ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් එදා සහා අද

5

ශ්‍රී ලංකා වාසී ජනයා ජාති, ආගම් භේද පසෙක තබා ඒකීය ජාතියක් ලෙස නිදහස් දිනය සමරමින් සිටින මේ මොහොතේ ‘යහමඟ‘ අඩවිය තුලින් සමස්ථ ජාතියේ  අවදානයට කරුණූ කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි. ඒ,

  • ජාතියේ නිදහස ගැන වැඩියෙන් කථා කිරීමට සුදුසුම අවස්ථාව මෙය වන නිසාත්,
  • විවිධ වූ බෙදුම්වාදී ව්‍යාපාරයන් හිස ඔසවමින් ජාතියේ සමඟිය හා නිදහස බිඳ දැමීමට කටයුතු කරමින් සිටින අවධියක් වන නිසාත්,
  • එවැනි බෙදුම්වාදී ව්‍යාපාරයන් හමුවේ ප්‍රකෝපකාරී ලෙස කටයුතු කරන සමහරක් පිරිස් සමස්ථ ජාතියම ව්‍යාකූල තැනකට යොමු කිරීමට කටයුතු කරමින් සිටින නිසාත්,
  • මේ සියල්ලට අනුග්‍රහය හා අනුබලය දෙමින් කාලකන්නි සතුටක් ලබන ගමන් තම පහත් අරමුණූ ඉටු කරවා ගැනීමට මේ තුල සමහරක් පිරිස් මාන බලමින් සිටින නිසාත්ය.

වසර 30 ක කුරිරු යුද්ධයක අමිහිරි මතකයන් අප සිතුවලින් ඈත් වී යාමට මත්තෙන් තවත් බෙදුම්වාදයක් රට තුල නිර්මාණය වෙමින් තිබීම අවාසනාවන්ත තත්වයකි. විශේෂයෙන් වර්ථමානයේ ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාව ඉලක්ක කොට ප්‍රබල ජාතිවාදී රුල්ලක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටීම අවාසනාවන්ත තත්වයකි. මේ රටේ සුළුතරය වන මුස්ලීම්වරුන්ට එරෙහිව අන්තවාදී පිරිස් විවිධ ක්‍රියාකාරකම් හි නිරතව සිටිය දී ඒ සියල්ල වගකිවයුතු පාර්හවයන් නිහඬව බලාසිටීම තවත් අවාසනාවන්ත තත්වයකි. මෙවන් සමාජ පසුබිමක සමස්ථ ජාතියේ අවදානයට කරුණු කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි.

මේ රටේ සුළු ජාතීන් වන මුස්ලීම් ජනයාට එරෙහිව වර්ථමානයේ නිර්මාණය වෙමින් තිබෙන අවාසනාවන්ත තත්වය ‘යහමඟ’ දුටුවේ අද ඊයේ නොවේ. එදා ‘යහමඟ‘ නම් මෙම වෙබ් අඩවිය ඉදිරිපත් කිරීමට මූලික වූ හේතූන් වුයේ ද අද මේ නිර්මාණය වෙමින් තිබෙන අවාසනාවන්ත තත්වය එදා ‘යහමඟ’ දැකිමය. විවිධ වූ කුමණ්ත්‍රනකාරී ව්‍යාපාරයන් හි ක්‍රියා කලාපයන් මෙන්ම ඉස්ලාම් දහම පිලිබදව මූලික අවබෝධය පවා නොමැතිව ඉස්ලාම් දහමත් මුස්ලීම් සමාජයත් විවේචනය කරමින් ඊනියා මතවාදයක් ශ්‍රී ලාංකීය සමාජය තුල නිර්මාණය කරන්නට කිසියම් අන්තවාදී කොට්ඨාශයක් ක්‍රියා කිරීම මෙවැනි මෙහෙවරකට මඟපෑදූ මුඛ්‍ය සාධකයයි. කෙසේ වෙතත් වර්ථමානයේ ශ්‍රී ලංකාව තුල දියත්වෙමින් තිබෙන තත්වය මෙන්ම අනාගතයේ මුස්ලීම් ජනයාට උදා කරන්නට අර අදින අවාසනාවන්ත තත්වය කල්තියා හදුනාගත් ‘යහමඟ‘ අඩවිය ඒ වෙනුවෙන් විටින් විට ලියූ ලිපි බොහෝය. විශේෂයෙන් ගියවර ජාතික නිදහස් දිනය මූලික කරගෙන ලියන ලද ‘මේ නිදහස අර්ථවත් කරමු‘ යන ලිපිය එයට එක් නිදසුනකි. ජාතිමාමක බෝඩ් ලෑල්ල පෙරටු කොට එසේත් නැත්නම් මිත්‍යා ප්‍රහාර තුලින් ඊනියා මතවාද සමාජය තුල නිර්මාණය කොට සුළු ජාතීන්ට එරෙහිව විවිධ කුමණ්ත්‍රන නිර්මාණය කරන්නට උත්සාහ කල පිරිස් පිලිබදව ‘යහමඟ‘ අඩවිය තුල කථා කල අවස්ථාවන් ද බොහෝය. මෙම අඩවිය තුල ඉදිරිපත් කල ජාතිවාදී මිත්‍යා ප්‍රහාර යන ලිපි පෙල එයට තවත් එක් නිදසුනකි. මීට අමතරව ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් සම්බනධයෙන් මෙන්ම ඉස්ලාම් දහම සම්බන්ධයෙන් අප රටේ මහා ජාතිය තුල තිබෙන වැරදි අවබෝධය හා අනවබෝධය දුරු කිරීම පිණිස ද මේ අඩවිය තුල ලියවුණූ ලිපි බොහෝය. මේ අඩවිය තුල පලකල ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්‘ යන ලිපිය ඒ සදහා සමීපතම නිදසුනකි.

මෙවැනි කරුණු ජාතියේ අවදානයට ගෙන ඒම තුලින් ‘යහමඟ‘ අපේක්ෂා කල අරමුණූක් ඇත. ඒ ජාතීන් අතර අවබෝධයෙන් ගොඩනැ‍ඟෙන ජාතියේ සමඟියයි. නමුත් ‘යහමඟ‘ ගන්නා යහපත් පියවරකට වඩා කුමන්ත්‍රණකාරී පිරිස් ගන්නා පියවර අති ප්‍රබල වීම නිසා නිවරුදි ඉලක්කට ලඟාවීම එතරම් පහසු කටයුත්තක් වී නැත. එහි ප්‍රථිපලයක් ලෙස ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් සම්බන්ධයෙන් අද ට ඉතිරිව ඇත්තේ විකෘති වූ මතවාදයන් රාශියක් පමණි.

අද ‘මුස්ලීම්’ යන වදන ඇසූ සැනින් බොහෝ දෙනෙකු සිත් තුල මැවෙන්නේ කෲර ක්‍රියාකාරකම්වල නිරත වන, රටවල්වල යුධ තත්වයන් නිර්මාණය කරන, උපන් බිම ගැන කිසිදු හැඟීමක් නොමැති,  තමන් ගැන පමණක්ම සිතා කටයුතු කරන… අමුතුම ආකාරයේ වූ ජන සමාජයක් ලෙසය. වර්ථමාන ඉස්ලාමීය ලෝකය දෙස හා ඔවුන්ගේ ක්‍රියාකලාපයන් දෙස බලන ඕනෑම කෙනෙකු හට මෙවැනි සැකයක් ඇතිවීම අසාධාර්ණ යයි පැවසීමට මා ඉක්මන් නොවෙමි. මන්ද ඉස්ලාමීය රාමුවෙන් බැහැරව රටේ ලෝකේ මුස්ලීම්වරුන්ගේ ක්‍රියා කලාපයන් නිරීක්ෂණය කරන ඕනෑම කෙනෙකු හට අද බොහෝ විට දක්නට ඇත්තේ ඉහත සැකයට තුඩු දෙන කාරණාවන් වීම එයට හේතුවයි. ඉස්ලාම් දහම කෲරත්වය කිසිදු විටෙක අනුමත කරන දහමක් නොවේ. එවන් පසුබිමක ඉස්ලාම් දහමත් මුස්ලීම් සමාජයත් කෲර දහමක් හා සමාජයක් වූයේ කෙසේද?. මෙය බුද්ධිමත් සමාජය විමසා බැලිය යුතු කාරණයකි. ඒ පිලිබදව ගැඹූරු විමර්ශණයක ඔබ නිරත වන්නේ නම්, එය හිතාමතා ඉස්ලාමීය ලෝකට එරෙහිව නිර්මාණය කල තත්වයන් බව පහසුවෙන් හදුනා ගැනීමට ඔබට හැක වනු ඇත. කෙසේ වෙතත් මෙහිදී සමස්ථ මුස්ලීම් ලෝකයම 100% ක් නිවරුදි යයි පැවසීමට මා ඉක්මන් නොවෙමි. මන්ද සමහරක් මුස්ලීම්වරුන්ගේ ක්‍රියාකලාපයන් ද මෙවැනි මතවාදයක් සමාජය තුල නිර්මාණය වීමට ප්‍රබල හේතු වී ඇති නිසාය. නමුත් සමස්ථ චෝදනාවන්ටම එකම හේතුව මුස්ලීම්වරුන් හෝ ඉස්ලාම් දහම යයි පැවසීම අනවබෝධයකි. ඉස්ලාම් දහමට එරෙහිව සැලසුම්සහගත ලෙස නිර්මාණය කල විවිධ ව්‍යාපරයන් ද ඉස්ලාම් දහම ට මෙවැනි අවාසනාවන්ත ඉරණමක් උදා කරදීමට මූලික හේතුවයි.  එයට නිදසුන් කිහිපයක් පවසන්නේ නම්,

ඉහත සෑම කරුණක්ම වාගේ මෙම අඩවිය තුල මීට ඉහත දීර්ඝ ලෙස සාකච්චා කල කරුණූ වේ. (නිදසුනක් ලෙස කිහිපයක් ඉහතින් ද ඉදිරිපත් කොට ඇත) ඒ කෙසේ වෙතත් මේ සමරමින් සිටින 65 වන ජාතික නිදහස් දිනය මූලික කරගෙන ‘ශ්‍රි ලාංකීය මුස්ලීම්වරුන් එදා සහා අද’ යන මෙම ලිපිය තුලින් ශ්‍රී ලාංකීය ඉතිහාසය මුලික කරගෙන සමස්ථ ජාතියේ අවදානයට තවත් කරුණූ කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි. එයට පිවිසුමක් ලෙස ප්‍රථමයෙන් මේ විෂය පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්න විමසා බලන්නේ නම්,

ජාතික හැඟීම,

මේ මිහිමත වෙසෙන ඕනෑම මනුෂ්‍යෙයකු හට තම උපන් බිම වෙනුවෙන් කිසියම් යුතුකමක් හා වගකීමක් තිබෙනවා යන්නේ හි කිසිවකුටත් දෙවැනි මතයක් පැවතිය නොහැක. එය හුදෙක් ජාතිමාමක උණුසුම් වාග් මාලාවකට හෝ ජන රුලි සංවිධානය කිරීම වැනි පටු සීමාවකට කොටු කලහැකි වගකීමක් ද නොවේ. එය රටක සෑම පුරවැසියකු තුලම ගොඩනැඟීය යුතු හා පිලිඹිබු විය යුතු තත්වයකි. මෙය වර්ථමාන ලෝකයේ සමහරක් පිරිස් පවසනවා සේ ඉස්ලාම් පෙන්වා නොදෙන තත්වයක් නොවේ. එය ඉස්ලාම් දහම ද දැඩිව අවධාරණය කරන ආදර්ශයකි. එසේ නමුත් ඉස්ලාම් දහම දේශ, ජාති, කුල, භාෂා… යනාදීය සදහා අන්තවාදී හෝ වියරුවාදී මුහුණුවරකට ඉඩ ලබාදී නැත. එවැනි දෘෂ්ඨියකින් මේ දෙස බැලීම පවා ඉස්ලාම් ‘ජාහිලියත්’ (අඥාන සම්ප්‍රදායන් – ඉස්ලාම් ප්‍රකාශ වීමට පෙර පැවති සමාජ සම්ප්‍රදායන්) ලෙස දකී. ඉස්ලාම් ජාතිය, කුලය, ගොත්‍ර හා භාෂා යන සියළු සංකල්ප අනුමත කලත් ඒ සියල්ල එකින් එක අභිබවා යන සාධක ලෙස නොපිලිගනී. මන්ද ඉස්ලාමීය දෘෂ්ඨිය දේශයකට, ජාතියකට, ගෝත්‍රයකට හෝ භාෂාවකට සීමි වූ එකක් නොව සමස්ථ මනුෂ්‍ය වර්ගයාම ඉලක්ක කරගත් ‘උම්මා’යන සංකල්පය මත පදනම් වූ එකක් වන නිසාය. සරලව පවසනවා නම් ඉස්ලාමීය දෘෂ්ඨිය සමස්ථ ලෝකයම ආවර්ණය කරගත් එකක් මිස ජාතියක් දේශයක් භාෂාවක් පදනම් කරගත් එකක් නොවේ. මේ අනුව රට, ජාතිය, ගෝත්‍රය… යනාදීය සීමාවන් බිඳ ඉදිරියට ගොස් මනුෂ්‍ය අයිතීන් හා නිදහස පිලිබදව ජාත්‍යන්තර මට්ටමින් කථා කරන ලොව එකම දහම ඉස්ලාම් පමණක් ම වේ. කෙසේ වෙතත් මා ඉහතින් සදහන් කලාසේ රට, ජාතිය, භාෂාව… වැනි කාරණයන් කෙරෙහි මනුෂ්‍ය ආකර්ශන ඇති වීම ස්වභාවික තත්වයක් වන නිසා ඒ ස්වභාවික අවශ්‍යතාවය ප්‍රතික්ෂේප කරන දහමක් ද ඉස්ලාම් නොවේ. මේ මා අවධාරණය කරන තත්වය වඩාත් හොදින් ශූද්ධ වූ කුර්ආන් වාක්‍යයක් තුලින් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

මනුෂ්‍යයනි!, අපි නුඹලා ව එකම එක පුරුෂයෙකුගෙන් හා ස්ති‍්‍රයකගෙන් නිර්මාණය කළෙමු. පසුව නුඹලා එකිනෙකා හඳුනාගනු පිණිස ගෝත‍්‍රයන් හා ජාතීන් බවට පරිවර්ථනය කළෙමු. සැබැවින්ම, ඔබලා අතරින් දෙවියන් හමුවේ වඩාත් ම ගෞරවයට පත්තැනැත්තා වන්නේ සදාචාර සම්පන්න පුද්ගලයාය.

ශුද්ධ වූ කුර්ආනය 49-13

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය හොදින් විමසා බලන්නේ නම් ඉහතින් මා සදහන් කල කාරණය පැහැදිලිව අවබෝධ කරගත හැකි වනු ඇත. ඉහත වාක්‍ය‍යේ මුල් කොටසේ අල්ලාහ් (දෙවි) ‘මනුෂ්‍යයනි!, අපි නුඹලා ව එකමඑක පුරුෂයෙකු හා ස්ති‍්‍රයකින්නිර්මාණය කළෙමු’ යනුවෙන් සමස්ථ ලෝක වාසී ජනතාවගේ විකාශනය හා ඒ නිසාම ඔවුන් තුල ගොඩනැඟිය යුතු ජාත්‍යන්තර සාමූහික බැදීම පැහැදිලිව අවධාරණය කරයි. එසේ රට, ජාතිය, භාෂාව ඉක්මවා ගිය ජාත්‍යන්තර බැදීමේ යථාර්තය මනුෂ්‍ය වර්ගයාට අවධාරණය කරන ඉස්ලාම් දහම එම වාක්‍යයේ දෙවැනි කොටස වන ‘නුඹලා එකිනෙකා හඳුනාගනු පිණිස ගෝත‍්‍රයන් හා ජාතීන්බවට පරිවර්ථනය කළෙමු’ යනුවෙන් පැවසීම තුල මිනිස් වර්ගයා ජාති, කුල, ගෝත්‍ර යනාදී ලෙස වෙන් වී ජාතියක් ලෙස ගොඩනැඟීම වරදක් නොවන බව ද අවධාරණය කරයි. එසේ පවසන ඉස්ලාම් එම වාක්‍යෙය් ඊළඟ කොටසින් සීමාවක්ද මිනිස් සමාජයට පනවයි. ඒ ‘ඔබලා අතරින් දෙවියන් හමුවේ වඩාත් ම ගෞරවයට පත්තැනැත්තා වන්නේ සදාචාර සම්පන්න පුද්ගලයාය’ යන්නයි. මේ තුල මිනිස් සමාජය ජාතියක්, ගෝත්‍රයක් ලෙස බෙදී භේදවීමට කිසිවක් නොමැති බවත්, ජාතියක්, ගෝත්‍රයක් යන්න ආඩම්භර වීමට හෝ තම ජාතියට ගෝත්‍රයට මහිමයක්  එක් කිරීමට හේතු කාරණයක් නොව බවත්, එය මනුෂ්‍ය වර්ගයා එකින් එකා හදුනාගැනීම පහසු පිණිස පමණක් නිර්මාණය කල සාමාන්‍ය තත්වයක් බවත් මෙහිදී පැහැදිලි ලෙස පවසයි.

අහස පොළොව නිර්මාණය කොට, ඔබලා සදහා භාෂාවන්ද, වර්ණයන් ද ලබා දී තිබීම ඔහුගේ සාක්ෂි වන්නේය. නියත වශයෙන්ම බුද්ධිමත් ජනයාට මෙහි සාක්ෂි ඇත්තේමය

ශුද්ධ වූ කුර්ආනය 30-22

ඉහතින් සදහන් 49-13 වාක්‍යයට අමතරව භාෂාව ද මූලික කරගෙන කරුණු දක්වන ඉහත 30-22 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය වෙත අවදානය යොමු කලේනම්, එහි අල්ලාහ් (දෙවි) අවධාරණය කරන්නේ ලොවපුරා විවිධ භාෂාවන් හා ජාතීන් බිහිවීම බුද්ධිමත් ජනයාට පැහැදිලි සාකෂි ගණනාවක් ගෙනහැර දක්වන සාධකයක් මිස මහිමහක් ගෙනදෙන සාධකයන් නොවන බවයි. ඒ කෙසේ වෙතත් ඉහත ශුද්ධ වු කුර්ආන් වාක්‍යයන් දෙක තුලින් පැහැදිලි වන කාරණය නම්, රටක ජාතිය, ගෝත්‍රය හෝ භාෂාව යන්න ඉස්ලාම් ප්‍රතික්ෂේප කරන සංකල්පයන් නොවන බවයි. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස ශුද්ධ වූ නබිවදනක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

මුහම්මද් (සල්) තුමාණන් තමා උපන්බිමෙන් ඉස්ලාම් විරෝධීන් නෙරපූ මොහොතේඑහි මායිමට පැමිණි මුහම්මද් (සල්) තුමාණන් මක්කාව දෙස බලා මෙසේ පවසන ලදී. ‘මේ පොළොව මත මට ඉතා ප්‍රියමනාපම භූමිය මක්කාව වන නුඹ වන්නේය, මේ ජනයා මාව මේ ආකාරයට නෙපුවේ නැත්නම් කිසිදු දිනක මා ඔබ අතහැර නොයමි’.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

තම උපන් බිම වන මක්කාව අතහැර යන නබිතුමාණන් මක්කා භූමිය සමඟ දොඩමළුවූ ආකාරය ඉතා සංවේද ජනකය. කුඩා දරුවෙකු සමඟ කථා කරන ආකාරයට මක්කා භූමිය සමඟ එතුමාණන් කථා කලේ තමා උපන් බිමට එතුමාණන් තුල තිබූ ආදරය හා ඒ බිම අතහැර යාම පිලිබදව එතුමාණන් තුල පැවතී දුක නිසාය. මෙහිදී විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. එනම්, මුහම්මද් (සල්) තුමාණන් ඉහත ආකාරයට මක්කාවෙන් සමුගෙන ගියා ශූද්ධ වූ භූමියක් වන, තමන්ට රාජ්‍ය බලය පවා දායාද කෙරූ සියළු ජනයාගේ ආශීර්වාදය හිමිව තිබූ මදීනාව නම් භූමියකටය. එසේ නමුත් නබිතුමාණන්ට තම උපන් බිම වන මක්කාව අතහැර යාම එතරම් පහසු කටයුත්තක් නොවුයේ ඉහතින් මා සදහන් ආකාරයට මනුෂ්‍යා තුල ස්වභාවයෙන් ඇති වන උපන් බිම කෙරෙහි තිබූ බැදීම ඒ සියල්ල ඉක්ම වූ බැදීමක් වන නිසාත් එය ඉස්ලාම් අනුමත කරන බැදිමක් වන නිසාත්ය. මනුෂ්‍යෙයකු තුල තම රට මූලික කරගත් දේශමාමක, ජාතිමාමාක, භාෂාමාමක හැඟීමන් පැවතීම අවශ්‍යය. එය උපන් බිමට කරන යුතුකමකි. නමුත් එය වියරුවක් නොවිය යුතුය. තම දේශය උතුම් කොට සලකා අනිකුත් දේශයන් කෙරෙහි වෛරයක් ඇති කරගැනීම ඉස්ලාමීය ආදර්ශයක් නොවේ. එසේම තමන්ගේ ජාතිය උසස් නොට සලකා අනික්තු ජාතීන් කෙරෙහි වෛරයක් ඇති කර ගැනීම ද ඉස්ලාමීය මඟපෙන්වීමක් නොවේ. තමන්ගේ භාෂාව උසස් කොට සලකා අනිකුත් භාෂාවන් ගැරහීමට ලක් කිරීමට ඉස්ලාම් අනුමත නොකරයි. එසේ ක්‍රියා කිරීම ඉස්ලාම් ‘ජාහිලියත්’ යයි ද පවසයි. සරලව පවසනවා නම්, අපගේ දේශමාමාක , ජාතිමාමක හෝ භාෂාමාමක හැඟීමන් තවත් දේශයක, ජාතියක, භාෂාවක අයිතීන් උදුරාගන්නා තැනට යොමු නොවිය යුතුය, මනුෂ්‍ය නිදහසට එයින් බාධාවක් ඇති නොවිය යුතුය. මේ සීමාවන් හදුනාගෙන කටයුතු කිරීම තුල තමා සමස්ථ ලෝකවාසී ජනයාගේ සැබෑ සාමය, සමඟිය, සතුට, සහජීවනය හා නිදහස රදා පවතින්නේ. මෙය අතීතයේ පටන් මුස්ලීම්වරුන් ලෝකය තුල ප්‍රායෝගිකව ඔප්පු කොට පෙන්වූ අවස්ථාවන් ද අනන්තය. නමුත් අවාසනාවකට ඒ සියළු ඉතිහාස සිතාමාතා හෝ නොදැනුවත්ව ලෝකයා ඉදිරියේ වැලලී ගොස් ඇත. එයට ඉහත ඉස්ලාමීය  ස්වර්ණමය යුගය නම් ලෝක ඉතිහාසය මෙන්ම පහත සදහන් අපේ ඉතිහාසය ද හොද නිදසුනකි.

ඉතිහාස විමසුමක්,

ශ්‍රී ලංකාව හා මුස්ලීම්වරුන් අතර වූ බැදීම වසර 1000ක් පමණ ඈතකට දිව යන්නකි. අද අප රට තුල වෙසෙන මුස්ලීම් සමාජය තම රටට, ජාතියට ආදරය නොකරන ජාතියක් ලෙස හිතමාතා ලේබල් ගසන සියළු පාර්ශවයන් ඉහතින් සදහන් දීර්ඝ ඉතිහාසය පුරාවට රටේ දියුණුවට දැක්වූ දායකත්ව විමසා බැලීම අත්‍යඅවශ්‍ය. අතීතය පුරාවට කිසිදු මුස්ලීම්වරයෙකු මේ දේශයට එරෙහිව ක්‍රියා කොට නැත. එවැනි ඉතිහාසයක් කිසිදු තැනක දක්නට ද නැත. මේ රටේ දියුණුවට බාධාකල අවස්ථාවක් ඉතිහාසය පුරාවට දක්නට නැත. මේ දේශය ආක්‍රමණය කිරීමට හෝ රටට එරෙහිව කුමණ්ත්‍රන් කල අවස්ථාවක් ඉතිහාසය තුල කිසිදු දිනක දක්නට නැත. ඉතිහාසය පුරාවට රටේ නිදහසට බාධාවක් වන ආකාරයට හෝ තර්ජනයක් වන ආකාරයට ක්‍රියා කල අවස්ථාවක් දක්නට නැත. අතීතය දෙස මොහොතක් බුද්ධිමත් ලෙස විමසා බලන්න,

  • මේ රටට පෘතුගීසින් පැමිණියා මේ රට ආක්‍රමණය කලා රටේ සම්පත් සියල්ල සුරාගෙන තම රටට ගෙන ගියා මේ රට යටත් කොට ශ්‍රී ලාංකීය ජනයාගේ ශ්‍රමය පවා සොරාගත්තා,
  • ඊළඟට ලන්දේසීන් පැමිණියාමේ රට ආක්‍රමණය කලා රටේ සම්පත් සියල්ල සුරාගෙන තම රටට ගෙන ගියා මේ රට යටත් කොට ශ්‍රී ලාංකීය ජනයාගේ ශ්‍රමය පවා සොරාගත්තා,
  • ඊළඟට ඉංග්‍රීසීන් පැමිණියා මේ රට ආක්‍රමණය කලා රටේ සම්පත් සියල්ල සුරාගෙන තම රටට ගෙන ගියා මේ රට යටත් කොට ශ්‍රී ලාංකීය ජනයාගේ ශ්‍රමය පවා සොරාගත්තා,

මුස්ලීම්වරුන් ද මේ රටට පැමිණියා, ඔවුන් මේ රට ආක්‍රමණය කලේ නැත. ආක්‍රමණය කරන්නට උත්සාහ කලේත් නැත. මේ රටට එරෙහිව ක්‍රමණ්ත්‍රනයන් දියත් කලේ ද නැත. රටේ සාමයට සහජීවනයට තර්ජනයක් වුයේ ද නැත. එසේ නොකලා පමණක් නොව මේ රටේ දියුණුවේ නියමුවන් බවට ඔවුන් පරිවර්ථනය විය. ඒ සුන්ද ඉතිහාසය හා ඒ තුල ඔවුන්ගේ මෙහෙවර අදටත් රන් අකුරින් ලිය වී ඇත.මෙයට සාක්ෂි දරන ඉතිහාස කෘති ගණනාවක් තිබුණත් ඒ අතුරින් ශ්‍රේෂ්ඨ ඉතිහාස ගවේෂණ කෘතියක් වන ‘ශ්‍රී ලාංකා මුස්ලීම්වරුන් – සහස්‍රයක සහජීවනය’නම් කෘතිය සදහන් කලහැක. මේ ග්‍රන්ථය කෙරෙහි සමස්ථ ජාතියේ අවදානය යොමු වියයුතු බව ප්‍රකාශ කරමින් ඒ සුන්දර ඉතිහාසයෙන් බිඳක් ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නට අදහස් කරමි. එනම්,

  • භූගෝල ගවේෂකයෙකු වන ‘ඉදිරිසි‘මෙසේ පවසයි, 1154 දී මේ රටේ පැවතී රාජ සභාවක මන්ත්‍රීවරුන් 16 දෙනෙකු සිටී අතර එයින් 04 දෙනෙකු මුස්ලීම්වරුන්ය. තවද රජවරුන්ට උපදේශකවරුන් ලෙසද මුස්ලීම්වරුන් එදා කටයුතු කලේය.
  • පස්වන විජයබාහු රජතුමාගේ රාජ සභාවේ ‘මීරාලෙබ්බේ’ නම් ප්‍රසිද්ධ මුස්ලීම් මන්ත්‍රීවරයෙකු සිටී බවට ඉතිහාසයේ පැහැදිලි සාක්ෂි දක්නට ලැබේ.
  • එපමණක් නොව මුහුදු ගමන් පිලිබදව පලපුරුද්දක් මෙන්ම බහු භාෂා නිපුනතාවයක් ද මුස්ලීම්වරුන්ට එදා තිබූ නිසා රට රටවල් අතර රාජ්‍ය දූතයන් ලෙස එදා කටයුතු කලේත් බොහෝ විට මුස්ලීම්වරුන්ය.
  • 1283 දී දෙවන බුවනෙකබාහු රජතුමා ඊජිප්තුවට රාජ්‍ය දූතයෙකු ලෙස ‘හාජි උස්මාන්‘ නම් මුස්ලීම් රාජ්‍ය දූතයෙක් පිටත්කර යැවීම ඉහත කාරණය තවදුරටත් තහවුරු කරන සාධකයකි.
  • රටවල් අතර බැදීමන් වැඩි කර ගැනීම සදහා මෙන්ම ව්‍යාපාර කටයුතු වැඩි දියුණු කරගැනීම සදහා එදා රාජ්‍ය දූතයන් නැමැති ප්‍රබල වගකීම මුස්ලීම්වරුන්ට පවරා, මේ රට නියෝජනය කිරීම පිණිස වෙනත් රටකට ඔවුන් පිටත්කර යැවීම තුල මුස්ලීම්වරුන් එවකට පැවතී රජවරුන්ගේ විශ්වාසය කොතරම් දුරකට දිනාගෙන තිබුණද යන්න මනාව පැහැදිලි වේ.
  • අදටත් නුවර ප්‍රදේශයේ ජීවත් වන සමහරක් මුස්ලීම්වරුන්ගේ වාසගම් හොදින් නිරීක්ෂණය කලේනම් මා ඉහතින් පවසන කාරණය ඔබට මනාව පැහැදිලි වේ. එනම්, සමහරක් නම් සදහා වාසගම් ලෙස අදටත් භාවිතා වන්නේ ‘තානාපති මුදියන්සේලාගේ” යනුවෙන්. (මෙහි ‘තානාපති‘ හා ‘මුදියන්සේ‘ යන වචනවලින් අදහස් කරන්නේ කුමක්ද? යන්න මා පැහැදිලි කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි සිතමි)මේ තුලින් ද පැහැදිලි වන්නේ ඉහතින් සදහන් කාරණය නොවේද?
  • මීට අමතරව රජවරුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරුන් ලෙස ද මුස්ලීම්වරුන් සේවය කල බවට ඉතිහාසයේ සදහන් වේ,
  • මේ රටේ  යුනානි නම් වෙදකම හදුන්වා දුන්නේ මේ මුස්ලීම්වරුන්ය,
  • එපමණක් ද නොව රජවරුන්ගේ ආහාර පිලියෙල කිරීමේ දී එය භාරව කටයුතු කල මුස්ලීම්වරුන් පිලිබදව ද ඉතිහාසය තුල සදහන් වේ. මේ කරුණූ තුල මුස්ලීම්වරුන් රජවරුන්ගේ විශ්වාසය කොතෙක් දුරකට දිනාගෙන සිටියාද? යන්න පැහැදිලි වටහා ගැනීම අපහසු නොවනු ඇත.
  • 1710 වන විට සීතාවක, කෝට්ට, නුවර රාජධානිවල යුධ සෙබළුන් ලෙස මුස්ලීම්වරුන් 950 ක් පමණ සේවය කල බව සදහන් වේ. (මෙම සංඛ්‍යාව එවකට පැවතී මුස්ලීම් ජනගහනයට සාපේක්ෂව විශාල සංඛ්‍යාවකි)
  • පෘතුගීසීන්ට එරෙහිව සිදුකල සටනේදී මුස්ලීම්වරුන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කල බව ඉතිහාසයේ සදහන් වේ.
  • මේ නිසාම නුවර ප්‍රදේශයේ ඉඩම් මුස්ලීම්වරුන්ට පරිත්‍යාග ලෙස එවකට සිටි රජවරුන් ලබාදුන් බව ඉතිහාසයේ සදහන් වේ.
  • ලන්දේසීවරුන්ට එරෙහිව මුස්ලීම්වරුන් රට නි‍යෝජනය කරමින් සටන් වදින ලදී,
  • ඉංග්‍රීසිවරුන්ට එරෙහිව ද  මුස්ලීම්වරුන් රට නියෝජනය කරමින් සටන් වදින ලදී,
  • මේ රටට නිදහස හිමිවන මොහොතේ කිසිදු කොන්දේසියකින් තොරව මුස්ලීම්වරුන් රජයට දැක්වූ  දායකත්වය එස්. ඩබ්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා පවා ඉතා ප්‍රශංසාත්මක ලෙස පසුකාලෙක මතක් කරන ලදී.
  • මේ රටේ ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් ලබාදුන් පිරිස් අතර මුස්ලීම්වරුන් මුල්තැන ගෙන කටයුතු කල නිසාම වරක් ඩී. එස් සේනානායක මහතා පවා ‘මේ රටේ කොඳුනාරුටිය මුස්ලීම්වරුන්’ යයි පවසන ලදී.
  • මෑත කාලීනව රටේ පැවතී කොටි උවදුර හමුවේ මුස්ලීම් ජනයා බෙදුම් වාදයට අනුබල නොදී ක්‍රියා කිරීම නිසා ඔවුන්ට අහිමි වූ දෑ සුළුපටු නොවේ. පරම්පරා ගණනාවක් මුළු‍ල්ලේ එක්රුස් කල දේපල ඉඩකඩම් වස්තූන් සියල්ල අතහැර දමා පැය දෙකකින් යාපනයෙන් ඉවත් ව පැමිණ අදටත් අසරණ ව ජීවිත ගත කරන  මුස්ලීම් ජනයා පිලිබදව සිතා බලන්න වටිනවා නොවේද?
  • එපමණක් නොව මුස්ලීම් දේවස්ථාන තුලට වැද එමෙන්ම මුස්ලීම් ගම්මානවල වැද සමූල ඝාතනය කල මුස්ලීම් ජනතාව කොතරම්ද? මේ සියල්ල මේ රටේ බෙඳුම්වාදයට මුස්ලීම්වරුන් එරෙහිවීමේ ප්‍රතිපලයක් නොවේද?

ඉහතින් මා පෙලගසා ඇත්තේ මේ රට තුල අපේ මුතුන් මිත්තන් ශ්‍රී ලාංකීය සමාජයට ලබාදුන් සක්‍රිය දායකත්වයෙන් බිඳක් පමණි. ඉතිහාස කෘතින් නිසි ලෙස විශ්ලේෂණය කරන්නේ නම් මෙවැනි කරුණූ ගණනාවක් අනවාරණය කරගැනීම අපහසු නොවේ. විශේෂයෙන් මෙම අඩවිය තුල මීට ඉහත ඉදිරිපත් කල ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්‘ නම් ලිපිය ද ඊට හොද නිදසුනකි.

මුස්ලීම්වරුනේ මේ ඔබටයි.

ඉස්ලාම් දහම මනුෂ්‍යා තුලින් අපෙක්ෂා කරන ප්‍රධාන ගුණාංගයක් ඇත. ඒ මනුෂ්‍යයා කලගුණ දැක්වීමයි. දෙවියන් තමන්ව මවා තමන්ට අවශ්‍ය සියල්ල ලබාදීම වෙනුවෙන් මනුෂ්‍යා දෙවියන්ට කලගුණ දැක්විය යුතුය. එපමණක් නොව තම මව, පියා වෙනුවෙන් ඔහු කලගුණ දැක්වීම, තම අවට සමාජය වෙනුවෙන් ඔහු කලගුණ දැක්වීම දෙවියන් තමන්ට කරන කලගුණ දැක්වීමක් ලෙස දකී. මෙවන් මඟපෙන්වීමක් තුල ආදර්ශ ලබන සමාජයකට උපන් බිම කෙරෙහි කලගුණ දැක්වීම වෙනම කියා දියයුතු පාඩමක් නම් නොවේ. ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් ලෙස මේ භූමිය වෙනුවෙන් අපට බොහෝ යුතුකම් ඇත. ඒ කවුරුවත් සතුටු කිරීම පිණිස හෝ ඒ අ‍යගේ සිත් දිනා ගැනීම පිණිස නම් නොව,

  • අප මේ රටේ පුරවැසියන් වන නිසාය,
  • මේ රට අපට අවශ්‍ය දෑ ලබා දී අපට ජීවත් වීමට සහය වූ නිසාය,
  • මුස්ලීම් සමාජයේ පැවැත්මට මේ රට ප්‍රබල දායකත්වයක් ලබාදුන් හා දෙන නිසාය. එනම්,
    • මේ රටේ සුළුතරය වන මුස්ලීම්වරුන් වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ඇති මුස්ලීම් පාසැල් 800 ක් පමණ ස්ථාපනය කොට ඇත,
    • මේ රටේ සුළුතරය වන මුස්ලීම්වරුන් වෙනුවෙන් 2500ක් පමණ මුස්ලීම් දේවස්ථාන ස්ථාපනය වී ආගමික විනයක් මුස්ලීම් සමාජය තුල ගොඩනඟමින් ඇත.
    • 500 කට අධික ඉස්ලාමීය දහම් පාසැල් හා 250 කටත් අධික ඉස්ලාමීය ආගමික පාසැල් මේ රට තුල ක්‍රියාත්මකව ඇත,
    • මේ රටේ මුස්ලීම්වරුන් සදහා ජනමාධ්‍ය නිදහස ලබාදී ඇත,
    • මුස්ලීම්වරුන්ට ඉස්ලාම් දහම පැවසීමට මාධ්‍යයන් තුල ඉඩ ලබාදී ඇත,
    • මුස්ලීම්වරුන් සදහා පමණක් වූ ශරීයා නීති සදහා රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඇත. එනම්, දේපල බෙදීම, විවාහ නිතී, දික්කසාද නීති මුස්ලීම්වරුන් සදහා වෙනම ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදී ඇත.
    • මීට අමතරව ඉස්ලාම් දහමට ආවේනික උත්සව දින සදහා නිවාඩු දින මෙන්ම ඉද්දා, සිකුරාදා සහා උපවාස මාසවල විශේෂ වරප්‍රසාද මුස්ලීම්වරුන් සදහා රාජ්‍ය නීති තුල ඉඩ ලබාදී ඇත.

මේ ආකාරයට අප රට ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් වන අපට ලබාදී ඇති වරප්‍රසාද අපමණය. ශ්‍රී ලාංකාව තුල සුළු ජාතියක් වන අපට මේ ලබාදි ඇති වරප්‍රසාද වෙනුවෙන් කලගුණ දැක්වීමේ යුතුකම අපට ද ඇත. ඒ යුතුකම් නිසි ලෙස හදුනාගෙන ඉටු කිරීමේ වගකීම ද සෑම ශ්‍රී ලාංකීය මුස්ලීම්වරයෙකුටම ඇත. මන්ද ඒ ඉස්ලාම් දහම මුස්ලීම් සමාජය මත පවරන වගකීමක් වන බැවිණි.

එසේ නම් මේ 65 වන නිදහස් දිනය ඒ සදහා හොද අවස්ථාවක් කරගත හැක. මේ රටේ ජීවත් වන සිංහල, ද්‍රවිඩ, මුස්ලීම් හා අනිකුත් ජන සමාජයන් සියල්ල එක මවකගේ දරුවන් ලෙස නැඟීසිට එකාමෙන් කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවයක් ද වී ඇත. කෲර යුද්ධයක් අවසන් කොට ‘දැන් ඉතින් අපට තියෙන්නේ ඔක්කෝම එකතුවෙලා රට හදන්න විතරයි’ යයි සිතුවත් අද බෙදුම්වාදය ජාතිවාදී මුහුණුවරකින් සමාජගත වෙමින් ඇත.ජාතීන් අතර සිත්තැවුල්, තරහ, වෛරය, ඊරෂ්‍යාව, සැකය විශ්වාසභංගත්වය තවදුරටත් වර්ධනය වෙමින් ඇත. සියළු බලාපොරොත්තු උඩුයටිකුරු වෙමින් ඇත. මෙවන් පසුබිමක ශ්‍රී ලාංකීය බුද්ධීමත් ප්‍රජාව අන්තවාදී ජාතිවාදය හෝ භාෂාවදයන් තුල කොටු නොවී බුද්ධියෙන් ක්‍රියා කලයුතුව ඇත. පටු අරමුණූ දිනාගැනීම පිණිස තවත් අවාසනාවන්ත තැනකට රට යොමු නොකොට මේ නිදහස අර්ථවත් කරන පියවරකට රටේ දේශපාලඥයන් හා බලධාරී කටයුතු කලයුතුව ඇත. විශේෂයෙන් ආගමික නායකයන් හා එහි නියමුවන් අන්තවාදී තැනකට සමාජය දියත් නොකොට ශුද්ධ වූ දහම තුල කටයුතු කරන විනය ගරුක සමාජයක් කරා මෙහෙයවීමට පෙරමුණ ගතයුතුව ඇත. මේ සියල්ල සදහා මේ 65 වන නිදහස් දිනය හොද ආරම්භයක් උදාකරත්වා!, යනුවෙන් ප්‍රාර්ථනා කරමින් මේ ලිපියට විරාමය තබමි.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 5 යි.

  1. Allah & Akbar 2013-02-08 at 14:14

    “දිනය වර්ෂ 2003 ජනවාරි 29 වැනිදා ය. අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් බහුතර ප්‍රදේශයන් කොළ පැහැති ඉස්ලාමීය ධජ පතාක වලින් වැසී තිබිණි. උදේ 9.00 ට පාලමුනේ හා අට්ටපලම් වලින් පෙළපාලි දෙකක් ඇරඹිණ. උදේ 10.30 වන විට එකී පෙළපාලි දෙක ඔලුවිල් හී අග්නිදිග විශ්ව විද්‍යාල භූමියට පැමිණ තිබිණි. ‘අල්ලාහු අක්බර්’ ඉස්ලාමීය ආගමික රණ ගීය (දෙවියන් ශ්‍රේෂ්ඨයි!) පැතිරී යත්දී ඔලුවිල් ප්‍රකාශය එළි දක්වනු ලැබීය. එය මෙසේ විය.

    1. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු සෑම ආකාරයකින් ම අංගසම්පූර්ණ වූ වෙන ම ජාතියකි.

    2. ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර දෙපළාත මුස්ලිම්වරුන්ගේ ඓතිහාසික නිජබිම වේ.

    3. ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර වාසය කරන මුස්ලිම් ජාතියට වෙන ම රාජ්‍යයක්, එනම් ‘මුස්ලිම් තේසම්’ සදහා වූ ස්වයං නිර්ණය පිළිබද අයිතිය ඇත.

    4. උතුරු හා නැගෙනහිර දෙපළාතේ සියළු බහුතර මුස්ලිම් ප්‍රදේශ (ඒවා භූමියෙන් එකට යාවී නොතිබුණ ද) එක් කර මුස්ලිම් තේසම් හෙවත් වෙන ම මුස්ලිම් රාජ්‍ය පාලනයක් ඇති විය යුතුය.

    5. උතුරු හා නැගෙනහිරින් පිටත වෙසෙන මුස්ලිම් වරුන් ද මේ වෙන ම ජාතියට අයත් වන අතර ඔවුන්ගේ ආර්ථික – සමාජයීය – සංස්කෘතිකමය හා දේශපාලන අයිතීන් හා අභිලාෂයන් සහමුලින් ම ආරක්ෂා විය යුතු ය.”

    මේ ඔලුවිල් ප්‍රකාශයේ සංක්ශිප්තයයි.

    • අබූ අර්ශද් 2013-02-08 at 15:07

      මුලින්ම මේ සහෝදරයාගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලීමක් මෙන්ම යෝජනාවක් කරන්නට කැමැත්තෙමි. ඒ ඔබේ නම සදහා ‘අල්ලාහු අක්බර්’ යන නම යොදා ගන්නවා වෙනුවට වෙනත් නමක් යොදාගන්නේ නම් එය යහපත් යන්නයි.
      දැන් ඔබ පවසන කාරණය වෙත අවදානය යොමු කරන්නේ නම්, එහිදී ප්‍රථමයෙන් කිවයුතු කාරණය ඉහත සදහන් කාරණය සක්‍යයක් නම් එය ඉස්ලාම් දහමට විරුද්ධ එමෙන්ම ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ ඉතිහාසය පිලිබදව අනවබෝධය නිසා සිදුකරන අන්තවාදී ක්‍රිවයාවලියක් යන්නයි. එසේම ඔය සහෝදරයාගෙන් ඉල්ලීමක් ද කරන්නට කැමැත්තෙමි. එනම්, ඔබ ඉදිරිපත් කරන කාරණය ඔප්පු කල හැකි කිසියම් සාධකයක් ඔබ සතුව තිබේ නම් එය යහමඟ වෙත ලබාදෙන්නේ නම්, එය අධ්‍යනය කොට එවැනි අන්තවාදී ක්‍රියාවකට කිසියම් මුස්ලීම්වරයෙකු හෝ කණ්ඩායමක් යොමු වී තිබේ නම් ඔවුනගේ අනවබෝධය රටට ම හෙලි කරන්නත්, මේ ක්‍රියාකලාපය ඉස්ලාම් දහමට කොතරම් විරුද්ධ ක්‍රියාවලියක් ද යන්නත් පැහැදිලි කිරීමට යහමඟ සූදානම්,

  2. Roshan 2013-02-03 at 12:14

    අබූ අර්ශද් ඔබගේ ලිපිය කියවීමෙන් සිංහලයෙකු වශයෙන් මා ඉතා උද්දාමයට පත් උනෙමි. ඔබ නිවැරදි ආකාරයෙන් සහ ඇත්ත ඇතිසැටියෙන් දකින දැක්ම අප බොහෝ දෙනා අතරින් වියැකී ගොස් ඇත. කණගාටුවට කරුණ වන්නේ මුස්ලිම් සහෝදරයෙකු ලෙස ඔබගේ දැක්ම අනෙකුත් බහුතර මුස්ලිම්වරුන්ගෙන් ම නොදැකීමයි. මක් නිසාද යත් සාමාන්‍ය කරුණකදී පවා යම් ආකාරයක නුරුස්නා බවකින් සහ මෙහිලා විස්තර කිරීමට අපහසු යම් කිසි ද්වේශයකින් මුස්ලිම්වරුන් කටයුතු කරන බවක් සහ, අවසානයේ යම් ජාතිවාදී ස්වරුපයක් එහිලා අනෙකුත් ජාතීන්ට පෙනෙන්නට තිබීමය. වැදගත් කරුණ වන්නේ අගනුවර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ වලදී දක්නට ලැබෙන ඉතා කුළුපග මිත්‍රශීලි මුස්ලිම්වරුන් ලංකාවේ අනෙකුත් ප්‍රදේශ තුල දක්නට නොලැබීමය. මා මෙය ප්‍රකාශ කරනුයේ ඉතා වගකීමෙන් වන අතර, මගේ රැකියාවේ ස්වරුපය අනුව මා ලංකාවේ විවිධ ප්‍රදේශයන්ට නිතරම ගමන් කරන්නෙක්මි, (විශේෂයෙන් නැගෙනහිර පළාත තුළ) පසුගිය අවුරුදු 5ක් තුල විශේෂයෙන් සමන්තුරේ, කල්මුණේ , කාත්තන්කුඩි , ආදී ප්‍රදේශයන්හි මුස්ලිම්වරුන්ගේ දැඩි වෙනස් වීමක් මා හොදින්ම අත් විද ඇත්තෙමි. මීට අමතරව අකුරණ , මාවනැල්ල , බේරුවල, යටියන්තොට , තිහාරිය , සහ ඌව පළාතේ සමහර ප්‍රදේශ තුල ඉහත තත්වයම නොමැති වුවත් යම් ආකාරයක වෙනස් වීමක් මා නිරීක්ෂණය කොට ඇත්තෙමි. මගේ හැගීම නම් අද දවසේ මුස්ලිම්වරුන්ට එරෙහිව යම් නැගිටීමක් දක්නට ලැබීමට මෙවැනි කරුණු ද ඉවහල් වන්නට ඇත. අබූ අර්ශද් ඔබද අගනුවර වාසය කරන්නෙකු වශයෙන් මා සිතමි. මා ඉහත කී ප්‍රදේශ වල මුස්ලිම්වරුන් ඔබට හමුවී ඇත්නම් හෝ ඔබ එම ප්‍රදේශයන්ගේ සංචාරය කොට ඇත්තෙක් නම් යම් ආකාරයකින් ම සමග එකග වනු නිසැකය. එමෙන්ම මා යටතේ සේවය කරන මුස්ලිම්වරුන්ටද සිකුරාදා දිනයේ රාජකාරි අවශ්‍ය පරිදි වෙනස් කරගැනීමට මා කිසිදු කොන්දේසියකින් තොරව ඉඩ දී ඇත්තෙමි, නමුත් ඔවුන්ගෙන් විශාල ප්‍රතිශතයක් එම අවස්ථාවද ප්‍රයෝජනයට ගෙන මුස්ලීම් දේවස්ථාන කරා නොයන බව මා හොදින් දන්නා කරුණකි, මෙවැනි කරුණු නිසා සහ තවත් ප්‍රකාශ නොකරන ලද බොහෝ කරුණු නිසා ද ඉදිරි තරුණ මුස්ලිම් ප්‍රජාව කෙසේ නිවැරදි මුස්ලිම්වරයෙකු ලෙස සමාජයේ පෙනී සිටී දැයි මා හට ඇත්තේ පැනයකි. ඔබ ලිපියේ හරයට එපිට ගොස් මා සමහර දේ පැවසුයේ සාමකාමී මුස්ලිම් සහෝදරත්වයක් මාද ඉතසිතින් අපේක්ෂා කරන්නෙකු බැවිනි. සුබ පැතුම් ඔබට..

    • අබූ අර්ශද් 2013-02-03 at 15:14

      ඔබේ අදහස් දැක්වීම මා ඉතා ගරු කරන අතර, ඔබ පවසන බොහෝ කරුණූ සම්බන්ධයෙන් මට ද ඇත්තේ දැඩි කල කිරීමකි. මේ හේතුව නිසා තමා මෙම ලිපියේ අවසාන කොටස මුස්ලිම් සමාජයේ දැඩි අවධානයට බොහෝ කරුණු ගෙන ආවේ. කෙසේ වෙතත් ඔබගේ මේ කරුණූ දැක්වීම සමස්ථ මුස්ලීම් සමාජයේ දැඩි අවධානයට යොමු වේවා!, යනුවෙන් ප්‍රාර්ථනා කරමි.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *