ස්වර්ගය සදහා තීරණාත්මක සාධකය කුසල්ද? දේව කරුණාවද?

1

මිනිස් බුද්ධියේ වර්ධනයත් සමඟ වඩ වඩාත් මත බේදාත්මක මාතෘකාවන් බවට වර්ථමාන ආගම් හා එහි විශ්වාසයන් පත්ව ඇත. ලොව සෑම දහමක්ම තම දහම ප්‍රායෝගික බවත්, එය බුද්ධියට ගෝචර බවත් පවසමින් අනිකුත් ආගම් ඒ ආකාරයට නොවන බව පවසමින් අනිකුත් මතවාදයන් ගැරහීමද ජනප්‍රිය තත්වයකි. මෙලෙස පුරසාරම් දෙසන බොහෝ ආගම් හා දර්ශනයන් හි පැවැත්ම අදටත් රුදී ඇත්තේ එහි අනුගාමිකයන් තම දහම හෝ දර්ශනය 100% පිලිනොපැදීම තුල යන්න යතාර්ථවාදී සත්‍යයයි. ඒ පිලිබදව බුද්ධිමත් ආකාරයට ආපසු හැරී බැලීමට ඒ සියළු පාර්ශවයන්ට ආරාධනා කරමින් මා මෙහිදී අද අවධානය යොමු කරන්නේ ඉස්ලාම් පවසන දේවවාදයේ තවත් පැතිකඩකටය. ඉස්ලාම් පවසන දේවවාදය පිලිබදව මුස්ලීම් නොවන සමාජය පමණක් නොව මුස්ලීම් සමාජයේ සමහරක් පිරිසට පවා නිසි අවබෝධයක් නැත. මේ හේතුව නිසාම මෙම යහමඟ අඩවිය හරහා මීට ඉහත දී ද දේව විශ්වාසයේ විවිධ වූ පැතිකඩයන් සාකච්චා කලෙමු. ඒ පිලිබදව නැවත මතක් කිරීමක් සිදුකරන්නේ නම්,

යනාදීය එයින් කිහිපයකි.

මෙලෙස ඉස්ලාමීය දේවවාදයේ විවිධ පැතිකඩ ඔස්සේ දෙවියන් පිලිබදව කථාකල යහමඟ අඩවිය අද ඉස්ලාම් පවසන “අල්ලාහ්” (දෙවියන්)ගේ සුවිශේෂි ගුණාංගයක් පිලිබදව කථා කිරීමට අදහස් කරමි. ඒ අල්ලාහ් (දෙවියන්) මනුෂ්‍යා කෙරෙහි දක්වන අසමසම කරුණාව පිලිබදවයි. මෙවන් මාතෘකාවක් තොරා ගැනීමට විශේෂ හේතුවක්ද ඇත. ඒ වර්ථමානය වනවිට දෙවියන් පිලිබදව සමාජයේ බොහෝ දෙනෙකුහට ඇත්තේ තරමක කෘර, දැඩි, ආදරය කරුණාව නොහදුනන හා දරදඬු පාලකයෙකු යන හැඟීමකි. එනම් වරදක් කරන පුද්ගලයා ගින්දරට දමා පුළුස්සන, ලෝදිය පොවන, කෘර ආකාරයට දඬුවම් ලබාදෙන… යනාදී කෙනෙකු ලෙසයි. මෙවැනි මතවාදයන් සමාජය තුල ව්‍යාප්තවීමට ප්‍රධාන හේතූන් ද කිහිපයක් ඇත. විශේෂයෙන් ඉස්ලාම් දහම තුල ද එවැනි මතවාදයන් නිර්මාණය වීමට ඉස්ලාමීය පූජකවරුන් හා විද්වතුන් අල්ලාහ් (දෙවියන්) පිලිබදව මිනිස් සමාජයට හදුන්වා දුන් ආකාර කිසිසේත් අමතක කල නොහැක. ඔවුන් දෙවියන් ලබාදෙන දඩුවම් පිලිබදව කථා කල තරමට දෙවියන් මිනිස් සමාජයට දක්වන ආදරය, දයාව, කරුණාව පිලිබදව මුස්ලීම් සමාජය තුල කථා කලේ නැත. එපමණක් නොව වැඩිහිටි පරම්පරාව විසින් කුඩා දරුවන් හට අල්ලාහ් (දෙවියන්) හදුන්වා දුන් ආකාරය ද ඉහත පිරිසට දෙවැනි නොවේ. දෙවියන් දරුවන් කෙරෙහි දක්වන ආදරය කරුණාව පිලිබදව ඔවුනට පවසනවා වෙනුවට කලේත් “අල්ලාහ් පුච්චයි, කපයි, කොටයි, තලයි…” යනාදී වශයෙන් ඔවුන්ගේ මනසෙහි දෙවියන් පිලිබදව කෘර බවක් සටහන් කිරීමයි. දරුවන්ගේ ළමා මනසෙහි දිගින් දිගටම මේ ආකාරයට දෙවියන් පිලිබදව වැරදි ආකල්පයන් නිර්මාණය කිරීම නිසා ඔවුන් වැඩිහිටියන් ලෙස සමාජයට මුහුණදෙන සමයක වුවද ඔවුන්ගේ මනසේ ඇති වූ ඒ වැරදි ප්‍රතිරූපය නිවරුදි කරගැනීම එතරම් පහසු කාර්‍යයක් නොවීය. මෙවන් වූ සමාජ පසුබිමක බහුතර මුස්ලීම්වරුන් අල්ලාහ් (දෙවියන්) පිලිබදව මා ඉහතින් සදහන් ආකාරයට අවබෝධ කරගෙන සිටිම පුදුමයට කාරණයක් නොවේ. මේ ආකාරයට දෙවියන් පිලිබදව නිසි අවබෝධයක් නොමැතිකමේ ප්‍රථිපලය තමා මිනිසා දේව කැමැත්ත දිනාගැනීම උදෙසා සංකීර්ණ ක්‍රියාදාමයන් වෙත යොමුවීම. මෙහි අනිසි ප්‍රථිපල අප නිරන්තරයෙන් සමාජයේ දකින්නෙමු. දෙවියන් මිනිසුන්ගෙන් කුමක් අපේක්ෂා කරනවාද? යන්න පිලිබදව අවබෝධයක් නොමැති ජනතාව දේව කැමැත්ත දිනාගැනීම සදහා විවිධ දුෂ්කර ක්‍රියාවන් හි නිරතවීම, තම ශරීරයට දුක්දීම, කුඩා කලසිටම දෙවියන් වෙනුවෙන් කැපවන බව පවසමින් තම නිදහස හා මූලික අවශ්‍යතාවයන් හා අයිතිවාසිකම් අත්හැර දැමීම… යනාදීය සදහන් කලහැක. දෙවියන් සතුටුකිරීම පහසු කාර්‍යයක් නොවේ මේ නිසා දෙවියන් වෙනුවෙන් සම්පූර්ණයෙන් කැපවීම අත්‍යඅවශ්‍ය යනුවෙන් පවසමින් තමා විසින් සමාජයට, පවුලට හා තමාට ඉටුකලයුතු මූලික වගකීම් පවා අත්හැර දේවියන්ගේ කැමැත්ත දිනාගැනීම උදෙසා කැපවීම, දෙවියන්ගේ කැමැත්ත දිනාගැනීම පිණිස දෙවියන් පෙන්වානොදුන් ආකාරයේ දේවවන්දනාවන් හා වතාවත් ඉටු කරමින් ඒ තුලින් දේව කැමැත්ත අපේක්ෂා කිරීම යනාදීය වර්ථමාන සමාජයේ සුලභ දසුනකි. මෙම තත්වය සමාජය තුල කොතරම් මුල් බැස තිබෙනවාද? යන්න පවසනවා නම් මුස්ලීම් සමාජයේ පවා ඉස්ලාම් නමින් ඉහත සදහන් තත්වය අඩුවැඩි වශයෙන් ක්‍රියාත්මකව පැවතීමයි. (මේ පිලිබදව මෙම අඩවිය තුල “මනුෂ්‍ය චින්තන මත කිලිටි වන ආගම්” යන ලිපිය හරහා මීට ඉහත සාකච්චා කොට ඇත) අල්ලාහ් (දෙවියන්) මිනිසුන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? යන්න පිලිබදව අවබෝධයක් නොමැති නිසා වල්මත් වූ සමාජය මා ඉහතින් සදහන් සියල්ල දෙවියන් මිනිසුන්ගෙන් අපේක්ෂා කරන බව සිතීම ඉහත තත්වය උදාවීමට මූලික හේතුවයි.

මෙවන් සමාජ පසුබිමක මෙම විෂය පිලිබදව ඉස්ලාමීය දෘෂ්ටි කොණයෙන් තරමක් ගැඹුරින් සාකච්චා කිරීම මුස්ලීම් සමාජයේ කාලීන අවශ්‍යතාවයකි. ඒ අනුව අවධානය යොමු කලේනම්, මුස්ලීම්වරුන් වන අප සියළු දෙනා මරණින් මතු උදාවන සදාතනික ජීවිතයක් පිලිබදව විශ්වාස කරන්නෙමු. (එය මුස්ලීම්වරුන් විශ්වාස කලයුතු මුලික කොන්දේසිවලින් එකකි) මෙසේ මරණින් මතු උදාවන එම සදාතනික ජීවිතය තුල සෑම මුස්ලීම්වරයෙකුටම ස්වර්ගය හෝ අපාය (නිරය) හිමිවන බව විශ්වාස කිරන්නෙමු. (මෙය මුස්ලීම්වරුන් විශ්වාස කලයුතු මුලික කොන්දේසිවලින් තවත් එකකි) මෙසේ ඉස්ලාමීය කොන්දේසිවලට යටත්ව ජීවත්වන බහුතර මුස්ලීම්වරුන් අවබෝධකර ගෙන සිටින්නේ තමන් විසින් කරනු ලබන කුසල් අකුසල් අනුව පමණක් මෙම ස්වර්ගය හෝ නිරය තමන්ට හිමිවන බවයි. මෙය මුස්ලීම් ජනතාවගේ අනවබෝධය නිසා ඇති වූ සම්පූර්ණයෙන් වැරදි විශ්වාසයකි. තමන් කොතරම් කුසල ක්‍රියාවන් හි නිරත වුවත් ස්වර්ගය හිමිවීම යන්න තමා කල කුසල් මත නොව දෙවියන්ගේ කරුණාව මත රදා පවතින සාදකයක් යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි. මෙය සෑම මුස්ලීම්වරයෙකුම අල්ලාහ් (දෙවියන්) සම්බන්ධයෙන් හොදින් අවබෝධකර ගතයුතු කාරණයකි. මෙම කාරණය නබිතුමාණන් ඉතා අලංකාර ලෙස මිනිස් සමාජයට දේශනා කරන ලද අතර එය පහත ආකාරයට වේ.

“කිසිවකුගේ සත්ක්‍රියාවන් (කුසල්) ඔහුව කිසිදු විටෙක ස්වර්ගයට ගෙන නොයන්නේය” යනුවෙන් වරක් නබිතුමාණන් පවසන ලදී. එය ඇසූ තම අනුගාමිකයන් (සහාභාවරුන්)ගෙන් කෙනෙකු “නබිතුමණි ඔබතුමාටත් (ඔබ තුමා අපට වඩා කොතරම් සත්ක්‍රියාවන් හි නිරතවනවාද? එසේ තිබියදී ඔබතුමාටත්) එලෙසමද?” යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් “ඔව් මටත් එසේමයි දෙවියන්ගේ කරුණාව මට හිමිනොවුනා නම් මටත් ස්වර්ගය හිමිවන්නේ නැහැ” යනුවෙන් පැවසූ එතුමාණන් අවසානයේ “එමනිසා මධ්‍යස්ථව ක්‍රියා කරන්න” යනුවෙන් පවසන ලදී.

මෙම ලිපිය ආරම්භයේ මා පැවසුවා සේ වර්ථමාන සමාජයේ බොහෝ දෙනෙකු අල්ලාහ් (දෙවියන්) වෙනුවෙන් තම යුතුකම් ඉටුකොට ඒ තුලින් අල්ලාහ් (දෙවියන්)ගේ කැමැත්ත හා අශිර්වාදය ලබාගැනීමට අපේක්ෂා කරයි. මෙය ඉතාම බොළද උත්සාහයක් යන්නත් දෙවියන් පිලිබදව ඔවුන්ගේ අනවබෝධයක් යන්නත් ඉහත හදීසයෙන් ද මනාව පිළිඹිබු වේ. දෙවියන් මනුෂ්‍යා හට ලබාදී තිබෙන භාග්‍යයන් වෙනුවෙන් ඔහු දිවා රෑ දවසේ පැය 24 පුරාවටම වන්දනාමාන සිදුකල ද තමන් හට අල්ලාහ් (දෙවියන්) ලබාදී ඇති එක් භාග්‍යයක් වෙනුවට එය සමාන කල නොහැක. (දෙවියන් මනුෂ්‍යා හට ලබාදී ඇති භාග්‍යයන් ඉදිරියේදී මෙම යහමඟ අඩවිය තුල සාකච්චා කිරීමට නියමිතය) එසේ තිබිය දී “දෙවියන් මට ලබාදී ඇති භාග්‍යයන් වෙනුවෙන් මම යුතුකම් ඉටු කරන්න යනවා” යනුවෙන් කිසිවකු ඉදිරිපත් වන්නේ නම් එයින් ඔහුගේ අහංකාරකම හා අනවබෝධය පිලිඹිබු වනවා මිස බුද්ධිමත් ක්‍රියාවක් නොවන බව පැහැදිලිව වටහාගත යුතුවේ. ඒ අනුව අල්ලාහ් (දෙවියන්) මනුෂ්‍යා හට ලබාදී ඇති භාග්‍යයට සමානව හෝ ඊටත් වැඩිවන සේ දෙවියන්ට පුදපූජා කරනවා යයි කිසිවකු ඉදිරිපත් වන්නේ නම් එය අසාර්ථක උත්සාහයක් වන අතර එලෙස සිතීම පවා ඉස්ලාමීය ඉගෙන්වීම අනුව ශිර්ක් හෙවත් (දෙවියන්ට සමානයන් තබන) මහා පාපයක් බවට පත්වේ. පැහැදිලිවම අපට ස්වර්ගය හිමිවීම අපගේ කුසල් මත නොව දෙවියන්ගේ කරුණාව මත රුදී තිබෙන සාධකයක් නිසා තමා නබිතුමාණන් විසින් ඉහත හදීසය අවසාන කොටසෙහි “…එමනිසා මධ්‍යස්ථව ක්‍රියා කරන්න…” යනුවෙන් පවසන ලද්දේ. මේ අනුව මා ඉහතින් සදහන් කලාසේ තම ශරීරයට දුක්දීම, දුෂකර ක්‍රියාවන් හි නිරතවීම තුලින් කිසිවකු දේව කැමැත්ත හා ස්වර්ගය අපේක්ෂා කරන්නේ නම් එය ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව කිසිදු විටෙක සිදුනොවන නිෂ්පල ක්‍රියාවක් යන්න පැහැදිලිව වටහාගත යුතුය. එසේම අල්ලාහ් (දෙවියන්) මනුෂයා හට ලබාදී ඇති භාග්‍යයන් හා මනුෂ්‍යා විසින් දෙවියන් වෙනුවෙන් කල යුතුකම් ගනනය කොට ඒ අනුව ස්වර්ගය ලබාදීම දෙවියන් සිදුකරනවා යයි උපකල්පනය කලේනම් ඒ සදහා කිසිදු මනුෂ්‍යයකු ශක්තිවන්ත නොවනු බව ද පැහැදිලිවම වටහාගත යුතුය. මේ අනුව ස්වර්ගය මනුෂයාට හිමිවීම ඔහුගේ (අල්ලාහ් (දෙවියන)ගේ) භාග්‍යය, කරුණාව හා ආදරය වැනි කරුණූ මත පදනම් වූ සාධකයක් බව පැහැදිලිය. මෙය වඩාත් හොදින් අවබෝධ කරගනු පිණිස නබිතුමාණන් විසින් පවසන ලද “හදීස්” කිහිපයක් පදනම් කරගෙන විමසා බැලුවේ නම්,

විනිශ්චය (ලෝක විනාශයෙන් පසු මනුෂ්‍යා විසින් කරන ලද කුසල් අකුසල් දෙවියන් විසින් විනිශ්චය කරන) දිනයේ දී ‘මහ්ෂර්’ නම් ස්ථානයේ සියළු ජනතාව ඒකරාශි කොට ඔවුන් ඉදිරියේ එකින් එක්කෙනා කල සියළු හොද නරක දෙවියන් විසින් ප්‍රශ්න කරුනු ඇත. (යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි.) එහි දී ‘නජ්වා’ නම් වූ ප්‍රශ්න කිරීමක් ඇත. එනම් කිසිවකුටත් නොපෙනෙන ආකාරයට දෙවියන් විසින් රහසිගතව කරන ප්‍රශ්න කිරීම්. මෙය සෑම මුස්ලීම්වරයෙකුට නොලැබෙන (දෙවියන්ගේ කරුණාව හිමිවූ පිරිසට පමණක් ලැබෙන) භාග්‍යයකි. අල්ලාහ් කව්රුන් කෙරෙහි කරුණාව දක්වන්න සිතුවේද ඔහුව තමා සමීපයට කැදවා ඔහුගෙන් රහසිගතව ප්‍රශ්න කරනු ලැබේ. මෙසේ දෙවියන් ප්‍රශ්න කිරීම දැක ඔහු තමන් විසින් එලොව දී කල අකුසල් හි තරම ගැන සිතා බියටපත් වි සුදුමැලියම් වේ. මේ ආකාරයට ප්‍රශ්න කල අල්ලාහ් (දෙවියන්) අවසානයේ “මේ සියළු වැරදි දන්නේ ඔබයි මායි පමණයි. මා ඔබගේ වැරදි එලොවදී වසන් කලාසේම අදත් වසන්කර දැමුවෙමි ඔබ ස්වර්ගයට පිවිසෙන්න” යනුවෙන් පවසනු ඇත.

තවත් හදීසයකට අනුව…

විනිශ්චය දිනයේ දී ‘මහ්ෂර්’ නම් ස්ථානයේ සියළු ජනතාව ඒකරාශි කොට ඔවුන් අතුරින් කෙනෙකු කැදවා ඔහුගෙන් ප්‍රශ්න කරන ලෙස මලාඉකාවරුන් (දේවදූතයන්)ට දෙවියන් විසින් අන කරනු ලබයි. එහිදී එම මලාඉකාවරුන්ට දෙවියන් විසින් කොන්දේසියක් ද පනවනු ලබයි. ඒ ‘ඔහු කල මහා පාපයන් කිසිවක් පිලිබදව නොවිමසා කුඩාම කුඩා අකුසල් ක්‍රියාවන් පිලිබදව පමණක් විමසන්න’ යනුවෙනි. ඒ ආකාරයට මලාඉකාවරුන් ඔහුගෙන් ප්‍රශ්න කරන විට ඔහු මෙලෙස සිතයි ‘මා එලොවදී කල කුඩා කාරණයන් පවා මෙලෙස ප්‍රශ්න කරනවා නම් ඉදිරියේදී මා කල මහා පාපයන් ප්‍රශ්න කරන විට මා දෙන පිලිතුර කුමක්ද?’. මෙලෙස ඔහු බියටපත්ව සිටින විට දෙවියන් එම ස්ථානයට පැමිණ “ඔබ මේ කල සුළු පාපයන් සියල්ල කුසල් බවට පෙරලුවෙමි ඔබ ස්වර්ගයට පිවිසෙන්න” යනුවෙන් පවසනු ලබයි. එවිට ඔහු අධික ලෙස සතුටට පත්ව “දෙවියණි!, එලොව දී මා මහා පාපයන් බොහෝමයක් කර ඇත්තෙමි. යනුවෙන් පවසමින් ඒ එකින් එක විස්තර කරමින් ඒ කිසිවක් මෙහි විමසුවේ නැහැනේ” යනුවෙන් පවසනු ඇත. එම අවස්ථාවේ ඔහුට අල්ලාහ් (දෙවියන්) විසින් “ඔබ ස්වර්ගයට පිවිසෙන්න” යනුවෙන් පවසන බව පැවසූ නබිතුමාණන් දෙවියන්ගේ කරුණාව හමුවේ මේ මිනිසාගේ අසරණකම ගැන සිතා සිනාසුනේය.

තවත් හදීසයකට අනුව…

මනුෂ්‍යයන් වශයෙන් සෑම කෙනෙකුගේම සිත් තුල විවිධ අවස්ථාවල නොයෙක් ආකාරයේ (කෙනෙකු මරණ්න, පහරදෙන්න, සොරකම් කරන්න… යනාදී) වැරදි සිතුවිලි ඇති කර ගැනීම සාමාන්‍ය තත්වයකි. ඉස්ලාමීය විශ්වාසයට අනුව මෙවැනි සිතුවිලි දන්නේ එම පුද්ගලයා සහා අල්ලාහ් (දෙවියන්) පමණි. මේ පිලිබදව නබිතුමාණන් පැවසීමේදී. “මාගේ ජනසමූහය (මුස්ලීම්වරුන්) තම සිත තුල වැරදි සිතුවිල්ලක් ඇති කරගෙන එය කිසිවකුටත් පැවසීමෙන් හා එය ක්‍රියාවට නැංවීමෙන් වැලකී සිටියේ නම් එයට දෙවියන් හමුවේ ප්‍රශ්න කිරීමක් නැත” යනුවෙන් පවසන ලදී.

තවත් හදීසයකට අනුව…

තවත් අවස්ථාවක නබිතුමාණන් මෙසේ පවසන ලදී. එනම් “කිසියම් කෙනෙකු අඛන්ඩව හා දෛනිකව සත්ක්‍රියාවල (වෛකල්පිත සලාතය, වෛකල්පිත උපවාසය, දහම් ප්‍රචාරය, දාන, පරිත්‍යාග… යනාදීන් හි) නිරතව සිටිය දී කිසියම් රෝගී තත්වයක් නිසා එය නිසි ආකාරව ඔහුට ඉටුකිරීමට නොහැකි වුයේනම් එම (රෝගීව පැවතී) දිනයන් සදහා ද ඔහු එම සත්ක්‍රියාවන් හි නිරත වූ කුසල දෙවියන් ලබාදෙනු ලැබේ.” යනුවෙන් පවසන ලදී.

තවත් හදීසයකට අනුව…

ඉහත ආකාරයටම “අඛන්ඩව හා දෛනිකව සත්ක්‍රියාවල කෙනෙකු දුර ගමනක නිරත වීමට සිදුවුයේ නම් එහිදී සලාතය සදහා ඔහුට බොහෝ සහනයන් ඉස්ලාම් යෝජනා කරයි. නමුත් එම සහනයන් ඔහු ලබාගැනීම හේතුවෙන් ඔහුට ලැබෙන කුසලෙහි කිසිදු වෙනසක් ඇති නොවේ. ඊට අමතරව ඔහු ගමනෙහි නිරතවන දින 03ක් දක්වා කාලය තුල ඔහු දෛනිකව සිදුකරන සත්ක්‍රියාවල නිරතවීමට නොහැකි වුවත් ඒ දින 03 සදහා ඔහු විසින් සියල්ල ඉටුකල කුසල අල්ලාහ් (දෙවියන්) විසින් ඔහුට ලබාදෙන බව නබිතුමාණන් පවසන ලදී.

තවත් හදීසයකට අනුව…

පාපක්‍රියාවන් හි ජීවිත කාලයම ගෙවාදැමු කෙනෙකු පිපාසයෙන් සිටී බල්ලෙකු වෙනුවෙන් ජලය ස්වල්පයක් ලබාදීම හේතුකොටගෙන ස්වර්ගයට පිවිසෙන බව පැවසූ හදීසය මීට ඉහත අප මෙම අඩවිය තුල සාකච්චා කොට ඇත්තෙමු.

තවත් හදීසයකට අනුව…

තවත් අවස්ථාවක අල්ලාහ් (දෙවියන්) පැවසූ බවට නබිතුමාණන් මෙසේ පවසන ලදී. “මුස්ලීම්වරයෙකුගේ ප්‍රියතම (තම පවුලේ) කෙනෙකු (වන මව, පියා, දරුවා, බිරිද, ස්වාමියා… යනාදී පිරිස) හෝ ඔහුගේ ප්‍රියතම යමක් (අත, පය, ඇස, කන… යනාදීන්) දෙවියන් විසින් ආපසු ලබාගත් විට එය ඔහු ඉවසීමෙන් දරාගත්තේ නම් ඔහුට අල්ලාහ් (දෙවියන්)ගෙන් ස්වර්ගය හැර වෙනත් ත්‍යාගයක් නැත” යනුවෙන් පැවසූ බව පවසන ලදී.

තවත් හදීසයකට අනුව…

කිසිවකු උපවාසයේ නිරතව සිටියදී තමා උපවසය රකින බව අමතක වීම හේතුකොටගෙන ජලයපානය කිරීමක් හෝ ආහාර ගැනීමක් සිදු කලේනම් (මෙය අප ජීවිතය තුල කොතෙකුත් අත්දැක ඇති කාරණයකි). මෙවැනි අවස්ථාවල දී අපගේ උපවාසය කිසිදු ආකාරයකින් අවලංගු නොවන බව නබිතුමාණන් පැවසන ලදි.

තවත් හදීසයකට අනුව…

තවත් අවස්ථාවක අල්ලාහ් (දෙවියන්) මෙසේ පවසයි. “ඔබලා තම බිරින්දෑවරුන් පෝෂණය කිරීම (කුසගින්නට ආහාර ලබාදීම) ද කුසල් ක්‍රියාවක් වන්නේය” යනුවෙන් නබිතුමාණන් පවසන ලදී.

දෙවියන් විසින් මනුෂයා සදහා ලබාදෙන ස්වර්ගය සදහා මුලික අවශ්‍යතාවය හා පදනම වන්නේ ඔහු විසින් රුස් කරනු ලබන කුසල් යයි කිසිවකු සිතන්නේ එය සම්පූර්ණයෙන්ම වැරදි නිගමනයක් බව ඉහත සදහන් හදීසයන් හොදින් අධ්‍යනය කලේනම් පැහැදිලි වනු ඇත. දෙවියන් මනුෂ්‍යා සදහා ලබාදී ඇති භාග්‍යයන් හා මනුෂ්‍යා විසින් දෙවියන් උදෙසා ඉටුකරන ක්‍රියාවන් සංසන්ධනය කලේනම් එය අහසට පොළොව සේය. අල්ලාහ් (දෙවියන්) එවැනි ක්‍රියාවක් මනුෂ්‍යාගෙන් අපේක්ෂා කරන්නේත් නැත. එසේ දෙවියන් අපේක්ෂා කලේනම්, මිනිසුන් සිදුකරන කුසල් මත පමණක්ම ස්වර්ගය ලබා දෙන්නේ නම් ඉහත හදීසයෙහි සදහන් ආකාරයට මනුෂ්‍යයා මෙලොව සිදුකල වැරදි අමතක කොට ඔහුට අල්ලාහ් (දෙවියන්) විසින් ස්වර්ගය ලබාදෙනු ඇත්ද?, ඔහුගේ පාපක්‍රියාවන් අමතක කරනවා පමණක් නොව ඔහු විසින් සිදුකල සුළු පාපයන් කුසල් බවට පෙරලා ඔහුව ස්වර්ගයට ඇතුල් කරාවිද? මෙහිදී මනුෂ්‍යා ස්වර්ගයට පිවිසීමට මූලික සාධකය වී ඇත්තේ ඔහු විසින් කල කුසල් ක්‍රියාවන්ද? දෙවියන්ගේ කරුණාව හා භාග්‍යයන්ද? කල කුසල් අකුසල් අනුව නම් සියල්ල තීන්දු විය යුත්තේ දෙවියන් හොදින් දැනුවත් වරදකාරී සිතුවිලි සදහා නියත වශයෙන්ම දඩුවම් ලබාදිය යුතු නොවේද?. නමුත් දෙවියන් එහිදී මනුෂ්‍යා සදහා දක්වන කරුණාව මොහොතක් සිතා බලන්න. දෙවියන්ගේ අරමුණ මනුෂ්‍යා අපමණ කුසල ක්‍රියාවන් හි නිරත වී ඒ තුලින් ස්වර්ගය ලබා ගතයුතු යන්න නම්, ඔහු නොකරන කුසල ක්‍රියාවන් සදහා (රෝගිව සිටින විට හා ගමනෙහි නිරතව සිටින විට) එම ක්‍රියාවන් හි නිරත වුවා යයි සලකා කුසල් ලබාදෙන්නේ කුමකටද? එපමණක් නොව මනුෂ්‍යාගේ තීරණාත්මක සාදකය අධිකව කුසල ක්‍රියාවන් හි නිරතවීම නම් ජීවිතයේ (කුසල් අපේක්ෂා නොකොට) සිදුකල එකම හා සරල ක්‍රියාවක් (බල්ලෙකුට පිපාසයට ජලය ලබාදීම) වෙනුවෙන් අල්ලාහ් (දෙවියන්) ස්වර්ගය ලබාදෙන්නේ ඇයිද?. එපමණක් නොව දේව වන්දනයට පරිභාහිර ක්‍රියාවන් (එනම් බිරිද පෝෂණය කිරීම, අහිමිවීම් ඉවසා විද දරාගැනීම… යනාදී) කාරණයන් වෙනුවෙන් අල්ලාහ් (දෙවියන්) ස්වර්ගය යෝජනා කරන්නේ කුමකටද? සියල්ල තමා විසින් දෙවියන් හට සිදුකරන කුසල ක්‍රියාවන් මත පදනම් වුයේනම් ඉහත ආකාරයේ තීන්දු කුමකටද?. දෙවියන්ගේ කැමැත්ත මිනිසා තම ශරීරයට දුක්දෙමින් විවිධ දුෂ්කරතාවයන් හා දුෂ්කර ක්‍රියාවන් මධ්‍යයේ සිදුකරන කුසල ක්‍රියාවන් නම් එවන් ලක්ෂණයන් ඉහත කරුණුවල දක්නට නොලැබෙන්නේ ඇයිද? මුස්ලීම්වරුන් සිදුකරන වතාවත් අතුරින් ඉතා දුෂ්කර වතාවත් ලෙස මුස්ලීම් සමාජය මෙන්ම අන්‍ය සමාජය පවා පිලිගෙන සිටින උපවාසය සම්බන්ධයෙන් ඉහත ආකාරයේ ලිහිලි කොන්දේසි ඉස්ලාම් පනවන්නේ ඇයිද? අමතක වීම හේතුකොටගෙන කුසපිරෙන්න ඔහු ආහාර ගත්තේ නම් සාමාන්‍ය මනුෂ්‍ය බුද්ධිය පවා ඔහුගේ උපවසාය නිෂ්පල එකක් බවට පත්වෙන බව පිලිගන්නා විට දෙවියන් “ඔබේ උපවාසය වලංගුයි” යනුවෙන් පැවසීම තුල පැහැදිලි වන්නේ මනුෂ්‍යා තුලින් දෙවියන් අපේක්ෂා කරන්නේ ඔහුගේ අසාමාන්‍ය කැපවීම නොවන බවත්, ඔහුගේ තීරණාත්මක සාධකය කුසල් නොවන බවත් නොවේද?. මේ කාරණය නිසි ආකාරව අවබෝධ කරගැනීම මුස්ලීම් සමාජය අතපසු කිරීමේ ප්‍රථිපලය තමා ඉස්ලාම් පෙන්වා නොදෙන වතාවත් හා වත්පිලිවෙත් ඉස්ලාම් නමින් බහුල ලෙස මුස්ලීම් සමාජය තුල නිර්මාණය වීම. දෙවියන්ගේ කැමැත්ත ආශිර්වාදය තමන් විසින් සිදුකරන කුසල් ක්‍රියාවන් මත රුදී පවතිනවා යන්න විශ්වාස කිරීමේ ප්‍රතිපලය තමා පිවිතුරු දහම වර්ථමානයේ දක්නට ඇති ආකාරයට විවිධ විකෘති කිරීමන්ට භාජනය වීම. මෙලෙස දෙවියන්ගේ ආදරය කරුණාව පිලිබදව නිසි අවබෝධයක් නොමැතිව සියල්ල තීන්දු තීරණ වන්නේ තමන්ගේ ක්‍රියා අනුව ලැබෙන ප්‍රථිපල තමා යයි සිතා සිටින පිරිසගේ අවධානයට අවසාන වශයෙන් තවත් එක් හදීසයක් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.

“මරණින් මතු උදාවන විනිශ්චය දිනයේ සියල්ල තීන්දු තීරණ කොට (ස්වර්ගයට යන පිරිස් ස්වර්ගයට හා නිරයට යන පිරිස් නිරයටද යොමු කිරීමෙන් අනතුරුව නිරයට ගිය පිරිස් අතුරින් එක්තරා පිරිසක් පිලිබදව මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසයි. “නිරයට ගිය පිරිස් අතුරින් අල්ලාහ් (දෙවියන්)ගේ කරුණාව හේතුකොටගෙන පසුකාලීනව එයින් කිසියම් පිරිසක් ස්වර්ගයට ඇතුල් කරනු ලබයි. මෙලෙස අල්ලාහ් (දෙවියන්)ගේ කරුණාව හේතූ කොටගෙන නිරයෙන් ඉවතටගත් පිරිස් අතරින් අවසානම තැනැත්තා අල්ලාහ් (දෙවියන්)ගේ කරුණාව හේතුකොටගෙන ඔහුව නිරයෙන් ඉවතට ගත්තද එය ඔහුව ස්වර්ගයට ඇතුල් කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය. මේ අනුව නිරයෙන් මුදවාගත් ඔහුව ස්වර්ගය හා නිරය අතර නිරය දෙසට හරහා නරත කර තබනු ලැබේ. මෙසේ කාලයක් ගතවන විට ඔහු “දෙවියණේ!, මා කොතරම් කාලයක් මෙලෙසෙ බලාහිදින්නද? මාගේ මුහුණ ස්වර්ගය දෙසට හරවා තබන්න. මා වෙන කිසිවකු ඔබෙන් ඉල්ලන්නේ නැහැ” යනුවෙන් පවසයි. එවිට අල්ලාහ් (දෙවියන්) ඔහුගෙන් ඒ සදහා විවිධ දිවුරුම් ප්‍රකාශනයන් පොරොන්දු ලබාගෙන ඔහුගේ මුහුණ ස්වර්ගය දෙසට හරවා තබයි. මෙසේ කාලයක් ගතවන විට ඔහු “දෙවියණේ!, මා කොතරම් කාලයක් මෙලෙසෙ බලාහිදින්නද? මාව ස්වර්ගය සමීපයට ගොන ගොස් තබන්න. මා වෙන කිසිවකු ඔබෙන් ඉල්ලන්නේ නැහැ” යනුවෙන් පවසයි. එවිට අල්ලාහ් (දෙවියන්) ඒ සදහා ඔහුගෙන් විවිධ දිවුරුම් ප්‍රකාශනයන් හා පොරොන්දු ලබාගෙන ඔහුව ස්වර්ගය සමීපයෙහි ගෙනගොස් තබයි. . මෙසේ කාලයක් ගතවන විට ඔහු “දෙවියණේ!, මා කොතරම් කාලයක් මෙලෙසෙ බලාහිදින්නද? මාව ස්වර්ගය ඇතුලට ගොන ගොස් තබන්න මා එය භුක්තිවිදින්න ආසයි. මා වෙන කිසිවකු ඔබෙන් ඉල්ලන්නේ නැහැ” යනුවෙන් පවසයි. එවිට අල්ලාහ් (දෙවියන්) “ඔබ පොරොන්දු වූ සියල්ල කඩකලා ඉතින් ඔබව කෙලෙසද මා ස්වර්ගයට යොමු කරන්නේ” යනුවෙන් විමසයි. එවිට ඔහු දෙවියන්ගෙන් මෙලෙස ද ප්‍රාර්ථනාවක් කරයි. “දෙවියණි!, ඔබේ මැවීමන් අතුරින් අවාසනාවන්තම මැවීමක් බවට මා පත්නොකරන්න.” මෙය ඇසූ අල්ලාහ් (දෙවියන්) මොහුගේ ක්‍රියාකලාපයන් දෙස බලා අධික ලෙස සිනාසෙන බව පැවසූ නබිතුමාණන් එලෙස සිනාසෙමින් දෙවියන් ඔහුට මෙසේ පවසූ බවද පවසයි. එනම් “ඔබ දැන් ස්වර්ගය තුලට ඇවිත් එහි ඔබට අවශ්‍ය දෑ දැන් ඉල්ලන්න.” එවිට ඔහු “දෙවියණි! මීට වඩා කිසිවකු මහට අවශ්‍ය නොවේ” යනුවෙන් පවසයි. එයට අල්ලාහ් (දෙවියන්) ඔහුට “මෙය ඉල්ලන්න එය ඉල්ලන්න අරක ඉල්ලන්න…” යනාදී වශයෙන් ඔහුට එකින් එක අල්ලාහ් (දෙවියන්) විසින් මතක්කරදිදී ඉල්ලීමට සලස්වයි. අවසානයේ ඔහුට මෙලොවෙහි ඇති භාග්‍යයන් මෙන් දෙගුණයක් ලබාදුන් බව පැවසූ නබිතුමාණන් මොහු තමා ස්වර්ගයට අවසාන වශයෙන් පිවිසෙන තැනැත්තා වන්නේ”. යනුවෙන්ද පවසන ලදි.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

මෙම හදීසය හොදින් විෂ්ලේෂණය කලේනම්, අල්ලාහ් (දෙවියන්) මනුෂ්‍යා කෙරෙහි කොතරම් කරුණාවක් දක්වනවාද? යන්නත් ස්වර්ගය යන්න තමා කල කුසල් අකුසල් මත පමණක් තීරණය නොවන සාධකයක් යන්න මානාව පැහැදිලි වනු ඇත. සියල්ල පිං පව් අනුව තීරණය වනවා යන්නත්, දුෂ්කර ක්‍රියාමාර්ගයන් තුලින් පමණයි විමුක්තියක් ලඟා කරගත හැක්කේ යනුවෙනුත්, දෙවියන් හට පිං ලබාදීම තුලින් තමා දේව අශිර්වාදය හා පිහිට ලැබිය හැක්කේ යන සමාජ සම්ප්‍රදායන් හා මිත්‍ය විශ්වාසය ඉස්ලාම් සහමුලින්ම ප්‍රතික්ෂේප කිරීම මෙතෙක් සදහන් කල කරුණුවලින් ඔබට මනාව පැහැදිලි වනු ඇත. එසේම හාම්පුතා තම සේවකයාගෙන් දැඩි කැපවීමක් අපේකාෂා කිරීම ලෝක ස්වභාවයකි. සේවකයකු දැඩි කැපවීමකින් සේවය කිරීම තුල තම හාම්පුතාගේ කැමැත්ත දිනාගැනීමට හැකිවීමද ලෝක ස්වභාවයකි. මෙය හාම්පුත්තු හා සේවකයා අතර පමණක් පවතින බැදීමක් නොවේ. මිනිස් සමාජයේ සෑම තරාතිරමකම මෙම පොදු ලක්ෂණය දක්නට තිබේ. මේ සමාජ පසුබිම තුල ආදර්ශ ලබන මිනිසා තමාට සාපේක්ෂව දෙවියන් දෙස බැලීමේ ප්‍රථිපලයක් ලෙස තමා මා ඉහත සදහන් විකෘති වූ දේව විශ්වාසයන් සමාජය තුල නිර්මාණය වීමට මූලික හේතුව. මෙම තත්වය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා සරල උපකල්පනයකට ගියේනම්, එනම් වර්ථමාන සමාජයේ බහුතරයක් සිතා සිටින ආකාරයට තමා දෙවියන් සියල්ල තීන්දු කරන්නේ එනම් දෙවියන්ට වෙනුවෙන් කරන කුසල් තමා සියල්ල තීන්දු කරන්නේ යනුවෙන් විශ්වාස කලේනම්, ඒ සමඟ මතුවන ප්‍රබල ගැටළුවක් ඇත. එනම් දෙවියන් මනුෂ්‍යා සදහා ලබාදී ඇති දායාදයන් හා භාග්‍යයන් මොහොතක් සිතා බලන්න. ඒ වෙනුවෙන් මේ මිනිසා කෘතගුණ සලකා හමාරද?. ඒය ජීවිත කාලය තුල ඉටුකිරීමට හැකිවේද? එවන් තත්වයක ස්වර්ගය දිනාගැනීම උදෙසා පිං කිරීම ප්‍රායෝගිකව සිදුකල හැකි කාර්‍යයක්ද?. මෙවන් පසුබිමක ඔබට දෙවියන් ස්වර්ගය ලබාදෙන බව පවසන්නේ නම් ඒ ඔබගේ අසීමිත කුසල් ක්‍රියාවන් නිසා සතුටට පත්වූ දෙවියන් විසින් යුතුකමක් ලෙස ලබාදිය යුතු අයිතියක් නොව දෙවියන්ගේ කරුණාව නිසා ඔබට ලබාදෙන තවත් දායාදයක් පමණි.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර 1 යි

  1. අධීශ ජයනාත් 2012-09-29 at 00:35

    “ස්වර්ගය සදහා තීරණාත්මක සාධකය කුසල්ද? දේව කරුණාවද?”

    මෙහිදී කුසල් යන්න පින් ලෙස වෙනස්වියයුතුයි. කුසල් කිසිවිටකත් ස්වර්ගය සාක්ෂාත් කරගැනීමට උපකාර වන දෙයක් නොව නිවණ සාක්ෂාත් කරගැනීමට උපකාර වන්නකි. බුදුදහමට අනුව ලොව සිටින ඕනෑම ජීවියකුට පින් කලහැක. නමුත් කුසල් කලහැක්කේ ත්‍රිහේතුක ප්‍රතිසංදිය ඇතිව උපන් බෞද්ධයකුට පමණි.(පින්කර ස්වර්ගයට යාමට ඕනෑම කෙනෙකුට බෞද්ධ දර්ශනය තුල බාධාවක් නොමැත.)

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *