සලාතය සදහා නියමිත වේලාව – ඉස්ලාමීය විමසුමක්

3

මුස්ලීම් වරයෙකුගේ ක්‍රියාකලාපයන් කෙබඳු වියයුතුද යන්න කියාදෙන ඉස්ලාම් ඒ සදහා සුදුසු කාලවකවානු ද පැහැදිලිව ඉදිරිපත් කරයි. නිදසුනක් ලෙස ඉස්ලාම් හි අනිවාර්‍ය යුතුකම් වන උපවාසය (ඉස්ලාමීය දින දර්ශනයට අනුව) රමලාන් මාසයේ ඉටු කලයුතු බවටත්, හජ් වන්දනය දුල්හජ් මාසයේ ඉටු කලගයුතු බවටත්, සzකාතය නියමිත කාලය සම්පූර්ණ වූ විට ඉටු කලයුතු බවටත් පවසයි. මේ ආකාරයටම සලාතය (දෛනික පස්වේල වන්දනය) සදහා ද ඉස්ලාම් නිශ්චිත කාලරාමුවක් පෙන්වා දෙන අතර මේ ලිපිය තුලින් අද දින සාකච්චා කරන්නේ එම විෂය පිලිබදවයි.

මා ඉහතින් සදහන් කලාසේ මුස්ලීම් වරයෙකුගේ දෛනික දිවිය තුල කටයුතු කලයුත්තේ කෙසේද? යන්න පිලිබදව කාලරාමු සහිතව කරුණූ ඉදිරිපත් කරන ඉස්ලාම් ‘සලාතය’ පිලිබදව කථා කිරීමේ දී මෙසේ පවසයි.

…නියත වශයෙන්ම සලාත් වනාහි විශ්වාසවන්තයන් (මුස්ලීම්වරුන්) විසින් නියමිත වේලාවන්හිදීඉටුකලයුතු අනිවාර්ය යුතුකම වේ.

ශුද්ධ වූ කුර්ආනය 4-103

‘සලාතය’ යන්න ඉස්ලාම් මුස්ලීම්වරුන් කෙරෙහි අනිවාර්‍ය කරන වගකීමකි. එය මුස්ලීම්වරයෙකුගේ සලකුණ බවද අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ පහත ආකාරයට පවසයි. එනම්,

‘ඔවූහූ කවරකු නම්, මිහිපිට අප ඔවුනට බලය දෙතොත් සලාතයෙහි නිරත වන්නෝද, සකාත්ගෙවන්නෝද යහපත අණවන්නෝද, අයහපත වළක්වන්නෝද වෙති.’

ශුද්ධ වූ කුර්ආනය 22-41

ඉහත ශුද්ධ වූ වාක්‍යයන්ට අනුව ‘සලාතය’ යන්න සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම අනිවාර්‍ය වූ කාලය නිර්ණය කරන ලද යුතුකමක් බව පැහැදිලි වේ. දෛනිකව පස්වතාවක් ඉටු කලයුතු මේ ‘සලාතය’ ප්‍රායෝගිකව ඉටු කිරීමේ දී ඒ සදහා කාලය නිර්ණය කරන්නේ කෙසේද?. මෙය ‘යහමඟ’ අඩවියට එක්තරා සහෝදරයෙකු ඉදිරිපත් කොට තිබූ සමහර විට ඔබ තුලත් මතු වියහැකි පැනයකි. මුස්ලීම් ජනතාව වෙසෙන එසේම මුස්ලීම් දේවස්ථානයක් අසල වෙසෙන කෙනෙකුට මේ පැනය බොහෝ විට මතුවිය නොහැක. මන්ද එම දේවස්ථානවල පස්වේල ‘බාංගු’ (හෙවත් අසාzන්) මඟින් ‘සලාතය’ සදහා කැඳවීමක් කරන හඬ ඇසෙන බැවිණි. නමුත් එවැනි පහසුකම් නොමැති පිරිසට ‘සලාතය’ ඉටු කිරීමේ කාලය පිලිබදව ගැටළුවක් මතුවිය හැක. එපමණක් නොව අද මුස්ලීම් දේවස්ථාන කිහිපයක් ඇති ප්‍රදේශවල ‘අසාzන්’ පැවසීමත් එකවිට සිදු නොවී විවිධ අවස්ථාවල සිදුවන නිසා මෙයත් සමහරක් පිරිසට ගැටළුවක් විය හැක. මේ සියළු අවස්ථාවන් පිලිබදව සැලකිල්ලට ගෙන ඉස්ලාම් පවසන ‘සලාතය’ ඉටුකලයුතු නිවරුදි වේලාව කුමක්ද? යන්න දැන් විමසා බලමු.

මෙම කාලය නිර්ණය කිරීම ආගමික කාරණයක් යන්න පිලිබදව මුස්ලීම් සමාජයට මතභේදයක් තිබිය නොහැක. එසේනම් එම කාලය නිර්ණය කලයුත්තේ ඉස්ලාමීය ඉගෙන්වීමන් පදනම් කරගෙන මිස පුද්ගල මතවාද හෝ චින්තන පදනම් ‍කරගෙන නොවන බවද මුස්ලීම් සමාජය පිලිගතයුතුය. එම කාරණය හොදින් මනසේ රදවාගෙන මේ විෂය පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද? යන්න අවදානය යොමු කරමු. එසේ අවදානය යොමු කිරීමේ දී මේ පිලිබදව කථා කරන ශුද්ධ වූ හදීස් ගණනාවක් ඉස්ලාමීය මූලාශ්‍රයන් තුල දක්නට ලැබේ. එවැනි එක් ‘හදීසයක්’ ඔබේ අවදානයට මෙහි තබන්නේ නම්,

මුහම්මද් (සල්) තුමාණන් එක්තරා අවස්ථාවක මෙසේ පවසන ලදී.

එක් එක් සලාතයට අදාල ආරම්භ වේලාව හා අවසාන වේලාව කුමක්ද? යන්න (දේවදූත) ජිබ්රීල් (අලෛ) තුමා මාහට (සමූහ සලාතයක් ලෙස හෙවත්) ‘ඉමාමත්’ කොට දෙවතාවක්ම පෙන්වන ලදී.

පලමු අවස්ථාවේ ‘ඉමාමත්’ කිරීමේ දී,

  • (මධ්‍යහන) හිරු මුදුනේ සිට සුළු ප්‍රමාණයක් පසුකල විට ‘ලුහර්’ සලාතය ඉටු කොට පෙන්වන ලදී.
  • එක් එක් වස්තුවේ හෙවණැල්ල එම වස්තුවේ ප්‍රමාණය ලබන මොහොතේ ‘අසර්’ සලාතය ඉටු කොට පෙන්වන ලදී.
  • හිරු බැසගිය හා උපවාසයෙන් මිදෙන මොහොතේ ‘මහ්රිබ්’ සලාතය ඉටු කොට පෙන්වන ලදී.
  • හිරු බැස බටහිර අහසේ අරුණලු ද වැසීගිය මොහොතේ ‘ඉෂා’ සලාතය ඉටු කොට පෙන්වන ලදී.
  • නැගෙනහිර අහසේ අරුණලු දිස්වන උපවාසය අරඹන පිරිස ආහාර ගැනීම තහනම් මොහොතේ ‘සුබහ්’ සලාතය ඉටුකරන ලදී.

දෙවන අවස්ථාවේ ‘ඉමාමත්’ කිරීමේ දී,

  • එක් එක් වස්තුවේ හෙවණැල්ල එම වස්තුවේ ප්‍රමාණය ලබන මොහොතේ ‘ලුහර්’ සලාතය ඉටු කොට පෙන්වන ලදී.
  • එක් එක් වස්තුවේ හෙවණැල්ල එම වස්තුවේ ප්‍රමාණය මෙන් දෙගුණයක් වන මොහොතේ ‘අසර්’ සලාතය ඉටු කොට පෙන්වන ලදී.
  • හිරු බැසගිය හා උපවාසයෙන් මිදෙන මොහොතේ ‘මහ්රිබ්’ සලාතය ඉටු කොට පෙන්වන ලදී.
  • රාත්‍රයෙහි 1/3 ක් ගෙවුණු මොහොතේ ‘ඉෂා’ සලාතය ඉටු කොට පෙන්වන ලදී.
  • (අළුයම) පොළොව ආලෝකමත් වන මොහොතේ ‘සුබහ්’ සලාතය ඉටු කරන ලදී.

(මේ ආකාරයට ලුහර්, අසර්, මහ්රිබ්, ඉෂා හා සුබහ් යන සලාතයන් 05 හි ආරම්භ අවස්ථාව හා අවසාන අවස්ථාව තුලින් එහි පරාසය පෙන්වාදුන් ජිබ්රීල් (අලෛ) තුමා,) අවසානයේ නබිතුමාණන් දෙසට හැරී ‘මුහම්මද් !, මේ වේලාවන් දෙක අතර වූ කාලයයි ‘සලාතය’ සදහා නියමිත කාලය වන්නේ. මෙයමයි නුඹට පෙර විසූ නබිවරුන්ටත් නියම වූ කාලය වන්නේ!’ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි, අහමද්, අබූදාවූද්,

ඉහත හදීසය තුලින් මුස්ලීම්වරයෙකුගේ දෛනික පංචවේල් ‘සලාතය’ සදහා වූ කාල පරාසය කුමක්ද? යන්න දැන් පැහැදිලි වියයුතුය. ඒ අනුව මුස්ලීම්වරයෙකු හට ‘අසාzන්’ ශබ්දය නොඇසුනත්, එක් එක් දේවස්ථානවල එක් එක් අවස්ථාවන් හි ‘අසාzන්’ පැවසුවත් ඒ කිසිවක් තවදුරටත් ගැටළුවක් විය නොහැක. කෙසේ වෙතත් අවසාන වශයෙන් එක් හදීසයක් ඔබේ දැඩි අවදානයට යොමු කරමින් මේ ලිපිය අවසන් කරන්න අදහස් කරමි. එනම්,

වරක් ඉබුනු මස්වූද් (රලි) තුමාණන් හමුවට කෙනෙකු පැමිණ ‘ක්‍රියාවන්ගෙන් උතුම්මම ක්‍රියාව කුමක්ද? යනුවෙන් විමසන ලදී. එයට එතුමාණන් ‘මේ පිලිබදව වරක් නබිතුමාණන්ගෙන් මා ද විමසුවෙමි. එයට එතුමාණන් ‘සලාතය එහි ආරම්භ අවස්ථාවේ ඉටුකිරීමයි’ යනුවෙන් පවසන ලදී…

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, මුස්ලීම්, අහමද්, තිර්මිදි

එසේනම් සලාතය එහි ආරම්භ අවස්ථාවේ ඉටුකිරීම මුස්ලීම්වරයෙකුගේ ක්‍රියාවන්ගෙන් උතුම්ම ම ක්‍රියාව බවත් ඉහත හදීසය තුලින් පැහැදිලිය. එසේම පංචවේල් සලාතය (සමූහ සලාතයක්) ‘ඉමාම්’ ලෙස ඉටු කිරීමත් මුස්ලීම් සමාජයට ඉස්ලාම් දැඩිව අවදාරණය කරයි. එසේමනම් කාලය නිර්ණය කර ඇති ඒ උතුම් සලාතය නියමිත වේලාවන්ට නියමිත පරිදි ඉටු කරන්න අපට ශක්තිය, භාග්‍යය ලැබේවා! යන ප්‍රාර්ථනාව ඇතුව මෙම ලිපිය අවසන් කරමි.

සලාතය සදහා වූ ආසන්න වේලාවන් මෙම සබැඳුම Click කර බලන්න.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 3 යි.

  1. usama 2015-01-27 at 05:55

    Barakallah sahan.insha allah .allah obata niwaradi maga penwathwa.

  2. sahan 2014-10-01 at 18:10

    මම බොහො කලක් දැනගන්න ඹිනකලා සලාත් කරන වෙලාව මොකද මමත් හරිම කැමති සලාත් කරනන් එක කරනවා එත් නියමිත වෙලාවට කරන්න ඔන කලා ගොඩක් හොදයි මෙි ලිපිය මම තවම හරියටම මුස්ලිමි නෙවෙි එත් මම මුස්ලිමි වෙන්න එපායි මමත් ඒ වගේ හරිම සතටුයි ඒකට

    • අබූ අර්ශද් 2014-10-05 at 07:34

      ඔබේ උනන්දුවට බොහොමත්ම ස්තූති, ඔබ ඉස්ලාම් දහම හොදින් අධ්‍යනය කරන්න. දහමක් දර්ශනයක් අවබෝධයෙන් පිලිගැනීමයි ඉතා වැදගත් වන්නේ. ඉන්ෂාඅල්ලාහ්, අල්ලාහ් (දෙවි) ඔබට යහමඟ පෙන්වාවි!

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *