සම්ප්‍රදායට එහි ගිය යුගදිවිය – ඉස්ලාමීය විමසුමක්

1

වර්ෂයක් පාසාම සමරණ ලෝක කාන්තා දිනය මෙවරත් උත්කර්ශවත් අන්දමින් සමරා ඒ තුල සුපුරුදු පරිධි අමිහිරි මතකයන් රාශියක් ඉතිරි කොට ගෙන මීලඟ ‘කාන්තා දිනය‘ තෙක් ඒ සියළු හමස් පෙට්ටියේ අඟුල් දමා ඇති මොහොතක ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම සුවිශේෂි වූ නමුත් පිරිමි පාර්ශවයට වැදගත් මාතෘකාවක් පිලිබදව යහමඟ අඩවිය තුල අද සාකච්චා කිරීමට අදහස් කරමි. විශේෂයෙන් කාන්තා අයිතිය හා ඇයට නූතන සමාජය තුල අත්ව ඇති ඉරණම වසරකට දිනයක් කථා කොට නිහඬ වන එසේත් එය අමතක කරදමන සමාජය තුල ඉස්ලාම් ඇය කෙරෙහි කොතරම් සැලකිලීමත් වෙනවාද? යන්න මීට ඉහත ද ලිපි ගණනාවක් තුලින් සාකච්චා කොට ඇත. එහිදී ‘101 වන වරටත් කාන්තා දිනය සමරණ අපේ ඇත්තෝ‘ යන්න එවැනි එක් සමීපතම නිදසුනකි. යහමඟ අඩවිය තුල මෙම විෂය සදහා වැඩි තැනැක් දී කරුණු සාකච්චා කිරීමට හේතුවක් ද ඇත. එනම් සීමිත මාතෘකා කිහිපයක් පදනම් කරගෙන ඉස්ලාම් දහමට එරෙහිව ප්‍රචාරණ කටයුතුවල නිරත වන පිරිස් ඒ පදනම් කරගන්නා මාතෘකාවන්  අතර ‘ඉස්ලාම් දහම තුල කාන්තාව‘ යන්න ද එකක් වීම එයට එක් හේතුවකි. ඒ අනුව ‘සම්ප්‍රදායට එහා ගිය යුගදිවිය‘ යන මාතෘකාව ඔස්සේ යුගදිවියට එළඹූනු අඹූසැමි යුවලක් කෙරෙහි ඉස්ලාම් පනවන නියෝග හා ආදර්ශ මොනවාද? යන්න පිලිබදව මෙහිදී සාකච්චා කිරීමට අදහස් කරමි.

අතීතයේ පටන් මෑත භාගය දක්වා කාන්තාව පිලිබදව පිරිමියා දැරෑ මතවාදයන් විශ්මය ජනකය. ඇය ජීවයක් ඇති කෙනෙකු ලෙස සැලකිය හැකිද? යන්න පිලිබදව පවා විද්වත් වාද විවාද පැවැත්වූ ඉතිහාසය මීට ඉහත ‘ජාත්‍යන්තරය තුල කාන්තාව එදා සහ අද‘ යන ලිපිය තුලින් මෙම අඩවිය තුල සාකච්චා කලා ඔබට මතක ඇතැයි සිතමි. එවන් මිලෙච්ඡ මතවාදයෙන් මීදි නූතන සමාජය පියවර ගණනාවක් ඉදිරියට පැමිණීම සතුටට කරුණක් වුවත්, අදත් බහුතර පිරිසක් තුල ‘ඇය පිරිමින්ගේ කායික අවශ්‍යතාවයන් සපුරාලීම සදහාම මවන ලද මැවීමක්‘ යන පහත් මානසිකත්වය වචනයෙන් නොකීවද හඳවතින් දර ක්‍රියා කිරීම කණගාටුවට කරුණකි. එහිදී ‘විවාහය‘ යන්න ඒ සදහා නීත්‍යානුකූල අවසරයක් යන්න අද බොහෝ දෙනෙකු තුල ඇති පිලිගැනීමයි. ‘විවාහය තුලින් තමා හා යුගදිවියට එළඹෙන ඇය මා වැනිම හිතන පතන විටෙක මට වඩා බුද්ධිමත් ලෙස කටයුතු කරන්න සමත් එසේම මට වගේම හැගීම් දැනීම් ඇති තවත් මා වැනිම ජීවයක්‘ යන්න නූතනයේ ජීවත් වන බොහෝ පිරිමීන් හදවතින්ම පිලිගැනීමට තවම මැලිවන කාරණයකි. මේ හේතුව නිසා මා ඉහතින් සදහන් කලාසේ මෙම විෂය පිරිමි පාර්ශවය මූලික කරගෙන සාකච්චා කිරීම අත්‍යඅවශ්‍ය මෙන්ම කාලීන අවශ්‍යතාවයක් වී ඇත.

ඔබ විවාහය නම් ගිවිසුම තුලින් හිමිකර ගන්නේ නිකම්ම නිකන් ශරීර කූඩුවක් නොවේ. ඇය ඔබේ ඉදිරි සාර්ථකත්වයට අත්වැලක් දෙන අවංක සහකාරියෙකි. ඇයගේ මෙහෙවර පැයකට, දිනයකට, දින කිහිපයකට, සතියකට, මාසෙකට, වසරකට, වසර කිහිපයකට… යනාදී වශයෙන් සීමා වූ එකක් නොවේ. ඇය ඔබේ ජීවිතයේ සෑම මොහොතක්ම, දිනයක්ම, වර්ෂයක්ම අලංකාර කරවමින් එයට අළුත් බලාපොරොත්තු ඇති කරවමින් ඒ සදහා නව ජීවයක් ලබාදෙන ඇය ඔබට මිණි පහනකි. ජීවිතය නම් දුෂ්කර ගමන්මඟ තුල ඔබව දිරිගන්වන ඇය සැබැ සහකාරියකි. ඒ තුල ඔබ ලබන දුක සැප අවංක ලෙස බෙදා ගන්නා ඇය සැබෑ මිතුරියකි. ඔබේ දුක හමුවේ ඇය ඔබට මවක් මෙනි, ඔබට උපකාරයක් අවශ්‍ය වූ විට ඇය තරම් කඩිසර වූ හා උනන්දු වූ කෙනෙකු ඔබ දැකගත නොහැක. ඔබේ රහස් ඇය තරම් සුරකින කිසිවකුත් වෙන ඔබට නැත. ඔබට අදහස් අවශ්‍ය වූ විට ඇය තරම් අවංක ලෙස සහයවන කිසිවකුත් ඔබට නැත… මෙකී නොකී සියල්ල ඔබේ මරණ මංචකය දක්වාම කඩිසරව නොපිරිහෙලා ඉටුකරන ඇය ඔබේ දිවියේ සැබෑ කොටස්කාරියකි. ඇය හමුවේ අවදී ඇය හමුවේ දවස නිමා කරන ඇය තරම් ඔබේ ජීවිතයේ කොටස්කාරියකු වන්න වෙන කිසිවකුටත් සුදුසුකම්ද නැත. සරලව පවසනවා නම්, ඔබේ දිවියේ ගෙවෙන සෑම පැයක්, දිනයක්, සතියක්, මාසයක්, වර්ෂයක්… පාසාම එහි ප්‍රාණවත් බවේ හිමිකාරීය ඇයයි. ඔබේ ජීවිතය අලංකාර කරන, ඔබේ ගෞරවය ආරක්ෂා කරමින් ඔබගේ අවශ්‍යතාවයන් සලසා දෙන ඇය ඔබට මිලකල නොහැකි වටිනා සම්පතකි. මේ ඉතිහාසගත වටිනාකම ඉතා අලංකාර උපමාවකින් ශුද්ධ වූ කුර්ආනය ඉතා කෙටියෙන් මෙසේ පවසයි.

ඔවුන් නුඹලාට වස්ත්‍රයන් මෙනි, නුඹලා ඔවුනට වස්ත්‍රයන් මෙනි

ශුද්ධ වූ කුර්ආනය 2-187

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය තුලින් අල්ලාහ් (දෙවි) සාර්ථක යුගදිවියක් සදහා අඹුසැමි යුවල අතර පැවතිය යුතු මූලික ගුණාංගක් ඉතා අලංකාරව හා සරලව පවසයි. එම 2-187 වාක්‍යය මඟින් පවසන කාරණය වෙත අවධානය යොමු කරන්නේ නම්, මනුෂ්‍යා සදහා වූ මූලික අවශ්‍යතාවයන් අතුරින් ‘වස්ත්‍රය‘ ද ප්‍රධාන එකකි. ඔහුගේ දිවිය තුල ආහාර පාන කොතරම් වැදගත් වන්නේ ද ඒ ආකාරයටම වස්ත්‍රය ද අත්‍යඅවශ්‍ය අංගයකි. ‘වස්ත්‍රය‘ යන්න එක් පසෙකින් මූලික අවශ්‍යතාවයක් වනවා සේම අද වනවිට එය ඔහුගේ අලංකාරය හා පෞරුෂත්වය ඔප්නංවන සාධකයකි. එපමණක් නොව තම විලි වසා ගැනීම දී එය තීරණාත්මක අංගයකි. එවන් වූ වස්ත්‍රයකට අඹුසැමි දෙදෙනා ඉස්ලාම් උපමා කිරීම තුල මිනිස් සමාජයට කියාපාන්නේ ඉමහත් වූ සිද්ධාන්තයකි. අඹුසැමි යුවලක් සැලකූවිට ඔවුන් දෙදෙනා අතර ගොඩනැඟිය යුතු මූලික බැදීමක් ඇත. එය ඉතා සමීපතම වූ බැදීමක් වීම එහි මූලික අවශ්‍යතාවයකි. එය තමා පැලද සිටින වස්ත්‍රය තමන්ට කොතරම් සමීපව තිබෙනවාද? ඒ ආකාරයට මෙම බැදීම පැවතිය යුතු යන්න මෙම උපමාව තුලින් කියාපාන පලමු පාඩමයි. එසේම විවාහයක් තුලින් ඉටු වියයුතු තවත් අවශ්‍යතාවයක් වන්නේ ඇය තුලින් ඔහුගේ මූලික අවශ්‍යතාවයන්ද, ඔහු තුලින් ඇයගේ මූලික අවශ්‍යතාවයන්ද පිරිමැසීමයි. එයට හරියට වස්ත්‍රයක් තුලින් තම මූලික අවශ්‍යතාවය සපුරනවා සේය. එම මූලික අවශ්‍යතාවය සපුරනවාත් සමඟින් සියල්ල අවසන් නොවේ. එම යුගදිවිය වඩ වඩාත් සාර්ථක කරගැනීම සදහා එකින් එකා අතර අවබෝධයන් හා පරස්පර සහයෝගයන් අවශ්‍ය වේ. එනම් ඇය තුලින් ඔහුද,  ඔහු තුලින් ඇයද සාර්ථකත්වය කරා ගමන් කලයුතු වේ. එය හරියට වස්ත්‍රයක් තුලින් මූලික අවශ්‍යතාවය සපුරනවාට අමතරව එයින් අලංකාරත්වයක් සලසාදෙනවා මෙනි. මෙම තත්වය තමා ‘සෑම සාර්ථක මිනිසෙකු පිටුපසම ගැහැණියෙක් ඇත‘ යනුවෙන් සමාජ ව්‍යවහාරයේ පවතින්නේ. නමුත් සැබෑවටම සෑම සාර්ථක ගැහැණියෙක් පිටුපසම තම ස්වාමියාද, සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම තම බිරිද ද සිටිය යුතු යන්න ඉස්ලාම් ඉහත 2-187 වාක්‍යය මඟින් අවධාරණය කරන සත්‍යයයි. එපමණක් නොව මනුෂ්‍යයෙකුගේ වස්ත්‍රය තුලින් බලාපොරාත්තු වන මූලික අවශ්‍යතාවය තමා තම විලි වසාගැනීම හා ඒ තුලින් ගෞරවය ආරක්ෂා කරගැනීම. එම අවශ්‍යතාවය ඉස්ලාම් දහම අඹූසැමියන් අතර ද අපේක්ෂා කරන්නේ ‘ඇය තුලින් ඔහුගේ ගෞරවයද, ඔහු තුලින් ඇයගේ ගෞරවයද රුකිය යුතුය‘ යන්න නොකියා කියාපාමිණි. මෙලෙස ‘වස්ත්‍රය‘ හා මනුෂ්‍යා අතර ඇති සමීපතම බැදීම පදනම් කරගෙන ඉස්ලාම් දහම එම බැදීම අඹූසැමි යුවලකට ගලපා කරුණු විග්‍රහ කරන්නේ ඉතා විශ්මය ජනක ලෙසය. ඉහත සදහන් විග්‍රහයන්ට අමතරව 2-187 වාක්‍යය තුල අඹුසැමි බැදීම සදහා පදනම් කරගත හැකි තවත් බොහෝ කරුණූ කාරණා එහි අන්තර්ගතව ඇත. ඒ පිලිබදව තවදුරටත් බුද්ධිමත් විමසුමකට ඔබට ආරාධනා කරමින් ලිපියෙහි ඉදිරියට යොමු වෙමි.

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය තුලින් අඹුසැමි යුවලක් තුල තිබිය යුතු බැදීම පිලිබදව උපමාවක් ගෙනහැර පාන ශුද්ධ වූ කුර්ආනය. එතැනින් නතර වන්නේ ද නැත. මෙම ලිපිය ආරම්භයේ සදහන් කලාසේ අඹුසැමි බැදීම යන්න දීර්ඝ කාලීන බොහෝ විට මරණය තුලින් අවසන් වන බැදීමකි. නමුත් කෙනෙකු තම විවාහ දිවිය තුල එම යථාර්තය නිසි ලෙස අවබෝධ කර නොගන්නේ නම් එහි සියළු සතුටු තාවකාලික වී අවසානයේ දෙදෙනාටම ඉතිරි වන්නේ දුක, පසුතැවීම හා බොහෝ විට එහි උච්චතම අවස්ථාවේ වෛරය යන්න පමණි. මෙය නූතන සමාජය තුල නිරන්තරයෙන් දකින් තිබෙන කාරණයකි. වසර ගණනාවක් අපමණ බාධක මධ්‍යයේ ආදරයෙන් බැදි පෙම්වතුන්ගේ ආදරය විවාහයෙන් අවසන් වන අවස්ථා අනන්තවත් අප සමාජය තුල දකින්නෙමු. (මා මෙසේ පවසන විට ‘ඉතින් හොදයිනේ‘ යනුවෙන් ඔබට සිතෙන්නට පුළුවන. නමුත් මා මෙහිදී අදහස් කරන්නේ ‘ආදරයේ අවසානය මිස පෙම්වතුන් ලෙස ගෙවූ දිවියේ අවසානය නොවේ‘.) සමහරක් එවැනි විවාහ සියදිවි හානි කරගැනීම හෝ ඝාතනයන් දක්වා දුරදිග යන අවස්ථාවන්ද පුවත්පත් මඟින් පවා අප නිතර දකින්නෙමු. බලාපොරොත්තු පොදි බැදගෙන යුගදිවියට එළඹෙන සමහරක් ආදර බැදීමන් සදහා ආයු කාලය ඇත්තේ ඉතා කෙටි කාලක් පමණි. අළුතින් විවාහ දිවියට එළඹුනු යුවලක් අතර දින, සති, මාස… යනාදී වශයෙන් කාලය ගෙවීයත්ම ඔවුන් නොදැනුවත්ම ඔවුන් තුල දුරස්ථභාවයක් වර්ධනය වන්නට පටන් ගනී. ඉහතින් 2-187 වාක්‍යයෙන් පැවසුවා සේ ඇයට ඔහුද, ඔහුට ඇයද වස්ත්‍රයක් ලෙස ඇරඹෙන යුගදිවිය කල්යත්ම ‘විවාහ සහතිකය‘ නම් ගිවිසුමට යටත් වූ එකින් එකා අතර යුතුකම් හා වගකීම්වලට පමණක් සීමා කරගන්නා යුගදිවියක් බවට පරිවර්ථනය වේ. මෙවැනි අවාසනාවන්ත ඉරණමක් යුගදිවිය තුල නිර්මාණය වීමට බලපාන හේතු පිලිබදව කථා කිරීමට මත්තෙන් තවත් ශුද්ධ වූ දේව වාක්‍යයක් ගෙන එන්නට අදහස් කරමි. එනම්,

නුඹලා එකින් එකා අතර අවබෝධයක් ඇති කර ගැනීම හා හිත සුව පිණිස නුඹලාගේ හඳ තුල ආදරය හා කරුණාව ඇති කලේය. නියත වශයෙන්ම බුද්ධිමතුන් හට මේ තුල සාක්ෂි ඇත්තේමය

ශුද්ධ වූ කුර්ආනය 30-21

ඉහතින් මා සදහන් කල අවාසනාවන්ත ඉරණම යුගදිවියක් තුල නිර්මාණය වීමට එකම හේතුව එම අඹුසැමි යුවල අතර නිසි අවබෝධයක් ගොඩනොනැඟීමයි. යුගදිවියට එළඹීමේ දී අත්සන් තබන විවාහ ගිවිසුමට දෙපාර්ශවය නිසි අයුරින් අත්සන් තැබීමෙන් හෝ විවාහ උත්සවය උත්කර්ශවත් අන්දමින් පැවැත්වීම තුලින් සියල්ල නිවරුදි නොවේ. එය නීතිමය බැදීමක් හා චාරිත්‍රයන් මිස ඒ තුලින් ආදරයක් ගොඩනැඟිය නොහැක. සාර්ථක යුගදිවියක් ගොඩනඟා ගැනීමට නම් දෙපාර්ශවය අතර හොද අවබෝධයන් හා ගරුත්වයන් ගොඩනඟා ගැනීම අත්‍යඅවශ්‍ය වේ. විශේෂයෙන් සියල්ල මිල මුදලින් තීන්දු වන නූතන සමාජය තුල ජීවත් වන බොහෝ පිරිස් මා පවසන ඉහත සත්‍යය පසෙකලා මුදල් පසුපස දිවයමින් ඒ තුලින් ‘සාර්ථක යුගදිවියක්‘ නිර්මාණය කරගැනීමට වෙහෙසෙමින් සිටිති. නමුත් එම මිරිඟුව පසුපස දිවයන ඔවුනට බොහෝ විට අවසානයේ ඉතිරිවන්නේ පසුතැවීම හා දුක පමණි. සැබෑ ආදරය මිල මුදලින් තීර්ණය කල හැකි සාධකයක් නොවන බව අවබෝධ කරගැනීමට අදත් බොහෝ දෙනෙකු මැලිවෙති. සැබෑ ආදරය ඇත්තේ එකින් එකා අතර අවබෝධයන් ගොඩනඟාගෙන කරන කැපවීමන් හෝ කැපකිරීමන් කිරීම තුල බව අවබෝධ කරගන්නේ ඉතා සුළු පිරිසක් පමණි.

මෙහිදී විශේෂයෙන් පැවසිය යුතු කාරණයක් ඇත. එනම් මෙතෙක් මා විග්‍රහ කරමින් එන අඹුසැමි බැදීම ආගමකට, ජාතියකට සීමා කොට කථා කලහැකි කරණයක් නොවේ. නමුත් ලොව අනිකුත් දහමන් දර්ශනයන් මෙන් මෙම විෂය ආගම දහමින් පරිභාහිරව කථා කිරීමට ඉස්ලාම් දහම තුල ආදර්ශ නැතුවාද නොවේ. ‘ඉස්ලාම්‘ දහමකට වඩා ජීවිත සැලැස්මකි. එය පූර්ණ වශයෙන් ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නංවූ ජීවන මාර්ගයකි. විශේෂයෙන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නැංවූ මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය (හදීස්) මෙහිදී තීරණාත්මක අංගයකි. ඒ අනුව සාර්ථක යුගදිවියක් සදහා අඹුසැමි යුවලක් අතර පැවතිය යුතු බැදීම කුමණ ආකාරයට වියයුතුද යන්න මුස්ලීම්වරුන් හට ඉස්ලාම් දහම නබිතුමාණන් තුලින් ආදර්ශ සපයා ඇත. එවැනි ආදර්ශ කිහිපයක් ඔබේ බුද්ධිමත් අවධානය ගෙන එන්නේ නම්,

නබිතුමාණන්ගේ බිරිද වන ආයිෂා (රලි) තුමියගෙන් අස්වද් (රහ්) තුමා වරක් ‘නබිතුමාණන් නිවසේ සිටින විට එතුමාණන් කුමක් කරන්නෙහිද?‘ යනුවෙන් විමසන ලදී. එයට එතුමිය ‘තම පවුලේ පිරිස් කරන කටයුතුවලට සහයෝගය දක්වයි‘ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි

තවත් අවස්ථාවක උර්වා (රහ්) තුමා ඉහත ආකාරයටම ආයිෂා (රලි) තුමියගෙන් විමසූ විට එතුමිය ‘තම ඉරුණු ඇදුම් එතුමා විසින්ම මසාගනී, තම පාවහන් කැඩුණු විට එය එතුමා විසින්ම සකසා ගනී, තම බිරිදෑවරුන් කරන සියළු කටයුතුවලට එතුමාණන් සහයෝගය දක්වයි.‘ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්නද් අහමද්

නබිතුමාණන්ගේ බිරිද වන ආයිෂා (රලි) තුමිය මෙසේ පවසයි. එනම් ‘දිනක් මා සහා නබිතුමාණන් ගමනක් ගිය අතර තුර අප දෙදෙනා අතර දිවීමේ තරඟයක් පැවැත්වුයෙමු. එහිදී මා ළාබාල වයසේ පසුවූ නිසා එම තරඟයේ නබිතුමාණන් පරාජ කොට මා ජයග්‍රහණය කලෙමි. නමුත් එලෙසම පසුකාලයක දී නැවත එවැනි තරඟය පැවැත් වූ අතර එහිදී (අයිෂා (රලි) තුමිය වන) මා තරබාරු තත්වයට පත්ව සිටී නිසා එහිදී මා පරාජ වී නබිතුමාණන් ජයග්‍රහණය කල අතර ‘එදා එකට අද මේක හරි‘ යනුවෙන් ද නබිතුමාණන් පවසන ලදී.

මූලාශ්‍රය ග්‍රන්ථය – අබූදාවූද්

ආයිෂා (රලි) තුමිය මෙසේ පවසන ලදී. ‘දිනක් ඇබීසීණියා රටේ වීරයන් වීර ක්‍රියාවල නිරත වන තරඟ මා නබිතුමාණන් සමඟ ගොස් නැරඹුවෙමි. එහිදී එතුමාණන්ගේ පසුපස (එතුමාණන්ට ආවර්ණව) හිද එතුමාණන්ගේ කම්මුල්වලට මාගේ කම්මුල් තබා එම තරඟය නැරඹූවෙමි. එම තරඟය වැඩි වේලාවක් නැරඹූ මාහට එය තවදුරටත් නැරඹීමට අවශ්‍ය නොවුවත් නබිතුමාණන් කොතරම් දුරකට ඉවසීමෙන් මාගේ රසවින්දනයට සහය දක්වනවාද යන්න දැනගැනීම සදහා මා දීර්ඝ වේලාවක් එලෙස සිටගෙන සිටියෙමි. නමුත් මා එතැනින් ඉවත් වනතුරුම නබිතුමාණන් මට සහයෝගය දක්වමින් එම තරඟය නැරඹීමට සහය දක්වන ලදී.‘

මූලාශ්‍රය ග්‍රන්ථය – බුහාරී

මුස්ලීම්වරුන්ට කිසියම් කාරණයක් සම්බන්ධයෙන් ආදර්ශයක් අවශ්‍ය නම් ඒ සදහා එකම මාර්ගය නබිතුමාණන්ගේ ආදර්ශයන් විමසා බැලීම පමණි. ඒ අනුව සාර්ථක යුගදිවියක් සදහා ආදර්ශයන් විමසා බැලීමේ දී ද මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවිතය තුල අපමණ වූ ආදර්ශයන් ඇත. එහිදී මුහම්මද් (සල්) තුමානණ්ගේ යුගදිවිය කොතරම් සුන්දර එකක් වී තිබුණාද යන්න හොදින් අවබෝධ කර ගැනීමට ඉහත හදීසයන් ප්‍රමාණවත් වනු ඇතැයි සිතමි. අපගේ ජීවිත මෙන් නොව එදා මුහම්මද් (සල්) තුමාණන්ගේ උරමත ප්‍රබල වගකීම් දෙකක් පැටවී තිබුණි. එනම්, එක් පසෙකින් (විශාල භූමි ප්‍රදේශයක පරිපාලන කටයුතු කරන) රාජ්‍ය නායකයෙක් (අමීර්), තවත් පසෙකින් ආඥානය රජ කරන සමාජයක් මධ්‍යයේ දිව්‍යමය දහම ප්‍රචාරය කරන දේව වක්තෘවරයෙක් (නබි). මේ වගකීම් දෙක එතුමාණන්ට රතු පලස්මත දිගහැරුණූ සුන්දර හෝ පහසු ගමන් මඟක් නොවීය. කුමණ්ත්‍රන, යුද්ධ, හිංසන, උපන්බිමින් නෙරපීම්… යනාදී අනේක බාධක මධ්‍යයේ වූ ගමන් මඟකි. එවන් බාධක හා වගකීම් රාශියක් මැද ජීවත් වූ නබිතුමාණන් තම බිරින්දෑවරුන් සදහාත් කාලයක් වෙන්කොට ඔවුන් හා ඉතා විනෝදයෙන් හා සහයෝගයෙන් කල්ගෙවා ඇති ආකාරය නූතන අපට ආදර්ශයක් නොවේද?. ඉහත හදීසය තුල නූතන ඉස්ලාම් විවේචකයන්ගේ අවධානයට ද ගෙන ආ යුතු කාරණයක් ඇත. ‘මුහම්මද් (සල්) තුමාණන් ආයිෂා (රලි) තුමිය ළමා වියේ දී බලහත්කාර ලෙස විවාහ කරගෙන ඇයට දුක්කිත ජීවිතයක් උරුමකලා‘ යනුවෙන් චෝදනා නඟන පිරිස් ඉහත හදීසයන් පිලිබදව බුද්ධිමත් ලෙස විමසා බැලීම අත්‍යඅවශ්‍යය. එම විවාහ ජීවිතය කොතරම් සුන්දර එකක් වුවාද? යන්නට ඉහත හදීසයන් නිදසුන් කිහිපයක් පමණි. එම කාරණය ඔවුන්ගේ අවධානයට යොමු කරමින් නැවතත් මාතෘකාව වෙත අවධානය යොමු කලේනම්, විවාහය තුලින් අඹූසැමියන් අතර ගොඩනැඟෙන ප්‍රධාන බැදීමක් නම් ඒ ආදරයයි. ආදරය යන්න සෑම කෙනෙකුගේම සිත් තුල උපතින්ම උරුම වී ඇති යහපත් ගුණාංගයකි. එය හඳවත තුලම සිර නොකොට විටින් විට මතු කොට පෙන්වීම අඹුසැමි බැදීම වඩ වඩාත් වර්ධනය කර ගැනීමට අත්‍යඅවශ්‍ය සාධකයකි. මේ හේතුව නිසා තමා නබිතුමාණන් වරක් මෙසේ පැවසුවේ.

නුඹ නුඹලාගේ බිරින්දෑවරුන් කෙරෙහි දක්වන ආදරයට අල්ලාහ් (දෙවි) කුලී (කුසල්) ලබාදීම පසු කරන්නේ නැත. තවදුරටත් නබිතුමාණන් පැවසීමේ දී ‘අල්ලාහ් (දෙවි)ගේ කැමැත්ත අපේකෂාවෙන් නුඹ කරන සෑම ක්‍රියාවකටම කුසල් ඇත. එය නුඹලා නුඹලාගේ බිරිදට ආදරයෙන් කවන එක් අහුරක් (පමණ වූ ආහාර) වුවද කම් නැත.

ඉහත හදීසය තුලින් ඉස්ලාම් දහම මිනිස් සමාජයට අවධාරණය කරන කාරණය ඔබ විවාහකයෙකු නම් තරමක් ගැඹුරින් විමසා බලන්න. ඔබේ බිරිද එසේත් නැත්නම්, ඔබේ සැමියා ඔබගෙන් මහා දුෂ්කර වූ මෙහෙවරයන් අපේක්ෂා කරන්නේ නැත. ඔබ කරන ඉතා සුළු ක්‍රියාවකින් විටෙක ආදරණීය වදනක් හෝ බැල්මක් වුවද ඔබ දෙපල අතර ආදරය වර්ධනය වීමට හේතුවිය හැක. එම සුළු කාරණය තුලින් පවා ඔබට කුසල් ගෙනදෙන බව ඉහත හදීසය තුලින් ඉස්ලාම් පවසයි. ඉස්ලාමීය මෙම ඉගෙන්වීමන් කිසිවක් පිලිබදව කිසිදු අවබෝධයක් නොමැති මුස්ලීම් නොවන සමහරක් වැදිබණ ඔස්තාර්ලා ‘ඉස්ලාම් කාන්තාවට දැඩි නීති පනවයි, ඇය වහල් ජීවිතයකට කොට කර ඇත, පුරුෂ අධිපත්‍යය එහි දැඩිව ක්‍රියාත්මක වේ‘ යනාදී වශයෙන් අන්තවාදී ප්‍රකාශ නිකුත් කරයි. නමුත් මෙතෙක් කාන්තාව සම්බන්ධයෙන් මෙම අඩවිය තුල ඉදිරිපත් කල ලිපි මෙන්ම මෙම ලිපිය ද බුද්ධිමත් ලෙස විමසා බලන්නේ නම් එම චෝදනාවන් කොතරම් පදනම් විරහිත චෝදනාවන්ද යන්න අවබෝධ කරගැනීම දුෂ්කර නොවේ. යහමඟ අඩවිය පුරාවට නැවත නැවත අවධාරණ කරන මෙතැනදී ද සදහන් කලයුතු විශේෂ කාරණයක් නම් ඉස්ලාමයට පූර්ව ආදර්ශය මුස්ලිම් සමාජය නොව මුහම්මද් (සල්) තුමාණන්ය. ඒ අනුව මුස්ලීම් සමාජයේ කිසිවකු කරන ක්‍රියාවක් පදනම් කරගෙන ඉස්ලාම් දහම පිලිබදව තීන්දු තීරණ ගැනීම නිවරුදි ක්‍රමවේදයක් නොවේ. මෙම විෂය සම්බන්ධයෙන් ද එය එසේමය. මුහම්මද් (සල්) තුමාණන් තම බිරින්දැවරුන් අතර කටයුතු කර ඇති ආකාරය ඉහතින් මා පැහැදිලි කලෙමි එසේනම් එයයි ඉස්ලාමීය පූර්වාදර්ශය වන්නේ.

ඉස්ලාම් කාන්තාවට ඉතා පහත් අන්දමින් සලකනවා යයි චෝදනා නඟන පිරිස් නබිතුමාණන් තම බිරින්දෑවරුන් අතර කොතරම් මිත්‍රශීලි ලෙස කටයුතු කර තිබෙනවාද? යන්න නොපෙනීම පුදුමයට කාරණයකි. ආයිෂා (රලි) තුමිය පවසනවා සේ ‘නබිතුමාණන් නිවසේ සිටින විට බිරිදගේ සියළු වැඩ කටයුතුවලට සහය වුවා‘ යනුවෙන් පැවසීම එයට හොද නිදසුනකි. වර්ථමාන සමාජය මෙවැනි ක්‍රියාවන් එනම්, බිරිදගේ වැඩ කටයුතුවලට ස්වාමියා සහයවීම යන්න වපර ඇසින් බලන්නත් එය උපහාසයට ලක්කිරීමට හුරුවී සිටී. නමුත් ඉස්ලාම් එවැනි ක්‍රියාවන් මුස්ලීම් සමාජයට අවධාරණය කිරීම තුල කාන්තාවට ඉස්ලාම් ලබාදී ඇති තැන අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. මෙහිදී අවබෝධ කර ගතයුතු තවත් වැදගත් කාරණයක් ඇත. එනම් ඉස්ලාම් මෙලෙස මුස්ලීම් සමාජයට පෙන්වාදෙන ආදර්ශ අනිවාර්‍ය නීතිරීති නොවන නමුත් සාර්ථක යුගදිවියක් සදහා එය අනිවාර්‍ය පූර්වාදර්ශයන් යන්නයි. අඹුසැමි අතර වූ ආදරණීය බැදීම නීතිරීති තුලින් ගොඩනැඟිය හැකි එකක් නොවේ. එය අවබෝධය තුලින් ගොඩනැඟිය යුතු බැදීමකි. එම බැදීම උනන්දු කරවන ඉස්ලාම් ඒ සදහා විවිධ ආදර්ශයන් අඹුසැමි යුවලට යෝජනා කිරීම ආගමික මූලාශ්‍රවල බොහෝ විට දක්නට ඇත. එවැනි එක් ආදර්ශයක් ඔබේ අවධානයට ගෙන එන්නේ නම්,

සෑම මුස්ලීම්වරයෙකුම ඉස්ලාම් දහම පනවා ඇති ආකාරයට දේව වැදුම්පිදුම් කටයුතුවල එනම් පස්වේල වන්දනය, උපවාසය නිරතවීම, හජ් වන්දනය කිරීම… යනාදී කටයුතුවල නිරතවීම අනිවාර්‍ය අංගයක් බව මීට පෙර ලිපි තුලින් පැහැදිලි කොට ඇත. ඒ තුල පවා අඹුසැමි යුවල එකින් එකා අතර මිත්‍රශීලී බැදීමන් ගොඩනඟාගෙන එකින් එකා අතර සහයෝගයෙන් එම කටයුතුවල නිරතවීම කුසල් ගෙන දෙන හොද ආදර්ශයක් බව ඉස්ලාම් පවසයි. එවැනි ආදර්ශයක් ඔබේ අවධානයට ගෙන එන්නේ නම්, ඉස්ලාම් දහම මුස්ලීම්වරුන් සදහා උදෑසන ඉටුකරන (එනම් දළ වශයෙන් පාන්දර 4.00 – 5.30 අතර) ‘සුබහ්‘ නම් වන්දනයක් පිලිබදව හා සුබහ් සලාතයට පෙර මධ්‍යම රාත්‍රියේ සිට ඉටු කරන ‘කියාමුල් ලෙයිල්‘ නම් වන්දනයක් පිලිබදව අවධාරණය කරයි. මෙය ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට දැඩිව උනන්දු කරවන අසීමිත භාග්‍යයන් ගෙන දෙන කුසල ක්‍රියාවකි. එසේම මෙම කුසල් ක්‍රියාවේ නිරතවීමට නම් තම නින්දෙන් කොටසක් කැපකිරීමට ද සෑම මුස්ලීම්වරයෙකුට සිදුවේ. එවන් වූ මෙම කුසල් ක්‍රියාව අඹූසැමි යුවල අතර ඉස්ලාම් උනන්දු කරවන ආකාරය මොහොතක් බුද්ධිමත් ලෙස විමසා බලන්න.

‘වන්දනාමාන කිරීම සදහා රාත්‍රියෙහි අවදි වන අඹුසැමි යුවලට අල්ලාහ් (දෙවි)ගේ භාග්‍යය හිමිවේවා!,‘ යනුවෙන් පැවසූ නබිතුමාණන් ‘එලෙස (වන්දනය සදහා) රාත්‍රියෙහි ඔබ දෙදෙනා අතුරින් කවුරුන් ප්‍රථමයෙන් අවදි වන්නේද, ඔහු හෝ ඇය විසින් නිදා සිටින තම බිරිද/සැමියා ද අවදි කරන්න. ඒ සදහා ඔහුගේ/ඇයගේ මුහුණට සිසිල් ජලය ස්වල්පයක් ඉසින්න.‘

දෙවියන් කෙරෙහි ඉටුකරන වන්දනා කටයුතුවල පවා ඉස්ලාම් දහම අඹුසැමි අතර ආදරය උනන්දු කරවන ආකාරය ඉහත හදීසය තුලින් පැහැදිලි වනවා නොවේද?. මීට අමතරව අඹුසැමියන් අතර වූ බැදීම හා පරස්පර සහයෝගය පිලිබදව ඉස්ලාම් දහම අවධාරණය කිරීමේ දී නබිතුමාණන් මෙලෙස ද පවසන ලදී. එනම්, ‘කවදත් වචනයෙන් හා ක්‍රියාවෙන් නුඹගේ බිරින්ද හමුවේ යහපත් පුරුෂයෙක් ලෙසම ක්‍රියා කිරීමට උත්සාහ කරන්න. කවදත් සිනාමුසු මුහුණින් ඇය හා කථා කරන්න. පවුල් කටයුතුවල (තීන්දු තීරණ ගැනීමේ) දී ඇයගේ අදහස් ද විමසන්න. අනිකුත් කටයුතු වලද ඇයගේ අදහස් ලබාගන්න. දිනය තුල ඇය වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න…‘ යන්නයි. මෙය යහපත් පවුල් දිවියක් උදෙසා මිනිස් සමාජයට ඉස්ලාම් දහම කල උපදේශයන් කිහිපයක් පමණි.

එසේනම් මෙතෙක් වේලා කථා කල කරුණු කාරණා අතුරින් කොතරම් ප්‍රමාණයක් අද අප පවුල් දිවිය තුල ක්‍රියාවට නැංවෙනවාද?, ඉස්ලාම් පවසන මෙම ආදර්ශයන් අතුරින් කොතරම් ප්‍රමාණයක් අප පවුල් දිවියට ගලපාගෙන තිබෙනවාද? යන්න මොහොතක් ස්වයං විමසුමක් කර බැලීම සෑම අඹුසැමි යුවලකගේම අනිවර්‍ය යුතුකමකි. එසේ ඔබ හොදින් විමසා බලන්නේ නම්, අද බොහෝ පවුල් ජීවිත තුල සතුටක් හා ජීවයක් දක්නට නොලැබෙන්නේ මා පෙර සදහන් කලාසේ එය යුතුකම් හා වගකීම්වලට පමණක් සීමා වූ බැදීමන් බවට පරිවර්ථනය වී ඇති නිසා යන්න අවබෝධ වනු ඇත. මෙම ලිපිය ආරම්භයේ මා සදහන් කලාසේ අඹුසැමි බැදීම යන්න එය කිසිසේත් සුළුකොට තැකිය හැකි කාරණයක් නොවේ. එය ලෞකික දිවිය තුල කොතරම් අත්‍යඅවශ්‍ය අංගයක්ද? යන්න මා ඔබට ගැඹූරින් විග්‍රහ කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි සිතමි. එනමුත් එය ලෝකොත්තර දිවියට කොතරම් යහපත ගෙන දෙන්නක්ද යන්න අවබෝධ කරගැනීම මුස්ලීම්වරුන් වන අපට ඉතා වැදගත් වන අතර මෙතෙක් සාකච්චා කල කරුණූ තුලින් ද මා උත්සාහ කලේ එම කාරණය ඔබට අවබෝධ කරදීමටය. එය තවදුරටත් අවබෝධ කරගැනීම පිණිස ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් ඔබේ අවධානයට ගෙන එන්නේ නම්,

…(ඔබ) අපගේ ආයාවන් විශ්වාස කොට සම්පූර්ණයෙන් අපට අවනත වූ මුස්ලීම්වරුන්ය. ‘ඔබද ඔබගේ භාර්‍යාවන්ද ඉතාමත් සතුටින් ස්වර්ගය තුළට ඇතුළු වනු!,

ශුද්ධ වූ කුර්ආනය 43-70

ඉහත වාක්‍යය දකින සමහරක් අඹුසැමියන් හට ‘පරලොවේදීත් මා හට ජීවත් වීමට සිදුවන්නේ ඇය/ඔහු සමඟ ද?‘ යන කුතුහලය ඇතිවීමට පුළුවන. මෙය දීර්ඝ ලෙස කථා කලයුතු තවත් මාතෘකාවක් වන අතර මෙහිදී කෙටියෙන් හෝ සදහන් කිරීමට ඇත්තේ ‘එසේ ඔබට සිතෙන්නේ නම් මෙතෙක් මා මෙම ලිපිය තුලින කථා කල කරුණු විශේෂයෙන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් හා හදීසයන් තුලින් මතුකල කරුණු ඔබේ ජීවිතයට ඉතා වැදගත් බවත්, එය කෙරෙහි නැවත නැවතත් ඔබගේ බුද්ධිමත් අවධානය යොමු කිරීම අත්‍යඅවශ්‍ය යන්නත් පමණි. දැන් ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය වෙත යොමු වන්නේ නම්, අද සැලකිය යුතු තරම් පවුල් ජීවිත අසාර්ථක මට්ටමින් පැවතුනද සාර්ථක පවුල් ජීවිත ද නැතුවා නොවේ. එවන් සාර්ථක පවුල් ජීවිත පරලොවෙහිද මෙම අඛණ්ඩ බැදීම ප්‍රාර්ථනා කරන අවස්ථාවන් නැතුවා නොවේ. එවැනි පවුල් ජීවිත සැබැවින්ම ඉතා භාග්‍යවන්තය. නමුත් මුස්ලීම්වරුන් එම අරමුණ ජයගැනීමට නම් අවශ්‍යතාවයන් දෙකක් සපුරාලීම අත්‍යඅවශ්‍ය වනු ඇත. එනම් ඉස්ලාම් පෙන්වාදෙන ආකාරයේ අවබෝධයෙන් යුතුව ගොඩනැඟුණු ආදරණීය සාර්ථක පවුල් දිවියක් හා ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුකූලව වූ දැහැමි ජීවිතයක් එම අඹුසැමි යුවල අතර පැවතීම අත්‍යඅවශ්‍ය කාරණයකි. අද අපට දක්නට තිබෙන බොහෝ ‘ආදරණීය බැදීමන්ට‘ ආයූෂ ඇත්තේ දින, සති, මාස හෝ වසර කිහිපයක් පමණි. අඹූසැමි අතර භාහිර අලංකරයත්, තම කායික අවශ්‍යතාවයනුත් හීනවෙනවාත් සමඟ ආදරය ද වියකී යයි. නමුත් අවබෝධය තුල ගොඩනඟෙන ලෞකික හා ලෝකොත්තර දිවියේ සාර්ථකත්වය අරමුණූ කරගත් ආදරණීය බැදීමන් තුල එම දුර්වලතාවයන් ඇති නොවේ. මේ සදහා ද නබිතුමාණන්ගේ ජීවිතය තුල පූර්වාදර්ශයක් ඇත. එනම්,

නබිතුමාණන්ගේ ප්‍රථම බිරිද වන කතීජා (රලි) තුමිය සැලකූවිට එතුමිය නබිතුමාණන් සමඟ විවාහ වනවිට එතුමිය වයස 40 ක් වූ වැන්දඹු කාන්තාවකි. (එවිට නබිතුමාණන්ගේ වයස අවුරුදු 25ක් පමණි) මා ඉහතින් සදහන් කලාසේ සියල්ල බාහිර අලංකාරය හා හැඟීමත මත තීන්දු වන නූතන සමාජයේ බුද්ධිමත් විමසුමට ඉහත යුගදිවිය තුලින් ඉස්ලාමීය ආදර්ශයන් කිහිපයක් ඔබගේ විමසුමට ඉදිරිපත් කිරීමට අදහස් කරමි. තමන්ට වඩා වයසින් වැඩි එපමණක් නොව මහළු වියට පත් කාන්තාවක් වන කතීජා (රලි) තුමිය හා තම කුළුදුල් විවාහ දිවිය ඇරඹු නබිතුමාණන් එතුමිය සමඟ වසර 25 ක් ජීවත් වන ලදී. (එනම් නබිතුමාණන්ට වයස අවුරුදු 50 හා කතීජා (රලි) තුමියට වයස අවුරුදු 65 පමණ වන තෙක්ය) නූතන ලෝකය තුල ජීවත් වන ඔබට මෙවැනි ජීවිතයක් ජීවිත් වීමට නොව සිතා ගැනීමට පවා හැකිවේද?. ඔබේ දිවිය තුල කිසියම් ආකාරයකින් එවැනි විවාහයක් සිදු වුවා යයි උපකල්පනයක් කර බලන්න. එවිට ඒ තුල සතුට හා එකින් එකා අතර ගොඩනැඟුණූ ගෞරවයන් පැවතීමට පුළුවන්ද?. (මෙහිදී ඔබ අවබෝධ කර ගතයුතු කාරණයක් ඇත. එනම් මෙවැනි විවාහ ඉස්ලාම් දහම, මුස්ලීම් සමාජයට උනන්දු නොකරන බවයි. ඒ පිලිබදව වැඩි විස්තර සහා කතීජා (රලි) තුමියගේ විවාහය සම්බන්ධ විස්තර මෙම අඩවිය තුල ‘කතීජා (රලි) තුමිය‘ නම් ලිපිය තුලින් ඔබට කියවීමට හැක) නමුත් විවාහ ජිවිතයේ යථාර්තය හා ඒ තුලින් ඉස්ලාම් අවධාරණය කරන යහපත හා ප්‍රයෝජනය නිසි ලෙස අවබෝධ කරගත් නබිතුමාණන්ගේ එම ජීවිතයෙන් බිදක් පහතින් ඔබේ බුද්ධිමත් විමසුමට ඉදිරිපත් කරමි. එය මොහොතක් විමසා බලන්න.

කතීජා (රලි) තුමයගේ අභාවයෙන් පසු නබිතුමාණන් විවාහ කරගත් (නබිතුමාණන් විවාහ කරගත් එකම කන්‍යාවිය වන) ආයිෂා (රලි) තුමිය පවසන පහත කාරණය පිලිබදව මොහොතක් බුද්ධිමත් ලෙස විමසා බලන්න.

‘මට ඊර්ෂියාවක් ඇති වන තරමට සෑම විටම කතීජා (රලි) තුමියව මුහම්මද් (සල්) තුමාණන් සිහි කරයි, එසේම වර්ණනා කරයි.‘

මූලාශ්‍ර ග්‍රන්ථය – අල් ඉසාෆා

ඉහත හදීසය තුලින් තම මහළු බිරිද කෙරෙහි නබිතුමාණන් තුල පැවතී. ගෞරවාන්විත ආදරය කොතරම්ද? යන්න අවබෝධ කරගැනීම ඔබට අපහසු නොවනු ඇත. කෙසේ වෙතත් ඉස්ලාම් පවසන මෙවැනි කරුණූ අවබෝධ කරගන්න උත්සාහ කරනවාට වඩා විවේචනය කරන්නට බලාහිදින පිරිසට මෙයත් ‘බිහිරි අලීන්ට වීනා වැයීමක්‘ පමණි. නමුත් බුද්ධිමත් ලෙස විමසා බලන පිරිසට මේ තුල අවබෝධ කරගත හැකි බොහෝ කරුණු ඇත. එපමණක් නොව තම ප්‍රථම බිරිද වූ කතිජා (රලි) තුමිය සම්බන්ධයෙන් නබිතුමාණන්ගේ ක්‍රියාකලාපයන් පිලිබදව එතුමාණන්ගේ බිරින්දෑවරුන් පවසන පහත කරුණූ ද එම බැදීම තවත් බොහෝ දෑ ඔබට කියාපානු ඇත. එනම්,

  • ‘තම නිවසේ විශේෂ ආහාරයන් පිසූ අවස්ථාවල තම ප්‍රථම බිරිද වන කතීජා (රලි) තුමියගේ පවුලේ අයටත්, එතුමියගේ යෙහෙලියන්ටත් එයින් කොටසක් බෙදාදීම නබිතුමාණන් කිසිදු අවස්ථාවක අතපසු කලේනැති බවද,
  • කතීජා (රලි) තුමියගේ මරණින් පසු පවා එතුමියගේ යෙහෙලියන්ට ඉතා ගෞරවාන්විත ලෙස සැලකූ බව එතුමාණන්ගේ බිරින්දෑවරුන් පවසයි. දිනක් එක්තරා මහළු කාන්තාවක් නබිතුමාණන් හමුවීමට පැමිණි අවස්ථාවේ. නබිතුමාණන් තම උර සළුව ගෙන එය අතුරා ඒ මත එතුමිය අසුන්ගන්වන ලදී. මෙසේ පැමිණි එම මහළු කාන්තාව බැහැරව ගියාට පසු මේ සියල්ල දෙස විශ්මිත ලෙස බලා සිටී (බිරිද) අයිෂා (රලි) තුමිය නබිතුමාණන්ගෙන් ඒ පිලිබදව කරුණු විමසූ විට ‘ඇය කතීජා (රලි) තුමියගේ යෙහෙලියක් ඇය නිතර කතීජා (රලි) තුමිය හමුවීමට පැමිණේ එම නිසා තමා මා ද එතුමියට එලෙස ගරු කලේ‘ යනුවෙන් පැවසුවේ තම බිරිදගේ යෙහෙලියන් පවා ඉතා ගෞරවාන්විත ලෙස සැලකීම ඉස්ලාමීය සාරධර්ම බව කියාපාමිණි.
  • කතීජා (රලි) තුමිය මිය ගිය වර්ෂය ‘දුක්කිත වර්ෂයක් (ආමුල්හුස්න්)‘ ලෙස නම් කිරීමද,
  • දිනක් නබිතුමාණන් නිවස තුල සිටින විට තම නිවසේ දොර තට්ටු කරන හඬක් ඇසූ මොහොතේ ‘මාගේ දෙවියණේ!, මේ පැමිණ සිටින්නේ මාගේ බිරිද කතීජා (රලි) තුමියගේ සහෝදරිය වන ‘හාලා‘ වියයුතුය.‘ යනුවෙන් පැවසීමද

තම බිරිද වන කතීජා (රලි) තුමිය කෙරෙහි නබිතුමාණන්ගේ ආදරය, ගෞරවය හා උනන්දුව කියාපාන නිදසුන් කිහිපයක් පමණි. මෙම කරුණූ මා කතීජා (රලි) තුමිය පදනම් කරගෙන ඉදිරිපත් කරන්නේ අනිකුත් බිරින්දෑවරුන් සම්බන්ධයෙන් මෙවැනි ආදර්ශ නබිතුමාණන්ගේ ජීවිතය තුල නොමැති නිසා යනුවෙන් ඔබ වැරදි අවබෝධයක් ඇති කරගතයුතු නොවේ. මෙහිදී වර්ථමාන ලෝකය තුල අඹුසැමි ආදරයට පදනම් කරගන්නා කරුණූ හා එදා නබිතුමාණන් පදනම් කරගත් කරුණූ සංසන්ධනය කිරීමට කතීජා (රලි) තුමියගේ ජීවිතය වඩාත් සුදුසු වන නිසාම පමණි. එසේම මුස්ලීම් සමාජයට මෙහිදී අවධාරණය කලයුතු කාරණයක් ඇත. එනම් ඉහත සදහන් නබිතුමාණන් හා කතීජා (රලි) තුමිය අතර පැවතී ආදර බැදීම තවත් රොමියෝ-ජුලියට්, සාජහාන්-මුන්තාජ් හෝ කුස-පබා… වැනි ආදර කථා පුවතක් නොවේ. එය අඹුසැමි යුවලක් අතර අවබෝධයෙන් යුතුව ගොඩනැඟිය යුතු ආදරය පිලිබදව ඉස්ලාම් පෙන්වාදෙන දිව්‍යමය ආදර්ශයන් බිඳකි. එය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස ඔබේ බුද්ධිමත් විමසුමට අවසාන වශයෙන් එක් හදීසයක් ගෙන එන්නට අදහස් කරමි.

‘නුඹලා අතුරින් යහපත් තැනැත්තා වන්නේ නුඹලාගේ බිරිද හමුවේ ‘ඉතා යහපත්‘ යයි නම් දැරෑ තැනැත්තාය‘

මෙතෙක් මා ඔබේ අවධානයට ගෙන ආ කරුණූ තුලින් සැබෑ මුස්ලීම් අඹුසැමි යුවලක් අතර වූ බැදීම කුමණ ආකාරයේ එකක් වියයුතුද යන්න ඔබට දැන් තරමක් දුරකට හෝ පැහැදිලි ඇතැයි සිතමි. එය ලෞකික මෙන්ම ලෝකොත්තර දිවියේ සාර්ථකත්වය උදෙසා තීරණාත්මක සාධකයක් යන්නත් පැහැදිලි ඇතැයි සිතමි. එසේනම් දැන් ඔබට ඉතිරිව ඇත්තේ ඔබේ මෙතෙක් දුර පසුකර ආ යුගදිවිය ඉස්ලාම් පවසන ආකාරයට සාර්ථක ද? අසාර්ථක ද? යන්න තීන්දු කිරීම පමණි. ඒ සදහා වූ සහතිකය ඔබට ලබාදෙන්නේ කවුරුන්ද?. එය විවාහ රෙජිස්තාර් විසින් නිකුත් කරන විවාහ සහතිකය පදනම් කරගෙන භාහිර ලෝකයට ඔබට අවශ්‍ය නම් තහවුරු කල හැක. නමුත් ලෞකිකව හා ලෝකෝත්තර ලෙස එම සහතිකය නිකුත් කිරීමේ වඩාත් සුදුසු බලධාරීයා වන්නේ ඔබේ ආදර්ණීය ‘බිරිද‘ පමණි. එම සහතිකය ඇයගෙන් දිනා ගැනීමට එතරම් පහසු කටයුත්තක් නොවේ. මන්ද එය ඔබ දිවා රෑ උපයන මිල මුදල් මඟින් මිලදී ගතහැකි එකක් නොවේ. එසේම ඔබේ බිරිදට අලංකාර ඇදුම්පැලදුම් හෝ ආහාර පාන යනාදී සංතෝසමක් ත්‍යාග කොට දිනාගත හැක්කක්ද නොවේ. එපමණක් නොව භාහිර ලෝකයේ ඔබේ ප්‍රසිද්ධිය, ඔබට හිමි ගෞරවය, ඔබට හිමි ප්‍රශංසාව, ඔබේ උගත්කම… යනාදී කරුණූ එම සහතිකය සදහා කිසිවිටෙක බලපාන්නේ ද නැත. එය ඇයගේ හදවතේ ගැඹුරුම තැනින් පිදෙන උත්තරීතර සහතිකයකි. එය වර්ථමාන ලෝකයේ දකින ආචාර්‍ය, මහාචාර්‍ය සහතික මෙන් කෙසේ හෝ දිනා ගැනීමෙන් සියල්ල අවසන් වන්නක්ද නොවේ. මෙය මරණය තෙක් අඛණ්ඩව ආරක්ෂා කලයුතු නොඑසේ නම් අවලංගු වී යන සහතිකයකි. එසේ නම් අවසාන වශයෙන් ඔබෙන් විමසන්නට ඇත්තේ ‘ඔබ දැනටමත් විවාහකයෙකු නම් මේ සහතිකය සදහා ඔබ හිමිකම් ලබා තිබෙනවාද?, එය අඛණ්ඩව ආරක්ෂා කිරීමට ඔබට හැකිවී තිබෙනවාද?, නොඑසේ නම් එම සහතිකය දිනාගැනීමට ඔබ තුල දැනටත් සූදානමක් තිබෙනවාද? යන්න පමණි.

 

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර 1 යි

  1. Rihana 2012-04-01 at 10:26

    Jazakallahu Khairan…

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *