වුඵෑ නැමැති දෝවනය

2

වුඵෑ නැමැති දෝවනය

සලාතය ඉටුකිරීමට  පෙර සමහරක් අවයව සෝදා පවිත‍්‍ර කරගැනීම අනිවාරය වේ. මෙම පවිත‍්‍රතාවය වුඵෑ යනුවෙන් හඳුන්වනු ලැබේ. වුඵෑ නැමැති පවිත‍්‍රතවයෙන් තොරව ඉටුකරනු ලබන සලාතය පිළිගනු නොලැබේ. සලාතය සඳහා වුඵෑ අවශ්‍ය බව අල්කුර්ආනයේ 5:6 දේව වැකිය මගින් අණ කර ඇත. සහීහුල් බුහාරී ග‍්‍රන්ථයේ 135 හදීසයෙන් ද සලාතය සඳහා වුඵෑ අනිවාර්ය බව අපට වටහාගත හැක.

ජලය

ඇල දොල ගංගා පොකුණු වැවි ආදියෙහි ජලයද වැසි ජලයද වුඵෑ කිරීම සඳහා භාවිතා කළ හැක. එසේම මුහුදු ජලය, වරක් භාවිතා කරන ලද ජලය, කෙනෙක් වුඵෑ කර ඉතිරි වූ ජලය ආදියේද වුඵෑ කිරීමට කුර්ආනයේ හෝ හදීස්වල කිසිඳු තහන්චියක් නැත. නිවසේ ඇති කරන බලළා කුකුලා වැනි සතුන් හා කපුටා බට්ටිච්චා වැනි සතන් පානය කර ඉතිරි වූ ජලයෙන්ද වුඵෑ කිරීමෙහි වරදක් නොමැත.(බල්ලා පානය කළ ජලයෙන් වුඵෑ කිරීමට අවසර නැත. එසේම සූර්ය රශ්නයට උණු වූ ජලයෙන්ද උණුවතුරෙන් වූඵෑ කළ හැකිය.

නිවසේදී වුඵෑ කිරීම

නිවසේදී වුඵෑ කිරීමට හැකි අය එසේ කරගෙන සලාතය සඳහා දේවස්ථානයට පිටත් වීම දේවස්ථානයේදී වුඵෑ කිරීමට වඩා උතුම් වූ ක‍්‍රියාවකි. කෙනෙක් වුඵෑ කරගෙන දේවස්ථානයට යන විට ඔහු ගමන් කිරීම පවා නැමදුමක් වේ.(බුහාරී 477)

වුළු කළ යුතු ආකාරය

1.නීයත් නැමැති චේතනාව

කෙනෙක් වුඵෑ කරන විට වුඵෑ කරමි යන චේතනාව ඔහුට තිබිය යුතුය. වුඵෑ පමණක් නොව කෙනෙකු කුමන අමලය (නැමදුම) කළත්, එම අමලය කරමි යන චේතනාව ඔහුට තිබිය යුතුය. එම චේතනාව නොමැතිව නැමදුමෙහි සියඵ අංගයන් ඉටුකළද එය නැමදුමක් හැටියට අල්ලාහ් විසින් පිළිගනු නොලැබේ. අමල් (නැමදුම්) සියල්ල චේතනාව අනුවම වේ(බුහාරී 1) යන නබි වදනින් සියඵ නැමදුම් වලට චේතනාව ඉතා වැදගත් බව වටහාගත හැක.

අද සමහර මුස්ලිම්වරු නීයතය වැරදියට වටහාගෙන ඒ සඳහා අරාබී වදන් පෙළක් කටින් උච්චාරනය කිරීමට හුරුවී සිටිති. මෙසේ කටින් උච්චාරනය කිරීම බිද්අත් වේ. මෙයට හදීස්වල කිසිඳු සාක්‍ෂියක් නොමැත. නීයත් නැමැති අරාබි පදයේ අර්ථය වන්නේ සිතින් සිතීමයි. කටින් ප‍්‍රකාශ කිරීම එහි තේරුම නොවේ.

දත් මැදීම

වුඵ කිරීමට පෙර දත් මැදගැනීම නබි (සල්) තුමාණන්ගේ සුන්නාව වේ. දත් මැදීම වුඵහි අංගයක් නොවන අතර වුඵ කිරීමට පෙර කළ යුතු නැමදුමකි. දත් මැදීම යනු නබි (සල්) තුමාණන් විසින් දිරිගන්වන ලද නැමදුමකි. දත් මැදීමට එක්තරා ගස් වර්ගයක් තෝරාගෙන එම ගස් වලින් දත් මැදීම සුන්නත් වේ යන්න ඇතැම් මුස්ලිම්වැන්ගේ අදහසයි. එම ගස් වර්ගය “මිස්වාක්” ගස් කියා ඔවුන් හඳුන්වති. මෙය වැරදි මතයකි. මිස්වාක් යන අරාබි වචනයට දත් මදින උපකරණය යන්න අර්ථය වේ. ඒ හැර විශේශිත ගස් වර්ගයක නම නොවේ. ඇගිල්ලෙන් දත් මැද්දද, බුරුසුවෙන් දත් මැද්දද මිස්වාක් කිරීමේ (දත් මැදීමේ) කුසල් ලැබෙනු ඇත. එසේම දත් මැදීමට  ඕනෑම ගස්වර්ගයක් යොදාගත හැක. සුන්නාව වන්නේ දත් මැදීමයි. දත් මැදීමට යොදා ගන්නා ගස නොවේ.

2. අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කිරීම

වුඵ ආරම්භ කරන විට පළමුවෙන්ම බිස්මිල්ලාහ් (අල්ලාහ්ගේ නාමයෙන්ම ආරම්භ කරමි) යනුවෙන් ප‍්‍රකාශ කළ යුතුයි.(සාක්‍ෂි නසඊ 77)

3. අත් දෙක මැණික් කටුව දක්වා සේදීම

වුඵ පටන්ගත් විට මුලින්ම කළයුත්තේ අත් දෙක මැණික් කටුව දක්වා සේදීමයි.(නසඊ 147)

4. කට සහ නාසය සේදීම

අත් දෙක මැණික් කටුව දක්වා සේදීමෙන් පසු කට සහ නාසය සේදිය යුතුය. කට සේදීමටත් නාසය පිරිසිදු කිරීමටත් වෙනවෙනම ජලය ගැනීමට අවශ්‍ය නැත. අතක ප‍්‍රමාණයට වතුර ගෙන එයින් එක් කොටසක් කටටත් තවත් කොටසක් නාසයටත් යොදා සේදිය හැක.(සාක්‍ෂි බුහාරී 140)

5. මුහුණ සේදීම

කට හා නාසය සේදීමෙන් පසු මුහුණ සේදිය යුතුයි. මුහුණ සේදීමට අත් දෙකම පාවිච්චි කළ හැකි.(සාක්‍ෂි බුහාරී 140) එසේම එක් අතකින් වුවද සේදිය හැකි.(බුහාරී 186) මුහුණ සෝදන විට මුඵ මුහුණම සේදය යුතුයි. රැවුල වවා ඇති අය මුහුණ සෝදන විට රැවුල තුලට ඇගිලි යොමු කොට හොදින් සේදිය යුතුය.(සාක්‍ෂි අහ්මද් 24779)

6. අත් දෙක වැලමිට දක්වා සේදීම

මුහුණ සේදීමෙන් පසු අත් දෙක වැලමිට දක්වා සේදිය යුතුයි.(බුහාරී 160) අත් දෙක සෝදන විට වැලමිටෙන් නොනවත්වා ඊට වඩා වැඩි ප‍්‍රමාණයක් සේදීම හොඳ ක‍්‍රියාවකි.(සාක්‍ෂි බුහාරී 136)

7. හිස හා කන් දෙක මස්හු කිරීම

අත් දෙක වැලමිට දක්වා සේදීමෙන් පසු හිස හා කන් දෙක මස්හු කළ යුතු වේ. තෙත් සහිත අතින් පිරිමැදීමට මස්හු කිරීම යැයි කියනු ලැබේ. තෙත් සහිත අත් දෙක හිසේ ඉදිරි පැත්තෙන් (නළල ලගින්) තබා බෙල්ලේ පිටුපස පැත්ත දක්වා හිස පිරිමැද යළිත් ආරම්භ කළ ස්ථානයටම අත් දෙක ගෙන ඒම මස්හු කිරීම වේ.(බුහාරී 185, මුස්ලිම් 398) හිස එක් වතාවක් මස්හු කළ හැකි (බුහාරී 186) අතර දෙවතාවක් මස්හු කිරීමටද අවසර ඇත.( නාසඊ 98)

හිස මස්හු කිරීමෙන් පසු එම අතින්ම (යළිත් ජලයෙන් තෙත් නොකර) දබර ඇගිලිවලින් කන් දෙකේ ඇතුලූ පැත්තත්, මාපට ඇගිලිවලින් කන් දෙකේ බාහිර පත්තත් පිරිමැද පිරිසිදු කළ යුතුයි. (නාසඊ 101)

8. දෙපා සේදීම

වුඵ කිරීමේදී අවසාන වශයෙන් කළ යුතු කටයුත්ත වන්නේ කකුල් දෙක සේදීමයි. පළමුව දකුණු කකුලත් දෙවනුව වම් කකුලත් සේදිය යුතුයි. කකුල් දෙක වළලූකර දක්වා සේදිය යුතුයි.(බුහාරී 160). කකුල සෝදන විට කකුලේ ඇඟිලි තුලට අතේ ඇඟිල්ල යොමුකොට හොඳින් සේදිය යුතුයි.

අවයවයන් කීවතාවක් සේදිය යුතු ද?

හිස මස්හු කිරීම හැර අනිකුත් අවයවයන් එක් වතාවක් දෙවතාවක් හෝ තුන් වතාවක් සේදීමට අවසර ඇත.(බුහාරී 157,158,160). උපරිම වශයෙන් තුන් වතාවක් සේදිය හැකි අතර තුන් වතාවට වඩා වැඩියෙන් සේදීම නබි (සල්) තුමාණන් විසින් තහනම් කර ඇත.(නාසඊ 140, අහ්මද් 6397).

පිළිවලට ඉටුකිරීම

ඉහත සඳහන් කළ කාර්යයන් සියල්ල සඳහන් කර ඇති පිළිවලටම ඉටුකළ යුතුයි. සඳහන් කර ඇති පිළිවලටම නබි (සල්) තුමාණන් ඉටුකර ඇති බව ඉහත සඳහන් කර ඇති හදීස්(හදීස් වල ග‍්‍රන්ථය හා අංකය පමණක් මෙහි සඳහන් කර ඇත) පරිශීලනය කිරීමේදී දැනගත හැක.

මේස් (socks) මත මස්හු කිරීම

වුළු කර එම වුළුව සමගම මේස් පැලඳගෙන සිටින විටක වුළු බිදුනහොත් නැවතත් වුළු කරන විට කකුල් සේදීම සඳහා මේස් ගැලවීමට අවශ්‍ය නැත. පැලඳ සිටින මේස් එක මත කකුලේ උඩ පැත්ත තෙත් අතින් මස්හු කිරීම (පිරිමැදීම) ප‍්‍රමාණවත් වේ.(බුහාරී 206, මුස්ලිම් 459) සාමාන්‍යයෙන් ගමේම සිටින විට දවසක්(පැය 24 ක්) සඳහා මෙසේ මස්හු කළ හැකිය. පැය 24කට පසු නැවත වතාවක් මේස් ඉවත් කර කකුල සේදිය යුතුයි. මගීයෙක් ලෙස ගමනක සිටින විට දවස් තුනකට මස්හු කළ හැකියි.(සාක්‍ෂි: මුස්ලිම් 465) ස්නානය අනිවාරය වුවහොත් මේස් ගලවා ස්නානය කළ යුතුයි. එවිට මෙම වරප‍්‍රසාදය නොමැත.(සාක්‍ෂි : තිර්මිදී 89, නාසඊ 127, ඉබ්නු මාජා 471, අහ්මද් 17396)

මෙම වරප‍්‍රසාදය කාන්තාවන්ටද පොදු වූ එකකි. ඇතැමුන් කාන්තාවන්ට මෙසේ මස්හු කිරීමට අවසර නැතැයි කියති. නමුත් ඔවුන්ගේ මෙම අදහසට කුර්ආනයේ හෝ හදීස් වල කිසිඳු සාක්‍ෂියක් නොමැත.

තලපාව මත මස්හු කිරීම

මේස් මත මස්හු කිරීමට වරප‍්‍රසාද ඇති ආකාරයටම තලපාවක් පැලඳ සිටින අයට හා හිස වසා ගැනීම පිණිස රෙද්දක් භාවිතා කරන පිරිමීන්ට හා ගැහැණුන්ට හිස මස්හු කිරීම වෙනුවට ඒමත(තලපාව මත හා හිස ආවරණය කර ඇති රෙද්ද මත) මස්හු කළ හැකිය.(සාක්‍ෂි : බුහාරී 205, මුස්ලිම් 413)

වුළු කිරීමෙන් පසු පාරායනය කළ යුතු දුආව

වුළු කිරීමෙන් පසු පහත සඳහන් දුආව පාරයනය කළ යුතු බව  නබි (සල්)තුමාණන්ගේ හදීස්වල සඳහන්වේ.

أََشْهَدُ أَنْ لاََ إِلهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيْكَ لَهُ

وَأَشْهَدُ أَنْ مُحَمَّدًا

عَبْدُهُ وَرَسُوْلُهُ

අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීකලහූ ව අෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහූ වරසූලූහූ

(අර්ථය : අල්ලාහ් හැර වෙනත් දෙවිකෙනෙකු නැතැ, ඔහු ඒකකයි. ඔහුට සමාන (වෙන) කිසිවෙක් නැත, යැයි මම සාක්‍ෂි දරමි. මුහම්මද් (සල්) තුමාණෝ ඔහුගේ ගැත්තා සහ වක්තෘවරයා වේ යැයි මම සාක්‍ෂි දරමි.)

නැතහොත්

أَشْهَدُ أَنْ لاَ

إِلَهَ إِلاَّ اللهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُ اللهِ

وَرَسُوْلُهُ

අෂ්හදු අල්ලාඉලාහ ඉල්ලල්ලාහු ව අන්න මුහම්මදන් අබ්දුල්ලාහි වරසූලූහූ

(අර්ථය : අල්ලාහ් හැර වෙනත් දෙවිකෙනෙකු නැතැයි සාක්‍ෂි දරමි. මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ්ගේ ගැත්තා සහ වකෘවරයා වේ යැයි සාක්‍ෂි දරමි.)

“යම් කෙනෙක් වුළු කිරීමෙන් පසු ඉහත දුආව පාරායනය කළහොත් ඔහු වෙනුවෙන් ස්වර්ගයේ දොරවල් අටම ඇරෙනු ඇත. ඔහු කැමති දොරෙන් ඇතුළු විය හැකිය” යනුවෙන් නබි (සල්)තුමාණෝ ප‍්‍රකාශ කර ඇත. (සාක්‍ෂි : මුස්ලිම් 397)

අද මුස්ලිම් සමාජය එක් එක් අවයවයන් සේදීමේදී පාරායනය කිරීමට වෙන වෙනම දුආවන් සොයාගෙන ඇත. මෙයට සහීහ් වූ හදීස් වල කිසිඳු සාක්‍ෂියක් නොමැත. මෙවැනි දුආවන් පාරායනය කිරීම බිද්අත් නැමැති මහා පාපය වේ.

රකඅත් දෙකක් සලාත් ඉටුකිරීම

වුළු කළ පසු රකඅත් දෙකක් සලාත් ඉටු කිරීම පෙර පාපයන්ට සමාව ලබාගත හැකි කුසල් ලැබෙන යහපත් ක‍්‍රියාවකි. “යම්කෙනෙක් මාගේ වුළුව මෙන් වුළු කර, වෙනත් චේතනාවකට ඉඩ නොදී රකඅත් දෙකක් සලාතය ඉටුකරයි නම් ඔහුගේ පෙර පාපයන් ක්‍ෂමා කරනු ලැබේ” යැයි නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කළහ.(සාක්‍ෂි : බුහාරී 160. මෙම සලාතයේ මහිමය විග‍්‍රහ කෙරෙන තවත් හදීසයක් බුහාරී 1149 හා මුස්ලිම් 4497 අංක වල සඳහන් වී ඇත.

ඉබුනු ජමිල්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 2 යි.

  1. riyasdeen 2013-07-27 at 19:02

    කරුණාකර කියනවාද? මොනදේ සුන්නත් කියා කියලා

    • අබූ අර්ශද් 2013-07-29 at 14:58

      නබිතුමාණන් මුස්ලීම් සමාජයට අණ කල, එසේත් නැත්නම් අනුමත කල හා ක්‍රියාවෙන් පෙන්වූ සියල්ල ‘සුන්නා’ හෙවත් නබිතුමාණන් පෙන්වාදුන් ආදර්ශ ලෙස හැදින්වේ. ඉස්ලාම් යනු අල්ලාහ් දෙවිගේ නියෝගයන් හා මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශ හෙවත් සුන්නාවන්ය.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *