉස්ලාමීය ආරම්භ කාලයේ සුළුතරයක් වූ මුස්ලීම්වරුන් ගමින් පිටුවහල් කොට ‘ශිහ්බු අබූතාලිබ්‘ නම් සානුවක වසර 03 ක් රදවා ඔවුනට ආහාර, ජලය වැනි මූලික පහසුකම් පවා ලබානොදී ඔවුනට උපකාර කරන්න ඉදිරිපත් වන පිරිසට පවා දැඩි දඬුවම් පමුණුවමින් මුස්ලීම්වරුන් සරණාගතයින් කොට කිසිවකුගේ සරණක් නොමැතිව ජීවත්වීමට සැලසූ ඉතිහාසය, ඉතිහාසය උගත් කිසිදු මුස්ලීම්වරයෙකුට අමතක කල නොහැක. එහි පැවැති කෘෘර බව කියාපාන සිදුවීමක් ඔබේ මතකයට ගෙන එන්නේ නම්,

එම තත්ත්වයට මුහුණපෑ සඅද් ඉබුනු අබීවක්කාස් (රලි) නම් සහාභිවරයා පසුකාලීනව මෙසේ පවසයි. අපි උපන් බිමින් නෙරපවා කඳු අතර කාන්තාර ප්‍රදේශයක ජීවත් වුනෙමු. එහි අපට ආහාරයට කිසිවක් නොමැති නිසා කුඩා පඳුරුවල ඇති දළුකොල කෑවෙමු. මේ හේතුව නිසා අපගේ මළපහ පවා එළුබෙටි මෙන් විය.

ඉහත ප්‍රකාශය තුලින් ඒ ආරම්භ කාල මුස්ලීම්වරුන් මේ දහම කොතරමු දුෂ්කරතාවයන් හා බාධකයන් මධ්‍යයේ ආරක්ෂ කොට අපට දායාද කොට ඇත්තේ ද යන්න අවබෝධ කරගැනීම ඔබට තවදුරටත් දුෂ්කර නොවේ. එපමණක් නොවේ මුස්ලීම් වීම ම ඔහු ජීවිතයේ කවර අවස්ථාවක දී හෝ සරණාගත තත්ත්වයට තල්ලුවීමට හේතුවිය හැකි බව ද ඉහත කරුණුවලින් මුස්ලීම්වරුන් වන අප තවදුරටත් පැහැදිලිව අවබෝධකර ගතයුතු වේ. එවැනි තත්ත්වයන්ට මුහුණදිය හැකි ශක්තිය ආගමික විනය අප තුල ගොඩනඟා ගතයුතු වේ. මෙවැනි අවස්ථාවල ඉස්ලාම් යෝජනා කරන ක්‍රමවේදයන්ට මුස්ලීම් ප්‍රජාව යොමුවිය යුතුවේ. මීට වසර 14 කට පෙර ලෝක සරණාගතයින් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ සංවිධානය සිතන විට මීට වසර 1400 කට පෙර ඉස්ලාම් දහම ඒ පිලිබදව විමසුමක් කොට තීන්දුව ද ප්‍රකාශ කොට හමාරය. එය ඉස්ලාම් දහමේ දෙවන හිජ්රතය එනම්, මක්කා නම් නගරයේ සිට මදීනා නම් නගරයට මක්කාවාසීන් සරණාගතයින් ලෙස පැමිණි කල්හි නබිතුමාණන් ඔවුන් අතර සහෝදරත්වයේ බැඳීම ගොඩනැඟූ ආකාරයත් හා එය අල්ලාහ් (දෙවි) ප්‍රශංසාත්මක ලෙස කථා කරන ආකාරයත් අපට ශුද්ධ වූ කුර්ආනයේ 59-9 වාක්‍යයෙන් ඉතා පැහැදිලිව දැකගත හැක.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ අද අප රටේ මුස්ලීම්වරුන් වීම ම ඉදිරියේදී සරණගාතයින් වීමට එකම හේතුවක් වීමට අවශ්‍ය පසුබිම් නිර්මාණය වෙමින් පවතින වකවානුවක, ඔවුනට සාධාර්ණ ඉටුවිය යුතු හා ඉටුකල යුතු සියළු පාර්ශවයන් ද අත්හැර දමා අහක බලාසිටින හා ඊනියා හේතු සාධක සොයමින් සිටින පසුබිමක දැනට අසරණව සරණාගතයින්ව ජීවත්වන මුස්ලීම්වරුන්ට අපගේ සහෝදරත්වයේ දෑත් දිඟු කලයුතුව ඇත. දැනටමත් බොහෝ මුස්ලීම්වරුන් තම යුතුකම මුස්ලීම් නොවන පිරිස් පවා මවිත කරවන අන්දමට අළුත්ගම, බේරුවල ප්‍රදේශ තුල  ඉටු කරමින් ඇත. කෙසේ වෙතත් සියළු මුස්ලීම්වරුන් තමන්ට හැකි පමණින් ඔවුනට තව තවත් පිහිට වියයුතුව ඇත. එපමණක් නොව ඔවුන්ගේ නිදහස හා සාර්ථකත්වය වෙනුවෙන් අල්ලාහ් (දෙවි)ගෙන් ප්‍රාර්ථනාවන් ද මේ උපවාස සමයේ විශේෂයෙන් එක් කලයුතුව ඇත. ඒ තුලින් අල්ලාහ් (දෙවි)ගේ ආදරය, කරුණාව හා භාග්‍යය අප ද දිනා ගතයුතුව ඇත.

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *