සවුදිඅරාබිය බහු ආගමික රටක් නොවන්නේ ඇයිද?

1

සවුදිඅරාබිය බහු ආගමික රටක් නොවන්නේ ඇයි ද? අපේ රටේ මෙන් එම රට තුල අනිකුත් ආගමික සිද්ධස්ථාන ඉදිකිරීමට අවසර ලබා නොදෙන්නේ ඇයිද? මේ ශ්‍රී ලාංකීය බහුතරයක් මුස්ලීම් ජනතාවගෙන් නිරන්තරයෙන් විමසන පැනයකි. මෙම පැනය විවිධ ස්වරූපයෙන් යහමඟ වෙත ද විටින් විට යොමු වූ නිසා එම කාරණය පිලිබදව මෙහිදී සාකච්චා කිරීමට අදහස් කරමි.

ශ්‍රී ලංකීය පුරවැසියන් වන අප සියළුදෙනාට රටේ උත්තරීතර ලියවිල්ල වන ව්‍යවස්ථාවෙන්ම “මේ රට බහු ජාතීන් ජීවත් වන බහු ආගමික රටක්.” යන්න තහවුරු කොට ඇත. ඒ අනුව මේ රටේ පුරවැසියන් සියළුදෙනාට ඕනෑම ආගමක් පිලිගැනීමේ හා ඇදහීමේ අයිතිය එයින් ලැබී ඇත. මෙලෙස තම රටේ සියළු පුරවැසියන් සදහා මෙවැනි අයිතියක් ලබාදුන් ලොව එකම රට ශ්‍රී ලංකාව නොවන බවත්, ලොව බොහෝ රටවල් මෙම තත්වය තම ජනතාවට ලබාදී ඇති බවත් ප්‍රථමයෙන් අවබෝධ කරගත යුතුවේ. අප ආසන්න රට වන ඉන්දියාව තුල මෙය ඉතා ප්‍රශස්ථ මට්ටමින් ක්‍රියාත්මක වන බවත් එහි ලොව වැඩිම ආගම් හා මතවාද හා ඇදහිලි ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වන බවත් අවබෝධ කරගැනීම මෙම මාතෘකාව වඩාත් හොදින් අවබෝධ කරගැනීමට හේතුවක් වනු ඇත. මෙවන් පසුබිමක ලෝකයා හමුවේ අපට අපේ රටේ තත්වය පිලිබදව ආඩම්භර වියයුතු කිසිවක් නැතත් ශ්‍රී ලාංකීයන් ලෙසත්, එහි සුළුතරයන් ලෙසත් සුළු ජාතීන්ට ආඩම්භර වියහැකි බොහෝ කරුණු කාරණා අප රට තුල පවතින බව සුළු ජාතීන් වන කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැක. (මේ පිලිබදව විවිධ අවස්ථාවල මෙම අඩවිය තුල සාකච්චා කොට ඇත)

මෙවන් වූ පසුබිමක ඉහත පැනයට අදාලව රටේ බහුතරය වන බෞද්ධ ප්‍රජාවගෙන් ප්‍රථමයෙන් එක් ප්‍රශ්නයක් විමසන්නට කැමැත්තෙමි. ඒ “මේ රට 100% ක් බෞද්ධයන් වෙසෙන රටක් වෙනවාට ඔබ කැමතිද?” යන්නයි. මෙයට විවිධ පිරිස් විවිධ අදහස් දැක්වීම් සිදුකල ද තම හදවතින් නැඟෙන අවංක පිලිතුරු කුමක්ද? යන්න මා මෙහි නොපැවසුව ද ඔබ සියළුදෙනා හොදින් දනී. එය අප රටේ වර්ථමාන තේමා පාඨයන් වන “ධර්මදීපය”, “බෞද්ධ රාජ්‍ය”, “බුදුන්ගේ දේශය” … යනාදීය මනාව කියාපායි. මෙලෙස බෞද්ධයන් සිතීමෙහි වරදක් ඇතැයි මා නොපවසමි. සෑම පුද්ගලයෙකුම තමන් පිලිගෙන පිලිපදින දර්ශනය අනුව රටේ නීතිරීති සකස් වියයුතුයි යයි අපේක්ෂා කිරීමත් ඒ තුලින් රට ගොඩනැඟිය හැකි යයි විශ්වාස කිරීමත් මනුෂ්‍ය ස්වභාවයකි. ඒ අනුව බෞද්ධයන් මෙම දේශය බෞද්ධ දේශයක් වියයුතු බවට අපේක්ෂා කරන්නේ නම් එහි වරදක් කිවයුතු නොවේ. ඒ අනුව මා ඉහතින් අවධාරණය කලාසේ බෞද්ධයන් ලෙස මෙම ලක්බිම “බෞද්ධයන් පමණක් වෙසනෙ භූමියක් වියයුතුයි” යයි ආසා තැබීමෙහි ද වරදක් නැත. නමුත් එවන් බලාපොරොත්තු හින්දු භක්තිකයන්ටත්, කිතුණු භක්තිකයන්ටත්, ඉස්ලාම් භක්තිකයන්ටත් … නොපැවතිය යුතු යයි කිසිවකුටත් තර්ක කල නොහැක. මන්ද මේ සියළුදෙනාගේ ඒකායන පැතුම යහපත් රටක් යන්න බැවිණි. ඒ සදහා නිවරුදි මඟපෙන්වීම ඇත්තේ තමන් විශ්වාස කොට පිලිගෙන සිටින දර්ශනය තුල යන්න ඔවුන් විශ්වාස ද කරන බැවිණි.

අප රට, රටේ බහුතරය වන බෞද්ධයන් අපේකෂා කරන 100% ක් බෞද්ධයන් වෙසෙන රටක් බවට පරිවර්ථනය කිරීම දුෂ්කර ක්‍රියාවක් වන නිසා ලොව කිසිදු රටක් එවන් තත්වයකට ලඟා නොවිය යුතු යයි ශ්‍රී ලාංකීය කිසිවකුටත් තර්ක කල නොහැක. එවැනි ඉලක්කයක් කරා කිසියම් රටක් ලඟා වී ඇත්නම් එය සතුටට කාරණයකි. දැන් ඇති පැනය එවැනි රටක් ලොව පවතිනවාද? යන්නයි. බෞද්ධ ප්‍රජාව සදහා එවැනි රටක් ලොව දක්නට නොවුවද මුස්ලීම්වරුන් සදහා (ඉස්ලාම් භක්තිකයන් සදහා) එවැනි රටක් ලොව තවම ඉතිරිව ඇත. ඒ ඉහත පැනයට පදනම් වූ “සවුදිඅරාබිය” නම් රටයි. මෙම කාරණය මතකයේ රදවාගෙන ආරම්භයේ මතුකල පැනය වන “අපේ රටේ වගේ සවුදිඅරාබිය තුල අනිකුත් ආගමික සිද්ධස්ථාන ඉදිරිකිරීමට අවසර ලබානොදෙන්නේ ඇයිද? එම රට බහු ආගමික රටක් නොවන්නේ ඇයිද?” යන කාරණය වෙත අවධානය යොමු කලේනම්,

සවුදිඅරාබිය යන රට සැලකූවිට එම රටේ පුරවැසියන් සියළුදෙනා මුස්ලීම්වරුන්ය. ඒ අප රටේ සමහරක් අන්තවාදී පිරිස් යෝජනා කරනවා සේ අන්‍ය ආගමික පිරිස් සමූල ඝාතනයන් සිදුකර හෝ ඔවුන් රටින් පලවාහැර නිර්මාණය කරගත් තත්වයක් නොවේ. එය එම රට ලද භාග්‍යයක්(දෙවියන්ගෙන් ලද ආශිර්වාදයක්) අනුවය. අද එම රටේ පුරවැසියන් 100% ක් මුස්ලීම්වරුන්ය. මුස්ලීම්වරුන් පමණක් පුරවැසිභාවය ලබා සිටින රටක පුරවැසිභාවයක් නොමැති අන්‍ය ආගමික පිරිස් පැමිණ එම රට තුල තමන්ගේ ආගමික සිද්ධස්ථාන ඉදිරිකිරීම සදහා ඉල්ලා සිටී නම් එය කොතරම් සාධාර්ණ වූ ඉල්ලීමක්ද? යන්න සවුදිඅරාබිය පදනම් කරගෙන නොව තමන්ගේ මවුබිම පදනම් කරගෙන විමසා බලන්න. මෙම තත්වය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා සරල නිදසුනක් ගෙන විමසා බැලුවේ නම්,

අපේ රට 100% බෞද්ධයන් වෙසෙන රටක් ලෙස උපකල්පනය කරන්න. දැන් විදේශ රටකින් පැමිණෙන් ඉස්ලාම් භක්තිකයෙකු ශ්‍රී ලංකාව තුල පල්ලියක් ඉදිකිරීමට අවසර පතයි. රටේ පුරවැසියන් ලෙස ඔබගේ තීන්දුව කුමක්ද? රටේ ජීවත් වන්නේ 100% බෞද්ධයින් නිසා මේ පල්ලිය කව්රුන් සදහාද? යන පැනය ඔබට ඇතිවනු ඇත. එපමණක් නොව බුදුන්ගේ ඉගෙන්වීමන් පදනම් කරගත් බෞද්ධ ප්‍රතිපත්ති මත ගොඩනැඟුණූ සමාජයක් තුල “ඒක දේව සංකල්පය” දරණ විරුද්ධ මතවාදයක් ස්ථාපනය කරන්නේ ඇයිද? එලෙස අනුමත කිරීම බෞද්ධ ප්‍රතිපත්තිවලට පරස්පර නොවේද?. එපමණක් නොව රටේ අනවශ්‍ය ගැටුම්කාරී වාතාවර්ණයක් ඇති කිරීමට මෙය හේතුවක් වනවා නොවේද? ශ්‍රී ලංකාව බහු ආගමික රටක් ලෙස පැවතුනත් පසුගිය දිනක අනුරාධපුර ප්‍රදේශයේ සොහොනක් බිදීමේ සිද්ධිය අප කථා කලෙමු. එසේනම් මෙවැනි අවසර ලබාදීම රට තුල ගැටළු රාශියක් සදහා මඟ පෑදීමක් නොවේද?. මෙම නිර්ණායකවල හිද සවුදිඅරාබිය පිලිබදව විමසා බැලුවේ නම් එහි 100% ක් මුස්ලීම්වරුන් ජීවත්වන රටක් ලෙස එහි අන්‍ය ආගමික සිද්ධස්ථානයක අවශ්‍යතාවයක් ඇති නොවේ. මෙහිදී ඉස්ලාමීය රටවල පොදු වූ තත්වය මෙය බවට වැරදි අවබෝධයක් ඇති කර නොගතයුතුය. මන්ද බහුතරය මුස්ලීම්වරුන් ජීවත් වන සුළු ආගමික පිරිස් සදහා ආගමික සිද්ධස්ථාන පවතින බොහෝ රටවල් ලොව දක්නට ඇත. (මේවා පිලිබදව ඉහත පිරිස් කථා නොකිරීම කණගාටුදායක තත්වයකි.) නමුත් මෙහි සවුදිඅරාබිය සුවිශේෂි රටකි. අනික් කාරණය නම් සවුදිඅරාබිය තුල ක්‍රියාත්මක වන්නේ 100% ක් නොවුවත් ඉස්ලාමීය (ඉස්ලාමීය) නීතියයි. එය 100% මුස්ලීම්වරුන් වෙසෙන “සර්ව බලධාරී එකම (දෙවියා) අල්ලාහ් ” පමණක් විශ්වාස කරන ජනතාව වෙසෙන රටකි. ඉස්ලාමීය ඉගෙන්වීම අනුව දේව වාදය ප්‍රතික්ෂේප කිරීමත්, බහුදේව සංකල්ප පිලිගැනීමත්, පිලිම වන්දනය කිරීමත් මහා පාපයකි. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව තරමක් දුරකට හෝ රාජ්‍ය පාලනය(රාජ්‍ය පාලනය) ක්‍රියාවට නංවන රටක් ලෙස ඉස්ලාම් ආගමික ඉගෙන්වීමන්ට පරස්පර (විරෝධි) ඉහත ප්‍රතිපත්ති තම රටතුල අළුතින් ස්ථාපනය කිරීමට අවසර දෙනවා යනු එම රටේ මුස්ලීම්වරුන් (එය) ඉස්ලාමීය ඉගෙන්වීමන්ට එරෙහිවීමක් යන්න ද අවබෝධ කර ගතයුතු වේ.

මෙහිදී සවුදිඅරාබියේ මුස්ලීම්වරුන් අන්‍ය ආගම් විරෝධීන් යන්න හෝ අනිකුත් ආගමික මතවාද ගරු නොකරන පිරිසක් යනුවෙන් වැරදි වැටහීමක් ඇති කරගත යුතු නොවේ. මෙහිදී වටහා ගතයුතු කාරණය නම් සවුදිඅරාබිය ඉස්ලාමීය රාජ්‍යයක් (සවුදිඅරාබිය ඉස්ලාමීය රාජ්‍යයක් යන්න සදහන් කිරීම තුල ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව 100% නිවරුදි රාජ්‍ය පාලනයක් එහි පවතිනවා යන්න අදහස් නොවේ) වූ පමණින් එම රටේ වෙසෙන සියළු ජනතාව මුස්ලීම්වරුන් වූ පමණින් අන්‍ය ආගමික පිරිස් එම රට තුල සංචාරයන් සිදුකිරීමත් එහි සේවකයන් ලෙස කටයුතු කිරීමත් සම්බන්ධ කිසිදු තහනමක් පනවා නැත යන්නයි. විදේශිකයන් ලෙස එම රටට පැමිණීම සම්බන්ධයෙන් කිසිදු තහනමක් එම රටේ නොමැති අතර විදේශික කිසිවකුටත් එම රටේ පුරවැසිභාවය ලබානොදීම තුල ඉදිරියේදී එවැනි ගැටළුකාරී තත්වයන් උද්ගතවීම ද වලක්වා ගෙන ඇත. ඒ අනුව තාවකාලික නවාතැනක් ලෙස ගෙන එම රටට පැමිණෙන විදේශිකයන් එම රටේ ආගන්තුකයන් මිස එම භූමියෙහි අයිතීන් ඉල්ලා සිටින පිරිස් විය නොහැක. එසේම එම රට තුලට ඇතුල් වන කිසිවකු “තම ආගමික මතවාදය අත්හලයුතු” යනුවෙන් හෝ “ඉස්ලාම් දහම වැලදගතයුතුයි” යනුවෙන් කිසිදු තහංචියක් පනවා නොමැති අතර එවැනි තහංචියක් පැනවිම පවා ඉස්ලාම් විරෝධි ක්‍රියාවක් බව පැහැදිලිව වටහා ගතයුතුය. ඒ අනුව සවුදිඅරාබිය තුල වුවද තම ආගමික මතවාදය දරා ජීවත්වීමේ කිසිදු වරදක් නැත. අදටත් ශ්‍රී ලංකාවේ සිට විදේශ රුකියා සදහා සවුදිඅරාබියට ගිය බොහෝ බෞද්ධ ප්‍රජාව බෞද්ධයන් ලෙසත් කිතුණු ප්‍රජාව කිතුණුවන් ලෙසත් ජීවත් වනවා යන්න අපට අළුත් කාරණයක් නොවේ. ඔවුන් සදහා ආගමික සිදුධස්ථානයක් නොමැති වීම පමණක් එහි ඔවුනට ඇති එකම අඩුවයි. මේ අනුව සවුදිඅරාබිය බහු ආගමික රටක් නොවීම එම රට ලද භාග්‍යයක් වන අතර අපේ රට එවැනි තත්වයකට පත් නොවීම අවාසනාවක් මිස මේ අවාසනාවන්ත තැනට සවුදිඅරාබිය ද පත්විය යුතුයයි අපේක්ෂා කිරීම අනවබෝධයක් පමණි.

(මෙම ලිපිය තුලින් මා පැවසීමට උත්සාහ කල කාරණය නිසි ලෙස ඉදිරිපත් නොකිරීම නිසා හෝ පාඨක ඔබට එය නිසි ලෙස අවබෝධ කර ගැනීමට නොහැකි වූ නිසා හෝ එහි යම් යම් ගැටළු මතු වී ඇති බව ඔබගේ අදහස් දැක්වීමන් තුලින් අවබෝධ විය. මේ නිසා ඉහත ලිපියෙහි එවැනි තැන් හි තද අකුරින් තවදුරටත් විග්‍රහ කොට ඇත).

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර 1 යි

  1. Musand 2012-10-21 at 13:27

    Nice article. good luck

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *