විධායකය හා අධිකරණය

0

දේශපාලන විද්‍යාව පිලිබදව අවධානය යොමු කරණ විට ව්‍යවස්ථාධායකය හැරුණු කල මීළඟට මාතෘකාවට ගැනෙන ප‍්‍රධාන කාරණය වන්නේ “විධායකය හා අධිකරණය” යන්නයි. මෙම කාරණය සම්බන්ධයෙන් ඉස්ලාමීය ඉගෙන්වීම පිලිබදව කථා කිරීමට පෙර ලාංකීය සමාජය පදනම් කරගෙන ඉහත සදහන් විධායකය හා අධිකර්ණය පිලිබදව සරල ආකාරයේ හැදින්වීමක් කරන්නේ නම්, එය පහත ආකාරයට හැදින්වීය හැක.

විධායකය යනු වය්‍යවස්ථාධායකය විසින් සම්පාදනය කරන නීතීන් ක‍්‍රියාවට නගන ආයතනයකි. එය රටේ ජනාධිපතිවරයා නියෝජනය කරයි. එසේම අධිකර්ණය යනු ව්‍යවස්ථාධායකය මගින් සම්පාදනය කර විධායකය විසින් ක‍්‍රියාවට නගන නීතිය ආරක්‍ෂා කිරීමේ වගකීම පැවරෙන ආයතනයකි. දැන් මෙම කාරණය සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය හා ඉගෙන්වීම් පිලිබදව අවධානය යොමු කරමු.

ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව ව්‍යවස්ථාධායකය යනු කුමක්ද? යන්න අපට දැන් පැහැදිලිය. එසේ නම් විධායකයට හා අධිකරණය යන ආයත දෙකට පැවරෙන වගකීම වන්නේ ඉහත ව්‍යවස්ථාව ක‍්‍රියාවට නැගීම හා ආරක්‍ෂා කිරීම යන වගගකීම් දෙක පමණි. මෙහිදී විධායකයට තම ස්වමත හෝ චින්තනයන් ක‍්‍රියාවට නැගීමක් සිදුකල නොහැකි බවත් එයට මූලික වූ හේතු කාරණයන් කුමක්ද? යන්නත් අප ඉහතින් පැහැදිලිවම අවබෝධ කරගත්තෙමු.

එසේනම් ඉස්ලාම් අවධාරනය කරන විධායක හා අධිකර්ණ සතුකාර්ය කුමක්ද යන්න පැහැදිලිය. දැන් ප‍්‍රශ්නය ඇත්තේ ව්‍යවස්ථාධායකය (දෙවියන්) විසින් සම්පාදනය කර දුන් නීතිය ක‍්‍රියාවට නගන හා ආරක්‍ෂා කරන ආයතනය කුමක්ද? යන්නයි. මෙහි දී මූලික වශයෙන් අවබෝධකර ගතයුතු කාරණය නම් දෙවියන් විසින් සකසා දුන් මෙම නීති සියල්ලම මීට වසර 1400 කට පෙර මිනිස් සමාජය තුල ක‍්‍රියාවට නංවා ආදර්ශමත් මෙන්ම ප‍්‍රායෝගිකමත් බව ඔප්පු කරන ලද නීතින්ය. එය තුල මන:කල්පිතයන් නැත, ප‍්‍රායෝගික නොවන නීතීන් නැත, මනුෂ්‍යාගේ මූලික අයිතීන් උදුරාගැනීම් නැත. මිනිසුන් හිංසනයට හා වෙහෙසට පත්කිරීම් නැත… මේ ආකාරයට එහි සාර්ථකත්වය පෙලගැසීමට හැක. මෙහි ප‍්‍රායෝගික බව වඩාත් හොදින් තහවුරු කරන සාධකයක් ලෙස මෑතකදී ඉතිහාසය පිලිබදව ගැඹුරු ගවේශණයක් සිදුකල Micheal H Hart මයිකල් එච් හාට් මහතාගේ ගවේශණ කෘතිය වන THE 100 “ද‘ හන්ඩ්‍රඩ්” හි ලෝක ඉතිහාසයේ මිනිස් සමාජයට දැඩි බලපෑම් සිදුකල සියක් දෙනා පෙළගැසීමේ දී ප‍්‍රථම ස්ථානය මුහම්මද් (සල්) තුමාණන් හට ලබාදෙමින් එසේ ප‍්‍රථම ස්ථානය ලබාදීමට හේතු දැක්වීමේ දී එතුමා දේශපාලනමය වශයෙන් සමාජය තුල ඇති කරන ලද බලපෑම ද සලකුණු කොට දක්වයි. එසේම මුහම්මද් තුමාණන්ගේ අභාවයෙන් පසුව පාලන බලය පැවරුණු උමර් තුමාණන්ට ද ඉහත ග‍්‍රන්ථයේ 52 වන ස්ථානය ලබාදෙමින් එතුමාගේ ශ්‍රේෂ්ඨ වූ පාලනය ඇගයීමකට ලක්කර ඇත. ක‍්‍රිස්තු භක්තිකයකු වන මොහු තමා පිළිපදින යේසුස් වහන්සේට පවා තෙවන ස්ථානය ලබාදෙමින් මුහම්මද් (සල්) තුමාණන් හට පළමු ස්ථානය ලබාදීම තුලින් පැහැදිලි වන්නේ කුමක්ද? ඉස්ලාමීය නීතිවල තිබෙන ප‍්‍රායෝගික බව නොවේද? අදටත් දඬුවම් සම්බන්ධයෙන් සුලු වශයෙන් ඉස්ලාමීය නීති ක‍්‍රියාත්මක වන රටවල්වල අපරාධ හා මිනිස් ඝාතනයන් අනිකුත් රටවල්වලට සාපේක්‍ෂව ඉතා අවම මට්ටමක පැවතීම තුල එහි සාර්ථකත්වය තවදුරටත් තහවුරු කරනවා නොවේද? එසේනම් ඉස්ලාම් පවසන නීති හා අනපනත් ප‍්‍රායෝගක යන්නෙහි තවදුරටත් විවාදයක් පැවතිය නොහැක. එසේම දෙවියන් මෙම නීති හා අනපනත් සරල ආකාරයට එනම් පහසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයට පහල කල බවට ශුද්ධ වූ අල්කුර්ආනයේ 19-97, 20-2, 54-17, 44-58, 54-22, 54-32, 54-40 යන වාක්‍යයන් මගින් අවධාරණය කරයි. එසේනම් දැන් මෙම සරල වූ හා ප‍්‍රායෝගික වූ නීතින් ක‍්‍රියාවට නැංවීමේ බලය පැවරෙන්නේ කාටද? යන්න අවධානය යොමු කරමු.

මෙහි දී ප‍්‍රථමයෙන් අවබෝධ කරගතයුතු කාරණය වන්නේ මෙම අනපනත් දෙවියන්ගෙන් පහල වුවක් බැවින් එය තම ජීවිතය තුල ක‍්‍රියාවට නැංවීමේ අනිවාර්‍ය වගකීමක් සෑම මුස්ලීම්වරයෙකුහටම පැවරී ඇත. සරලව පවසන්නේ නම් නීතීන් ක‍්‍රියාවට නැංවීමේ බලය සෑම මුස්ලීම්වරයෙකුහටම පැවරී ඇත. ඒ අනුව විධායකයේ කාර්‍ය භාරය රටේ පුරවැසියන්ටම පැවරී ඇත. තවත් කොණයකින් බලන්නේ නම් දෙවියන් නීතීන් සම්පාදනය කොට එය ක‍්‍රියාවට ද නංවා ඇත. එසේ නම් අවශ්‍යතාවය ඇත්තේ නීතිය ආරක්‍ෂා කිරීමේ ආයතනයයි. නමුත් මනුෂ්‍යයාගේ තිබෙන දුර්වලතාවයන් හේතුවෙන් ඔහු සැමවිටම නීතිගරුක නොවේ එමනිසා නීති ආරක්‍ෂා කිරීම පමණක් නොවේ නීති ක‍්‍රියාත්මක කිරීමේ ආයතනයක්ද අවශ්‍ය වේ.
ඉස්ලාම් පැහැදිලිවම නායකත්වය දැඩි ලෙස අවධාරණය කරන දහමකි. කොතරම්ද යයි පවසනවා නම් “නුඹලා තිදෙනෙකු නම් ඉන් කෙනෙකු නායකයෙකු ලෙස පත්කරගන්න” යනුවෙන් අවධාරණය කරයි. මෙහි දී නායකයා සියලු තීන්දු තීරණ තමා විසින්ම ගන්නා ලොක්කෙකු නොවී අන් අයගේ අදහස් ගරු කරන නායකයකු විය යුතු බවත් ඉස්ලාම් දැඩිව අවධාරණය කරයි. එසේම නයකත්වයක් නොමැතිව ජීවත්වීම ඉස්ලාමයෙන් බැහැරව අඥාන සමජයක ජිවත්වීමට සමාන බරපතල වරදක් බව ඉස්ලාම් පැහැදලිවම අවධාරණය කරයි. මේ අනුව රටේ නීතිය ක‍්‍රියාත්මක කිරීම හා ආරක්‍ෂා කිරීමේ වගකීම් පැවරෙන අධිකාරියකු සිටීම අත්‍ය අවශ්‍ය යන්න පැහැදිලිය. (එය මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට තවදුරටත් අවබෝධ වනු ඇත.) මෙසේ ඉස්ලාම් දහම තුල සුවිශේෂි භූමිකාවක් නියෝජනය කරන මෙම පාලකයා හෙවත් අධිකාරි බලය හිමි තැනැත්තා පිලිබදව පවසන ඉස්ලාම් එතැනින් නතර නොවී ඔහු සම්බන්ධයේ හා ඔහුගේ පලනය යටතේ ජීවත්වන ජනතාව සම්බන්ධයෙන් විවිධ කොන්දේසි හා නීතීන් ද පනවයි. ඒවා කුමක්ද? යන්න ආගමික මූලාශ‍්‍රය වන හදීස් ග‍්‍රන්ථ පදනම් කරගෙන දැන් විමසා බලමු.

අබු අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *