යහමඟ වෙබ් අඩවිය වසර දෙකක් පිරෙන මොහොතේ පණිවිඩය

මීට වසර 02 කට පෙර (එනම් 2009 දී) ආරම්භ කල යහමඟ වෙබ් අඩවිය මේ වනවිට සාර්ථක තෙවන වසරට පා තබා ඇත. සියල්ල මිල මුදලින් තීන්දු වන වකවානුවක, විශේෂයෙන් ආගම දහම ජනප්‍රියත්වය හා මිල මුදල් ලඟාකර ගන්නට භාවිතා කරන අවධියක සම්මතයෙන් මිදී යහමඟ භාරගත් අභියෝගය කිසිසේත් සුළුපටු නොවේ. 2010 වසර අවසානයේ යහමඟ තැබූ සටහන තුලින් අවධාරණය කලාසේ ඉස්ලාම් දහම කිසිදු පදනමකින් තොරව කල්පිතයන් පමණක්ම පදනම් කරගෙන ජාත්‍යන්තරයේ මෙන්ම ජාතිකතලයේ ප්‍රබල විවේචනයන් ට ලක්වන වකවානුවක විශේෂයෙන් අන්තර්ජාලය ඒ සදහා තෝතැන්නක්ව පැවති අවධියක ශ්‍රී ලාංකීය සිංහල භාෂාව හසුරුවන අන්තර්ජාල පාඨක පිරිස් අතර ඉස්ලාම් දහම පිලිබදව තිබෙන අනවබෝධය යම්තාක් දුරකට හෝ අවම කිරීම මූලික අරමුණු කරගෙන මෙම යහමඟ අඩවිය එදා ආරම්භ කරන ලදී.

ඉහත අරමුණු මුදුන්පත් කරගැනීම සදහා යහමඟ ගත් උත්සාහයන් සදහා ලැබූ ප්‍රතිචාර සුන්දර හෝ ආශිර්වාදාත්මක එකක් නොවීය. දැඩි බාධා කිරීමන් මෙන්ම අපවාද අවලාද මධ්‍යයේ “යහමඟ” අඩවියට නොසැලී ඉදිරියට ගමන් කිරීමට හැකි වුයේ නම් එය අල්ලාහ් (දෙවියන්)ගේ ආශිර්වාදය නොඅඩුව හිමි වූ නිසාම පමණි. ගෙවීගිය වසර තුල මෙම වෙබ් අඩවිය දෙවතාවක් “හැක්” (hack) කිරීමන්ට ගොදුරු වුවා යන්න පාඨක ඔබ දන්නවා ඇතැයි සිතමි. (ඒ අවස්ථාවේ ‘යහමඟ’ අඩවිය ලෙස ඔබට නැරඹීමට තිබුණේ මෙහි දැක්වෙන විකෘති රූපය පමණි. මෙහි දැක්වෙන රූපය ඔබේ මතකය අළුත් කරනු ඇත). එපමණක් නොව මෙම වෙබ් අඩවිය සදහා comments පහසුකම් ලබාදීමට කටයුතු කිරීමේ දී විවිධ පිරිසගේ නොමනා ක්‍රියාවන් හා බාධාකිරීමන් නිසා එම comments සේවාව දෙවරක්ම අත්හිටුවීමට සිදුවීම යහමඟ ලද තවත් අමිහිරි අත්දැකීමකි. මෙවැනි අමිහිරි අත්දැකීමන් රාශියක් තුලින් ගොඩනැඟෙන යහමඟ දිනුම් කණුද ගණනාවක් මේ වනවිට පසුකර ඇති බව සදහන් කරන්නේ හඳ පිරි සතුටිනි.

යහමඟ මේ තැනට ගෙන ඒම සදහා බොහෝ පිරිසකගේ දායකත්වයන් නන්අයුරින් ලැබූ බව මෙහිදී සදහන් කලයුතුමය. ඒ අදහස් යෝජනා හා දිරිගැන්වීම මඟින්, විවේචන හා බැණවැදීම් තුලින් (නව මාතෘකාවන් ලබාදෙමින්) හා පාඨකයන් ලෙස ලිපි ලබාදෙමින්… යනාදිය එවැනි ක්ෂේත්‍ර කිහිපයකි.යහමඟ අඩවිය තුල සැරිසරන ඔබට එවැනි ජයග්‍රහණ බොහෝමයක් දැකගත හැක. කෙසේ වෙතත් වසර 02 ක් ගෙවීයන මේ මොහොතේ ආපසු හැරී බලන විට යහමඟ අරමුණූ තවදුරටත් ඉහත රාමුවට පමණක් සීමා කල නොහැක්කක් යන්න පැහැදිලි වේ. මන්ද එදා සීමිත ඉලක්ක කිහිපයක් ඔස්සේ දිගහැරුණූ මෙම අඩවිය හමුවේ දිනෙන් දින වර්ධනය වන අභියෝග රාශියක් අද වනවිට පවතී. එවන් වූ අභියෝග හමුවේ යහමඟ විෂය පථය තව තවත් පුළුල් කිරීමේ අවශ්‍යතාවය ද පැනනැඟී ඇත. එනම්,

එදා ඉස්ලාම් දහම පිලිබදව අනවබෝධයෙන් ක්‍රියා කරන පිරිසට ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යන්න පැවසීමට ආරම්භ කල මෙම අඩවිය තුල අද වන විට ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යන්න දැන දැන “කෙසේ හෝ ඉස්ලාම් විවේචනය කලයුතුයි” යන පටු ඡේතනාවෙන් ක්‍රියාකරන පිරිසට පිලිතුරු ලබාදීමට සිදුව ඇත.

ආගම දහම පිලිබදව බුද්ධිමත් සංවාදයක් ගොඩනැඟීම අරමුණූ කරගෙන ආරම්භ කල මෙම අඩවිය තුල “ජතිවාදීන්” පිලිබදව කථා නොකරම බැරි තරමට වර්ථමාන සමාජය තුල ජාතිවාදී කල්ලීන් “ආගම්” නමින් බිහිවෙමින් සමස්ථ ජාතියම අවාසනාවන්ත තැනකට යොමු කරමින් සිටී.

සත්‍ය දහම ආගමික මූලාශ්‍රයන් තුලින් අවබෝධ කරගන්නවා වෙනුවට තම නැණ පමණින් අවබෝධ කරගැනීමේ විපාකය සමස්ථ ලෝකයාම මුහුණපාමින් සිටී. මෙවන් වූ මොහොතක යහමඟ ටද මෙම අනවබෝධය සමාජයට පැහැදිලි කිරීමේ වගකීම පැවරී ඇත.

එදා මුස්ලීම් නොවන පිරිසට ඉස්ලාම් දහම පිලිබදව අවබෝධයක් ලබාදීම මෙම අඩවියේ මුඛ්‍ය අරමුණ වුවද මුස්ලීම් සමාජයට පවතින ආගමික අනවබෝධය නිසා අද වනවිට මුස්ලීම් සමාජයට ද ඉස්ලාම් දහම පිලිබදව පැවසීමේ අවශ්‍යතාවයත්, වගකීමත් සමස්ථ මුස්ලීම් සමාජයට පැවරී ඇත. එම වගකීම ‘යහමඟ’ අඩවියට ද ඇත.

පටු අරමුණුවලට සීමා නොවී සියළු මතවාද එකම තැනක කථා කෙරෙන ඒවා එකින් එකට ගරුකරන ආදර්ශමත් සමාජයක් බිහිකිරීමේ වගකීම මේ රටේ සෑම පුරවැසියකුටම පැවරී ඇත. ඒ සදහා යහමඟ ට කලහැකි බොහෝ දෑ ද තවම ඉතිරිව ඇත.

මෙවන් වූ ශුද්ධ වූ අරමුණු හා ඉලක්ක පෙරදැරිව ‘යහමඟ’ තෙවන වසරට පා තබන මේ මොහොතේ යහමඟ පාඨක ඔබට නැවත නැවතත් ආරාධනාවක් කරන්නට කැමැත්තෙමි.

“එන්න අපගේ අදහස්, මතවාද විවෘත ලෙස අප කථා කරමු, එවා එකින් එකාට ගරු කරමින් සංවාද කරමු, ඒ සදහා යහමඟ අඩවිය ‘සංවාද මණ්ඩපයක්’ කරගනිමු”

අබූ අර්ශද්

යහමඟ වෙබ් අඩවිය වසරක් පිරෙන මොහොතේ පණිවිඩය

මෙම වෙබ් අඩවිය ආරම්භ කර වසරක් ගෙවීයන මේ මොහොතේ පාඨක ඔබේ අවධානයට කරැණු කිහිපයක් යොමු කිරීමට අදහස් කරමි.

සමයාන්තර විෂය පිලිබදව දැඩි උනන්දුවක් දක්වන උපතින් ඉස්ලාම් භක්තිකයෙකු වන අබූ අර්ශද් වන මා මීට වසර කට පෙර (2009 දී) මෙම වෙබ් අඩවිය ආරම්භ කලේ ප්‍රධාන අරමුණූ කිහිපයක් පෙරදැරි කරගෙනය. එනම්,

කලකපටන් ආගමික පොත්, ලිපි, මාධ්‍ය සාකච්චා, පුවත්පත් හා විශේෂයෙන් අන්තර්ජාල ලිපි කියවීමේ දී මාහට අවබෝධ වූ කාරණයක් නම් ලොව අනිකුත් ආගම්වලට සාපේක්ෂව “ඉස්ලාම්” දහම ජාත්‍යන්තරයේ මෙන්ම ලාංකීය සමාජයේ ද දැඩි විවේචනයන්ට හා අපහසයන්ට ලක්වන බවයි. එසේම එම චෝදනාවන් කියවීමේ දී පැහැදිලි වූ කාරණය නම් මෙම පිරිසට ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන් පිලිබදවත් නිසි අවබෝධයක් නොමැති බවයි. ඔවුන්ගේ විවේචනයන්ට බොහෝ විට  පදනම වී තිබුණේ ඔවුන් හෝ ඔවුන් නියෝජනය කරන දහමේ පූජකවරැන් හෝ එහි විද්වතුන් යයි පවසාගන්නා පිරිස් ඉස්ලාම් දහම ඔවුනට පෙන්වා දුන් ආකාරයයි. එයට සරල නිදසුනක් ලෙස ලංකාවේ ජනප්‍රිය ස්වාමිණ්වහන්සේ නමක් කල පහත ප්‍රකාශය සදහන් කල හැක.

“මොහොමඞ් නබි මිනිස්සුන්ව කඩුවෙන් කප කපා හැම තැනම ගිහින් එ් ධර්මය ප‍්‍රචාරය කළේ. එයා ධර්මය ප‍්‍රචාරය කළේ කඩුවෙනුයි. එයාට අකුරු බැරි නිසා අකුරු දන්න කෙනෙකු ලවා කඩුවේ කොටව ගත්තා ‘ඉස්ලාම්’ කියලා ඒකේ තේරුම ‘සාමය’ දැක්කද සාමය කඩුවට දාපු හැටි”

ඉහත තත්වය අවබෝධ කරගත් මා ඉස්ලාමීය විශ්වාසය හා ඉගෙන්වීමන් පිලිබදව ලාංකීය සමාජයට කිසියම් දැනුමක් ලබාදීම මෙහි අරමුණකි.

එසේම…

වර්ථමානයේ සිංහල භාෂාමය වෙබ් අඩවීන් හා බ්ලොග් (Blog) විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයේ නැරඹීමට හා කියවීමට ඇත. නමුත් මේවා තුලින් සමාජයට දෙන පණිවුඩය බොහෝ විට සමාජයට හිතකාමී ඒවාට වඩා සමාජ පරිහානියට මඟපාදන ඒවාවීම කණගාටුවට කරැණකි. විශේෂයෙන් අසභ්‍ය වෙබි අඩවි පිලිබදව සදහන් නොකරම බැරිය. (එය පසුගිය 2010.10.13 දින වනවිට ශ්‍රී ලාංකීය අසභ්‍ය වෙබ් අඩවීන් 445 තහනම් කර තිබීම මනාව පිළිඹිබු කරයි.) කෙසේ වෙතත් ඉතා සුළු වශයෙන් සමාජ හිතකාමී අඩවින් ද නැතුවා නොවේ. නමුත් ඒවා පොදු ජනයාට අවබෝධ කරගැනීමට තරම් සරල නොවීමත්, එය  කිසියම් ජන කොට්ඨාශයකට, ආගමකට, රටකට හා ජාතීයකට සීමාවීමත්, ඒවා තුලින් සාමාන්‍ය ජනයාගේ අවශ්‍යතාවයන් ඉටුකරනවා වෙනුවට ඔවුන් තව තවත් සංකීර්ණ ගැටළුන් තුල අතරමං කිරීමත් හේතුවෙන් එම සීමිත වෙබ් අඩවීන් මගින් පවා නිසි මෙහෙවර ජනතාවට ඉටු කිරීමට අපොහොසත් වී ඇත. විශේෂයෙන් ආගමික වෙබ් අඩවීන් සැලකූවිට එය වර්ථමාන මනුෂ්‍යාගේ මනුෂ්‍යත්වයට ගරැකරනවා වෙනුවට ඔහුව විවිධ රාමු තුල කොටුකර ඔහුගේ චින්තන නිදහසට විලංගු දමා ඇත. මෙවන් වූ මොහොතක ලොව අසමසම දහමක් මෙන්ම පරිපූර්ණ ජීවන සැලැස්මක් වන ඉස්ලාම් මිනිස් සමාජයට කුමක් පවසනවාද? යන්න පිලිබදව සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීම මෙහි තවත් අරමුණකි.

එසේම…

මෙම වෙබ් අඩවිය හරහා ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව මෙන්ම ඉස්ලාමයට එරෙහිව ඉහත ආකාරයට පදනම් විරහිතව මතු කරන චෝදනාවල වලංගුභාවය පිලිබදවත්, ඉස්ලාමීය ‍ඉගෙන්වීමන් අනිකුත් ආගම් හා සංසන්ධනාත්මකව කථා කිරීම මෙම වෙබ් අඩවියේ තවත් එක් අරමුණකි.

ඉහත ආකාරයේ ශුද්ධ වූ අරමුණු පෙරදැරිව ක්‍රියාත්මක වූ මෙම “යහමඟ” වෙබ් අඩවියට හමුවූ විවිධ බාධකයන් ආශිර්වාදයක් ක‍රගෙන අභියෝගාත්මක මෙන්ම ආදර්ශමත් පෙරලියක් සමාජය තුල සිදුකොට ඇත. මෙහි දී “යහමඟ” පාඨකයන්ගේ අවධානයට යොමු කලයුතු කරැණූ කිහිපයක් ද ඇත. එනම්,

සිංහල භාෂාව පිලිබදව හසල දැනුමක් නොමැති මාගේ භාෂාමය වැරදීන් මෙම අඩවිය තුල නිරන්තරයෙන් ඔබ නෙත ගැටෙනු ඇත. එවන් වූ වැරදි ඔබ විසින් පෙන්වා දෙන්නේ නම් නිහතමානිව පිලිගෙන එය නිවරැදි කිරීමට හැක. නමුත් මෙහි අවබෝධ කරගත යුතු කාරණය නම්, භාෂාව යනු අදහස් ප්‍රකාශ කිරීමේ එක් මාධ්‍යයක් පමණි. වැදගත් වන්නේ භාෂාවට වඩා එය තුලින් සමාජයට දෙන පණිවුඩයයි. මෙය ලොව සෑම දහමක්ම දර්ශනයක්ම අවධාරණය කරන පොදු වූ සත්‍යයකි. ඒ අනුව මෙහි දී වැදගත් වන්නේ මෙම “යහමඟ” අඩවිය කුමන කරැණූ ඉදිරිපත් කරනවාද? යන්න මිස එය කුමණ ආකාරයට කව්රැන් විසින් ඉදිරිපත් කරනවාද? යන්න නොවේ.

එසේම…

මෙම වෙබ් අඩවිය නරඹන ලොව පුරා සිටින මුස්ලීම් ප්‍රජාවගෙන් කාරැණික ඉල්ලීමක් කරන්නට ඇත. එනම් වර්ථමානයේ වෙනදාටත් වඩා වේගයෙන් ලාංකීය සමාජය තුල දෛනිකව ඉස්ලාමයට එරෙහිව විවිධ කටයුතු දියත් වෙමින් පවති. මෙයට මූලික හේතුව ඉස්ලාම් දහම කෙරෙහි ඔවුනට තිබෙන අනවබෝධයයි. එම නිසා ඉස්ලාම් දහම පිලිබදව මෙවැනි දැනුවත් කිරීමන් විවිධ ‍ක්ෂේත්‍ර ඔස්සේ ලාංකීය සමාජය තුල දියත් වියයුතුය. එය හුදෙක් තවත් වෙබ් අඩවියක ඇති ලිපියක් උපුටාගෙන තමන් නමින් පලකිරීම හෝ Copy, Paste, Cut, Edit  වැනි Tools  භාවිතා කරමින් තවත් කෙනෙකු‍ෙග් නිර්මාණයක් විකෘති කොට ඒවා පලකරමින් හෝ ඒවා අලෙවි කරමින් නොවේ. එවන් ක්‍රියාවලියන් තුලින් සිදුවන්නේ යහපත් වූ අරමුණු ඇතිව කරනු ලබන මෙවැනි මෙහෙවරයන් පවා අඩාල වී යාම පමණි. සියළු දෙනා ලිවිය යුතු යන්න ප්‍රායෝගික නොවන කාරණයක් යන්න සැබෑවකි. නමුත් මෙම ක්‍රියාදාමය තුල ලිවීම යන්න එක් අංගයක් පමණි. මීට අමතරව බොහෝ කටයුතු සදහා නන්අයුරින් ඔබට ඔබේ දායකත්වය සපයාදිය හැක.

එසේම…

මෙම අඩවිය තුල පලවී තිබෙන බොහෝ ලිපි අවසරයකින් තොරව වෙනත් වෙබ් අඩවිවල පලකොට ඇති බව දකින්නට ලැබේ. එවැනි අවස්ථාවන් හි එම ලිපිවල පසුකාලීනව කරනු ලබන යාවත්කාලීනයන්, නිවරැදි කිරීමන් හා සංශෝධනයන් මෙම අඩවියෙන් උපුටාගත් ලිපිවල සිදුකිරීමේ අවස්ථාව මට අහිමි වී යයි. මෙවැනි අවස්ථාවල මා දැඩි අපහසුතාවයන්ට පත්වේ. එමනිසා මා ඔබගෙන් ඉතා කාරැණිකව ඉල්ලා සිටින්නේ අදාල ලිපියට Links භාවිතා කරන්න. පිටපත් කිරීමෙන් වලකින්න. යහපතත් අරමුණු පෙරදැරිව ඉටුකරන මෙම මෙහෙවරට එය මහත් රැකුලක් වනු ඇත.

අවසාන වශයෙන් විවෘත හදවතක් ඇති ලොවපුරා විසිරී ජීවත් වන සිංහල භාෂාව හසුරැවන බෞද්ධ, හින්දු, කිතුණු හා ඉස්ලාම් ආගමික ඔබට සුහඳ සිතින් ආරාධනාවක් කරන්නට කැමැත්තෙමි.

“එන්න අප අඩවියට එහි අප අපගේ අදහස් විශ්වාසයන් බෙදා ගනිමු ඒ සදහා මේ තැන විවෘත වේදිකාවක් කරගනිමු. මෙය යහමග සොයන අඩවියයි. මෙහි මිත්‍යාවන්ට, අන්ධභක්තියට හෝ පදනම් විරහිත පාරම්පරික සම්ප්‍රදායන්ට ඉඩ නැත. ඇත්තේ අවංකකම, විවෘත බව හා බුද්ධිය මත පදනම් ව අලංකාර තර්ක විතර්ක පමණි.”

අදහස් හා සියළු විමසීම් සදහා info@yahamaga.com

අබූ අර්ශද්



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *