ව්‍යාපාරයක් තුල රුකිය යුතුම ගුණාංග – ඉස්ලාමීය විමසුමක්

7

ව්‍යාපාර ලෝකයේ සාර්ථක ව්‍යාපාරයක්, පහසුවෙන් මුදල් හම්බ කිරීමක්, අධික ලාභ ඉපයීමක්, සැප පහසු ජීවිතයක්… මේ නූතන සමාජයේ බොහෝ දෙනෙකු නිරන්තරයෙන් අපේක්ෂා කරන  සිහිනයන් මෙන්ම පොදු ඉලක්කයන් කිහිපයකි. එම ඉලක්කයන් ජය ගැනීම සදහා කෙනෙකු තම දිවිය තුල කරණු ලබන අරඟල එකක් දෙකක් නොවේ. මේ අරඟලයන් තුල ‘ලාභය’ පමණක් එකම අරමුණ කරගත් නූතන මිනිසා ඒ තුල අතීතයේ පටන් රුකගෙන ආ අවංකකම, සාධාර්ණය, විශ්වාසය, විනිවිදභාවය… යනාදී යහපත් ගුණාංග අවලංගු කර දමමින් ඒ වෙනුවට වංකකම, අසාධාර්ණය, වංචාව, අවිශ්වාසය… යනාදී දුර්ගුණාංග ආදේශ කරමින් තම ඉලක්කය ජය ගැනීමට අවශ්‍ය පිඹූරුපත් සකසමින් කටයුතු කරනවා යැයි මා මෙහි පැවසුවේ නම් එය අතිශයෝක්තියක් නොවේ. මෙවන් අවදියක මේ විෂය පිලිබදව පුළුල් සංවාදයන් සමාජය තුල නැවත ගොඩනැඟීම කාලීන අවශ්‍යතාවයකි. එවන් අවශ්‍යතාවයන් කවදත් නිසි ලෙස අවබෝධ කොට ක්‍රියා කරන ‘යහමඟ’ අඩවිය මේ විෂය පිලිබදව ද මෙහිදී ඉස්ලාමීය විමසුමක් සිදුකිරීමට අදහස් කරමි.

ව්‍යාපාරික ‍ක්ෂේත්‍රය අසීමිත දියුණුවක් ලබා ඇති අවධියක, ලාභ ඉපයීම එකම පරමාර්ථය කරගෙන ඒ තුල විවිධ වූ ව්‍යාපාරික උපක්‍රිම භාවිතා වන වකවානුවක මෙම විෂය පිලිබදව ඉස්ලාමීය විමසුමක් සිදුකිරීමට උනන්දු කරවන  සාධකයක් පසුගිය දිනක යහමඟ අඩවියට වාර්ථා විය. ඒ අනුව මෙම විෂය පිලිබදව ඉස්ලාමීය ‍විග්‍රාහය මුස්ලීම් සමාජයටත් මුස්ලීම් නොවන සමාජයටත් පැවසීමේ අවශ්‍යතාවයක් ඇති වී ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකීය සමාජය තුල ක්‍රියාත්මක එම නව ව්‍යාපාරික ක්‍රමය සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයේ අවධානයට කරුණූ කිහිපයක් එනම්, ‘ව්‍යාපාර කටයුතුවල දී මුස්ලීම්වරයෙකු අනුගමනය කලයුතු ක්‍රමවේදයන් හා සැලකිලීමත් වියයුතු කරුණු පිලිබදව ඉස්ලාම් දහමේ විග්‍රහය කුමක් ද?’ යන්න පිලිබදව පැවසිය යුතුව ඇත. ඉස්ලාම් දහම ලොව අනිකුත් දහමන්, දර්ශනයන් මෙන් ලෞකික සැප සම්පත් හම්බකිරීම හා රුස්කිරීම සම්බන්ධයෙන් තහංචි පනවන දහමක් නොවේ. (මේ පිලිබදව මීට ඉහත මෙම අඩවිය තුල ලිපි ගණනාවකින් සාකච්චා කොට ඇත.) එය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස (ඉස්ලාමීය ඉගෙන්වීමන් වන) ශුද්ධ වූ කුර්ආන් පාඨයන් දෙකක් ඔබේ අවධානය ගෙන එන්නේ නම්,

  • නුඹලා මේ භූමියෙහි විසිරී ගොස් අල්ලාහ් (දෙවි) ලබාදී ඇති භාග්‍යයන් සොයන්න

ශුද්ධ වූ කුර්ආනය 62-10

  • නුඹලාගේ දෙවියන් ලබාදී ඇති භාග්‍යයන් (වන ධනය) රුස් කිරීම නුඹලා කෙරෙහි වරදක් නොවේ

ශුද්ධ වූ කුර්ආනය 2-198

ඉහත දිව්‍යමය වාක්‍යන් හොදින් විමසා බලන ඔබට එහි පලමු වාක්‍යය ඔබට තරමක් හුරුපුරුදු  වූ  වාක්‍යයකි. එනම්, සෑම සිකුරාදා දිනකම දහවල් ‘ජුම්මා’ (නම් මධ්‍යානයේ සියළු මුස්ලීම්වරුන් එක් තැනකට රුස් වී ඉටු කරන) වන්දනයේ දී පාරායනය කරන ‘සූරා ජුම්මා’ හි (එනම් ශුද්ධ වූ කුර්ආනයේ 62 වන පරිච්චේදයේ) එන කුර්ආන් පාඨයකි. සිකුරාදා දින තම ව්‍යාපාර කටයුතු සියල්ල වහා නතර කොට ජුම්මා වන්දනය සදහා පැමිණෙන ලෙස අණ කරන ඉස්ලාම් දහම එම වන්දනය අවසන් වු වහාම ‘නුඹලා මේ භූමියෙහි විසිරී ගොස් අල්ලාහ් (දෙවි) ලබාදී ඇති භාග්‍යයන් සෙයාන්න (62-10)’ යනුවෙන් ලෞකික දිවිය තුල සැප සම්පත්, ධනය රුස්කිරීමට උනන්දු කරවන ආකාරය දැකගත හැක. එපමණක් නොව ඉහත 2-198 වාක්‍යය මඟින් ‘නුඹලාගේ දෙවියන් ලබාදී ඇති භාග්‍යයන් (ධනය) රුසකිරීම නුඹලා කෙරෙහි වරදක් නොවේ’ යනුවෙන් ධනය රුස්කීම හා ඒ සදහා උනන්දුවීම මුස්ලීම්වරුන් කෙරෙහි වරදක් නොවන බව ඉස්ලාම් දහම පැහැදිලිවම පවසයි. මෙතැනදී විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. එනම් ඉහත 2-198 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවි) ‘නුඹලාගේ දෙවියන් ලබාදී ඇති භාග්‍යයන් (ධනය) රුසකිරීම නුඹලා කෙරෙහි වරදක් නොවේ’ යනුවෙන් පවසන්නේ ඉස්ලාමීය අනිවාර්‍ය වගකීමක් වන ‘හජ් වන්දනයේ’ නිරතව සිටින මොහොතේ ව්‍යාපාර කටයුතුවල ද නිරත වීම වරදක් නොවන බවයි. මේ සියල්ල තුලින් පැහැදිලි වන්නේ ලෞකික සම්පත් අසීමිත ලෙස රුස්කිරීම සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයට ඉස්ලාම් දහම තුල කිසිදු තහනමක් නොමැති බවයි. නමුත් මෙහිදී සෑම මුස්ලීම්වරයෙකුම අවබෝධ කරගතයුතු කාරණයක් ඇත. එනම් මෙලෙස අසීමිතව ධනය රුස්කිරීම සදහා අවසර ලබාදෙන ඉස්ලාම් දහම ඒ තුල කොන්දේසී කිහිපයක්ද පනවා ඇති බවයි. නමුත් අවාසනාවකට මෙය වර්ථමාන මුස්ලීම් සමාජය නිසි පරිධි වටහා ගැනීම අතපසු කොට ඇත. ඒ හේතුව නිසාම මෙවැනි ලිපියන් මුස්ලීම් සමාජය මධ්‍යයේ සාකච්චා කිරීමේ අනිවාර්‍ය අවශ්‍යතාවය අද මතු වී ඇත.

ව්‍යාපාරික කටයුතුවල දී අනුගමනය කලයුතු හා සැලකිල්ලට ගතයුතු කරුණු කාරණා බොහෝමයක් ඉස්ලාම් ආදර්ශමත් ලෙස මුස්ලීම් සමාජයට පෙන්වාදේ. එම ආදර්ශයන් තුල කටයුතු කිරීම තුල ජාත්‍යන්තරයේ මෙන්ම ජාතිකතලයේ පවා නොමැකෙන ස්ථානයක් මුස්ලීම්වරුන්ට හිමිව පැවතී බව ඉතිහාසය ද මනාව කියාපායි. විශේෂයෙන් ලාංකීය ඉතිහාසය තුල පවා සංක්‍රමණික මුස්ලීම් වෙළෙන්දුන් රටේ පාලකයින්ගේ ආකර්ශනය හා විශ්වාසය  දිනා සිටී ආකාරය සදහන්ව තිබීම එයට හොද නිදසුනකි. මෙලෙස ඉතිහාසය තුල නොමැකෙන ස්ථානයක් දිනා සිටී මුස්ලීම්වරුන් කාලයත් සමඟ ඉස්ලාමීය ආදර්ශයන්ගෙන් ඈත්වීමත්, සීමිත කරුණූ කිහිපයකට පමණක් දහම සීමා කිරීමත් යන කරුණූ තුල අතීත මුස්ලීම්වරුන් දිනාදුන් ප්‍රතිරූපයන් වර්ථමාන මුස්ලීම්වරුන් අතින් ගිලිහෙමින් ඇත. වර්ථමාන මුස්ලීම්වරුන් ව්‍යාපාරික ක්ෂේත්‍රය තුල සැලකිලීමත් වන්නේ ‘පොලී’ සම්බන්ධයෙන් පමණක් දෝ ! යයි සිතන තරමට අද දහම සීමිත රාමුවකට කොටු කොට ඇත. සෑම මුස්ලීම්වරයෙකුම අනිවාර්‍යයෙන්ම ‘‘පොලී’ පිලිබදව දැඩිව සැලකිලීමත් විය යුතුයි’ යන්නෙහි විවාදයක් නැත. මන්ද ඉස්ලාම් එය මහා පාපයන් අතුරින් එකක් ලෙස දකින බැවිණි. එනම්,

අල්ලාහ් (දෙවි) වෙළදාම හලාල් (අනුමත) කොට ‘පොලී’ හරාම් (තහනම්) කර ඇත. දෙවියන්ගෙන් පැමිණි (‘පොලී නොගත යුතුයි’ යන) අවවාදයට අනුව (එය අත්හැර දමා) ඈත් වුවහොත්, (එයට පෙර ඔහු ලබාගත්) කළින් දැය ඔහුටම අයත්ය. මීට පෙර පොලී ලබාගත් ඔහුගේ කාරණාව අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඇත්තේය. තවද කවුරුන් හෝ (මෙම නියෝගය ලැබුණු) පසුවද (පොළිය ගැනීමට) ඉදිරිපත් වුවහොත්, ඔවුන් අපාවාසීන්ය!, එහි ඔවුන් සදා රුදී සිටිනු ඇත.

ශුද්ධ වූ කුර්ආනය 2-275

පොලිය මඟින් අනුභව කරන්නන්ද, පොලී ‍ගන්නාද, එයට සහය වන්නාද, එයට සාක්ෂි දරණ දෙදෙනාද… යන පිරිසට නබිතුමාණන් ශාප කරන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

(වෙනත් හදීසයක මේ පාර්ශවකරුවන් හතරදෙනා වරදින් එක සමාන බව පවසයි)

ඉහත ශුද්ධ වූ කුර්ආන් පාඨය හා ‘හදීසය’ (මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන්) හොදින් විමසා බැලුවේ නම්, ‘පොලී’ ඉස්ලාම් කොතරම් දුරකට තහනම් කර තිබෙනවාද? යන්න පහසුවෙන් අවබෝධ කරගත හැක. ඉස්ලාම් දහම තුල ක්‍රියාවන් 03ක් සදහා මනුෂ්‍යයෙකු හට සදාකල් නිරය හිමිවන බව අවධාරණය කරයි. එනම්,

  1. ‘ශිර්ක්’ කිරීම හෙවත් අල්ලාහ් (දෙවි)ට කිසිවක් හෝ කිසිවෙක් සමාන කිරීම,
  2. හේතුවක් නොමැති මනුෂ්‍යයෙකු ඝාතනය කිරීම,
  3. ‘පොලී’ සදහා (ගැනීම, පිරනැමීම, සාකෂිකරුවකු වීම සහා සහයවීම යනාදී) කුමන ආකාරයට හෝ සම්බන්ධ වීම,

මේ අනුව ‘පොලී’ සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්නත්, මා ඉහතින් එය ‘මහා පාපයක්’ යයි සදහන් කලේ ඇයිද? යන්නත් ඔබට දැන් පැහැදිලි ඇතැයි සිතමි. වර්ථමාන ව්‍යාපාරික ලෝකය ‘පොලී හා ව්‍යාපාරය’ වෙන්කල නොහැකි තරමට ඒ තුල ගිලී ඇති සමාජ පසුබිමක මුස්ලීම්වරුන් ඒ පිලිබදව දැඩිව සැලකිලීමත් වීම සිදුවිය යුත්තකි.

එසේ නමුත් ‘පොලී’ වලින් මුස්ලීම්වරයෙකු ඈත් වූ පමණින් එම ව්‍යාපාරය හෝ වෙළදාම ඉස්ලාම් දහම අනුමත ව්‍යාපාරයක් හෝ වෙළදාමක් බවට පත් නොවේ. අද ව්‍යාපාරික ක්ෂේත්‍රය හා එහි භාවිතා වන ව්‍යාපාරික උපක්‍රම තුල ‘මෙය ඉස්ලාම් දහමට අනුකූලද? අනුකූල නොවේද?’ යන්න පිලිබදව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට නොහැකි තරම් එය සංකීර්ණ වී ඇත. විටෙක ඒ හැකියාව යම්තාක් දුරකට එහි පැවතුනත් ඉස්ලාම් දහමේ ඉගෙන්වීම කුමක්ද? යන්න පිලිබදව ගැඹූරු අධ්‍යනයන් නොකොට ව්‍යාපාරික කටයුතුවල මුස්ලීම්වරුන් තීන්දු තීර්ණ ගැනීම නිසා දැන හෝ නොදැන ඉස්ලාමීය ඉගෙන්වීමන් බොහෝමයකට එරෙහිව ක්‍රියා කරන තැනට මුස්ලීම්වරුන් තල්ලු වී ඇත. මෙවන් පසුබිමක ඉස්ලාමීය ඉගෙන්වීම කරා මුස්ලීම් සමාජයේ අවධානය නැවත වරක් යොමු කිරීම මුස්ලීම්වරුන් කෙරෙහි ඉස්ලාම් දහම අවධාරණය කරන අනිවාර්‍ය වගකීමකි. එනම්,

යහ කටයුතු වලදී සහා දේව අවනතියෙහි එකින් එකා අතර සහයෝ‍ගයෙන් කටයුතු කරන්න!, පාපක්‍රියාවන් හා සීමා ඉක්මවීමන් හි එකින් එකා අතර සහයෝගයන් ඇති කර නොගන්න!, අල්ලාහ් (දෙවි)ට බියවන්න!,

ශුද්ධ වූ කුර්ආනය 5-2

ශුද්ධ වූ කුර්ආනයේ 5-2 වාක්‍යය අවධාරණය කරන ඉහත වගකීම කවදත් නිවරුදිව හදුනාගෙන කටයුතු කරන  ‘යහමඟ’ අඩවිය මේ දිනවල රටපුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මුස්ලීම්වරුන් අතර පවා ඉතා ජනප්‍රිය එසේම ඉහල ලාභයක් ගෙනදෙන බවට පැවසෙන ව්‍යාපාරයක් පිලිබදව ඉස්ලාමීය විමසුමක් සිදුකිරීමට අදහස් කරමි. එනම් මෑත කාලයක පටන් විශේෂයෙන් සක්විති රණසිංහගේ වංචාව හෙලිවීමත්, එවැනි ක්‍රමන්ත්‍රණ පිලිබදව ජනතාව දැනුවත් වීමත්, විශේෂයෙන් එවැනි සිදුවීම එනම් මහජනතාවගේ මුදල් ඒකරාශි කිරීම පිලිබදව රටේ නීතිය දැඩිවීමත් හේතු කොටගෙන විවිධ ව්‍යාපෘති නමින් මහජනතා මුදල් ඒකරාශි කිරීම කූඨ ව්‍යාපාරිකයන්ට මහත් අභියෝගයක් විය. මේ හේතුව නිසා ඔවුන් නීතියේ හිඩැස් සොයමින් හා ඒ තුල තම සුපුරුදු ව්‍යාපාරය ආකර්ශණිය තේමා පාඨයන් සහිතව නව මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට සමත් වී ඇත. එවැනි එක් ව්‍යාපාරයක් පිලිබදව තමා අද මෙහිදී සාකච්චා කිරීමට සූදානම් වන්නේ. ඊට ප්‍රථම…

  • අඹ වගාකල ඉඩමක් – පර්චස් 10 ක් රු — යි. වාරික වශයෙන් සුළු මුදලක් ගෙවා වසර 20 කින් රුපියල් ලක්ෂ ගණනින් ආදායම් හිමිකර ගන්න.
  • තෙක්ක වගාකල ඉඩමක් – පර්චස් 10 ක් රු — යි. වාරික වශයෙන් රු ලක්ෂ 200,000.00 ක් වූ සුළු මුදලක් ගෙවා වසර 20 කින් රුපියල් ලක්ෂ 1,000,000.00 ආදායමක් හිමි කරගන්න.
  • සඳුන් ගස් වගාකල ඉඩමක් – පර්චස් 10 ක් රු ලක්ෂ 300,000.00 (තුන) යි. වාරික වශයෙන් ගෙවා වසර 20 කින් රුපියල් ලක්ෂ 3,000,000.00 (තිහක) ආදායමක් හා නොමිලේ ඉඩමක් හිමි කරගන්න.

ඉහතින් මා ඉදිරිපත් කොට ඇත්තේ මේ දිනවල අප රට තුල ඉතා ජනප්‍රිය එසේම මහජනතා අතර ආකර්ශනය දිනාගත් ව්‍යාපාර 03 ක ප්‍රචාරණ කටයුතු සිදුකරන ආකාරයයි. මෙවැනි තවත් ව්‍යාපරයන් ද ප්‍රසිද්ධියේ සහා අප්‍රසිද්ධියේ තිබිය හැක. මෙම ලිපිය තුලින් විමසා බලන්නේ මෙවැනි ව්‍යාපාර පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්නයි.

ඊට ප්‍රථම මෙවැනි ව්‍යාපාර පිලිබදව දළ හැදින්වීමක් කරන්නේ නම්, ඉහත ව්‍යාපාරයට අදාල ඉඩමේ ඔප්පුව ඒ ඒ කොටස්කරුවන් නමින් ලියවෙන නිසාත්, බොහෝ විට එම ඉඩම් තුල සැබැවින්ම එවැනි වගාවක් ආරම්භ කොට තිබීම නිසාත් එම ව්‍යාපාරය සදහා මුදල් ආයෝජනය කල පිරිසට මෙම ව්‍යාපාරය පිලිබදව සැකයක් හෝ ගැටළුවක් බොහෝ විට ඇති නොවේ. එසේම මේ තුල නීතිමය ගැටළුවක්ද ඇති නොවේ. මේ හේතුව නිසාම මෙම ව්‍යාපාරය දිනෙන් දින ජනප්‍රිය වෙමින් රටපුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පැවතීම දක්නට ලැබේ. එ‍ය කෙසේ වෙතත් මෙහිදී මා එම ව්‍යාපාරයන් සම්බන්ධයෙන් නීතිමය විග්‍රහයකට හෝ එසේත් නැත්නම් සෘනාත්මක කෝණයකින් විවේචනය කිරීමකට මා උත්සාහ කරන්නේ නැත. එය මාගේ විෂය පථයට අදාල කාරණයක් ද නොවේ. නමුත් මේ ව්‍යාපාරය තුල සැලකිය යුතු තරම් මුස්ලීම් ප්‍රජාවද සම්බන්ධ වී ඇති බවට වාර්ථා වන නිසාත්, මෙම ව්‍යාපාරයන් මෙහෙය වන පිරිස් බොහෝ විට මුස්ලීම්වරුන් නොවන නිසා ඔවුනට ඉස්ලාමීය ව්‍යාපරයක පැවතිය යුතු මූලික කොන්දේසි පිලිබදව නිසා අවබෝධයක් නොමැති වීම තුල මුස්ලීම්වරුන් හා ඔවුන් අතර උණුසුම් සංවාදයන් සිදුවන බවට ‘යහමඟ’ ට වාර්ථා වූ නිසාත්, මේ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය හා නිගමනය කුමක්ද? යන්න පිලිබදවත් කථා කිරීමට අදහස් කරමි. එහි අවශ්‍යතාවය වඩාත් හොදින් අවබෝධ කර ගැනීම පිණිස ‘හදීසයන්’ (මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන්) කිහිපයක් ප්‍රථමයෙන් ඔබ අවධානයට ඉදිරිපත් කිරීමට අදහස් කරමි. එනම්,

තමන් ඉපයූ දෑ හරාම්ද? හලාල්ද? යන්න පිලිබදව සැලකිලීමත් නොවන කාලයක් (අනගතයේ දී) උදාවනු ඇත.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

‘හලාල්’ නම් (ඉස්ලාම්) අනුමත කල දෑ ද පැහැදිලිය. ‘හරාම්’ නම් (ඉස්ලාම්) තහනම් කල දෑ ද පැහැදිලිය. මේ දෙක අතර සැකයට තුඩුදෙන කරුණු ද ඇත. ‘පාපයක් විය හැක’ යයි සැක කොට ඉන් ඉවත් වන්නා, පාපක්‍රියාවන් බව පැහැදිලිවම දන්නා දැයින් නියතවම ඉවත් වනු ඇත. ‘මෙය පාපයක්ද?’ යනුවෙන් සැක කරන ක්‍රියාවන් සිදු කරන්න පෙළඹෙන තැනැත්තා (කාලයත් සමඟ) පැහැදිලි පාපයන් හි පවා නිරත වීමට පුළුවන. ‘පාපය’ යනු අල්ලාහ් (දෙවි) යොදා ඇති (යහපත හා අයහපත වෙන්කරන සීමා) වැටකඩුලුය. එම සීමාවේ කටයුතු කරන්නා එම සීමාව ඉක්මවන්නට පුළුවන

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත අවාසනාවන්ත තත්වයට යොමු නොවීමට නම්, එම නිවරදි සීමාවන් හදුනාගෙන කටයුතු කිරීමට සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම අනිවාර්‍ය වගකීමක් ඇත. එම වගකීම හොදින් මතකයේ රදවාගෙන දැන් මාතෘකාව වෙත අවධානය යොමු කරමු. මෙහිදී ප්‍රථමයෙන් ‘ව්‍යාපාරයක්’ සදහා ඉස්ලාම් ලබාදෙන විග්‍රාහය කුමක්ද? යන්න පිලිබදව මූලික අවබෝධයක් ලබාගැනීම අත්‍යඅවශ්‍ය වේ. ඒ පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීමන් විමසා බලන වි‍ට එහි පහත හදීසය මෙතැනට වඩාත් සුදුසු විග්‍රහයක් ලෙස මට සිතේ. එනම්,

‘විකුණන්නා සහා මිලදී ගන්නා වෙන් නොවනතාක් (ඔවුන් අතර සිදුවන) එම වෙළද ගිවිසුම අවලංගු කිරීමේ අයිතිය දෙදෙනාටම ඇත. ඔවුන් දෙදෙනා සත්‍ය කථා කොට, එහි අඩුපාඩු ඇත්නම් එය ද අනාවර්ණය කරගනිමින් (එම වෙළදාම) සිදු කරන්නේ නම්, එහි ‘බරකත්’ (දෙවියන්ගේ භාග්‍යයන්) ඇති වේ. අඩුපාඩුකම් සඟවා, බොරු පවසා එම වෙළදාම සිදු කලේනම්, එහි ඇති ‘බරකත්’ ඉවත් වී යනු ඇත.’

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීසයට අනුව වෙළදාමක්, ගනුදෙනුවක් හෝ ව්‍යාපාරයක් යනු දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර සිදුවන ගිවිසුමක් යන්න මූලික වශයෙන් පැහැදිලි වේ. ‘ගිවිසුමක්’ යනු එහි පාර්ශවකරුවන් එම ගිවිසුමට එකඟවීම අත්‍යඅවශ්‍ය සාධකයක් යන්න පැහැදිලිය. එසේම එහි දෙපාර්ශවයටම බලපෑමක් ඇති නොවන ආකාරයේ නිදහසේ ක්‍රියා කිරීමට අවශ්‍ය පසුබිම එහි තිබිය යුතුය. එපමණක් නොව එම ගිවිසුම වලංගුවීමට නම් ඒ තුල හොර, බොරු, වංචා, සැඟවීම, මුලා කිරීම්… යනාදී ගුණාංග කිසිවක් නොපැවතිය යුතු යන්න ඉහත හදීසය තුලින් නැතත් ලොව සියළු දෙනා ඒකමතිකව පිලිගත් කාරණයකි. මේ සියල්ලෙන්ම පිරිසිදු වූ ව්‍යාපාරික කටයුත්තක්, වෙළදාමක් තමා ඉස්ලාම් අනුමත කරන ව්‍යාපාර බවට පත් වන්නේ. එහි දී එම ගිවිසුමට සම්බන්ධ වන පාර්ශවයන් දෙදෙනා හෝ කිහිපදෙනා (වෙළදාම අවසන් කොට) වෙන් වනතුරු එම ගිවිසුම වලංගු මට්ටමින් පවතී යන්න ඉස්ලාම් දහම පනවන තවත් කොන්දේසියකි. මේ ආකාරයේ වූ සාධාර්ණ වෙළදාමක් (ව්‍යාපාරයක්) කෙරෙහි ඉස්ලාම් දහම කොතරම් දුරකට සැලකිලීමත් වී තිබෙනවාද? යන්න අවබෝධ කරගැනීම පිණිස හදීස් කිහිපයක් ඔබේ අවධානයට යොමු කරන්නේ නම්,

  • වරක් නබිතුමාණන් වෙළද පොළක් අසලින් ගමන් කරන විට (වර්ෂා සමයේ එහි) වියලි ධාන්‍ය ගොඩක් දැක එය තුලට තම අත යවා බැලූවිට එහි පතුලේ තෙත් වූ ධාන්‍ය තිබෙනු දැකගන්නට ලැබුණි. මේ මොනවාද? යන්න විමසා වියලි හා තෙත් ධාන්‍ය වෙන් වෙන් වශයෙන් පාරිභෝගිකයන් හට පහසුවෙන් හදුනාගත හැකි ආකාරයට තබන ලෙස අවවාද කරන ලදී.

(මූලාශ්‍ර ග්‍රන්ථය  – බුහාරී)

  • කවුරුන් මිල ඉහල නැංවීම පිණිස භාණ්ඩයන් (අලෙවි නොකොට) සඟවා තබන්නේ ද ඔහු වරදක් කල තැනැත්තෙකු බවට පත්වේ. යනුවෙන් නබිතුමාණන් පවසන ලදී.

(මූලාශ්‍ර ග්‍රන්ථ – මුස්ලීම්)

  • අරාබි දේශයේ විවිධ වූ රට ඉදි වර්ග (එනම් මිල වැඩි හා මිල අඩු වර්ග) හැදෙන අතර එම අස්වැන්න එකට මිශ්‍ර කොට අලෙවි කරන ක්‍රමවේදයක් එහි පැවතුණි. යෙ දුටූ නබිතුමාණන් එසේ නොකරන ලෙසත් ඒ ඒ වර්ගය වෙන වෙනම තබා අලෙවි කරන ලෙසත් අවවාද කරන ලදී.

(මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)

ඉහතින් මා ඉදිරිපත් කො‍ට ඇත්තේ නූතන ව්‍යාපාරික ලෝකය තුල පවා සමාන්‍ය කාරණයක් ලෙස සලකන වංචාවන් හෝ මුලාවන් සම්බන්ධයෙන් ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට කරන අවවාද හා මඟපෙන්වීම් කිහිපයක් පමණි. මෙතෙක් සාක්ච්චා කල කරුණුවලට අනුව ඉස්ලාම් දහම තුල අනුමත ව්‍යාපාරයක් වීම සදහා එය ‘පොලී’ වලින් සම්පූර්ණයෙන් ඉවත් වීම, මෙන්ම එහි හොර, බොරු, වංචා, සැඟවීම, මුලා කිරීම්… යනාදී සියල්ලෙන් කිසිවක් සිදු නොවීම, ප්‍රමාණවත්ද? යන්න ඔබට දැන් සිතෙන්නට පුළුවනි. මෙතැන දී අව‍බෝධ කර ගතයුතු තවත් වැදගත් කාරණයක් ද ඇත. එනම්, ඉහත අවශ්‍යතාවයන්ට අමතරව සපුරාලිය යුතු තවත් සුවිශේෂි කොන්දේසි ගණනාවක් ද ඉස්ලාම් දහම පනවා ඇත. ඒ අතුරින් මෙම ලිපියට අදාල කොන්දේසි කිහිපයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්නේ නම්,

  • ඉස්ලාම් තහනම් කල ආහාර වර්ග හෝ භාණ්ඩ වෙළදාම් කිරීම සිදුකල නොහැක.
    • එක්තරා පුද්ගලයෙකු මත්පැන් අලෙවි කරන බව දැනගත් උමර් (රලි) තුමාණන් ‘ඔහුට අල්ලාහ් ශාපකරත්වා!,  යුදෙව්වරුන්ට (සත්ව) මේදය තහනම් කලවිට ඔවුන් එය උණූකොට අලෙවි කල නිසා අල්ලාහ් ඔවුන්ව විනාශ කරත්වා!, යනුවෙන් නබිතුමාණන් පැවසූ කාරණය ඔහු නොදන්නේද? යනුවෙන් විමසන ලදී.

(මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)

  • වෙළදාමට මූලික වන භාණ්ඩය එම ස්ථානයේ තිබීම අත්‍යඅවශ්‍ය වේ.
    • ‘පාරිභෝගික භාණ්ඩ තම අතට පත්වීමට පෙර එය අලෙවි නොකරන්න’ යනුවෙන් නබිතුමාණන් නීති පනවන ලදී. තවදුරටත් පැවසීමේ දී ‘එසේ විකිණීම මුදලට මුදල් විකිණීම බදු වේ’ යනුවෙන් ද පවසන ලදී.

(මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)

  • කිසියම් තැනකින් වෙළද භාණ්ඩයක් මිලට ගෙන එම ස්ථානයේම අලෙවි කිරීම නබිතුමාණන් තහනම් කරන ලදී.
    • නබිතුමාගේ සමකාලීන අනුගාමික පිරිස් (සහාභාවරුන්) පාරිභෝගික භාණ්ඩ කිසියම් ස්ථානයකින් මිලදී ගෙන එම ස්ථානයේම අලෙවි කරන පුරුද්දක් සහිත පිරිසක්ව සිටියේය. නමුත් නබිතුමාණන් විසින් එම ක්‍රමය තහනම් කරන ලදී.

(මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)

  • අනාගත අපේක්ෂිත ඉලක්ක එසේත් නැත්නම් පූර්ව නිගමනයන් මත හිඳ වෙළදාම් කිරීම නබිතුමාණන් තහනම් කරන ලදී.
    • නබිතුමාණන් නොඋපන් ජීවියෙකු අලෙවි කිරීම තහනම් කරන ලදී. ජාහිලියා සමාජය එවැනි ව්‍යාපාරයක නියලමින් සිටියේය. එනම්, ‘මෙම ඔටු දෙන බිහිකරන පැටියාගේ පැටියා මම විකුණමි/ මම මිලදී ගනිමි’ යනුවෙන් පැවතී ව්‍යාපාරය ඉස්ලාම් තහනම් කරන ලදී.

(මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)

  • නබිතුමාණන්ගේ කාලයේ ජනයා ගසේ ඇති පළතුරු (අස්වැන්න නෙලීමට නියමිත කාලයට පෙර) විකිණීම පුරුද්දක් කරගෙන සිටියේය. නමුත් පළතුරු නෙලා මිල දී ගත් තැනැත්තාට එය භාරදෙන මොහොත වූ විට ‘මෙය විනාශ වී ඇත, මෙයට රෝග බෝවී ඇත, මෙය අමු තත්වයේ ඇත, තවත් අඩුපාඩු බොහොමයක් ඇත.’ යනුවෙන් වාද කරනු ඇත. මෙය දැනගත් නබිතුමාණන් ‘ගසේ ඇති පලදාව නිශ්චය කරන තෙක් එය නොවිකුණන්න’ යනුවෙන් නියෝගයක් පනවන ලදී.

(මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)

  • ගසක ඇති පලදාව නිශ්චය කරන තුරු විකිණීම නබිතුමාණන් තහනම් කරන ලදී. මෙම තහනම විකුණන්නාට මෙන්ම මිලදී ගන්නාට ද අයත් වේ.

(මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)

ඉහතින් මෙ‍තෙක් සාකච්චා කල කරුණූ පදනම් කරගෙන මෙම ලිපිය තුලින් සාකච්චා කිරීමට අපේක්ෂිත විෂය එනම්, ‘වර්ථමානයේ මුඩු ඉඩමක් ලෙස පවතින ඉඩමක් පෙන්වා එහි කිසියම් බෝගයක් වැවීමෙන් අනතුරුව අනාගතයේ දී එහි වටිනාකම අද ඇස්තමේන්තු කොට වර්ථමානයේ අලෙවි කිරීම’ පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න දැන් විමසා බලමු.

මෙම විෂය කථා කිරීමේ පහසුව සදහා මෙතැන් පටන් වර්ථමානයේ ඉතා ජනප්‍රිය ව්‍යාපාරයක් වන ‘සඳුන් වගාව’ පමණක් පදනම් කරගෙන කරුණූ ඉදිරිපත් කරන අතර රට තුල මේ වනවිට ක්‍රියාත්මක අඹ වගාව, තේක්ක වගාව… හෝ අනාගතයේදී මෙලෙසින් ඉදිරිපත් වන වෙනත් එවැනි ව්‍යාපාරයන් මීට අදාල නොවේ යන්න මින් අදහස් නොවේ. ඒ අනුව ඉහතින් සදහන් කල එම ‘සඳුන් ගස් වගාව’ සම්බන්ධ ව්‍යාපාරයට අදාලව ඊට සම්බන්ධ අලෙවි නියෝජිතයන් ලබාදෙන කරුණු පිලිබදව කෙටි විමසුමක් කරමු. (මෙහි ඉදිරිපත් කොට ඇත්තේ ‘යහමඟ’ට වාර්ථා වූ කරුණූ වන අතර එහි සංඛ්‍යාත්මක අගයන්වල යම් යම් සංශෝධනයන් පැවැතිය හැකි බව කරුණාවෙන් සලකන්න)

වර්ථමානයේ තංගල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක ‘සඳුන් ගස් වගා’ ව්‍යාපෘතිය සදහා පර්චරස් 10ක ඉඩමක් ගැණුම්කරුවෙකු සදහා අලෙවි වන්නේ (වාරික වශයෙන් ද ගෙවීමේ පහසුකම් ඇත) දළ වශයෙන් රුපියල් 300,000.00 (ලක්ෂ තුනක්)ක් පමණ මුදලකටය. මෙම පර්චස් 10 ක ඉඩම තුල ‘සඳුන් ගස් 12 ක්’ සිටුවන බවත්, වසර 20කට පසු අපේක්ෂිත ආදායම රුපියල් 30,000,000.00 (ලක්ෂ තිහක්)ක් බවත් පවසන අතර ඉඩම නොමිලේ ගැණුම්කරුට ලබාදෙන බව පවසයි.

ඉහත කරුණූවලට අනුව මෙම ව්‍යාපාරය සරල විග්‍රාහයකට ලඝු කරන්නේ නම්, රුපියල් ලක්ෂ තුනක් (300,000.00) අද ආයෝජනය කොට වසර 20 කට පසු රුපියල් ලක්ෂ තිහක (30,000,000.00) ආදායමක් හා පර්චස් 10 ක ඉඩමක් (ශුද්ධ ලාභය ලක්ෂ 27 + පර්චස් 10 ක ඉඩම) ලබාගත හැකි යන්නයි. ගැණුම්කරුවා ඉතා සුළු මුදලක් පමණක් ආයෝජනය කිරීමෙන් කිසිදු වෙහෙසක් නොවී මෙපමණ මුදලක් උපයාගත හැකි ව්‍යාපාරයක් සදහා වර්ථමාන සමාජය උනන්දු නොවන්නේ නම් එය පුදුමයකි. එසේනම් මෙතරම් වාසියක් ගෙනදෙන එම ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙතෙක් කථා කල ඉස්ලාමීය විග්‍රාහයන් පදනම් කරගෙන කෙටි නිගමනයන්ට එළඹෙන්නේ නම්,

  • මෙම ව්‍යාපාරය තුලින් ආයෝජකයාට විශාල ධනයක් හිමි වන අතර එය ඉස්ලාම් අනුමත කාරණයකි.
  • මෙහි ‍’පොලී’ කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවන නිසාත් එය ඉස්ලාම් අනුමත ව්‍යාපාරයකි.
  • අලෙවිකරු හා ගැණුම්කරු අතර ගිවිසුමක් නිසිලෙස ක්‍රියාත්මක වන නිසා ඒ අතින් ද මෙම ව්‍යාපාරය ඉස්ලාම් අනුමත කල ආකාරයට පවතී.
  • එසේම මෙම ව්‍යාපාරයන් සදහා පදනම් වන අඹ, තේක්ක, සඳුන් හෝ එවැනි වෙනත් ශාක වර්ග වෙළදාම සදහා ඉස්ලාම් දහම තුල තහනමක් නොමැතිවීම තුල එහි බාධාවක් නැත.

මෙම ව්‍යාපාරය ඉහත අවශ්‍යතාවයන් සපුරා තිබුණද, ඊට පෙර ඉදිරිපත් කල ඉස්ලාමීය කොන්දේසී කිහිපයක් කඩ කොට ඇති බව වටහාගතයුතුව ඇත. එනම්,

හොර බොරු වංචාවන්… සිදු  නොවීම,

ඉහත ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙම කොන්දේසිය තරමක් විමසුම් ඇසින් බලමු. එනම්, මෙම ව්‍යාපෘතියේ දී ‘වසර 20 කට පසු ලක්ෂ 30 ක් හා ඉඩමක් නොමිලේ’ යනු‍වෙන් ප්‍රචාරණය කරන බවට ‘යහමඟ’ට වාර්තා විය. එය එසේනම් ලක්ෂ 03ක මුදල් අය කරගන්නේ ඉඩම සදහා නොවන බව පැහැදිලිය. එසේ නම් එම මුදල කුමක් සදහාද? යන කුතුහලය මතුවේ. එසේම තමන්ට වසර 20 කට පසු නොමිලේ හිමිවන දැනට තමන්ට හිමි නොවන ඉඩමකද මේ වගාව දැන් සිදුවන්නේ?. යන කුතුහලය ද ඇති වේ. මෙවැනි ප්‍රකාශ තුලින් සිදු කරන්නේ සූක්ෂම ලෙස ජනතා මුලාවකි.

එසේ නොවී ඉඩමේ අයිතිය ආරම්භයේදීම තමන්ට ලබාදුන්නත් එහි තවත් ගැටළුවක් ඇතිවේ. එනම් මෙම වගාව සිදුවන්නේ තංගල්ල ප්‍රදේශයේය. එහි සඳුන් ගස් අක්කර ගණන් වවන්නේ නම් එය තංගල්ල නගර සීමාව තුල සිදුවිය නොහැක. එසේනම්, එය තංගල්ල ආසන්න පිටිසර පළාතක සිදුවිය යුතුය. එවැනි ප්‍රදේශවල සාමාන්‍යයෙන් ඉඩම් අක්කරයක (පර්චස් 160 ක) මිල සැලකූවිට එය දළ වශයෙන් රුපියල් 10,000.00 සිට 50,000.00 අතර ප්‍රමාණයක් වන බව ‘යහමඟ’ට දැනගන්නට ලැබුණි. මේ පිලිබදව අවබෝධයක් නොමැති පිරිසට ‘පර්චස් 10ක් නොමිලේ’ යයි පැවසූ විට ඔවුන් එම ඉඩම් කොළඹ, ගම්පහ, ගාල්ල, නුවර… වැනි ප්‍රදේශවල ඉඩමේ මිල ගණනට සාපේක්ෂව සසදා බලා ‘තමන් ආයෝජනය කරන ඉඩමේ සඳුන් නොහැදුනත් ඉඩම හරි ඉතිරිවෙයිනේ’ යනුවෙන් සිතන්නට පෙ‍ළඹේ. මේ තුලින් එම ගැණුම්කරුවන් රුවටීමකට ලක්වේ. එපමණක් නොව ‘ලක්ෂ 03ක් ආයෝජනය කලාම ලක්ෂ 30ක් ලාභ’ යන්න බොහෝ පිරිස් මුලාවන ඊලඟ අවස්ථාවයි. මෙතැනදී බොහෝ පිරිසට අතපසු වූ කාරණයක් ඇත. එනම් අද ලක්ෂ 03 ක් ආයෝජනය කලාම එහි ප්‍රථිපලය ලෙස ලක්ෂ 30 ලැබෙන්නේ තවත් වසර 20 ක‍ට පසුවයි. එසේනම් ලක්ෂ 30 වටිනාකම තක්සේරු කලයුත්තේ අදට සාපේක්ෂව නොව තවත් වසර 20 කට පසු එහි වටිනාකම කුමක්ද? යන්න ලෙසයි.

එය පහසුවෙන් අවබෝධ කර ගැනීම සදහා මීට වසර 08 කට පමණ පෙර (චන්ද්‍රකා ජනධිපති තුමියගේ කාලයේ) පාන් රාත්තලක මිල (රු 3.50) වසර 08 කට පසු අද එහි වටිනාකම (රු 45.00) සමඟ සංසන්දනය කර බලන්න. මෙතැනින් කාලයත් සමඟ එහි වටිනාකමක සිදුවන උච්චාවචනය තේරුගන්නට පුළුවන් නොවේද?. සමහරක් විට මා ඉදිරිපත් කර ඇති සරල උදාහර්ණයට විවිධ විග්‍රහයන් ගෙන එය සාධාර්ණීකරනය කරන්න උත්සාහ කරන්නට පුළුවනි. ඒ නිසාම තවත් සරල නිදසුනක් පවසන්නේ නම්, ඉහත සදහන් ජනාධිපති තුමියගේ කාලයේ රාජ්‍ය සේවයේ නිරත සාමාන්‍ය ගුරුවරියකගේ මූලික වැටුප රුපියල් 6000.00 කි. අද එය 25000.00 කි. මෙහිදී කවරෙකුට හෝ එදාට වඩා අද රාජ්‍ය සේවකයන්ගේ තත්වය විශ්ෂිඨ තත්වයක පවතිනවා යයි තර්ක කලහැකිද?. සැබැවින්ම ඔවුන් අදත් සිටින්නේ එදා සිටිය තැනමය නමුත් සංඛ්‍යාත්මක අතින් ආදායමෙහි විශාල වෙනසක් සිදුවී ඇත. මෙම තත්වයට ආර්ථික විද්‍යාව තුල ගැඹූරු වචනයන් යොදා විග්‍රහයන් ඉදිරිපත් කල හැක. නමුත් එහි අවසාන ප්‍රථිපලය ‘හුදෙක් ඉලක්කම් හරඹයක් මිස වෙනසක් නැතැයි’ යන්න පමණි. එසේනම් ඉහත සඳුන් ගස් ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද ලක්ෂ 03 හා ලක්ෂ 30 යන්න ඉලක්කම් හරඹයක් යොදමින් කරන ජනතා මුලාවක් මිස එය සත්‍යයක් වුවත් විශාල ප්‍රතිලාභ අවස්ථාවක් නොවේ. මේ ආකාරයේ වූ හොර, බොරු හා වංචා රාශියකින් පිරුණූ මෙම ව්‍යාපෘතියට කිසිදු ආකාරයකින් සම්බන්ධ වීමට ඉස්ලාම් දහම තුල කිසිදු මුස්ලීම්වරයෙකුට අවසර නොමැති බව ඉහත කරුණු තුලින් පැහැදිලි ලෙස වටහා ගතයුතුය.

අනාගයේ අපේක්ෂිත ඉලක්ක මත වෙළදාම් සිදු නොකිරීම,

ඉස්ලාම් දහමට අනුව කිසියම් ව්‍යාපාරයක් සිදු කිරීමේ දී එම ව්‍යාපාරයට මුලික වන භාණ්ඩය හෝ ද්‍රව්‍යය එම ව්‍යාපාරය සිදුවන තැන තිබීම මූලික අවශ්‍යතාවයකි.  එනම් ‘මේ මොහොතේ නැති දෙයක් වෙනුවෙන් වෙළදාම සිදුවීම’ යන්න ඉස්ලාම් දහම අනුමත කරණ කාරණයක් නොවේ. ඒ අනුව කිසියම් ඉඩමක අනාගයේ දී කිසියම් වගාවක් සිදුකොට ඒ තුලින් ලබාගැනීමට අපේක්ෂා ආදායම පිලිබදව පූර්ව නිගමනයකට බැස එම වෙළදාම සිදුකිරීම ඉස්ලාම් දහම දැඩිව තහනම් කරන ව්‍යාපාර ක්‍රමයකි. වර්ථමානයේ සිදුවන මෙම වෙළදාම ක්‍රමය මීට වසර 1400 කට පෙර ‘ජාහිලියා’ නම් (ඉස්ලාම් දහම මුහම්මද් (සල්) තුමාණන් මඟින් ප්‍රකාශ වීමට පෙර) සමාජයේ ද පැවතුණි. එවකට සමාජයේ පැවතී ප්‍රධාන ව්‍යාපාර දෙකක් වන රටඉදි වගාව හා සත්ව පාලනය යන ව්‍යාපර තුල මෙම ක්‍රමය ක්‍රියාත්මක වුණි. ඒ දෙක පදනම් කරගෙන මුහම්මද් (සල්) තුමාණන් මුස්ලීම් සමාජයට සිදුකල අවවාදයන් දැන් නැවත විමසා බලන්නේ නම්,

  • නබිතුමාණන් නොඋපන් ජීවියෙකු අලෙවි කිරීම තහනම් කරන ලදී. ජාහිලියා සමාජය එවැනි ව්‍යාපාරයක නියලමින් සිටියේය. එනම්, ‘මෙම ඔටු දෙන බිහිකරන පැටියාගේ පැටියා මම විකුණමි/ මම මිලදී ගනිමි’ යනුවෙන් පැවතී ව්‍යාපාරය ඉස්ලාම් තහනම් කරන ලදී.

(මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)

අනාගතයේ දී උපදින්නට නියමිත මෙතෙක් නොඋපන් ඔටු පැටියෙකුට (අනාගතයේ දී) උපදින ඔටු පැටියා අද විකිණීම එම සමාජ එක් ව්‍යාපර සම්ප්‍රදායකි. එය අද තිබෙන මුඩු ඉඩමේ සඳුන් ගස් වගාකොට තවත් වසර 20 කට එහි වටිනාකම තක්සේරු කොට අද විකිණීම බඳු නොවේද?. එසේම…

  • නබිතුමාණන්ගේ කාලයේ ජනයා ගසේ ඇති පළතුරු විකිණීම පුරුද්දක් කරගෙන සිටියේය. පළතුරු කඩා මිල දී ගත් තැනැත්තාට එය භාරදෙන මොහොත වූ විට ‘මෙය විනාශ වී ඇත, මෙයට රෝග බෝවී ඇත, මෙය අමු තත්වයේ ඇත, තවත් අඩුපාඩු බොහොමයක් ඇත.’ යනුවෙන් වාද කරනු ඇත. මෙය දැනගත් නබිතුමාණන් ‘ගසේ ඇති පලදාව නිශ්චය කරන තෙක් එය නොවිකුණන්න’ යනුවෙන් පවසන ලදී.

(මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)

  • ගසක ඇති පලදාව නිශ්චය කරන තුරු විකිණීම නබිතුමාණන් තහනම් කරන ලදී. මෙම තහනම විකුණන්නාට මෙන්ම මිලදී ගන්නාට ද අයත් වේ.

(මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී)

අනාගතයේ දී පලදරන්නට නියමිත ගසක් එය පලදැරීමට පෙර හෝ එහි පලදාව නියමිත තත්වයට පත්වීමට පෙර එය තක්සේරු කර විකිණිම එම සමාජයේ තවත් සම්ප්‍රදායකි. එය අද තිබෙන මුඩු ඉඩමේ සඳුන් ගස් වගාකොට තවත් වසර 20 කට එහි වටිනාකම තක්සේරු කොට අද විකිණීම බඳු නොවේද?.  එම වගාවට ස්වාභාවික විපත් ඇති නොවේ යන්නට ඇති සහතිකය කුමක්ද?. විශේෂයෙන් එක් එක් ශාකයන්ට ආවේනික රෝග ව්‍යාප්ත වීමත්, එය පාලනය කිරීම සදහා එම ගස් විනාශ කිරීම පිලිබවත් අපට (දකුණු පළාතේ විශේෂයෙන් මාතර හා වැලිගම ප්‍රදේශවල පොල් ගස් විනාශ කිරීමට රජයගත් තීන්දුව තුලින් අපට) අත්දැකීම් නැතුවා නොවේ. එපමණක් නොව මේ ඉඩම්වල වගා කරන සඳුන් ගස් සාර්ථක මට්ටමින් පවතීවි යන්නටත්, එය සොරුන්ගෙන් ආරක්ෂා වේවි යන්නටත් ඇති සහතිකය කුමක්ද?. විශේෂයෙන් සොරුන් ගැන පැවසීමේ දී ශ්‍රී ලාංකීය ‘සඳුන් ගස්’ සොරු පිලිබදව නොමැකෙන මතකයන් අපට ඇත. එයට පහත ‘බැලුම්ගල සඳුන්ගස් හොරකම් විඩියෝව’ හොද නිදසුනකි.

ඉහත බාධක සියල්ල ජයගත්ත ද අද කොස් ගස් සම්බන්ධයෙන් රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දුව හෙට ‘සඳුන් ගස්’ සම්බන්ධයෙන් නොගනීවි යන්නට හා අද පවතින මිල තවත් වසර 20 කට පසුවත් ඒ ආකරයෙන් පවතී වි යන්නට ඇති සහතිකය කුමක්ද?. මේ සියල්ල තුල පැහැදිලි වන කාරණය නම්, මෙම ව්‍යාපාරය දෙස ආගමික රාමුවෙන් බැහැරව බැලුවද එය දැඩි අවධානම් සහිත ව්‍යාපාරයකි. ඉස්ලාම් ආගමික රාමුව තුල සැලකුව ද එය බොහෝ ආගමික ඉගෙන්වීමන්ට විශේෂයෙන් ඉස්ලාමීය මූලික ප්‍රතිපත්තිවලින් එකක් වන ‘කලාකද්ර්’ (කර්ම පිලිබදව වූ විශ්වාසයට) එරෙහිවීමකි. ඉහත ආකාරයේ ව්‍යාපාරයන්ට මුස්ලීම්වරයෙකු ලෙස ඔබ සම්බන්ධ වීම තුල මෙතෙක් සාකච්චා කල සියළු ඉස්ලාමීය ඉගෙන්වීමන්ට ඔබ එරෙහි වන අතර අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනය තුලින් අවධාරනය කරන පහත ශුද්ධ වූ කුර්ආන් පාඨයටත් ඔබ අභියෝග කිරීමක් වේ. එනම්,

…තමා හෙට දිනයේ කුමක් උපයන්නේද? යන්නත්, කොතැනක දී තමා මියදෙන්නේද? යන්නත් කිසිදු ජීවියකු දන්නේ නැත. අල්ලාහ් (දෙවි) හොදින් දන්නේය

ශුද්ධ වූ කුර්ආනය 31-34

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ මෙම සඳුන් ගස් ව්‍යාපාරය තවත් ප්‍රෝඩා එක් ව්‍යාපාරයක් පමණි. කාලයෙන් කාලයට විවිධ වෙස්ගෙන මුස්ලීම් සමාජය හමුවට මේ ආකාරයේ ව්‍යාපෘති ඉදිරියේ දී ද ඉදිරිපත් විය හැක. ඒ කුමණ ව්‍යාපාරය වුවද එය ඉහතින් සදහා ඉස්ලාමීය නීතිරීති වලට අනුකූල නම්, එය ඉස්ලාම් අනුමත කල ව්‍යාපාරයක් යන්නත්, එහි ඉගෙන්වීමන් ට පරස්පර වන්නේ නම්, එය කොතරම් ලාභදායී වුවත්, වාසිසහගත වුවත්, ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කරන ව්‍යාපාරයක් යන්නත් මුස්ලීම් සමාජය පැහැදිලි ලෙස අවබෝධ කොට කටයුතු කලයුතු වේ.

 

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 7 යි.

  1. abubaasith 2012-05-12 at 00:58

    මෙය ඉතා වටිනා කාලීන මාතෘකාවක් වෙසෙසයෙන්ම මුස්ලිම් සමාජය මෙන්ම අනෙක් සමාජයේද වියාපාරය පිලිබද ආගමික මතවාද තිබෙනවා නමුත් ඉස්ලාමය සියලු වියපර අනුමත නොකරය්. උදාහරණයකට ඉස්ලාම් දහමතුල මීනිපෙට්ටි වෙළදාම සම්පුර්ණයෙන් තහනම්.මුස්ලිම් වරුන් මිනීපෙට්ටි බවිත කරන්නේ නැත.අද රු 10000 සිට ලක්ෂ 10 දක්වා මිනීපෙට්ටි ඇත.සමාජයේ තරාතිරම් අනුව අදාල පුද්ගලයාගේ මිනීපෙට්ටිය තිරනයවේ.
    ඉස්ලාම් දහමට අනුව හිගනගේ සිට රජතුමා දක්වා එකම මිනිපෙට්ටියි.එය ස්බාවික වැල් වලින් හෝ අලුමෙනියන් වලින් සදා එත ලංකාවේ පවා විවිද නම් වලින් විවිද මිනීපෙට්ටි සාප්පු ඇත.ඔවුන් උදේ පාන්දර පහන දල්වන්නේ අද කෙසේහෝ මගේ සාප්පුවේ මිනි පෙට්ටියක් විකිනෙන්න ඕනි කියාය.විකිනීමට නම් කෙනෙක් මෙරන්නට් ඔනිමය් එදා දිනයේ වෙදම් නොවුහොත් ඔහු දෙවියන්ගෙන් ඉල්ලනේ කෙසේහෝ කවෘහෝ මෙරන්නොනිකියය.මේවා වියාපාර ඉස්ලාම් දහමේ හා මුස්ලිම් වරුන් නොකරී.ඒ මෙන්ම මත්පෙන්හල්,ගනිකමඩම්,රේස් බුකි,පොලිය සම්බන්ද සියලු වියපර ඉස්ලාම් අනුමත නොකරී. ම සනදහන් කල මෙකි වියපාර කිරීම තුලින් සමාජයට මෙන්ම මිනිස් සංහතියට මහත් විනාශයක් පමුණුවන විසබිජයන්ය.ඉස්ලාමි කරණය තුලින් හෝ ඉස්ලාමිය රජයක මේවා සම්පුර්ණයෙන් තැනමය.මිනිසාට අහිටහ්කාර මිනිසා වෙනසෙන මිනිස් සන්හතිය බිදවෙටන සියලු දේ ඉසලම් තරයේ හෙළාදකි

  2. mohamed 2012-05-10 at 02:43

    ඔබ කියන සංකීර්න තත්වය තව දුරටත් විග්‍රහ කල හැකිද? ඔබ පවසනාකාරයටම ‘ලාභාලාභ’ යන කරුනට මාද එකඟ වෙමි. නමුත් ඔබ මෙහිදී ඉස්මතු කරන්නේ ‘ලාභාලාභය’ නොව ‘අවදානම’ පිලිබඳවයි. ‘ලාභාලාභය’ එන්නේ ඊලඟටය. ඔබ විසින් ගෙනහැර පාන ලද හදීසයන් පවා පදනම් වී ඇත්තේ ‘අවදානම’ යන කරුන මත මිසක් ‘ලාභාලාභය’ මත නොවේ. ඒ හදීසයන් වල ‘අවදානම’ යන සාධකය අයින් කල විට ‘ලාභාලාභය’ පිලිබඳව කිසිම ගැටලුවක් මතු නොවේ. හේතුව ඕනැම ව්‍යාපාරයක අවසන් ප්‍රතිඵලය වන්නේ ලාභය හෝ අලාභය යන දෙකින් එකක් මිස ඊට අතරමැද්දක් නොමැති නිසාය.

    සාමාන්‍යයෙන් ඕනෑම ව්‍යපාරයක ‘අවදානම’ යන්න බැහැර කල නොහැකි සත්‍යයකි. මා විසින් පෙන්වන ලද ආකාරයට මහා පරිමානයේ පමනක් නොව කුඩා සිල්ලර වෙලෙඳුකටද එය වලංගු වේ. එහෙයිනි අද ව්‍යාපාර ක්ෂෙත්‍රයන්ට සමගාමීව රක්ෂණය වැනි උපකාරක සේවාවන් බිහි වී ඇත්තේ. මිනිසාට කලහැකි එකම දේ වන්නේ ‘අවදානම’ පාලනය කිරීමක් මිස එයින් මිදීම නොවේ. ‘අවදානමෙන්’ කිසිසේත් මිනිසාට මිදිය නොහැක. එය කුරානය පවා සහතික කරයි. නමුත් මිනිසාට එය පාලනය කල හැක. ඔබ පවසන දෙවන හදීසය දෙස බලන්න. එහි පලදාව පිලිබඳ ප්‍රශ්නයක් ඒ නොදියුනු යුගයේ ගැටලුවක් වුවත් වර්තමානයේ විද්‍යාව හා තාක්ෂනය ඉදිරියේ තවදුරටත් ගැටලුවක් නොවේ. ඇත්තෙන්ම ගුනාත්මක භාවය වැඩි දියුනු කිරීමටත්, කල් පවත්වා ගැනීමත නොයෙකුත් තාක්ෂනික මෙවලම් වර්තමානයේ දක්නට ලැබේ.

    ඕනැම මහා පරිමාන ආයෝජකයෙක් වර්තමානයේ ආයෝජනය කරන්නේ සාමාන්‍යයෙන් ශක්‍යාතා අධ්‍යයනයක් ( feasibility study) කිරීමෙන් අනතුරුවය. එහිදී ඇතිවිය හැකි අවදානම් සියල්ල පිලිබඳ සැලකිල්ලට ගනු ලබයි. අවදානම් වැඩි නම් ආයෝජකයේ මැලිවන අතර අඩු නම් ඊට පරස්පර වේ. යුද්ධ කාලයේ ලංකාව තුල ආයෝජනයන් අඩු වී තිබීම මීට හොඳම නිදසුනක් ලෙස ගත හැක. ඇත්තෙන්ම මේවා පාලනය කල හැකි අවදානම් වේ. මෙවැනි අවදානම් ඔබගේ හදීස් තුලින් ගම්‍ය වන අර්ථයට අදාල නොවේ යන මාගේ අදහසයි. ඒ හදීස්වලින් අදහස් කරන්නේ ඇත්තෙන්ම මිනිසාගේ පාලනයෙන් තොර වූ හුදූ සොබා දහමේ (දෙවියන්ගේ) තීන්දූ තීරන මත සිදු වන වෙනස්වීම් වේ. මේ මත පදනම් ව ව්‍යාපාර කටයුතු කිරීම අවිනිශ්චිත වන නිසා එහිදී සාධාරනත්වය සලකා තහනම් කිරීම ගැන එකඟ විය හැක. නමුත් මා කලින් පවසන ලද ආකාරයට ‘පාලනය කල හැකි’ නම් එතනදී මේ හදීසය වලංගු නොවේ යන මාගේ තර්කයයි. කෙසේ වුනත් අනපේක්ෂිත විදිහට යම් අවදානමකට මුහුන දීමට සිදු වනවා නම්, එය වැලැක්විය නොහැකි වන අතර එය හුදෙක්ම දෙවියන් විසින් මිනිසා පරික්ෂා කිරීම සඳහා පමනක්ම වේ. මිනිසාට ඉතුරුව ඇත්තේ එය වැලැක්වීමට තමන්ගේ ශක්ති ප්‍රමානය අනුව ක්‍රියා කිරීම පමනකි.

    ඔබ විසින් පෙන්නන ලද ‘සඳුන් ගස් ව්‍යාපෘතිය’ පිලිබඳ කිසිවක් මා කලින් දැන සිටියේ නැත. එම නිසා එය මාගේ තර්කයට අදාල නොකරන්න. මා කතා කලේ සාමාන්‍ය ආයෝජනයන් පිලිබඳව පමනකි. ඔබ පවසන පරිදි ඔවුන් ලාභය පමනක් පොරොන්දු වේ නම් එය වැරදිය. නමුත් එය ‘පොරොන්දුවක්’ නොවී හුදෙක්ම ‘අපේක්ෂාවක්’ නම් එයට දොස් කිව නොහැක. කෙසේ වුවත් අවසානයේ, හරිහැටි අධ්‍යයනයක් නොකර, නෛතික බාවයකින් තොර එය මහජනයා රැවටීමට තැත්කිරීමේ වැයමක් නම් එය තහනම් යන්නේ කිසිඳු විවාදයක් නොමැත.

    • abuarshed 2012-05-10 at 07:37

      ව්‍යාපාරයක් සදහා මුදල් ආයෝජනය කිරීමත් ඒ තුලින් ලාභයක් අපේක්ෂා කිරීමත්, ඒ සදහා එම ව්‍යාපාරය පිලිබදව ශක්‍යතා අධ්‍යනයක් සිදුකිරීමත් ඉස්ලාම් දහමට අනුව වුවද වරදක් නොවේ. නමුත් ඉහත ලිපිය තුලින් කථා කරන්නේ මුදල් ආයෝජනය කිරීම පිලිබදව වූ තත්වයක් නොව වසර 20 කට පසු (අනාගතයේදී) ලැබෙන පලයක් වෙනුවෙන් අද දවසේ ව්‍යාපාරය සිදුකොට අවසන් කරන තත්වයක් පිලිබදවයි. මෙහිදී ඉස්ලාමීය ඉගෙන්වීමන් කිහිපයක් ප්‍රතික්ෂේප කිරීමක් සිදුවේ. එකක් ව්‍යාපාරයක් සිදුවන විට (ගිවිසුම සම්පූර්ණ වීම සදහා) එම ව්‍යාපාරයට අදාල භාණ්ඩය එම තැන තිබීම අත්‍යඅවශ්‍යය නමුත් එසේ නොමැතිව එම වෙළදාම මෙතැනදී සිදුවේ. මෙහිදී අනාගතයේදී ලැබෙන්නට යන ආදායම හෝ පාඩුව පිලිබදව අනුමාන කරගත් බලාපොරොත්තුවක් නොවේ ඇත්තේ එය නිශ්චය කොට අද අලෙවි කිරීමක් සිදුකරයි. මෙය ඉස්ලාම් දහමට අනුකූල නොවේ. සරලව පවසනවා නම් තව වසර 20කින් පමණ නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත භාණ්ඩයක් අද අලෙවි කරයි. ඉහතින් සදහන් හදීස් දෙක තුලින් ඔබ දුටුවේ ‘අවදානම‘ නම් සරල කාරණය පමණි. නමුත් ඉස්ලාම් එම හදීසය තුලින් එවැනි අවදානම ගැන පමණක් නොව මූලාවකට හසුනොවීමට අවශ්‍ය මඟපෙන්වීම ද එහි සිදුකරන බව වටහාගත යුතුවේ.

  3. mohamed 2012-05-09 at 02:34

    ඔබ පවසන ‘අනාගත අපෙක්ෂිත ඉලක්කම් මත වෙලඳාම් සිදු කිරීම තහනම් කර ඇත’ යන තර්කය මට නොවැටහේ. සාමාන්‍යයෙන් ආයෝජකයෙක් ඕනෑම ආයෝජනයක් සිදු කරන්නේ දිගු කාලීන බලාපොරොත්තුවෙන්ම මිස කෙටි කාලීනව නොවේ. අඩුම තරමින් තමන් ආයෝජනය කරන මුදල පවා ආවරනය කර ගැනිමට යම් කාලපරිච්ඡේදයක් අවශ්‍ය වෙනවා (payback period). එවන් අවස්ථාවක මෙවන් නීතී නිසා ආයෝජකයින් අධෛර්යමත් වනවා නේද? අනික ඔබ පවසන ‘අනාගත අවදානම’ මහා පරිමාන පමනක් නොව කුඩා සිල්ලර වෙලෙඳෙකුටත් බලපැ හැකි නේද?

    • abuarshed 2012-05-09 at 08:18

      වෙළදාමක ඉලක්ක තිබීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් යන්නෙහි විවාදයක් නැත. එය ඉස්ලාම් තහනම් කරන කාරණයක්ද නොවේ. ඉස්ලාම් පවසන ව්‍යාපාර ක්‍රම තුල ලාභ අලාභ දෙකම ඇත. ඉහතින් මා පවසන්නට උත්සාහ ගන්නේ මුදල් ආයෝජනය කොට ඒ තුලින් ලාභයක් අපේක්ෂා කරනවාට වඩා සංකීර්ණ තත්වයකි. අද ආයෝජනය කරන මුදලට තව වසර 10 කින් මෙච්චරක් ලාභ ලැබෙනවා යයි අද පැවසීමට ඉස්ලම් දහම තුල ඉඩක් නැත. එසේම එවැනි ක්‍රමයක් අද ඇත්තේ ‘පොලී’ තුල පමණි. ‘ඔබ මෙච්චරක් තැන්පත් කලානම් අවුරුදු 10 කින් මෙච්චරක් දෙනවා’ යන්න බැංකුවල ක්‍රියාත්මක පොලී ක්‍රමයයි. ඉස්ලාම් දහම පවසන ව්‍යාපාරය තුල ලාභ පාඩු දෙකටම සම ඉඩක් පැවතිය යුතු අතර එය නිශ්චය කොට පැවසිය නොහැක. එය වඩාත් හොදින් අවබෝධ කර ගැනීම සදහා ‘ගසක පලදාව’ සහා ‘ඔටු පැටියා’ විකිණීම සම්බන්ධ ඉහත හදීසයන් නැවත බලන්න. අනික ඉහත ව්‍යාපාරය තුල බොරු මුලාවන් බොහොමයක් ඇත. මේ නිසා ඉස්ලාම් දහමට අනුව මෙය අනුමත ව්‍යාපාරයක් නොවේ.
      (තවදුරටත් සංවාදයට විවෘතයි)

  4. nauzermohammed 2012-05-08 at 13:39

    Jassakallah hair……………..

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *