සැබෑ වීරත්වය හා කෝපය – ඉස්ලාමීය විමසුමක්

0

මෙම අඩවිය තුල මෙතෙක් සාකච්චා කල මාතෘකාවන්ට වඩා තරමක් වෙනස් මාතෘකාවක් අද මෙහිදී සාකච්චා කිරීමට අදහස් කරමි. ඒ අප “තරහ” යනුවෙන් හදුන්වන ද්වේෂය, කෝපය, කේන්තිය, ක්‍රෝධය, රෝෂය… යන විෂය පිලිබදවයි. දෛනික ජීවිතය තුල මිනිසා විවිධාකාර සිත් පීඩනවලට ලක්වේ. එම සිත් පීඩනවල බොහෝ විට මූල රෝග බීජය කෝපය හෙවත් තරහා යන්නයි. මේ කෝපය දරා ගැනීමේ එකම ශක්තිය ඉවසීමයි. අන්‍යයන් විසින් සිදුකරන නින්දා, අපහාස, ගර්ජන, තර්ජන… යනාදීය මානසික පීඩනයන් හා පහරදීම්, හිංසා කිරීම්… යනාදී කායික පීඩනයන් සිදුකරන විට ඒ සියල්ල විඳ දරා ගනිමින් ඒ සඳහා විරුද්ධ ප්‍රතික්‍රියා නොකොට සිටීම ඉවසීම වේ. මේ ඉවසීම ඉක්ම වූ තැන පවතින්නේ කෝපය හෙවත් තරහ හා එම කෝපය නිසා හටගත් වියරු වැටුනු ක්‍රියාකලාපයන් පමණි. මෙවන් වූ කෝපය නූතන වෛද්‍ය විද්‍යාව අනුව සැලකූවිට එය මනුෂ්‍යා වෙත ළඟාකරන විනාශය ඉතා බරපතල එකකි. ඒ පිලිබදව කෙටි විග්‍රහයක් සිදු කරන්නේ නම්,

මනුෂ්‍යා වෙත රෝගී තත්වයන් නිර්මාණය වන ආකාර කිහිපයක් ඇත. එනම් 1. බාහිර රෝගකාරකයක් ශරීරයට ඇතුල්වීම, 2. ශරීර අභ්‍යන්තරයේ රෝගකාරකයක් ක්‍රියාත්මක වීමට පටන්ගැනීම හා 3. ශරීර අභ්‍යන්තර රසායනික ක්‍රියාවලියන් හි කිසියම් වෙනසක් ඇතිවීම යන්නයි. මේවා අතුරින් තෙවන කාරණය සැලකූවිට එනම් මිනිස් සිරුරෙහි අභ්‍යන්තර ක්‍රියාවලියන් නිසි ලෙස ක්‍රියාත්මක නොවී අසාමන්‍ය ආකාරයට ක්‍රියාත්මක වන විට එහි ඇති වන තත්වය තරමක් ගැඹූරින් විමසා බැලුවේ නම්, එහි දී සිදුවන රසායන වෙනස්වීම හේතු කොටගෙන රුධිර සංසරණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, ස්නායු පද්ධතිය ආදිය නිසි අයුරින් කි‍්‍රයා නොකරන විට එහි නිපදවෙන එන්සයිම වර්ග, හෝමෝන වර්ග නියමිත ප‍්‍රමාණයට වඩා වැඩි හෝ අඩු ප්‍රමාණයෙන් නිපදවේ. මේ නිසා අපගේ ශරීරයේ සාමාන්‍ය කි‍්‍රයාකාරීත්වය වෙනස් වේ. එහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ අපගේ ශරීරය කිසියම් ව්‍යාකූල තත්වයකට පත්වීමයි. මෙම තත්වය අපගේ මාතෘකාවට අදාලව සැලකූවිට මනුෂ්‍යා අධික ලෙස කෝප වන අවස්ථාවල ඔහුගේ ශරීරයේ නිපදවෙන සමහරක් රසායන නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් රුධිරය හා මිශ්‍ර වීම සිදුවේ. එමගින් රුධිර නාල සංකෝචන තත්වයන්ට පත්වේ. මේ නිසා අධික රුධිර පීඩනය තත්වයක් ශරීරය තුල නිර්මාණය වී හෘද ස්පන්ධනයද වැඩිවේ. මේ හේතුව නිසා ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයන් තව තවත් අසාමාන්‍ය තත්වයන්ට නැඹුරු වේ. මේ නිසා විවිධ හෝමෝන සහ එන්සයිම වර්ග රැසක්ම රුධිරයට ශ‍්‍රාවය වී ඒවා සියල්ල අක්මාවේ තැන්පත් වීම සිදුවේ. මෙවැනි අවස්ථාවක ශරීරයට අධික ශක්තියක් උත්පාදනය කිරීම පිණිස අක්මාව මඟින් රුධිරයට අධික ලෙස ග්ලූකෝස් නිෂ්පාදනය කරයි. මේ නිසා රුධිරයේ සීනි මට්ටම ඉහළ යයි. මේ රුධිරයේ ඇති සීනි මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට ශරීර අභ්‍යන්තරයේ කිසියම් ක්‍රියාවලියක් සිදුවන විට ඒ මඟින් කොලෙස්ටරෝල් හෝ මේද අම්ල ලෙස ශරීරයේ තැන්පත් වීම සිදුවේ. මේ ඉහත සරල විග්‍රහය තුලින් කෝපය ලඟාකර දෙන රෝගි තත්වයන් ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැකි වනු ඇත. එය තවත් සරලව පවසනවා නම් අධික රුධිර පීඩනය, හෘද ආබාධ, දියවැඩියාව, අක්මා අබාධ, කොලෙස්ටරෝල්… යනාදී රෝගී තත්වයන් මේ කෝපය අපට ලඟාකර දෙනු ලැබේ.

කෝපය ඇතිවීමෙහි අදීනය වෛද්‍ය විද්‍යාව එලෙස හෙලිකරන විට එම කෝපයම මූලික හේතුව කරගෙන රාජ්‍යයන් අතර හා රාජ්‍ය නායකයන් අතර දිනෙන් දින වර්ධනය වන විරසකය සමස්ථ ලෝකයම තුන්වන ලෝක සංග්‍රාමයක් කරා යොමු කොට ඇති මේ මොහොතේ මෙම විෂය පිලිබදව සංවාදයන් සමාජය තුල ගොඩනැඟීම කාලීන අවශ්‍යතාවයක් යන්නෙහි විරුද්ධ මත පැවැතිය නොහැක. විශේෂයෙන් මනුෂ්‍යා තුල යහපත් විනයක්, හොද සාරධර්මයක් හා අධ්‍යාත්මික සාර්ථක දිවියක් පෙන්වාදීමට ලොව පහල වූ ආගම් ද අද මේ කෝපය, ක්‍රෝධය මූලික කරගත් ඊර්ෂ්‍යාව, වෛරය, මුසාව හා වියරුව යනාදී අංගයන්ට වඩා යමක් මිනිස් සමාජයට දායාද කොට ඇති මේ මොහොතේ මෙය කාලීන සංවාදයකි. අද ලොව බොහෝ ආගම් මිනිස් සමාජයට දායාද කොට ඇත්තේ මේ “කෝපය” මූලික පදනම කරගත් ආගමික මතවාද ගරු නොකරන, එම මතවාද නොරූස්සන සැදැහැවතුන් පිරිසක් පමණි. මෙවන් සමාජ පසුබිමක යහමඟ අඩවිය තුල මෙම මාතෘකාව කාලීන මාතෘකාවක් ලෙස සලකා සාකච්චා කිරීම අනිවාර්‍ය අවශ්‍යතාවයකි. මෙහිදී මෙම විෂය ඉස්ලාමීය මුහුණුවරින් සාකච්චා කිරීමට ද විශේෂ හේතු කිහිපයක් ඇත. ඒ මෙම විෂය සම්බන්ධයෙන් ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශය ලොව අසමසම ආදර්ශයක් බව ලෝකවාසීන් හට අවධාරණය කිරීම පිණිස හා දිනෙන් දින ඉස්ලාම් දහමට එරෙහිව සමස්ථ ලෝකවාසී ආගම් අත්වැල් බැදගෙන කෝපයෙන් එදිරිවාදීකම් සිදුකරමින් ක්‍රියාකරන විට ඒ හමුවේ මුස්ලීම් සමාජය ද ඔවුන්ගේ තැනට නොවැටී ඉස්ලාමීය ඉගෙන්වීමන් තුල හිද කටයුතු කිරීමට උනන්දු කිරීම පිණිසය. විශේෂයෙන් දිනෙන් දින ඉස්ලාම් දහමට එරෙහිව කෝපයෙන් හා වියරුවෙන් ක්‍රියා කරන සමහරක් ශ්‍රී ලාංකීය බ්ලොග්කරුවන් හමුවේ. මුස්ලීම්වරුන් ඉස්ලාමීය විනයට යටත්ව ක්‍රියාකිරීම දැඩි අවශ්‍යතාවයකි. එම කාරණය මුස්ලීම් සමාජයට අවධාරණය කරණු පිණිස හා ඉස්ලාම් මෙම කෝපය සම්බන්ධයෙන් ලෝකයාට පෙන්වන ආදර්ශය සමාජයට අවධාරණය කිරීම පිණිස මෙම ලිපිය මෙලෙස ඉදිරිපත් කරමි.

කෝපය සම්බන්ධයෙන් ඉස්ලාමීය මඟපෙන්වීම කථා කිරීමේ ආරම්භය ලෙස ශුද්ධ වූ කුර්ආනයේ වාක්‍යයක් වන 3-134 වාක්‍යය ඔබගේ අවධානයට යොමු කිරීමට අදහස් කරමි. එය මෙසේය,

“ඔවුන් සැපේදීත්, දුකේදීත් (දෙවියන්ගේ මාර්ගයේ (දානධර්ම සදහා)) වියදම් කරන්නේය. (ඔවුන්) කෝපය පාලනය කරගන්නේය. මනුෂ්‍යයන් (වශයෙන්) කරන වැරදි සදහා සමා කරන්නේය. (මේ ආකාරයට) සත්ක්‍රියාවල නියලෙන පිරිස් අල්ලාහ් (දෙවියන්) ප්‍රිය කරන්නේය.”

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය යහපත් මනුෂ්‍යයකු තුල පැවතිය යුතු ගුණාංගයක් ඉතා අලංකාර ලෙස පෙන්වා දේ. එහි කෝපය සම්බන්ධයෙන් පැවසීමේ දී එය පාලනය කරගැනීම යහපත් ක්‍රියාවක් බව පවසන ඉස්ලාම් මනුෂ්‍යයන් වශයෙන් කරන වැරදි සදහා සමාකිරීම ද සත්ක්‍රියාවක් බව අවධාරණය කරයි. මෙසේ පවසන ඉස්ලාම් මෙම කෝපය පාලනය කිරීම සදහා විවිධ උපක්‍රම ද මිනිස් සමාජයට යෝජනා කරයි. තමන් තුල ඇති වන කෝපය පාලනය කරගැනීම සදහා නබිතුමාණන් පැවසීමේදී “තරහ එනවිට එය පාලනය කරගන්නා සැබෑවිරයෙකි” යනුවෙන් ද “නුඹලාට කෝපයක් ඇති වනවිට සිටගෙන සිටියේ නම් ඔහු අසුන්ගන්න. එසේත් කෝපය අඩු නොවුයේ නම් නිදාගන්න” යනාදී වශයෙන් විවිධ අවස්ථාවල දේශනා කොට ඇත. මීට අමතරව තම තරහ (කෝපය) පාලනය කිරීම සදහා මිනිස් සමාජය ක්‍රියාකලයුතු ආකාරය හා එහි අවශ්‍යතාවය ඉස්ලාම් පැවසීමේදී පහත ආකාරයට පවසන ලදී.

“එක්තරා අවස්ථාවක කෙනෙකු නබිතුමාණන් හමුවට පැමිණ ‘මාහට උපදේශයක් කරන්න!’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘නුඹ කෝපය නොවන්න!’ යනුවෙන් පවසන ලදී. එයට එම මිනිසා නැවත නැවතත් ‘මට උපදේශයක් කරන්න!’ යනුවෙන් විමසූ අතර එයට නබිතුමාණන් නැවත නැවතත් ‘නූඹ කෝප නොවන්න!’ යනුවෙන්ම පවසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

“එක්තරා අවස්ථාවක කෙනෙකු නබිතුමාණන් හමුවට පැමිණ ‘මාව ස්වර්ගයට ඇතුල් කරවන සත්ක්‍රියාවක් මට පවසන්න’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘නුඹ කෝප නොවන්න! නුඹට ස්වර්ගය ඇත!’ යනුවෙන් පවසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – තබරානි

ඉහත හදීසයන් දෙක හොදින් විමසා බලන්න. ඉස්ලාම් දහම තුල මිනිස් සමාජය සදහා දේශනා කිරීම ඕනෑතරම් කුසල ක්‍රියාවන් (වතාවත්, දානධර්ම… යනාදී) තිබිය දී නබිතුමාණන්ගේ උපදේශය කුමක්ද?. කුසල ක්‍රියාවක් නබිතුමාණන්ගෙන් දැනගෙන එය ජීවිතයේ ක්‍රියාවට නැංවීමේ අපේක්ෂාවෙන් පැමිණි ඒ සහාභවරුන් (අනුගාමිකයන්)ට ලබාදුන් උපදේශය වත්වත් හෝ දානධර්ම නොවේ. තම කායික මෙන්ම මානසික සුවයට හේතුවන කෝපය පාලනය කිරීම පමණි. ස්වර්ගය අපේක්ෂාවෙන් පැමිණි පිරිසට ඉස්ලාම් ලබාදෙන උපදේශය “තරහ පාලනය කරගන්න!” යන්න නම්, එය මිනිස් දිවිය තුල කොතරම් වැදගත් අංගයක් වියයුතුද? යන්න අවබෝධ කරගැනීම ඔබට අපහසු නොවනු ඇත. මෙසේ කෝපය පාලනය කරගැනීමෙන් මුස්ලීම්වරුන් වන අපට අත්වන යහපත ඉහත හදීසයන් තුලින් අප දුටුවද එවැනි තවත් හදීසයක් ඔබගේ අවධානයට යොමු කරන්නේ කෝපවීමට ඇති හැකියාව හා ශක්තිය තිබියදීත් එය පාලනය කරගැනීමේ ඇති මහිමය ඔබට අවධාරණය කරණු පිණිසය. අද සමාජයේ බොහෝ පිරිස් විවිධ අවස්ථාවල තම කෝපය යටපත් කරගන්නේ තම කෝපය පිටත පෙන්වීම තුලින් තමහට කිසියම් අයහපතක් හෝ අවාසයික් සිදුවේ යන බිය නිසාය. නමුත් ඉස්ලාම් මුස්ලීම් සමාජයට පෙන්වාදෙන ආදර්ශය මොහොතක් බුද්ධිමත් ලෙස විමසා බලන්න.

“තම කෝපය මතුකොට පෙන්වීමේ හැකියාව හා ශක්තිය තිබියදීත් එය යටපත් කරගත් තැනැත්තා (මරණින් මතු උදාවන) විනිශ්චය දිනයේ (සියළු) මැවීමන් ඉදිරියේ කැඳවනු ලැබේ. එසේ කැඳවා ඔහුට ‘තමන් කැමැති ‘හූර්ලීන්’ කෙනෙකු තෝරා ගන්න’ ලෙස අල්ලාහ් (දෙවියන්) පවසනු ඇත. යනුවෙන් නබිතුමාණන් වරක් පවසන ලදි.”

මූලාශ්‍ර ග්‍රන්ථය – අබූදාවූද්, තිර්මිදි, ඉබුනුමාජා

ඉහත ආකාරයට කෝපය පිලිබදව ඉස්ලාම් මිනිස් සමාජයට කරන උපදේශයන් පෙලගැසූ මා තවත් සිදුවීමක් (හදීසයක්) ඔබගේ අවධානයට ඉදිරිපත් කිරීමට අදහස් කරමි. ඒ මෙසේය,

“නබිතුමාණන් තම අනුගාමිකයන් සමඟ එක්තැනක රැස්ව සිටින අවස්ථාවක එම ස්ථානයට පැමිණි එක්තරා මිනිසෙකු අබූබක්කර් (රලි) තුමාණන් හට තදින් බැනවදින ලදී. නමුත් අබූබක්කර් (රලි) තුමා මෙය ඉවසාගෙන සිටිය නමුත් එම මිනිසා නැවතත් එලෙසම එතුමාණන්ට බැනවදින ලදී. තවදුරටත් ඉවසීම අනුගමනය කල අබූබක්කර් (රලි) තුමාණන් හට තෙවන වරටත් ඔහු බැනවදින විට අබූබක්කර් (රලි) නැඟිට ඔහුට පිලිතුරු දීමට සැරසුනේය. එවිට මුහම්මද් (සල්) තුමාණන් ක්ෂණිකව නැඟට්ටේය. එය දුටු අබූබක්කර් (රලි) තුමා නබිතුමාණන්ගෙන් මෙසේ විමසන ලදී ‘වක්තෘවරයායාණනි! ඔබතුමා මාගේ ක්‍රියාකලාපය කෙරෙහි නොසතුටු වන්නේද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් ‘නැහැ, නමුත් මෙතැනට දේවදූතයෙක් (මලාඉකාවරයෙක්) පැමිණ මේ මොහොත වනතුරු අර මිනිසාගේ චෝදනාවලට එරෙහිව ක්‍රියාකරමින් සිටියා. ඔබ නැඟීසිටිනවා සමඟම අර මලාඉකාවරයා පිටත්ව ගිය අතර එම ස්ථානයේ ෂෙයිතාන් (මනුෂ්‍ය සිත්වලට බලපෑම් කරන (මනුෂ්‍ය වර්ගයට අයත් නොවන)පිරිසක්) අසුන් ගත්තා. ෂෙයිතාන් සිටින තැනක මාහට තවදුරටත් රැදීසිටීමට නොහැකි නිසා මා (මෙම ස්ථානයෙන් පිටවයාම සදහා) නැඟිට්ටෙමි” යනුවෙන් පවසන ලදී.”

ඉහත හදීසය හොදින් විශ්ලේෂණය කලේනම්, ඉවසීම හා තරහ පාලනය කරගැනීම මුස්ලීම්වරුන් වන අපට කොතරම් වැදගත් ද යන්නත්, එවැනි අවස්ථාවල ප්‍රතිචාර දැක්වීමටයාම අපව කොතරම් අභාග්‍යසම්පන්න තැනකට ගෙනත් දමනවාද යන්නත් මනාව පැහැදිලි වේ. දිව්‍යමය මඟපෙන්වීම වන මෙම ඉස්ලාමීය ආදර්ශය සෑම මුස්ලීම්වරයෙකුගේ ජීවිතය තුල ක්‍රියාවට නැංවිය යුතුය. සමහරක් අවස්ථාවල කෝපය පාලනය කිරීම යටහත්වීමක්, පාරාජවීමක් ලෙස පෙනෙන්නට පුළුවන. නමුත් එම තාවකාලික යටහත්වීම, පරාජයවීම දීර්ඝකාලීන ජයග්‍රාහනයක කඩඉම් බව අමතක නොකලයුතුය. ඉස්ලාමීය ඉතිහාසය හොදින් විශ්ලේෂණය කලේනම්, ඒ පුරාවටම ජයග්‍රාහී සලකුණු සටහන් වී ඇත්තේ මෙවැනි තාවකාලීක යටහත්වීම් හා පරාජයන් පසුපසය. උදාහරණයක් ලෙස හිජ්රත්, හුදෙයිබියා ගිවිසුම… යනාදීය සදහන් කලහැක. මෙවැනි ඉතිහාසගත සිද්ධීන් තුලින් යහපත් අනාගතයක් උදෙසා වර්ථමානයේ පාඩම් උගතයුතුය. එහිදී ඉස්ලාම් දහමට හා මුස්ලීම් සමාජයට එරෙහිව ජාත්‍යන්තරයේ මෙන්ම ජාතික මට්ටමේ ක්‍රියාත්මක වන සැලැසුම්වලට හසුනොවී ඉහතින් ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශයන්ට අනුකූලව ක්‍රියා කිරීම සැබෑ මුස්ලීම්වරයෙකුගේ අනිවාර්‍ය වගකීමකි. විශේෂයෙන් අන්තර්ජාලය තුල සැරිසරන මුස්ලීම් සහෝදර සහෝදරියන්ට නිරන්තරයෙන් නෙත ගැටෙන කාරණයක් තමා ඉස්ලාම් දහමට එරෙහිව වියරු වැටුනු විනයක් නැති බ්ලොග්කරු සම්ප්‍රදාය මෙවැනි පිරිසට ඉස්ලාමීය විනයක් තුල හිද පිලිතුරුදීම අත්‍යඅවශ්‍ය යන්නෙහි විරුද්ධ මතයක් නැත. නමුත් එය ඔවුන්ගේ තත්වයට වැටී පහත් අන්දමින් හෝ පදනම් විරහිත කරුණු පදනම් කරගෙන සිදුකිරීමට අවශ්‍ය නොවේ. ඒ සදහා ඉස්ලාම් දහම තුල අවසරයක් ද නැත.

මුස්ලීම්වරුන්ගේ පාර්ශවයේ කොතරම් සාධාරණ පැවතුනත් කලබල වීමට හෝ කෝප වීමට කිසිවක් නැත. ඉවසීම ප්‍රගුණ කොටගෙන ක්‍රියා කිරීම තමා ඉහත හදීසයන්ට අනුව සැබෑ වීරත්වය. එසේ ක්‍රියා නොකරනවා යන්න ශෙයිතාන්ට අවස්ථාව ලබාදීමක් පමණි. ඒ අනුව සැමවිට කෝපය යන්න පාලනය කරගෙන ඉවසීමෙන් ක්‍රියා කිරීම අත්‍යඅවශ්‍ය යන්න පැහැදිලිය. නමුත් මා ඉහත සදහන් කලාසේ අන්තර්ජාලය තුල සැරිසරන මුස්ලීම් සහෝදරයන්ට ඉස්ලාම් දහම මෙන්ම මුස්ලීම්වරුන් තම ප්‍රාණයට වඩා ආදරය කරන මුහම්මද් (සල්) තුමාණන් ඉතා පහත් අන්දමින් විවේචනය කරන පිරිස් ඕනෑ තරම් දක්නට ලැබේ. මේවා සම්බන්ධයෙන් කෝපවීමට හෝ කලබලවීමට අවශ්‍ය නොවේ. එදා නබිතුමානන් “තායිෆ්”වල දී වින්ද දුක්වේදනාව හා එම අවස්ථාවේ නබිතුමාණන් කල ප්‍රකාශය මොහොතක් සිහිකරන්න. ඒ පිරිස් විනාශ කරන්න දෙවියන් නබිතුමාණන්ගෙන් කැමැත්ත විමසූ විට එතුමාණන් දුන් පිලිතුර කුමක්ද? ඒ “එපා ඒ පිරිස් මේ දහම පිලි නොගත්තත් ඔවුන්ගේ පරම්පරාවේ එන අනාගත පරම්පරාව මේක කවදා හෝ පිලිගනු ඇත” යන්නයි. එතුමාණන් ඉක්මවූ වද හිංසනයන්ට අද ලක්වී සිටින්නෙමුද? එසේනම් අප කලබල වීමට හෝ කෝප වීමට අවශ්‍ය නොවේ. එදා නබිතුමාණන් අපේක්ෂා කල පලය අද අප නෙලමින් ඉන්නවා නොවේද? දිනෙන් දින ඉස්ලාම් දහමට ඇදී එන පිරිස් අපට කියාපාන්නේ අපේ දහමේ පරිපූර්ණභාවය හා අපේ ඉවසීමේ ප්‍රථිපලය නොවේද? වර්ථමානයේ ජාත්‍යන්තරයේ මෙන්ම ජාතික මට්ටමේ ඉස්ලාමයට එරෙහිව ක්‍රියාත්මක සියළු කුමන්ත්‍රණ අද ඉස්ලාම් දහමට අශිර්වාදයක් වී ඇති ආකාරය ඔබ හොදින් සමාජය විශ්ලේෂණය කලේනම් පැහැදිලි වනු ඇත. මේ එදා හිජ්රත් හා හුදෙයිබියා ගිවිසුම තුල මුස්ලීම්වරුන් ඉවසීමෙන් කටයුතු කිරීමෙන් ලද ජයග්‍රාහණයට සමාන තත්වයක් නොවේද?.

එසේනම් අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ වර්ථමාන මුස්ලිම් සමාජය ඉස්ලාම් පෙන්වාදෙන ආකාරයට තම කෝපය යටහත් කරගෙන ඉවසීම ප්‍රගුණ කොට සැබෑ මුස්ලීම්වරුන් ලෙස සමාජය තුල ක්‍රියා කරන්නේ නම් එම මෙහෙවර ඉස්ලාම් දහමේ දියුණුවට ප්‍රමාණාත්මක සාධකයක් වනු ඇත. මෙහිදී දහම පිලිබදව මුස්ලිම් නොවන සමාජය දැනුවත් කිරීමන් හෝ ඔවුන්ගේ චෝදනාවන්ට පිලිතුරු සැපයීම අවශ්‍ය නොවේ යන්න එයින් අදහස් නොවේ. එහිදී ක්‍රියාකල යුත්තේ ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුකූලවය. එලෙස ක්‍රියාකිරීමට නොහැකි ආකාරයට ඉස්ලාම් විරෝධීන් පදනම් විරහිත කරුණු පදනම් කරගෙන අනවශ්‍ය තර්ක විතර්කවලට පෙළඹෙන්නේ නම් එවන් අවස්ථාවල මුස්ලීම්වරුන් ක්‍රියාකලයුතු ආකාරය ශුද්ධ වූ කුර්ආනයේ 25-63 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවියන්) අලංකාර ලෙස මෙසේ පවසයි. එනම්,

“අර්රහ්මාන්ගේ ගැත්තන් (කවුරුන්දයත්) භූමියෙහි යටහත්ව කටයුතු කරයි. මෝඩයන් (අඥානයින්) ඔවුන් හා තර්ක කිරීමන්ට ඉදිරිපත් වුයේ නම් “සලාමය (ශාන්තිය) අත්වේවා!” යයි පවසා (ඉවත්ව) යයි.”

ඉහත ඉගෙන්වීමන්ට අවනත වූ ආදර්ශමත් මුස්ලීම්වරයෙකු ලෙස සමාජය තුල ක්‍රියා කරමින් කෝපය නිසා ඇතිවන වියරුව, වෛරය හා ඊර්ෂ්‍යාව වෙනුවට ඉවසීම තුල ඇතිවන ආදරය, අනුකම්පාව හා සහයෝගීත්වය සමාජයට ආදේශ කිරීමට අල්ලාහ් (දෙවියන්)ගේ අශිර්වාදය සමස්ථ මුස්ලීම් සමාජයට හිමිවේවා! යන්න ප්‍රාර්ථනා කරමින් මෙම ලිපිය අවසන් කරමි.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *