සමාජ යහපත අපෙක්ෂා කිරීම – යහගුණාංග

0

ශ‍්‍රී ලංකාව, අතීතයේ මිනිස් කමේ ගුණ සුවදින් පිරුණු සමාජ පසුබීමකට හිමිකම් කිවේය. නමුත් නූතන මිනිසාගේ දියුණුවත් සමඟ ඒ ගුණයහපත්කම මිනිස් සමාජයෙන් තුරන් වී අද ඔහු ද්විත්ව අර්බුදයක මැදිවී ඇත. එනම්, එක්පසෙකින් මනුෂ්‍යත්වය පිරිහීම හේතුවෙන් බහුජන දුගීභාවයට පත්ව සිටින මිනිසා තවත් පසෙකින් සියල්ල රුපියල් ශතවල තීන්දු කරන වෙළද ලෝකය තුල තවත් වෙළද භාණ්ඩයක් වන තරමට සියල්ල මිලමුදලට තීන්දු කරන තැනට කටයුතු කරමින් ඇත. මෙවන් සමාජ පසුබිමක මිනිසුන් විසින්ම වළ දැමු මනුෂ්‍යත්වය, මිනිසුන් විසින්ම ගොඩගත යුතු කාලය දැන් උදාවී ඇත. අද තමන්ගේ උන්නතිය, ගෞරවය , ජනප්‍රියත්ව, කීර්තිය උදෙසා ඕනෑම පහත් ක්‍රියාවක් කිසිදු පැකිලීමකින් තොරව සිදුකරන තරමට නූතන සමාජය බහුජන දුගීභාවයකින් පෙලෙති. විශේෂයෙන් මනුෂ්‍යත්වය පසෙක තබා ජාතීන්, ආගම් හා කුල වශයෙන් බෙදී එකින් එකා ගැරහීම හා ඔවුනට එරෙහිව එදිරිවාදිකම් හි නියලීම අද සමාජ තුල සාමාන්‍ය සිරිතක් වී ඇත. මේ සියල්ල තුල කියාපාන්නේ මනුෂ්‍යත්වය, අනුකම්පාව, පරාර්ථකාමීත්වය… යනාදීය මනුෂ්‍ය සිත්වලින් කෙමෙන් කෙමෙන් ඈත් වෙනවා යන්න නොවේද ?

විශේෂයෙන්ම මනුෂ්‍යා තුල යහපත් විනයක් ගොඩනැඟීම තුලින් යහපත් සමාජයක් ගොඩනැඟිය යුතු පාර්ශවයන් විශේෂයෙන් ආගමික ශාස්තෘවරුන්, පූජකවරුන් හා පූජනීය ස්ථාන පවා ඊට එරෙහිව ක්‍රියා කිරීම දැන් දැන් අප සමාජය තුල සුළභ දසුනක් වී ඇත. මෙය ඉහතින් සදහන් සමාජය තත්වය එනම්, පරිහානීය මනාව කියාපෑමකි. මෙයට සරල හා සමීපත නිදසුනක් ලෙස පසුගිය 20123/08/10 දින ග්‍රෑන්ඩ්පාස් සිදුවීම ගෙනහැර දැක්විය හැක. එනම්,

…ආගමික ස්ථානයක ගංඨාර නාද කර මිනිසුන් කුලප්පු කර වෙනත් ආගමික තැන්වලට පහර දෙනන්ට කටයුතු කල ආකාරය අප පසුගිය දිනවල අප මාධ්‍යයන් තුල දුටුවෙමු. එපණක් නොව ඒ ක්‍රියාව තුල විනෝද වූ හා කාලකන්නි වින්දනයක් ලද පාර්ශවයන් ද රටපුරා (විශේෂයෙන් අන්තර්ජාලය තුල) අප දුටුවෙමු…

මනුෂ්‍යා තුල යහපත් ගුණදහම් වර්ධනය කලයුතු පාර්ශවයන් මෙලෙස ක්‍රියා කිරීම තුල රටක්, ජාතියක්, සමාජයක්…  ලෙස අහිමිකරගත් දෑ මිස දිනාගත් කිසිවක් තිබේද? යන්න සියළු පාර්ශවයන් බුද්ධිමත්ව විමසා බැලිය යුතුය. ‘සෑම මනුෂ්‍යයෙකු තුලම යක්ෂයෙකු ද ඇත’ යන්න සමාජ ව්‍යාවහාරයේ නිතර පැවසෙන වදනකි. සැබැවින්ම මනුෂ්‍ය ස්වභාවයෙන්ම වියරුවාදී යන්න විද්‍යාත්මක මෙන්ම ඉතිහාසය පුරාවට ද ඔප්පු වන සත්‍යයකි. මෙය ඉස්ලාම් දහම ද ශුද්ධ වූ කුර්ආනය තුලින් පහත ආකාරයට කියාපායි.

මහපොළොවේ මම නි‍යෝජිතයෙක්(වන මනුෂ්‍යයා)ව මවන්නට යමි යැයි ඔබගේ දෙවි දේව දූතයන්(වන මලක්වරුන්)ට කී කල්හි, එහි අනර්ථකම් කර ලේ වගුරන අයවද මවන්නට යන්නේ? අපි ඔබගේ ප්‍රශංසාව මෙනෙහි කරන්නෙමු, ඔබව පාරිශුද්ධත්වයට පත් කරන්නෙමු යැයි ඔවුහු (මලක්වරු) කීහ.

(අල් කුර්ආන් 2-30)

මේ මිහිමත මනුෂ්‍යයෙකු මවන්නට තීන්දු කල පුවත අල්ලාහ් (දෙවි) විසින් ‘මලාඉකාවරුන්’ (දේව දූතයන්) හට පැවසූ කල්හි ඔවුන් දැක්වූ ප්‍රතිචාරය වුයේ ‘පොලොවේ අනර්ථකම් කර ලේ වගුරන අයවද මවන්නට යන්නේ?’ යන්නයි. මේ ශුද්ධ වූ වාක්‍යයේ සදහන් ආකාරයට මනුෂ්‍යා ස්වභාවයෙන්ම ‘වියරුවාදී’ යන්න පැහැදිලිය. ඔහු මේ මිහිමත හිඳ කොතරම් අවිහිංසාව, කරුණාව, ආදරය, මෛත්‍රිය, සාමය… ගැන කථා කලත් එහි ඉහත තත්වයේ වෙනසත් නැත. මේ හේතුව නිසාම තමා අප රටේ පවා සත්ව කරුණාව කථා කරන සමහරක් පාර්ශවයන්ට මනුෂ්‍යත්වයේ අගය නොතේරෙන්නේ. වර්ථමානයේ අප රටේ මෙන්ම අවිහිංසාව ගැන කථා කරන ලොව බොහෝ රටවල ‘මනුෂ්‍ය දිවිය’ තුට්ටුවකටත් නොසලකා ක්‍රියා කරන ආකාරයත්, ඔවුන් ඝාතනයට තැත් කරන ආකාරයත්, ඔවුනට හිංසා කරන ආකාරයත්, විටෙක ඝාතනයම කරන ආකාරයත්… අදත් අප දකින්නේ. මෙහි අවාසනාවන්ත තත්වය වන්නේ ස්වභාවයෙන්ම වියරුවාදී වූ මනුෂ්‍යාගේ ඒ වියරුවාදී හැඟීමන් යටපත් කරන්නට ශාස්තෘවරුන් තුලින් ප්‍රකාශ වූ දහමන් දර්ශනයන් ආශිර්වාදයක් කරගන්නවා වෙනුවට මනුෂ්‍යාගේ වියරුවාදීත්වය ඉස්මතු කිරීමට අවස්ථාවක් කර ගැනීමයි.

මෙවන් පසුබිමක යහපත් ආගමික විනයක් කරා නැවත සමාජය මෙහෙය වීමේ  මුඛ්‍ය වගකීම සමාජයේ සෑම තරාතිරමක් ම නියෝජනය කරන සියළු පාර්ශයන්ට පැවරී තිබෙනවා යන්නෙහි විරුද්ධ මතයක් පැවතිය නොහැක. විශේෂයෙන් ‘යහගුණාංග‘ මනුෂ්‍යා තුල වර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත. මේ අවශ්‍යතාවය හොදින් අවබෝධ කොට කවදත් කටයුතු කරන ‘යහමඟ’ අඩවිය ඒ අරමුණූ ඔස්සේ ලිපි ගණනාවක් මීට ඉහත ද සාකච්චා කොට ඇත. එහි තවත් පියවරක් ලෙස ‘අන් පිරිසගේ යහපත උදෙසා කටයුතු කිරීම’ යන විෂය පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීම පදනම් කරගෙන මෙහිදී විමසා බැලීමට අදහස් කරන අතර ‘අපේ ආගම සර්වකාලීනයි‘ යයි වහසිබස් දොඩන සියළු පාර්ශවයන්ට, එසේම ආගම දහම වතාවත්වලට පමණක් සීමා කොට කටයුතු කරන පාර්ශවයන්ට මේ ලිපිය තුලින් ඉස්ලාම් දහම සමාජීය වශයෙන් කොතරම් පුළුල් පරාසයක් ආවර්ණය කරනවාද? යන්න පිලිබදව හොද අවබෝධයක් ලබාගත හැකිවනු ඇත. ඒ අනුව ශුද්ධ වූ නබිවදනකින් (හදීසයකින්) ඒ සදහා පිවිසුමක් ලබාගන්නේ නම්,

මුහම්මද් (සල්) තුමාණන් එක්තරා අවස්ථාවක ‘(ඉස්ලාම්) දහම යනු යහපත වෙනුවෙන් කටයුතු කිරීමයි’ යනුවෙන් පවසන ලදී. එවිට ((සමකාලීන අනුගාමිකයන් වන) සහාභාවරුන් වන) අප ‘දූතයාණනි!, කවුරුන්ගේ යහපත වෙනුවෙන්ද?’ යනුවෙන් විමසුවෙමු. එයට එතුමාණන් ‘අල්ලාහ් (දෙවියන්)ටත්, ඔහුගේ දහමටත්, ඔහුගේ දූතයාණන්ටත්, සමාජයේ නායකයින්ටත්, පොදු ජනතාවටත්’ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

ඉහත නබිවදන තුලින් මුහම්මද් (සල්) තුමාණන් මුස්ලීම් සමාජයට කරුණූ පහක් අවදාරණය කරනවා යන්න පැහැදිලිය. එනම්,

  • අල්ලාහ් (දෙවි)ට යහපත අපේකෂා කිරීම,
  • දහමට යහපත අපේකෂා කිරීම,
  • දූතයාණන්(වන මුහම්මද් (සල්) තුමාණන්)ට යහපත අපේක්ෂා කිරීම,
  • සමාජයේ යහපත් නායකයින් හට යහපත අපේක්ෂා කිරීම,
  • පොදු ජනයාට යහපත අපේක්ෂා කිරීම,

ඉහත හදීසය තුල ඉදිරිපත් වන කරුණූ 05 ඉතා ගැඹුරින් විග්‍රාහ කලයුතු හා විමසා බැලිය යුතු කාරණයන් වුවත් මෙම ලිපියේ විෂය පථයට අදාලව එය විමසා බලන්නේ නම්, එහි ප්‍රථමයෙන් අල්ලාහ් (දෙවි)ට යහපත අපේක්ෂා කිරීම යන්න පැවසීම තුල අල්ලාහ් (දෙවි) කෙරෙහි මුස්ලීම් සමාජයේ අවනතභාවය මෙයින් උනන්දු කරයි. ඊළඟට දහමට යහපත අපේක්ෂා කිරීම යැයි පැවසීම තුල මනුෂ්‍යා දැහැමි ජීවිතයක් ගතකිරීමේ අවශ්‍යතාවය මෙහි අවදාරණය කරයි. අනතුරුව දූතයාණන්(වන මුහම්මද් (සල්) තුමාණන්)ට යහපත අපේක්ෂා කිරීම යැයි පැවසීම තුල තම ආගමික ශාස්තෘවරුන්ට අවනතව ඔවුන් පෙන්වාදුන් මාර්ගයේ කටයුතු කිරීම අවදාරණය කරයි. ඊලඟට සමාජයේ යහපත් නායකයින් හට යහපත අපේක්ෂා කිරීම යයි පැවසීම තුල සමාජයට යහපත අපෙක්ෂා කරන නායකයින්ගේ මඟපෙන්වීමන්ට හා ආදර්ශයන්ට යටත්ව කිසියම් විනය නීති මාලාවකට යටත්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය අවදාරණය කරයි. ‍අවසාන වශයෙන් සමාජය තුල පොදු ජනයාට යහපත අපේක්ෂා කිරීම යැයි පැවසීම තුල මිනිස් සමාජයේ යහපත උදෙසා මනුෂ්‍යා කෙරෙහි පැවරෙන වගකීම හා යුතුකම ඉස්ලාම් අවදාරණය කරයි. මේ ආකාරයට ‘යහපත’ අපේක්ෂා කොට සමාජය තුල ජීවත් වීම තමා ‘දහම’ එසේත් නැත්නම් ‘ඉස්ලාම්’ යන්නත් ඉහත හදීසය තුලින් මනාව පැහැදිලි කරයි. ඉහත හදීසය තුලින් ඉස්ලාම් දහම මිනිස් සමාජයේ පොදු යහපත ගොඩනැඟීම උදෙසා මනුෂ්‍යා තුල මූලික වශයෙන් ගොඩනැඟිය යුතු ආගමික විනය හා අවනතභාවය පිලිබදව ඉහතින් පියවරින් පියවර පැහැදිලි කිරීම තුල සමාජ යහපත් උදෙසා ඉස්ලාම් දක්වන උනන්දුව ඔබට අවබෝධ කර ගැනීම තවදුරටත් අපහසු විය නොහැක. කෙසේ වෙතත් මේ විෂය පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීමන් තවදුරටත් අවබෝධ කර ගැනීම පිණිස තවත් ශුද්ධ වූ නබිවදනක් වෙත ඔබේ අවදානය යොමු කරන්නේ නම්,

ජරීජ් ඉබුනු අබ්දුල්ලාහ් (රලි) තුමා පවසන ලදි. ‘අප (දෛනික පස්වතාවක් ඉටුකර වන්දනය වන) සලාතය නිසිලෙස ඉටුකරන බවටත්, (ධනවතුන් දුගියන් සදහා ලබාදෙන බද්ධ වන) සzකාතය නිසිලෙස ඉටුකරන බවටත්, සමස්ථ සමාජයේ යහපත උදෙසා කටයුතු කරන බවටත් නබිතුමාණන් හමුවේ දිවුරුම් දුන්නෙමු.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

මෙම හදීසය වෙත අවධානය යොමු කිරීමට මත්තෙන් කෙටියෙන් හෝ මෙහි සදහන් කලයුතු කාරණයක් ඇත. එනම්, නබිතුමාණන් ජීවමානව සිටි වකවානුවේ. මුස්ලීම් සමාජය කෙරෙහි පැවරී තිබූ අනිවාර්‍ය වගකීමක් පිලිබදව මෙහි කෙටි හැදින්වීමක් කලයුතුව ඇත. එනම්, නබිතුමාණන් ජීවමානව සිටින විට ‘බයියත්’ හෙවත් දිවුරුම් නම් වගකීමක් මුස්ලීම් සමාජය කෙරෙහි අනිවර්‍ය වේ. ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව ‘බයියත්’ (දිවුරුම්) ආකාර දෙකක් වේ. එනම්,

  • ආගමික කාරණා සම්බන්ධයෙන් අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් (හෙවත් වක්තෘවරයාණන්)ට ලබාදෙන ‘බයියතය’ (මෙය අදට වලංගු නො‍වේ.),
  • රාජ්‍ය පාලකයා හට රටේ පුරවැසියන් (ලෙස අවනත වන බවට) ලබාදෙන ‘බයියතය’

මේ අනුව ඉහත හදීසයෙන් පැවසෙන්නේ අල්ලාහ් (දෙවි)ගේ වක්තෘවරයාණන්ට (ඉහත පලමු සදහන් ආකාරයට) ලබාදෙන බයියතයයි. එහිදී ජරීර් ඉබුනු අබ්දුල්ලාහ් (රලි) තුමා, මුහම්මද් (සල්) තුමාණන් හමුවේ ‘බයියත්’ කිරීමේ දී ඉස්ලාම් දහම මුස්ලීම් සමාජය කෙරෙහි අනිවාර්‍ය කරන යුතුකම් අතුරින් ප්‍රධාන දෙකක් වන ‘සලාතය‘ හා ‘සzකාතය‘ නිසිලෙස ඉටු කරන බවට ‘බයියත්’ ලබාදීමේ දී ඒ සමඟ ‘සමස්ථ සමාජයේ යහපත උදෙසා කටයුතු කරමි’ යයි බයියත් කරන්නේ නම්, එය ඉස්ලාම් දහම තුල කොතරම් වැදගත් අංගයක් ලෙස එවකට පැවතී සමාජය සැලකුවාද යන්නත්, ඉස්ලාම් ඒ කෙරෙහි කොතරම් උනන්දු වුවාද යන්නත්, එය ඉහත (සලාත් හා සකාත් නම්) අනිවාර්‍ය යුතුකම් තරමටම වැදගත් සාධකයක් වුවාද යන්නත් පහසුවෙන් අවබෝධ කරගත හැක. එය ඉස්ලාම් දහම මුස්ලීම් සමාජය කෙරෙහි කොතරම් උනන්දු කරනවාද? යන්න තවදුරටත් අවබෝධ කරගැනීම පිණිස තවත් හදීසයක් ඉදිරිපත් කරන්නේ නම්,

වරක් නබිතුමාණන් මෙසේ පවසන ලදී ‘සමහරෙකු හට තවත් සමහරෙකු අධිකාරීන් (වගකිවයුත්තන්) ලෙස අල්ලාහ් (දෙවි) පත්කොට ඇත. ඔවුන් තමා යටතේ සිටී පිරිස් හට වංචාවන් හා අපරාධයන් සිදුකල තත්වයේ මියගියේ නම්, ඔවුනට අල්ලාහ් ස්වර්ගය තහනම් කරනු ලබයි.

ඉහත හදීසයම තවත් අවස්ථාවක පැවසීමේ දී…

‘…තම භාරයේ ඇති පිරිස් සදහා පූර්ණ යහපතක් අපේක්ෂා නොකරන කෙනා ස්වර්ගයේ සුවඳ පවා නොවිදිනු ඇත.’

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී හා මුස්ලීම්

මෙතෙක් ඉදිරිපත් කල කරුණූ ඔබ හොදින් විමසා බලන්නේ නම් ඉස්ලාම් දහම ‘සමාජ යහපත’ කෙරෙහි කොතරම් උනන්දු වෙනවාද?, එය මුස්ලීම් සමාජය කෙරෙහි කොතරම් අවදාරණය කරනවාද? යන්න අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇත. ආගම දහම නමින් කුලල්කාගන්නා වකවානුවක, ආගමේ නමයෙන් අන්‍යආගමිකයන් හට එදිරිවාදිකම්, කුමන්ත්‍රණ හා හිංසා පමුණුවන වකවානුවක මෙවැනි ඉගෙන්වීමන් ඉතා කාලීනය. විශේෂයෙන් දහම් මණ්ඩපවල දේශනා කිරීමට පමණක් ආගම දහම සීමා කොට ඇති මෙවන් වකවානුවක ඉස්ලාම් දහම දිව්‍යාමය මඟපෙන්වීමන් තුලින් පෙන්වාදෙන ප්‍රායෝගික ක්‍රමවේදයන් සර්වකාලීන මෙන්ම ආදර්ශමත්ය. එවනු වූ අසමසම ආදර්ශය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් අවසාන වශයෙන් ‘යාඅල්ලාහ්!, සමාජය කෙරෙහි යහපත් හැඟීමෙන් හා මනුෂ්‍යත්වය අගයමින් ජීවත් වන්නට සමස්ථ මිනිස් සමාජයට නුවණැස පෑදේවා!’ යනුවෙන් ප්‍රාර්ථනාවක් ද එක් කරමින් මෙම ලිපියට විරාමය තබමි.

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *