ලෞකික දිවිය හා ලෝකෝත්තර විමුක්තිය

0

අද ලොව පවතින බොහෝ ආගම් හි ඉගෙන්වීමන් හොදින් අධ්‍යනය කරන විට එහි මනුෂ්‍යාගේ මූලික අවශ්‍යතාවයන් පවා උදුරා ගන්නා ආකාරයේ නීතිරීති පවතින බව දක්නට ලැබේ. එනම් ආහාර, හොද වස්ත්‍ර, යහපත් නිවසක්, බිරිදක්, දරුවන්… යනාදී සියල්ල ප්‍රතික්ෂේප කිරීම තුල ලබාගත හැකි විමුක්තියක් සමාජයට දේශනා කරයි. මෙවන් තත්වයක ආගම හා වර්ථමාන දියුණු ලෝකය අතර මිනිසා සංකීර්ණ වූ ගැටළුවලට මැදි වී ඇත. මෙය අද සෑම ආගමක්ම දර්ශනයක්ම මුහුණදෙන අවාසනාවන්ත ඉරණමකි. නමුත් දිව්‍යමය සැලසුම්කරණයක් වූ ඉස්ලාම් එසේ නොවේ. එය මනුෂ්‍යාගේ මුලික අයිතීන් ලබාදීමෙන් නතර නොවී. එය භුක්ති විදීමේ අවශ්‍යතාවය ද අවධාරනය කරන බව අප මෙම යහමඟ අඩවිය තුලින් “ඉස්ලාම් මිනිස් අයිතීන් උදුරාගන්නෙහිද?” යන මාතෘකාව ඔස්සේ කථා කලෙමු. ඒ අනුව සමාජය තුල පවතින විශ්වාසයක් වන මනුෂ්‍යා ලෝකොත්තර දිවිය ජයගැනීමට නම් ලෞකික ජීවිතයේ සියළු සැප සම්පත් අත්හැර දුක්බර ජීවිතයක් ගතකල යුතු යන්න ඉස්ලාම් ප්‍රතික්ෂේප කරන වැරදි ආදර්ශයක් බව පෙන්වා දුන්නෙමු. මේ සමඟම ඇති වන තවත් ගැටළුවක් වන්නේ “ලෞකික සැප සම්පත් භුක්තිවිදීම පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද?” යන්නයි. මන්ද ලොව සෑම ආගමක්ම දර්ශනයක්ම මනුෂ්‍යාගේ මූලික අයිතීන් පවා උදුරාගනිද්දී ඉස්ලාම් එ‍‍යට උපරිම නිදහස ලබාදෙන බව අප පවසන විට එහි සීමාව පිලිබදව කුතුහලයක් සමාජය තුල නිර්මාණය වීම නොවැලැක්විය හැක. මේ හේතුව නිසා එම කාරණය එනම් “ලෞකික දිවිය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය” පිලිබදව අවධානය යොමු කිරීමට අදහස් කරමි.

ලෞකික දිවිය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය

ඉස්ලාම් වතාවත් පමණක් මනුෂ්‍යාට අවධාරනය කරන තවත් ආගමක් නොවේ. එය ලෞකික හා ලෝකෝත්තර සාර්ථක දිවියකට මඟපෙන්වන ජීවන සැලැස්මකි. එහි මනුෂ්‍ය අයිතීන්, අවශ්‍යතාවයන් හා නිදහස වැනි කරුණු පිලිබදව උපරිමයෙන් කථාකොට ඇත. අනිකුත් දහමන් දර්ශනයන් මෙන් ලෞකක කාරණා සියල්ලෙන් මිදී මනුෂ්‍ය දිවියකට දරාගත නොහැකි කැප කිරීමන් කරමින් ලබාගත හැකි විමුක්තියක් පිලිබදව ඉස්ලාම් කථා නොකරයි. ඉස්ලාමීය ඉගෙන්වීම වන්නේ “ලෞකිකව යහපත් මිනිසකු ලෙස ජීවත් වී ලෞකික සැපසම්පත් භුක්තිවිදිමින්, එම සැපසම්පත් තුලින් (සකාත් – ධනවතුන් දුප්පතුන් වෙනුවෙන් දියයුතු අනිවාර්ය බද්ධ, සදකා – පරිත්‍යාගයන්…) සමාජයට ද කිසියම් මෙහෙවරක් කරමින්, ඒ තුලින් මරණින් මතු උදාවන සදාතනික දිවියට අවශ්‍ය පසුබිම සකසා ගන්න” යන්නයි. ඒ අනුව ඉස්ලාම් භක්තිකයෙකු හට තම විමුක්තිය කරා යන ගමනේ “ලෞකික සැපසම්පත්” යනු භාග්‍යයක් මිස අභාග්‍යයක් නොවේ. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා ඉස්ලාමීය මූලික ඉගෙන්වීමක් ගෙනහැර දැක්විය හැක. එනම් ඉස්ලාම් දහමෙ හි සෑම මුස්ලීම්වරයෙකුට අනිවාර්ය වගකීම් 05ක් ඇත. ඒ,

  1. දෙවියන් පිළිබදව විශ්වාස කිරීම. (ඉස්ලාමය පිලිගැනීම)
  2. පස්වේල (දිනපතා) සලාතය ඉටුකිරිම.
  3. වර්ෂයකට මාසයක් (රමලාන් මාසයේ) උපවාසය රැකීම.
  4. සකාත්- තම ධනයෙන් කිසියම් ප්‍රතිශතයක් දුගීන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම. – වත්කම් ඇති පිරිස් සදහා පමණක් අනිවාර්ය වේ.
  5. ජීවිතකාලයේ වරක් හජ්වන්දනය (මක්කාවට ගොස්) ඉටුකිරීම – වත්කම් ඇති පිරිස් සදහා පමණක් අනිවාර්ය වේ.

ඉහත අනිවාර්ය වගකීම් 05 සැලකූවිට අවසාන 02 ඉටුකිරීමට නම් අනිවාර්යයෙන්ම ධනය (මුදල්) අත්‍ය අවශ්‍ය වේ. එසේ නම් ඒ තුලින් ද පැහැදිලි වන්නේ ඉස්ලාම් ධනය රැස්කිරීම කෙරෙහි මුස්ලිම්වරුන් සදහා වක්‍ර ආකාරයට උනන්දු කරවන බව නොවේ ද? මීට අමතරව ඉස්ලාම් “සදකා” නම් වූ කුසල ක්‍රියාවක් පිලිබදව ද දැඩිව අවධාරණය කරයි. මෙය දුප්පත් පොහොසත් සියළු දෙන තමන්ට හැකි පමණින් අන් අයට කරණ උපකාරයන් වේ. මේ අනුව ඉස්ලාම් ධනය හා ලෞකික ජීවිතය ප්‍රතික්ෂේප කරන දහමක් නොවන බව පැහැදිලිය. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා ශුද්ධ වූ කුර්ආනයේ 17-12 මගින් අල්ලාහ් (දෙවියන්) පවසන පහත දිව්‍යමය වාක්‍යය ඔබට හොදටම ප්‍රමාණවත් වනු ඇත.

“රාත්‍රියද, දහවලද (ඔබට) සලකුණු දෙකක් කලෙමු. (එහි) රාත්‍රී සලකුණු අප අදුරු කලෙමු. (මේ පොළොවෙහි සැරිසර) ඔබ හිමි (දෙවියන්) ඔබට ලබාදී ඇති වරප්‍රසාද (භාග්‍යයන් හා සැපසම්පත්) සොයැගැනීම පිණිස දහවල අපි ආලෝකමත් කලෙමු…”

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය යෙන් පැහැදිලිවම අල්ලාහ් (දෙවියන්) පවසන්නේ දහවල ආලෝකමත් කරන ලද්දේ ඔබ මෙලොව භාග්‍යයන් හා සැපසම්පත් එක්රැස් කරගැනීමට සරලව පවසන්නේ නම් මේ ලෝකය හම්බ කරගැනීම පිණිස බව පැහැදිලිවම පවසයි. ඒ සදහා පොළොව මත සැරිසරයාමෙහි අවශ්‍යතාවයද වක්‍ර ආකාරයට මෙහි දී අවාධාරනය කරන අතර තවත් දිව්‍යමය වාක්‍යයක් මඟින් එය සෘජුවම අවධාරණය කරයි. එනම් ශුද්ධ වූ කුර්ආනයේ 62-10 මඟින් මෙසේ අවධාරණය කරයි.

නුඹලා සිකුරාදා සලාතය අවසන් කලේ නම් ඒ සැනින් පොළොවෙහි විසිර යන්න එහි සැරිසර ඔබේ භාගයයන් සොයන්න

ඉහත කුර්ආන් වාක්‍යය සතිපතා (සිකුරාදා) ජුම්මා සලාතයේ දී බොහෝ විට පාරායනය කරන පාඨයකි. එය ඉස්ලාම් ඒ තරම් අවධාරනය කරනවා නම් ඉස්ලාම් ලෞකික දිවිය එනම් ධනය, වස්තූන් හා අනිකුත් සැප සම්පත් භුක්ති විදීමට කිසිදු තහනමක් බාධාවක් ඇතිකර නොමැති බව අවබෝධ කරගැනීම අපහසු නොවේ. මෙම තත්වය වඩාත් හොදින් අවබෝධ කරගැනීමට ශුද්ධ වූ කුර්ආනයේ පවසන එක්තරා සිදුවීමක් අපට පිටුවහලක් වනු ඇත. ශුද්ධ වූ කුර්ආනය 27-44 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවියන්) අපට පවසන එම සිදුවීම පහත ආකාරයට වේ. එනම්,

මීට වසර 2970කට පෙර එනම් ක්‍රි පූ 990-930 කාලවකවානුවේ ජීවත් වූ ධනකුවේරයෙකු මෙන්ම අල්ලාහ් (දෙවියන්)ගේ වක්තෘවරයෙකු වූ සුලෙයිමාන් (අලෛහිසලාම්) (බයිබලයේ සදහන් ආකාරයට සොලමන්) තුමාණන්ගේ මාලිගාවෙහි සිදුවූ එක්තරා සිදුවීමක් පිලිබදව පැවසීමේ දී ඔහුගේ මාලිගාව පිලිබදව මෙසේ සදහන් වේ,

“…ඇයට (කුමාරිකාවට) ‘මෙම මාලිගාවට ඇතුල් වනු’ යයි කියන ලදී. ඇය එහි එය (මාලිගාවේ පොළොවට ඔබ්බන ලද පළිඟු) දුටු විට (එය) ජලය යයි සිතා තමන්ගේ වස්ත්‍රය (නොතෙමෙන ආකාරයට) වළලුකර දක්වා එසෙව්වේය. (එවිට සුලෙයිමාන්, එය ජලය නොව) පළිගු ගල් ඔබ්බවන ලද මාලිගාවකි’ යයි කීවේය…”

ඉහත වාක්‍යය සම්බන්ධයෙන් ඔබේ බුද්ධිමත් අවධානය යොමු කලේ නම් ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් ඔබට දැකගත හැක. එනම්.

  • රජකුමාරිකාවක් මවිත කරවන ආකාරයේ මාලිගාවක්
  • ඒ මාලිගාවේ හිමිකරු අල්ලාහ් (දෙවියන්)ගේ වක්තෘවරයෙක්

සුලෙයිමාන් නබිතුමාගේ මාලිගාව දැක රජකුමාරිකාවක් මවිත වනවා නම් එය කොතරම් විශිෂ්ඨ නිර්මාණයක්ව පැවතිය යුතුද? එයත් දියුණු තාක්ෂණික මෙවලම් භාවිතා නොවන අවධියක මෙවැනි අධිසුඛෝපභෝගි නිවසක දෙවියන්ගේ වක්තෘවරයෙකු ජීවත් වූවා යනුවෙන් ශුද්ධ වූ කුර්ආනය අපට පැවසීම තුල එවන් වූ දිවියක් ඉස්ලාම් අනුමත කරනවා යන්න පැහැදිලිය. නමුත් මෙම සිදුවීම කියවන කිසියම් කෙනෙකු හට වර්ථමානයේ ආගමික ශාස්තෘවරුන් හා පූජකවරුන් ලෝකොත්තර දිවිය ජය ගන්න දුෂ්කර ක්‍රියා හා කැප කිරීම් කිරීම අත්‍ය අවශ්‍ය බව දේශනා කරමින් තමන් උපරිමයෙන් ජීවිතය භුක්ති විදනවා සේ එදත් වක්තෘවරැන් ජීවිතය භුක්තිවින්දා විය නොහැකිද? යන සැකය ඇතිවිය හැක. මෙවැනි සැකයක් වර්ථමාන සමාජයේ ජීවත්වන මිනිසාට ඇතිවීම සාධාර්ණ වූ තත්වයකි. මන්ද ප්‍රායෝගික ජීවිතයේ අප අවටින් දකින, අසන අත්දැකීම එයයි. නමුත් මුස්ලිම්වරුන් වන අපගේ විශ්වාසයට අනුව ශුද්ධ වූ කුර්ආනයේ සදහන් සියල්ල වර්ථමාන මිනිස් සමාජයට පවසන ආදර්ශයන්ය. එය දිව්‍යමය වාක්‍ය පමණක් අන්තර්ගත වූ ශුද්ධ වූ ලියවිල්ලක් වන අතර එහි මනුෂ්‍ය දිවියට අනවශ්‍ය හා ආදර්ශ නොවන කිසිවක් අන්තර්ගතව නැත. ඒ අනුව මීට වසර 2970 කට පෙර ජීවත් වූ අල්ලාහ් (දෙවියන්)ගේ දූතයා වූ සුලෙයිමාන් (අලෛ) තුමාණන්ගේ ජීවිතයේ සිදුවූ ඒ සිදුවීම වර්ථමානයේ ජීවත් වන අපට හා මින් ඉදිරියට බිහිවන සමාජයට අල්ලාහ් (දෙවියන්) විසින් පවසන්නේ පැහැදිලිවම එහි ආදර්ශයක් පවතින නිසාම පමණි. ඉස්ලාම් දහම පිලිබදව අවබෝධයක් නැති පිරිසට මෙහි තවත් ගැටළුක් ඇතිවිය හැක. එනම්, ඒ “එසේනම් ඉස්ලාම් පවසන වක්තෘවරැන් ගතකලේ සුඛෝපභෝගි ජීවිත ද?” යන්නයි. ඉහත කුර්ආන් වාක්‍යයට අනුව එවැනි සැකයක් ඇතිවීම වරදක් නොවේ. නමුත් ඉස්ලාම් පවසන ආකාරයට දෙවියන් විසින් මොලොව තොරා පත්කල වක්තෘවරැන් සංඛ්‍යාව ලක්ෂයකටත් අධිකය සුලෙයිමාන් (අලෛ) තුමාණන් යනු ඉන් එක් චරිතයක් පමණි. එතුමාණන්ට අමතරව තවත් බොහෝ වක්තෘරැවන් පිලිබදව ශුද්ධ වු කුර්ආනය අපට පවසයි. එහි දී ඔවුන් ජීවිතයේ විවිධ වූ දුෂ්කරතාවයන්ට මුහුණපෑ ආකාරයත් එම ගැටළුවල දී ඔවුන් ක්‍රියාකල ආකාරයත් ශුද්ධ වූ කුර්ආනය අපට කියාදෙයි. විශේෂයෙන් අවසාන වක්තෘ මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවිතය සැලකුවිට ඉහත මතය සම්පූර්ණයෙන්ම වැරදි බව පැහැදිලි වනු ඇත. එනම්,

දේව පණිවුඩ (වයස අවුරැදු 40 දී) එතුමාණන්ට පහලවීමට පෙර මක්කාවේ ජීවත් වූ ධනවතුන් අතර මුහම්මද් (සල්) තුමාණන් ද කෙනෙකි. මේ තමන්ට පහල වූ සත්‍ය දහම පිලිගැනීමත් පිලිපැදීමත් හේතුවෙන් එතුවක් තමන් සතුව තිබූ සියළු ධනයන් දුගී ජනයාහට බෙදා දෙන ලදී. මේ හේතුවෙන් එම සමාජයේ අන්ත දුගී තත්වයට එතුමාණන් පත්විය. කොතරමි දුගී තත්වයට පත්වුවද යන්න පවසනවා නමි අනිවාර්ය ආහාර වේල පවා සපයා ගැනීමට නොහැකි තත්වයට පත්වීය. මේ තත්වය පිලිබදව එතුමාගේ බිරිද වන ආයිෂා (රලි) තුමිය පැවසීමේ දී

“අප නිවසේ මාස තුනක පමණ කාලයක් ලිප ඇවිළුනේ නැහැ. හේතුව උයන්න කිසිවක් නිවසේ තිබුණේ නැහැ. අපි ඉදහිට හෝ ආහාර වශයෙන් ගත්තේ පරිත්‍යාග වශයෙන් ලද එළු කිරි ස්වල්පයක් පමණි”

තවත් අවස්ථාවක එතුමාගේ බිරිද වන ආයිෂා (රලි) තුමිය පවසා සිටියේ,

“අපේ නිවසේ රාත‍්‍රී කාලයේ පහනක් දැල්වුයේ නැහැ හේතුව පහනට යොදන්න අවශ්‍ය තෙල් මිලදී ගන්න අපට වත්කමක් තිබුණේ නැහැ”

මේ ආකාරයට එතුමාගේ දිළිදුබවෙන් පිරැණු ජීවිතය මතු කර පෙන්විය හැක. මෙහි දී තවත් කාරණයක් අවධාරණය කිරිමට ඇත. එනම් මේ ආකාරයට තමන් දිළිදු ජිවිතයක් ගතකල ද තම අනුගාමික සමහරක් සහාභාවරැන් එම සමාජයේ ධනකුවේරයන් ලෙස ජීවත්විය. එම සහාභාවරැන්ට තව තවත් ඒ සදහා උනන්දු කලා මිස කිසිවිටෙකත් එයට එරෙහි නොවීය. නමුත් මුහම්මද් (සල්) තුමාණන් තම ජීවිතයේ ධනවතෙකු ලෙස ජීවත්වීම ප්‍රිය කලේ නැති බව පහත එතුමාගේ වදනින් තහවුරු වේ.

“වරක් මුහම්මද් (සල්) තුමාණන්ගේ අනුගාමිකයන් නබිතුමාණන් හමුවට පැමිණ එතුමාගේ කටුක ජීවිතය දැක මෙසේ ආයාචනා කරන ලදී ‘නබිතුමණි අපට අවසර දෙන්න අපි ඔබතුමාණන්ට මෙලොව ඉහලම සැප පහසුකම් සපයා දෙන්නම්’ එයට නබිතුමාණන් පවසා සිටියේ, ‘මට මේ ලෝකය, මා යන දීර්ඝ ගමනක විඩාහරින්න තාවකාලික නවාතැනක් පමණි මගේ අරමුණ මෙතෙන නතරවීම නොවේ. ඒ නිසා මට මේ ලෞකක සැපසම්පත් අවශ්‍ය නොවේ.’ ”

මේ ආකාරයට එතුමාණන් දිළිදු ජීවිතයක් තෝරා ගැනීමට හේතුවක්ද ඇත. එනම් සමස්ථ මුස්ලීම් සමාජයටම ආදර්ශය මුහම්මද් (සල්) තුමාණන්ය. මෙය ශුද්ධ වූ කුර්ආනය අවධාරනය කරන සත්‍යයකි. එවන් වූ ආදර්ශමත් නබිතුමාණන් ධනවතෙකුව ජීවත් වෙමින් දුප්පතුන් සදහා ආදර්ශමත් වීම යනු ප්‍රායෝගිකව කලහැකි කාරණයක් වුවත් එය සමාජයට පිලිගැන්වීම තරමක දුෂ්කර වූ කාරණයකි. නමුත් දිළිදු කෙනෙකු ලෙස ජීවත්වමින් දිළිදුන්ට හා ධනවතුන්ට ආදර්ශමත් වූ ජීවිතයක් ගතකරනවා යන්න ප්‍රායෝගිකව මෙන්ම සමාජිය අතින් ද සීඝ්‍රයෙන් සමාජගත වන කාරණයකි. ඒ අනුව එතුමාණන්ගේ තෝරා ගැනීම මෙම දහමේ අසම සම බව පිලිඹිබු කරන තවත් එක් අවස්ථාවකි. මෙහි දී තවත් කාරණයක් ද අවධාරණය කිරීමට ඇත. එනම්, අද සමාජයේ දක්නට ලැබෙන පොදු සම්ප්‍රදාය වන්නේ ආගමික පූජකවරුන් හා අනුගාමිකයන් තම සද්ධාහව සමාජයට ඉහලින් මවාපැමටත් තමන් ජීවිතයේ බොහෝ දෑ කැපකරමින් මේ විමුක්තිය වෙනුවෙන් ක්‍රියා කරන බව සමාජයට හේතුගැන්වීමටත් මවාගත් ජීවන රටාවක් රඟ දක්වයි. ඉස්ලාම් මෙවැනි ක්‍රියාවන් මෙන්ම එවැනි ජීවන රටාවන්ද ප්‍රතික්ෂේප කරයි. මෙයට හොද නිදසුනක් ශුද්ධ වූ කුර්ආනයෙන්ම ගෙනහැර දැක්විය හැක. එනම්, ශුද්ධ වූ කුර්ආනයේ 2-273 වාක්‍යෙයන් අල්ලාහ් ( දෙවියන්) මෙසේ පවසයි,

“භූමියෙහි සැරිසර තම අවශ්‍යතාවයන් සදහා කිසිවක් සොයා ගැනීමට නොහැකි සේ දහමට සම්පූර්ණයෙන් කැපවූ සමහරක් (දුඟී) පිරිස් ඇත. ඒ අයගේ ක්‍රියාකලාපයන් දැක ඔවුන් නාදුනන පිරිස් මොවුන් මහා ධනකුවේරයන් යයි සිතනු ඇත. ඔවුන් කිසිවකුගෙන් හෝ සිඟමන් නොයදිති.”

ඉහත වාක්‍යයන්ට අනුව දිළිදුකම හෝ ලෞකික සියළු සැපසම්පත් අහිමි කරගෙන දුෂ්කර ක්‍රියාවන් තුලින් ලබාගත හැකි විමුක්තියක් ඉස්ලාම් පැහැදිලිවම දේශනා කරන්නේ නැති බව පැහැදිලිය. මෙය තවත් හොදින් අවබෝධක කරගැනීම සදහා ඉබුනුහිෆ්ෆාන් හදීස් ග්‍රන්ථයේ සදහන් 1232 වන පහත නබිවදන ඔබට මහත් පිටුවහලක් වනු ඇත.

මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී,

“සාර්ථක යහපත් දිවියක් මනුෂ්‍ය යෙකු හට කාරණා 04 ක් තිබීම අත්‍ය අවශ්‍ය වේ. එනම්,

  1. යහපත් බිරිඳක්
  2. විශාල (සැප පහසු) නිවසක්
  3. යහපත් අසැල්වාසියෙක්
  4. සැප පහසු වාහනයක්

ඉහත හදීසය නියත වශයෙන්ම ඔබව මවිත කරවනවා නොවේද? ආගමක් තුල මෙවැනි මඟපෙන්වීමක් ඉස්ලාම් දහම හැර වෙන කිසිදු දහමක ඔබට දැකිය හැකිද? බලන්න ඉස්ලාම් කුමක් පිලිබදව කථා කරනවාද කියා

  • ලොව සෑම දහමක් දර්ශනයක්ම විවාහ ජීවිතය පිලිකුල් කර එය ජීවිතයේ විමුක්තිය ලඟා කිරීමට බාධාවක් යයි පවසන විට ඉස්ලාම් එය යහපත් ජීවිතයක් සදහා මූලික අවශ්‍යතාවයක් බව අවධාරණය කරයි.
  • ලොව සෑම දහමක් දර්ශනයක්ම ලෞකික සැප සම්පත් අත්හල යුතු බවත්, දුෂ්කර ක්‍රියාවන් හි නිරත වියයුතු බවත් පවසන විට ඉස්ලාම් එය යහපත් ජීවිතයක් සදහා මූලික අවශ්‍යතාවයක් බව අවධාරණය කරයි.
  • ලොව සෑම දහමක්ම දර්ශනයක්ම ලෞකික බැදීම් අත්හැරීම තුල තමා විමුකත්තිය ඇති බව දේශනා කරන විට තමන් අවට සමාජ සමඟ ඇති කරගන්නා බැදීම් යහපත් දිවියකට අත්‍ය අවශ්‍ය සාධකයක් ලෙස ඉස්ලාම් පෙන්වා දෙයි.
  • ලොව සෑම දහමක් දර්ශනයක්ම ලෞකික සැප සම්පත්, යානවාහන භාවිතය ප්‍රතික්ෂේප කොට තම ශරීරයට දුක්දීම හා දුෂ්කර ක්‍රියාවන් හි නිරත වීම තුලින් විමුක්තිය ලඟා කරගත හැකි බව දේශනා කරන විට ඉස්ලාම් එම සැපසම්පත් හා යානවාහන යහපත් වූ මනුෂ්‍ය දිවියෙහි මූලික අවශ්‍යතාවය බව අවධාරණය කරයි.

මේ අනුව ඉස්ලාම් ආදර්ශමත් ප්‍රායෝගික ජීවන මාර්ගයක් යන්න මනාව පැහැදිලිය. ඒ අනුව මෙම ලිපියෙ හි අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ ඉස්ලාම් ලොව අනිකුත් දහමන් හා දර්ශනයන් හමුවේ අභියෝගාත්මකව මනුෂ්‍ය සමාජයක් දිනාගැනීමටත්, ලොවපුරා ව්‍යාප්තවීමටත් හැකිවුයේ මේ අසම සම මනුෂ්‍ය චින්තනවලින් බැහැර වූ දිව්‍යමය දහමක් වූ නිසාම පමණි.

අබූ අර්ශද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp