ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාව හා ජාතිවාදී සංවිධාන

0

ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවගේ පසුබෑමට හා පරිහානියට බලපා තිබෙන සාධක අතර මෑත කාලීන ප්‍රධාන සාධකයක් වන්නේ ශ්‍රී ලාංකීය සමාජය තුල නිර්මාණය වෙමින් පවතින ජාතිවාදී සංවිධාන ක්‍රියාකාරකම්ය. මොවුන් ඉතා සූක්ෂම ආකාරයට සමාජය තුල ක්‍රියාත්මක වන අතර රටේ බහුතරය වන සිංහල ජාතිය හා බෞද්ධ දහම මොවුන් නියෝජනය කරන බව සමාජයට හේතු ගන්වමින් සමාජයේ බහුතර කැමැත්ත දිනාගෙන සිටී. එසේ බහුතර කැමැත්ත දිනාගෙන සිටින මොවුන් රටේ සුළුතරය ජාතිවාදීන් හා බෞද්ධ විරෝධීන් යන්න මතයක් සමාජය තුල නිර්මාණය කරමින් ඔවුන් (රටේ බහුතරය) රටේ සුඑතරයට එරෙහිව කුමණ්ත්‍රනකාරීව මෙහෙයවීමටත් කටයුතු කරමින් සිටී. ඔවුන් ඒ සදහා ලාංකීය බහුතර ජාතීන්ට ආකර්ශණීය හා ඔවුන් ප්‍රකෝප කරවන විවිධ තේමා පාඨයන් ද සමාජය හමුවේ යොදාගනී. එනම් බුදුන්ගේ දේශය, සිංහලයාගේ රට, බෞද්ධ රාජ්‍ය, මුලධර්මවාදීන්, බෞද්ධ විරෝධින්, බෞද්ධ සිද්ධස්ථාන ආක්‍රමණය, බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම, අන්‍යාගමීකරණය… යනාදීය ඉන් කිහිපයක් පමණි. මෙවැනි තේමා පාඨයන් මුල් කරගෙන සිදුකල විවිධ පුවත්පත් සාකච්චා, මාධ්‍ය ප්‍රකාශන රෑපවාහිණී වැඩසටහන් ශ්‍රී ලාංකීය සුඑ ජාතීන් වන අපට අලුත් දෙයක් නොවේ. මේවා තුල සිදුවන්නේ ලාංකීය සුඑ ජාතීන් හා මහා ජාතීන් අතර වෛරයක් හා නොසතුටක් දිනෙන් දින නිර්මාණය වීම පමණි. මෙහි භයානකම තත්වය වන්නේ මෙය දේශපාලන වේදිකාවල ද ප්‍රධාන තේමාපාඨයන් බවට පත්ව තිබීමයි. රටේ මහා ජාතිය දිනාගැනීම දේශපාලඥයින්ට තිබෙන ප්‍රබල අභියෝගයක්. එම අභියෝග හමුවේ සුළු ජාතීන් හා ආගම් ඉහත අවාසනාවන්ත ඉරණමට ගොදුරුවීම ශ්‍රී ලාංකීය සමාජය තුල සාමාන්‍ය තත්වයක් බවට පත්ව ඇත. එහි භයානකම තත්වය අප පසුගිය මැතිවර්ණ ප්‍රථිපල සමාලෝචනයක දී දුටුවෙමු. එහි දී මැතිවර්ණ ප්‍රථිපල සමාලෝචනයට ලක්කලේ ජාතිය හා ආගම පදනම් කරගෙනය. මෙය ලොව කිසිදු රටක දක්නට නොමැති ඉතාම අවාසනාවන්ත තත්වයකි. මෙම තත්වය අප රට තුල කොතරම් දුරට මුල්බැස තිබෙනවාද යන්න පවසනවා අද වන විට අප රටේ සුළු ජාතීන් හා ආගම් රටේ මහා ජාතීන්ගේ කෙලි භාණ්ඩයක් බවට පත්ව ඇත. ඉහත අන්තවාදී පිරිස ඔවුන්ගේ සෑම කටයුත්තකරම රටේ සුඑ ජාතීන් හා ආගමිකයන් අපහසය‍ට හා අපහසුවට ලක්කිරීම සර්වසාධාර්ණ පිලිවෙතක් බවට පත්වඇත. එය කොතරම්ද යයි පවසනවා නම් වර්ථමානයේ සිදුකරන කලා නිර්මාණවල පවා මෙවැනි දෑ පදනම් කරගෙන සිදුකරන නිර්මාණ ජනප්‍රිය කලා නිර්මාණයන් බවට පත්වන තැනට අද ලාංකීය සමාජය යොමු වී ඇත.

සැබෑ කලාකරැවකුගේ වගකීම ආදර්ශමත් නිර්මාණයන් සමාජයට දායදකරනවා මිස ජාතීන් හා ආගම් අතර මතභේද හා ගැටුම් ඇති කිරීම නොවේ. ජාතියේ සමගියට ප්‍රබල දායකත්වයක් සපයාදිය හැකි පිරිසක් තමා කලාකරුවන්. නමුත් ඔහුගේ අතින් එම “ජාතියේ සමගිය” විනාශ වේ නම් එය ජාතියේ අවාසනාවක් මිස අන්කිසිවක් නොවේ. මා මේ පවසන තත්වය තහවුරු කිරීමට නිදසුන් ලෙස චිත්‍රපට, නාට්‍ය, වෙළද දැන්වීම්, ගීත, චිත්‍ර… යන ඕනෑම ‍ක්ෂේත්‍රයකින් කරුණූ ඉදිරිපත් කල හැක. සමීපතම උදාහර්ණය ලෙස වර්ථමානයේ ජනප්‍රිය ගීතයක් (එක්තරා රූපවාහිණි නාලිකාවක හොදම ගීත 10 අතර මෙයද එකක් – මෙය ඉහත සදහන් “ශාන් හසීම්ගේ” ගීතය නොවේ මෙය වෙන ගීතයක්) ගැන සදහන් කල හැක. එහි කියවෙන්නේ මුස්ලීම් කාන්තාවක් හා මුස්ලීම්නොවන තරුණයෙකු අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතාවයයි. එහි දී රූප රාමුවලින් පෙන්වන්නේ මුස්ලීම් කාන්තාවට තම පියා වදහිංසා කරන ආකාරයයි අවසානයේ ඇය පර්දාව (හිස්වැස්ම) ගලවා විසිකර එම තරුණයා සමග ‍පැනයයි. මෙහි අපට ඇති ප්‍රශ්නය මෙම කලා නිර්මාණයෙන් සමාජයට දෙන පණිවුඩය කුමක්ද? මේ පදනමේ හිද හෙට දවසේ කිසිවකු ස්වාමින් වහන්සේ නමක් තම සිව්රගලවා විසි කර අන්‍ය ආගමික කාන්තාවක් සමග පැනයන රෑපරාමු සහිත ගීතයක් ලාංකීය සමාජයේ නිර්මාණය කලේ නම් එය ජනප්‍රිය ගීයක බවට පත්කිරීමටත් එය රසවිදීමටත් නිහතමානිව පිලිගැනීමටත් බෞද්ධ සමාජය සූදානම්ද? මේ ආකාරයට ඉස්ලාමීය සංස්කෘතියට එරෙහිව ලාංකීය සමාජයේ කොතරම් ගීත සංඛ්‍යාවක් නම් නිර්මාණය වී තිබෙනවාද? ජාතියක එකමුතුව බිහිවන්නේ තවත් ජන සමාජයක සංස්කෘතීන් විනාශ කිරීම තුලින් නොව ඒවා ගරු කිරීම තුලිනි. බෞද්ධ සංස්කෘතිය ඉස්ලාම් හා හින්දු භක්තිකයන්ද, ඉස්ලාමීය සංස්කෘතිය බෞද්ධ හා හින්දූ භක්තිකයන්ද ඒ ආකාරයටම හින්දූ සංස්කෘතිය බෞද්ධ හා ඉස්ලාම් භක්තිකයන්ද ගරු කරන්නේ නම් නියත වශයෙන්ම ජාතියේ සමගියට ඒ එක් ක්‍රියාව හොදටම ප්‍රමාණවත් වනු ඇත. නමුත් සිදුවන්නේ, සමහරක් බෞද්ධයන් සිතන්නේ බෞද්ධ සංස්කෘතිය සියඑ දෙනා පිලිගත යුතු බවයි. එය කිසිදු දවසක ප්‍රායෝගික නොවන කාරණයක් පමණක් නොව එය තුලින් ද සිදුවන්නේ ජාතීන් අතර විරසකයන් නිර්මාණය වීම පමණී. පසුගිය හින්දු සිංහල අඑත් අවුරුදු පෙරදැරි කරගෙන එක්තරා සිංහල බ්ලොග් අඩවිය ජාතියේ සමගිය පිලබිඹු කිරීමට ඡායා රූපයක් ඉදිරිපත් කර තිබුණි.

නව වසරේ සුබ පැතුම්

මෙය ඉස්ලාමීය සංස්කෘතිය සහමුලින්ම විකෘති කල ඡායා රූපයකි. ලාංකීය සමාජය හොදින් දන්නා කරනයක් තමා ඉස්ලාමීය කාන්තා ඇදුමෙහි ස්වභාවය. එය ලාංකීය සමාජයේ අනිකුත් කාන්තා ඇදුමන්ට සාපේක්ෂව ශරීරයේ වැඩි ප්‍රමාණයක් වැසෙන සේ අදින ඇදුමකි. (මෙය ඉහත ගීතයෙන් ඔවුන් තහවුරු කරයි) නමුත් ඉහත රෑපය හොදින් නිරීක්ෂනය කරන්න. මෙවැනි ක්‍රියාවන් තුලින් ජාතියේ සමගියක් අපේක්ෂා කරන්නේ නම් එය සම්බන්ධයෙන් පවසන්නට ඇත්තේ මෙය අන්තාවාදී හෝ මානසික විකෘති තත්වයක් යන්න පමණක් නොවේද?. මෙම තත්වය පිලිබදව රටේ ජනාධිපති තුමාගේ විශේෂ අවධානයක් යොමු වියයුතුය. මන්ද “මේ රටේ සුළු ජාතීන් කියා පිරිසක් නැහැ” යන්න එතුමාගේ ප්‍රකාශයයි. නමුත් වෙන කවරදාකටත් වඩා ජාතීවාදී හා ආගම්වාදී ක්‍රියාකාරකම් මේ වකවානුවේ හිස ඔසවා තිබීම අනිවාර්යයෙන්ම එතුමා අවධානයට ගතයුතු කාරණයකි. එපමණක් නොව ඒ ඒ ‍ක්ෂේත්‍රය නියෝජනය කරන සෑම වගකිව යුතු පිරිසකගේම අවධානය යොමු වියයුතු කාරණයකි.

එපමණක් නොවේ මෑත කාලයක පටන් රටේ සුඑ ජාතීන්ගේ ආගමික විශ්වාසයන්ට එරෙහිව මහා ජාතීන් කරන සෘජු මැදිහත්වීමන් නිරන්තරයෙන් දක්නට ලැබේ. විශේෂයෙන් රටේ ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන ආගමික නිදහස අහිමි කරන ආකාරයට ක්‍රියාකරන පිරිස් නිරන්තරයෙන් දක්නට ලැබේ. නිදසුනක් ලෙස මුස්ලීම් ජනතාවගේ ඉස්ලාමීය කාන්තා ඇදුම් සදහා ද විවිධ විවේචනයන් හා පාසැල්වල විවිධ තහංචි දැමීම් සදහන් කලහැක. අද ලාංකීය පාසැල් නිල ඇදුම සැලකූවිට එය පාසලෙන් පාසලට යම් යම් වෙනස් කිරීමන් සිදුකොට භාවිතා කිරීම අපට දක්නට ඇත. නමුත් “මුස්ලීම් දරුවන් සදහා කිසිසේත් ඉස්ලාම් අවධාරනය කරන ඇදුම ඇදීමට අවසර ලබානොදිය යුතුයි” යන කාරණයේ සමස්ථ පාසැල් පද්ධතියම අත්වැල් බැදන් සිටි. ඒ ඔවුනට රාජ්‍ය චක්‍රලේඛනයක් මගින් රජය එය සදහා අවසර ලබාදී තිබිය දී යන්න කණගාටුදායක තත්වයකි. මෙහි අවාසනාව නම් චක්‍රලේඛනයකට පිටුපා (සමහරක්) පාසැල්වල විදුහල්පතිවරුන් මේ ආකාරයට කටයුතු කරන විට අද‍ාල බලධාරීන් මර නින්දේ පසුවීමයි. මේවා තුලින් එම බලධාරීන් අපේක්ෂා කරන්නේ කුමක්ද? යන කුතුහලය සුළු ජාතීන් වන අපට දිගින් දිගටම පවතී. මේවා තුලින් දිනාගත හැකි එකම දෑ ජාතීන් අතර වෛරය හා නොසතුට පමණි. ඉහත දක්වා ඇත්තේ එක් නිදසුනක් පමණි. මෙවැනි ක්‍රියාදාමයන් බොහෝමයක් ලාංකීය සමාජය තුල දිනපතා සිදුවෙමින් පවතී. මෙම තත්වය වඩාත් හොදින් අවබෝධකර ගැනීමට ලිඛිත සාක්ෂියක් පවසන්නේ නම්, ඉස්ලාම් දහම දැඩි ලෙස විවේචනය කරමින් ලාංකීය සමාජය තුල සිංහල භාෂාවින් ලියවුණු විශාල සංඛ්‍යාවක් පොත් ප්‍රකාශනයන් සදහන් කලහැක. මෙම පොත්වල කතෘවරුන් අතුරින් සමහරක් ලාංකීය සමාජයේ ප්‍රබල ජාතිවාදී හා ආගම්වාදී දේශපාලන පක්ෂවල ප්‍රධාන චරිතවීම තුල ඔවුන්ගේ අරමුණු වඩාත් හොදින් පැහැදිලි වේ. මෙවැනි ක්‍රියාදාමයන් තුලින් සුළු ජාතීන් විශේෂයෙන් මුස්ලීම් ප්‍රජාව මහා ජාතීන් කෙරෙහි නොසතුටෙන් හා කලකීරීමෙන් කටයුතු කිරීම කිසිවකුටත් නොවැලැක්විය හැකි කාරණයකි. එසේම ඔවුන් රට තුල හුදෙකලාවීම ද නොවැලැක්විය හැකි කාරණයකි. එම මානසිතක්වය අවබෝධකර ගැනීමට ඉහතින් මා සදහන් කල පසුගිය ඡන්ද ප්‍රථිපල සමාලෝචනයේ දී ද රටේ විද්වතුන් යයි පවසා ගන්නා පිරිස් සිදුකල ක්‍රියාව එනම් මහා ජාතිය ජයග්‍රාහී පිලට එක්කොට රටේ සුඑ ජාතීන් ඊලාම් සිතියමක් යටතට එක් කිරීම සදහන් කලහැක. විශේෂයෙන් කොටි ත්‍රස්ථවාදයෙන් දැඩි ලෙස බැටකෑ යාපනයෙන් පැය කිහිපයකින් ඇදිවතින් පමණක් උපන්බිම අතහැර පැමිණී 10000 කටත් අධික මුස්ලීම් ජනතාව අදටත් ජීවත්වන්නේ අනාත කදවුරැවල. ඔවුන්ගේ ඡන්දය ලබාගෙන ඔවුන් ඊලාම් සිතියමක කොටු කිරීම බුද්ධිමත් ක්‍රියාවක්ද? මිලෙඡ්ච අන්තවාදී ක්‍රියාවක්ද? යන්න සමාන්‍ය බුද්ධියක් ඇති කිසිවකුටත් අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. මෙවැනි තත්වයන් ශ්‍රී ලාංකීය සුඑ ජාතීන්වන අපට ජාතිමාමක හා දේශමාමක නමින් ජාතීවාදීන් (මහා ජාතීන්) උදාකරදී තිබෙන ඉතා අවාසනාවන්ත ඉරණමයන්ය.

ඔවුන්ගේ මෙම සමූහික ක්‍රියාදාමය තුල එක් කාරණයක් පැහැදිලිය එනම්, ඔවුන්ගේ එකම අරමුණ රටේ සුඑ ජතීන් සමාජය තුල හුදෙකලා කොට ඔවුන් සමාජීය හැගීමක් නොමැති ප්‍රජාවක් ලෙස බොඩ්ලෑලි ගැසීම පමණි. ඔවුන්ගේ එම අපේක්ෂාව සම්බන්ධයෙන් පවසන්නට ඇත්තේ “මෙය දේශමාමකත්වයක් හෝ ජාතිමාමකත්වයක් නොව එය පැහැදිලිවම මිලෙච්ඡ ක්‍රියාවක් යන්න බුද්ධීමත් සමාජය අවබෝධ කරගත යුතුයි” යන්න පමණි. ශ්‍රී ලාංකීය (සිංහල, මුස්ලීම් හා ද්‍රවිඩ) මහා ජාතීන් හා සුඑ ජාතීන් අතර තිබූ සමගිය එකමුතුව හා දේශමාමකත්වය පිලිඹිබුකරන දීර්ඝ ඉතිහාසයක් අපට ඇත. නමුත් ඒවා සියල්ල සූක්ෂම ලෙස යටපත් කර හා බිදදමා ජාතිවාදී බීජය සමාජය තුල වපුරමින් ජාතීන් අතර විරසකයක් නිර්මාණය කොට‍ ඇත. අද වනවිට මෙවැනි ජාතිවාදී සංවිධානවලට ආවඩන පිරිස් ද සමාජය තුල සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පැවතීම අවාසනාවන්ත මෙන්ම බලධාරීන්ගේ දැඩි අවධානයට ලක්විය යුතු කාලීනව තත්වයකි.

අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ දැන හෝ නොදැන, එසේම සමාජය විසින් නිර්මාණය කරදුන් තත්වය මත ජාතිවාදී පිරිසගේ සූක්ෂම කුමණ්තුණයට හසුවී අද වනවිට මුස්ලීම් ප්‍රජාව තම දේශයට, සමස්ථ ජාතියට හා සමාජයට ඉටුවිය යුතු වගකීම්වලින් කිසියම් ප්‍රමාණයකින් දුරස්ව සිටිනවා යන්න සැබෑවකි. ඔවුනට පවසන්නට ඇත්තේ මෙය ඉස්ලාම් දැඩි ලෙස හෙලාදකින වැරදි ක්‍රියා පිලිවෙතක් යන්න පමණි. සමාජය කුමණ ආකාරයට ක්‍රියාකලත් සමාජ වගකීමන්ගෙන් බැහැරව ජීවත්වීමට මුස්ලීම්වරයෙකුට අයිතියක් නැත. මෙය ඉස්ලාම් දැඩිව අවධාරනය කරන කාරණයකි. එසේම තවදුරටත් ඉහතින් සදහන් කල ජාතිවාදී කුමණ්ත්‍රනකාරී පිරිසගේ කුමණ්ත්‍රනවලට හසුනොවී, එසේම පටු අරමුණුවල කොටු නොවී. බුද්ධිමත් ලෙස හා ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශයන් අනුකූලව ජීවිතය සකසාගෙන කටයුතු කිරීමට මුස්ලීම් ප්‍රජාව බුද්ධිත් විය යුතුය.

එසේම සමස්ථ ශ්‍රී ලාංකීය සමාජයෙන් ද කලයුතු ආයාචනයක් ඇත. අප ද මේ ශ්‍රී ලංකාව මව්බිම කරගත් තවත් මනුෂ්‍ය කොට්ඨාශයක් එසේම ලොව උතුම් දහමකට උරුම කම් කියන අප ජාතී ද්‍රෝහීන් හෝ ආගම් විරෝධීන් නොවේ. අපට දිව්‍යමය ආදර්ශයන් හා ලාංකීය සමාජය තුල නොමැකෙන සලකුණු කල සුන්දර අතීතයක් ඇත. එසේ නම් පටු අරමුණුවලින් මිදී සුන්දර වූ හෙටක් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස පියනගන්නට අපටත් අවසරයක් අයිතියක් ඇත. ඒ එකම ශ්‍රී ලාංකිකයන් ලෙස මිස විවිධ කොටස්වලට බෙදීගිය ජාතියක් ලෙස නොවන බව පවසමින් මෙම ලිපිය අවසන් කරමි.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *