ව්‍යසනයන් හා මිනිසාගේ වගකීම

0

ගෙවී ගිය කාල වකවානුව හා වර්ථමානයේ ලොව තුල සිදුවෙමින් පවතින සිද්ධින් දෙස බලන කල එක් පසකින් දියුණුවේ ඉනිපෙත්තටම ගමන් කරන මිනිසා තවත් පසකින් විනාශ මුඛයට හා පරිහානියට ගොදුරු වෙමින් සිටී. මිනිසාගේ දියුණුව සතුටට කාරණයක් වුවත් එම මිනිසාම තවත් පසකින් පරිහානියට ලක්වෙමින් ජීව්ත්වීම කණගාටුවට මෙන්ම අවදානයට ද ලක්කල යුතු කාරණයකි. ඒ අනුව මේ නූතන මිනිසාගේ වර්ථමාන ඉරණම පිලිබදව විමසුම් ඇසින් බැලීම කාලීන වගකීමකි. මෙම වගකීම අවබෝධ කරගත් යහමඟ මා ඉහත කාරණය ඉස්ලාමීය විමසුමක් ඇසින් බලන්නට අදහස් කරමි. කවදත් ඉස්ලාමීය ඉගෙන්වීම පදනම් කරගෙන ගවේශණයක නිරත වන මා මෙම විෂය සම්බන්ධයෙන් ද එවැනි ගවේශණයක් සිදුකිරීමට මත්තෙන් මූලිකව අවබෝධ කරගත යුතු කරුණු කිහිපයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. එනම්,

අද ලොව තුල නුතන මිනිසා මුහුණ දෙන ගැටළු ආකාර දෙකක් වේ. එනම්,

  1. ස්වභාවික විපත් (මේ යටතේ මුහුද ගොඩගැලීම (සුනාමි තත්වයන්), කදු නායයෑම, ගිනිකදු පිපිරීම, සුළි සුළග, ගංවතුර, භූ කම්පන, ලැව්ගිනි,…යනාදිය සදහන් කල හැක.)
  2. ස්වභාවික නොවන (මිනිස් ක‍්‍රියාකාරකම් මත පදනම් වු) විපත්

මේ යටතේ යුද්ධය, සමුල ඝාතන, මිහිතලය උණුසුම් වීම, සුවකල නොහැකි Adis, ඩෙංගු වැනි රෝග, දේශපාලන කුමණ්ත‍්‍රන, පාලකයන්ගේ හිරිහැර, සමාජ විරෝධි ක‍්‍රියාවන්, අපචාර කටයුතු, දරාගත නොහැකි උද්ධමනය, පැහැරගැනීම්, අල්ලස් ගැනීම්… යනාදිය සදහන් කල හැක.

මේ ආකාරයේ වු ස්වභාවික හා ස්වභාවික නොවන විපත් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ අර්ථ කථන තම තමන් නියෝජනය කරන ක්ෂේත්‍රය හා තම නැණ පමණින් ලබාදෙයි. ඒවා විද්‍යාඥයින් විද්‍යාත්මක මුහුණුවරින්ද, දේශපාලඥයන් දේශපාලන මුහුණුවරින්ද, ආගමික නායකයින් හා පුජකවරැන් ආගමික මුහුණූවරින්ද,… යනදී වශයෙන් වේ. මේවා ජන මාධ්‍යයන් හරහා ද නිරන්තරයෙන් කථාබහට ලක්වන අතර මෙය ශ්‍රී ලාංකීය අපට සුලභ වු දසුනකි.

මෙවන් වූ මෙම විෂය පිලිබදව ඉස්ලාමීය කුමක් පවසනවාද? යන්න අවධානය යොමු කිරීම මෙම ලිපියෙහි මූලික අරමුණයි.

ඉස්ලාමයේ ඉගෙන්වීම කුමක්ද?

මෙම මාතෘකාව පිලිබදව වඩාත් ප‍්‍රමුඛස්ථානයක් දී මුස්ලීම්වරුන් කථා කිරීමට විශේෂ හේතුවක් ඇත. ඒ අද අනිකුත් ජන සමාජයන්ට සාපේක්ෂව ලොව අසරණ ජන කොට්ඨාශයක් බවට මේ මුස්ලීම් ප්‍රජාව පත්ව සිටීමය. 2007.06.20 දින එනම් ලෝක සරණාගත දිනය මූලික කරගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ලෝක සරණාගතින් පිලිබදව ඉදිරිපත් කල සංඛ්‍යා ලේඛන මනාව පිළිඹිබු කරයි. උතුම් වූ උපවාසයක නිරතවන අද දවසේ මෙවන් පිරිස පිලිබදව සිතා බැලීමේ අනිවාර්ය වගකීමක් සෑම මුස්ලීම්වරයෙකුටම ඇත. එදා එලිදැක් වූ එම සංඛ්‍යා ලේඛනවලට අනුව මුළු ලොවම ඇති සරණාගතියින් සංඛ්‍යාව මිලියන 40කි. එයින් 60% ක් (එනම් මිලියන 24ක්) මුස්ලීම්වරුන්ය. ඒ අෆ්ගනිස්ථනයේ මිලියන 2.5 ක්, ඉරාකයේ මිලියන 1.5 ක්, පලස්තීනයේ මිලියන 4.5 ක්, මීට අමතරව ඉතියොපියාව, ලෙබනනය, සෝමාලියාව, කාශ්මීරය… යනදී වශයෙන් විය.

මේ ආකාරයට මුස්ලිම්වරුන් ජීවත් වන රටවල් පෙලගැස්සිම තුල අපට සිතීමට බොහෝ දෑ ඉතිරි වී ඇත. 2007 වර්ශයේ ඉහත ආකාරයටම වසර 03ක් ගෙවී ගොස් 2010 ලෝක සරණාගත දිනය පසුකොට සිටින වර්ථමානයේ මෙම තත්වය මීටත් වඩා බේදණිය වියහැකි යන්නෙහි කිසිවකුවත් විවාදයක් පැවතිය නොහැක. මෙම ඉරණමට මුස්ලිම්වරුන් ගොදුරු වුයේ ජාත්‍යන්තරයේ පමණක් නොව ලාංකීය සමාජය තුල ද මුස්ලිම්වරුන් විවිධ හිංසනයන්ට හා අපහසුතාවයන්ට ගොදුරු විය. 2007 එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් නිකුත් කල සංඛ්‍යා ලේඛනවලට අනුව ලාංකීය සමාජයේ සරණාගතයින් සංඛ්‍යාව 120000 ක් බවත් ඉන් බහුතරය ද්‍රවිඩයන් හා මුස්ලීම්වරුන් බවත්, මේ සරණාගතයින්ගෙන් බහුතරයක් උතුරු-නැගෙනහිර යුද්ධය නිසා අවතැන් වුවන් බවත්, මේ පිරිස අතර සුනාමියෙන් විපතට පත් වු පිරිසද සිටින බවත් සදහන් වී තිබුණි. මේ සියළු සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වන්නේ ජාතිකතලයේත්, ජාත්‍යන්තරතලයෙත් මුස්ලීම් ප්‍රජාව විවිධ වූ අපහසුතාවයන්ට හා ගැටළුන් වලට මැදිහත්ව ජීවත්වන බව නොවේද? එසේ නම් මෙම විෂය පිලිබදව ගැඹුරින් හා ඉස්ලාමීය විමසුම් ඇසින් අවධානය යොමු කිරීම කාලීන වගකීමකි. එනම්, මනුෂ්‍යා ඇතුඑ මුළු ලොවම මවා පරිපාලනය කරන සර්ව බලධාරී අල්ලාහ් (දෙවියන්) මෙවන් වූ තත්වය පිලිබදව කුමක් පවසනවාද? එසේ පවසන කරුණු කොතරම් දුරට මිනිස් බුද්ධියට ගෝචරද? මෙයයි අපගේ අවදානයට ලක් කලයුතු යොමු කාරණය.

ඉස්ලාමීය ලෝකයට මෙවැනි ඉරණමක් අත්වුයේ ඇයි?

වර්ථමානයේ, ලොව මුහුණපාන එකම ගැටළුව සරණාගතයින් ලොව අධිකවීම පමණක් නොවේ. මීට අමතරව විවිධ වූ වසංගත රෝගයන්, හිංසනයන්, අපචාරයන්, පලිගැනීමන්, ඝාතනයන්, පැහැරගැනීමන්, වංචනයන්, සමාජයේ නිරන්තරයෙන් දකින්නට ලැබේ. මෙම තත්වයන්ට බලපාන කරුණු කාරණයන් පිලිබදව වෙන වෙනම හා පොදුවේ අවධානය යොමු කලයුතු වේ.

(ඉස්ලාමීය රාමුව තුල හිද යමක් අධ්‍යනය කරන්නේ නම් එය ඉස්ලාමීය මූලාශ්‍රයන්ට අනුකූල විය යුතුය. එනම් අල්කුර්ආනයට හා අල්හදීසයට අනුකූල වියයුතුය. වැඩි විස්තර සදහා…)

ඒ අනුව යමෙකුගේ ස්වමතයන් හෝ මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපයන් “ඉස්ලාම්” යයි කිසිවකුටත් කිව නොහැක. එසේ කිසිවකු තීරණය කරයි නම් එය බුද්ධීමත් තීරණයක් ලෙස බුද්ධීය ඇති කිසිවකු නොපිලිගනු ඇත. එම පදමේ හිද අපගේ මාතෘකාවට දැන් අවදානය යොමු කරමු. ඉහත කාරණය එනම් ලොව තුල මිනිස් සමාජයේ වර්ථමාන ඉරණම සම්බන්ධයෙන් ශුද්ධ වු කුර්ආනයේ 30-41 වාක්‍යයෙන් අල්ලාහ් (දෙවියන්) මෙසේ ඉඟියක් පවසයි,

“මිනිස් ක‍්‍රියාවන් (වැරදි ක‍්‍රියාවන්) හේතු කොටගෙන ඔවුන් කල දෙයින් කොටසක් ඔවුන් විදිනු පිණිසත්, එය තුලින් ඔවුන් යහමගට යොමු වනු පිණිසත්, ඔවුන්හට මුහුදෙන් හා පොළොවෙන් විනාශකාරී තත්වයන් ඇති වන්නේය.”

ඉහත දේව වාක්‍යයට අනුව ලොව තුල ඇති වන විනාශකාරී තත්වයන් මිනිස් ක්‍රියාවන් හි ප්‍රථිපලයන් බව පැහැදිලිය. (මෙම විනාශකාරී තත්වයන් මිහිමත ආකාර දෙකකට සිදුවෙන බවත් ඒවා කුමක්ද? යන්නත් අප ඉහතින් අවදානය යොමු කලෙමු) එසේම ඉහත වාක්‍ය යේ “…මුහුදෙන් හා පොළොවෙන්…” යන්න දෙවියන් පැවසීම තුල ස්වභාවික හා අස්වභාවික යන විනාශකාරී තත්වයන් සියල්ල මිනිස් ක‍්‍රියාවන් හි ප‍්‍රථිපලයක් යන්න ද පැහැදිලි වේ. මා ඉහත සදහන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය පදනම් කරගෙන මෙම තත්වය අවධාරණය කල ද මෙම තත්වය ලොව සෑම දහමක් දර්ශනයක්ම අවධාරනය කරන තත්වයකි. එනම් “ලොව සිදුවන සියළු විනාශ මිනිස් ක්‍රියාකාරීත්වයන් හි ප්‍රථිපල තමා” යන්නේ කිසිවකුටත් මතභේද නැත.

එනමුත් සියල්ල තාර්කිකව දකින්නට උත්සාහ කරන සමහරක් පිරිසට ඉහතින් මා පවසන කරුණු පිලිබදව ගැටළුවක් ඇතිවිය හැක. එනම්,

ඇත්තටම මේ දෙවියන් විසින් මිනිසුන් හට පහල කරන දඩුවම් ද?

මෙම කාරණය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා අල්ලාහ් (දෙවියන්)ගේ අවසාන දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් පවසන කාරණයක් පිලිබදව දැන් අවධානය යොමු කරමු.

වරක් මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී “කරුණු පහක් නුඹලා අතර සිදුවුයේ නම් (“ඒ කරුණු පහෙන් මා නුඹලාට ආරක්‍ෂාව පතමි” යයි පැවසූ නබිතුමාණන්) ඒ කරුණු පහ හේතු කොටගෙන නුඹලා අතර සිදුවීමට යන විනාශයන් බලාපොරොත්තු වන්න” යයි පවසන ලදී. එසේ පැවසූ නබිතුමාණන් ඒවා එකින් එක විස්තර කරන ලදී. එනම්,

  • කිසියම් ජන සමුහයක් මධ්‍ය යේ “සිzනා” (අපචාර, අනියම් සම්බන්ධතා, ස්ත‍්‍රි දුෂණ, සමලිංගික ඇසුර, අතවර… යනා දී සමාජ විරෝධි (කාමයේ වරදවා හැසිරීම්) ක්‍රියාවන්) වැඩිවුයේ නම් ද එය ප‍්‍රසිද්ධියේ සිදු වන්නේ නම් ද එවන් ජන සමූහයක් “තාවූන්” හෙවත් මාරාන්තික රෝගයන් බලාපොරොත්තු වන්න. තවද මීට පෙර ජන සමුහයන් නොදුටු, නොඇසු රෝගයන් හා විනාශයන් ද බලාපොරොත්තු වන්න. – වැඩි විස්තර
  • කවර ජන සමුහයක වංචනික ආකාරයට කිරුම් මිනුම් සිදු කරමින් පාරිභෝගිකයන් රවටමින් ව්‍යාපාර සිදු කරන්නේ ද එවන් ජන සමුහයක් සාගින්න, උද්ධමනය, දුප්පත්කම, පාලකයන්ගේ හා අධිකාරීන්ගේ හිරිහැර හා කුමන්ත‍්‍රණ නිරන්ත‍්‍රයෙන්ම බලාපොරොත්තු වන්න. – වැඩි විස්තර
  • කවර ජන සමුහයක “සකාත්” (ඉස්ලාම් දහමේ ධනවතුන්ට පමණක් අනිවාර්ය කර ඇති දුප්පතුන් වෙනුවෙන් ලබාදෙන බද්ධ) නිසි අයුරින් (සුදුස්සන්ට) බෙදා නොදෙන්නේ ද එවැනි ජන සමුහයක් දැඩි නියගයන් (අවම වරුසාවක්) බලාපොරොත්තු වන්න. සුඑ වශයෙන් වරුෂාව ලබා දෙන්නෙත් මිහිපිට ජීවත් වන අනිකුත් (සිව්පා) සතුන් සදහා පමණි. –වැඩි විස්තර
  • මුස්ලීම් ජන සමුහයක් අල්ලාහ් දෙවියන්ටත් ඔහුගේ වක්තෘවරයාටත් කීකරුව එම මාර්ගය (ඉස්ලාම් පෙන්වා දෙන මාර්ගය) අනුගමනය නොකරන්නේ ද එවැනි ජන සමුහයකට හතුරන් “කාෆිර්වරුන්ගෙන්” (ඉස්ලාම් විරෝධින්ගෙන්) ඇති කරයි. ඔවුන් මොවුන් සතු සියල්ල (වස්තුව, බලය, දේපල, පාලනය…) උදුරාගනු ඇත. – වැඩි විස්තර
  • ඉස්ලාමීය ජන සමුහයක ජීවත් වන ආගමික විද්වතුන් හා පුජකවරුන් අල්ලාහ් දෙවියන් පහල කල නීති මාලාව අනුව ක්‍රියා නොකොට ස්වමත පදනම් කරගෙන ක්‍රියා කරන්නේ නම්, එවැනි ජන සමුහයක් මධ්‍යයේ විවිධ වූ මත භේදයන් හා ගැටුම්කාරී තත්වයන් බලාපොරොත්තු වන්න. –වැඩි විස්තර

දන්වන්නේ :- අබ්දුල්ලාහ් ඉබුනු අම්ර් (රලි), ග‍්‍රන්ථය :- ඉබුනුමාජා 4019

ඉහත නබිවදන (අල්හදීසය) වෙත බුද්ධිමත් ලෙස අවධානය යොමු කලේ නම්, මීට වසර 1400 කට පෙර අරාබි දේශයේ නොදියුණු සමාජයක පැවසු මෙය වර්ථමාන ලෝකය දිහා බලාගෙන මේ දැන් පැවසුවා සේ ඔබට සිතෙනු ඇත. මුහම්මද් (සල්) තුමාණන්ගේ මෙම අනාවැකිය වර්ථමානයේ ලංකාව ඇතුඑව බොහෝ රටවල්වල දකින්නට තිබෙන පොදු තත්වයකි. ඉහත අනාවැකි පහ පිලිබදව බුද්ධිමත් ලෙස අවදානය යොමු කලේ නම් වර්ථමානයේ ලෝකයේ උද්ගත වී තිබෙන බොහෝ ගැටළු සදහා වගකීම දරන්නේ මිනිසාම යන්නත් ඔවුන්ගේ ක‍්‍රියාවන්වල ප‍්‍රථිපලයක් යන්නත් පැහැදිලිය. මෙසේ මා කරුණූ ඉදිරිපත් කරන විට සමහර විට ඔබට ගැටළුවක් ඇතිවිය හැක. එනම්,

අප වැරදි කලේ නැහැනේ ඉතින් අනිත් මිනිස්සු කල පාපයට අප දඩුවම් ලැබීම සාධාර්ණ ද?

මෙය බැලු බැල්මට සාධාරණ හා බුද්ධිමත් ප්‍රශ්නයක් යන්න පැහැදිලිය. එම නිසයි මීට වසර 1400 කට පෙර මුහම්මද් (සල්) තුමාණන්ගේ බිරිද වන සෙයිනබ් (රලි) තුමිය මේ පිලිබදව මුහම්මද (සල්) තුමාණන්ගෙන් මෙම ප්‍රශ්නයම විමසා සිටියේ. එය මෙසේය,

” ‘සමාජයේ පිරිසක් කරන පාපයන් නිසා එම පිරිසට පහල වන දඩුවම එම සමාජයේ ජීවත්වන යහපත් මිනිසුන්ටත් බලපායිද?’ එයට නබිතුමා ‘ඔව්, එම සමාජයේ පාපක‍්‍රියාවන් වැඩි වී එය වලක්වන්නේ නොමැතිව සියල්ල බලා හිදීනම් එම සමාජයට දෙවියන්ගෙන් පහල කරන දඩුවම යහපත් අයහපත් සියල්ල සදහාම වේ.’ ”

මේ අනුව සමාජයේ සියල්ලම එම පාපයේ නිරත නොවුවත් දෙවියන්ගේ දඩුවම් පහලවීමේදී එය මුළු සමාජයටම පහල වේ. මේ නිසා සමාජයේ සිදුවන වැරදි ක‍්‍රියාවන් වැලැක්වීම සම්බන්ධ වගකීම එම සමාජයේ ජීවත්වන සියළු පුරවැසියන්ට පැවරී ඇත. මෙයයි ඉස්ලාම් පහත ආකාරයට මුස්ලීම් සමාජයට අවධාරනය කරන්නේ,

“සමාජයේ යම් වරදක් දුටුවේ නම් එය අතින් වලක්වන්න. එයට නුඹ ශක්තිවන්තයකු නොවේ නම් එම ක‍්‍රියාව කටින් (වචනයෙන්) වලක්වන්න. එයට ද නුඹට ශක්තිවන්තයකු නොවේ නම් එම ක්‍රියාව සිතින් පිලිකුල්කොට එම ස්ථානයෙන් ඉවත් වන්න.”

මේ ආකාරයට සමාජය තුල සිදුවන වැරදි වෙනුවෙන් ක‍්‍රියාකරන්නෙමුද?. අප සමාජයේ අපචාරයන් ප‍්‍රසිද්ධියේ සිදුවෙයි. විවිධ වංචනික ක‍්‍රියාවන් ප‍්‍රසිද්ධියේ සිදුවෙයි. අනිවාර්‍ය බද්ධ හෙවත් සකාතය නිසි අයුරින් බෙදා නොදේ, ඒ අතර මුස්ලීම් යයි බෝඩ් ලෑල්ල පමණක් යොදාගෙන ඉස්ලාමීය මුලික කරුණු පිලිබදව පවා නිසි අවබෝධයකින් තොරව සමාජය තුල ජීවත් වේ. දේව වාක්‍යයන්ගෙන් සමන්විත හා අලංකාර ආදර්ශයන්ගෙන් පරිපූර්ණ දහමකට උරුම කම් කියන මුස්ලිම්වරුන් වන අප මේ කිසිවක් පිලිබදව අවදානය යොමු නොකොට මා හා මගේ පවුල යන සීමාව තුල තවදුරටත් ජීවත් වන්නට අදහස් කරන්නේ නම්. වර්ථමානයේ ලොව මුහුණපාන ස්වභාවික හා අස්වභාවික විපත්තීන්ට මීට වඩා දරුණු ආකාරයට ඉදිරියේ දී ලෝකය මුහුණදීමට සිදුවෙනවා යන්න ඒකාන්තය. එම නිසා අප අද දින අධිෂ්ඨාන කරගත යුතුයි. ඉදිරියේ සමාජ තුල සිදුවන සමාජ විරෝධි ක‍්‍රියාවන් වෙනුවෙන් අපගේ ශක්තියට හැකි පමණින් ක‍්‍රියා කරන බවට. එය ලොව තුල සිදුකරන පුංචිම පුංචි උත්සාහයක් වන්නට පුළුවනි. නමුත් එය සමාජයට දෙන හොද ආදර්ශයක් මෙන්ම ආරම්භයකි. එම ආදර්ශය තුලින් නිර්මාණය වන ලෝකය අපගේ ඉදිරි පරම්පරාවටත් සුන්දර වු ලෝකයක් වනු ඇත. එවන් වූ ධර්මිෂ්ඨ සමාජයක් නිර්මාණය වී මෙලොව සුන්දර වු ලෝකයක්ම වේවා යයි අවසාන වශයෙන් ප‍්‍රාර්ථනා කරමින් මෙම ලිපිය අවසන් කරමි.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *