වෛරය, ක්‍රෝධය ඇති කිරීමට බුදු දහම උපයෝගී කරගැනීම

0

තිස් වසරක් පුරා ලාංකීය දේශය පීඩාවට පත්කළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් පසු අප හමුවේ නිර්මාණය වන්නේ අලුත් මොහොතක් බව අමුතුවෙන් පැවසිය යුතු නොවන්නේය. මෙම අලුත් මොහොතේ ලාංකීය දේශය, ලාංකීය ජාතිය ගොඩ නැඟීම යහ අයුරින් කළමනාකරණය කර ගැනීමේ දැවැන්ත අභියෝගය අප හමුවේ නිර්මාණයවී තිබේ. මෙම අභියෝගය ජය ගැනීමෙන් තොරව රටක් ලෙස, ජාතියක් ලෙස අපට ඉදිරි ගමනක් නැත. එය එසේ තිබියදී අද අප නියැලෙමින් සිටින්නේ තවත් භයානක ව්‍යසනයකට රට ඇද ගෙන යන විනාශකාරී ව්‍යාපෘතියක නොවේද? විවිධ වෙබ් අඩවි මගින් සිංහල හා මුස්ලිම් ජනයා අතරේ අති භයානක වෛරයක් ගොඩනැගීම සඳහා බුදු දහම හා තවත් අසත්‍ය තොරතුරු යොදා ගනිමින් මුස්ලිම් වරුන්ගේ දහමට ඉතා නින්දිත අයුරින් අපහාස කරමින් මෙම පහත් හා නින්දිත චින්තනයක වහලුන් බවට පත්වී ඇති උදවිය කරන්නේ නැවත මේ රට ඉතා භයානක අඝාධයකට තල්ලුකර දමන්නට නොවේද? මොවුන්ගේ සැඟවුණු න්‍යාය පත්තරය හා එයට ඈඳුනු නින්දිත අරමුණු රටට හෙළි දරව් කරන්නට කාලය එළැඹ ඇතැයි අපි සිතන්නෙමු.

නිදහස දිනා ගැනීමත් සමග ජාතිවාදී පදනමකින් ගොඩ නැගුනු පටු අරමුණු අපේක්ෂාවෙන් රට ඉදිරියේ තැබූ දේශපාලන ක්‍රියාවලියක අවසන් ප්‍රතිපලය වුයේ බිහිසුණු යුධ ක්‍රියාවලියකට රට අවතීර්ණ වීමය. යුද්ධය රටට අහිමි කල විශාලතම සම්පත වුයේ “ජීවිතයයි”. ලක් මවට තමන්ගේ දරුවන් අහිමි කල යුද්ධය දැවැන්ත දේපළ විනාශයකටද මග හෙළි කළාය. තමන් උපන් භූමිය තුලම සරණාගතයන් කරනු ලැබූ අති විශාල සිවිල් ජනකායක් අදත් විවිධ දුක් ගැහැට වලට මුහුණ පාමින් අන්ත අසරණ තත්වයකට පත්වී සිටිති. අංග විකලභාවයට පත් අත්පා අහිමිවූ ජන සංඛ්‍යාව අති විශාලය. වැන්දඹු බවට පත්වූ ස්ත්‍රීන්, ජීවනෝපාය බිඳවැටුණු මිනිසුන්, අධ්‍යාපනය අහිමිවූ දරුවන්, පිළිසරණක් නැති වැඩි හිටියන්, අතවරට පත්වූ ගැහැනුන් මේ යුද්ධයේ අනිවාර්ය ප්‍රතිපලයන්ය. මේ සියල්ලටත් වඩා බරපතල වන්නේ ගිලන් බවට පත් “සමාජ මනස” සුවපත් කල හැක්කේ කෙසේද යන කාරණයයි. ශ්‍රී ලංකාව රටක් වශයෙන් මේ තත්වය බැරෑරුම් ලෙස තේරුම් ගෙන ඇතිද යන්න බහුතරයකගේ සැකයට බඳුන්වූ කාරණයක් බවට පත්ව ඇත. දශක තුනක වෛරය, අවිශ්වාසය හා එකිනෙකා කෙරෙහි වන බිය හද තුළ ගැඹුරට කා වැදී ඇත්තේය. ජන විඥාණයේ හා හදවත්වල විනිවිද ගිය මෙම තුවාල සුවපත් කරන්නේ කෙසේද යන්න සැමට අභියෝගයක්ව පවතී. මෙලෙස රෝගාතුරවී ඇති ජන විඥාණය සුවපත් කොට වෛරයෙන්, බියෙන්, සැකෙන්, අවිශ්වාසයෙන් තොරවූ සමාජයක් නිර්මාණය කිරීම පිණිස ලක් මවගේ සියළු දරුවන් එකට අත්වැල් බැඳගෙන කටයුතු කළයුතු කාලය දැන් එළඹ තිබෙනවා නොවේද? මේ වෙනුවට නැවත වරක් වෛරයේ ගිනිසිළු මොලවන්නට යමෙක් ඉදිරිපත් වන්නේද සැබැවින්ම ඔහු අබෞද්ධයෙක් හා ලක් මවට ද්‍රෝහිකම් කරන්නෙක් මිස අන් කවරෙකු නම් විය හැකිද? මොවුන්ගේ වෛරය ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියට අවාසනාවට මෙන් බුදු දහම හා බුදුන් වහන්සේව උපයෝගී කරගැනීම මෙරට සියළු බෞද්ධයින්ගේ කෝපයට හේතුවන කරුණක්ව ඇත. සැබැවින්ම මොවුන් බෞද්ධයින්ද නැතිනම් බෞද්ධ කම ආලේප කරගත් බෞද්ධ විරෝදීන්ද යන්නද සැකසහිතය. මොවුන්ගේ ක්‍රියාකාරකම් නිසා දහමට හා බුදුන් වහන්සේට මොවුන් විසින් අති විශාල අපහාසයක් ඇති කර දී තිබේ. පහතින් ධම්ම පදයෙන් උපුටා දක්වා ඇති කරුණු කෙරෙහි අවධානය යොමු කරවන ලෙස බුදුදහමේ නාමයෙන් වෛර වපුරන්නට උත්සාහ කරණ ඊනියා වීරයන්ට ආරාධනා කරන්නට කැමැත්තෙමු…

අක්කොච්ජි මං, අවධි මං,

අජිනි මං, අහාසි මෙ

යෙ තං උපනය්හන්ති

වෙරං තේසං න සම්මති

අර්ථය:- “මට අපහාස කළේය, මට හිංසා කළේය, මා පැරදවුයේය මාගේ දෙය පැහැර ගත්තේය” යැයි යම් කෙනෙක් වෛර බඳිත්ද ඔහුගේ වෛරය නොසංසිදේ.

අක්කොච්ජි මං, අවධි මං,

අජිනි මං, අහාසි මෙ

යෙ තං උපනය්හන්ති

වේරං තෙපු පසම්මති

අර්ථය:- “මට අපහාස කළේය, මට හිංසා කළේය, මා පැරදවුයේය මාගේ දෙය පැහැර ගත්තේය” යැයි යම් කෙනෙක් වෛර නොබඳිත්ද ඔහුගේ වෛරය සංසිදේ.

න හි වෙරෙන වේරානි

සම්මන්තීධ කුදාචනං

අවෙරෙන ව සම්මන්ති

එස ධම්මො සනන්තනො

අර්ථය: – “මේ ලෝකයෙහි කිසි කලෙකත් වෛර කිරීමෙන් වෛරයෝ නොසන්සිඳෙත්. වෛර නොකිරීමෙන් වෛරයෝ සන්සිඳෙත්. මෙය පෙර සිට පැවතෙන ධර්මයෙකි. නැතහොත් සැමදා පවතින ස්වභාවයකි.”

මෙලෙස බෞද්ධ ඉගැන්වීම් අලංකාර ලෙස වෛරය ඉවත්කොට අවෛරයෙන් යුත් සුහදවූ සමාජයකට මග පෙන්වද්දී බුදුන් වහන්සේට හා උන් වහන්සේ විසින් පන් සාලිස් වසරක් තිස්සේ මිනිසා ඉදිරියේ තැබූ කරුණා, මෛත්‍රි, මුදිතා හා උපෙඛ්කා මත පදනම්වූ දහමට අපහාසයක් වන අයුරින් මෙම වෙබ් වීරයන් කටයුතු කිරීම ගැන සැබෑ බෞද්ධයන්ට නිහඬ නිරීක්ෂකයන් බවට පත් විය හැකිද? දශක තුනක කෘර යුද්ධයකින් පීඩා විඳි මෙරට ජනයාව නැවත මෙලෙස වෛරය වපුරා තල්ලුකරන්නට උත්සාහ කරන්නේ කුමන තත්වයකටද? මෙම වෙබ් වීරයින්ගේ හා ඔවුන් පිටිපස ඉන්නාවූ කපටින්ගේ පටු බලාපොරොත්තු ඉටුකර ගැනීමේ අවශ්‍යතාවය උදෙසා නැවතත් මෙරට ලේ ගංගාවක් බවට හා ජීවිත දස දහස් ගණනකගේ විනාශයට හේතුවන ක්‍රියාවකට අපට ඉඩ දිය හැකිද?

පශ්චාත් යුද කාල වකවානුවේ ඉන්නාවූ අප ඉදිරියේ ඇති අභියෝග මොනවාද?

  • යුද්දයෙන් අවතැන් වුවන් නැවත පදිංචි කිරීමේ ගැටළු
  • ඔවුන් මුහුණ පාන නිවාස, ජීවනෝපාය, සෞඛ්‍ය, අධ්‍යාපන ගැටළු
  • මුළු රටටම බලපාන අයුරින් ඇති ආර්ථික හා මුල්‍යමය ගැටළු
  • සාමකාමී ශ්‍රී ලංකාවකට දැරිය නොහැකි තරම්වූ විශාල හමුදාව සිවිල් සමාජයට අන්තර්ග්‍රහණය කොට සංවර්ධනයට අදාළ ක්ෂේත්‍රයන්හි රැකියා ලබාදී හමුදාවේම කොටසක් ලෙස තබා ගැනීමේ ගැටළු
  • යුද පෙරමුණේ මව්බිම වෙනුවෙන් ජීවිත පුජාකළ හා අංග විකලත්වයට පත් වීරෝධාර රණවිරු පවුල් වලට ජාතියේ නය ගැති භාවය වෙනුවෙන් කලයුතුවූ වගකීම් පිළිබඳවූ ගැටළු
  • ත්‍රස්තවාදී පිරිස් පුනරුත්ථාපනය කොට සිවිල් සමාජයට අන්තර්ග්‍රහණය කිරීමේ ගැටළු
  • සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජනවාර්ගික කොටස් අතර බිඳ වැටුණු විශ්වාසය නැවත ගොඩ නැගීමේ ගැටළු
  • ජාත්‍යන්තරයෙන් නිමක් නොමැතිව තවමත් මතුවෙමින් තිබෙන්නාවූ අවලාද පිලිබඳව දේශපාලන භේදයකින් තොරව අති ගරු ජනාධිපතිතුමන්ගේ දෑත් ශක්තිමත් කිරීමේ ජාතික සම්මුතියක් ගොඩ නැගීමේ ගැටළු
  • ඉහත සියළු අභියෝග විසදීම සඳහා මැදිහත් වන විදේශ බලවේගවල සැඟවුණු අපේක්ෂා හඳුනා ගැනීමේ ගැටළු
  • ඒ මැදිහත්වීම් දේශීය අවශ්‍යතා අනුව අනුහුරු කර ගැනීමේ ගැටළු

මෙවන් අභියෝග ඉදිරියේ මුළු රටම තම චිත්ත ධෛර්ය හා අධිෂ්ටානය ශක්තිමත් කර ගැනීමේ ක්‍රියාවලියක යෙදෙමින් විසදුම් සොයන්නට නියැලෙන අවස්ථාවක නැවත වෛරය හා විසම්මුතියක් ගොඩ නගන්නට බුදුන්වහන්සේව හා ශාන්තියක්වූ දහම කඩතුරාවක් කරගනිමින් කරන්නාවූ ද්‍රෝහී ක්‍රියාවන් පිලිබඳව කිසිම භේදයකින් තොරව සියළු ලාංකිකයින්ගේ ගෞරවයට පාත්‍රවී ඇති මහා නාහිමිපාණන් වරුන් විසින් ජන විඥාණය සුවපත් කොට වෛරයෙන් බියෙන් සැකෙන් අවිශ්වාසයෙන් තොරවූ සමාජයක් නිර්මාණය කිරීම පිණිස ලක් මවගේ සියළු දරුවන් ඇමතීමේ කාලය දැන් එළඹ තිබෙනවා නොවේද?

ජන සම්මුතිය ගොඩ නැගීම සදහා භාග්‍යවතුන් වහන්සේගේ මැදිහත්වීම් කිහිපයක් පහතින් ගෙනහැර දක්වන්නට කැමැත්තෙමු. රෝහිනී නදියේ ජලය පිලිබඳව ශාක්‍ය හා කෝලීය වංශිකයින් අතරේ ඇතිවෙන්නට ගිය මහා යුධ තත්වය දැනගත් උන්වහන්සේ නිහඬව සිටියේ නැත. වහාම දෙපාර්ශවයම කැඳවා අත්තදන්ඩ සුත්තය දේශනා කොට ඔවුන්ගේ ක්‍රෝධය හා වෛරය ඉවත්කොට සම්මුතියක් ඇති කරන්නට මැදිහත්වුහ. භාග්‍යවතුන් වහන්සේ එන්දන ජාතක, දද්දහ ජාතක, ලටුකික ජාතක,හා වට්ටක ජාතක යන මෙයින් දම් දෙසා ශාක්‍ය හා කෝලීය රජුන් සමගි කරවූ සේක. මෙයයි අලංකාර බෞද්ධ පුර්වාදර්ශය. අද රටට අවශ්‍යවී ඇත්තේ මෙම දහම් සුවයයි.

බුදුන් වහන්සේගේ පින්බර පා පහස ලක්මවට තෙවරක් ලැබුණු බව ඉතිහාසය අපට පවසයි. මෙයින් දෙවරක්ම විසම්මුතිය, ක්‍රෝධය, වෛරය ඉවත්කොට සාමය හා සම්මුතිය ස්ථාපිත කිරීම සඳහාම විය. දැනට මහියංගන චෛත්‍ය පිහිටි තැනට දුරුතු මස පසළොස්වක පොහෝ දින වැඩම කොට මහවැලි ගඟ අසබඩ මහානාග වනයෙහි කඳවුරු බැඳ දෙපක්ෂයක්ව සංග්‍රාමයට සුදානම්වූ යක්ෂ ගෝත්‍රිකයින්ව පලවා හැර, ඇති වෙන්නට ගිය මහා විනාශයක් උන් වහන්සේ වලක්වා ලු සේක.

බක් මස පසළොස්වක්දා දෙවෙනි වරට ලක් බිමට බුදුන් වහන්සේ වැඩියේ චුලෝදර මහෝදර නම් නා රජුන් අතර මිණි පළඟක් නිසා ඇති වෙන්නට ගිය මහා යුද්දයක් කාකෝලුක ජාතක, එන්දන ජාතක, ලටුකිම ජාතක, හා වට්ටක ජාතක යන මෙයින් වෛර බැඳීමේ දෝෂ හා සමගියේ අනුහස්ද පැහැදිලිකොට සාමය හා සම්මුතිය ඇතිකරවීම පිණිසය.

මෙම ශ්‍රේෂ්ට හා අලංකාර පුර්වාදර්ශයන්ගෙන් අප ඉගෙන ගන්නේ කුමක්ද? බෞද්ධයින් ලෙසින් අපට මෙම ඉගැන්වීම් වලට පටහැනිව හා අපහාසයක් වන ලෙසින් කටයුතු කල හැකිද? අනුරාධපුරයේ මුස්ලිම් ආගමික ස්ථානයක් නීතියෙන් පිටස්තරව බලෙන් අත්පත්කරගනීමේ සිද්ධියක් සිදුවිය. අවාසනාවට මෙයට නායකත්වය දී තිබුනේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් විසිනි. බෞද්ධ උරුමයන් පාවා නොදෙන ලෙස අපි තරයේම පවසන්නෙමු. නමුත් එම උරුමයන් රැක ගැනීම සඳහා ක්‍රියා කලයුතු ආකාරය මෙයද කියා අප සැවොම විසින් ඇසිය යුතුව ඇත. එය බෞද්ධ උරුමයක් නම් ඒ පිළිබඳව ක්‍රියා කලයුත්තේ නීතියේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමෙන් පමණි. නීතියේ ඉදිරියට යාමට ප්‍රමාණවත් සාධක හා සාක්ෂි නොමැතිනම් සැමගේ පිළිගැනීමට පාත්‍රවී ඇති මහ නාහිමිවරුන්, බෞද්ධ කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ ලේකම් තුමා, විශ්ව විද්‍යාලවල පාලි හා බෞද්ධ අංශයන්හි පීඨාධිපති හිමිවරුන් ආදීන්ගෙන් හා තවත් සුදුසු අයගෙන් සැදුම්ලත් කමිටුවක් මැදිහත්වී මුස්ලිම් ආගමික හා සමාජ නායකයින් සමග සාකච්චා කොට මෙවන් ගැටළු වලට නියත වශයෙන්ම සම්මුති වාදී විසඳුම් කරා අපට ලඟාවිය හැකි වනු ඇත. අනුරපුර සිද්ධියේදී බෞද්ධ භික්ෂුන් ක්‍රියා කල ආකාරය හා ත්‍රස්තවාදී ක්‍රියා මාර්ගයක් අතර ඇති වෙනස කුමක්ද? බෞද්ධ චීවරය ප්‍රදර්ශනය කරමින් කල මෙම ක්‍රියාවෙන් අප ලෝකයට දෙන්නේ කුමන ආකාරයේ පණිවිඩයක්ද? බුදු දහම තවත් ත්‍රස්තවාදී දහමක් කියා නොවේද අප හඬ නගා කියන්නේ? අප බහුතරය නිසා ඕනෑම දෙයක් අපට කලහැකිය, බලය හා නීතිය අපගේ පමණක් උරුමයක් ලෙස සලකා ක්‍රියා කිරීමට අපට කිසිම බාධාවක් නොමැත, බලධාරීන් හට අපගේ ක්‍රියාවන්ට ඇඟිලි ගැසීමේ කිසිම අයිතියක් නොමැත යන අරාජික පණිවිඩය දෙමින් කල මෙම ක්‍රියාව කිනම් බෞද්ධයාටද අනුමත කල හැකි වන්නේ? නීතිය තමන් අතට ගැනීමට ඉඩහැර බලධාරීන් නිහඬ වුවහොත් සිදු වන්නේ රට අරාජික තත්වයට පත්වී අවනීතිය ක්‍රියාත්මක වීමේ හා රජවීමේ තත්වයක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍යතාවයක් නොමැත. මේ පිළිබඳව මෙම ක්‍රියා කාරකයින් විසින් නිකුත් කරන ලදැයි කියන පත්‍රිකාවක කොටසක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“බෞද්ධ උරුමය මත අටවා ඇති පල්ලි කෝවිල් වහාම ඉවත් කරව්.

අනුරාධපුර රාජධානියෙන් මේ සිංහල බෞද්ධ රට සිංහල දේශය යලි පුබුදුවමු.

අනුරාධපුරයෙන් පටන් ගනිමු.

රජයේ වගකිවයුතු නිලධාරීන්ට මේවා කරන්නට බැරිනම් අපි කරලා පෙන්නන්නම්. ගෑනුන්ට මුදලට යාන වාහන වලට ගැති වෙලා හිටපල්ලා. රජයෙන් පඩි කකා පැත්තකට වෙලා හිටපල්ලා දොඩවන්න එපා.

අනුරාධපුර මහමෙව්නා උයනේ ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේ ඉදිරිපිට (දකුණු දා ගැබ ළඟ) හඳපළු අඩසඳ ගසා මුස්ලිම් පල්ලිකුඩාරමක් අටවා තිබුණි. එය සිංහල බෞද්ධ ගිහි පැවිදි දේශප්‍රේමීන් එකතුවී කඩා ඉවත් කළා. අනුරාධපුරයේ ප්‍රතිපත්ති ගරුක අපේ ගෞරවනීය ආදරණීය මහා සංඝරත්නයට හා අපේ ආදරණීය දේශප්‍රේමී වැඩිහිටි හා තරුණ තරුණියන්ට සිංහල ජාතියේ උත්තමාචාරය පුද කරමු”

ඉහතින් ඇත්තේ දිග ප්‍රකාශනයක කොටසකි. වේලුපිල්ලේ ප්‍රබාකරන්ගේ හා ඉහත ක්‍රියාකාරකමේ ඇති වෙනස කුමක්ද? ප්‍රබාකරන් ඊලමක් සඳහා අවනීතිය හා අරාජිකත්වය උපයෝගි කරගත් අතර අපගේ ඊනියා දේශප්‍රේමීන් සිංහල බෞද්ධ උරුමයන් සඳහා එයම කරති. සිංහල බෞද්ධ උරුමයන් සඳහා ක්‍රියාකල යුතුව ඇත්තේ ත්‍රස්තවාදීව නොවන බව මෙම බෞද්ධයන් ලෙසින් වෙස්වලාගත් හෝ එසේ නොමැතිනම් අලංකාර බුදු දහම නොදැන කටයුතු කරන අඳ බාලයින් දැන ගත යුතුව ඇත. ජාතිකව හා ජාත්‍යන්තරව සිංහලයාව හා බුදු දහම අපකීර්තියට පත්කරවන මෙවන් නරුම වැඩ කරන උදවිය පිළිබඳව කොතෙක් කල් නම් මේ රටේ යහ චින්තනයෙන් යුත් යුක්ති ගරුක හා නීති ගරුක බෞද්ධයාට නිහඬව සිටිය හැකි වන්නේද? ඔවුන්ගේ සිංහල බෞද්ධකම ආලේප කරගත් ත්‍රස්තවාදයට ලක් කරන්නට කුරගල, දෙවනගල හා මුහුදු විහාරය වැනි තැන් නම් කර ඇති බව ඔවුන්ගේ වෙබ් අඩවි තුලින් දැකිය හැක. කුරගල, දෙවනගල හා මුහුදු විහාරය වැනි තැන් නියත වශයෙන්ම බෞද්ධ උරුමයන් ලෙස සහතික නම් කරුණාකර එම උරුමයන් පාවාදී නිහඬ නොවන්න. නමුත් ඒ පිළිබඳව ක්‍රියා කල යුත්තේ බෞද්ධ ඉගැන්වීම් ආරක්ෂාවන අයුරින් හා රටේ නීතියට එකඟ වන පරිදි පමණි. ත්‍රස්තවාදී ලෙස බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමට මෙරටේ යුක්ති ගරුක හා නීති ගරුක ප්‍රජාවගෙන් කොහෙත්ම අනුමැතියක් නොලැබෙනු ඇත. රටේ මෑතකදී සිදුවූ දෑ කෙරෙහි අවධානය යොමු කරන විට පැහැදිලිව පෙනීයන්නේ නීතියේ ආධිපත්‍යය ක්‍රමයෙන් බිඳී ගොස් අරාජිකත්වය ක්‍රමයෙන් රජයන තත්වයකි. මෙය ඉතා භයානක අනිසි විපාක ගෙන දිය හැකි තත්වයක් නිර්මාණය කරන්නට ඉඩ ඇත. මේ පිළිබඳව බලධාරීන් වහාම පියවර නොගතහොත් තත්වය වඩාත් නරක අතට හැරෙන්නට ඇති හැකියාව ඉමහත්ය.

සුත්ත පිටකයේ දීඝ නිකායේ පළමු සුත්තයවූ බ්‍රහ්මජාල සුත්තයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

බුදුරජහු: මහණෙනි, පිටස්තර අය මට හෝ ධර්මයට හෝ භික්ෂු සංඝයාට හෝ දොස් කියතොත් නුගුණ කතා කරතොත් තොප ඒ ගැන කෝප විය යුතු නැත. අසතුටු නොවිය යුතුය. සිත අමනාප නොකර ගත යුතුය. අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියන විට නුගුණ කතා කරන විට තොප කෝප වෙතොත් අසතුටු වෙතොත් අමනාප වෙතොත් එයින් අනතුරක්, අලාභයක්, හානියක් වන්නේ තොපටමය. එසේ දොස් කියන විට තොප අමනාපකම් දක්වතොත් ඔවුන් ඒ කියන දෙය ඇත්තද නැත්තද කියා තොපට තේරුම් ගත හැකිද? වටහා ගත හැකිද?

භික්ෂුහු: වටහා ගත නොහැක ස්වාමීනි. කෝපවූ අමනාපවූ නොසතුටු සිතකින් යමක ඇත්ත නැත්ත තේරුම් ගත නොහැකිය.

බුදුරජහු: මහණෙනි, අනුන් මට හෝ දහමට හෝ සඟනට හෝ දොස් කියතොත් එහිදී තොප කෝප නොවී අමනාප නොවී, මේ කාරනා නිසා ඔබ කියන දෙය අසත්‍යයකි, නැති දොස් කීමකි. ඔබ කියන දෝසය අප තුල නැතැයි කරුණු කිව යුතුය. එසේම මහණෙනි, අන් අය මගේ හෝ දහමෙහි හෝ සඟනගේ හෝ ගුණ කියත්නම් එහිදී තොප ඒවායින් උදම් විය යුතුද නොවේ. උඩඟු විය යුතුද නොවේ”

ඉහත බුද්ධ භාෂිත දේශනය අපට උගන්වන්නේ කුමක්ද? අප මෙම ඉගැන්වීම් අද අනුගමනය කරමින් සිටින්නේද? අපගේ හැසිරීම් හා ක්‍රියාකාරකම් තුලින් සැබෑ බුදු දහම විචිත්‍ර වන්නේද? කරුණා කර සිතා බලන්න.

“චතුරාර්ය සත්‍යය” නම් තම ග්‍රන්ථයේ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි පවසා සිටින්නේ “බුද්ධ ධර්මයේ පරම සාරයත් චතුරාර්ය සත්‍යයමය. එබැවින් නියම බෞද්ධයෙකු වන්නට නම් ආර්ය සත්‍යයන් පිළිබඳව තරමක වත් දැනුමක් ඇති කර ගත යුතුය.” යනුවෙනි. ඇසල මස පුරපසලොක්වක දා ඉසිපතනයේදී බුදුන් වහන්සේ තමන්ගේ මංගල ධර්ම දේශනාව පැවැත්වූ බව සංයුක්ත නිකායේ ධම්මචක්කප්පවත්තන සුත්තය අනුව පැහැදිලිකෙරේ. කොන්ඩඤ, බද්දිය, වප්ප, මහානාම, හා අස්සජී යන පස්වග මහනුන්ට කළ මෙම දේශනාවට චතුරාර්ය සත්‍යය අන්තර්ගතවේ. මෙහි සතරවන සත්‍යය වන්නේ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යයයි. මෙය ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙසද දැක්වේ.

සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය හා සම්‍යක් සමාධිය මෙම අෂ්ටාංගික මාර්ගයයි.

අප මෙහිදී සකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ සම්‍යක් වචනය නොහොත් සම්මා වාචා යන සංකල්පයයි. විභංග පාලියෙහි දක්වා ඇති පරිදි:

“තත්ථ කතමා සම්මා වාචා?

මුසාවාදා වේරමණී

පිසුනා වාචා වේරමණී

ඵරුසාවාචා වේරමණී

සම්ඵප්පලාපා වේරමණී

අයං වුච්චති සම්මා වාචා”

මෙහි අර්ථය:- සම්මා වාචා කවරේද යත්, මුසාවාදයෙන් වැළකීමය, පිසුනාවාචයෙන් වැළකීමය, ඵරුසා වාචාවෙන් වැළකීමය, සම්ඵප්‍රලාපයේන් වැළකීමය යන මේවා සම්මා වාචා නම්වේ.

මෙම කරුණු ටිකක් විස්තර සහිතව විමසා බැලුවිට වෙබ් අඩවි මගින් මෙරට දහමට ලැදි යහ බෞද්ධයින්ව උද්වේගයට පත්කොට නැවත ලේ ගංගාවන් ගලන තත්වයක් ඇති කරන්නට වෙර දරන අඳබාලයින්ගේ ක්‍රියාවන් කොතරම් බෞද්ධ විරෝදීධ යන්න අවබෝධ කරගන්නට හැකි වනු ඇත.

මුසාවාදය

අන්‍යයන් මුලාවට පත් කරන වාචික අකුසල කර්මය මුසාවාදයයි. වෙබ් අඩවි හා අනෙකුත් මාධ්‍යයන් මගින් ඉදිරිපත්කරන අසත්‍යය තොරතුරුද මෙයට ඇතුලත්වේ. යම් පුද්ගලයෙක් මුසාවාදය පුරුදු පුහුණු කරන ලද්දේද හෙතෙම මරණින් මතු නිරයෙහි උපදී, තිරිසන් යෝනියෙහි උපදී, ප්‍රේත ලෝකයෙහි උපදී, එයින් චුතව මනුෂ්‍ය ලෝකයෙහි උපන් කළ අන්‍යයන්ගේ නින්දා අපහාස ආදියට ලක්වේ. එසේම දුගඳ මුඛයක් ඇත්තෙක් වෙයි. අඥානයෙක් වෙයි, ගොළුවෙක් වෙයි. අප්‍රිය සිරුරක් ඇත්තෙක් වෙයි.

පිසුනාවාචා

සවන්දෙන තැනැත්තා කියන තැනැත්තා කෙරෙහි ඇති ඇතිකරගන්නා ප්‍රිය බවද, අනෙකා කෙරෙහි ඇති කරගනු ලබන අප්‍රිය බවද යන මේ වාචසිකව සිදු කෙරෙන අකුසල කර්මයට පිසුනාවාචා යැයි කියනු ලැබේ. හුදෙක් මෙයට කේලම යැයිද ව්‍යවහාර කරති. සමගියෙන් හා සමාදානයෙන් සිටින්නවුන්ගේ සමඟිය බිඳීම සඳහා ඇතැම්හු මේ අකුසල කර්මය කරති. වෙබ් දේශප්‍රේමීන්ගේ ප්‍රධාන අකුශල පථය මෙයයි. මෙවන් අය මරණින් මතු නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය ආදී කාම දුගතියෙහි උපදී. යම් හෙයකින් එයින් චුතව මනුසත් ලොව උපන් කළ, ඔහුට ප්‍රියයන්ගෙන් වෙන්ව විසීමට සිදුවේ.

ඵරුසාවාචා

කියන තැනැත්තා ද්වේෂ මුඛයෙන් කීමත්, අසන තැනැත්තා වේදනාවකින් හා ද්වේෂයකින් ඇසීමත් යන මෙම අකුසල කර්මය ඵරුසාවාචා නම්වේ. දුටු දුටුවන් නොරුස්සන ස්වභාවය ඇති ඇසීමට අප්‍රිය වුද නොරිසි වුද ස්වර ඇත්තෙක් වීම මෙහි ඵලයයි.

සම්ඵප්පලාපය

මෙහි සම්ඵ යනු හිත සුව විනාශ කර දමන, අර්ථ ශුන්‍යවූ කථාවයි. මෙම අකුසල කර්මයෙහි යෙදුනු පුද්ගලයා මරණින් මතු නිරයෙහි උපදින්නේය, ප්‍රේත ලෝකයෙහි උපදිනේය, එයින් චුතව මනුසත් ලොව උපන් කළ එකට එකක් නොගැලපෙන ශරීරවයන්ගෙන් යුත් බලන්නට ප්‍රිය නැති සිරුරකට හිමිකරුවෙක් වන්නේය.

වෙබ් අඩවි මගින් අසම්මා වාචා හි යෙදෙමින් කටයුතු කරන්නන්ට මෙවන් දරුණු විපාක විඳින්නට සිදුවන බව බුදු දහම උගන්වයි. අකුසලයට උපකාර කරමින් කටයුතු කරන්නන්ගේද තත්වය මෙයට වෙනස්විය නොහැක. රටේ අමාරුවෙන් දිනාගත් සාමය විනාස කරන්නට මෙම වෙබ් කාරයින්ට ඉඩ නොදෙන ලෙස අප ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

සාමයික සහජීවනය

සාමයික සහජීවනය යනු අන්තර් ආගමිකයින් හා අන්තර් ජනවාර්ගිකයින් අතර පවත්වාගෙන යායුතු යහ සම්බන්ධතාවයයි. බුදු දහම බිහිවූ යුගයේ භාරත දේශයේ පැවතියේ බහු ආගමික හා බහු ජනවාර්ගික සමාජයකි. විවිධ ආගමික ඇදහිලි හා විශ්වාස එහි විය. ඒ අවස්ථාව වනවිට භාරත දේශයේ මහාපරිමාණ ලෙස ව්‍යාප්තවී තිබුනේ බ්‍රාහ්මණ දහමයි. ඒ අතර විවිධ ආගමික දෘෂ්ටි ගරුකළ ශ්‍රමණ කණ්ඩායම්, ආජීවකයන්, පරිබ්‍රාජකයන්, ජටිලයන්, සහ වෙනත් තාපස යෝගී නිකායයන් එහි ක්‍රියාත්මකවිය. මේ අතර ෂට් ශාස්තෘ දර්ශනයන්ද විය. මේ හැම ආගමික සම්ප්‍රදායක්ම විවිධ මතිමතාන්තර ඉදිරිපත් කළහ. මොවුන් ඉදිරිපත් කල දෘෂ්ටි අතර බ්‍රාහ්මණ වාදය, ඊශ්වර නිර්මාණ වාදය, දේව වාදය, අධිච්ච සමුත්පත්ත වාදය, අහේතු අප්‍රත්ය වාදය, නියතිසංගතික වාදය, අකිරිය වාදය, සංසාර සුද්ධික වාදය, ශාස්වත වාදය, උච්ඡේද වාදය, දිට්ඨධර්මනිර්මාණ වාදය, මේ ආදී මත වාදයෝ එහි ප්‍රචලිතව තිබිණ.

මේ කාලයේ බුදුන් වහන්සේ සමගද වාද කිරීමට ඇතැම් බ්‍රාහ්මණ පඬිවරු පැමිණියහ. එවැනි මහා තාර්කිකයෙකි සච්චක බ්‍රාහ්මණයා. බුදුන් වහන්සේ මෙම සංකීර්ණ ආගමික රටාවේදී ක්‍රියා කලේ සාමයික සහජීවනය තහවුරු කරන ආකාරයටය. බුදුන් වහන්සේ මෙහිදී ප්‍රකාශකර සිටියේ හැම දෙයකම යථා භුතය හෙවත් යතාර්ථය මැනවින් ප්‍රත්‍යක්‍ෂ කරගත යුතු බවය. බ්‍රහ්මජාල සුත්තයෙහි සඳහන් වන පරිදි බුද්ධ කාලීන භාරත දේශයේ දෘෂ්ටි දෙසැටක් ව්‍යාප්තවී පැවත ඇත. බුදුන් වහන්සේ අන්‍යාගමික පැවිද්දන් හා ඔවුන්ගේ ඉගැන්වීම් හෙලා දැකීමට ඉදිරිපත් නොවුහ. එසේම ඕනෑම ආගමික ගුරුවරයෙකුගේ ඉගැන්වීම්වල ඇති යහපත් ගුණාංග බුදුන් වහන්සේ අගය කළහ. උන්වහන්සේ නොයෙක් ආගමික ගුරුවරුන් වෙත ගියහ. ඔවුන් සමග සතුටු සාමීචියෙහි යෙදී සිටියහ. ඇතැම් ආරාමවලට බුදු රදුන් වැඩම කරවූ අවස්ථාවේ ඒ ආගමික ගුරුවරු තම ශිෂ්‍යයන් නිහඬ කරවා උන්වහන්සේව ගෞරවයෙන් පිළිගත්හ.

චුල සකුළුදායි පරිබ්‍රාජක ගුරුවරයා බුදුන් වහන්සේ තම ආරාමයට වැඩම කරනවා දැක සිය ශිෂ්‍ය පිරිස නිශ්ශබ්ද කරවීය. එසේම බුදුන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයාගේ ආරාමයටද වරින් වර වැඩම කළහ. කලකට පසුව තම ආරාමයට බුදුන් වඩිනු දුටු වච්ඡගොත්ත පරිබ්‍රාජකයා ඉදිරියට ගොස් උන්වහන්සේව පිළිගෙන එන්න ස්වාමීනි, බොහෝ කාලයකින් මෙහි වැඩියේ, මෙන්න ආසනය, ඉදිගන්නැයි ගෞරවාන්චිතව ප්‍රකාශ කර සිටියේය (තේවිජ්ජ වච්ඡගොත්ත සුත්ත – මජ්ජිම නිකාය). ආගමික මතභේද මත විරසකවී සිටි මේ යුගයේ බුදුරදුන් අනුගමනය කළ ආගමික සහනශීලිතාවය කුමක්ද යන්න මෙයින් පැහැදිලි කර ගැනීම අපහසු කාර්යයක් නොවේ. එයින් පැහැදිලිවන්නේ බුදුරදුන් කිසිම ආගමික සම්ප්‍රදායක් හෙලා නොදුටු බවය.

ආගමික නිකායයන් අතර බොහෝ විට මත ගැටුම් ඇතිවන්නේ එක් ආගමක් අත්හැර අනිත් ආගම වැළඳ ගැනීමේදීය. බුදුන් වහන්සේ වෙත පැමිණ ධර්මය අසා ප්‍රසාදයට පත් ප්‍රධාන පෙළේ ජෛන ශ්‍රාවකයන් දෙදෙනෙකුවූ උපාලි ගෘහපතියා සහ සීහ සේනාපතියා බුදුන් සරණ යාමට ඉල්ලා සිටි විට උන්වහන්සේ ප්‍රකාශ කළේ ඉක්මන් නොවන ලෙසය. එහෙත් බුදුන් සරණ යාමට අවශ්‍ය බව ඔවුහු දැඩි ලෙස කියා සිටියහ. මෙහිදී බුදුන් වහන්සේ ඒ දෙදෙනාට කොන්දේසියක් ඉදිරි පත් කළහ. එම කොන්දේසිය තමන් බුදුන් සරණ ගියත් ජෛන ශාස්තෘවරයාට කළ සැළකිලි සංග්‍රහ ආදිය එසේම පවත්වාගෙන යාමට ක්‍රියා කළයුතු බවය. ඔවුහු එය පිළිගත්හ.

උදුම්බරික සීහනාද සුත්තයෙන්ද බුදුන් වහන්සේගේ ආගමික සහනසීලිතාවය මැනවින් ප්‍රකට වෙයි. එහිදී උන් වහන්සේ “නිග්‍රෝධය, මා වරදවා තේරුම් ගන්න එපා. මා ධර්ම දේශනා කළේ කරුණු පැහැදිලි කර දීමටයි. ඔබ මාගේ ධර්මයට හරවා ගැනීමට නොවේ” යැයි ප්‍රකාශ කළහ. එයින් පැහැදිළි කළේ තමන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ අන්‍යාගමිකයන් තමන්ගේ දහමට හරවා ගැනීමට නොව ඔවුනට කරුණු කාරනා පැහැදිළි කරදීමට බව පැහැදිළි වෙයි. එහිදී බුදුන් වහන්සේ තව දුරටත් කරුණු පැහැදිලි කරමින්, ඔබේ ගුරුවරයා හෝ ඔබ හෝ විවේචනය කිරීමට මට අවශ්‍යතාවයක් නැත. ඒ සියල්ල දැනට තිබෙන විදියටම තිබේවා යැයි ද දන්වා සිටිසේක. මෙයින් පැහැදිළි වන්නේ බුදුන් වහන්සේ යහමග පෙන්වීමට දහම් දෙසු බවත් අන්‍යාගමිකයින් තමන් වෙතට හරවා ගැනීම පදනම කරගෙන දහම් නොදෙසූ බවත්ය.

ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමිකයෙකුට කවර වූ හෝ කාරණයක් උන්වහන්සේ පැහැදිළි කර දුන්නේ කාරුණිකත්වයෙන් හා මුදු මොලොක් භාවයෙන් යුක්තවය. උන්වහන්සේ කිසි විටෙකත් තම දේශනයෙන් අන්‍යයන් ප්‍රකෝපයට පත් නොකළහ. පැරණි බ්‍රාහ්මණ ආර්යවරු අභිඥාලාභීන් නොවුවද ඔවුන් සීලය හා සෘජු බව මැනවින් ප්‍රකාශ කළ අය හැටියට බුදුන් වහන්සේ පෙන්වා දුන්හ. එසේම, බුදුන් වහන්සේගේ ගෞරවයට පාත්‍රවූ වෙනත් දෘෂ්ටි අනුගමනය කළ අය වුහ. ජෝතිපාල, හත්තිපාල, කුද්දාලක, ආරක, සුනෙත්ත, යන ගුරුවරුන්ගේ ඉගැන්වීම් අනුගමනය කළ බොහෝ දෙනා ස්වර්ගගාමී වූ බව බුදුන් වහන්සේ ප්‍රකාශ කර ඇත. ඔවුන් කාමභෝගී ජීවිතයෙන් වෙන්වූ අය වශයෙන් උන්වහන්සේගේ ගෞරවාදරයට පාත්‍ර වුහ. බුදුන් වහන්සේගේ ආගමික සහනසීලි තාවයෙන් පැහැදිළි වන්නේ සියළුම ආගමික දෘෂ්ටීන් කෙරෙහි දැක්වුයේ මිත්‍රශීලී සුහද ආකල්පයකි. දීර්ග වශයෙන් බුදු දහමේ සාමයික සහජීවනය පිළිබඳව කරුණු සාකච්චා කරන්නට අදහස් කෙරුවේ බුදුන් වහන්සේ හා උන්වහන්සේ විසින් පන් සාලිස් වසරක් තිස්සේ දෙසු දහම විකෘත කරමින් සමාජයේ වෛරය හා ද්වේශය වපුරන්නට වර්තමානයේ පිරිසක් ඉදිරිපත් වී ඇති හෙයිනි. අපට කොටි ත්‍රස්තවාදය පරාජය කරන්නට යුධ කරන්නට සිදුවුයේ ද්‍රවිඩ ජනයා සමග තිබු වෛරයක් නිසා නොවන බව සැවොම ඉතා හොඳින් දන්නා සත්‍යයකි. බුදු දහම හැම විටම අගය කරන්නේ කරුණාව හා මෛත්‍රිය පදනම් කරගත් සාමයයි. යුද්ධය තුලින් කෙනෙකුට ජය අත්වෙයි. එම ජයග්‍රහණය තවත් කෙනෙකුගේ වෛරය සඳහා හේතුවෙයි. පරාජිත පුද්ගලයා හැම විටම දුකට පත්වෙයි. එය යුද්ධයේ ස්වභාවයයි. බුදුන් වහන්සේ ඒ බව ධම්ම පදයෙහි දේශනා කර වදාළේ මෙසේය:

ජයං වෙරං පසවති

දුක්ඛං සෙති පරාජිතෝ

උපසන්තෝ සුඛං සෙති

හිත්වා ජය පරාජයං

අර්ථය: – ජය ගන්නා පුද්ගලයා අනුන්ගේ වෛරය තමා වෙත යොමු කරවයි. පැරදුනු පුද්ගලයා දුකසේ වෙසෙයි. ජය පරාජය දෙකම අත්හැර සංසිඳීමට පත් පුද්ගලයා සුවසේ වාසය කරයි.

බුදුන් වහන්සේ ධම්ම පදයෙහි දේශනා කර වදාළ අයුරු ක්‍රෝධය, වෛරය පැරදවීම සඳහා කළයුතු ක්‍රියා මාර්ගයද පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

අක්කොධෙන ජිනේ කෝධං

අසාධුං සාධුනා ජිනේ

ජිනේ කදරියං දානෙන

සච්චෙන අලිකවාදිනං

අර්ථය: – ක්‍රෝධ කරන පුද්ගලයාට ක්‍රෝධ නොකිරීමෙන් ඔහු පැරදවිය යුතුයි, හෙවත් ක්‍රෝධ නොකිරීමෙන් ක්‍රෝධය ජය ගත යුතුය. අසත්පුරුෂයා සත්පුරුෂ ගුණයෙන් පැරදවිය යුතුය. තද මසුරා යම් යම් දේ දීමෙන් ජයගත යුතුය. බොරු කියන්නාව ඇත්ත කීමෙන් පැරදවිය යුතුය.

දැනට වෛරය වැපිරීම සඳහා වෙබ් අඩවි මගින් කරගෙන යන්නාවූ ක්‍රියාවන් පිළිබඳව බුදු දහම පදනම් කරගෙන එහි ඇති මිනිසත් භාවයට නොහොබිනා තත්වය පැහැදිළි කරන්නට කරුණු ඉදිරි පත් කළෙමු. සැබැවින්ම මෙම වෙබ් අඩවි කාරයින් බුදු දහමේ නාමයෙන් දැනට කරගෙන යන්නාවූ අසත්පුරුෂ ක්‍රියාවෙන් අපහාසයට ලක් කර ඇත්තේ බුදුන් වහන්සේව හා බුද්ධ ධර්මයයි. බුදු දහම ත්‍රස්තවාදී දහමක් ලෙස මොවුන්ගේ ක්‍රියාකාරකම් මගින් ලෝකයාට හුවා දක්වා ඇත. මෙම තත්වය වහාම නැවැත්වීමට බලධාරීන් මෙන්ම සාමයට කැපවූ සියළු ලාංකීය ජනයා කටයුතු කළයුතුව ඇත.

යුද්ධයක අවසානයක් දුටු සමාජයක් එකී යුද්ධය අවසානයේ ගොඩ නගන සමාජය ගැන බරපතල ලෙස කල්පනා කළ යුතුව ඇත. එසේ නොවුණු විට නැවතත් අප ඇදීයන්නේ යුද්ධයකට විය හැක. නැවතත් යුද්ධයේ ගිනිසිළු දල්වන්නට වෙර දරන දේශ ද්‍රෝහීන්ව හඳුනා ගනිමු, බුදුන් වහන්සේට හා බුදු දහමට අපහාස කරමින් බෞද්ධ වෙස් ගත්තු වෙබ් වීරයින්ගේ ක්‍රියාකාරකම් නැවත්වීමට වහාම ක්‍රියාකරමු. පශ්චාත් යුධ සමාජයක් අපට අප ගැන නැවත සිතා බලන්නට අවස්ථාව සලස්වයි. අතීතයේ අප කළ වැරදි නිවැරදි කර ගනු වස් එය ඉතා අගනා අවස්ථාවකි. ජීවිතය නැවත අලුතින් නිර්මාණය කළ යුතුව ඇත. වෛරය ක්‍රෝධය ඉවතලා සැමට සතුටින් සාමයෙන් ජීවත්වියහැකි සමාජයක් ස්ථාපිත කරන්නට වහාම අවශ්‍ය පියවර ගන්නට ඉදිරිපත් වෙමු. නිෂේධනීය ලක්ෂණ ඉවතලා සාධනීය ලක්ෂණ රකිමින් හා පෝෂණය කරමින් ඉදිරි ගමනක් අරඹමු. විසංවාදී නොවී සංවාදී සමාජයක් තුල සියළු කරුණු සාමකාමීව විසඳා ගැනීමට අධිෂ්ටාන ශීලීව ක්‍රියා කරන්නට ලක් මවගේ සියළු දරුවන් එකට අත් වැල් බැඳ ගනිමු. සෞභාග්‍යයෙන් පිරි සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට අපගේ පුර්ණ දායකත්වය ලබා දෙමු.

සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා

එස්. සරත්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *