ශුද්ධ වූ ග‍්‍රන්ථ හා එහි වලංගුභාවය

4

මනුෂ්‍යා අතීතයේ පටන් සාමූහිකත්වය පි‍්‍රය කළත් ඔවුන්ගේ අදහස් උදහස් සිතුම් පැතුම් දැනුම මිනුම විවිධ වූ නිසා ඔවුන් අතර විවිධ වූ මතවාදයන් හා මත ගැටළු නිර්මාණය වන්නට විය. මේ නිසා ඔවුන් සඳහා නීතියක, මාර්ගයක හා මගපෙන්වීමක අවශ්‍යතාවය ද සමාජය තුල ඇති විය. ඒ අනුව විවිධ විශ්වාසයන් හා මතවාදයන් පදනම් කරගත් සමාජ සම්ප‍්‍රදායන්, දේව නියෝගයන්, මිත්‍යාමතයන්, මන:කල්පිතයන්, දාර්ශණීකයන්ගේ දර්ශණයන්, රජවරුන්ගේ රාජ නියෝගයන් පසුකාලීනව දේශපාලඥයන්ගේ දේශපාලන තීන්දු තීරණයන්… යනාදී වශයෙන් විවිධ වූ ක්‍රියාවලීන් ඔවුන් සදහා ක්‍රියාත්මක විය. මේ ආකාරයට කලින් කලට ඉදිරිපත් වූ විවිධ මාර්ග හා මගපෙන්වීම් අතීතයේ සිටම මිනිස් සමාජය තුල දක්නට විය. නමුත් ලෝක දියුණුවත් මිනිසාගේ බුද්ධියේ අසීමිත වර්ධනයත් සමඟ මේවා පිලිබදව සමාජය බුද්ධිමත්ව සිතන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ සමාජය තව තවත් විවිධ වූ මතවාදයන් හා මතභේදයන් ඔස්සේ බෙදෙන්නට විය. එපමණක් නොව නිවැරදි මාර්ගය සොයා ගැනීමේ සංකීර්ණ වු කර්තව්‍යයකට ඔවුනට මුහුණ දීමට සිදුවිය.

මෙවන් වූ අවස්ථාවේ ඒ මෙහෙවර තම උරට ගෙන ජනතාවට නිවරුදි මාර්ගය පෙන්වා දීමට ක්‍රියා කළ මාර්ගෝපදේශනයන්, මගපෙන්වන්නන්ද විවිධ කාලවල සමාජය තුල දක්නට විය. උදාහරණයක් ලෙස මෝසස් තුමා, කන්ෆියුසස් තුමා, ඇරිස්ටෝටල් තුමා, ගෞතම බුදුන්, ජීසස් තුමා සහ මුහම්මද් තුමා… යනාදී පිරිස මෙහි සඳහන් කල හැක. ජනතාවට යහමඟ පෙන්වීමට මෙලෙස ඉදිරිපත් වූ සියලුම මඟ පෙන්වන්නන් ජනතාව එකම මාර්ගයක මෙහෙයවනවා වෙනුවට ක‍ලේ විවිධ වූ මාර්ගයන් හි ජනතාව මෙහෙයවීමයි. මෙසේ විවිධ මාර්ගයන් ඔස්සේ ජනතාව ඒ ඒ ශාස්ත‍්‍රවරුන් මෙහෙයවද්දී  එම උපදේශයන් දෙස බුද්ධිමත්ව බැලු සමාජයට මෙම තත්වයන් තව තවත් සංකීර්ණ වන්නට විය. අවසානයේ ජනතාව සත්‍ය මාර්ගය, නිවරුදි මාර්ගය සොයාගැනීම සදහා ඉහත සංකීර්ණ ක්‍රමයන්ගෙන් බැහැරව කෙටි ක‍්‍රම අනුගමනය කරන්නට විය. එවැනි ප්‍රධාන කිහිපයක් මෙහි පවසන්නේ නම්,

  • බහුතරය අනුගමනය කිරීම
  • සම්ප්‍රදාය (පැරණ්නන් (තමන්ට පෙර ජීවත් වු පිරිස) ආදර්ශයක් ලෙස ගෙන ඔවුන්) අනුගමනය කිරීම
  • උපතින් උරුම වු මාර්ගය තවදුරටත් අනුගමනය කිරීම

මේ ආකාරයට යම් මාර්ගයක් තෝරාගෙන ඒ තුල කටයුතු කිරීමට මිනිසා තීරණය කළත්, එය අනුගමනය කළත්, ඒ සදහා උත්සාහ කළත් අනිකුත් මාර්ගයන් හා මගපෙන්වීමන් පිළිබඳව කුතුහලයක් දිගින් දිගටම ඔවුන් තුල පැවතුනි. ඒ නූතන බුද්ධිමත් මිනිසා මේ වනවිට සෑම කාරණයක් දෙසම සංසන්ධනාත්මකව හා විචාරශීලීව බැලීමට පුරුදු පුහුණු වී සිටින බැවිණි. මෙසේ ඔවුන් සියල්ල බුද්ධිමත්ව නිරීක්ෂණය කිරීමට පටන් ගත් විට ඒ ඒ ආගමික පුජකවරුන් හා විද්වතුන් ද සංකීර්ණ ගැටළු රාශියකට මුහුණ දෙන්නට විය. තම අනුගාමිකයන් තවදුරටත් තම දහම හෝ දර්ශනය වටා රදවාගැනීම පිණිස විවිධ උපක‍්‍රම පවා ඔවුන්ට යොදන්න හා අනුගමනය කරන්නට සිදුවිය. එයින් ප‍්‍රධානතම එසේම ජනප්‍රිය උපක‍්‍රමය වුයේ,

‘අනිකුත් මාර්ගයන් ද වැරදි නොවන බවත් සෑම මාර්ගයක්ම මිනිසාව මෙහෙයවන්නේ එකම ඉලක්කයක් කරා’

යයි මිනිස් සමාජයට පැවසීමය. නමුත් මේවා අදහස් වශයෙන් අලංකාර වුවත් ප‍්‍රායෝගිකව කිසිසේත් විය නොහැක්කක් යන්න බුද්ධිමත් සමාජයට අවබෝධ කරගැනීමට එතරම් අපහසු කාර්යයක් නොවිය. මන්ද සමාජගතව පවතින දහමන් හා දර්ශනයන් හි පැවසෙන මුලික කරුණු පවා එකින් එකට පරස්පරය. එසේ තිබිය දී මේවා සියල්ල එකයි යන තර්කය පදනම් විරහිත කාරණයක් යන්න ඔවුනට මනාව අවබෝධ වුනි. එහි ප්‍රතිඵලයක් ලෙස නූතන මිනිසා හමුවේ ආගමික මතවාද අභියෝගයන්ට පවා ලක් වන්නට විය. ඒ ‘මෙවන් සමාජ පසුබිමක නිවරුදි මාර්ගය සොයාගන්නේ කෙසේ ද?’ යන්න සම්බන්ධයෙනි.

ඒ අනුව මෙවන් ව්‍යාකූල පසුබිමක මෙම කාරණය පිලිබදව බුද්ධිමත් විමසුමක් සිදු කිරීමට යහමඟ අඩවිය ද අදහස් කළෙමු. නිවරුදි මාර්ගයක් එනම්, ආගමක් හෝ දර්ශනයක් නිවරුදි ද යන්න අවබෝධ කරගැනීමට නම් ඊට ප‍්‍රථම පැහැදිලි කරගත යුතු කාරණා මොනවා ද? එනම් තමන් සොයන ඒ නිවැරදි වු දහමට හෝ දර්ශනයට තිබිය යුතු මූලික අවශ්‍යතාවයන් මොනවා ද? යන්න එවැනි කිහිපයකි. ඒ පිළිබඳව මෙතැන් සිට ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ නම්, එහි තිබිය යුතු මූලික අවශ්‍යතා කිහිපයකි. එනම්,

  • සැම කලටම ප්‍රායෝගික බව,
  • පරස්පරතාවයන් ඇති නොවීම,
  • එක් ජන කොට්ටඨාශයකට, ගෝත‍්‍රයකට, ජාතියකට හා රටකට පමණක් සීමා නොවීම,
  • මනුෂ්‍යාගේ සියලූම ආකාරයේ ගැටළු සදහා විසදුම් එහි තිබිය යුතු වීම,
  • මිනිසාට පිළිපැදීමට පහසු විය (අපහසුතාවයන් ඇති නොවිය) යුතු වීම,

ඉහත සදහන් අවශ්‍යතාවයන්ගෙන් සපිරුණු සියලුම දුර්වලතාවයන්ගෙන් සුවිශූද්ධ වු මාර්ගයයි මනුෂ්‍යා හට සැම කළටම ප‍්‍රායෝගික දහමක්, ජීවන මාර්ගයක් විය හැක්කේ. දැන් මීළඟට මෙහි මතුවන ගැටළුව වන්නේ,

  • එවැනි මාර්ගයක් ලොව තිබෙනවා ද?,
  • තිබේ නම්, එවැනි මාර්ගයක් නිර්මාණය කිරීමේ හැකියාව ඇත්තේ කාට ද?,

මෙහි දෙවන කාරනය එනම් ‘මෙවන් මාර්ගයක් නිර්මාණය කිරීමේ හැකියාව ඇත්තේ කාට ද?’ යන කාරණය වෙත ප්‍රථමයෙන් අවධානය යොමු කලේ නම්,

මෙහි ආරම්භයේම පැහැදිලිව කිව හැකි සත්‍යය වන්නේ මෙවන් බුද්ධියක් මනුෂ්‍යාට නම් නොමැත යන්නයි. (එය මෙම ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට හොදින් අවබෝධ වනු ඇත.) එවන් වු මනුෂ්‍යාහට මෙම මාර්ගය සකස් කිරීමේ කාර්යය පැවරු‍ණේ නම් එහි ඔහුගේ ස්වයං තීරණ ක‍්‍රියාවට නැංවෙනු ඇත. එය බොහෝ විට තම රට, තම ජාතිය, තම භාෂාව, තම කූලය, තම ආගම හා තමාගේ පවුල… මේ ආකාරයට තමාට අවශ්‍ය ආකාරයට එය සැකසෙනවා මිස සියල්ලටම හා සැම කලටම පොදු වූ මාර්ගයක් කිසිසේත් නිර්මාණය නොවෙනු ඇත. යම්තාක් දුරකට නිවරුදි ලෙස නිර්මාණයක් සිදුකළ ද එම නිර්මාණය කාලයත් සමඟ බොහෝ අර්බුදකාරී තත්වයන්ට මැදි වනවා නියතය. මෙය කලින් කලට අප සමාජය තුල අප ප‍්‍රායෝගික ව අත් විදින කාරණයකි. විවිධ කාලවල සමාජගත වූ දර්ශණයන් හා එහි දාර්ශනිකයින් කාලයත් සමඟ ප‍්‍රතික්‍ෂේප වී යාම අප නිරන්තරයෙන් දකින කාරණයකි. උදාහරණය ලෙස කන්ෆියුසස්, කාල්මාක්ස්, ලෙනින් වාදයන් ගෙන හැර දැක්විය හැක. මෙම වාදයන් එක්තරා කාල වකවානුවක පොළොව මත විශාල වු විප්ලවයන් ඇති කිරීමටත්, ජනයාගේ සිත් දිනා ගැනීමටත් සමත් විය. නමුත් අද වන විට මෙම වාදයන් ජනයා අතර විහිඑවක් බවට පත් වී ඇත. එයට හිටපු රුසියානු ජනාධිපති ගොර්බචොක් මහතා වරක් පැවසූ ප්‍රකාශය හොදම නිදසුනකි. එනම්,

‘මාර්ක්ස් වාදය අලංකාර වු දර්ශණයක්, නමුත් මන:කල්පිතයක්’

මෙම ඉරණම අත්වූයේ තනි පුද්ගල චින්තන මත ගොඩනැගුණු මතයන් සදහා පමණක් නොවේ. කණ්ඩායම් ක‍්‍රියාවලීන් තුලින් නිර්මාණය වු මතවාදයන් හා මාර්ගයන් සදහා ද අත්වූයේ එවැනිම ඉරණමකි. ඊට හොදම උදාහරණයක් ලෙස අප රටේ ම ව්‍යවස්ථාව ගෙනහැර දැක්විය හැක. මේ වනවිට 18 වරක් ම එය සංශෝධනය වී හමාරය. රටේ බුද්ධිමතුන්ගේ සාමූහික නිර්මාණයක් වන මෙහි තවදුරටත් සංශෝධනයන් අවශ්‍ය බවට වාද විවාද සිදු වෙමින් පවතී. මේ ආකාරයට මිනිස් චින්තනයන් මත පදනම වු ඕනෑම මාර්ගයක්, මගපෙන්වීමක්, මතවාදයක් හෝ දර්ශනයක් කාලයත් සමග අවලංගු වීම හෝ සංශෝධනයට ලක් වීම කිසිසේත් වැළැක්විය නොහැකි කාරණයකි. ඒ අනුව “මනුෂ්‍ය නිර්මාණ සෑම කලටම ප්‍රායෝගිකයි” යන්න ප්‍රායෝගික නොවන කාරණයක් බව පැහැදිලිය.

යම් කිසි මාර්ගයක් හෝ දර්ශනයක් නිවැරැදි ව සැමකලටම ප්‍රායෝගික ලෙස සකස් කිරීමට නම් ඒ සදහා තිබිය යුතු මූලික අවශ්‍යතාවයක් ඇත. එනම්, එම කාරණයට අදාලව අතීතය, වර්තමානය හා අනාගතය පිළිබඳව පුර්ණ අවබෝධය හා දැනුවත් බව ඒ හැකියාව පැහැදිලිව ම මිනිසා හට නැත. එම නිසයි රටක බුද්ධිමතුන්ගේ සාමූහික නිර්මාණය වන ව්‍යවස්ථාව පවා වසර 10 වත් පවතින්නට නොහැකිව කාලයත් සමඟ ප්‍රතික්ෂේප වී යන්නේ. එම හේතුව නිසයි මා ලිපිය ආරම්භයේ පැවසුවේ මනුෂ්‍යා හට මෙය කළ නොහැකි කාර්යයක් බව. එසේ නම් මෙම බුද්ධිය හා ශක්තිය ඇත්තේ කාට ද?

එම හැකියාව ශක්තිය පැහැදිලිව ම ඇත්තේ මා ඉහතින් සදහන් කළා සේ අතීතය, වර්තමානය හා අනාගතය පිළිබඳ ව පුර්ණ ඥානයක් අවබෝධයක් ඇති, කිසියම් කෙනෙකු හට පමණි.

එසේ නම් මීළඟ ගැටළුව…

එවැනි පූර්ණ ඥානයක් ඇති සැලසුම් කරණයක් ලොව පවතිනවාද? යන්නයි.

අද සමාජය දෙස හොදින් නීරීක්ෂණයක් හා අධ්‍යනයක් සිදු කළේ නම්, එවැනි සැලසුම් කරණ කිහිපයක් ජනතාව හමුවේ තිබෙනු දක්නට ලැබේ. උදාහරණයක් ලෙස හින්දු ආගම, යුදෙව් ආගම, ක‍්‍රිස්තියානි ආගම හා ඉස්ලාම් ආගම ගෙන හැර දැක්විය හැක. මීට අමතරව තමන් විසින් ලබා ගත් බව පවසන සුවිශේෂ වු ඥානයක් හා අවබෝධයක් පදනම් කරගෙන ජනතාවට මගපෙන්වූ දාර්ශණිකයින් කිහිප දෙනෙකුද ලොව බිහි වූ අවස්ථා දැකිය හැක. උදාහරණයක් ලෙස ගෞතම බුදුන්, ඕෂෝ සහ මෑත කාලීනව සායිබබා සදහන් කළ හැක. ඉහත සදහන් ආගම් හා දර්ශනවලට අමතරව තවත් බොහෝ ආගම් ලොව තුල දක්නට ඇත. එසේම විවිධ වූ දර්ශනයන් පෙරදැරි කරගෙන බිහි වූ දාර්ශනිකයන්ද විශාල සංඛ්‍යාවක් ලොව තුල දක්නට ඇත.

දැන් මතුවන මීළඟ සංකීර්ණ ගැටලුව වන්නේ මේවා සියල්ල නිවැරදි ද? නොඑසේ නම් මේවා අතුරින් නිවැරදි මාර්ගය සොයා ගන්නේ කෙසේ ද? යන්නයි.

එය තීරණය කිරීම අපහසු කාර්යයක් නොවේ පලමුව කලයුතුව ඇත්තේ මෙම ආගම් හා දර්ශණයන් උගන්වන කරුණු පිලිබදව පුළුල් අධ්‍යනයක් සිදු කර ඒ තුලින් නිවැරදි මාර්ගය තෝරා ගැනීමයි. එසේම මෙවැනි මාර්ග කිහිපයක් පවතින විට ඒවා සංසන්දනාත්මකව බැලිම තුලින් ද නිවරුදි මාර්ගය නිර්ණය කිරීම තවත් පහසු වේ. නමුත් මෙසේ ජනතාව ක්‍රියා කිරීමට නම් ඒ සදහා මෙම ආගම් හෝ දර්ශණයන් ට තිබිය යුතු අනිවාර්ය අවශ්‍යතාවයක් ඇත. ඒ එහි ඉගෙන්වීමන් ආරම්භයේ පටන් ආරක්‍ෂා වී පැවතිම හා ඒවා ජනයාට අධ්‍යනය කිරීමට පහසු ආකාරයට පැවතීමයි. එසේ පැවතුනහොත් පමණි එය අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා ගැනීමටත්, ඒ තුලින් නිවැරදි මාර්ගය තෝරාගැනීමටත් හැකි වන්නේ.

දැන් මතුවන මීළඟ ප‍්‍රශ්නය

මෙම ආගම් හා දර්ශණයන් හි ඉගෙන්වීමන් ආරම්භයේ පටන් ආරක්ෂා වී පවතිනවා ද?

දහමක දර්ශනයක ඉගෙන්වීමන් ආරම්භයේ පටන් ආරක්ෂා වී පවතිනවා ද? යන්න එහි වලංගු අවලංගුභාවයටත් බලපාන ප්‍රබල සාධකයකි. ඒ අනුව මෙය ප්‍රථමයෙන් දැන ගැනීම අත්‍යාවශ්‍ය වේ. එපමණක් නොව එය ආරක්ෂා වී ඇති ආකාරය ද එහි වලංගු අවලංගුභාවයට සෘජුවම බලපාන සාධකයක් වේ. එනම්,

  • ලිඛිත ග්‍රන්ථ ලෙස ද,
  • මුඛ පරම්පරාගතව ද,
  • සමාජ සම්ප්‍රදායන් ලෙස ද,
  • වෙනත් ආකාරයට ද,

අද ලොව පවතින දහමන් හා දර්ශනයන් ඉහත ආකාරයේ විවිධ ක්‍රමයන්ට ආරක්ෂා වී පවතී. විශේෂයෙන් ලොව පහල වු ආගම් හා දර්ශනයන් බොහෝමයක් සදහා ඊට අදාල ලිඛිත ග‍්‍රන්ථයන් අද දක්නට ඇත. සෑම ආගමක් සදහාම ලිඛිත ග‍්‍රන්ථයන් නොමැති අතර එවැනි ලිඛිත ග‍්‍රන්ථයක් නොමැති ආගම් සාම්ප‍්‍රදායික ආගම් (Traditional Religions) යනුවෙනි හදුන්වයි. මේවායේ වතාවත් හා විශ්වාස පාරම්පරිකව උරුමකර දෙන්නේ මුඛ පරම්පරාගතව ය(කට වචනය මාධ්‍යයෙනි). මෙසේ මුඛපරම්පරාගතව පැවත එන දහමන්ට හා දර්ශනයන් පිළිබඳව කතා කිරීම මෙහි නිෂ්ඵල  කාරණයකි. මන්ද ඒවාට පැහැදිලි සාක්ෂි හෝ පදනමක් නැත. මේවා රටින් රටට, ගමින් ගමට, ජන කොට්ඨාෂයෙන් ජන කොට්ඨාෂයට, තම සමාජ සම්ප්‍රදායන් අනුවත් ඒ ඒ පුද්ගලයා අනුවත් වෙනස් වෙමින් ක්‍රියාත්මක වේ. මිත්‍යාවන් හා මනක්කල්පිතයන් වලින් පිරුණු මේවාට පැහැදිලි ස්ථිර පදනමක් නැත. මෙම ලිපිය මගින් අවධානය යොමු කිරීමට අපේක්‍ෂා කරන්නේ ඉහත ආකාරයේ මුඛ පරම්පරාගත හෝ සම්ප්‍රදායක දහමන් හෝ දර්ශණයන් පිලිබදව නොවේ. ලිඛිත ග‍්‍රන්ථ (ලිඛිත මූලාශ්‍රයන්) පදනම් කරගත් ආගම් හා දර්ශනයන් පිළිබඳවයි.

ඕනෑම ආගමක හෝ දර්ශණයක් වලංගුභාවය රදා පවතින්නේ එහි ඉගැන්වෙන කරුණු කොතරම් දුරට,

  • සත්‍ය ද?,
  • නිවරැදි ද?,
  • ප්‍රායෝගික ද?,

යන කාරණා පදනම් කරගෙන ය. එසේම එහි සත්‍ය අසත්‍ය, වැරදි නිවැරදි, ප්‍රායෝගික අප්‍රායෝගික යන කාරණය මැන බැලීමට නම් එම දහම හෝ දර්ශනය ආරම්භයේ පටන් ආරක්‍ෂා වී පැවැතීම ද අත්‍යාවශ්‍ය කාරණයකි. එසේම ඉහතින් සදහන් කළා සේ ආරම්භයේ පටන් එය ලිඛිත ව ආරක්‍ෂාවීම ද එම දහම හෝ දර්ශනයේ වලංගුභාවයට සෘජුවම බලපාන ප‍්‍රධාන සාධකයකි. මන්ද යම්කිසි ඉගෙන්වීමක් ලිඛිතව පවතින විට කවරෙකු විසින් හෝ එහි සංශෝධනයන් (එනම් එක් කිරීමන් හා අඩුවීමන්) සිදු කළහොත් එය තහවුරු කරගැනීම අපහසු නොවේ. එම නිසා ද මෙය ලිඛිත ග්‍රන්ථයක් ලෙස මේවා පැවතීම ඉතා වැදගත් අවශ්‍යතාවයකි.

දැහැමි මිනිසා තම ලෞකික, ලෝකොත්තර දිවිය සකසා ගන්නේ තමන් පිළිපඳින දහම හෝ දර්ශනය මඟින් උගන්වන කරුණු පදනම් කරගෙන ය. ඒ වෙනුවෙන් ඔහු ලෞකිකව විශාල කැපකිරීමන් ද සිදු කරයි. විශේෂයෙන් ලෝකොත්තර දිවියේ සාර්ථකත්වය සඳහා ඔහු කැප කිරීම් රාශියක් සිදු කරයි. මේසා විශාල කැපවීමන් සිදු කරමින් ඔහු එම දහමේ හෝ දර්ශනයේ පවසන වතාවත්, විශ්වාසයන් හා ඉගැන්වීමන් පිළිපදින්නේ දැඩි භක්තියකින් හා විශ්වාසයකින් යුතුව ය. ඔහුගේ විශ්වාසයන් නිෂ්ඵල නොවීමට නම් එම දහම හෝ දර්ශනය පවසන ඉගැන්වීමන් ආරම්භයේ සිට ආරක්‍ෂා වීම කොතරම් වැදගත් සාධකයක්ද යන්න මා අමුතුවෙන් මෙහි පෙන්වාදීමට අවශ්‍ය නොවේ.

දැන් ඇති ප‍්‍රශ්නය එවැනි මාර්ගයක් මඟපෙන්වීමක් ලොව පවතිනවාද? යන්නයි. මෙම ප්‍රශ්නයට දිය හැකි සරල පිලිතුර ‘ඔව්’ යන්නයි. එසේ නම්, එය කුමක්ද? යන ප්‍රශ්නය ඒ සමඟම මතු වේ. මෙය සරලව පිලිතුරු දිය නොහැකි බොහෝ පැහැදිලි කිරීමන් හා සමාජය තුල පවතින අනිකුත් ආගමික හා දාර්ශනික ලිඛිත ප්‍රකාශනයන් හා සංසන්ධනාත්මකව අවධානය යොමු කළ යුතු කාරණයකි. ඒ අනුව මෙම ලිපිය මගින් අවධානය යොමු කිරීමට අපේක්‍ෂා කරන්නේ වර්තමානයේ ලොව පවතින විශේෂයෙන් ශ්‍රී ලාංකීය සමාජයේ පවතින ප‍්‍රධාන ආගම් හා දර්ශනයන් කිහිපයක් පදනම් කරගත් සංසන්ධනාත්මක විමසුමකි. ශ්‍රී ලාංකීය සමාජය සැලකූ විට ලොව ප්‍රධාන ආගම් කිහිපයක් අප සමාජය තුල ද දක්නට ලැබේ. එනම්,

  • බෞද්ධ දහම,
  • ඉස්ලාම් දහම,
  • හින්දු දහම,
  • කිතුණු දහම,

මෙහිදී ඉහත ප්‍රධාන ආගම් 04 අතුරින් ඉස්ලාම් දහමට සාපේක්ෂව අනිකුත් ආගමික මූලාශ්‍රයන් පිලිබදව අවධානය යොමු කිරිම මෙහි ප්‍රධාන අරමුණ වේ. මන්ද අද ශ්‍රී ලාංකාව තුල විවිධ ආකාරයට ප්‍රබල විවේචනයන්ට ගොදුරු වන දහමක් බවට ඉස්ලාම් දහම පත්ව ඇත. මෙම විවේචකයන් අතර බෞද්ධයන් හා කිතුණුවන් ප්‍රධාන තැනක් උසුලයි. එම නිසා විවේචනයකට හෝ සංවාදයකට පදනම් කර ගත යුතු එම දහමේ ඉගෙන්වීමන් හි වලංගුභාවය ප්‍රථමයෙන් අවබෝධ කරගැනීම අත්‍යාවශ්‍ය වේ. ඒ අනුව වර්තමානයේ පවතින දහමන් හා දර්ශනයන් පවසන ලිඛිත ප‍්‍රකාශනයන් හමුවේ ඉස්ලාම් දහම පවසන ශූද්ධ වු ලියවිල්ල වන ‘අල්-කුර්ආනයේ’ වලංගුභාවය කොපමණ ද? යන කාරණය වෙත දැන් අවධානය යොමු කරමු.

අල්-කුර්ආනයේ වලංගුතාවය

මීට වසර 1430 කට පෙර මැද පෙරදිග දේශයේ විවිධ වූ අනාචාරවලින් අරාජිකව පැවතී ජන සමූහයක් මධ්‍යයේ මෙම කුර්ආනය මුහම්මද් නම් වූ මිනිසෙකු විසින් ප්‍රකාශ කරන ලදී. ඔහු විසින් එය ප්‍රකාශයට පත් කලේ එය “අල්ලාහ්” නම් වූ දෙවියන්ගෙන් ලද පණිවුඩයක් බවට පවසමිනි. ඒ අනුව මෙම කුර්ආනය දෙවියන්ගෙන් ලද ශුද්ධ වූ ග්‍රන්ථයක් යන්නත්, මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ් (දෙවියන්)ගේ දූතයා යන්නත් මුස්ලීම්වරුන්ගේ දැඩ් විශ්වාසයයි. ඉස්ලාමීය ඉගෙන්වීම හා මුස්ලීම්වරුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් (දෙවියන්) යනු අසීමිත ශක්තියෙන් හා ඥානයෙන් පිරුණු කෙනෙකි. මේ විශ්වය මවා, එහි අතීත මනුෂ්‍යාගේ පටන් අනාගත සුපිරි මිනිසා දක්වා ඔහුට අවශ්‍ය සියල්ල අලංකාරව පෘථිවිය තුල අන්තර්ගත කොට එහි අලංකාර ස්වරූපයෙන් බුද්ධිමත්ම ජීවියා වන මිනිසා ද මවන ලද්දේ ඔහු විසිනි. එසේ මවන ලද බුද්ධිමත් මිනිසා හට සර්වකාලීන ප්‍රායෝගික මාර්ගයක් කුර්ආනය මඟින් ලබාදෙන ලදී. ඒ සදහා ඔහු බලසම්පන්න බවත්, ඥානවන්ත බවත්, සියල්ල කෙරෙහි පූර්ණ බලධාරියා ඔහු යන්නත් මුස්ලීම්වරුන් වන අපගේ විශ්වාසයයි. එම දෙවියන් විසින් පහල කරන ලද පුස්තකය වන “කුර්ආනය” පිළිබඳව කෙටි හැදින්වීමක් කරන්නේ නම්,

මෙම ලිපියේ දෙවන කොටස ශුද්ධ වූ කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය මෙහි click කොට කියවන්න

 

 

අබූ අර්ෂද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 4 යි.

  1. adeesha jayanath 2014-05-20 at 21:36

    ඔබ ඔවුන්ගේ දෘෂ්ඨියෙන් ‘ඉස්ලාම්’ හි
    ‘ අනාගතයේ එකම ආගමක් පිණිස වු අවශ්‍ය සෑම අංගයක්ම, තොරතුරක්ම ඉස්ලාම් හී ඇත. – W Montegomery Watt’
    ලෙස දක්වා ඇත
    ඉහත සඳහන් විද්වතා ඉස්ලාමය පිලිබඳ පර්යේෂණ කල ප්‍රමුඛ පෙලේ බටහිරයෙක් වෙයි.

    නමුත් ඔබ ඉහත සඳහන් කරන
    “සැමකලටම ප්‍රායෝගික බව
    පරස්පරතාවයන් ඇති නොවීම”
    යන කරුණු කෙරෙහි ඔහු එකඟ නොවේ
    පහත සබැඳියෙන් ඒ බව ඔබට දැනගත හැක
    “http://www.alastairmcintosh.com/articles/2000_watt.htm”

    • අබූ අර්ශද් 2014-05-23 at 01:41

      ‘ඔවුන්ගේ දෘෂ්ඨියෙන් ඉස්ලාම්’ යන්න යටතේ ලෝකයේ විසූ හා වෙසෙන බොහෝ විද්වතුන් ඉස්ලාම් දහම පිලිබදව විවිධ අවස්ථාවල දැරූ අදහස් ඉදිරිපත් කොට ඇත. මෙහි විශේෂයෙන් සදහන් කලයුතු කාරණය වන්නේ මේ යටතේ ඉදිරිපත් කරන කිසිවකු ඉස්ලාම් දහම වැලදගත් හෝ ඉස්ලාම් භක්තිකයන් නොවේ යන්නයි. මේ තුලින් ඔබ වටහා ගතයුතු වැදගත්ම කාරණය කාරණය වන්නේ ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් සම්බන්ධයෙන් ඔවුනට එකඟවිය හැකි කාරණා මෙන්ම එකඟවිය නොහැකි කාරණා ද පවතිනවා යන්නයි. නොඑසේනම් ඔවුන් සියල්ල ඉස්ලාම් භක්තිකයන් වියයුතු නොවේද?.
      ඒ අනුව W. Montegomery Watt විසින් ඉස්ලාම් දහම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් Islam and Christianity Todaty යන කෘතියෙන් ඉහත ආකාරයට ඉදිරිපත් කලවිට ඔබ ඔහුගේ වෙනත් කෘතියකින් ‘සැමකලටම ප්‍රායෝගික බව
      පරස්පරතාවයන් ඇති නොවීම යන කරුණු කෙරෙහි ඔහු එකඟ නොවේ’ යනුවෙන් ඔහුගේ අදහසක් ඉදිරිපත් කරමින් පරස්පරතාවයක් පෙන්නුම් කරන්න උත්සාහ දරයි. නමුත් මුස්ලීම් නොවන ඔහුගේ එම ප්‍රකාශය හා මා ඉහතින් ඉදිරිපත් කල ප්‍රකාශය අතර කිසිදු පරස්පරතාවයක් නැත යන්න මාගේ අදහසයි. ඔබ එය තවදුරටත් හොදින් අවබෝධ කරගැනීම පිණිස හා ඔබගේ දැනගැනීම පිණිස මා ඉහතින් සදහන් කල කෘතියේ ඔහුගේ අදහස් දැක්වීම සම්පූර්ණ ලෙස පහතින් ඉදිරිපත් කරමි.

      • අබූ අර්ශද් 2014-05-23 at 01:47

        ‘සාමාන්‍ය විග්‍රහයට අනුව මම මුස්ලීමෙක් නොවෙමි. නමුත් අල්ලාහ් (God – දෙවි)ට අවනත වුවෙකු වශයෙන් මම ද මුස්ලීම් වෙමි. කුර්ආනයේ හා ඉස්ලාමීය සෙසු විෂයයන්හි දී දිව්‍යමය සත්‍ය රාශියක් අඩංගුව පවත්නා බව මම අදහමි. ඒවායින් මාද සෙසු බටහිර ජාතීන් ද උගත යුතු දේ තවත් අනන්තවත් ඇත. අනාගතයේ එකම ආගමක් පිණිස වු අවශ්‍ය සෑම අංගයක්ම, තොරතුරක්ම ඉස්ලාම් හී අන්තර්ගතව ඇත.’
        W. Montegomery Watt විසින් රචිත – Islam and Christianity Todaty කෘතියෙන්

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *