සදකාව සදහා සැබෑ ආදර්ශය ඇත්තේ ඔබ හමුවේය

0

ඉස්ලාම් වතාවත්වලට පමණක් සීමා වූ තවත් දහමක් නොවන බව මෙම යහමඟ වෙබ් අඩවිය හරහා කිහිපවිටක් සාකච්චා කොට ඇත. ඉස්ලාම් දහමක් යන්න පැවසීමට වඩා ජීවන සැලැස්මක් යන්න පැවසීම වඩාත් නිවරැදි අර්ථකථනය බව එහි ඉගෙන්වීමන් හොදින් අධ්‍යනය කරන ඕනෑම කෙනෙකු හට පැහැදිලිවනු ඇත. එහිදී මනුෂ්‍ය චින්තනයට ලබාදෙන නිදහස හා මනුෂ්‍යා කෙරෙහි ඉස්ලාම් පවරන සමාජ වගකීම කිසිසේත් සුළුකොට තැකිය නොහැක. එවන් අසමසම දහමක පවතින තවත් සුවිශේෂි කාරණයක් පිලිබදව අද මෙහි කථා කිරීමට මා අදහස් කරන්නේ එය කථා කිරීමට සුදුසුම කාල වකවානුව මෙය වන බැවිණි. ඒ රටපුරා විවිධ ප්‍රදේශවල ආපදා තත්වයන් නිර්මාණය වී එම තත්වයන්ට ගොදුරු වී සිටින පිරිසට සහන සැපයීමේ අවශ්‍යතාවය දැඩි ලෙස උද්ගතව පැවතීමේ හේතුවෙනි.

ඉස්ලාම් සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම යුතුකම් පහක් අනිවාර්‍ය කර ඇත. ඉන් තුන්වැන්න තමා සකාත්. (මුස්ලීම්වරුන් විසින් දියයුතු අනිවාර්‍ය බද්ධ) මෙම අනිවාර්‍ය බද්ධට අමතරව ඉස්ලාම් මුස්ලීම්වරුන් කෙරෙහි තවත් අනිවාර්‍ය නොවන බද්ධක් ද පනවා ඇත. ඒ “සදකාව” හෙවත් පරිත්‍යාග යන්නයි. මේ පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීමන් කුමක්ද? යන්න ආගමික මූලාශ්‍රයන් පදනම් කරගෙන දැන් විමසා බලමු.

මෙම “සදකාව” හෙවත් දානධර්ම එසේත් නැත්නම් පරිත්‍යාග පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ කුමක් පවසනවාද යන්න අවධානය යොමු කලේනම්, එහි 57-7 වාක්‍යයේ මෙසේ පවසයි.

“…(දෙවියන් විසින්) නුඹලාව උරුමක්කාරයන් කල (වස්තූන්) මඟින් පරිත්‍යාග කරව්. නුඹලාගෙන් (දෙවියන්) විශ්වාස කොට පරිත්‍යාග සිදුකරන්නන් හට (දෙවියන්) හමුවේ මහත් භාග්‍යයන් ඇත.”

මා ඉහතින් සදහන් අනිවාර්‍ය බද්ධ වන “සකාතය” ඉස්ලාම් ශුද්ධ වූ කුර්ආනයේ බොහෝ තැන්වල දැඩිව අවධාරණය කරන අතර ඊට අමතරව “සදකා” නම් දාන ධර්මය ද ඉස්ලාම් අවධාරණය කරන බව ඉහත 57-7 වාක්‍යයෙන් මෙන්ම තවත් වාක්‍ය කිහිපයකින්ම පැහැදිලි වේ. මේ දානධර්මය හෙවත් සදකාව පිලිබදව ශුද්ධ වූ කුර්ආනයට අමතරව මුහම්මද් (සල්) තුමාණන් ද (හදීස් මඟින්) බොහෝ අවස්ථාවල අවධාරණය කර ඇත. එවැනි අවස්ථා කිහිපයක් සදහන් කරන්නේ නම්,

“නුඹලාගෙන් කෙනෙකු රටඉදි ගෙඩියකින් කොටසක් හෝ පරිතයාග කොට ඒ මඟින් අපා ගින්නෙන් තමාව ආරක්ෂා කරගැනීමට උත්සාහ කරන්න.”

දන්වන්නේ – අතී ඉබුනු හාතම් (රලි), ග්‍රන්ථය – බුහාරී, මුස්ලීම්

තවත් අවස්ථාවක මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී.

“කරුණු දෙකක හැර අන් කිසිවක් සම්බන්ධයෙන් ඊර්ෂියා කිරීම (ඉස්ලාම්) අනුමත නොකරයි. එනම් අල්ලාහ් කිසිවකුහට වස්තූන් ලබාදී එය ඔහු යහපත් කටයුතු සදහා වියදම් කරන්නේ නම් ඔහු දෙස බලා ඊර්ෂියා කිරීමත්, කිසියම් කෙනෙකු හට දෙවියන් ලබාදුන් ඥානය ඔහු මිනිසුන් අතර යහපත් ආකාරයට බෙදාදෙන්නේ නම් ඔහු දෙස බලා ඊර්ෂියා කිරීමත් ඉස්ලාම් අනුමත කරයි.”

දන්වන්නේ – ඉබුනු අබ්බාස් (රලි), ග්‍රන්ථය – බුහාරී

කෙනෙකු තම දනයෙන් පරිත්‍යාග සිදුකරන විට ඒ දෙස බලා “මමත් පරිත්‍යාග කරනවා” යයි සිතීම හා ඒ අනුව කටයුතු කිරීම ඉස්ලාම් අනුමත කරයි. මෙය එක්තරා ආකාරයක ඊර්ෂියාවක් නිසා ඇතිවන චින්තනයක් වුවත් ඉස්ලාම් එය අනුමත කරන බව ඉහත හදීසයෙන් පැහැදිලි වේ. මේ අනුව දානධර්ම සිදුකිරීම සම්බන්ධයෙන් සමාජය තුල තරඟකාරීත්වයක් හා උනන්දුවක් ඇති කිරීම සදහා මුහම්මද් ( සල්) තුමාණන් ඉහත හදීසයන් තුලින් කොතරම් උනන්දු කරනවාද? යන්නත් ඔබට අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. මේ හේතුව නිසා තමා මුහම්මද් (සල්) තුමාණන් හමුවට සහාභාවරුන් (තම අනුගාමික පිරිස්) පැමිණ මෙම “සදකාව” හෙවත් “පරිත්‍යාග” සිදුකිරීම සම්බන්ධයෙන් පහත ආකාරයට ප්‍රශ්න නැඟුවේ.

“වරක් මුහම්මද් (සල්) තුමාණන් හමුවට පැමිණි සහාභාවරයෙකු ‘අල්ලාහ් (දෙවියන්‍)ගේ දූතයාණනි! පරිත්‍යාග (දානධර්ම) කරන්න කිසිදු වස්තුවක් නොමැති අවස්ථා‍වක කුමක් කලයුතුද?’ යනුවෙන් විමසූ විට ‘තම දෑත්වලින් (කිසියම් වැඩක් කොට ඒ තුලින්) මුදල් උපයා ඉන් කොටසක් තමාගේ අවශ්‍යතාවයට තබාගෙන කොටසක් පරිත්‍යාග කරත්වා!’. …යනුවෙන් පවසන ලදී.”

දන්වන්නේ – අබූ මුසල් අල්අෂ්අරී (රලි) තුමා, ග්‍රන්ථය – බුහාරී, නසායි

මේ ආකාරයට ඉස්ලාම් සදකාව හෙවත් පරිත්‍යාගය මුස්ලීම් සමාජයට දැඩි ලෙස අවධාරනය කරයි. මෙසේ අවධාරනය කරන ඉස්ලාම් එසේ සිදුකිරීමේ මහිමය ද නොයෙක් අවස්ථාවල සදහන් කර ඇත. (එවැනි ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය කිහිපයක් සදහන් කරන්නේ නම් ශුද්ධ වු කුර්ආනයේ 2-272, 34-39, 2-274, 2-261… යන්න මින් කිහිපයකි.) මීට අමතරව මෙලෙස ‘සදකාව’ අවධාරනය කරන නබිවදන් කිහිපයක් ද ඔබේ අවධානයට යොමු කරන්නේ නම්,

“වරක් මුහම්මද් (සල්) තුමාණන් මා හමුවේ මෙසේ පවසන ලදී. ‘මා නුඹට යහපත් ක්‍රියාවෙහි දොරටුව දන්වන්නද? උපවාසය (පාප ක්‍රියාවන්ට) පලිහක් වන්නේය. ජලය ගින්න නිවනා සේ සදකාව (දානධර්ම) පාපයන් විනාශකර දමන්නේය.’ ”

දන්වන්නේ – මුවාද් ඉබුනු ජබල් (රලි) තුමා, ග්‍රන්ථය – තිර්මිදි, අහමද්

කිසියම් කෙනෙකු මරණයට පත්වූ විට කරුණු 03 ක් හැර අන් සියල්ල (ඔහුගෙන්) විසන්ධි වන්නේය. ඒ

  1. ඔහු වෙනුවෙන් කරන සදකාව හෙවත් පරිත්‍යාග
  2. ඔහු සමාජයට දායාද කල යහපත් දරුවන්ගේ ප්‍රාර්ථනය
  3. සමාජය වෙනුවෙන් කල නිත්‍ය වූ දාන

දන්වන්නේ – අබූ හුරෙයිරා (රලි) තුමා, මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, තිර්මිදි

“ගණිකා වෘත්තියේ (ඉස්ලාම් මෙය මහා පාපයක් ලෙස දකී. එහි) නියලෙන කාන්තාවක් පිපාසයෙන් දියබීමට නොමැතිව පෙලෙන බල්ලෙකු දැක එම සතාට බොන්නට වතුර ලබාදීම නිසා එම පරිත්‍යාගය හේතුකොටගෙන ඇයගේ සියළු පාපයන් දෙවියන් විසින් සමාකරන ලදී.”

දන්වන්නේ – අබූ හුරෙයිරා (රලි) තුමා, මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්, අහමද්

“(මරණින් මතු උදාවන) විනිශ්චය දිනයේ දී එහි පවතින දැඩි රශ්මිය හමුවේ එම ස්ථානයේ තමන් මෙලොව කල සියළු ‘සදකා’ (දානධර්ම) ඔහුට සෙවන ලබා දෙන්නේය.”

දන්වන්නේ – උකුබා ඉබුනු අමීර් (රලි) තුමා, මූලාශ්‍ර ග්‍රන්ථය – ඉබුනු හිෆ්ෆාන්, හාතම්

ඉහත කරුණුවලින් ඉස්ලාම් ‘සදකා’ (දානධර්ම) කොතරම් අවධාරණය කරනවාද? යන්න මනාව පැහැදිලි වේ. අසරණ ජනතාවට පිහිටවීමට මීට වඩා හේතූන් මුස්ලීම්වරුන්ට අවශ්‍ය නොවනු ඇත. ලෞකික දිවිය පමණක් එකම අරමුණු කරගත් පිරිසට මෙය මහත් අපහසුවක් ලෙස පෙනෙනු ඇත. නමුත් මරණින් මතුවට උදාවන දිවියෙහි සාර්ථකත්වය අරමුණු කරගත් මුස්ලීම්වරුන්ට මෙය අපහසුවක් විය නොහැක. ඉහත ආකාරයට සදකාවෙහි අවශ්‍යතාවයත් එහි මහිමයත් හදුනාගෙන සිටින අප ඉස්ලාම් “සදකාව” (දානධර්ම) ලෙස කුමණා කාරණයන් හදුන්වනවාද? යන්නත් අවබෝධ කරගැනීම අත්‍ය අවශ්‍ය වේ.

  • මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී. “කිසියම් කෙනෙකු මාර්ගයේ ගමන් කරන විට මාර්ගයෙහි තිබෙන ගල් මුල් ඉවත් කිරීමත් සදකාව වේ.”

දන්වන්නේ – අබූ හුරෙයිරා (රලි) තුමා, මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි, මුස්ලීම්

  • මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී. “මිනිසුන්ට අවහිරයක්ව මාර්ගයේ පැවතී ගසක් (කපා) ඉවත්කිරීම හේතුකොටගෙන කෙනෙකු ස්වර්ගයට පිවිසෙන්නේය.”

දන්වන්නේ – අබූ හුරෙයිරා (රලි) තුමා, මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

  • “මුස්ලීම්වරයෙකු ගසක් සිටුවා එසෙත් නැත්නම් බෝග සිටුවා එහි පලය එක් පක්ෂියෙක්, එක් මිනිසෙක් එසේත් නැත්නම් සතෙකු අනුභව කලේනම් ඒ හේතුවෙන් එක් සදකාවක් කල පින ඔහුට ලැබෙන්නේය. යනුවෙන් මුහම්මද් (සල්) තුමාණන් පවසන ලදී.”

දන්වන්නේ – අනස් බින් මාලික්රා (රලි) තුමා, මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, අහමද්, මුස්ලීම්

  • “මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පවසන ලදී. යහපත් කටයුතු සියල්ල සදකාව වේ.”

දන්වන්නේ – ජාබිර් (රලි) තුමා, මූලාශ්‍ර ග්‍රන්ථය – අබූදාවුද්, මුස්ලීම්

  • “යහපත් ක්‍රියාවලින් කිසිවක් සුළුකොට නොතකන්න නුඹ ඔබේ සහෝදරයා (සිනා මුසු මුහුණින්) සතුටින් හමුවීම පවා” යනුවෙන් මුහම්මද් (සල්) තුමාණන් පවසන ලදී.

දන්වන්නේ – අබූදර් (රලි) තුමා, මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්, තිර්මිදි

  • “දිනක් කිසියම් පුද්ගලයෙකු මුහම්මද් (සල්) තුමාණන් හමුවට පැමිණ ‘ඉස්ලාම් හි ශ්‍රෙෂ්ඨතම ක්‍රියාව කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට එතුමාණන් ‘නුඹ දුප්පතුන්ට ආහාර සැපයීමත්, හදුන හා නොහදුනන පිරිසට සලාම් කීමත් (සුභ පැතීමත්)’ යනුවෙන් පවසන ලදී.”

දන්වන්නේ – අබ්දුල්ලාහ් ඉබුනු අම්ර් (රලි) තුමා, මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, මුස්ලීම්

  • “වරක් මුහම්මද් (සල්) තුමාණන් හමුවට කෙනෙකු පැමිණි ‘අල්ලාහ් (දෙවියන්)ගේ දූතයාණනි!, අධික ලෙස යහපත ගෙනදෙන ‘සදකාව’ කුමක්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘නුඹ නිරෝගි පුද්ගලයෙකු ලෙසත්, වස්තූන් කෙරෙහි අවශ්‍යතාවය ඇත්තෙකු ලෙසත්, දුප්පත්කමට බියවන්නෙකු ලෙසත්, වස්තූන් කෙරෙහි ආසාව ඇත්තෙකු ලෙසත් සිටින තත්වයේ ‘සදකා’ (දානධර්ම) දීම’ යනුවෙන් පවසා තවදුරටත් ‘එම නිසා ‘සදකා’ (දානධර්ම) දීම සදහා තම ප්‍රාණය උඟුරු දණ්ඩ (මරණාසන්න මොහොත) දක්වා පැමිණෙන තෙක් නොසිටින්න. එම (මරණාසන්න) මොහොතේ ‘මොහුට මෙච්චර… මොහුට මෙච්චර…’ යයි පැවසීමේ කිසිදු පලක් නොවනු ඇත. මන්ද ඒ වනවිට ඔබගේ වස්තූන් (පවුලේ) අනිකුත් පිරිසට බෙදී ගොස් හමාරවී තිබෙනු ඇත.’ යනුවෙන් පවසන ලදී.”

දන්වන්නේ – අබූ හුරෙයිරා (රලි) තුමා, මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, මුස්ලීම්

ඉස්ලාමීය මූලාශ්‍රයන් තුලින් උපුටා දක්වා ඇති ඉහත කරුණු කිහිපය හොදින් අධ්‍යනය කලේනම් “සදකාව” (දානධර්ම, පරිත්‍යාග) ඉස්ලාම් කොතරම් දුරට අවධාරනය කරනවාද? යන්න හොදින් පැහැදිලි වනු ඇත. වර්ථමාන ලෝකයේ මිනිසුන් විසින් විවිධ ලෞකික අරමුණූ අපේක්ෂාවෙන් දානධර්මවල නිරතවීම සුලභ දසුනක් වුවත් එම සත්ක්‍රියව ලෞකික අරමුණුවලට සීමා කිරීම ඉස්ලාම් අනුමත කරන්නේ නැත. මුස්ලීම් සමාජය තුල ක්‍රියාත්මක වන මෙම ‘සදකාව’ පිලිබදව අන්‍ය සමාජයට ඇත්තේ අවම වූ දැනුමකි. මේ හේතුව නිසා ශ්‍රී ලාංකීය සමාජය තුල මුස්ලීම් ප්‍රජාව අන්‍ය ආගමික පිරිස් මඟින් විවේචනයට ලක්වන අවස්ථාවන් ද දක්නට ඇත. නමුත් ශ්‍රී ලාංකීය අනිකුත් ප්‍රජාවට සාපේක්ෂව මෙම කාරණයේ දී මුස්ලීම් ප්‍රජාව ඉදිරියෙන් සිටින බව අභියෝගාත්මකව පැවසීමට හැක. නමුත් ලාංකීය සමාජය තුල මුස්ලීම් ප්‍රජාව ප්‍රතිශතයක් ලෙස අවම අගයක පැවතීමත්, “සදකාව” අප්‍රසිද්ධියේ ලබාදීම පිලිබදව ඉස්ලාම් දැඩි ස්ථාවරයක සිටීම තුලත් මෙම සත්ක්‍රියාව පිලිබදව නිසි අවබෝධය ලබාගැනීමේ හැකියාව ලාංකීය ප්‍රජාවට නොලැබී යයි. මේ හේතුව නිසා තමා මෙම ලිපිය “සදකාව” (දානධර්ම) පිලිබදව ඉස්ලාමීය මූලාශ්‍රවල කුමක් පවසනවාද? යන්න මූලික කරගෙන සාකච්චා කිරීමට උත්සාහ කලේ.

ලොව ආදර්ශමත් එකම දිව්‍යමය දහම ඉස්ලාම් යන්නට ඉහත කාරණයන්ම හොදම සාක්ෂියක් වනු ඇත. ඒ ලොව කිසිදු ආගමක් අවධාරණය නොකරන තරමට ඉස්ලාම් මෙම “සදකාව” තුලින් මනුෂ්‍ය අයිතීන් හා අවශ්‍යතාවයන් සපුරාලීමට ක‍ටයුතු කර තිබෙන බැවිණි.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *