සයවන බුද්ධිය හෙවත් විඥානය හා දේව විශ්වාසය

0

මුළු විශ්වයම මවා පරිපාලනය කරන්නේ එකම දෙවියකු විසින් යන්න ඉස්ලාම් දහමේ මුලික ප්‍රතිපත්තියයි. මෙසේ මා ප්‍රකාශ කරන විට එයට එරෙහිව සමහරක් අදේව වාදීන් හා දර්ශණ වාදීන් විවිධ වූ තර්ක විතර්ක ඉදිරිපත් කල හැක. එසේ ඉදිරිපත් කරන තර්කයන් කුමක්ද? යන්නත් එම තර්කයන්වල ඇති සාධාරණීයත්වය හා නිරවද්‍යතාවය කොපමණද? යන්නත් මෙහිදී අවධානය යොමු කිරීමට අදහස් කරමි. මෙහි දී ප්‍රථමයෙන් සදහන් කළයුතු කරුණක් ඇත. එනම් කිසිවක් පිලිබදව නිවරැදි අවබෝධය ලබා ගැනීමට නම් එම කාරණය අන්තවාදී නොවී බැලිය යුතුය. එසේ නොවේ නම් සත්‍යය දකින්න සත්‍යය අවබෝධ කරගන්න නොහැකි වනු ඇත.

දේවවාදය ප්‍රතික්ෂේප කරන්නන් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය වන්නේ “මේ දක්වා කිසිවකු නොදුටු දෙවියෙක් පිලිබදව කෙසේද විශ්වාස කරන්නේද?” යන්නයි. මෙය බැලූ බැලූමට ඉතා හොද තර්කයක් ලෙස බොහෝ දෙනෙකු සිතනු ඇත. නමුත් යමක් දැකීමෙන් පසුවයි විශ්වාස කල හැක්කේ යයි පවසන තර්කය බුද්ධිමත් තර්කයක් එසේත් නැත්නම් තීරණාත්මක සාධකයක් ලෙස පිලිගත නොහැක. මන්ද දැකීම යන්න මිනිසාට පමණක් සුවිශේෂ වු බුද්ධිමත් ගුණාංගයක් නොවේ. සියළු සතුන්ට පොදු වු ලක්‍ෂණයකි. සියලූම සතුන් බොහෝ දෑ තීරණය කරන්නේ දැකීමෙනි. උදාහරණයක් ලෙස මුවෙකු තම සතුරා දුරදීම හදුනාගෙන තම ආරක්‍ෂාව සදහා සුදුසු පියවර යොදාගන්නේ දැකීමෙනි. මේ ආකාරයට අප දැකීමෙන් අනතුරුවයි කිසිවක් විශ්වාස කරන්නේ යයි පවසන්නේ නම් එම සතුන් හා මිනිසුන් වන අප අතර පවතින්නේ සමාන බුද්ධියකි. සතුන්ට වඩා උසස් උතුම් වූ නිර්මාණයක් තමා මිනිසා. එනම් සියළු සතුන් සදහා පංච ඉන්ද්‍ර බුද්ධිය පමණක් ලබාදුන් දෙවියන් මිනිසා සදහා ශ්‍රේෂ්ඨ වූ සයවන බුද්ධිය හෙවත් විඥානය ද ලබා දී ඇත.

මිනිසා ඇතුළු සියළුම සතුන් සදහා බොහෝ දෑ තීරණය කරන්නේ

  1. පෙනීම
  2. රසය
  3. ඇසීම
  4. ගද සුවද දැනීම
  5. සංවේදීතාවය හෙවත් දැනීම

යනා දී පංච බුද්ධීන් පදනම් කරගෙනය. නමුත් ම්නිසා හට ඉහත ඉන්ද්‍රයන් මගින් ලබාගන්නා දත්ත පදනම් කරගෙන නොපෙනෙන, නොදකින දෑ පිලිබදව ලබාගන්නා ඥානය අවබෝධය ”විඥානය” ලෙස හදුන්වනු ලැබේ. මනුෂ්‍යා බොහෝ දෑ ඇසින් බලා තීරණය කරයි. නමුත් මෙසේ දැකීමෙන් පමණක් සියල්ල අවබෝධ කරගත නොහැක. දැකීමට ඇස උපයෝගි කරගන්නා සේම රසය අවබෝධ කරගැනීමට දිව උපයෝගි කරගනී. ඇසින් රසය හදුනාගත නොහැක. මේ නිසා රසය ඇසට නොපෙනෙන නිසා ”එය පිලිගත නොහැක” යයි කිසිසේත් තර්ක කල නොහැක. එසේම සංගීතයක් අවබෝධ කරගත යුත්තේ කනෙන් හෙවත් සවන්දීම මගිනි. එය දැකිය නොහැක. මේ නිසා ”එය පිලිගත නොහැක” යයි කිසිසේත් තර්ක කල නොහැක. මේ ආකාරයට ගද, සුවද සැලකුවද සංවේදීතාවය සැලකුවද මේවා ඒ ඒ ඉන්ද්‍රයන් මගින් පමණක්ම අවබෝධකර ගතයුතු මිස මේවා සියල්ල දැකීම තුලින් අවබෝධ කරගත නොහැක.

ඇසින් දකින සමහරක් දෑ පවා නිවරුදිව වටහා ගැනීමට නොහැකි වන අවස්ථාවන් එදින් එදා අප ජීවිතයේ කොතෙකුත් ඇත. මෙයට හොදම උදාහර්ණය ලෙස මිරිගුව ගෙනහැර දැක්විය හැක. මේ අනුව පැහැදිලි වන්නේ ඇසින් දකින දෑ පවා සමහරක් අවස්ථාවල නිරවද්‍ය නොවන බවයි. එම නිසයි දුටු පමණින්ම සියල්ල තීරණය නොකොට එය කෙරෙහි බුද්ධීය යොදවා එනම් විඥානය උපයෝගි කරගෙන තීරණය කලයුතු බව පවසන්නේ. එසේ ක්‍රියා කිරීම තමා සැබෑම බුද්ධීමත් ක්‍රියාව වන්නේ. එය ඉස්ලාම් දහම ඉහලින්ම අවධාරණය කරන කාරණයකි. ශ‍්‍රි ලාංකික බහුතරය වන බෞද්ධයින් පිලිපදින බුදුදහමේ ද මෙය අවධාරණය කරන අතර එය මෙසේය. එනම්,

“පංච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීතී – ප‍්‍රත්‍යක්‍ෂ කර ගැනීම තුළින්ම අවබෝධ කර ගැනීම තුළින් යමක් තේරුම් ගතයුතුයි ”

එසේ නම් ඉහත පදනමේ සිට මෙම කාරණය වෙත දැන් අවධානය යොමු කරමු.

විඥානය යනු කුමක්ද?

විඥානය යනු යම් කරුණක් වෙත පංචේනද්‍ර බුද්ධීය යොදවා ඉන් ලබාගන්නා දත්ත පදනම් කරගනිමින් නොදකින යමක් බුද්ධිමත් ආකාරයට තීරණය කිරීමයි. උදාහර්ණයක් ලෙස දුර ප‍්‍රදේශයක අහසට නැගෙන දුමක් දෙස බලා එම ප‍්‍රදේශයේ ගින්නක් හටගෙන ඇති බව බුද්ධිය තීරණය කරණු ලබයි. මෙය විඥානය වේ. මේ ආකාරයට පංචේද්‍රියන් මගින් ලබාගන්නා තොරතුරු හරිද? වැරදිද? සත්‍යද? අසත්‍යද? යන්න තීරණය කිරීමේ බුද්ධිය විඥානය ලෙස හදුන්වයි.

මේ මුලධර්මයට අනුව දෙවියෙකු සිටිනවාද? යන්න ප‍්‍රශ්නයට පිලිතුරු සෙවීමට දැන් උත්සාහ කරමු. මෙහි සුවිශේෂි කාරණය වන්නේ මිනිසා නොදැකපු පංචේද්‍රියන්ට ගෝචර නොවු දෙවියන් අවබෝධ කරගන්නේ කෙසේද? යන්නයි. ඒ සදහා එකම මාර්ගය දෙවියන්ගේ මැවීම් පිලිබදව අධ්‍යනය කිරීමයි. උදාහර්ණයක් ලෙස පරිඝනකය දෙස අවධානය යොමු කරමු. වර්ථමානයේ ඇති සුපිරි නිර්මාණයක් වන මෙය අපි දකින්නෙමු. ඒ මගින් අපට අවශ්‍ය කාර්‍යයන් කරගන්නෙමු. එහි ක‍්‍රියාකාරිත්වය දැක මවිතයට පත්වන්නෙමු. මෙය යම් පුද්ගලයකු විසින් නිර්මාණය කලායයි කිසිවකු පවසයි නම් එය එකහෙලා පිලිගන්නෙමු. මෙය නිර්මාණය කල පුද්ගලයාගේ බුද්ධිය පිලිබදව පුදුම සහගතව කථා කරන්නෙමු. නමුත් මේ පර්ගණකය නිර්මාණය කල නිර්මාණකරුවා හා අප අතර පංචේද්‍රියන් මගින් කිසිදු සම්බන්ධයක් නැත. නමුත් මේ පරිඝනකය බලා එහි නිර්මාණකරුගේ හැකියාව නිර්නය කරන්නෙමු. මෙසේ තීරණය කිරීම විඥානයට පරස්පර වු ක‍්‍රියාවක්, එසේත් නැත්නම් මිත්‍යාවක් යයි කිසිවකු නොපවසයි. තවදුරටත් පවසන්නේ නම් මේ ආකාරයට අවබෝධ කරගැනීම තමා විඥානය ලෙස හදුන්වන්නේ.

මේ අනුව ඉහත පදනමේ හිද දේව විශ්වාසයට අවධානය යොමු කලේ නම්, මේ විශ්වයේ බොහෝ වස්තුන් පිලිබදව අප එදින් එදා ජීවිතයේ හා මධ්‍යන් මගින් අසන්නෙමු, දකින්නෙමු. මේවා පිලිබදව අවධානය යොමු කොට විශ්වය දෙස බැලීමේදී සාර්ථක සැලසුම් කරණයක් හා සුක්‍ෂම ආකාරයට කල සංකීර්ණ නිර්මාණයක් අප දකින්නේමු. මේවා නිර්මාණය වුයේ කෙසේද? මේවා ක‍්‍රියා කරන්නේ කෙසේද? මේවායේ මැවුම්කරුවා කව්රුන්ද? යන්න පිලිබදව අප සිත් යොමු නොකරන්නෙමු. අප පරිඝනකයේ ක‍්‍රියාකාරීත්වය දැකීමෙන් එහි නිර්මාණකරුවා අවබෝධ කරගත්තාසේ විශ්වයේ ක‍්‍රියාකාරිත්වය තුලින් එහි නිර්මාණකරුවා, එම නිර්මාණකරුවාගේ ශක්තිය හා බුද්ධිය අවබෝධ කරගත යුතුය. එයයි බුද්ධීමත් ක්‍රියාව එසෙත් නැත්නම් විඥානය හෙවත් සයවන බුද්ධිය භාවිතා කිරීම වන්නේ.

මෙහි දී අන්ධ භක්තිකයන් ලෙස සියල්ල විශ්වාස කලයුතු යයි ඉස්ලාම් නොපවසයි. නමුත් කුහකකම නිසා කෙ‍ෙස් හෝ ප්‍රතික්‍ෂේප කලයුතුයි යන පටු අරමුණුවල හිද බුද්ධීය උගසට තබා අන්ධයින් ලෙස ක්‍රියා නොකලයුතුය. අතීතයේ පටන් අදේවවාදීන් දේවවාදය ප්‍රතික්ෂේප කිරීම සදහා විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කර ඇත. නබි මුහම්මද් (සල්) තුමා‍ණන්ගේ කාලයේදීත් මොවුන් විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කර ඇති අතර එවන් පිරිසට ශුද්ධ වූ කුර්ආනයේ (51-20,21) වාක්‍ය මගින් ආරාධනයක් කරයි. එනම්,

“නුඹලාගෙන් විශ්වාස කරන්නන් හට පොලොවේ හා නුඹලා තුල බොහෝ සාක්‍ෂින් ඇත. සිත් යොමු නොකරන්නේද?.”

සර්වබලධාරී දෙවියෙක් සිටිනවා යන්නට මේ පොළෝතලය පුරාම මෙන්ම අප තුලද බොහෝ සාක්‍ෂි ඇති බව ඉහත කුර්ආන් වාක්‍යයෙන් දෙවියන් අවධාරනය කරයි. තවත් තැනක එනම් “හදීස් කුදිසි” හි දෙවියන් මෙසේ පවසයි.

“නුඹලා මාගේ මැවීමන් වෙත සිත් යොමා බලන්න ඒ තුලින් නුඹලා මා දකිනු ඇත.”

දෙවියන්ගේ මැවීමන් මිනිසා බුද්ධිමත් ආකාරයට අධ්‍යනය කරන විට එම මැවීමන් තුලින් දෙවියන්ගේ ශක්තිය අවබෝධ කරගත හැකිවනු ඇත. එනම් එම මැවීමන් පිලිබදව අවධානය යොමුකර බැලීමෙන් ඒ පිටුපස සුපිරි බලයක් ශක්තියක් හා නිර්මාපකයෙක් සිටිනවා යන්න පහසුවෙන් අවබෝධ කරගත හැක. කෘතිම වස්තුන් ස්වභාවිකව බිහිවුවා යයි කිසිවකු පවසයි නම් එය පිලිනොගනිමු. නිර්මාපකයෙක් නොමැතිව ඇලිපෙනිත්තක් වුවද නිර්මාණය විය නොහැකි බව හොදින් අවබෝධ කර සිටින්නෙමු. එසේ තිබිය දී මෙතරම් සංකීර්ණ විශ්වයක් කෙසේද නිර්මාපකයෙක් නොමැතිව නිරමාණය වුයේ?.

මෙම ප‍්‍රශ්නයට විද්‍යාව “මහා පිපුරුම් වාදය” මගින් විශ්වයේ බිහිවීම පැහැදිලි කරන්න උත්සාහ දරයි. එසේම පෘථිවි ජීවී සම්භවය ආදී සුපයකින් ස්වයංව ඇතිවු බවත් පවසයි. මෙම වාදයන් හරියට “මිනිසෙක් තම ඇදුම කෙසේ ඇති වුයේද යන ප්‍රශ්නයට :- හිටීහැටියේ පුලූන්ගොඩක් මා ළගට පැමින ස්වයංවම එය නුල් බවට පත්වී, ස්වයංවම එය රෙදිබවට පත්වී, පසුව එය කෑලි කෑලිවලට ඉරී තමා ඇද සිටින මෙම ඇදුම බවට පත්වුවා” යයි පවසනවා සේය. මෙසේ කිසිවකු පවසයි නම් අප ඔහුට කුමක් කියා අමතන්නෙමුද?. මොහුව විඥානය ඇත්තෙකු ලෙස දකිනවාද? එසේත් නැත්නම් මන්ද බුද්ධිකයෙකු ලෙස දකිනවාද? මෙය තීරණය කිරීම විඥානය ඇති කිසිවකුටත් අපහසු කාර්‍යයක් නොවේ. සාමාන්‍ය ඇදුමක් සම්බන්ධයෙන්ම තත්වය මෙය නම් සංකීර්ණ වු විශ්ව නිර්මාණයකටත් එය තුල සුපුරි නිර්මාණයක් වන මිනිස් මැවීමටත් කොතරම් බුද්ධියක් හා ශක්තියක් අවශ්‍යද? මේ සියල්ල පිලිබදව කිසිදු සැලකිල්ලක් නොදක්වා සියල්ල ස්වයං නිර්මාණ යයි පවසන තරම් අද මිනිසා නීචයෙකු වී සිටීම මිනිසා තමාට තමාම කරගන්නා නිගාවක් නොවේද?.

මෙසේ පංචේන්ද්‍රයන් හා බුද්ධීය උපයෝගි කර ගනිමින් ශුද්ධ වූ කුර්ආනයේ (51-20,21) වාක්‍යය පවසන ආකාරයට තීරණය කිරීම තමා සැබෑ බුද්ධීමත් ක්‍රියාව වන්නේ එම බුද්ධීයට දේව විශ්වාසය යන්න අනුකූලවන විඥානයට ගෝචර එම දේව විශ්වාසය තමා සැබෑ දේවවාදය වන්නේ.

අබූ අර්ශද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp