සංගීතය පිලිබදව ඉස්ලාමීය විමසුමක්

3

සංගීතය හා මිනිසා අතර ඇත්තේ දීර්ඝ කාලීන බැදීමකි. වර්ථමානයේ සංගීතය යයි කියූ පමණින් මනුෂ්‍යාගේ මනසට ගීතය හා වෙනත් වාද්‍ය භාණ්ඩ සිහියට නැගුණද එය එවන් පටුසීමවක් තුල කොටු කලහැකි කාරණයක් නොවේ. අතීතය පටන් දැඩි ජනතා ආකර්ණය දිනාගෙන සිටින මෙම සංගීතය පදනම් කරගෙන ලොව තුල සිදුකරන පරියේෂණ ද අපමණය. ඒවා තුලින් සමාජයට අනාවර්ණය කල නිගමනද අපමණය. මෙම ක්ෂේත්‍රය කොතරම් ජනප්‍රිය තැනකට පත්ව තිබෙනවාද යන්න පවසනවා නම් එය අද වන විට රොගීන් සදහා ප්‍රතිකාර පවා කලහැකි තත්වයට පත්ව ඇති බවට ප්‍රබල ජනතා මතයක් ගොඩනඟාගෙන ඇත. එපමණක් නොවේ අද වනවිට සමහරක් ආගමික වැඩසටහන් පවා සිදුකරනු ලබන්නේ මෙම සංගීතය (බැදි ගී…යනාදිය) පදනම් කරගෙනය. මෙවන් වූ තත්වයක මෙම විෂය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න පිලිබදව ද අවධානය යොමු කිරිම කාලීන අවශ්‍යතාවයකි. එම අවශ්‍යතාවයන් කවදත් නිසි ලෙස හදුනාගන්නා යහමඟ වෙබ් අඩවිය මෙම විෂය පිලිබදව ද වර්ථමාන සමාජය හා සංසන්ධනාත්මක විමසුමක් සිදුකිරීමට අදහස් කරමි.

ඉස්ලාම් දහම යන්න වතාවත්වලට පමණක් සීමා වූ තවත් දහමක් නොවන බව මීට පෙර ද සාකච්චා කොට ඇත. එය තුල කථා කරන්නේ ලෝකොත්තර දිවියට පමණක් පදනම් වූ කරුණු හෝ ලෞකික දිවියට පමණක් පදනම් වූ කරුණු නොවේ. එය ලෞකික මෙන්ම ලෝකොත්තර දිවිය පිලිබදව පුළුල්ව කථා කරන පරිපූර්ණ ජීවන සැලැස්මකි. ඒ තුල සංගීය පිලිබදව කුමක් සදහන් වෙනවාද? යන්න විමසා බලමු. එම ඉස්ලාමීය විග්‍රහය පිලිබද කථා කිරීමට මත්තෙන් වර්ථමාන සමාජය සංගීතය තුලින් දිනාගත් දෑ පිලිබදව කෙටි අවධානයක් යොමු කලේ නම්, අද මුළු ලොවම සංගීතය විසින් වෙලාගෙන ඇත. එය කොතරම්ද යයි පවසනවා නම් සමහරක් මළගෙවල්වලට පවා ඒවාට යයි නිර්මාණය කල සංගීත වාදන ඇත. එය හරියට මත්පැන් මෙන්ය දුකටත්, සතුටටත්, කම්මැලිකමටත්… යනාදී සියල්ලටම භාවිතා කලහැකි තත්වයට පත්ව ඇත. විශේෂයෙන් ප්‍රේමයෙන් පරාජ වූ පිරිසට සංගීතය ආහාරයක් බවට පත්ව ඇත. මේ සියල්ල තුලින් කියාපාන්නේ මෙම ක්ෂේත්‍රයට අප කොතරම් ඇබ්බැහි වී තිබෙනවාද යන්න නොවේද? එය අවබෝධ කරගැනීම සදහා නිදසුනක් මා පවසන්නම්, (මෙහි දිනවකවානු නිවරැදිව සදහන් කිරීමට නොහැකිවීම පිලිබදව සමාව අයද සිටිනවා) මීට වසර 10 කට පමණ පෙර එක්තරා විදේශ ගුවන් විදුලි නිෂ්පාදන සමාගමක් තම නිෂ්පාදනය ලොවට හදුන්වාදීම සදහා යොදාගත් වෙළද දැන්වීම් පෝස්ටරයේ දැක්වුයේ -ස්වාමිණ්වහන්සේලා කිහිප නමක් ගුවන්විදුලියක් ලඟ තබාගෙන එයට සවන්දෙන දර්ශනයකි- මෙම පෝසටරයට එරෙහිව විශාල බෞද්ධ ජනමතයක් බෞද්ධ සමාජයේ එවකට නිර්මාණය විය. එදා එලෙස නැඟීසිටි එම සමාජය අද සිටින්නේ කොතනද? යන්නත් සංගීතය කොතරම් අපව අක්‍රමණය කරලාද යන්න හුවාදැක්වීමට පසුගිය දිනක එක්තරා පුවත්පතක “සංගීතයෙන් මිනිස් සිත් සුවපත් කරන බුද්ධ පුත්‍රයාණෝ” යන මැයෙන් පලවූ ලිපියෙහි සංගීතය තුලින් මිනිස් සිත් සුවපත් කරන බිබිලාදෙණියේ මහානාම යන ස්වාමිණ් වහන්සේගේ නිර්මාණ හොද නිදසුනකි. මා මෙහිදී ස්වාමිණ්වහන්සේලා සංගීතය නිර්මාණය කිරීම හරි යන්න හෝ වැරදි යන්න පැවසීමට උත්සාහ නොකරමි. මා පෙන්වන්නට උත්සාහ දරන්නේ එදා අකැපයි යයි පැවසූ සංගීතය අද කැප වුණේ කෙසේද? යන්න පමණි. මෙම සංගීතයේ ඇති සුවිශේෂි හැකියාව තමා යථාර්ථයෙන් අපව දුරස්කිරීම. මෙම සංගීතය අපව කොතරම් මත්කරවනවාද? යථාර්තයෙන් අප දුරස්කරනවාද? යන්න ඔබට අවබෝධ කරදීම සදහා මා සරල කාරණයක් ඉදිරිපත් කරන්නම් ඒ පිලිබදව ඔබ බුද්ධිමත්ව සිතා බලන්න. එවිට මා පවසන්නේ කුමක්ද? යන්න ඔබටම අවබෝධ වනු ඇත. එනම් පහතින් මා සදහන් කරන ගීත ඔබත් ඔබේ දරැවනුත් අනන්තවාරයක් සවන් දුන් ගීත වන්නට පුළුවන. එය ඔබේ දරැවා ඔබ ඉදිරියේ අනන්තවාරයක් ගායනා කර තිබෙන්නට ද පුළුවනි.

මේ ගීතයන් දිහා බලන්න…

  • කුමරියක පා සළඹ සැලුණා… ගායනය – අමරදේව
  • මුදු මුහුණේ සුව වින්දේ ප්‍රිය ලදුනේ මං… ගායනය – දිවුල්ගනේ, දීපිකා ප්‍රියදර්ශණි
  • පැණි කොමඩු ගෙඩිය කැකිරි පලුව… ගායනය – නලීන් පෙරේරා
  • සුදුපිරළුරැ වැටයයි මංගල යහනයි… ගායනය – චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි

කෙනෙකුට දැන් සිතෙන්නට පුළුවන්. “මේ සිංදුවල තියෙන ප්‍රශ්නය මොකක්ද?” කියා. එසේ සිතුනානන් එය පුදුමයක් නොවේ. මන්ද මා මෙහි ඉදිරිපත් කර ඇති ගීත ලාංකීය සමාජයේ සම්භාවණිය ගායකයන් විසින් ගායනා කල ජනප්‍රිය ගීත. ඉතින් මෙවායේ ඇති වරද කුමක්ද? යන්න සිතීම සාධාර්ණය. ඒ කෙසේ නමුත් මෙම ගීත සම්බන්ධයෙන් මා පවසන කාරණය අවබෝධ කරගැනීමට මහා පරියේෂණ සිදුකිරීමට අවශ්‍ය නොවේ. මේ ගිතයේ පැවසෙන කාරණය ඒ ආකාරයටම ඔබ එසේත් නැත්නම් ඔබේ දරැවා කථාවක් ලෙස පවසයි නම් ශිෂ්ඨසම්පන්න සමාජයක් එය අනුමත කරයිද? ඔබ අනුමත කරනවාද? නමුත් එය සංගීතය හා මුහුවී සමාජගත වනවිට එය කොතරම් පිලිගැනීමකට ලක්වෙනවාද? ගීතයෙන් කියවෙන කාරණයට වඩි වේගයෙන් සංගීතය ජනතාව දිනාගන්නවා යන්නට මෙය එක් නිදසුනක් පමණි. මීට තවත් හොද නිදසුනක් තමා මෑත ජනප්‍රිය වූ “එන්න මල්ලි එන්න නංගි කැරකිලා…” ගීතය පසුගිය දිනක මෙම ගීතයට සම්මානයකුත් හිමිවුණා නමුත් එම ගීතය නිර්මාණය කොට ගායනා කරන ලහිරැ පෙරේරා පුවත්පතකට පවසා තිබුණා “මෙම ගිතයට කිසිදු තේරැමක් නැහැ” යනුවෙනි. මේවා තුලින් පැහැදිලි වන්නේ මෙම සංගීතය මනුෂ්‍යා යථාර්ථයෙන් දුරස්කොට වෙනම කිසියම් ආකාරයක වින්දනයකට මත් තත්වයකට ගෙනයනවා යන්න නොවේද?. එපමණක් නොව අද සමාජය සංගීතය තුලින් ලඟාකර ගතහැකි මානසික නිදහස, දියුණුව පිලිබදව කථා කරයි. නමුත් අතීතයට සාපේක්ෂව එවන් ඉලක්ක කර ලඟා වූ පිරිස් වර්ථමානයේ දැකීමට නොමැත. එසේම අතීතයේ මනස දියුණූ කරගත්තා යයි පවසන පිරිස පවා ඒ සදහා සංගීතය පදනම් කරගත්තා යන්නට කිසිදු සාක්ෂියක් දක්නට නොමැත.

එපමණක් නොව මෙම සංගීතය තුලින් මානසික සංවර්ධනයක් සිදුවන බවත්, හදවත් රෝගීන් සදහා එය යහපත් ප්‍රතිපල ගෙනදෙන්නක් බවත් සමාජයේ පවතින තවත් මතයකි. මේ පිලිබදව කෙටි විමසුමක් සිදුකලේ නම්, ප්‍රථමයෙන් හදවත් රෝගීන් සදහා මෙම සංගීතය ප්‍රතිකාරයක් වන්නේ කෙසේද යන්න විමසා බැලුවේ නම්, හදවත් රෝගීන් සදහා සංගීතය පමණක් නොව සුරතල් මසුන් නැරඹීමත් යහපත් ප්‍රථිපල ගෙනදෙන්නක් බව පැවසේ ඇත්තට මේවායින් සිදුවන්නේ කුමක්ද? හදවත් රෝගියෙකු යන්න ඔහුගේ මනස සැමවිට නිදහසේ පැවතීම අත්‍යඅවශ්‍ය වේ. ඒ සදහා ඔහු ප්‍රියකරන ක්‍රියාවල නිරතවීම අත්‍යඅවශ්‍ය වේ. එය පහසුවෙන් අවබෝධ කරගැනීම සදහා මෙලෙස සිතන්න බලන්න. සංගීතය ප්‍රිය නොකරන හදවත් රෝගියකු සංගීතයට සවන්දීම තුලින් සුවයක් අපේක්ෂා කල හැකිද? එයට ඔබේ පිලිතුර නියත වශයෙන්ම නැත යන්නයි. එනම් ඹෟෂධ මඟින් ලැබෙන සුවයට සමාන සුවයක් සංගීතය තුලින් අපේක්ෂා කල නොහැක. ඖෂධය සැලකූවිට රෝගියා එය ප්‍රියකලත් පිලිකුල්කලත් එය පාවිච්චි කිරීම තුලින් සුවය ලබාගත හැක. නමුත් සංගීතය එසේ නොවේ එහි සුවය පවතින්නේ එය ප්‍රියකරන පුද්ගලයාට පමණි. මේ අනුව හදවත් රොගීන් හට මෙම සංගීතය ප්‍රතිකාරයක් යන්න සියල්ලට පොදුවු නියමයක් නොවේ. මීලඟට මෙම සංගීතය සැබැවින්ම මානසික සුවයක් ගෙනදෙනවාද? යන කාරණයට අවධානය යොමු කලේනම්, ඒ පිලිබදව පරියේෂණ වාර්ථාවක් පසුගිය දිනක “ඉන්ටෙලිජන්” නැමැති ඇමරිකාවේ පලවන සඟරාවක පහත ආකාරයට පරියේෂණයක් සිදුකොට වාර්ථාවක් ඉදිරිපත්කර තිබුණි. ඒ මෙසේය,

“වියානා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් වන ජාකොබ් පියෙට්ස්චිනිග්, මාටින් වොරසෙක් හා ඇන්ටන් ෆෝර්මන් යන අයගේ ප්‍රධානත්වයෙන් කන්ඩායමක් එක්වී පුද්ගලයන් 3000ක් යොදා ගනිමින් සංගීතය තුලින් මානසික සංවර්ධනයක් සිදුවෙනවාද? යන්න පරියේෂණයක් සිදුකරන ලදී. එහි දී ඔවුනට පෙනීගියේ මෙය මනක්කල්පිත මිත්‍යාවක් බවයි”

මනුෂ්‍යාගේ පොදු ගුණාංගයක් තමා කිසියම් කාරණයක් තමන්ට වින්දනයක් ලබාදෙන්නේ නම් එහි අදීනය නොබලා එය වැලදගැනීම. එහි අවසාන ප්‍රතිපලය තමා මනුෂ්‍යා මත්පැන්, දුම්වැටි, සූදුව… යනාදිය තම ශරීරයට මෙන්ම සමාජ අහිතකර දෑ වෙත ඇබ්බැහිවීම. මත්පැන් හා සූදුව මෙන්ම මිනිස් සිතේ එක්තරා ආකාරයක මොහොනයක් ඇති කරන්න සමත් තවත් අංගයක් තමා මෙම “සංගීතය” මේ තුලින් ද සිදුවන්නේ යථාර්තය පිලිබදව නිසි අවබෝධයක් නොමැතිව මිනිසා ක්‍රියා කිරීමයි. එය ඉහත කරුණු වලින් ඔබට කිසියම් අවබෝධයක් ලැබී තිබෙනු ඇත. එසේ නම් මෙම සංගීතය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය හා විග්‍රහය දැන් විමසා බලමු.

මෙම සංගීතය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය පිලිබදව අධ්‍යනය කිරීමේ දී ඉස්ලාමීය විද්වතුන් එයට පක්ෂව මෙන්ම විපක්ෂව ද විවිධ අදහස් පලකොට ඇත. නමුත් මුස්ලිම්වරුන් වශයෙන් සැමවිට දහම අවබෝධකර ගතයුත්තේ ආගමික මූලාශ්‍රයන් තුලින් මිස ආගමික විද්වතුන් යයි පවසාගන්න පිරිස් තුලින් නොවේ. ඒ අනුව ඔවුන් දහම වටහාගත් මාර්ගය ඔස්සේ අපත් ගමන් කොට ඉස්ලාමීය මූලාශ්‍රවල මේ පිලිබදව කුමක් පැවසෙනවාද? යන්න දැන් විමසා බලමු.

පළමු සාක්ෂිය

  • “අබූ ආමිර් (රලි) තුමා මෙසේ පවසයි – නබිතුමාණන් කියනවා මම ඇසුවෙමි. මගේ සමාජයේ සමහරක් පිරිස් (පසුකාලීනව) බිහිවේවි ඔවුන් අනියම් (ලිංගික) සම්බන්ධතා, සේද (ඇදුම්), මත්පැන්, සංගීතය යනාදීය අනුමත කාරණයන් ලෙස සලකනු ඇත… මොවුන්ගෙන් බහුතරයක් අල්ලාහ් (දෙවියන්) විනාශකර දමනු ඇත.” (මෙය දීර්ඝ හදීසයක් මාතෘකාවට අදාල කොටස පමණක් මෙහි ඉදිරිපත් කොට ඇත)

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීසය පිලිබදව කෙටි අවධානයක් යොමු කලේනම් එහි දී ඉස්ලාම් මෙම සංගීතය පමණක් සදහන් කරන්නේ නැත ඒ සමඟ තවත් සමාජ පරිහානියට පදනම් වන අංග කිහිපයක් සදහන් කරයි. එනම් “…අනියම් (ලිංගික) සම්බන්ධතා, සේද (ඇදුම්), මත්පැන්…” මේ අනුව සංගීතය ද සමාජ පරිහානියට පදනම් වන අංගයක් ලෙස ඉස්ලාම් දකින බව ඉහත හදීසය තුලින් පැහැදිලිවේ. මෙහි දී ඉහත හදීසය සම්බන්ධයෙන් සදහන් කලයුතු විශේෂ කරුණක් ඇත. එනම් ඉහත හදීසය සමහරක් ඉස්ලාමීය විද්වතුන් ප්‍රතික්ෂේප කරයි. එයට ඔවුන් පවසන කාරණය නම් මෙම හදීසය දන්වන්නන් පෙලෙහි සිටින හිෂාම් බින් අම්මාර් නැමැත්තා දුර්වලයෙකු යන්නයි (මේ පිලිබදව මීට වඩා නොගොස් මාතෘකාවට යොමු වෙමු) මේ අනුව ඉහත දුර්වල හදීසයක් වුවානම් සංගීතය පිලිබදව කිසියම් අවබෝධයක් ගතහැකි වෙනත් හදීසයන් තිබෙනවාද? යන්න විමසා බැලුවේ නම් ඉහත හදීසයම හිෂාම් බින් අම්මාර් වෙනුවට බිෂිර් බින් පක්ර් නැමැත්තා මාර්ගයෙන් දන්වන හදීසය “බයිහකී” නම් හදීස් ග්‍රන්ථයේ සදහන්ව ඇත. (මෙම හදීස් කලාව ඉන්ෂිඅල්ලාහ් ලඟදීම මෙම වෙබ් අඩවිය තුල ඉදිරිපත් කිරීමට අදහස් කරමි) එම හදීසය පිලිගත හැකි ආකාරයෙන් පවතී. මේ නිසා ඉහත හදීසය නිවරැදි හදීසයක් ලෙස අවබෝධ කරගත යුතුවේ.

දෙවන සාක්ෂිය

  • “නාෆි (රහ්) තුමා පවසයි – දිනක් එඬරෙකු බටනලාවක් වයන හඬක් උමර් (රලි) තුමාගේ කන වැකුනි. එම මොහොතේ එතුමාණන් තම කන්දෙක ඇඟිලි තුඩුවලින් වසාගෙන එම මාර්ගයෙන් ඉවත්ව වෙන මාර්ගයකින් ගමන ඇරඹු එතුමාණන් ‘තවමත් ඒ සද්දේ ඇසෙනවාද?’ යනුවෙන් මාගෙන් විමසන ලදී. එයට මා ‘ඔව්’ යනුවෙන් පිලිතුරු දුන්නෙමි. තව කෙටිදුරක් ගමන්කලාට පසුව මා ‘දැන්නම් ඒ සද්දේ ඇසෙන්නේ නැහැ’ යනුවෙන් පැවසුවෙමි. ඉන් අනතුරුව ආපසු තම ගමන එම මාර්ගයේම ඇරඹුවේය. ඉන් අනතුරුව උමර් (රලි) තුමාණන් ‘වරක් මුහම්මද් (සල්) තුමාණන්ට මේ ආකාරයටම එඬරෙකුගේ බටනලා ශබ්දයක් ඇසී මා අද කලාසේ එතුමාණන් එදා කලා’ යනුවෙන් පවසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – අහමද්

ඉහත හදීසයට අනුව මුහම්මද් (සල්) තුමාණන් “බටනලා හඬ” පිලිකුල් කර ඇති බව පැහැදිලිය. එතුමාණන් කිසියම් ක්‍රියාවක් ප්‍රතික්ෂේප කරන්නේ නම් එය වහීමත පදනම්ව සිදුවනවා යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. ඒ අනුව එතුමාණන් ප්‍රතික්ෂේප කල මෙම සංගීතය මුස්ලිම්වරුන් ද ප්‍රතික්ෂේප කලයුතුයි යන්න ඉහත හදීසයට අනුව ඉස්ලාමීය මඟපෙන්වීම යන්න පැහැදිලි වේ

තෙවන සාක්ෂිය

  • “ආයිෂා (රලි) තුමිය පවසන ලදී ‘මා ආසන්නයේ සිටී කුඩා දරුවන් දෙදෙනෙකු ගීත ගයමින් වයමින් සිටින විට එම ස්ථානයට පැමිණි අබූබක්කර (රලි) (අයිෂා (රලි) තුමියගේ පිය) තුමා මෙසේ පවසන ලදී ‘අල්ලාහ් (දෙවියන්)ගේ දූතයාණන් නිවසේම ශෙයිතාන්ගේ සංගීත භාණ්ඩද?’ යනුවෙන් (ආයිෂා (රලි) තුමියට බැනවදින ලදී. ඒ මොහොතේ මුහම්මද් (සල්) තුමාණන් ‘අබුබක්කර්!, එක් එක් සමාජයට උත්සව (අවුරැදු) දිනයක් තිබෙනවා. අද අපේ උත්සව දිනය (ඒ දරුවන් දෙදෙනාට ඉන් දෙන්න)’යනුවෙන් පවසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

ඉහත හදීසය දෙස බලනවිට පෙනීයන්නේ “ඉස්ලාම් උත්සව දිනයන් හි සංගීතය අනුමත කරනවා සේය” යනුවෙන් කෙනෙකුට සිතීමට පුළුවන නමුත් මෙම හදීසය තරමක් ගැඹුරින් අවධානය යොමු කලේ නම් එහි දී අබූබක්කර් (රලි) තුමාණන්ගේ ප්‍රකාශය සුළුකොට තැකීමට නොහැක. විශේෂයෙන් අබූබක්කර් (රලි) තුමාට ඉස්ලාම් දහම තුල ඇත ස්ථානයත් සමඟ කිසිසේත් එසේ කල නොහැක. අබූබක්කර් (රලි) තුමා පවසන්නේ කුමක්ද? ඒ “…අල්ලාහ් (දෙවියන්)ගේ දූතයාණන් නිවසේම ශෙයිතාන්ගේ සංගීත භාණ්ඩද?…” යන්නයි. මෙහි දී අබූබක්කර් (රලි) තුමාගේ එම ප්‍රකාශය නබිතුමාණන් ප්‍රතික්ෂේප කලේ නැහැ. ඒ තුලින් මෙය “ශෙයිතාන්ගේ භාණ්ඩ” යන්න පැහැදිලිය. එසේ මා පවසන්නට තවත් හේතුවක් නම්, අබූබක්කර් (රලි) තුමාණන් පවසන කාරණයෙහි කිසියම් වරදක් පැවතුණෙන් නම් ස්ථිර වශයෙන්ම එය එම මොහොතේම නබිතුමාණන් නිවරදි කරනු ඇත. (එවැනි අවස්ථාවන් ඕනෑම තරම් අපට මූලාශ්‍රවල දක්නට ඇත.) ඒ අනුව මෙය අවබෝධ කරගත යුත්තේ මෙය සිදුවන්නේ අවුරැදු දිනයක නිසාත් (මෙය ඉහත හදීසයේම සදහන් වේ) මෙහි සම්බන්ධ වී සිටින්නේ කුඩා දරුවන් නිසාත් නබිතුමානන් එය එදිනට පමණක් අනුමත කලා යනුවෙනි.

සතරවන සාක්ෂිය

  • “අල්ලාහ් (දෙවියන්)ගේ දූතයාණන් පැවසූ බවට ඉබුනු අබ්බාස් (රලි) තුමා මෙසේ පවසන ලදී, අල්ලාහ් නූඹලාට මත්පැන්, සූදුව, රබාන තහනම් කර ඇත. මත් ඇතිකරවන සියල්ල (භාවිතය) තහනම්ය.”

මූලාශ්‍ර ග්‍රන්ථය – අහමද්

ඉහත හදීසය තුල අල්ලාහ් දෙවියන් සංගීත භාණ්ඩයක් සමඟ බද්ධ කොට මත්පැන් හා සූදුවද සදහන් කිරීම තුල මෙය කොතරම් බරපතල වරදක්ද යන්න අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. එය වඩාත් හොදින් වටහාගැනීමට ඉහත හදීසයේ අවසාන කොටසේ පැවසෙන කාරණය ඉතා වැදගත්ය. එනම් “…මත් ඇති කරවන සියල්ල (භාවිතය) තහනම්ය…” යන්න තුල ඉහතින් මා සදහන් කල යථාර්ථයක් එහි ගැබ්ව ඇත. එනම් සංගීතය යනු මත්පැන්, සූදුව සේම මනුෂ්‍යා කිසියම් මොහනයකට පත්කරවා යථාර්ථයෙන් දුරස්කරවන සාධකයක් යන්න පැහැදිලිය.

දැන් ඉහත හදීස් සියල්ල කෙරෙහි පොදු අවධානයක් යොමු කලේනම්, සංගිතය ඉස්ලාම් ප්‍රතික්ෂේප කරනවා යන්න පැහැදිලිය. නමුත් සුවිශේෂි අවස්ථාවන් හි මෙම සංගීතය (යනු වාද්‍ය භාණ්ඩයන් භාවිතා කරමින් කරන වාද්‍ය කණ්ඩයන් පමණක් නොවේ. එහි කිසියම් කොටසක් භාවිතා කොට හඩක් ඇති කිරීමත් මෙයට අයත් වේ. එසේ) භාවිතා කර ඇති බවට ද යම් යම් සාධක අපට දක්නට ඇත. එසේම වර්ථමානයේත් සංගීතය නාද භාවිතා නොකොටම බැරි තැනකට අද සමාජය පත්ව ඇත. නිදසුනක් ලෙස දුරකථන නාද, අන තුරු සංඥා, සීනුව… යනාදිය සදහන් කල හැක. මේවා බොහෝ දුරට අවම කලහැකි දෑ වුවත් බහුආගමික මෙන්ම ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව නිසි අවබෝධයක් නොමැති අප රටතුල එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම තරමක් අපහසු කාර්‍යයකි. මේ සියල්ල තුල මෙම සංගීතයට අප කොතරම් නතුවෙනවාද? යන්න තිරණය කලයුතුව ඇත්තේ අප විසින්මය. ඉස්ලාමීය සීමාව ඉහත කරුණු වලින් අපට පැහැදිලිය එම සීමාවන් අප ජීවිතයේ කොයි ආකාරයට ගලපනවාද? යන්න තිරණය ඇත්තේ අප අතේමය. උදාහර්ණයකට අප භාවිතා කරන ජංගම දුරකථනයේ නාදය (Ring tone) පිලිබදව අවධානය යොමු කලේනම් අදවන විට එහි අපට අවශ්‍ය නාද මුහුකරගැනීමේ හැකියාව පවතී. ඒ අනුව එහි සංගීතය නොමැති කිසියම් ශබ්දයක් අපට පහසුවෙන් යොදාගත හැක. මේ ආකාරයට සංගීතයෙන් මිදී ජීවත්වීමට අවශ්‍ය සියළු සමාජ පරිසරය සකසා ගතයුත්තේ අප විසින්ම යන්න අවසාන වශයෙන් නැවතත් සටහන් කරමින් මෙම ලිපිය අවසන් කරමි.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 3 යි.

  1. zaman 2013-03-21 at 18:37

    සහෝදරයා මං හැමදාම වගේ සින්දු ඇසීමේ පුරුද්දට ඇබ්බැහි වී සිටියා නමුත් අදසිට එයින් මිදීමට මා අදිශ්ඨාන කර ගන්නවා….

    මට ප්‍රශ්නයක් තිබෙනවා සංගීතය මෙන් චිත්‍රත් ශෙතාන්ගේ මගකට යාමක්ද?
    පාසලේ බලපෑමෙන් චිත්‍ර හෝ සංගීත විශයන් ‍තෝරාගැනීම පාප කාරී ක්‍රියාවක්ද?

    • අබූ අර්ශද් 2013-03-22 at 16:37

      අල්හම්දුලිල්ලාහ්, ප්‍රථමයෙන් ඔබේ අදිශ්ඨානයට ‘යහමඟ’ ස්තූතිය
      දෙවන කාරනය ඔබට පාසලේ දී සංගීතය හෝ චිත්‍ර වැනි විෂයක් බලපෑම මත තොරාගැනීමට සිදුවන්නේ නම් එය ඔබට වරදක් වන්නේ නැහැ. අනික චිත්‍ර වැනි විෂයක් හැදැරිම (ආගමික සීමාවන් හදුනාගෙන) වරදක් වන්නේ නැහැ

  2. nuha 2013-03-04 at 12:25

    මං මේකෙන් හොද දැනුමක් ලබා ගත්තා.නමුත් මට තියන ප්රශ්නය පාසැල් විෂය මාලාවේ මං සංගීත විෂය හදාරනවා.එය හෙදෙරීම පව් සිදුවන දෙයක්ද? මා කරන්නේ වැරද්දක් ද ???

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *