සොහොන් වන්දනය හා මුස්ලිම් සමාජය

0

Gravaeමීට සති කිහිපයකට පෙර යහමඟ අඩවිය තුල සාකච්චා කෙරුණු මාතෘකාවක් වන පිලිම හා සොහොන් වන්දනය පිලිබදව ඉස්ලාමීය විමසුම යන ලිපිය තුල මතු කරන ලද කරුණු සම්බන්ධයෙන් යහමඟ පාඨකයෙකු විසින් ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කර තිබුණි. එය මෙසේය…

ප්‍රශ්නය –

අපි කබර් එකක් ළඟ දුආ කරන්නේ නැහැ අනික නබිතුමා කබර් කඩන්න නෙමෙයි කිව්වේ, අලංකාර කරන්න. මුහම්මද් නබි තුමාගේ කබර් එකත් තියෙන්නේ පල්ලියේ ඇතුලේ. අනික මියගිය අය අසනවා කියල හදීස් තියෙනවනේ, අනික කුරානයේ 18-21 හි නබිවරුන්ගේ කබර් උඩ පල්ලි බැන්ද බවට? ඉතින් ඔබගේ ලිපිය වැරදි නේද?

යහමඟ පාඨකයෙකු විසින් මතුකල මෙම ප්‍රශ්න මාලාව ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයේ අඩු වැඩි වශයෙන් නිතර නිතර කථාබහට ලක්වන කාරණයකි. මේ හේතුව නිසා එම කරුණු මෙන්ම එවැනි තවත් කරුණූ ද පදනම් කරගෙන ඒ එකින් එක පහත ආකාරයට විමසා බැලීමට අදහස් කරමි. එහිදී යහමඟ පාඨක පිරිසගෙන් ඉතා කාරුණික ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමි. ඒ මෙම ලිපිය සම්පූර්ණයෙන් සංවාදයට විවෘත ලිපියකි. මෙහි ඉදිරිපත් කරන කරුණු අභියෝගයට ලක්කල හැක (යහමඟ අඩවිය තුල ඇති සෑම ලිපියක් සදහාම මෙය විවෘතය). එසේම මෙහි සදහන් කරුණූ පටු රාමු තුල කොටු නොවී විවෘත මනසින් තර්කානූකූලව හා බුද්ධිමත් ලෙස විමසා බලන්න යන්න ඒ ඉල්ලිමයි.

සොහොන් හෙවත් කබර්, සියාරම් වන්දනය ශ්‍රී ලාංකීය සමාජයේ මුස්ලීම් ජනතාව අතර බහුලව දක්නට ඇත. ඒවා හමුවේ භාරහාර සිදුකිරීම, ප්‍රාර්ථනාවන් සිදුකිරීම, සුලබ වූ දසුනකි. මේ පිලිබදව පිලිම හා සොහොන් වන්දනය පිලිබදව ඉස්ලාමීය විමසුම යන ලිපිය තුල මීට ඉහත සාකච්චා කලෙමි. එමනිසා දැන් සෘජුවම ඉහත කාරණයට යොමු වුයේ නම්,

මෙහිදී එම ප්‍රශ්න සියල්ල පදනම් විරහිත තර්ක බවට පෙරලන එක්තරා හදීසයක් පිලිබදව පාඨක ඔබේ අවධානය ආරම්භයේ යොමු කිරීමට අදහස් කරමි. එම හදීසය මෙසේය…

“ආයිෂා (රලි) තුමිය දන්වයි, නබිතුමාගේ අවසාන මොහොතේ පැවසුවා ‘අල්ලාහ් යුදෙව්වරුන්ට හා ක‍්‍රිස්තියානිවරුන්ට ශාප කරත්වා! ඔවුන් තමා වෙත පැමිණි නබිවරුන් මියගිය විට එසේත් නැත්නමි තමන් අතර ප‍්‍රභූවරයකු මියගිය විට ඔවුන්ගේ සොහොන් ගෙය වන්දනාමාන කරන්නට විය’ මෙවැනි බියක් නබිතුමාණන්ට නොතිබුනේ නම් එතුමාගේ සොහොන විවෘත්ත ස්ථානයක තබා  තිබෙන්නට තිබුණි.”

මූලාශ්‍ර ග‍්‍රන්ථයන් : බුහාරී

මෙම ඉහත හදීසය හොදින් විමසා බැලුවේ නම් නබිතුමාණන් මෙම කාරණය පිලිබදව කොතරමි බියවී තිබෙනවාද? යන්න මනාව පැහැදිලි වේ. මෙ අතරව පහත ග්‍රන්ථයන් හිද සදහන් වේ. එනම්, මුස්ලීම්, අබුදාවුද්, අහමද්, අබුයෙලා, අබුඅවානා, නසායි, දාරමි, බයිහකී, බාකවී, මුසන්නබ් ඉබුනු අබීශේබා, තබරානී කබීර්, තයාලිසි, මජ්ජිමු… මේ ආකාරයට ඉහත හදීසය බොහෝ ආගමික මූලාශවල සදහන් වේ. ඉහත හදීසයට අමතරව පහත ආකාරයට තවත් හදීසයන් දක්නට ලැබේ.

නබිතුමාණන් පැවසු බව ජාබිර් (රලි) තුමා මෙසේ පවසයි “සොහොන් ගෙවල් මත හුණුආලේප කිරීමත්, එය මත ලිවීමත්, එය මත ඉදිකිරීම් සිදුකිරීමත් සහා එය පැගීමත් මම තහනමි කරමි” යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි

“අලී බින් අබීතාලාබ් (රලි)තුමා මාහට නියෝගකලා, ‘රසුල් (සල්) තුමාණන් කුමන කටයුත්තක් සදහා මාව යැවිවේද? එම කටයුත්ත සදහා අද නුඔට මා නියෝග කරමි. (මෙහි ආති සියළු) පිලිමයන් සියල්ල බිදදමන්න එසේම උසට ඉදිනර ඇති සියලුම සොහොන් පොලොවට සමතලා කරන්න’ ” යයි අබුහයියාජ් අසදි (රහ්) තුමා පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්, අබුදාවුද්, නසායි, තිර්මිදි, බයිහකී, අහ්මද්

මා අරම්භයේ සදහන් කලාසේ ඉහත දක්වා ඇති හදීසයන් හොදින් විශ්ලේෂණය කලෙනම්, ඉහත ප්‍රශ්නයන් කොතරම් පදනම් විරහිත ඒවාද? යන්න මනාව පැහැදිලි වේ. කෙසේ වෙතත් දැන් ඉහත තර්ක එකින් එක දැන් විමසා බලමු.

පලමු තර්කය

අපි සොහොන් වෙත ගොස් වන්දනා කරන්නේ නැහැ. අපි දුවා (ප්‍රාර්ථනා) කරනවා පමණයි. ඉතින් කොහොමද එය වරදක් වන්නේ?

ඉහත තර්කය බැලූ බැල්මට වරදක් ලෙස නොපෙනෙන්නට පුළුවන. ඒ ආගමික ඉගෙන්වීමන් පිලිබදව තිබෙන අනවබෝධය හේතුවෙනි. නමුත් මෙහි කණගාටුවට කරණය මෙවන් තර්කය ඉස්ලාම් ආගමික විද්වතුන් සමහරක් ද ඉදිරිපත් කිරීමයි. කෙසේ වෙතත් මෙම කාරණය සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න දැන් විමසා බලමු. ඉස්ලාමයේ ආරම්භ කාලයේ සියාරත් (සොහොන්) වෙතයාම මුස්ලීම්වරුන්ට තහනම් කර තිබුණි. නමුත් එය සදහා පසුකාලීනව අවසර ලබාදුනි. එය මෙසේය

නබිතුමාණන් පැවසුවා යයි බුරෙයිදා (රලි)තුමා මෙසේ පවසයි. “සොහොන් වෙතයාම (සියාරත් කිරීම) මාහට තහනම් කර තිබුණි. අද මාගේ මවගේ සොහොන් ගෙය සියාරත් කිරීමට අවසර ලැබී ඇත. එමනිසා නුඔලාත් (මින්මතුවට) සියාරත් කරන්න මන්ද එය නුඔලාට කියාමත් දිනය (විනිශ්චය දිනය) සිහිගන්වනු ඇත.”

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි

මෙසේ සියාරත් කරන්න අවසර ලබාදුන් නබිතුමාණන් එය කෙසේ කලයුතුද යන්නත් පැහැදිලි ලෙසම මුස්ලීම් සමාජයට පෙන්වා දෙන ලදී. මේ හේතුව නිසා මුස්ලීම් සමාජය ආදර්ශභංගව ස්වමතයන් හා ස්වයං නිර්මාණයන් එහි සිදුකිරීමට අවශ්‍ය නොවේ. එසේ කිසිවකු යමක් නිර්මාණය කරන්නට උත්සාහ කරන්නේ නම් එය නබිතුමාණන්ගේ මෙහවරෙහි අඩුවක් දැකීම බදුය. මෙය බොහෝ හදිසයන් තුල ඉස්ලාම් අවධාරණය කරාණයකි. එවැනි ක‍්‍රියාවන් වලින් අල්ලාහ් අප ආරක්‍ෂාකරත්වා! යන්න ප්‍රාර්ථනා කරමින් “සියාරත්” කිරීම සම්බන්ධ  නබිතුමාණන් පෙන්වාදුන් ආදර්ශය වෙත දැන් අවධානය යොමු කරමු.

ඉබුනු අබ්බාස් (රලි)තුමා මෙසේ පවසයි. නබිතුමාණන් සොහොන් පිටියක් වෙත ගියේනම්, “සොහොන්වල සිටින්නවුනි නුඔලාට ශාන්තිය ඇතිවේවා! අල්ලාහ් නුඔලාවත් අපවත් සමාකරත්වා! නුඔලා අපට පෙර ගියාත් අපත් පසුපසින් එන්නෙමු” යයි සොහොන් බිම දෙස මුහුණ හරවා ප‍්‍රාර්ථනා කරනු ඇත.

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි

ඉහත හදීසයන් දෙස බැලීමේදී කරුණු කිහිපයක් වටහාගත හැක. එනම් ආරම්භයේ එදා සමාජයේ තිබුනු වැරදි වත්පිලිවෙත් නිසා සියාරත් කිරීම මුස්ලීම් සමාජයට ඉස්ලාම් තහනම් කර තිබු අතර එම සමාජය යහමඟ ගැන්වීමෙන් අනතුරුව සියාරත් සදහා අවසර ලබා දී ඇති බවයි. එසේ අවසරය ලබාදීමෙන් පමණක් නතර නොවූ ඉස්ලාම් සොහොනක් වෙත ගිය විට එහිදී කුමක් පැවසිය යුතුද? යන්නත් පැහැදිලි ලෙස පෙන්වාදී ඇත. එහිදී ඉස්ලාම් පෙන්වා දුන්නේ වර්ථමාන සමහරක් මුස්ලීම්වරුන් සිදුකරනවා සේ සොහොන් තුල තැන්පත් වී ඇති පිරිසගෙන් තමාගේ අවශ්‍යතාවයන් ඉල්ලන ලෙස නොව ඒ මියගිය පිරිසගේ විමුක්තිය සදහා ප්‍රාර්ථනා කරන ලෙසය. මෙය ඉස්ලාමීය ඉගෙන්වීමන්ට සම්පූර්ණයෙන් පරස්පර වූ ක්‍රියාවක් බව මුලින්ම වටහාගත යුතුය. අනික් කාරණය නම් වරක් නබිතුමාණන් පැවසුවා “අද්දුවා හුවල් ඉබාදා” යනුවෙන් එහි අරුථ “ප‍්‍රාර්ථනයත් වන්දනයකි” යන්නයි. දිනපතා අල්ලාහ් (දෙවියන්) ඉදිරියේ “නුඔවම වදිමි නුඔගෙන්ම උදවි පතමි” යනුවෙන් පවසමින් මෙලෙස මියගිය සොහොන් හමුවේ තම ප්‍රාර්ථනයන් තැබීම ඉස්ලාමීය ඉගෙන්වීම අනුව “ශිර්ක්” නම් මහා පාපයකි. ඒ අනුව අපගේ ප්‍රාර්ථනයන් ඉදිරිපත් කලහැක්කේ අල්ලාහ් (දෙවියන්) හමුවේ පමණක් යන්න පැහැදිලි වේ.

දෙවන තර්කය

නබිතුමා සොහොන්ගේ සමතලා කරන්න යයි පැවසුවේ නැහැ එම හදීසයේ එන්නේ “සවිවාහා” යන වචනයයි. එහි අරුථ පරිසමාප්ත (අලංකාර) කිරීම යන්නයි. එයට උදාහරනයක් ලෙස ශුද්ධ වූ කුර්ආනයේ 91-7 පෙන්වයි.  ඒ අනුව නබිතුමා අලි (රලි)තුමාට නියෝග කලේ උස්ව ඉදිකොට ඇති සොහොන් සියල්ල අලංකාර කරන ලෙසයි. එමනිසා සොහොන් ඉදිකිරීම කලහැක.

මෙම තර්කය දෙස බලූ බැල්මට කිසියම් සත්‍යයක් ඇති බවක් ඔබට පෙනෙනු ඇත. නමුත් එම තර්කය තරමක් එය ගැඹූරින් අධ්‍යනය කලවිට එහි සැබෑ තත්වය පහසුවෙන් වටහාගත හැකි වේ. එහි පලමු පියවර ලෙස ඉහතින් සදහන් 91-7 ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය විමසා බලමු. එය මෙසේය

“ආත්මය මත හා  එය පරිසමාප්ත (නිර්මාණය)කල ඔහුගේ මත දිව්රමි”

මෙම වාක්‍ය පමණක් බැලීමෙන් කිසිවක් තීරණය කලයුතු නොවේ. අරාබි භාෂාවේ එකම වචනයට පවා විවිධ තැන්වල විවිධ අර්ථ ලබාදීම සාමාන්‍ය කාරණයකි. ඒ අනුව ඉහත “සව්වාහා” යන වචනයට ඉහතින් මතුකරන තර්කයේ ආකාරයට “අලංකාර කිරීම” යන අරුථ තිබෙන බව සැබෑවකි. එසේනම් එම “සව්වාහ” යන වචනයට “සමතලා කිරීම” යන අරුතය නැතිද? යන්න විමසා බැලුවේ නම්, ඒ සදහා ශුද්ධ වූ කුර්ආනයේම සාක්ෂි ලැබේ. එහි පුදුමයට කාරණය නම් ඉහත එම 91 වන සුරාවෙහි (පරිච්චේදයේ)ම 14 වන වාක්‍යයේ (එනම් ඉහත 7 වාක්‍යයට වාක්‍ය 07 කට පස්සේ) අල්ලාහ් (දෙවියන්) මෙසේ පවසයි.

“…ඔවුන්ගේ පාපයන් හේතුවෙන් ඔවුන්ට දඩුවමි පහල වී ඔවුන්ව ඔවුන්ගේ දෙවියන් පොලවට සමතලා කරදැම්මේය.”

ඉහත 91-14 වාක්‍ය අනුව “සවිවාහා” යන වචනයට අර්ථ දෙකක් ඇති බව පැහැදිලිය. එසේනම් දැන් ඇති ගැටළුව ඉහත සදහන් සෙහොන් සම්බන්ධ එන හදීසයේ “සවිවාහා” යන්නෙන් නබිතුමාණන් අදහස් කලේ කුමක්ද? යන්නයි. මේ පිලිබදව කථා කිරීමට මත්තෙන් ඉස්ලාමීය මූලික නීතියක් ඔබගේ අවධානයට යොමු කිරීමට අදහස් කරමි. එනම් ආගමික මූලාශ්‍රයන් අධ්‍යනය කිරීමේදී අනුගමනය කලයුතු නීතිරීති අතර එක් ප්‍රධාන නීතියක් වන්නේ එක් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයකට හෝ හදීසයකට තවත් ශුද්ධ ව කුර්ආන් වාක්‍යයන් කිහිපයක් මෙන්ම හදීසයන් විග්‍රහයක් ලෙස පැවතිය හැකි යන්නයි. ඒ සදහා උදාහරණ ඕනෑ තරම් ගෙනහැර දැක්වීමට හැක.  ඒ අනුව ඉහත හදීසයෙන් නබිතුමාණන් පවසන “සව්වාහා” යන පදයට දියයුතු සැබෑ අරුත කුමක්ද? යන්න විමසා බැලිය යුත්තේ අපගේ මතවාද හෝ තාර්කික හැකියාව පදනම් කරගෙන නොව ඉස්ලාමීය මූලාශ්‍රයන් තුලින් විග්‍රහයක් ලබාගෙනය. ඒ අනුව සොහොන් සම්බන්ධයෙන් කියවෙන හදීස් හොදින් විමසා බැලුවේ නම් එහි සොහොන් ඉදිකිරීම උනන්දු කරවන නොඑසේ නම් අවධාරණය කරන කිසිදු හදීසයක් දක්නට නොලැබේ. එසේ දක්නට නොලැබෙනවා පමණක් නොව එවැනි ඉදිකිරීම්වලට විරුද්ධව යම් යම් කරුණු දැක්වීම් සිදුකල හදීසයන් දක්නට ඇත. එවැනි හදීස් කිහිපයක් ඉහතින් දක්වා ඇත. ඒ අනුව මෙම හදීසයේ එන “සවිවාහා” යන වචනයට එහි දියයුතු නිවරුදි අරුථ වන්නේ “සමතලා කිරීම” යන්නයි. එසේ නොමැතිව “අලංකාර කිරීම”  යන අරුථ මෙහි ලබාදුන්නේ නම් හදීසයන් එකින් එකට පරස්පර වනු ඇත. අල්ලාහ් (දෙවියන්)ගේ දහමේ එවැනි පරස්පරතාවයන් කිසිවිටෙක ඇති නොවන යන්න සමස්ථ මුස්ලීම් සමාජයම ඒකමතිකව පිලිගත් සත්‍යයක් වන නිසා ඉහත තර්කය පදනම් විරහිත තර්කයක් යන්න මනාව පැහැදිලි වේ.‍

තුන්වන තර්කය

අද වනවිට නබිතුමාගේ සොහොනත් පල්ලියක් තුල නේ තිබෙන්නේ ඉතින් යුදෙව්වරුන්ට නබිතුමාණන් ශාප කලායයි පැවසීම මෙය හරිද?

මෙම තර්කයද බැලූ බැල්මට සාධාරණ වූ තර්කයක් ලෙස පෙනෙන්නට පුළුවන. මෙහි සැබෑතත්වය කුමක්ද? යන්න ගැඹුරින් විශ්ලේෂණය කලේනම් මෙම කාරණය සත්‍යයක්ද? යන්නත්, එහි ඉතිහාසය කුමක්ද? යන්නත් මනාව පැහැදිලි කරගත හැක. ප්‍රථමයෙන් පැවසිය යුතු කාරණය නම් “නබිතුමාණන්ගේ සොහොන (හෙවත් සියාරම් එක) අද වනවිට මදීනාවෙහි ඇති ‘මස්ජිදුන් නවවි’ නම් දේවස්ථානය තුල පිහිටා තිබෙනවා යන්න සැබෑවකි.” එම කාරණය පිලිබදව තරමක් ගැඹුරින් සාකච්චා කිරීමට මත්තෙන් නබිතුමාණන්ගේ මරණය හා එම මෘත ශරීරය තැන්පත් කරන ස්ථානය පිලිබදව ආගමික තීන්දුව කුමක්ද? යන්න කෙටියෙන් විමසා බලමු.

  • කිසියම් නබිවරයෙකු (වක්තෘවරයෙකු) මරණයට පත්වූ විට එම මරණය සිදුවු ස්ථානයේම ඔහු භූමදානය  කලයුතු බවට හදීසයන් හි සදහන්වේ.
  • මුහමිමද් (සල්) තුමාණන් මරණාසන්න මොහෙතේ තමාගේ සොහොනත් වන්දනාමාන කරාවි යයි බිය වු නිසා එම ස්ථානය ආවරණය කරන ලද බව ඉහතින් ආයිෂා තුමිය දන්වන හදීසය ඉහතින් බැලුවෙමු.

ඒ අනුව නබිතුමාණන් මරණයට පත්වූයේ එතුමාගේ නිවසේදීය. එතුමාගේ නිවස පිහිටා තිබුනේ “මස්ජිදුන් නවවි” පල්ලියට යාබදවය. එමනිසා එතුමාගේ සොහොන (ඉහත කොන්දේසිවලට අනුව) පල්ලිය ආසන්නයේ පිහිටුවාලීමට සිදුවිය. අල්ලියට (දේවස්ථානයට) යාබදව පල්ලියට පරිභාහිරින් පිහිටා තිබූ මෙම සොහොන ඉස්ලාම් දහමේ සීඝ්‍ර වර්ධනයත් ඒ හේතුව නිසා පල්ලිය විශාල කිරීමට සිදුවීමත් නිසා එක්තරා අවස්ථාවක මෙම සොහොන පිහිටි භූමිය පල්ලිය තුලට අන්තර්ගත විය. ඒ පිලිබදව විස්තර පහත ආකාරයට වේ.

  • නබිතුමාණන් ජීවත්වු නිවස
  • නබිතුමාණන්ගේ කාලයේ එම දේවස්ථානය පිහිටා තිබු ආකාරය ( වර්ගඵලය ව.මීටර් 850)
  • හිජ්රී 07 දී නබිතුමාණන් විසින් දේවස්ථානය පුළුල් කිරීම (වර්ගඵලය ව.මීටර් 1700 දක්වා)
  • හිජ්රී 17 දී (නබිතුමාණන්ගේ මරණින් පසුව) උමර් (රලි)තුමා විසින් දේවස්ථානය පුළුල් කරන ලදී.
  • හිජ්රී 29 දී උස්මාන් (රලි) තුමා විසින් නැවතත් දේවස්ථානය පුළුල් කරන ලදී ( වර්ගපලය ව.මීටර් 3860 දක්වා)
  • හිජ්රි 91 දී වලීද් බින් අබිදුල් මලික් විසින් දේවස්ථානය පුළුල් කරන ලදී.

ඉහත රූප සටහන දෙස හොදින් බැලුවේ නම් එක්තරා සත්‍යයක් එහි ඔබට පෙනෙනු ඇත. එනම් නබිතුමාණන්ගේ නිවස පිහිටා තිබුණේ කුමණ ස්ථානයේ ද යන්නත්, නබිවරයෙකු (වක්තෘවරයෙකු) මියගියේ නම් ඔහුගේ මරණය සම්බන්ධයෙන් මුස්ලීම් සමාජය ක්‍රියා කලයුත්තේ කෙසේද? යන්නත් ඉහතින් අප විමසා බැලුවෙමු. ඒ අනුව නබිතුමාණන් ජීවත් වූ කුඩා නිවස සොහොන් ගෙයක් විය. නබිතුමාණන්ගේ අභාවයෙන් කෙටි කාලයක් තුල ඉස්ලාම් දහම සීඝ්‍රයෙන් අරාබිකරයේ ව්‍යාප්ත වූ අතර ඒ හේතුව නිසා ශ්‍රේෂ්ඨ වූ දේවස්ථානයන් 03 අතුරින් එකක් වන මස්ජිදුන් නවවි දේවස්ථානය ද දිගින් දිගටම පුළුල් කිරීමට සිදුවීමයි. මෙහිදී වැදගත් කාරණය නම් එසේ ඉහත දේවස්ථානය දිගින් දිගටම පුළුල් කිරීම සිදුවුවත් මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් මධ්‍යයේ එතුමාගෙන් පාඩම් උගත් සහාභාවරුන් (සමකාලීන අනුගාමිකයන්) එතුමාගෙන් පසුව ක්‍රියාකල ආකාරයයි.  නබිතුමාගෙන් පසු හිජ්රී 17 දී රට පාලනය කල උමර් (රලි) තුමාත්, හිජ්රී 29 දී රට පාලනයකල උස්මාන් (රලි) තුමාත්, දේවස්ථානය පුළුල් කිරීමේ දී තුන් පැත්තකින් පමණක් එය සිදුකල අතර නබිතුමාණන්ගේ සොහොන තිබු දිශාවෙන් එසේ කිරීමෙන් වැලකී සිටියේ එවිට එය දේවස්ථානය තුලට පිහිටන නිසාත්, එසේ පැවතීම ඉහත හදීසයන්ට අනුව ඉස්ලාම් විරෝධි ක්‍රියාවක් වන නිසාත් ඔවුන් එවන් ක්‍රියාවකින් වැලකී ක්‍රියාකරන ලදී. නමුත් හිජ්රි 91 දී පාලකයා ලෙස පත්වූ අබිදුල් මාලික් විසින් හතර වන වරට දේවස්ථානය පුළුල් කිරීමේ දී එවකට ජීවත් වූ ඉස්ලාමීය විද්වතුන්ගේ දැඩි විරෝදතාවයන් මධ්‍යයේ නබිතුමාණන්ගේ සොහොන දේවස්ථානය තුලට පිහිටන ආකාරයට ඉදිකිරීම් සිදුකරන ලදී. මෙම ක‍්‍රියාවට විරුද්ධ වුවන්ගෙන් එදාසිටි මහා බුද්ධිමතකු වු සයිද් බින් මුසයියබි (රහ්) ද ප‍්‍රධාන කෙනෙකි. මීට අමතරව ඉස්ලාම් දහම තුල මෙවැනි බොහෝ වෙනස් කිරීමන් සිදුකල මේ කෘර පාලකයා වන අබ්දුල් මලික්ගේ මෙම ක්‍රියාව ඉස්ලාම් ආගමික අනුමත ක්‍රියාවක් බව පෙන්වීම සදහා පදනම් කරගැනීම අනවබෝධයකි.

හතරවන තර්කය

මියගිය අය සවන්දෙන්නේ නැතැයි පවසන්නේ කොහොමද? නබිතුමාණන් කිවිවා, “අසාන් (බංගු) කිවිවායින් පසු මගේ නමින් ‘සලවාත්’ කියන්න මම එයට පිලිතුරුදෙන්නමි” යනුවෙන්. එසේනම් ලෝකේ හැම විනාඩියේම අසාන් කියනවා එයට නබිතුමා පිලිතුරු දෙනවානම් හැම මොහොතේම එතුමා ජීවත් වෙනවා නොවේද? එසේම නබිතුමා බද්ර් යුද්ධයේ මියගිය කාෆිර්වරු (ඉස්ලාම් විරෝධීන්) එකම පාලු ලිදක දමා ඒ අය සමග කථා කල බව ඉබුනු උමර් (රලි)තුමා පවසන කාරණය අසත්‍යද?

ඉහත තර්කය සැබැවින්ම බුද්ධිමත් තර්කයක්. විශේෂයෙන් හදීස් දෙකක් පදනම් කරගෙන මෙම තර්කය ඉදිරිපත් කිරීම ඇගයීමට ලක් කලයුතු කාරණයකි. දැන් එම තර්කය පිලිබදව විමසා බලමු. එහිදී එම හදීසයන් දෙක වෙත අවධානය යොමු කිරීමට මත්තෙන් ශුද්ධ  වූ කුර්ආන් වාක්‍යයන් දෙකක් ඔබගේ අවධානයට යොමු කිරීමට අදහස් කරමි. එය මෙසේය.

“නබි (තුමණිග!) මියගිය පිරිස් අසන්නන් කීරීම නුඹට කල නොහැක.”

ශුද්ධ වූ කුර්ආනය 27-80

“ජීවත්වන්නා ද මළහු ද එක සමාන නොවේ, මිණීවලෙහි සිටින්නන් අසන්නන් කිරීම නුඔට කල   නොහැක.”

 ශුද්ධ වූ කුර්ආනය 35-22

මෙලෙස අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනයේ පවසා තිබිය දී එයට පරස්පර ආකාරයට හදීසයක් තිබුණේ නම්, එහිදී මුල්තැන දියයුත්තේ අල්ලාහ් (දෙවියන්)ගේ වචනය වන ශුද්ධ වූ කුර්ආනයට යන්න ඉස්ලාමීය විද්වතුන්ගේ මතයයි. දැන් ඉහත තර්කයන් එකින් එක වෙත අවධානය යොමු කලේනම්,

  • ලෝකයේ සෑම මොහොතකම කුමක් හෝ ස්ථානයක අසාන් (බාංගු) පවසන බැවින් නබිතුමා ජීවමානය

මෙය තර්කානුකුලව බලන විට සත්‍යකි. නමුත් එම තර්කයට ගන්නා පදනමෙහි විශාල වරදක් ඇත. එමනිසා මෙවැනි තර්කයක් ඉදිරිපත් කිරීමට පෙර ඉහත එම හදීසයේ කුමක් පවසනවාද? යන්න නිසිලෙස වටහා ගතයුතුය. එම හදීසය දැන් විමසා බලමු.

” ‘නුඔලා හට අයත් (සතියේ) දිනයන්ගෙන් උතුම්ම දිනය සිකුරාදා දිනයයි. එම දිනයේ තමා (ලොව ප්‍රථම මිනිසා වන) නබි (හෙවත් වක්තෘ) ආදම් (අලෛ) තුමාණන් මවන ලද්දේ, එම දිනයේ තමා එතුමාණන් මියගියේ, එම දිනයේ තමා (ලෝක විනාශය සදහා) සූර් (නම් නලාව) පිඹිනු ලබන්නේ, දිනයේ තමා ලෝකවාසීන් මියයන්නේ, එමනිසා එම දිනයේ වැඩි වශයෙන් මාගේ නමින් ‘සලවාත්’ පවසන්න නුඔලාගේ ‘සලවාතය’ මාහට ගෙනහැර දක්වනු ලැබේ’ යයි මුහම්මද් (සල්) තුමාණන් පවසන ලදී. (එයට) ‘අල්ලාහ්ගේ දුතයාණනී!, අපගේ සලවාතය ඔබ තුමාහට කෙසේද ගෙනහැර දක්න්නේ?, ඔබ (ඒ වනවිට මියගොස් ශරීරය) විනාශ වී යනු ඇති නේ?’ යනුවෙන් (අනුගාමික) සහාභාවරයෙකු නබිතුමාණන්ගෙන් විමසා සිටින ලදී. එයට නබිතුමාණන් ‘නියත වශයෙන්ම අල්ලාහ් නබිවරුන්ගේ සිරුර පස්වීම (විනාශ කිරීම) පොලවට තහනම් කර ඇත’ යයි පවසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – අබුදාවුද්

තවත් හදීසයක…

“නියත වශයෙන්ම පොළවෙහි ගමන් කරමින් සිටින මලකුන් (දේව දුතයන්) අල්ලාහ් හමුවේ ඇත. ඔවුන් (නුඔලාගේ) ‘සලාමය’ මා හමුවේ ගෙනහැර  දක්වයි” යයි නබි (සල්) තුමාණන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – නසායි

මෙහි ඉහත සදහන් හදීසයන් තුලින් කරුනු කිහිපයක් වටහාගත යුතුවේ. එනම්,

  • නබිතුමාණන් (අප පවසන දෑ)  සවන් දෙන බව පැවසුවේ නැත. එය තමා හට ගෙනහැර දක්වන බව පවසන ලදී.
  • එම සලවාතයන් මලක්වරුන් (දේවදූතයන්) මගින් තමා හට පවසන බව පවසන ලදී.
  • නබිවරුන්ගේ ශරීරය පොලොවට දිරා නොයන බව ද වටහාගත හැක.

මෙහි ඉහත දක්වා ඇති කරුනු තුන වක්තෘවරුන් හෙවත් නබිවරුන්ට පමණක් අවේණික කරුණු  අතර සියළු ජනතාවට පොදු වූ කරුණු නොවන බව පැහැදිලිය. මේ නිසා නබිතුමාණන් අපගේ සලවාතයන් සහා සලාමයන් දැනගන්නා සේ මියගිය අනිකුත් පිරිසත් අප පවසන දෑ සවදෙනවා යන තර්කය බිදීයයි. එසේම නබිතුමාණන් පැවසුවේ “සලවාතයන් හා සලාමය” ගෙනහැර දක්වනවා යන්න මිස “නුඔලා පවසන සියල්ල ගෙනහැර දක්වනවා” යනුවෙන්  නොවේ. එමනිසා අපහට අවශ්‍ය සියළු දෑ දෙවියන්ගෙන් ඉල්ලනවා සේ නබිතුමාණන්ගෙන් හෝ අනි කිසිවකුගෙන් ඉල්ලීමට නොහැකි බව පැහැදිලි වේ. එසේම මුහම්මද් (සල්) තුමාණන් ජීවමාන බව පැවසීමට ගෙන එන තර්කය පදනම් විරහිත තර්කයක් බවත් හදීසයේ සදහන් ඉහත තත්වය මිනිස් බුද්ධියට ගෝචර නොවන දෙවියන් විසින් සැලසුම් කරදුන් තත්වයක් බව පැහැදිලි ලෙස අවබෝධ කරගත යුතුවේ.

  • බද්ර් යුධ පිටියේ මියගිය අය සමග නබිතුමානන් කතා කලා යන තර්කය වෙත දැන් අවධානය යොමු කලේනම්,

මෙවැනි හදීසයක් පැවතීම සැබෑවකි. මෙම හදීසය බුහාරී නම් හදීස් මූලාශ්‍ර යේද දක්නට ලැබේ. එය පහත ආකාරයට වේ.

“බද්දුර් යුද්ධයේ මියගිය (ඉස්ලාම් විරෝධි) කාෆිර්වරුන්ගේ මෘත දේහයන් පාලු ලිදකට දමා එය අසලට පැමිණී නබිතුමාණන් එම ලිද දෙස බලා ‘නුඔලාට, නුඔලාගේ දෙවියන් පොරොන්දු වු දඩුවම සත්‍යයයි නුඔලා වටහාගත්තේද?’ යයි පවසන ලදී. පසුව නබිතුමාණන් අපට මෙසේ පවසන ලදී (ලිදෙහි ඇති) ‘මොවුන් මා පවසන දෙයට මේ මොහොතේ සවන්දෙන්නේය.’ “

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

කිසියම් කරුණක් සම්බන්ධයෙන් ශුද්ධ වූ කුර්ආනයේ එසේත් නැත්නම් හදීසයේ පරිශීලනය කරන විට කරුණූ කිහිපයක් අනුගමනය කලයුතු වේ. එහි ප‍්‍රධානම  කරුණ වන්නේ  කිසියම් විෂයක් සම්බන්ධයෙන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් එසේත් නැත්නම් හදීසයන් පරිශීලනය කිරීමේ දී එම වාක්‍යයට පෙර හා පසු වාක්‍යන් හා එම විෂය කථා කරන අනිකුත් වාක්‍යයන් හා හදීසයන් ද අධ්‍යනය කිරීම අනිවාර්‍ය වේ. එසේ නොමැතිව ශුද්ධ වූ කුර්ආනයේ හෝ හදීසයේ තමන් දරණ මතවාදයට පක්ෂ කොටස පමණක් ගෙන ඉතිරි කොටස් නොසලකා හැරීම බරපතල වරදක් වන අතර එය යුදෙව් සමාජය පවා සිදුකල ඉතාම භයානක තත්වයකි. එම කාරණය මතකයේ තබාගෙන නැවත මාතෘකාවට යොමු වුයේ නම්, ඉහත හදීසය ඉදිරිපත් කිරීමේ දී බලවත් වරදක් සිදු කොට ඇත. එය එකම හදීසයේ කොටසක් ගෙන කොටසක් ප‍්‍රතික්ෂේප කර ඉදිරිපත් කල කොටස පදනම් කරගෙන තර්කයන් ගොඩනැඟීමයි. මෙය මා ඉහතින් සදහන් කලාසේ යුදෙව්වරුන්ගේ ක්‍රියාකලාපයන්ය. දැන් ඉහත එම හදීසය සම්පුර්ණයෙන් විමසා බලමු.

“බද්දුර් යුද්ධයේ මියගිය කාෆිර්වරුන්ගේ දේහයන් පාළුලිදකට දමා එය අසලට පැමිණී නබිතුමාණන් එම ලිද දෙස බලා ‘නුඔලාට නුඔලාගේ දෙවියන් පොරොන්දුවු දඩුවම සත්‍යයයි නුඔලා වටහාගත්තේද?’ යයි පවසන ලදී. පසුව නබිතුමාණන් (එතැන රුස්ව සිටී) අපට ‘මොවුන් මා පවසන දෙයට මේ මොහොතේ සවන්දෙන්නේය’ යනුවෙන් නබිතුමාණන් පැවසූ බව ඉබුනු උමර් (රලි)තුමා පවසනවා යන පණිවුඩය (නබිතුමාණන්ගේ බිරිද වන) ආයිෂා (රලි) තුමියට දැනගන්න ලැබුණි. එයට එතුමිය ‘මා ඔවුන්ට පැවසු කරුණු (ප‍්‍රතිපත්තින්) සියල්ල සත්‍යයයි. දැන් ඔවුන් වටහාගන්නේය යයි නබි(සල්)තුමාණන් පැවසුවා මිස එසේ (දැන් මා පවසන දෑ ඔවුන් සවන්දෙන්නේය යයි) පැවසුවේ නැත.’ යනුවෙන් පැවසූ එතුමිය ඉන්අනතුරුව ශුද්ධ වූ කුර්ආනයේ 35-22 (…ජීවත්වන්නා ද මළහු ද එක සමාන නොවේ, මිණීවලෙහි සිටින්නන් අසන්නන් කිරීම නුඔට කල   නොහැක… යන) වාක්‍යය අවසානය දක්වා පාරායනය කරනලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

මේ අනුව මියගිය අය සවන් දෙනවා යන්න ඔප්පු කිරීමට ගෙන එන ඉහත තර්කය ද පදනම් විරහිත එකක් බව සාමාන්‍ය බුද්ධියක් තිබෙන කෙනෙකුට පවා පහසුවෙන් වටහාගත හැකි වේ.

පස්වන තර්කය

ඉතාම සුළු පිරිසක් ඉදිරිපත් කරන තර්කයක් ඇත. එනම්, කුර්ආනයේ සුරා කහ්ෆ් (18 වන පරිච්චේදය)හි එන ගුහාවෙහි සැගවුනු එම පිරිස වෙනුවෙන් එම ස්ථානයේ පල්ලියක් ඉදිකල බව ශුද්ධ වූ කුර්ආනයේ පවසනවා නොවේද? එසේනම් කොහොමද කියන්නේ පල්ලියක් තුල සොහොන් ගෙයක් තිබීම සුදුසු නැතැයි කියා

එසේනම් එම  තර්කය වෙත ද අවධානය යොමු කිරීමට පෙර ඉහත සදහන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය වෙත අවධානය යොමු කරමු.

“අල්ලාහ්ගේ ප‍්‍රතිඥාව සත්‍යයයිද, අවසාන දිනය පිලිබදව සැකයක් නැතැයිද (ඉස්ලාම් ප්‍රතික්ෂේප කල) ඔවුන් දැනගනු පිණිස අපි ඔවුන්ට ගුහාවෙන් අනාවරණය කලෙමු. එවිට ඔවුන් තමන් අතර විවාද කරගත්හ. ‘ඔවුන් මත ගොඩනැගිල්ලක් ඉදි කරන්න! ඔවුන් පිලිබදව දෙවියන් ම දන්නේය.’ යයි ඔවුන් පවසන ලදී. එම පිරිසගෙන් කව්රුන් ජයගත්තේද (ඔවුන්) ‘අපි ඔවුන් මත නැමදුම්පොළක් ගොඩනංවන්නේමු’ යයි පවසන ලදී.”

ශුද්ධ වූ කුර්ආනයේ 18-21

ඉහත වාක්‍යයේ නැමදුම්පොලක් ඉදි කලේ කව්රුන් විසින් ද යන්න පැහැදිලිව පවසා ඇත. එනම්, ඔවුන් අතර විවාද කරමින් කව්රුන් ජයගත්තේද? ඔවුන් තමා එම නැමදුම්පොල ඉදි කලේ යන්න සදහන් වේ. නමුත් ඔවුන් යහමඟ සිටී පිරිසක් බව අල්ලාහ් (දෙවියන්) මෙහි පැවසුවේ නැත. එසේම ඔවුන් අයහමඟ පිරිසක් යන්න ද පැවසුවේ නැත. එසේනම් මෙහිදී ඇති වන ගැටළුව සැබැවින්ම මොවුන් කව්රුන්ද? යන්නයි. මෙයට උත්තරය මෙම ලිපියෙහි ආරම්භයේ ඇති හදීසය ලබාදෙයි. එනම්,

අයිෂා (රලි) තුමිය දන්වයි. “නබිතුමාණන්ගේ අවසාන මොහොතේ එතුමාණන් ‘අල්ලාහ් යුදෙව්වරුන්ට සහා කිතුණූවන්ට ශාප කරත්වා!, ඔවුන් තමා වෙත පැමිණි නබිවරුන් මිය ගියවිට එසේත් නැත්නමි තමන් අතර ප‍්‍රභූවරයකු මිය ගියවිට ඔවුන්ගේ සොහොන් ගෙය වන්දනා මාන කරන්නට විය’ මෙවැනි බියක් නබිතුමාණන් නොතිබුනේ නම්  එතුමාගේ සොහොන විවෘත්ත ස්ථානයක තබා තිබෙන්නට තිබුණි.”

මූලාශ්‍ර ග‍්‍රන්ථය – බුහාරී

ඉහත කුර්ආන් වාක්‍ය යෙන් මෙන්ම හදීසයෙන් පැහැදිලි වන්නේ මෙම ගුහාවාසීන් සදහා ඉදිකල මෙම ඉදිකිරීම එදා (අතීත) සමාජයේ පැවතී යුදෙව්වරුන්ගේ හා නසාරාවරුන්ගේ සමාජ සම්ප්‍රදායක් බවයි. එසේම ඉහත වාක්‍යයන් තුලින් පැහැදිලි වන්නේ එම ක‍්‍රියාව ඉස්ලාම් ආරම්භයේ පටන් අනුමත නොකල බවයි. ඉස්ලාම් දහම තුල සමහරක් දෑ ආරම්භයේ සිටම තහනම් ව පවතින අතර සමහරක් දෑ පසුකාලීනව තහනම් වේ. මෙම ආකාර දෙකෙන් ඉහත ක‍්‍රමය අයත්වන්නේ ආරම්භයේ සිටම තහනම් යන ආකාරයටයි. මන්ද ඉහත හදීසයට අනුව නබිතුමාණන් පෙර ජීවත් වු යුදෙව්වරුන් හා නසාරාවරුන් ශාප කලානම් ඒ ඔවුන්ගේ ක්‍රියාකලාපය ආරම්භයේ පටන් අනුමත නොකරන නිසාය.

මේ ආකාරයට ඉස්ලාම් දහම තුල සොහොන් වන්දනය සාධාර්ණීකරනය කිරීම සදහා කුමන තර්ක ඉදිරිපත් කලද ඒවා සියල්ල ඉස්ලාමීය ඉගෙන්වීමන්ට පරස්පර වූ පදනම් විරහිත තර්කයන් පමණක්ම බව පැහැදිලි වේ. කෙසේ නමුත් මේ ලිපිය තවදුරටත් සංවාදයට විවෘත බවත් ඒ සදහා ආරාධනා කරමින් මේ ලිපියට තාවකාලීක විරාමයක් තබමි.

අබූ අර්ශද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp