සියදිවි නසා ගැනීම – බ්ලොග් විමසුමක්

1

කාලීන වශයෙන් වැදගත් එසේම ශ්‍රී ලාංකීය සමාජ අවදානය යොමු වියයුතු වැදගත් ලිපි අන්තර්ජාලයෙන් උපුටාගෙන ‘බ්ලොග් විමසුම‘ යටතේ යහමඟ අඩවිය තුල ඉදිරිපත් කිරීම ඔබට අලුත් කාරණයක් නොවේ. ඒ අනුව අදත් ‘සියදිවි නසා ගැනීමට තුඩුදෙන හේතු කාරණා ඉවත් කිරීම’ නම් පහත ලිපිය අන්තර්ජාලයෙන් උපුටාගෙන පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට මෙතැන් සිට ඉදිරිපත් කරමි.

සියදිවි නසා ගැනීමට තුඩුදෙන හේතු කාරණා ඉවත් කිරීම

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාව, ලෝකයේ සියදිවි නසා ගැනීමේ වැඩිම ප‍්‍රතිශතයක් සහිත රටක් වශයෙන් ලංකාව හඳුන්වා දී තිබේ. සියදිවි නසා ගැනීමේ අනුපාතිකය කාලයක් තිස්සේ ඉහළ අගයක් ගත් රටක් වශයෙන් ලංකාව පැවතිය ද, ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජගත් පරිමාණ ආයතනයක් ඒ අනතුරුදායක සත්‍යය පළමු වරට පෙන්වා දෙන අවස්ථාව මෙය විය හැකිය.

ගත වූ දශකය තුළ එම අනුපාතිකය ලංකාවේ යම් තාක් අඩු වී තිබුණද, මේ වාර්තාව පෙන්වා දෙන පරිදි, එය තවමත් 28.8 වැනි ඉහළ අගයක් ගනිමින් තිබේ.

මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතන ප‍්‍රධානී දොස්තර නීල් ප‍්‍රනාන්දු 2011 සැප්තැම්බර් මාසයේ පැවැති සම්මන්ත‍්‍රණයක දී ප‍්‍රකාශයට පත්කළ වාර්තාවකට අනුව, වසරකට 4000 ක් ශ‍්‍රී ලාංකිකයෝ සියදිවි නසා ගනිති. එනම්, දවසකට 11 දෙනෙකි. ඔවුන්ගෙන් බහුතරය, වයස 15-44 අතර පුද්ගලයන් ය.

1948 නිදහස ලබාගන්නා අවස්ථාවේ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන පරිදි, එදා සියදිවි නසා ගැනීමේ අනුපාතිකය වුණේ, පුද්ගලයන් 100.000 කට 9 දෙනෙකි. 1970 දශකය වන විට එය 19 දක්වා ඉහළ ගොස්, 1980 දශකය වන විට 33 දක්වා ඉහළ ගියේය.

යුද්ධය අවසන් වීමේ සිට ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 7 කටත් වැඩි අගයක් ගන්නා අතර, අළුත් වරායවල්, ගුවන් තොටුපොළවල් සහ අළුත් මහා මාර්ග ඉදිවීමත් සමග රටේ භෞතික යටිතල අංශය විශාල වෙනසකට පරිවර්තනය වෙමින් තිබේ. එහෙත් රටේ සිදුවන මේ භෞතික සංවර්ධනය සමග මානව ප‍්‍රාග්ධන සංවර්ධනය සමපාත නොවන බව බොහෝ දෙනා පෙන්වා දෙති. ලංකාව අද මුහුණදෙන සියදිවි නසා ගැනීමේ ඉහළ අනුපාතිකයට තුඩුදෙන එක් වක‍්‍ර හේතුවක් එය විය හැකිය.

වඩාත් සෘජු හේතු කාරණා ගැන සළකා බලන්නේ නම්, මේ කම්පා කරවනසුළු ප‍්‍රවණතාවයේ හරි මැද පිහිටි කාරණාවන් වශයෙන් මතුවන්නේ, රටේ ආදායම් බෙදී යාමේ විෂමතාවත්, සියලූ ජන කොටස් ඇතුළත් කරගන්නා නිසියාකාර සංවර්ධන මාදිලියක් රටට නොමැති කමත් ය. නගරයේ ආර්ථික සංවර්ධනයක් තිබියදී, එහි ප‍්‍රතිඵල නගරයට පිටතින් වෙසෙන පර්යන්තවාසීන්ට දැනෙන්නේ නැත. උතුරුමැද සහ වයඹ පළාත්වල දුරු ගම්මානවල වෙසෙන ගොවියෝ, වී හෝ එළවළු ගොවිතැන් සඳහා තමන් ලබා ගත් ණය ආපසු ගෙවා ගැනීමට නොහැකි කමින් තවමත් සියදිවි නසා ගනිති. ලාංකීය ගොවියාව ආරක්ෂා කර ගත හැකි නිසි යාන්ත‍්‍රණයක අවශ්‍යතාව තිබුණේ ඇත්ත වශයෙන්ම බොහෝ කලක සිට ය. එහෙත්, පවතින ආණ්ඩුව කටයුතු කරන බව පෙනෙන්නේ, ‘ආයාත ආදේශන’ (පිටරටන් ගෙන්වීම වෙනුවට ලංකාවේම නිෂ්පාදනය කර ගැනීම) හරහා ගොවියන්ව ආරක්ෂා කරගත හැකි බවට කලක් තිස්සේ පැවති යල්පීනු අදහසක් ඔස්සේ ය. එම ‘ආයාත ආදේශන’ ප‍්‍රතිපත්තිය මුළුමණින් අසාර්ථක වී ඇති බව ලෝකය පුරා විවිධ රටවල නැවත නැවතත් ඔප්පු කොට තිබේ.

සියදිවි නසා ගැනීමට හේතු වන මෙවැනි ආර්ථික හේතු කාරණා හැරුණු කොට, ශ‍්‍රී ලාංකිකයන් විසින් සැලකිල්ලට නොගන්නා තවත් අවාසනාවන්ත ප‍්‍රවණතාවක් ද තිබේ. එනම්, කෙනෙකු ජීවිතයක් නැති කර ගැනීමට පෙළඹෙන මානසික හේතු ගැන බරසාරව සොයා නොබැලීමයි. උදාහරණයක් වශයෙන්, ආධ්‍යාපනික ආයතනයක් තුළ හෝ සමහර විට වැඩපොළක පවා කෙනෙකු බිය ගන්වන තාඩන පීඩනවලට යමෙකු ලක්වීම නිසා එකී පුද්ගලයා ජීවිතය නැති කර ගැනීමට පෙළඹීමට ඇති හැකියාව කෙරෙහි සමාජයේ නිසි අවධානයක් යොමු නොවීම පෙන්වා දිය හැකිය.

ඒ නිසා මේ අවාසනාවන්ත තත්වය ගැන වඩාත් හොඳින් සොයාබලා එම තත්වයෙන් ගොඩ ඒමට අවශ්‍ය පියවර ගැනීම පාලකයන්ගේ වගකීමකි. එසේ නොවුණහොත් සිදුවන්නේ, ආර්ථික සංවර්ධනයක් මැද්දේම, ජරාවාස සමාජයක් ද බිහි වීමයි.

(2014 සැප්තැම්බර් 08 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Removing the Causes that lead to Suicide නමින් යුත් කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)

උපුටා ගැනීම – http://www.vikalpa.org/?p=21686

 

ඉදිරිපත් කිරීම – අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර 1 යි

  1. click here. 2015-10-31 at 05:49

    You made some good points there. I looked on the net to find out more about the issue and found most people
    will go along with your views on this site.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *