වැඩිහිටි දිනය හා වර්ථමාන සමාජය – ඉස්ලාමීය විමසුමක්

0

‘ඔන්න දුවේ පුතේ එක රටක හිටියා ලස්සන…’ යනුවෙන් කථාවක් ඇසූ සැනින් අප සිත් තුල මැවෙන්නේ අතිතයේ අපේ මුතුන් මිත්තන් තම මුනුබුර මිනිබිරියන් වට කරගෙන රසවත් එසේම ආදර්ශවත් වු සුරංගනා හා වීර කතා කියමින්, එසේම අප රටේ ඉතිහාසය ගැන රසවත් මතකයන් අවධි කරමින් ළමා මනසට අලුත් ජවයක් එක්කල ආච්චිලා සීයලාගෙන් ආලෝකමත් වූ සුන්දර කුටුම්බයකි. අතීතයේ පටන් මෑතක් වනතුරුම පවුලක් තුල මේ වැඩිහිටි පරම්පරාවට හිමිව පැවතියේ සුවිශේෂි තැනකි. මේ නිසාම පවුලේ සාමාජිකයින් මෙන්ම ලඟම ඥාතීන් විසින් පවුලේ වැඩිහිටියන් රැක බලා ගැනීම තම වගකීමක් ලෙස සැලකූ අතර එය සමාජීයව හා සංස්කෘතිකව පැවරී තිබූ වගකීමක් විය. නමුත් නූතන මානවයා යහපත් සාරධර්ම සියල්ල පසෙකලා පවතින ආර්ථීක හා විලාසිතා රටාව තුල වල්මත් වී යාමේ ප්‍රථිපලයක් ලෙස ඒ වැඩිහිටි පරම්පරාව අද මහළු නිවාස තුල හෝ මංමාවත්වල අසරණයන් බවට පරිවර්ථනය කොට ඇත. මෙම තත්වය අවබෝධ කරගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය 1990 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මහ සභා වාරයේ දී ලෝක වැඩිහිටියන් සදහා සෑම වර්ෂයකම ඔක්තෝබර් මස 01 දින ‘ලෝක වැඩිහිටි දිනය’ යනුවෙන් ලෝක ළමා දිනයට සමගාමීව වැඩිහිටියන් සැමරීමට එම දිනය නම් කරන ලද අතර එය ලෝක කාන්තා දිනය, ලෝක ළමා දිනය, ලෝක පියවරු දිනය, යනාදී ලෙස තවත් දිනයක් විය. මේ ආකාරයට දිනයක් වෙන්කිරීම තුලින් වැඩිහිටියන් කෙරෙහි සමස්ථ සමාජයට ඇති වගකීම් සියල්ල ඉටුවේවි යයි කිසිවකු සිතන්නේ නම් එය මහා විහිළුවකි. මෙහිදී වියයුතු මූලික කාරණය නම්, වැඩිහිටියන් කෙරෙහි සමාජ ආකල්ප වෙනස් වීමයි. කිසිවකුට රටක වැඩිහිටියන් ‘තවත් කටක් හා බඩක්’ යයි ද, ඔවුන් රටට බරක් යයි ද, ඔවුන් රටේ සංවර්ධනයට තවදුරටත් දායක කරගත හැකි ශ්‍රම බලකායක් නොවේ යයි ද… වශයෙන් පටු සීමාවන් තුල හිඳ විද්වත් තර්ක ඉදිරිපත් කල හැක. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ‘ජනගහනය වයස්ගත වීම සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණදී ඇති ප්‍රධාන ගැටලූවක්’ යනුවෙන් ප්‍රකාශ කොට ඇත. මේ සියල්ල සංඛ්‍යාලේඛන වලට සීමා වූ නිරීක්ෂණ හා නිගමනයන් මිස කලගුණ දන්නා එසේම ශිෂ්ටසම්පන්න සමාජයකට රටේ වැඩිහිටි පරම්පරාව සම්බන්ධයෙන්  පදනම් කරගත හැකි කාරණයන් නම් නොවේ.

ඉහත කාරණය හොදින් අවබෝධ කර ගැනීමට නම් මනුෂ්‍යා මනුෂ්‍යත්වයේ නාමයෙන් මෙම විෂය කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යඅවශ්‍ය වේ. එහිදී ආගම දහමට පැවරෙන්නේ විශාල වගකීමකි. අද අප වෙන කවරදාකටත් වඩා ඉහලින් ආගම දහම එහි ඉගෙන්වීමන් පිලිබදව මහා උජාරුවෙන් කථා කරන්නෙමු. ලොව ආදර්ශමත් එසේම අසමසම එකම දහම තමන් අදහන පිලිපදින දහම බව සෑම පාර්ශවයක්ම නිතර නිතර මුමුණන්නෙමු. නමුත් සමස්ථ සමාජය ගුණධර්ම සෝදා පාළුවකට ගොදුරු වී ඇති ආකාරය පැහැදිලි ලෙස අප දකින්නෙමු. මේ සදහා ඕනෑ තරම් නිදසුන් ගෙනහැර දැක්විය හැක. ඒ අතුරින් රටේ වැඩිහිටියන්ට අත්වෙමින් තිබෙන ඉරණම ද එකකි. අපේ රට දියුණූ සංස්කෘතියක් ප්‍රෞඪ ඉතිහාසයක් පිලිබදව නිතර කථා කරන රටකි. එවන් වූ අප රට තුල මේ වනවිටත් (2000 වර්ෂයේ සංඝනනයට අනුව) 200ත් ඉක්මවා වැඩිහිටි නිවාස සංඛ්‍යාවක් බිහි වී ඇති බව ඔබ දන්නේ ද. මෙතැන දී තවත් කාරණයක් ඔබේ අවධානයට ගෙන ආයුතුව ඇත. එනම්, 2000 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් දස දෙනෙකුටම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් එක් අයෙකු සිටි අතර 2025 වන විට එය 5:1ක් වනු ඇතැයි ගණන් බලා ඇත. ඒ අනුව මේ ආකාරයට සමාජය ඉදිරියට ගමන් කලේනම්, 2025 වන විට අප ර‍ටේ වැඩිහිටි නිවාස කොතරම් නම් තවත් බිහිවෙනු ඇත්ද?. ආගම දහම තුලින් යහපත් හැදියාවන් හා ගුණදර්මයන් තම ජීවිතයට එක්කර ගතයුතු සමාජය ආගම දහම කටවාචාලකමට හෝ තවත් ආගමක් දහමක් ගරහන්න පමණක් යොදාගන්නා සමාජයකට මෙම කාරණයන් වැදිබණ වන්නට පුළුවන. නමුත් රටක වැඩිහිටි පරම්පරාවට අත්වෙමින් හා අත්කරවමින් තිබෙන මෙම අවාසනාවන්ත ඉරණම එ‍ලෙස සුළුකොට තැකිය හැකි කාරණයක් නොවේ. අ‍ප රටේ මේ මොහොතේ වැඩිහිටි නිවාස තුල බිත්ති හතරකට කොටු කොට ඇති වැඩිහිටියන් මෙන්ම කිසිවකුගේ හවුහරණක් නොමැතිව මංමාමවත්වල කොතෙකුත් සිඟා යන වැඩිහිටියන් සම්බන්ධයෙන් මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔබට වගකීමන් ඇත. එපමණක් නොව මහළු නිවාසයකට කොටු නොකලත්, මංමාවත්වල සිඟා නොගියත් ඔබේ ආදරය අනුකම්පාව අපේක්ෂාවෙන් ඔබේ නිවස තුල හිඳින ඔබේම මව පියා වෙනුවෙන් ඔබට තවත් බොහෝ යුතුකම් ඉතිරිව ඇත. ඒ අනුව 2012 ලෝක වැඩිහිටි දිනයේ පලමු හඬ දියත්විය යුත්තේ ‘මහළු මාපියන් වෙනුවෙන් දරුවන්ගේ යුතුකම්’ යන තැන හිඳය. එම මෙහෙවර ‘යහමඟ’ අඩවිය ඉස්ලාමීය දෘෂ්ඪි කෝණයෙන් මෙතැන් සිට කථා කිරීමට අදහස් කරමි.

ඉහත විෂය පිලිබදව ඉස්ලාමීය විමසුමක් සිදුකිරීමට මත්තෙන් මෙහිදී සදහන් කලයුතු තවත් වැදගත් කාරණයක් ඇත. එනම් වර්ථමාන ලෝකයේ මුස්ලීම් නොවන සහෝදර ජනතාව පමණක් නොව මුස්ලීම් සමාජයේ ද සැලකිය යුතු පිරිසක් සිතා සිටින්නේ ආගම දහම ඇදහීමට පමණක් සීමා වූ දහමක් යනුවෙනි. මේ වැරදි අවබෝධය නිසාම ඔවුන් අතුරින් බොහෝ සමාජීය වගකීම් අතපසු වී යනවා අප නිතර දකින්නෙමු. මෙම කාරණය අවබෝධ කරගත් ‘යහමඟ’’ අඩවිය මීට ඉහත ‍ඒ සම්බන්ධයෙන් කරුණූ සාකච්චා කොට ඇත. එවැනි ලිපියක් ඔබේ මතකයට ගෙන එන්නේ නම්, සමාජ වගකීම් හා ඉස්ලාම් යන්න සදහන් කලහැක. ඒ අනුව මෙවැනි විෂයන් පිලිබදව කථා කිරීමත් ඉස්ලාම් දහමේ අනිවාර්‍ය අංගයක් යන්න සමස්ථ ජාතියේ අවධානය යොමු වියයුතු බව පමණක් මෙහි අවධාරණය කරමින් ඉහත මාතෘකාවට යොමු වන්නේ ශුද්ධ වූ නබිවදනක් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එමිනි. එනම්,

“විනිශ්චය දිනයේ සමහරක් මිනිසුන්ගෙන් අල්ලාහ් මෙසේ ප‍්‍රශ්න කරන බව නබිතුමාණන් පවසන ලදී ‘එම්බල ආදම්ගේ දරුවනි!, මම රෝගිව සිටී අවස්ථාවේ ඇයි නුඹ මාගේ සුවදුක් බලන්නට නොපැමිණියේ?’ එයට එම මිනිසා විශ්මයට පත්ව ‘දෙවියනේ නුඹ රෝගිවන්නේ කෙසේද?’ යයි විමසනු ඇත. එවිට දෙවියන් එම මිනිසා ජීවත් වු ප‍්‍රදේශයේ රෝගිව සිටී අසල්වාසින් සිහිකොට ඒ අයගේ සුවදුක් බලන්න නොපැමිණිම දෙවියන් තමාව බලන්නට නොපැමිණියාසේ සලකන බව පවසනු ඇත. ඒ ආකාරයටම තවත් කෙනෙකු කැදවා ‘එම්බල ආදම්ගේ දරුවනි!, මා කුසගින්නේන් නුඹලඟට පැමිණී මොහොතේ ඇයි නුඹ මට ආහාර ලබා නොදුන්නේ?’ එයට එම මිනිසා විශ්මයට පත්ව ‘දෙවියනේ නුඹට කුසගින්නක් කෙසේ ඇතිවන්නද? නුඹ කවදා ද මා හමුවට ආවේ?’ යයි විමසනු ඇත. එවිට දෙවියන් එම මිනිසා ජීවතව සිටිය දී ඔහු හමුවට ආහාරයට යමක් ඉල්ලා පැමිණි පිරිස මතක් කොට ඒ පිරිසට ආහාර නොදීම නුඹ මට ම ආහාර නොදී ප‍්‍රතික්‍ෂේප කලාසේය යනුවෙන් දෙවියන් පවසනු ලැබේ.”

හදීස් කුදිසි

මෙහිදී ඉහත හදිසය තුලින් අවධාරණය කරන කාරණය පිලිබදව කථා කිරීමට මත්තෙන් මෙම විෂයට පරිභාහිර ඉහත හදීසය සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක් කලයුතුව ඇත. එනම් ‘හදීස්’ (මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන්, ක්‍රියාවන් හා අනුමත කිරීමන්) යන්න ප්‍රධාන ආකාර දෙකක් ගන්නා අතර එහි ‘හදීස් කුදිසි’ යන්න ද එක් වර්ගයකි. ‘හදීස් කුදිසි’ යනුවෙන් ඉදිරිපත් වන්නේ ‘අල්ලාහ් (දෙවි) පැවසුවා’ යයි පැවසෙන හදීසයන්ය. එනම් නබිතුමාණන් පැවසුවා යයි සදහන් නොවී අල්ලාහ් ‍(දෙවි) පැවසුවා යයි සදහන් වූ හදීස් හදීස් කුදිසි යනුවෙන් හැදින්වේ. මෙහිදී ‘හදීස් කුදිසි’ යනු තවත් ආගමික මූලාශ්‍රයක් යයි වැරදි අවබෝධයක් ඇති කරගතයුතු නොවේ. හදීස් කුදිසි ද සදහන් වන්නේ සාමාන්‍ය හදීස් ග්‍රන්ථයන් තුලමය. මෙම කාරණය අමතර දැනුමක් සදහා මතකයේ රදවාගෙන ඉහත හදීසය වෙත දැන් අවධානය යොමු කරමු. එහි ‘…තම අසල්වාසී රොගියෙකු…’ හා ‘…කුසගින්නේ පැමිණි අසරණයෙකු…’ නොසලකා හැරීම ඉස්ලාම් දහම අල්ලාහ් (දෙවි) තමන්ව නොසලකා හැරීමක් ලෙස සලකන බවත්, එය ආගමික කාරණයක් බවට පරිවර්ථනය වන බවත් පැහැදිලි වේ. ‍පිටස්තර පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය එය නම් මාපියන් හා පවුලේ වැඩිහිටියන් නොසලකා කටයුතු කරන පිරිස් පිලිබදව වෙනම පැහැදිලි කිරීමට අවශ්‍ය නොවනු ඇත. ඒ නැතත් සමාජයේ වෙසෙන සෑම වැඩිහිටියෙකුම කවරෙකුගේ හෝ පියෙක්, මවක් හෝ ඥාතියෙකු යන්න යථාර්තයයි. එසේනම් මෙම විෂය කථා කලයුත්තේ සමාජයේ වෙසෙන මාපියන් සිටින දූදරුවන්ගේ බුද්ධියටය. එහි ආරම්භයක් ලෙස මුහම්මද් (සල්) තුමාණන් මේ සම්බන්ධයෙන් කල දැඩි වූ අවවාදයක් ඔබේ බුද්ධිමත් අවධානයට ගෙන එන්නට අදහස් කරමි. එනම්,

ඔහුගේ මුහුණ පස් වේවා!,  ඔහුගේ මුහුණ පස් වේවා!,  ඔහුගේ මුහුණ පස් වේවා!, යනුවෙන් නබිතුමාණන් පැවසූ විට ‘අල්ලාහ් (දෙවි)ගේ දූතයාණනි!, ඔහු කවුද?’ යනුවෙන් (සහාභාවරුන් – සමකාලීන අනුගාමිකයන්) විමසන ලදී. එයට නබිතුමාණන් ‘මහළුවියට පත් දෙමාපියන්ගෙන් දෙදෙනාම හෝ කෙනෙකු හිඳ ඔවුනට උදව් උපකාර කිරීම තුලින් කවුරුන් ස්වර්ගය දිනා නොගත්තේ ද ඔවුන් තමා’ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

ඉහත හදීසය තුලින් පැවසෙන කාරණය වෙත අවදානය යොමු කිරීමට මත්තෙන් මෙහි සදහන් ‘ඔහුගේ මුහුණ පස් වේවා!’ යන පාඨය පිලිබදව කෙටි හැදින්වීමක් කලයුතුව ඇත. මෙය අරාබි සමාජයේ පැවතී භාෂා ශෛල්‍යයක් වන අතර එය තුලින් අදහස් කරන්නේ ‘ඔහු විනාශ වේවා!’ යන්නයි. මෙම වදන නබිතුමාණන් තම ජීවිත කාලයේ භාවිතා කොට ඇත්තේ අවස්ථාවන් කිහිපයක් පමණක් වන අතර එසේ භාවිතා කොට ඇත්තේ ද සමාජයට ප්‍රබල පණිවුඩයක් අවධාරණය කරන අවස්ථාවල දීය. එම පාඨය නබිතුමාණන් මෙතැන දී තෙවරක්ම පැවසීම තුල ඉහත පණිවුඩය කොතරම් දැඩිව සමාජයට අවධාරණය කරනවාද යන්න අවබෝධ කර ගැනීම අපහසු නොවනු ඇත. ඉහත හදීසය තුල මුස්ලීම් සමාජයට දෙන තවත් පණිවුඩයක් ද ඇත. ඒ ලෞකික දිවිය තුල තම මාපියන්ට කරන යුතුකම් ලෝකොත්තර දිවියේ තමන්ට තීරණාත්මක සාධකයක් වනවා යන්නයි. මේ පිලිබදව ඉස්ලාම් දීර්ඝ ලෙස ආගමික මූලාශ්‍රවල කථා කර ඇති මුත් ඔබේ බුද්ධිමත් විමසුමට එවැනි එක් හදීසයක් ඉදිරිපත් කරන්නේ නම්,

 ‘අල්ලාහ් (දෙවි)ගේ දූතයාණනි!, මම (ඉස්ලාම් විරෝධී යුධ මෙහයුමට එරෙහිව) යුද්ධයට ඒමට තීරණය කොට ඇත. ඒ පිලිබදව ඔබ තුමාගේ අදහස අපේක්ෂා කර සිටිමි’. යනුවෙන්  ජාහිමා (රලි) වන මා නබිතුමාණන් හමුවේ විමසුවෙමි. එයට නබිතුමාණන් ‘ඔබේ මාපියන් සිටීද?’ යනුවෙන් විමසන ලදී. එයට මා ‘ඔව්’ යනුවෙන් පිලිතුරු දුනිමි. එයට නබිතුමාණන් ‘එසේනම් ඔවුන් දෙදෙනාට නියමිත පරිධි උදව් උපකාර කරන්න!, නියතවම ස්වර්ගය ඒ දෙදෙනාගේ පා දෙපතුලේ ඇත්තේය’ යනුවෙන් පවසන ලදී

මූලාශ්‍ර ග්‍රන්ථය – තබරානි

ඉහත හදීසය තුලින් පැවසෙන කාරණය තරමක් ගැඹුරින් විමසා බැලිය යුතුය. ඉස්ලාමීය ආරම්භ කාලය සැලකූවිට එය වර්ථමානය තරම් සාමාකාමී යුගයක් නොවීය. ඉස්ලාම් විරෝධීන්ගේ දැඩි හිංසා පීඩා මධ්‍යයේ හා දැඩි බාධා කිරිම් මධ්‍යයේ විටෙක ඉස්ලාම් විරෝධීන් අතින් මුස්ලීම්වරුන් ඝාතනයට ලක්වෙමින් මේ ඉස්ලාම් දහම ගොඩනැඟුණී. මේ අවධියේ මුස්ලීම්වරුන්ට ඉස්ලාම් විරෝධීන්ගේ යුධ මෙහෙයුම් ගණනාවකට මුහුණදීමට ද සිදුවුණි. මේ නිසාම ඉස්ලාම් දහම මුස්ලීම්වරුන් එවැනි යුධ මෙහෙයුම් සදහා සම්බන්ධවීම අනිවාර්‍ය යුතුකම්ක් හා වගකීමක් ලෙස අවධාරණය කරමින් දිව්‍යමය වදන් ගණනාවක්ම පහල විය. මෙසේ තිබිය දී ජාහිමා (රලි) තුමාණන් හට ඒ සදහා අවසර ලබානොදී ‘තම මාපියන් දෙදෙනා වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න’ යනුවෙන් ඉස්ලාම් අවධාරණය කිරීම තුල ඉහත කාරණය පිලිබදව ඉස්ලාම් කොතරම් දුරකට සැලකිලීමත් වෙනවා ද යන්න පැහැදිලි අවබෝධ කර ගතයුතුය. එපමණක් නොව එම හසීදයේ අවසාන කොටසේ ‘…නියතවම ස්වර්ගය ඒ දෙදෙනාගේ පා දෙපතුලේ ඇත්තේය’ යනුවෙන් ඉස්ලාම් අවධාරණය කිරීම තුල මාපිය දෙදෙනා රුකබලා ගැනීමත්, ඔවුන්ගේ ආදරය ආශිර්වාදය ලබාගැනීමත්, මුස්ලීම්වරයෙකුට කොතරම් වැදගත් වන්නේද යන්නත් පැහැදිලි වේ.

අද වැඩිහිටියන්ට කල්ගෙවන පිරිසටත් හෙට දිනයේ වැඩිහිටියන් ලෙස මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වීමට සිටින පිරිසටත් තිබෙන ප්‍රබල කුතුහලයක් ඇත. ඒ ‘අපිට බැරි කාලයේ අපිව හොදින් රුකබලා ගන්නේ කවුද?, අපේ ඉරණම කුමක් වේද?’ යන්නයි. මේ අහිංසක බලාපොරොත්තුව අවස්ථාවක් කරගත් විවිධ වූ වෙළද ව්‍යාපාර මෙන්ම රජයක් ලෙස විවිධ වූ ජාතික වැඩසටහන් ද සමාජය තුල ක්‍රියාත්මක වන ආකාරය ද අප නිතර අසන්නෙමු දකින්නෙමු. වෙළද ආයතන යෝජනා කරන ‘මහළු නිවාස’ හෝ වැඩිහිටි රක්ෂණ ක්‍රම තුලින් හෝ රජයක් විසින් යෝජනා කරන විශ්‍රාම හෝ පිංපඩි වැඩසටහන් තුලින් ජීවත්වීමේ මාර්ගයක් නිර්මාණය කර දුන්නද ඔවුන් අපේක්ෂා කරන ආදරය සෙනෙහස මේවා තුලින් සකසා දිය නොහැක. එය ඔවුනට හිමිවීමට නම් වර්ථමාන සමාජය තුල විශේෂයෙන් වැඩිහිටියන් සිටින පවුල්වල දුදරුවන් තුල යහපත් ගුණධර්ම පිරි ආකල්පය වෙනසක් ඇති වියයුතුය. මෙය නබිතුමාණන් තරමක් වෙනස් ආකාරයට මිනිස් සමාජයට පහත ආකාරයට යෝජනා කරන ලදී. එනම්,

කවරෙකු නිරයෙන් ඈත්වී ස්වර්ගයට පිවිසෙන්න අදහස් කරන්නේ ද ඔහුට, අල්ලාහ් (දෙවි) හා (මරණින් මතු උදාවන) විනිශ්චය දිනය විශ්වාස කල තත්වයේ මරණය ලඟා වෙත්වා!, තවද අන් අය තමා හා කොතරම් යහපත් අයුරින් ක්‍රියා කලයුතු යැයි ඔබ අපේක්ෂා කරන්නේ ද ඒ ආකාරයටම තමා ද ඒ අය හා කටයුතු කරත්වා!, යනුවෙන් නබිතුමාණන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රනථය – මුස්ලීම්

ඉහත හදීසය අවධාරණය කරන සංකල්පය සමස්ථ සමාජය තුල පිහිටුවීමට හැකි වන්නේ නම්, අපගේ වැඩිහිටි පරම්පරාවේ අනාගතය තවදුරටත් අසුන්දර එකක් නොවනු ඇත. එපමණක් නොව මෙම සංකල්පය ක්‍රියාවට නඟන මුස්ලීම් සමාජයේ මරණීන් මතු දිවිය ද සාර්ථක එකක් වනු ඇත. මෙම කාරණය තමා නබිතුමාණන් පහත හදීසයන් දෙක තුලින් තවදුරටත් අවධාරණය කරන්නේ. එනම්,

මුහම්මද් (සල්) තුමාණන් වරක් ‘තම පවුලේ හෝ ඉන් පරිභාහිරව වෙසෙන අසරණ ජනතාව වෙනුවෙන් මැදිහත් වන තැනැතාත් මාත් ස්වර්ගයේ මෙසේ සිටිමි.’ යනුවෙන් පවසා තම අතෙහි ඇඟිලි දෙකක් එකට එක්කොට පෙන්වන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

 ස්වර්ගයේ දොරටු ප්‍රථමයෙන් විවෘත වන්නේ මා වෙනුවෙන්ය. නමුත් මා සමඟ ස්වර්ගයට ඇතුල්වීමට එක්තරා කාන්තාවක් ද පැමිණෙනු ඇත. මම ඇයගෙන් ‘ඔබ කවුද? මේ ආකාරයට ස්වර්ගයට පිවිසෙන්න හේතුව කුමක් ද?’ යනුවෙන් විමසුවෙමි. එයට ඇය ‘මම අසරණයන් අනාථයන් සමඟ ජීවිත කාලය ගතකල කාන්තාවක් වෙමි!’ යනුවෙන් පවසනු ඇත. යනුවෙන් නබිතුමාණන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – අබූය:ලා

ඉහත හදීසයන් දෙක තුලින් මෙන්ම මෙතෙක් කථා කල කරුණූ කරණා තුලින් මුස්ලීම් සමාජය තරමක් දුරකට හෝ පාඩම් උගත් නිසා තමා අදටත් අනිකුත් සමාජයට සාපේක්ෂව වැඩිහිටියන් රැකබලා ගැනීමෙහි මුස්ලීම් සමාජය හා රටවල් පෙරමුණෙ සිටින්නේ. නමුත් වර්ථමාන සමාජය ආගම දහමින් ඈත්වී පටු අරමුණූවල කොටුවීම නිසා ඉහත සාරධර්ම මුස්ලීම් සමාජයෙන් ද ගිලිහෙමින් පවතින අකාරයක් දැන් දැන් දක්නට ලැබේ. එවන් වූ පිරිසගේ අවධානයට මෙම ඉගෙන්වීමන් ලඟා කිරීමේ වගකීම ද පැවරෙන්නේ මේ සමාජයේම කොටස්කරුවන්ට බව ‘යහමඟ’’ පාඨක ඔබ බුද්ධිමත් අවධානයට නැවත නැවතත් යොමු කරමින් අවසාන වශයෙන් සටහන් කිරීමට ඇත්තේ, අප සමාජයේ සියළු දෙනාගේ ආදරය, අනුකම්පාව ‍අපේක්ෂා කර සිටින, ‍එසේම අනාගතය පිලිබදව අපේක්ෂා භංගව ජීවත් වන අසරණ නමුත් පිහිට ලැබිය යුතු කොට්ඨාශයක් සිටින බව සියළුදෙනා හට පැහැදිලිය. ඔවුන් වෙනුවෙන් ඉස්ලාම් අවධාරණය කරන යුතුකම් හා වගකීම් රාශියක් ඇති බව ද ආගමික මූලාශ්‍ර තුලින් පැහැදිලිය. මෙම කාරණයන් පිලිබදව සමාජය තුල කිසියම් කතිකාවක් නිර්මාණය කිරීම සදහා තමා මේ පුංචිම පුංචි ව්‍යායාමයක මා මෙහි නිරත වූයේ. මේ තුලින් ශ්‍රී ලාංකීය සමාජයේ අනිකුත් ආගමිකයන් හට මෙවැනි මාතෘකා සදහා කිසියම් ආදර්ශයක් සැපයුවා නම් මාගේ ව්‍යායාමය සාර්ථකය. හෙට දවසේ මේ ව්‍යායාමය තුල සියළු ආගම් සත්භාවයෙන් නිරත වේ නම්, මාපියන් හා පවුලේ වැඩිහිටියන් කුසගින්නේ තබා දානමාන කරන,  මාපියන් හා පවුලේ වැඩිහිටියන් නොසලකා රටට ලෝකෙට පේන්න දන්පිං දෙන… විකෘති මානසිකත්වය රටින් තුරන් වී යහපත් ආගමික විනයක් තුල සාරධර්ම ගුණධර්ම රුකෙන සමාජයක් ගොඩනැ‍ගෙනු නොඅනුමානය. ඒසේ වුවානම් 2013 වර්ෂයේ ලෝක වැඩිහිටි දිනයක් පිලිබදව හෝ රටේ මහළු නිවාස පිලිබදව තවදුරටත් කථා කිරීමට අවශ්‍ය නොවනු ඇත. එවන් වූ සමාජයක් උදෙසා සියළු දෙනා එකාමෙන් පෙලගැසීමට මේ ලෝක වැඩිහිටි දිනයේ ආරාධනා කරමින් මෙම ලිපියට විරාමය තබමි.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *