සැබෑ නූතනයට පියනඟන්න – නූතන මානවයාට ඇරයුමක්

0

වර්ථමානයේ ලොව නිතර කථාබහට ලක්වන මාතෘකාවක් ඇත්නම් ඒ ‘නූතන මානවයා දියුණුව හා ඔහුගේ අසමසම හැකියාවයි’. අද ඔහු දිනාගෙන ඇති ජයග්‍රහණයන් පිලිබදව සමස්ථ ලෝකය මහා උජාරුවට කථා කරයි. විශේෂයෙන් ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුල ද නිතර කථා බහ සිදුවන අතර ඒ වෙනුවෙන් සංවිධානය වන ජාත්‍යන්තර හා ජාතික වැඩසටහන්ද අපිට අළුත් කාරණයක් නොව්. මෙලෙස ලොව සෑම කෙනෙකුගේම ආකාර්ෂණ දිනාගැනීමට සමත් මෙම ‍ක්ෂෙත්‍රය පිලිබදව අද දින යහමඟ අඩවිය තුල තරමක් වෙනස් ආකාරයකින් අවධානය යොමු කිරීමට අදහස් කලේ යහමඟ අඩවිය තුල ද ‘නූතන මානවයා’ පිලිබදව යම් යම් කරුණූ සාකච්චා වන නිසාම බැවිණි. මෙහිදී යහමඟ පාඨක ඔබේ අවධානයට යොමු කලයුතු විශේෂ කරුණක් ඇත.  එනම් නූතනය පිලිබදව වැඩි බරක් දී මෙම අඩවිය තුල කථා කිරීමට හේතුව කුමක්ද? යන්නයි. මීට වසර 1400 කට පෙර ප්‍රකාශ වූ දහමක් නූතන යුගයේ කථා කිරීමේ දී එය නූතන සමාජයට අවබෝධ වන ආකාරයට කථා කිරීම හා සමහරක් කරුණූ වඩාත් හොදින් පැහැදිලි කරගැනීම සදහා නූතන යුගය සමඟ සංසන්ධනාත්මක ලෙස කථා කිරීම ඊට හේතුවයි. කෙසේ වෙතත් මෙහිදී බුද්ධිමත් විමසුමක් කලයුතු කරුණ නම් අප උජාරුවෙන් හා විටෙක ආඩම්භර ලීලාවෙන් කථා කරන ‘නූතනය තුල එහි සැබෑ ප්‍රතිපල අප ලබා තිබේද?‘ යන්නයි.

මෙසේ මා පැවසීම ඔබට තරමක් අවුල්සහගත වන්නට පුළුවන. එම නිසා මෙම කාරණය තරමක් සවිස්තරව හා නිදසුන් සහිතව විමසා බැලීම අත්‍යඅවශ්‍ය වේ. එනම්, නූතන මිනිසා යානවාහන හා අනිකුත් නවතම තාක්ෂණික මෙවලම් නිර්මාණය කිරීම මඟින් හා ඒවා භාවිතය සදහා නූතන ක්‍රමවේද භාවිතය අතින් ලබා ඇති ප්‍රගතිය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කල නොහැක. ආරම්භ මිනිසාගේ පටන් අද දක්වාම සෑම සමාජයක්ම සිතුවේ තමන් ලඟා කරගෙන ඇත්තේ එම ක්ෂේත්‍රයේ ලඟා කරගත හැකි උපරිම සීමාව එසේත් නැත්නම් නූතනම සීමාව ලෙසයි. නමුත් කාලයත් සමඟ  එම නූතනයන් අභිබවා නව නූතනයන් ඉදිරිපත් වීමත් සමඟ එදා පැවති නූතනයන් නොදියුණූ අවධීන් බටත් වර්ථමානය නූතනම යුගය බවටත් පරිවර්ථනය විය. මෙය පහසුවෙන් අවබෝධ කරගැනීම සදහා නිදසුනක් පවසනවා නම්, පරමාණූව සොයාගත් මුල් අවධියේ පදාර්ථයක කුඩාම අංශුව පරමාණූව බවත් එය තවදුරටත් කුඩා කොටස් වලට බෙදිය නොහැකි බවත් තීන්දු කරන ලදී. ඒ අනුව එදා නූතන සොයාගැනීම වුයේ පදාර්ථයේ කුඩාම කොටස පරමාණුව බවයි. නමුත් ඒ නූතන ප්‍රකාශය මුසාවක් බවට පෙරලමින් පරමාණුවද පසු කාලීනව ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන හා න්‍යුට්ට්‍රෝන ලෙස කුඩා කොටස් වලට බෙදන ලද්දේ එතෙක් පැවතී නූතන මතවාදය වෙනුවට නව මතවාදයක් නූතන මානවයාට දායාද කරමිණි. ඒ තුලින් ද කියාපෑවේ එදා පැවති නූතනය සැබෑ නුතනය නොවන බවත් වර්ථමාන අනාවර්ණය තමා සැබෑ නූතනය වන බවත්ය. මෙය ඉහත නිදසුන පදනම් කරගෙන මා කරුණු පැහැදිලි කලද මෙය සෑම ක්ෂේත්‍රයකම පාහේ දක්නට තිබෙන පොදු තත්වයකි. මේ සියල්ල තුලින් පැහැදිලි වන කාරණය නම් ‘නූතනය‘ යන්න කිසියම් කාල පරාසයකට සීමා වූ එකක් මිස නිත්‍ය කාරණයක් නොවේ යන්නයි. තවත් සරලව පවසනවා නම්, කලින් කලට තීන්දු වන නූතනයන් කාලයට සාපේක්ෂ තාවකාලික සීමාවන් මිස ස්ථීර සීමාවන් නොවේ යන්නයි. කිසියම් කාල පරාසයක ජීවත් වන මිනිස්සුන් තමන් තාක්ෂණයේ උපරිමයට ලඟා වූ බව පවසයි. නමුත් පසුකාලීනව එම තාක්ෂණය අභිබවා තවත් තාක්ෂණයක් ඉදිරිපත් වේ. මෙයට හොද නිදසුනක් ලෙස පරිගණක තාක්ෂණයේ සීඝ්‍ර දියුණුව සදහන් කල හැක. මේ සියල්ල තුලින් පැහැදිලි වන එක් කාරණයක් ඇත. ඒ ලෝක විනාශය දක්වාම නූතන තාක්ෂණය යන්න දිනෙන් දින වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරන ලෝක විනාශ මොහොත දක්වාම යථාර්තයක් නොවන සාපේකෂ කාරණයක් යන්නයි. එසේ නම් නූතන මානවයා පවසනවා සේ ‘මෙය තමා නූතනම යුගය‘ යන්නත්, ‘මෙය දියුණුවේ උපරිම හා අවසාන සීමාවයි‘ යනුවෙන් පැවසීමත් නිවැරදි නිගමනයන් නොවන බව දැන් ඔබට වැටහෙනු ඇත.

මෙම ලිපිය මෙතෙක් කියවාගෙන එන ඔබට යහමඟ මෙවැනි මාතෘකාවක් සාකච්චාට ගැනීම තුලින් කියන්නට උත්සාහ කරන්නේ කුමක්ද? යන කුතුහලය සමහර විට දැනටමත් ඇති වී තිබෙනු ඇත. නූතන යුගයේ ජීවිත් වන බොහෝ පිරිස් ‘අප නූතනවාදීන්, මෙය තමා නූතන යුගය‘ යනාදී වශයෙන් වහසිබස් දොඩමින් එසේම තමන් ජීවත් වන මේ යුගයේ බුද්ධිමත් පිරිසක් වෙසෙන යුගයක් බවත්, ගෙවීගිය යුගයන්ට වඩා මේ යුගය දියුණූ යුගයක් බවත්, කියාපාමින් යම් යම් කරුණූ විවේචනයට හා අභියෝගයට ලක් කිරීම නිතර දක්නට ලැබේ. තවත් සරලව පවසනවා නම්, වර්ථමාන යුගයට සාපේකෂව අතීතයේ විසූ සමාජයන් නොදියුණූ තත්වයක, මිත්‍යාවන් තුල කොටු වී, නිසි අධ්‍යාපනයක් නොලබා, විද්‍යාත්මක පැහැදිලි කිරීමන් නොලබා… ප්‍රථමික යුගයක විසූ බවත්, තමන් දියුණූම යුගයක ජීවත්වන බුද්ධිමත්ම ජන කොට්ඨාශයක් යන්නත්, ඒ අනුව ඔවුන් නොලද සියළු දෑ වර්තමාන අප නොඅඩුව ලැබීම තුල ‘නූතන අප දියුණූ හා බුද්ධිමත්ම පිරිස වෙමු‘ යන්න ඔවුන්ගේ එම තර්කයන් හි හරයයි. මෙවැනි තත්වයක මෙම විෂය බුද්ධිමත් විමසුමකට ලක්කිරීම කාලීන වැදගත්කමක් ඇති කාරණයකි.

නූතන යුගයේ ජීවත් වන මිනිසා යානවාහනවල ගමන් කිරීම, (පරිගණක, දුරකථන, රූපවාහිනි, ගුවන්විදුලි යන්ත්‍ර… යනාදී) තාක්ෂණික උපකරණ භාවිතා කිරීම, යන්ත්‍රසූත්‍ර භාවිතා කිරීම… යනාදී දෑ බොහෝ විට දියුණුව මැනීමේ නිර්නායක ලෙස දකී. කිසියම් සමජයක දියුණුව මැනීම සදහා එයද එක්තරා ආකාරයක නිර්ණායකයක් යන්නෙහි යහමඟ ට විරුද්ධ මතයක් නැත. කලින් කලට මිනිසා විසින් සොයා ගන්නා නව නිර්මාණ තුලින් ලෝකය දියුණුව කරා ගමන් කලා යන්නෙහි විරුද්ධ මතවාදයක් ද නැත. උදාහර්ණයක් ලෙස අතීතයේ විසූ මිනිසා රෝදය සොයා ගැනීම තුලින් ලෝකයට ලබාදුන් නව ජවය කිසිසේත් නොසලකා ඉතිහාසය කථා කල නොහැක. නමුත් යුගයක දියුණූව මැන බලන නිවරුදි නිර්ණායකය තාක්ෂණික වශයෙන් ලෝකය ලබා ඇති ජයග්‍රහණයන් පමණක් මැන බැලීම යන්න නිවරුදි ක්‍රමවේදයක් ලෙස සැලකිය නොහැක. යුගයක දියුණූව සැලකීමේ දී එය ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් ඔස්සේ විමසා බැලීම අත්‍යඅවශ්‍ය වේ. එනම්,

  • තාක්ෂණික ලෙස ලබා ඇති දියුණුව,
  • මානවයා තුල වර්ධනය කරගෙන ඇති දියුණුව,

මෙහි පලමු කාරණය එනම් ‘තාක්ෂණික වශයෙන් මානවයා ලබා ඇති දියුණූව‘ පිලිබදව ඉහතින් තරමක් දුරකට හෝ සාකච්චා කලෙමු. එහිදී තාක්ෂණික ලෙස මානවයා ලබා ඇති දියුණුව සාපේක්ෂ කාරණයක් බවත් පැහැදිලි කරගත්තෙමු. නූතන යුගයේ දියුණුව හමුවේ වහසිබස් දොඩන නූතන මිනිසාට මෙහිදී අතපසු වූ කාරණයක් ඇත. ඒ ලෝක තාක්ෂණික දියුණුව පිලිබදව සලකා බැලූ මිනිසා, තමා පිලිබදව නිවරුදි විමසුමක් කිරීමට අසමත් වීමයි. මෙය ඉස්ලාමීය ඉගෙන්වීමන් පදනම් කරගෙන මෙම අඩවිය තුල මීට ඉහත ද සාකච්චා කොට ඇත. මෙය තවදුරටත් දීර්ඝ ලෙස සාකච්චා කලයුතු මාතෘකාවකි. මෙහිදී ඉස්ලාමීය ඉතිහාසය තුලින් ලබාගත් කරුණු මත පදනම්ව ආගමික රාමුවකින් බැහැරව මෙම විෂය කථා කිරීමට අදහස් කරමි. ඒ මුස්ලීම් නොවන සහෝදර ජනතාවගේ අවධානයට ද එම කරුණු වඩාත් හොදින් සමීප කරවීම පිණිසය. ඒ අනුව ‘නූතන මානවයා තමා තුල වර්ධනය කරගත් දියුණුව‘ පිලිබදව අවධානය යොමු කලේනම්, එය බුද්ධිය, අධාත්මික හා සාරධර්ම යනාදී ක්ෂේත්‍ර ඔස්සේ අවධානය යොමු කලයුතු මාතෘකාවකි. මෙලෙස අවධානය යොමු කිරීමේ දී පැහැදිලිව දක්නට තිබෙන කාරණයක් නම්, තාක්ෂණය අතින් ලෝකය දියුණූව කරා ගමන් කරවූ මානවය අධ්‍යාත්මික හා සාරධර්ම අතින් ප්‍රබල පසුබෑමක් ලඟා කරගත්තා මිස වෙනත් දිනාගත් කිසිවක් නොමැති බවයි. ඒ අනුව ‘නූතන යුගයේ බුද්ධිමතා‘ යනුවෙන් හදුන්වා ගන්නා නූතන මනවයාගේ බුද්ධිමත් භාවය මැන බැලම සදහා ලොව පිලිගත් 100% නිවරුදි හා ආරක්ෂිත අසමසම ග්‍රන්ථයක් වන ශුද්ධ වූ කුර්ආනය තුලින් ඉස්ලාමීය ඉතිහාසයෙන් බිඳක් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නට අදහස් කරමි.

  • මීට වසර 4000 කට පමණ පෙර විසූ දේව වක්තෘවරයෙකු වන්නේ ලූත් (අලෛ) තුමාණන්ය. මෙතුමාණන් දේව වක්තෘවරයෙකු ලෙස මේ මිහිමත තෝරාපත් කිරීමේ අරමුණ හා ඔහුගේ මෙහෙවර ශුද්ධ වූ කුර්ආනය පැවසීමේ දී එය මෙසේ විස්තර කරයි.

සමලිංගික ඇසුරෙහි නිරතවීම සාමාන්‍ය සමාජ සම්ප්‍රදායක් බවට පත්ව තිබූ සමාජයක් යහමඟ ගැන්වීම සදහා මෙතුමාණන්ව යැවූ බව ශුද්ධ වූ කුර්ආනය 7-80, 7-81, 11-78, 11-79,22-74, 26-165, 26-166, 27-54, 27-55, 29-28, 29-29… යනාදී වාක්‍යයන් මඟින් පවසයි. එපමණක් නොව මෙම සමලිංගික දුරාචාරය ප්‍රථම වරට ලොව බිහිවන්නේ ද මීට වසර 4000 කට පමණ පෙර පැවතී ඉහත එම සමාජයේ ම බවත් ශුද්ධ වූ කුර්ආනය 7-80 මඟින් අනාවර්ණය කරයි. මීට වසර 4000 කට පෙර පැවතී එම ඛේදවාචකය වසර 4000 ක් ගෙවීගොස් ඇති නූතන යුගයේ ද එදාට වඩා ප්‍රසිද්ධියේ බොහෝ රටවල නීතිගතව පමණක් නොව ජනතා ආශිර්වාදය මධ්‍යයේ සිදු වෙනවා යන්න නූතන ඔබට අලුත් කාරණයක් නොවනු ඇත. එසේ නම් මීට වසර 4000 කට පෙර පැවතී සීමිත සමාජයක නොව අද සමස්ථ ලෝකයම වෙලාගෙන ඇති මෙම දුරාචාරය තුලින් කියාපාන්නේ නූතන මිනිසාගේ දියුණුවද? පරිහානියද?. අද වනවිට ශ්‍රී ලාංකීය සමාජය තුල ද මෙම සමලිංගික පිරිස් සදහා විවිධ වූ සංගම් බිහිවීමත්, ඒවාට යම් යම් අනුග්‍රහයන් විවිධ පාර්ශවයන් විසින් ලබාදීමත් සමහර විට ඔබට අලුත් කාරණයක් වනු ඇත. මේ පිලිබදව යහමඟ අඩවිය මීට ඉහත ‘ධර්ම ද්වීපයේ ඉරණම‘ නම් ලිපිය තුලින් පාඨක ඔබේ අවධානයට කරුණූ ගෙන එන ලදී. එදා ලූත් නබිතුමාණන් කුමණ දුරාචාරයට එරෙහිව ක්‍රියාකලේද? එම දුරාචාරය අද නීතිගත වීම තුල නූතන යුගයේ ජීවත් වන මිනිසාගේ නොදියුණූ භාවය වඩාත් හොදින් පිලිඹිබු කරයි. මෑතක එලි දැක්වූ සංඛ්‍යා ලේඛනයකට අනුව අද ලොව සමලිංගික ඇසුර පවත්වන පිරිස කෝටි 02 ඉක්මවා ඇති බව අනාවර්ණය කිරීම මඟින් ඉහත පරිහානිය තවත් හොදින් ප්‍රදර්ශනය කරයි.

  • ඉහතින් මා විස්තර කල ලූත් නබිතුමාණන්ට සමකාලීන වෙනත් ප්‍රදේශයකට දේව වක්තෘවරයෙකු ලෙස එවන ලද තවත් නබිවරයෙකු ඇත. ඒ ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන්ය. ඉස්ලාමීය ඉතිහිසයේ සදහන් වන දේව වක්තෘවරුන් අතර සුවිශේෂි වක්තෘවරයෙකු ලෙස මෙතුමාණන් හැදින්විය හැක. අල්ලාහ් (දෙවියන්) පවා තම මිත්‍රයා ලෙස හදුන්වන මෙතුමාණන් මුහම්මද් (සල්) තුමාණන්ට ද ආදර්ශයක් බව ශුද්ධ වූ කුර්ආනය පවසයි. මීට අමතරව එතුමාණන් තනි පුද්ගලයෙකුව හිද දහම් වෙනුවෙන් කල සේවය නිසා අල්ලාහ් (දෙවි) එතුමාණන්ව ‘ඔබ ජන සමූහයක්‘ ලෙස ආමන්ත්‍රණය කිරීම එතුමාණන්ගේ මහිමය තවත් ඔප්නැංවීමකි. මෙතුමාණන් පිලිබදව තවදුරටත් කරුණු දැනගැනීම මෙම අඩවිය තුල ඇති හජ් වන්දනය හා ඉබ්බ්‍රාහීම් නබිතුමාණන් යන ලිපිය තුලින් පුළුවන. එවන් ශ්‍රේෂ්ඨ වක්තෘවරයෙකු තම සමාජය තුල දහම ප්‍රචාරය කල ආකාරයත් එතුමාණන්ට එම සමාජය තුල පැවතී අභියෝගත් ශුද්ධ වූ කුර්ආනය විස්තර කරයි. ඉහත මාතෘකාවට අදාලව එම කරුණූ විමසා බැලුවේ නම්,

එම සමාජය මිත්‍යා විශ්වාසයන් තුල ගිලී පැවති සමාජයක් විය. විවිධ ප්‍රමාණයේ පිළිම අඹා ඒවා දෙවිවරුන් ලෙස සලකා වන්දනාමාන කිරීම එම සමාජයේ පැවතී මිත්‍යා පිලිවෙතකි. මේ මිත්‍යා දෘෂ්ඨිකයන්ගේ මිත්‍යාවට එරෙහිව තමා ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන්ට ක්‍රියා කිරීමට සිදුවුයේ. ඒ පිලිබදව ශුද්ධ වු කුර්ආනයේ 21-52 සිට 67 දක්වාත්, 37-91 සිට 96 දක්වාත්, 60-4 වාක්‍යය මඟින් ද දීර්ඝ ලෙස විස්තර කරයි. එහිදී එතුමාණන් සත්‍ය මාර්ගය එවකට පැවතී සමාජයට අනාවර්ණය කල ආකාරය පිලිබදව පැවසීමේ දී එතුමාණන් එය ඉතා බුද්ධිමත් ලෙස හා සැලසුම් සහගත ලෙස සිදුකල බවත් එය අදටත් ඉතා ආදර්ශමත් බවත් ශුද්ධ වූ කුර්ආනයේ කිහිප තැනක විස්තර කරන අතර 6-76 සිට 79 දක්වා පැවසෙන වාක්‍යය එයට එක් නිදසුනකි. මිනිසා විසින් නිර්මාණය කරගත් ගස්ගල් දෙවියන් ලෙස සලකා වන්දනා මාන කිරීම බුද්ධිමත් මිනිසාගේ අනුවණක්කාර කම මනාව ප්‍රදර්ශනය කිරීමකි. ගල් පර්වතයක් ගෙන එයින් දේව රූපයක් නිර්මාණය කොට එම රූපය තුල සියළු ආකාරයේ ශක්තීන් ගැබ්ව තියෙනවා යයි විශ්වාස කිරීමත් එම පිලිමයට ගරුභුහුමන් දැක්වීමත් බුද්ධිමත් මානවයාගේ අනවබෝධයට හොදින් කියාපෑමකි. මේ පිලිබදව ද මීට ඉහත මෙම අඩවිය තුල සොහොන් හා පිළිම වන්දනය පිලිබදව විමසුමක් යන ලිපිය තුලින් ඉස්ලාමීය ස්ථාවරය පැහැදිලි කොට ඇත. නැවතත් ලිපියට අවධානය යොමු කරන්නේ නම්, ඉහතින් මා විස්තර කලේ මීට වසර 4000 කට පෙර පැවතී එක්තරා සමාජයක පැවතී තත්වයකි. දැන් ඉහත සදහන් සමාජ තත්වය නූතන යුගයේ මානවයා හා සංසන්ධනය කර බැලුවේ නම්, එදා එනම් මීට වසර 4000 කට පෙර පැවතී එම මිත්‍යාව අද සමස්ථ සමාජයම වෙලාගෙන තිබෙනවා නොවේද?. අද වනවිට පිලිම වන්දනය හා ඒවාට ගරුභුහුමන් නොකෙරන රටක් ලොව නොමැති තරම්ය. විවිධ නම්වලින් ඒවාට ආවේනික මිත්‍යා මතවාදයන් පවා ගොඩනඟාගෙන මෙම ඇදහිලි ජයටම ලොවපුරා ක්‍රියාත්මක වේ. මෙවන් වූ මිත්‍යාවන් තුල කොටුව ජීවත් වන නූතන මානවයා සැබැවින්ම බුද්ධිමත්ද? යන්න විමසා බැලීමේ වගකීම බුද්ධිමත් ඔබට භාරය.

  • මීළඟට තවත් නිදසුනක් ඉස්ලාමීය ඉතිහාසය තුලින් විමසා බැලුවේ නම්, මීට වසර 3500 කට පමණ පෙර විසූ ඉස්ලාම් පවසන තවත් දේව වක්තෘවරයෙකු වන්නේ මූසා ((බයිබලයේ සදහන් ආකාරයට මෝසස්) අලෛ) තුමාණන්ය. මෙතුමාණන්ගේ කාලයේ ෆිර්අවුන් (හෙවත් දෙවන රම්ඊසස්) නම් කෲර පාලකයෙකු විය. ඔහු පිලිබදව මෙම අඩවිය තුල මීට ඉහත ෆිර්ආවුන්ගේ විනාශය හා ඔහුගේ මෘත ශරීරය යන ලිපියෙන් දීර්ඝ ගෙස සාකච්චා කොට ඇත. ඔහුට එරෙහිව මූසා නබිතුමාණන් සිදුකල දහම් ප්‍රචාරණය ශුද්ධ වූ කුර්ආනය දීර්ඝ ලෙස විස්තර කරයි.

මූසා නබිතුමාණන් කුඩා අවධියේ පටන් හැදී වැඩුණේ ෆිර්අවුන් නම් පාලකයාගේ සෙවනේය. අවසානයේ දෙවියන්ගේ නියෝගය මත මූසා නබිතුමාණන් හට දහම් ප්‍රචාරණය සිදු කිරීමට සිදුවූයේ එම කෘෘර පාලකයා වන ෆිර්ආවුන්ට එරෙහිවය. ‘තමා එකම දෙවියා තමන්ට වඩා ශක්ති සම්පන්න කිසිවකු නැහැ‘ යනුවෙන් වහසිබස් පවසමින් ෆිර්අවුන් විසින් මූසා නබිතුමාණ්නට එරෙහිව විශාල ජන මතයක් එදා පැවතී සමාජය තුල ගොඩනඟන ලදී. එය ශුද්ධ වූ කුර්ආනයේ 28-38 හා 79-24 මඟින් ද විස්තර කරයි. මෙලෙස එවකට විසූ ජනයා නොමඟ යවමින් මූසා නබිතුමාණන්ට හා එතුමාණන් පිලිගත් සුළුතරයට එරෙහිව විවිධ වූ කුමණ්ත්‍රන හා වධහිංසන ද සිදුකරන ලදී. මෙය ශුද්ධ වූ කුර්ආනයේ 2-51, 2-54, 2-55, 2-59, 2-61, 4-153, 5-22, 7-129, 20-86, 20-88… යනාදී වාක්‍යයන් මඟින් දීර්ඝ ලෙස විස්තර කරයි. මූසා නබිතුමාණන්ගේ දහම් ප්‍රචාරයේ මූලික හරය වූයේ සර්වබලධාරී දෙවියකු සිටින බවත්, ඔහු මේ ෆිර්අවුන්ට වඩා බලගතු බවත්ය. මෙසේ මූසා නබිතුමාණන් දහම් ප්‍රචාරණය සිදුකරන විට එතුමාණන්ව උපහාසයට ලක් කරමින්  ෆිර්අවුන් තම මන්ත්‍රීවරුන්ට ‘මා වෙනුවෙන් උස කුළුනක් ඉදිකර දෙන්න. එහි නැඟ අහසට ගොස් (වක්තෘවරයාණන් වන) මුසාගේ දෙවියන් කවුරුද? ඔහු මොනවගේද? යන්න මා බලා එන්නම්‘ යනුවෙන් උද්දමයට පත්ව ආඩම්බර ලීලාවෙන් පවසන ලදී. එදා ෆිර්අවුන් ඉදිරිපත් කල එම තර්කය ඔබටත් අද සාධාර්ණ ලෙස පෙනෙන්නට පුළුවන. මන්ද එදා ෆිර්අවුන් පැවසූ කාරණය එම වචනයෙන් නොවුවත් ඔබද සමහර විට පවසන බැවිණි. ඉහත සදහන් ආකාරයට මුසා ((අලෛ) තුමා)ගේ දෙවියන්ට එරෙහිව එදා වහසිබස් දෙඩූ ෆිර්අවුන් අවසානයේ දෙවියන් විසින් විනාශ කලේ ඔහුගෙන් පසුවට එන සියළු ජනයාට ආදර්ශයක් හා අවවාදයක් වන ආකාරයට ජල කඳක් දෙබෑකොට ඒ තුල ගිල්වමින්ය. එය ශුද්ධ වූ කුර්ආනයේ 2-50, 10-90, 20-78 හා 44-24 මඟින් හොදින් විස්තර කරයි. එසේ මියදෙන මොහොතේ ෆිර්අවුන් ‘මුසා ((අලෛ) තුමා)ගේ දෙවියන් මා පිලිගනිමි‘ යනුවෙන් ආයාචනා කල බවත් එය දෙවියන් පිලිනොගත් බවත් ශුද්ධ වූ කුර්ආනය පවසයි. අසීමිත රාජ්‍ය බලයක් හා අසීමිත ධනස්කන්දයක් සදහා උරුමක්කාරයෙකුව සිටී. ෆිර්අවුන් අඩම්භර ලීලාවෙන් දෙවියන් ප්‍රත්ෂේප කලේ එය නූතනයේ මෙන් පිලිගැනීමට තරම් සාධක නොමැති අවධියකය.

අතීතයේ එනම් මීට වසර 3500 කට පෙර වහසිබස් පවසමින් ෆිර්ආවුන් දෙවියන් ප්‍රතික්ෂේප කලේ ඒ වනවිටත් තමන්ට හිමිව පැවතී අසීමත පාලන බලය හේතු කොටගෙනය. නමුත් අවසාන මොහොතේ දෙවියන්ගේ ශත්කිය දුටූ විට ඔහු ‘මම මූසාගේ දෙවියන් පිලිගනිමි!‘ යනුවෙන් පැවසුවේ යථාර්ථය පිලිගණිමිනි. නමුත් ඒ සියල්ල තුලින් ආදර්ශ ලැබිය යුතු නූතන යුගයේ මානවයා විද්‍යාවේ සරණයමින් එසේත් නැත්නම් ෆිර්අවුන් මෙන්ම වහසිබස් දොඩමින් අද දෙවියන් ප්‍රතික්ෂේප කරන්නේ සියල්ල විද්‍යාවට බාර කරමින් මිස කිසිදු පදනමක් ඇතුව නොවේ. මෙලෙස සියල්ල විද්‍යාව තුලින් දකින මිනිසා දෙවියන්ද එලෙස දැකීමට උත්සාහ කිරීම පිලිබදව මෙම අඩවිය තුල දේවවාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරනවාද? යන ලිපිය තුලින් දීර්ඝ ලෙස කථා කොට ඇත. එයට ජනප්‍රිය නිදසුනක් පවසනවා නම් 1961.04.12 දින ප්‍රථමයෙන් අභ්‍යාවකාෂය තරණයකල යුරි ගගාරින් (ජීවත්වු කාලය 1934-1968) නැවත පෘථිවියට පැමිණි අවස්ථාවේ පවසා සිටියේ ‘මා අහස පුරාම දෙවියන් සෙව්වෙමි නමුත් එහි කිසිදු දෙවියකු දක්නට නොලැබුනි‘. මෙය ජනප්‍රිය එක් නිදසුනක් පමණක් වන අතර දෙවියන් සම්බන්ධයෙන් මෙවැනි තර්ක ජත්‍යන්තරයේ හා ජාතික තලයේ නිතර නිතර දක්නට ලැබේ. විශේෂයෙන් අදේවවාදීන් මතුකර ඉහත තර්කය තුලින් පැහැදිලි වන්නේ මීට වසර 3500 කට පෙර පැවතී සමාජය සිතන පතන ආකාරය හා නූතන යුගයේ මානවයා සිතන පතන ආකාරයේ කිසිදු වෙනසක් නොමැති බව නොවේද?. එයද නිවරුදි නොවේ මන්ද දෙවියන්ගේ ශක්තිය දුටු ෆිර්අවුන් අවසාන මොහොතේ හෝ දෙවියන් ගැන අවබෝධයක් ලබාගත් බව ඉහත කරුණූවලින් ඔබට පැහැදිලි ඇතැයි සිතමි. නමුත් ඒ සියල්ල තුලින් පාඩම් උගත හැකි නූතන මානවයා තවමත් වහසිබස් දෙඩවීම තුල ඔහු ෆිර්අවුන්ට වඩා පරිහානියට පත්ව බව තමා අවබෝධ කරගත යුත්තේ.

  • මීට වසර 3800 කට පමණ පෙර විසූ දේව වක්තෘවරයෙකු වන්නේ යූසුෆ් (අලෛ) තුමාණන්ය. එදා මෙදා තුර ලොව බිහිවූ අලංකාරම පුද්ගලයෙකු වේ ඒ යූසුෆ් නබිතුමාණන්ය. එතුමාණන් නමින් එනම් ‘සූරා යූසුෆ්‘ නමින් ශුද්ධ වූ කුර්ආනයේ පරිච්ජේදයක් ද තිබෙන අතර එතුමාණන්ගේ සම්පූර්ණ ජීවිත කථාව එම පරිච්ඡේදය තුලින් කියවේ. එතුමාණන් ජීවත් වූ සමාජය හා එහි පැවතී අරාජිකත්වය පිලිබදව අවධානය යොමු කලේනම්,

දෙවියන් විසින් යූසුෆ් නබිතුමාණන් දේවවක්තෘවරයෙකු ලෙස එවන ලද සමාජය සියළු ආකාරයේ දුරාචාරයන් වලින් පරිපූර්ණ සමාජයක්ව පැවතුනු බව ඉස්ලාමීය ඉතිහාසය පවසයි. සියළු ආකාරයේ දුරාචාරයන් පිරී පැවතී සමාජයක් මධ්‍ය යේ යූසුෆ් නබිතුමාණන් තරුණයෙකුව හිඳ සිදුකල මෙහෙවර ඉතා ආදර්ශමත්ය. අලංකාර තරුණයෙකු මෙන්ම රටේ පාලකයා ද වූ එතුමාණන් කෙරෙහි ස්ත්‍රී ආකර්ශණය ඉතා ඉහල මට්ටමක පැවතුණි. එවන් වූ අභියෝගයන් හමුවේ පමණක් නොව සෑම අතින්ම පරිහානියට පත්ව ඇති සමාජය යහමඟ ගැන්වීම සදහා යූසුෆ් නබිතුමාණන් ක්‍රියා කලේනම් ඒ එතුමාණන් දහම කෙරෙහි දැක් වූ බැදීම හේතුවෙනි. මෙලෙස එතුමාණන් සාධාර්ණ ලෙස සමාජය තුල ක්‍රියා කිරීම නිසා පසුකාලීනව එතුමාණන් හට රටේ පාලන බලය පවා හිමිවීම මෙහිදී සදහන් කලයුතුම කාරණයක් වේ. සියළු ආකාරයේ දුරාචාරයන් සමස්ථ සමාජයම බිලිගෙන තිබෙන අවධියක එතුමාණන් තරුණයෙකුව හිඳ ඒ අරාජික සමාජය තුල සාධාර්ණ පාලනයක් ගෙන ගියා යන්න තහවුරු කරන සාධකයක් සදහන් කරන්නේ නම්, එතුමාණන් පාලකා ලෙස ‘රටේ සියළු සම්පත් මා හමුවේ ගෙන තබන්න‘ යනුවෙන් වරක් රටේ පොදු ජනතාවට අණ කලවිට ඒ විගසම රටේ සියළු පුරවැසියන් තමා සතු සියල්ල එතුමාණන් හමුවට ගෙනවිත් ‘මෙන්න අප සතු සියල්ල ඔබ තුමා ලබාගන්න‘ යනුවෙන් පවසා ගොඩගසන ලද්දේ එතුමාණන්ගේ සාධාර්ණ වූ පාලන තන්ත්‍රය වඩාත් තහවුරු කරමිණි. එදා පැවතී ආරාජික තත්වය අද බටහිර රටවල්වල නූතන විලාසිතාවන් හා කලාවන් බවට පත්වීම තුල එදාට වඩා හොදින් හා සමාජ අශිර්වාද මධ්‍යයේ නූතන මනවයා සියළු දුරාචාරයන් ආඩම්භරයෙන් ක්‍රියාවට නංවමින් සිටින්නේ තමාගේ පරිහානිය නැවත නැවතත් පිලිඹිබු කරමිණි.

ඉහතින් මා ඔබේ අවධානයට ගෙන ආවේ මීට වසර දහස් ගණනකට පෙර පැවතී අරාජික සමාජයන් මධ්‍යයට දෙවියන් විසින් යවන ලද ලූත්, ඉබ්බ්‍රාහීම්, මූසා, යූසූෆ්… යනාදී වක්තෘවරුන් 04 දෙනෙකු ගැන පමණි. මෙයින් ඉතිහාසය පුරාවටම සමස්ථ පරිහානීන් මෙපමණයි කියා හෝ මෙතරම් දරුණූ පරිහානීන් වෙන නොපැවතුනා කියා හෝ වැරදි අවබෝධයක් ඇති කර ගතයුතු නොවේ. ඉහතින් ඉදිරිපත් කර ඇත්තේ වර්ථමාන සමාජයේ සුළභව දකින්නට ඇති අතීතයේ පටන් පැවත එන අද වනවිට සමස්ථ ලෝකයම වෙලාගෙන රජ කරන පරිහානීන් කිහිපයක් පමණි. මෙහි අවාසනාවන්තම තත්වය වන්නේ එදා සමාජ පරිහානියක් ලෙස දුටූ එම ක්‍රියාවන් අද නීතියේ හා නූතන මානවයාගේ ආශිර්වාදය ලබන පොදු කටයුතත්තක් බවට සාධාර්ණීකරණය කරන තැනට එය පත්ව තිබීමයි. මේ සියල්ල තුලින් කියාපාන්නේ කුමක්ද? ඒ නූතන මානවයාගේ සාරධර්ම හා අධ්‍යාත්මික අතින් තිබෙන පසුබෑම නොවේද?. එසේනම් නූතන මානවයා තාක්ෂණය අතින් කොතරම් යෝධ පියවරයන් ඉදිරියට ගියත්, ඔහු සාරධර්ම හා අධ්‍යාත්මික ක්ෂේත්‍රයේ තවම සිටින්නේ ගල් යුගයේ නොවේද? එසේනම් නූතන මානවයාගේ වර්ථමානය සැලකූවිට එය නමට පමණක් සීමා වූ නූතනයක් මිස යථාර්තවාදී නූතනයක් නොවේ. මෙවන් පසුබිමක නූතන මානවයා සැබෑ වූ නූතනය ලඟාකර ගැනීමට නම්, ඒ සදහා ඔහු අවවාද හා ආදර්ශ ලැබීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත. ඒ සදහා ඉස්ලාමීය මූලාශ්‍රයන් වන ශුද්ධ වූ කුර්ආනය හා හදිස හොද තෝතැන්නකි. එය ඉහත ලූත්, ඉබ්බ්‍රාහීම්, මූසා, හා යූසුෆ් යන නබිවරුන්ගේ ජන සමූහයන්ට කල අවවාද හොදින් කියවා බැලුවේ නම් ඔබට මනාව පැහැදිලි වනු ඇත. එසේනම් එවන් වූ දිව්‍යමය මඟපෙන්වීම තුලින් ආදර්ශ ලබන්නටත්, ඒ තුලින් සැබෑ නූතනයට තාක්ෂණය හා සමගාමීව පියනඟන්නටත් ඔබ සියළු දෙනාට ආරාධනා කරමින් මෙම ලිපිය අවසන් කරමි.

 

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *