සොහොන් හා පිළිම වන්දනය – ඉස්ලාමීය විමසුමක්

12

Graveපසුගිය දිනක යහමඟ අඩවියට ලැබුණු “ගලේබණ්ඩා සොහොන” සම්බන්ධ වීඩියෝව යහමඟ අඩවිය තුල පළ කිරීමත් සමඟ ඒ සඳහා විවිධ ආකාරයේ පාඨක ප්‍රතිචාර හා ප්‍රශ්න යහමඟ අඩවියට යොමු වී තිබුණි. එහිදී කිහිප දෙනෙකුගේ ප්‍රශ්නය වුයේ මේ කාරණය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්නයි. මෙම ප්‍රශ්නයේ කිසියම් සාධාරණත්වයක් ඇත. එනම් වර්තමානය වන විට මුස්ලීම් සමාජයේ මේ ආකාරයේ වූ සොහොන් නිර්මාණයන් හා ඒ ආශ්‍රිතව සිදුවන ආගමික කටයුතු සුලභ දසුනකි. එපමණක් නොව එම සොහොන් පදනම් කරගෙන නිර්මාණය වී තිබෙන විවිධ කථා පුවත් ද ඇඟ කිලිපොලා යන ආකාරයේ හාස්කම් පදනම් කරගත් ඒවා වේ. මේ හාස්කම් පසුපස ඇදී එන්නේ මුස්ලීම් ජනතාව පමණක් නොව අන්‍ය ආගමික පිරිස්ද මේ සොහොන් වෙත ඇදී එන්නේ හඳ පිරි භක්තියෙනි. මේ ආකාරයට සොහොන් වෙත ඇදී එන පිරිස් “මේවාත් ඉස්ලාම් තමයි” යනුවෙන් උපකල්පනය කළද ඒවා පිළිබඳව ඔවුනට පැහැදිලි අවබෝධයක් නැත. ඔවුනට පමණක් නොව මෙම කාරණය සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයේ ද සැලකිය යුතු පිරිසකට නිසි අවබෝධයක් නැත. මේ දෙපාර්ශවයටම මෙම කාරණය සම්බන්ධයෙන් ඉස්ලාමීය විග්‍රහය ලබා දීමේ අනිවාර්ය වගකීම මුස්ලීම් සමාජයේ ආගමික විද්වතුන්ට පැවරී ඇත. කවදත් එම වගකීම නිසි ආකාරව ඉටුකිරීමට ඉදිරිපත් වන යහමඟ අඩවිය අදත් මෙලෙස ඉදිරිපත් වන්නේ “ගලේබණ්ඩා” විඩියෝව ඌනපූරණයක් ලෙස ගෙනය.

මෙම ලිපිය හරහා මාගේ අදහස් දැක්වීමන්ට වැඩි ඉඩක් ලබා නොගෙන ආගමික මූලාශ්‍රයන් තුලින් කරුණු ඉදිරිපත් කරමින් සාකච්ඡාවන් සිදු කිරීමට අපේක්ෂා කරමි. ඒ මෙම විෂය පිළිබඳව වඩාත් පැහැදිලි අවබෝධයක් සමාජයට ලබා දීම අරමුණු කරගෙනය. එසේම පාඨක ඔබෙන් ඉතා යටහත් ආකාරයේ වූ ඉල්ලීමක් ද කරන්නට කැමැත්තෙමි. සමාජ මිත්‍යාවන් තුරන් කිරීම එකම අරමුණු කොටගෙන ක්‍රියා කරන යහමඟ අඩවිය මේ විෂය පිළිබඳව කථා කරන කාරණයන් පටු අරමුණුවල හා හිතුවක්කාර තීන්දුවල හිඳ නොබලා විවෘත මනසින් හා බුද්ධිමත් අයුරින් විමසා බලන්න යන්නයි. ඒ අනුව මෙම විෂය එනම් “සොහොන් හා පිළිම වන්දනය පිළිබඳව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද?” යන්න දැන් විමසා බලමු.

මීට වසර 1400 කට පෙර ඉස්ලාම් දහම මිනිස් සමාජය මධ්‍යයට මුහම්මද් (සල්) තුමාණන් මඟින් ප්‍රකාශ වූ ආරම්භ කාලය සැලකූ විට ඉස්ලාම් දහම එකින් එකට පරස්පර ප්‍රබල ඇදහිලි මත පදනම් වූ ජන සමාජ දෙකක් හමුවේ මේ දහම් ප්‍රචාරය කරන්නට සිදු විය. ඒ මක්කාව මුල්කරගත් පිළිම වන්දනය තුල ගිලී ගිය සමාජය හා මදීනාව මුල්කරගත් සොහොන් වන්දනය තුල ගිලී ගිය සමාජයයි. මේ ආකාරයේ ප්‍රබල මිත්‍යා විශ්වාස දෙකකට එරෙහිව ක්‍රියා කළ ඉස්ලාම් දහමේ ආදර්ශයන් පදනම් කරගෙන එවන් වූ පිලිම වන්දනය හා සොහොන් වන්දනය පවතින අප රට තුල මෙම විෂය පිළිබඳව තරමක් ගැඹුරින් කථා කිරීම අත්‍යාවශ්‍ය කාරණයකි. විශේෂයෙන් ‘ගලේබණ්ඩා’ වැනි සොහොන් වන්දනය පවතින සමාජයක එය කාලීන අවශ්‍යතාවයකි.

මුහම්මද් (සල්) තුමාණන් මක්කාවේ සිට (හිජ්රත් කොට) මදීනාවට පලා ගොස් පසුකාලීනව මක්කාවට නැවත පැමිණ කව්බාව (ශුද්ධ වූ දේවස්ථානය) තමා යටතට ගෙන එහි ඇතුල් වූ විට එය තුල දිනකට එක් පිළිමයක් ලෙස සෑම දිනයක් සඳහාම නිර්මාණය කර තිබූ පිළිමයන් විශාල සංඛ්‍යාවක් දක්නට ලැබුණි. එහි ඉබ්බ්‍රාහීම් (අලෛ), (ඔහුගේ පුතු) ඉස්මායිල් (අලෛ) (මේ දෙදෙනා මුහම්මද් (සල්) තුමාණන්ට වසර දහස් ගණනකට පෙර ජීවත් වූ දේව වක්තෘවරුන් වේ) යන අයගේ නමින් පවා පිළිමයන් අඹා තිබූ බවට හදීසයන් හි සඳහන් වේ. මෙහි අවාසනාව කොතරම්ද? යන්න පවසනවා නම් මේ ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමාණන් තම සමාජය තුල පිලිම වන්දනයට එරෙහිව දැඩි ලෙස ක්‍රියාකල වක්තෘවරයෙකි. ඒ වෙනුවෙන් එතුමාණන් කළ මෙහෙවර ශුද්ධ වූ කුර්ආනයේ බොහෝ ස්ථානවල දීර්ඝ ලෙස විස්තර කරයි.

ඉහත ආකාරයට පිළිම වන්දනයට එරෙහිව ක්‍රියා කළ එතුමාණන් පසුකාලීනව පිළිමයක් ලෙස (මක්කා වාසී) ජනතා වන්දනාමානවලට භාජනය වුයේ නම් එම මක්කාවාසීන් කොතරම් අනවබෝධයෙන් ක්‍රියාකොට තිබෙනවා ද? යන්නත්, එම සමාජයේ පිළිම වන්දනය කොතරම් ජනප්‍රිය කාරණයක් වී තිබුණාද යන්නත් අවබෝධ කරගැනීම ඔබට අපහසු නොවනු ඇත. විශේෂයෙන් ශ්‍රී ලාංකීය බහුතරයක් වන බෞද්ධ ප්‍රජාවට ද මේ සම්බන්ධයෙන් කිසියම් ආකාරයක හොද අත්දැකීමක් ඇත. එනම් මීට වසර 2600 කට පමණ පෙර මිත්‍යාවෙන් හා පාරම්පරික ඇඳහිලිවලින් ජනයා මුදවාගෙන නිවන් මඟ පෙන්වීමට පැමිණි ගෞතම බුදුන් අද වනවිට බෞද්ධ ජනයාගේ භාරහාර පුදපූජා සිදුවන බුදු පිළිමයක් බවට පත්ව තිබීම මා ඉහත පැවසූ සමාජ තත්වය ශ්‍රී ලාංකීය ප්‍රජාවට හොදින් අවබෝධ කරගත හැකි සරල අවස්ථාවකි. මෙලෙස ඇඹුණු පිලිම හමුවේ විවිධ ඇඳහිලි හා ප්‍රාර්ථනයන් අද මෙන්ම එදා සමාජයේ ද සිදු වූ අතර මෙය ඉස්ලාමීය ඉගෙන්වීම අනුව “ෂිර්ක්” හෙවත් සමාන කිරීම (මහා පාපයක්) ලෙස සැලකේ. දෙවියන් වෙනුවෙන් කළ යුතු වන්දනාමාන හා ප්‍රාර්ථනා දේව මැවීමන් හමුවේ තැබීම ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව මහා පාපයකි. එම හේතුව නිසා අතීත (ඉස්ලාමීය ආරම්භක) සමාජයේ ක්‍රියාකලාපයන් පදනම් කරගෙන ඒ අනුව එවකට සමාජය වැඳුම් පිඳුම් හා භාරහාර කළ එම පිළිම වන්දනය සම්බන්ධයෙන් අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනය මඟින් මිනිස් සමාජය අවවාද කොට බොහෝ වාක්‍යයන් පහල කරන ලදී. එම වාක්‍යයන් මෙහි පෙලගසන්නේ නම් මෙම ලිපිය තුල ඒ සඳහාම පිටු ගණනාවක් වෙන් කිරීමට සිදුවනු ඇත. කෙසේ වෙතත් එම වාක්‍යයන් අතුරින් මාගේ දැඩි ආකර්ශනයට ලක් වූ වාක්‍යයන් දෙකක් මෙහි ඔබගේ අවධානයට ඉදිරිපත් කිරීමට අදහස් කරමි. එනම්,

“මිනිසුනි! ඔබලා හට (අල්ලාහ් වන මා) උදාහරණයක් කියනු ලැබේ. එයට (ප්‍රවේසමින්) සවන් දෙනු! අල්ලාහ්ව හැර ඔබලා කැඳවන අය සියල්ල එක් වුවද මැස්සෙක්වත් මැවීමට ඔවුන් ශක්තිවන්ත නොවේ. (එපමණක් නොව) මැස්සා ඔවුන්ගෙන් යමක් ඩැහැගත් විට, එය එම මැස්සාගෙන් මුදවා ගැනීමට ද ඔවුන් ශක්තිවන්ත නොවේ. සොයන්නා හා සොයනු ලබන්නා (යන දෙපලම) දුර්වලයෝ වෙති.”

(ශුද්ධ වූ කුර්ආනය 22:73)

“…ඔවුනට ඇවිඳිය (ගමන් කළ) හැකි පාද තිබෙන්නේ ද?, එසේත් නැත්නම් (යමක්) ඇල්ලීමට හැකි දෑත් තිබෙන්නේ ද?, එසේත් නැත්නම් බැලීමට හැකි දෑස් තිබෙන්නේ ද?, එසේත් නැත්නම් යමක් ඇසීමට හැකි කණ් තිබෙන්නේද?, (නබිවරයාණනි) නුඔ පවසන්න!, නුඹලා (අල්ලාහ් (දෙවියන්ට) සමානයන් තබා වැඳුම් පිඳුම් කරන (නුඹලාගේ) දෙවිවරුන් (සියල්ල) අඬ ගසා මා හට හානියක් කරන්නට කුමන්ත්‍රණයක් කර බලන්න…”

(ශුද්ධ වූ කුර්ආනය 7-195)

ඉහත වාක්‍යයන් දෙක ඔබ විවෘත මනසින් හා බුද්ධිමත් අයුරින් තරමක් ගැඹුරින් විමසා බැලුවේ නම්, එහි පහසුවෙන් අවබෝධ කරගත හැකි බොහෝ සත්‍යයන් අන්තර්ගතව පවතින බව පැහැදිලි ලෙස වටහාගත හැකි වනු ඇත. වර්තමානයේ මෙන්ම මිනිසා විසින් නිර්මාණය කරන ලද පිළිම හමුවේ ප්‍රාර්ථනා හා භාරහාර සිදු කිරීම අතීතයේ එවකට පැවති සමාජයේ ද සිරිතක්ව පැවතුණි. එවන් වූ පිළිම වන්දනයේ නිරත වන අඥාන සමාජයට පවසන ඉහත වාක්‍යයන් දෙක ඉතා වැදගත් වේ. තමන්ගේ භාරහාර විවිධ පුරාවෘතයන් පදනම් කරගත් පිළිම හමුවේ තබා බලාහිඳින පිරිසගෙන් අල්ලාහ් (දෙවියන්) ඉහත 22-73 වාක්‍යයෙන් විමසන්නේ නුඹලා වදින ඒ පිරිස් සියල්ල ඒකරාශි වුවද මැස්සෙක් තරම් කුඩා ජීවියකු හෝ මැවීමට හැකිවේ ද? යන්නයි. එසේ විමසන දෙවියන් එතැනින් නතර නොවී එම හැකියාව තවත් සරල කොට “අඩුම තරමින් මැස්සෙක් ඔවුන්ගෙන් යමක් ඩැහැගත් විට, එය ඔවුනට මැස්සාගෙන් මුදවා ගැනීමට හැකි ද?” යනුවෙන් විමසයි. දිනපතා වැස්සට තෙමී අව්වට වේලෙන සත්ව අසූචිවලින් නැහැවෙන මෙවැනි පිළිම අපි රටේ ඕනෑතරම් දකින්නෙමු. තමාව තමන්ට ආරක්ෂා කළ නොහැකි මේ දෙවිවරුන් ජනතා ප්‍රාර්ථනයන් කෙලෙස ඉටුකරාවි ද?. යන්න බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතුම ය. එපමණක් නොව ඉහත ඊළඟ වාක්‍යයෙන් එනම් 7-195 වාක්‍යයෙන් අල්ලාහ් (දෙවියන්) විමසන කාරණය තවත් වැදගත්ය. අප සමාජයේ මනුෂ්‍ය වෙස්ගත් හා විවිධ හැඩරුවින් යුත් දේව රූපයන් හා ශාස්තෘවරුන්ගේ පිළිම දකින්නෙමු. මා ඉහතින් සඳහන් කළා සේ ඒවා හමුවේ සිදුවන භාරහාර ද අඩුවක් නොමැතිව ශ්‍රී ලාංකීය සමාජයේ දකින්නෙමු. මෙලෙස මිත්‍යා දෘෂ්ඨිකව වැඳුම් පිඳුම් කරන සමාජයක් දෙස බලා අල්ලාහ් (දෙවියන්) මෙසේ ප්‍රශ්න නඟයි. “ඔවුනට ගමන් කළ හැකි පාද තිබෙන්නේ ද?” ඉහත පිළිමවලට පාද තිබෙන බව අප දකින්නෙමු. නමුත් අල්ලාහ් (දෙවියන්) විමසා සිටින්නේ ඔවුනට ඇවිදින්නට පුළුවන් පාද තිබෙනවා ද? යනුවෙනි. මෙවැනි ප්‍රශ්න නැඟීමක් තුලින් ජනතාව බුද්ධිමත් ආකාරයට සිතීමට ඉස්ලාම් කොතරම් දුරකට උනන්දු කරනවා ද? යන්න වටහා ගැනීම අපහසු නොවේ. පාදය පමණක් නොව අත්, දෑස්, කණ්… යනාදීය එකින් එක විමසීම තුල මේවා පිළිබඳව එහි අනුගාමිකයන් කොතරම් දුරකට සැලකිලීමත් විය යුතු ද? යන්න ඉස්ලාම් අපේක්ෂා කරනවා ද යන්න පැහැදිලි වනවා නොවේ ද?

මේ ආකාරයට පිළිම වන්දනයට එරෙහිව ඉස්ලාම් ප්‍රචාරණ කටයුතු සිදු කරන විට පිළිම වන්දනවල නිරතව සිටි පිරිස් ද තමන් කරන ක්‍රියාවන් සාධාරණීකරණය කිරීම පිණිස විවිධ තර්ක හා පැහැදිලි කිරීමන් ද ඉදිරිපත් කරයි. එම තර්කයන් මොනවාද? යන්නත් එහි වලංගුභාවය කොපමණ ද? යන්නත් මේ ලිපියෙහි අවසාන අදියරෙහි විමසා බලන අතර මේ පිළිම වන්දනයට තරමක් දුරකට හෝ සමානකම් පවතින සොහොන් වන්දනය පිළිබඳව ද මීළඟට අවධානය යොමු කිරීමට අදහස් කරමි.

සොහොන් වන්දනය

අද වන විට මුස්ලීම් සමාජයෙන් පිළිම වන්දනය සම්පූර්ණයෙන් අතු ගා දැමීමට හැකි වී තිබුණත්, “සියාරම්” හෙවත් සොහොන් වන්දනය එලෙස මුස්ලීම් සමාජයෙන් අතු ගා දැමීමට තවම හැකි වී නැත. මුහම්මද් (සල්) තුමාණන් විසින් ‍පිළිම වන්දනය හා සොහොන් වන්දනය කරන ලද මුස්ලීම් සමාජය එදා සම්පූර්ණයෙන් මුදවා ගත්තද මුස්ලීම් ජනතාවට ආගමික ඉගෙන්වීමන් පිළිබඳ තිබූ අවම දැනුම හා වැරදි මඟපෙන්වීම් නිසා අද වන විට සොහොන් වන්දනය ඉස්ලාම් නමින්ම මුස්ලීම් සමාජය තුල නැවත ක්‍රියාත්මක වෙමින් පවතී. එයට ඉහත මා සඳහන්  කළ “ගලේබණ්ඩා” සොහොනද හොද නිදසුනකි. මෙය කොතරම් අවාසනාවන්ත ලෙස මුස්ලීම් සමාජය තුල මුල්බැස තිබෙනවා ද? යන්න පවසනවා නම් අද වන විට ශ්‍රී ලංකාව හා ඉන්දියාව වැනි රටවල සෑම පල්ලියක්ම මුල්කරගත් සොහොන් කොතක් දක්නට ලැබේ. එසේ සොහොන් කොත් ඉදිකරගෙන එම සොහොන් පසුබිම් කරගෙන විවිධ පුරාවෘත නිර්මාණය කරගෙන එහි හාස්කම් බොහෝමයක් පවතින බවට ප්‍රචාරණයන් සිදු කරමින් මෙම සොහොන් වන්දනය ඉස්ලාම් නමින් මුස්ලීම් සමාජයේ ක්‍රියාත්මක වෙමින් පවතී. කවදත් හාස්කම් පසුපස හඹා යාමට කැමැත්තක් දක්වන නූගත් ජනතාව “මේවාත් ඉස්ලාම්” යයි පිළිගෙන එම කාර්යය තුල මංමුලා වී ජීවත් වෙති. එයට ඉහත “ගලේබණ්ඩා” සොහොන පමණක් නොව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය “දෙවටගහ” මුස්ලීම් දේවස්ථානයේ පිහිටි සොහොනද හොදම නිදසුනකි. මෙලෙස සොහොන් මුල්කරගෙන ඔවුන්ගෙන් භාරහාර හා ප්‍රාර්ථනාවන් සිදු කිරීම ඉස්ලාම් විරෝධි ක්‍රියාවන් යයි ප්‍රචාරණයන් මුස්ලීම් සමාජයේ සිදුවන විට අද මෙන්ම එදා නබිතුමාණන්ගේ සමාජයේ ද තම ක්‍රියාව සාධාරණීකරනය කරමින් විවිධ තර්ක විතර්ක ඉදිරිපත් විම දක්නට ලැබුණි. ඒවා පිලිබඳව ශුද්ධ වූ කුර්ආනය මඟින් අල්ලාහ් (දෙවියන්) ද ඔහුගේ රසූල්වරයා වන මුහම්මද් (සල්) තුමාණන් හදීස් මඟින් පිළිතුරු සපයා දී ඇත. මේවා පිළිබදව නිසි අවබෝධයක් නොමැති ජනතාව සොහොන් වන්දනය නම් මහා පාපය වූ (“ෂිර්ක්”) තුල කොටු වී සිටීම ඉතා අවාසනාවන්ත ඛේදවාචකයකි.

මෙම කාරණය එදා සමාජයේ එනම් නබිතුමාණන් ජීවත් වූ සමාජයේ කොතරම් දරුණු ලෙස ක්‍රියාත්මක වී පැවතුණා ද යන්න අවබෝධ කරගැනීම සදහා ඔබගේ අවධානයට සුවිශේෂි හදීසයක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි. මෙහිදී හදීසයක් සුවිශේෂි යැයි පැවසිය හැකි ද? යන්න කුතුහලය කිසියම් කෙනෙකු හට ඇති විය හැක. මා එම වාදය තුලට නොයා මේ හදීසය සුවිශේෂී යයි පැවසීමට මුල් වූ කාරණය පමණක් පවසමින් මාතෘකාවට යොමු වෙමි. එනම් මුහම්මද් (සල්) තුමාණන්ගේ අවසාන කාලයේ මරණයට පත්වීමට දින කිහිපයකට පෙර (අසනීප තත්වයෙන් පසුවන විට) විටින් විට පැවසූ වදන් කිහිපයක් හදීස් ග්‍රන්ථයන් හි සඳහන් වේ. ඒ අනුව අයිෂා (රලි) තුමිය (නබිතුමාණන්ගේ බිරිද – නබිතුමාණන් තම හුස්ම හෙළුවේ ඇයගේ උකුලේදීය.) දන්වන හදීසයක් බුහාරී නම් හදීස් මුලාශ්‍රයේ මෙසේ සඳහන් වේ.

“අල්ලාහ් විසින් යුදෙව්වන්ට හා ක‍්‍රිස්තියාණියින්ට ශාප කළ සේක. (මන්ද) ඔවුන් තම නබිවරුන්ගේ කබ්ර්යන් (මිනී වළවල්) නැමදුම් කරන ස්ථාන බවට පත්කර ගත්හ” මෙසේ නබිතුමාණන් පැවසූ බව දන්වන ආයිෂා (රලි) තුමිය තවදුරටත් මෙසේද පවසන ලදී. එනම් “නබි තුමා මෙසේ අවවාද නොකළා නම්, නබි තුමාගේ සොහොනද මිනිසුන් ඉදිරියේ උස් කර ඉදිවන්නට තිබුණි. එතුමාණන්ගේ සොහොනද නැමදුම් කරන ස්ථානයක් බවට පත් වේ යැයි එතුමාණෝ බියට පත් වූහ”

යනුවෙන් ද පවසන ලදී. මෙම හදීසයේ සුවිශේෂි බව දැන් ඔබට පැහැදිලි වනු ඇත. එනම් මෙය නබිතුමාණන් අවසාන කාලයේ මුමුණමින් සිට එසේම අනාගත සමාජය පිළිබඳව එතුමාණන් බියට පත් වූ කාරණයක් බව ඉහත හදීසයෙන් පැහැදිලිය. ඒ අනුව මෙම ප්‍රකාශය නබිතුමාණන්ගේ අවසාන කැමැත්ත යන්න ද මනාව පැහැදිලි වේ. මිනිසෙකු තම අවසාන මොහොතේ කථා කරන්නේ තමාට, තම පවුලට හෝ සමාජයට වැදගත් යයි සැලකෙන කාරණයන් පමණි. ඒ අනුව නබිතුමාණන්ගේ මෙම උපදේශාත්මක හදීසය සුවිශේෂි යයි පැවසීම වරදක් නොවේ යයි මා සිතමි. දැන් ඉහත හදීසය වෙත කෙටි අවධානයක් යොමු කලේනම්, එහි මුහම්මද් (සල්) තුමාණන් පවසන්නේ “අල්ලාහ් යුදෙව්වන්ට හා ක‍්‍රිස්තියාණියින්ට ශාප කළ සේක…” යනුවෙනි. ඒ තමන් වෙත පැමිණි නබිවරුන් (අල්ලාහ්ගේ වක්තෘවරුන්) මිය ගියේ නම් එම මිනීවල ඔවුන් පූජනීය ස්ථානයක් කර ගැනීම නිසා ය. (නබිතුමාණන් බියවුයේ ද තමන්ටත් එම ඉරණම උදාකරාවි දෝ යන කාරණය නිසා බව ඉහත හදීසයෙන් අපි අවබෝධ කරගත්තෙමු.) සැබැවින්ම මෙම තත්වය අදටත් යුදෙව්වරුන් අතර දක්නට ඇත. ඔවුන් අදටත් තම නබිවරුන්ගේ සොහොන් යයි ඉදි කිරීමන් ගොඩනඟා ගෙන එයට වන්දනා මාන සිදුකිරීම දක්නට ලැබේ.

ඉහත පිංතූරවලට අමතරව අද වනවිට ලොවපුරා විවිධ ප්‍රදේශවල නබිවරුන් (අල්ලාහ්ගේ වක්තෘවරුන්)ගේ යයි පවසා ගනිමින් ඉදිකරන ලද සොහොන් ගණනාවක්ම දක්නට ලැබෙන අතර එහි ලොව ප්‍රථම මිනිසා වන ආදම් (අලෛ) තුමාගේ බිරිද හව්වා මව්තුමියගේ සොහොන මෙන්ම එතුමාගේ පුතාගේ සොහොන ද පැවතීම මෙහි ප්‍රෝඩාව මනාව පිළිඹිබු කරන සාධකයකි. කිසිදු ආගමික මූලාශ්‍රයක සඳහන් නොවන ඉතිහාස පවා නිසි ලෙස සටහන් නොවූ වකවානුවක මියගිය පුද්ගලයන් වෙනුවෙන් මෙලෙස සොහොන් කොත් ඉදි කොට පුද පූජා සිදුකිරීම එම පිරිසගේ අනවබෝධය මනාව පිළිඹිබු කිරීමකි. මෙලෙස ලොව පුරා තිබෙන නබිවරුන්ගේ යයි ජනතාව විශ්වාස කරන මනක්කල්පිත සොහොන් ඉදිකිරීම් කිහිපයක් ඔබගේ අවධානයට යොමු කරන්නේ නම්,

ඉහත වීඩියෝව ඔබ හොදින් නැරඹුවේ නම්, එය තුල බොහෝ සත්‍යයන් ඔබටම පහසුවෙන් අවබෝධ කරගත හැකි වනු ඇත. කෙසේ වෙතත් යහමඟ අඩවිය විෂයට අදාල ආගමික කරුණුවලින් පරිභාහිර කරුණු පිළිබඳව ද පාඨක ඔබට කිසියම් අවබෝධයක් ලබා දීමට සැමවිට උත්සාහ කරන අඩවියක් ලෙස මෙවැනි කරුණු ඉදිරිපත් කළත් අපගේ මාතෘකාවට එය අදාල නොවන නිසා නැවතත් මාතෘකාවට යොමු වුයේ නම්, ඉහත හදීසයේ සඳහන් ආකාරයට අතීතයේ යුදෙව්වරුන් හා ක්‍රිස්තියාණිවරුන් අතරට පමණක් සීමා වී පැවති සොහොන් වන්දනය අද වනවිට (නබිතුමාණන් බියට පත්වූ ආකාරයටම) මුස්ලිම් සමාජය තුලට ද මෙම සොහොන් වන්දනය කා වැදී ඇත. මෙහි අවාසනාවන්තකමේ තරම වන්නේ අද වන විට අල්ලාහ් (දෙවියන්) විසින් තම වක්තෘවරයා හෙවත් “අව්ලියා” (දෙවියන් හමුවේ උතුම් වූ මනුෂ්‍ය)වරුන් යයි පැවසූ මිනිසුන් නොව මීට දශක කිහිපයකට පෙර විසු සමහරක් මිනිසුන් “අව්ලියාවරුන්” යයි සලකා ඔවුන් නමින් විවිධ පුරාවෘත ගොඩනඟමින් ඔවුන් මියගිය විට ඔවුන් නමින් සොහොත් කොත් නිර්මාණය කිරීමයි. මෙයට හොද නිදසුනක් ලෙස ඉහත “ගලේබණ්ඩා” සොහොන සඳහන් කළ හැක. පසුකාලීනව ගලේබණ්ඩා වූ ඔහු අතීතයේ ශ්‍රී ලංකාවේ රජකම් කළ බුවනෙකබාහු රජුගේ (ක්‍රි ව 1272 – 1283)) එකම පුත් “වස්තු හිමි”ය. ඔහුගේ මව ඉරාන මුස්ලීම් කාන්තාවකි (යකඩ දෝලිය යනුවෙන් ඇය හැදින්වීය). ඒ අනුව මෙම වස්තුහිමි ට මුස්ලීම් ජන සමාජයේ සම්භවයක් පැවතුනත් එයින් ඔහු මුස්ලීම් යන්න පැවසීමට හෝ මුස්ලීම් නොවේ යන්න පැවසීමට තරම් සාධක හමු නොවේ. කෙසේ වෙතත් ඔහු කිසියම් පිරිසක් විසින් ගලෙකින් පහලට තල්ලු කොට ඝාතනයට ලක් කරන බව “මහා වංශයේ” පවා සඳහන් වන බවට “ශ්‍රී ලාංකීය යෝනකවරුන්” නම් (දෙමළ භාෂා) කෘතියෙහි 106 වන පිටුවෙහි සඳහන් වේ. මොහුගේ මරණය කුමන ස්ථානයක වළලනු ලැබුවා ද? යන්න පිළිබඳව පැහැදිලි සාක්ෂි කිසිවක් මා හට අනාවරණය කර ගැනීමට නොහැකි විය. කෙසේ වෙතත් ඔහුගේ මරණයෙන් පසු ඔහු භූතයකු වී මතු වූ බවත් තමාව ඝාතනය කළ පිරිස් පලිගත් බවත් ඔහුගේ නමින් පුරාවෘතයන් ගොඩනඟා ගෙන අද වන විට ඔහු “ගලේබණ්ඩා” සොහොන බවට පත්ව ඇත. මේ වර්තමාන එක් සොහොනකට පසුබිම් වූ කථාවක් පමණි. මේ ආකාරයට විවිධ පුරාවෘතයන් මේ සොහොන්වලට පසුබිම් වී ඇති බව ඔබට එම සොහොන් හා සම්බන්ධ වී කටයුතු කරන පිරිසගෙන් අසා දැනගත හැක. කෙසේ වෙතත් මේ පිළිබඳව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න විමසා බැලුවේ නම්,

ඉහත හදීසයට අනුව නබිවරුන්ගේ සොහොන් ඉදි කිරීම ඉස්ලාම් විරෝධි ක්‍රියාවක් නම් ඊට පසුකාලීන ජීවත් වූ (සමහරක් විට) නම පමණක් මුස්ලීම් වූ පමණින් ඔහු පසුකාලීනව “අව්ලියාවරුන්” වූ මේ මිනිසුන් පිළිබඳව කිසිවක් සඳහන් කිරීමට අවශ්‍ය වේද?. මේවා තුලින් වර්තමාන මුස්ලිම් සමාජය කොතරම් ආගමික අනවබෝධයෙන් ක්‍රියා කරනවා ද? යන්න වටහා ගැනීම පහසුවේ ද?. මෙහි බැරෑරුම්කම මුස්ලිම් සමාජයේ අවධානයට යොමු කිරීම පිණිස මුහම්මද් (සල්) තුමාණන් පවසන ලද තවත් හදීස් කිහිපයක් ඉදිරිපත් කිරීමට අදහස් කරමි. එනම්,

“සොහොන් බිම් හා වැසිකිලි හැර මුළු පොලොව පුරාම (මාගේ ජන සමාජයට) මස්ජිද් (නැමදුමට සුදුසු ස්ථාන) වේ.”

(මූලාශ්‍ර ග්‍රන්ථය – අබූ දාවූද්)

“තවද, ඔබලාගේ නිවෙස්වල සලාතය ඉටු කරන්න, ඒවා සොහොන් බිම් බවට පත් නොකරන්න.”

(මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, මුස්ලිම්)

ඉහත හදීසයන් මොහොතක් බුද්ධිමත් ලෙස විමසා බලන්න. මුහම්මද් (සල්) තුමාණන්ගේ ජන සමුහයට පමණක් දෙවියන් විසින් ලබා දුන් සුවිශේෂි වූ වරප්‍රසාදයක් තමා භූමියෙහි ඕනෑම ස්ථානයක දෙවියන් වැඳුම් පිඳුම් කිරීම. මෙම වරප්‍රසාදය මීට පෙර කිසිදු ජන සමූහයකට ලබා දී නොතිබුණි. නමුත් මෙම වරප්‍රසාදය අල්ලාහ් (දෙවියන්) ලබා දෙන්නේ කොන්දේසි දෙකකට යටත්වය. ඒ සොහොන් ඇති තැන්වල හා වැසිකිලි ඇති තැන්වල එය ඉටු නොකරන්න යන කොන්දේසිය මතය. නමුත් අද වනවිට මුස්ලීම් සමාජය සිදු කරමින් ඇත්තේ කුමක්ද? සෑම පල්ලියක් මුල්කරගෙනම සොහොනක් නිර්මාණය කරගෙන ඇත. අද අල්ලාහ් (දෙවියන්) උදෙසා වන්දනයන් සිදු කරන්නේ මෙම සොහොන් සමීපයේ හිඳය. එය කොතරම් භයානක අන්දමින් සිදුවෙනවා ද? යයි පවසනවා නම් සමහරක් දේවස්ථානවල මධ්‍යයෙහි මෙම සොහොන් කොත් පිහිටුවාගෙන ඇත. එයට නිදසුනක් ලෙස බලපිටිය මුස්ලීම් දේවස්ථානය සඳහන් කළ හැක. මෙවැනි දේවස්ථාන තුල අල්ලාහ් (දෙවියන්) උදෙසා වන්දනයන් සිදුකිරීමට හැකි ද? යන්න මුස්ලීම් සමාජය දෙවරක් නොව අනන්තවාරයක් සිතා බැලිය යුතු ය. මෙලෙස ඉස්ලාම් විරෝධි ක්‍රියාවන් තුල ඉස්ලාම් නමින් නියැලෙමින් මිත්‍යා පුරාවෘතයන් එම සොහොන්වලට ආරෑඪ කරමින් කටයුතු කරන විට ඉස්ලාමීය ඉගෙන්වීමන් පිළිබඳව නිසි අවබෝධයක් නොමැති මුස්ලීම් නොවන සහෝදර ජනතාව තම ගැටළුවලට පිහිට පතාගෙන මෙම සොහොන් වෙත ඇදී එයි. එය කොතරම්ද? යන්න පවසනවා නම් මුස්ලීම් ජනතාවට වඩා දැඩි විශ්වාසයන් හි පසුවන්නේ මෙම මුස්ලීම් නොවන ජනතාවයි. එවැනි ජනප්‍රිය ස්ථාන ලෙස මා ඉහත සඳහන් කුරුණෑගල පිහිටි ගලේබණ්ඩා සොහොන, කොළඹ පිහිටී දෙවටගහ සොහොන, හම්බන්තොට පිහිටි දර්ම්අප්පා සොහොන… යනාදිය සඳහන් කළ හැක. මෙහි හාස්‍ය ජනක කාරණයක් මා සඳහන් කරනවා නම් හම්බන්තොට පිහිටි දර්මඅප්පා සොහොන වන්දනය කිරීමේදී එහි පඬුරු ලෙස ජනතාව ලබා දෙන්නේ සුරුට්ටු මිටියක් හා ගිනි පෙට්ටියකි. ඉස්ලාම් දුම්වැටි භාවිතය කොතරම් දැඩි ලෙස හෙලා දකින දහමක් ද? (මෙය මෙම අඩවිය තුල මීට ඉහත සාකච්ඡා කොට ඇත). එසේ තිබිය දී ඔහු (දර්මඅප්පා) වෙනුවෙන් දුම්වැටි පූජා කරනවා නම් එය කොතරම් අනවබෝධයක් ද? යන්න වෙනම කාරණයකි. එසේ එම දර්මඅප්පා ජනතාවගෙන් දුම්වැටි බලාපොරොත්තු වෙනවා යයි විශ්වාස කරනවා නම් ඔහු අව්ලියාවරයෙකු (දෙවියන් හමුවේ ශ්‍රේෂ්ඨයකු) යනුවෙන් විශ්වාස කළ හැකි ද? මේ අනුව මේ සොහොන් වන්දනයට පසුබිම් වී ඇත්තේ මිත්‍යාවන් හා පුරාවෘතයන් පමණක්ම බව නැවතත් අවධාරණය කරමි. මෙම කොටසේ අවසානය වශයෙන් මුහම්මද් (සල්) තුමාණන් පවසන ලද හදීසයක් මුස්ලීම් සමාජයේ අවධානයට යොමු කිරීමට අදහස් කරමි. එනම්,

අල්ලාහ් (දෙවියන්)ගේ වක්තෘවරයාණන් (මුහම්මද් (සල්) තුමාණන්) තම ජනයාට “සොහොන්” නැමදුම් කරන ස්ථාන බවට පත්කර ගැනීම පිළිබඳව මෙලෙස අවවාද කළහ.

“…පරිස්සම් වන්න. ඔබලාට පෙර ජීවත් වූ අය ඔවුන්ගේ දේවවක්තෘවරුන් (නබිවරුන්)ගේ සොහොන් නැමදුම් කරන ස්ථාන බවට පත්කර ගත්හ. එලෙස සොහොන් නැමදුම් කරන ස්ථාන බවට පත්කර නොගන්න. නියතවශයෙන්ම මම ඔබලාට එසේ කිරීම තහනම් කරමි.”

(මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලිම්)

තවත් හදීසයක…

“…එතුමාණන් තවදුරටත් මෙසේ ප‍්‍රකාශ කළහ, ‘කියාමත් (මරණින් මතු උදාවන විනිශ්චය) දිනයේ මිනිසුන්ගෙන් නරකම අය වන්නේ තම නබිවරුන්ගේ සොහොන් නැමදුම් කරන ස්ථාන බවට පත්කරගත් පිරිස.'”

(මූලාශ්‍ර ග‍්‍රන්ථය – අහ්මද්)

අවසාන අදියර

ඉහත ආකාරයට මුස්ලීම් සමාජයේ මිත්‍යාවන් ආගමික ඉගෙන්වීමන් පදනම් කරගෙන පහදන විට සමහරක් පිරිස් එම කාරණයන්ට අවධානය යොමු නොකොට හිතුවක්කාර ලෙස තමන් කරන ක්‍රියාව සාධාරණීකරණය කිරීම පිණිස විවිධ වාද තර්ක විතර්ක ඉදිරිපත් කරයි. ඒ පිළිබඳව ද සමාජය කිසියම් අවබෝධයකින් ක්‍රියා කිරීම තුල මෙවැනි පදනම් විරහිත වාදයන්ට හසුනොවී ජීවත්වීමට මුස්ලීම්වරුන්හට හැකි වන නිසා එවන් වූ වාදයන් කිහිපයක් වෙතද මෙහිදී අවධානය යොමු කිරීමට අදහස් කරමි. මෙහිදී පලමුවෙන් කිව යුතු කාරණයක් ඇත. එනම් “සොහොනක් වෙත මුස්ලීම්වරයකු යාම ඉස්ලාම් තහනම් කර නැත” යන්නයි. ඉස්ලාම් එය මිනිස් සමාජයට උනන්දු කරවන ආකාරයේ හදීසයන් බොහෝමයක් දක්නට ඇත. නිදසුනක් ලෙස වරක් මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදි,

“…නුඹලා සොහොන් වෙත යන්න (සියාරත් කරන්න). මන්ද එය නුඹලාට මරණය (හා විනිශ්චය දිනය) සිහි කරනු ඇත”

(මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි)

මේ ආකාරයට සොහොන් වෙත යාම මිනිස් සමාජයට උනන්දු කරවන ඉස්ලාම් එවැනි ස්ථානයන්ට ගිය විට පැවසිය යුතු ප්‍රාර්ථනයක් ද පෙන්වා දේ. එම ප්‍රාර්ථනයේ අරුථ මෙසේ ය.

“සොහොන් ගැඹ තුල සිටිනවුණි! නුඹලාට ශාන්තිය (සලාමය) අත් වේවා!. අල්ලාහ් (දෙවියන්) නුඹලාවත් අපවත් සමා කරත්වා!, නුඹලා අපට පෙර ගියත් (නියත වශයෙන්ම) අපිත් පසුපසින් එන්නෙමු”

(මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි)

ඉහත හදීසයන් දෙක හොදින් විමසා බැලුවේ නම් සොහොන් වෙත යාම ඉස්ලාම් කොතරම් උනන්දු කරනවා ද? යන්නත්, ඒ තුලින් කුමක් අපේක්ෂා කරනවා ද? යන්නත් මනාව පැහැදිලි වේ. මනුෂ්‍යාගේ වර්තමාන අරාජිකත්වයට ප්‍රධාන හේතුව ඔහු මරණය අමතක කොට ජීවත් වීමයි. දිනක ඔහු නියත වශයෙන්ම මුහුණපාන මරණය පිළිබඳව හැඟීමකින් ක්‍රියා කළා නම් මේ ලෝකය මීට වඩා සුන්දර ස්ථානයක් වන්නට තිබුණි. එවන් වූ මරණය සිහි කිරීම පිණිසත් තමන් දිනක මිය යන බව ආවර්ජනය කරනු පිණිසත් ඉස්ලාම් මුස්ලීම් සමාජයට “සියාරත්” කරන (සොහොන් බිම් වෙත යන) ලෙස උපදේශනය කරයි. එහිදී ඉස්ලාම් පෙන්වා දෙන්නේ තමන්ටත් සොහොන් ගැඹ තුල සිටින මියගිය පුද්ගලයාටත් පව් සමා කරන ලෙස අල්ලාහ් (දෙවියන්)ගෙන් ඉල්ලන ලෙසයි. නමුත් මෙම කාරණය නිසි ලෙස වටහා නොගත් සමාජය සිදු කරන්නේ තමන්ට අවශ්‍ය දෑ හා තමන්ට ඉටුකරවා ගැනීමට අවශ්‍ය දෑ එම සොහොනින් ප්‍රාර්ථනා කිරීමයි. (මෙය ඉහත ගලේබණ්ඩා වීඩියෝව මඟින්ද ඔබට දක්නට ලැබේ) මා මෙසේ කරුණු පවසන විට මුස්ලීම් සමාජයේ සමහරක් පිරිස් පවසන තර්කයක් තමා “අප ඉල්ලන්නේ දෙවියන්ගෙන් තමා. මේ සොහොන්වල ඉන්න ‘අව්ලියාවරුන්’ (දෙවියන්ගේ ආදරයට පාත්‍ර වූ) පිරිස් මඟින් එය කිව්වාම එය දෙවියන්ගෙන් ඔවුන් පහසුවෙන් ඉල්ලා දෙනවා” යනුවෙන් පවසයි. මෙයට සමහරක් පිරිස් නිදසුනක්ද පවසයි. එනම්, “අපිට සෘජුවම ජනාධිපති හමුවෙන්න පුළුවන්ද? බැහැනේ ඉතින් අපි මන්ත්‍රිවරුන් ඇමතිවරුන් මාර්ගයෙන් ජනාධිපති ළඟට යන්න උත්සාහ කරනවානේ. ඒවගේ තමයි මේකත්” යනුවෙන් පවසයි. මෙය බැලූ බැල්මට සාධාරණ වූ තර්කයක් ලෙස පෙනෙන්නට පුළුවන. එය කොතරම් දුරකට සාධාරණ ද යන්න කථා කිරීමට මත්තෙන් ඔබගේ අවධානයට තවත් හදීසයක් ඉදිරිපත් කිරීමට අදහස් කරමි. එනම්,

“වරක් මුහම්මද් (සල්) තුමාණන් ‘දුආව’ (ප‍්‍රාර්ථනාව) ද නැමදුමකි.’ යනුවෙන් පවසන ලදී. ඉන් අනතුරුව මෙසේ පාරායනය කර පෙන්වන ලදී. ‘ඔබගේ (අල්ලාහ්) දෙවියන් පවසන සේක. ඔබ මගෙන්ම ඉල්ලන්න, මම ඔබගේ ප‍්‍රාර්ථනාවන්ට පිළිතුරු දෙමි’ යනුවෙන් පවසන ලදී.”

(මූලාශ්‍ර ග්‍රන්ථය – අබූදාවූද්, තිර්මිදී, ඉබ්නු මාජා)

ඉහත හදීසයේ අල්ලාහ් (දෙවියන්) “මගෙන්ම ඉල්ලන්න” යනුවෙන් වන්දනය තමන්ට පමණක්ම සිදුවිය යුතු යන්න අවධාරණය කරයි. එපමණක් නොව “ප්‍රාර්ථනය” යන්න ද වන්දනයක් බවත් එය ඒකීයත්වයෙන් අල්ලාහ්ට පමණක් කලයුතු බවත් ඉහත හදීසයෙන් අවධාරණය කරයි. ඒ අනුව මුස්ලීම් සමාජය සොහොන් වෙත ගොස් ප්‍රාර්ථනා කිරීම භාරහාර කිරීම කොතරම් බරපතල පාපයක්ද? යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. මුස්ලීම්වරුන් වශයෙන් දිනපතා පස්වේල සලාතයේ සූරා ෆාතිහා පාරායනයේ “නුඹටම වැඳුම් පිඳුම් ඉටු කරමි. නුඹගෙන්ම උදව් පතමි.” (ශුද්ධ වූ කුර්ආනයේ 1-4) පවසමින් වෙනත් කෙනෙකුහට වැඳම් පිඳුම් කොට ඔවුන්ගෙන් ප්‍රාර්ථනා කිරීම මොන තරම් අනවබෝධයක් ද? මේ පිරිස් සිදු කරන්නේ අල්ලාහ් (දෙවියන්)ට සොහොන්වල තැන්පත් කර ඇති මියගිය පිරිස් සමාන කිරීමක් නොවේ ද? අල්ලාහ් (දෙවියන්) ඕනෑම පාපයක් සඳහා සමාව දෙන නමුත් ඔහුට සමානව වෙන කිසිවෙකු හෝ කිසිවක් තැබීමේ වරද (මෙය ‘ෂිර්ක්’ නම් වේ) සමා නොකරයි. මෙය ශුද්ධ වූ කුර්ආනයේ (39-65) වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවියන්) නබිතුමාණන් හට මෙසේ අවවාද කරයි.

“(එම්බල මුහම්මද්) ඔබ නැමදුමෙහි වෙනත් කෙනෙකුව අල්ලාහ්ට සමාන කරන්නෙහි නම් (ෂිර්ක්) ඔබගේ කුසල් (සියල්ල) විනාශ වනු ඇත. තවද ඔබ අභාග්‍ය වන්තයන්ගෙන් කෙනෙකු වනු ඇත.” යැයි ඔබටත් ඔබට පෙර සිටී (දේවවක්තෘවරුන් වන) අයටත් දේව පණිවුඩ (වහී) මඟින් දැනුම් දෙන ලදී.”

ඉහත අවවාදය මුහම්මද් (සල්) තුමාණන්ගේ ජන සමූහයට පමණක් නොව ඊට පෙර සමාජවලටත් පහල කොට ඇති බව ඉහත වාක්‍යයෙන් අල්ලාහ් (දෙවියන්) පවසයි. මෙලෙස අවවාද කරන්නට තරම් වූ මහා පාපයක් මුස්ලීම් සමාජයේම සමහරක් සිදු කරමින් එය සාධාරණීකරණය කිරීම සදහා විවිධ තර්ක විතර්ක පැවසීම අවාසනාවන්ත තත්වයකි. එහිදී ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය වෙත දැන් අවධානය යොමු කළේ නම්, ඔවුන් “අප ඉල්ලන්නේ දෙවියන්ගෙන් තමා. මේ සොහොන්වල ඉන්න ‘අව්ලියාවරුන්’ මඟින් එය කිව්වාම එය දෙවියන්ගෙන් ඔවුන් පහසුවෙන් ඉල්ලා දෙනවා” යනුවෙන් පැවසීම වෙත අවධානය යොමු කළේ නම්, මොවුන්ගේ මෙම තර්කය තුල පැහැදිලිවම පෙනෙන කාරණයක් නම් දෙවියන් පිළිබඳව තිබෙන අනවබෝධයයි. දෙවියන් මිනිසාට සාපේක්ෂව බැලීමේ ප්‍රථිපලය තමා මෙවැනි තර්කයන් ඉදිරිපත් වීම. සමාජයේ ප්‍රභූවරයෙකු හමුවීම සදහා විවිධ පුද්ගල නිර්දේශ මෙන්ම බ්‍රෝකර්ලා අවශ්‍ය බව සැබෑවකි. නමුත් අසීමිත ලෙස මිවිසාට ආදරය දක්වන මිනිස් වර්ගයා හට කරුණාව දැක්වීම තමාට තමාම අනිවාර්ය කරගත් අල්ලාහ් (දෙවියන්)ගේ ආදරය කරුණාව හමුවේ මෙලෙස සැක සහිත ලෙස දෙවියන් දෙස බැලීම කොතරම් ප්‍රබල අනවබෝධයක් ද? මෙම අනවබෝධයට ඉස්ලාම් පිළිතුරු දුන්නේ අද ඊයේ නොවේ. මීට වසර 1400 කට ඉහතදී ය. එය ශුද්ධ වූ කුර්ආනයේ 39-3 මඟින් අල්ලාහ් (දෙවියන්) මෙසේ පවසයි. එනම්,

“දැනගනු!, පාරිශුද්ධ වු මෙම දහම අල්ලාහ් (දෙවියන්)ටම හිමි ය. ඔහු හැර (වෙනත් පිරිස්) අව්ලියාවරුන් ලෙස පත්කරගත් අය අල්ලාහ් වෙත අපව ඉතා සමීප කිරීම සඳහා මිස අපි මොවුන්ව නො නමදින්නෙමු” (යැයි පවසති). ඔවුහු මතභේද වූ දෑ ගැන ඔවුන් අතරෙහි අල්ලාහ් විනීශ්චය දෙනු ඇත. අල්ලාහ් (ඔහුව) ප්‍රතික්ෂේප කරන බොරුකාරයා හට ඍජු මාර්ගය නො පෙන්වන්නේ ය.”

ශුද්ධ වූ කුර්ආනය මඟින් අල්ලාහ් (දෙවියන්) පවසන මෙම විග්‍රහයට වඩා කිසිවක් මා පැවසීමට අවශ්‍ය නොවේ යයි සිතමි. ඔවුන්ගේ එම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අල්ලාහ් (දෙවියන්) අවවාද කරන තවත් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් (10-18) ඔබගේ අවධානයට යොමු කිරීමට අදහස් කරමි. එනම්,

“ඔවුහු අල්ලාහ් හැර ඔවුන් හට අයහපතක් හෝ යහපතක් ගෙන නොදෙන දෑ අදහති. තවද ‘ඔවුන් අල්ලාහ් වෙත අප වෙනුවෙන් මැදිහත් වන්නන් ය’ යයි පවසති. ඔබලා අහස්හි හා පොළොවෙහි අල්ලාහ් නොදන්නා දෑ ඔහු(අල්ලාහ්)ට කියා දෙන්නෙහුද? ඔහු පාරිශුද්ධ වන්තයා ය. ඔහු ඔවුන් (ඔහුට) සමාන කරන දෑට වඩා උතුම් ය.”

මේ අනුව මියගිය පුද්ගලයන් “අව්ලියාවරුන්” හෙවත් දෙවියන්ගේ ආදරයට පාත්‍ර වූ පිරිස් යයි පවසමින් ඔවුන් සිටුවා (පිළිම වශයෙන්) තබා හෝ සොහොන් ගැබ් තුල (නිදිකරවා) තබා ඔවුන්ගෙන් ප්‍රාර්ථනා කිරීමට ඉස්ලාම් දහම තුල අවසර නොමැති බව පැහැදිලි ය. ඔවුන් සම්බන්ධයෙන් අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනයේ 7-194 වාක්‍යයෙන් අලංකාර ප්‍රකාශයක් සිදු කරයි. එනම්,

“අල්ලාහ් හැර ඔබලා විසින් කැඳවනු ලබන අය ඔබලා මෙන්ම ගැත්තෝ වෙති. ඔබලා සත්‍යවන්තයන් නම් ඔවුන්ව කැඳවා බලනු…”

මෙලෙස කරුණු පැහැදිලි කරන විට මුස්ලීම් සමාජයේ සමහරක් පිරිස් ආගමික ඉගෙන්වීමන් පසෙක දමා හිතුවක්කාර ලෙස විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරන බව මා ඉහතින් සඳහන් කළෙමි. ඔවුන් ඉදිරිපත් කරන තර්ක අතර තවත් එක් තර්කයක් වන්නේ “මේ ‘අව්ලියාවරුන්’ හට කිසියම් බලයක් පවතින බවත් ඔවුනට සැඟවුණු කරුණු පිළිබඳව කිසියම් ඥානයක් පවතින බවත්ය. ඒ අනුව ඔවුන් මියගියද අපහට පිහිට වීමේ හැකියාව ඔවුන් සතුව පවතී” යන්න ඔවුන්ගේ වාදයයි. මෙම වාදය වෙත අවධානය යොමු කිරීමට මත්තෙන් ශුද්ධ වූ කුර්ආනයේ (7-188) වාක්‍යය වෙත ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. එනම්

“(නබිවරයාණෙනි!) පවසන්න! අල්ලාහ් කැමැති වුවොත් මිස යහපතක් හෝ අයහපතක් මා හට අත් කරගන්නට මට නොහැක. මම ගුප්ත දෑ දැන සිටියෙමි නම් යහපතම අත්කර ගන්නට තිබුණි. කිසිඳු අකරතැබ්බක් (හිරිහැරයක්) මා හට සිදු නොවන ආකාරයට ජීවත් වන්නට තිබුණි. මම විශ්වාස කරන සමූහයකට (මුස්ලීම්වරුන්ට) අවවාද කරන්නෙක් හා ශුභාරංචි දෙන්නෙකු පමණක් මිස නැත”

එසේම තවත් ස්ථානයක එනම් ශුද්ධ වූ කුර්ආනයේ 6-50 මඟින් අල්ලාහ් (දෙවියන්) විසින් මුහම්මද් (සල්) තුමාණන් හට මෙසේ පවසන ලෙස අණ කරයි.

“(නබිවරයාණෙනි!) පවසන්න! අල්ලාහ් (දෙවියන්)ගේ නිධානයන් මා සතු යැයි මම ඔබට නොකියමි. මම ගුප්ත ඥානය නොදනිමි. මම දේවදූතයෙක් (මලක්වරයෙක්) යැයිද ඔබට නොකියමි. මා හට අනාවරණය කරනු ලබන දේ පමණක් මම පිළිපදිමි. (තවදුරටත්) පවසන්න! අන්ධයා හා දසුනෙන් යුක්ත පුද්ගලයා සම වෙයිද? ඔබලා කල්පනා නොකරන්නෙහුද?”

ලොව අව්ලියාවරුන් (අල්ලාහ්ගේ ආදරයට පාත්‍ර වූ ශ්‍රේෂ්ඨ මිනිස්සු) යයි පිරිසක් සිටියේ නම් ඒ සඳහා සුදුසුම පුද්ගලයන් වන්නේ නබිවරුන්ය. එවන් වූ නබිවරයාට පවසන ලෙස අල්ලාහ් අණ කරන්නේ කුමක්ද? නබිතුමාණන් ජීවිතයේ නොයෙක් අවස්ථාවල විවිධ දුෂ්කරතාවයන්ට හා හිරිහැරයන්ට ගොදුරු වී ඇත. සමහරක් දිනවල කුසට එක් වේලක ආහාර පවා නොමැතිව සිටි කාලයන් ඇත. මරණ තර්ජන එල්ල වූ වාර අනන්තය. යහපත් අපේක්ෂාවෙන් ක්‍රියා කොට අයහපත් සිදු වූ අවස්ථාවන්ද එතුමාගේ ජීවිතයේ ඇත. මේ ජීවිතය තුලින් මිනිස් සමාජයට ලබා දෙන ආදර්ශය අවබෝධ කරගැනීමට පසුබට වන පිරිසට ඉහත 7-188 හොද රතු එලියකි. එපමණක් නොව ඊට දෙවැනි නොවූ 6-50 වාක්‍යය පිළිබඳව ද මුස්ලීම් සමාජය බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතු ය. මේ ආකාරයට හැකිතාක් දුරකට ආගමික මූලාශ්‍රයන් පදනම් කරගෙන මෙම ලිපිය ආරම්භයේ සිටම මේ දක්වා අපි බලාගෙන පැමිණියෙමු. මේ ආගමික ඉගෙන්වීමන් සියල්ල පසෙක දමා මේ අව්ලියාවරුන් මිය ගිය විට ඔවුන් මෙලොව ජීවත් වුවා සේ අපට සවන්දෙන බවත්, අපව දකින බවත්, සමහරක් මුස්ලීම්වරු සිතාගෙන සිටිති. මේ පිළිබඳව ශුද්ධ වූ කුර්ආනයේ 35-22 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවියන්) පවසන තවත් කාරණයක් මෙසේ පවසයි.

“පණ ඇත්තන් හා මරණයට පත් වූවන් සම නොවෙති. අල්ලාහ් ඔහු අපේක්‍ෂා කරන අයව සවන් දීමට සලස්වන සේක. මිනී වළවල් වල සිටින්නන්ව සවන් දීමට සැලැස්වීමට නුඹලාට නොහැක.”

මෙසේ අල්ලාහ් (දෙවියන්) පවසන විට අප සමාජයේ සමහරක් මුස්ලීම්වරුන් හිතුවක්කාර ලෙස “නැහැ සොහොන් තුල සිටින පිරිසට අප පවසන දෑ ඇසෙනවා” යයි වාද කිරීම දෙවියන් පවසන ඉහත 35-22 වාක්‍යය අභියෝගයට ලක් කිරීමක් නොවේ ද? සොහොන්වල සිටින පිරිස් අව්ලියාවරුන් ද නැද්ද යන්න දන්නේ අල්ලාහ් (දෙවියන්) පමණකි. (වර්තමාන සමාජයේත් ඕනෑ තරම් අව්ලියාවරුන් සිටිය හැක. මේ ලිපිය කියවන ඔබ ද ‘අව්ලියා’ කෙනෙකු වන්නට පුළුවන.) එසේ තිබියදී කිසියම් පුද්ගලයකු ‘අව්ලියා’ යයි පවසමින් ඉහත ආකාරයට ක්‍රියා කිරීම දෙවියන්ගේ අධිකාරී බලය තුලට අතගැසීමක් නොවේ ද?. මෙය ඉස්ලාම් අනුමත කරන කාරණයක් නොවේ. කෙසේ වෙතත් අල්ලාහ් (දෙවියන්) විසින් මුස්ලීම් සමාජයේ පවතින ඉහත ආකාරයේ වූ අනවබෝධය තුරන් කිරීම සදහා ශුද්ධ වූ කුර්ආනයේ 35-14 වාක්‍යය මඟින් තවදුරටත් මෙසේ ද පවසයි.

ඔබලා ඔවුන්ව කැඳවුවහොත් ඔවුන්ට ඔබලාගේ කැඳවීමට සවන් දිය නොහැක. සවන් දුන්න (යැයි සිතුව)ද ඔබලාට පිළිතුරු නොදෙන්නෝ ය. කියාමත් දිනයේ දී ඔබලාගේ “ෂිර්ක්” (මහා පාප) කිරීම ද ඔවුහු ප‍්‍රතික්ෂේප කරන්නෝ ය…”

ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිළිබඳව නිසි අවබෝධයක් නොමැති නිසා එහි සීමාවන් නොදැන අසීමිතව ඇති කරගත් අන්ධ භක්තිය නිසා දකින අසන සියල්ල ඉස්ලාම් යයි පිලිපැදීමේ විපාකයක් ලෙස ඉහත ආකාරයේ ආගමික ඉගෙන්වීමන්ට පරස්පර විශ්වාසයන් මුස්ලීම් සමාජය තුල නිර්මාණය වී තිබේ. මෙම අනවබෝධය මනාව තහවුරු කරන හදීසයක් ඔබගේ අවධානයට යොමු කිරීමට අදහස් කරමි. එනම්,

“අන්සාරි කාන්තාවක වූ උම්මුල් අ:ලා (රලි) තුමිය මෙසේ පවසන ලදී. මුහාජිරීන්වරුන් (මක්කාවේ සිට මදීනාවට පලා ආ පිරිස්) වෙනුවෙන් නවාතැන් දීම පිණිස (ඔවුන් කාගේ නිවෙස්වල ලැගුම් ගන්නවාද යන වග තීරණය කිරීමට) අන්සාරිවරුන් (මදීනාවාසීන්) සීට්ටු ඇද්දහ. එවිට උස්මාන් බින් මල්ඌන් (රලි) තුමා අපේ කොටස්කරුවා වශයෙන් අපි ලබාගත්තෙමු. (ඒ අනුව) ඔහුව අපි අපගේ නිවෙසහි ලැගුම් ගන්නට සැලැස් වූවෙමු. පසුව ඔහු රෝගාතුර වී එම රෝගයෙන්ම මිය ගියේ ය. ඔහුගේ ශරීරය නාවනු ලැබූ අතර, ඔහුගේම ඇඳුමෙන් කෆන් කරනු ලැබූ විට එම ස්ථානයට නබිතුමාණන් පැමිණියහ. මම (මෘත ශරීරයට) “සාඉබ්ගේ පියාණෙනී! ඔබට අල්ලාහ් ආශිර්වාද කරත්වා! අල්ලාහ් ඔබට ගෞරවය දැක්වූ බවට මම සාක්‍ෂි දරමි” යැයි පැවසූවෙමි. ඔහුට අල්ලාහ් ගෞරවය දැක්වූ බව ඔබ දන්නේ කෙසේදැයි මුහම්මද් (සල්) තුමාණන් මගෙන් විමසූහ. එවිට මම, මගේ පියා ඔබටම කැප වේවා! අල්ලාහ්ගේ වක්තෘතුමනී! එසේ නම් අල්ලාහ් තම ගෞරවය පිරිනමන්නේ කා හටද? යි මා අසුවෙමි. එවිට මුහම්මද් (සල්) තුමාණන් මොහු මරණයට පත් විය. අල්ලාහ් මත දිවුරා මම ඔහුට (අල්ලාහ්ගෙන්) යහපතම අපේක්‍ෂා කරමි. තවද, අල්ලාහ් මත දිවුරා මම අල්ලාහ්ගේ වක්තෘවරයා වුවද, (පරලොවේදී) අල්ලාහ් මා හට කරන්නේ කුමක්දැයි මම නොදනිමි.” යනුවෙන් පවසන ලදී. මෙය ඇසීමෙන් පසු අල්ලාහ් (දෙවියන්) මත දිවුරා ඉන් පසු මම කිසිවෙකුගේ සැදැහැවත් බවට කිසිවිටකත් සහතික නොවෙමි යැයි උම්මුල් අ:ලා ප‍්‍රකාශ කළා ය.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීසය විවෘත මනසින් හා බුද්ධිමත් ලෙස විශ්ලේෂණය කළේ නම්, වර්තමාන මුස්ලීම් සමාජය ඉස්ලාම් නමින් කුමක් කරමින් හිඳිනවා ද? යන්නත් ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද? යන්නත් මනාව පැහැදිලි වේ. මුහම්මද් (සල්) තුමාණන්ගේම මරණින් මතු ඉරණම කුමක් වේද? යන්න නබිතුමාණන්ට පැවසීමට නොහැකි යයි පවසන විට, හිජ්රත් කළ සහාභාවරුන් ශ්‍රේෂ්ඨ සහාභිවරුන් බව ඉස්ලාම් දහම පැහැදිලිවම පවසා තිබියදී උම්මුල් අ:ලා (රලි) තුමියගේ උපකල්පනය නබිතුමාණන් අවවාදාත්මක ලෙස නිවැරදි කරනවා නම්, මෙවන් උපකල්පනයන් ඉස්ලාම් දහමට අනුකූල නොවන බව තහවුරු වේ. එසේ තිබියදී දකින අසන සියලු දෙනා අද “අව්ලියා” කර දමන වර්තමාන සමාජය පිළිබඳව ඉස්ලාමීය තීන්දුව කුමක් විය යුතු ද? (එම තීරණය ගැනීම ඔබටම භාරය)

මිනිසුන් වෙත ආදරය කරුණාව දැක්වීම තමා වෙතම අනිවර්ය කරගෙන ආදරය කරුණාව දක්වන්න බලා හිඳින දෙවියන් නොසලකා හැර ඔහු විසින් මවන ලද මිනිස්සුන් සිටුවා (පිලිම) හෝ සතපවා (සොහොන්) වන්දනය කිරීම කොතරම් බරපතල පාපයක් ද?. අල්ලාහ් (දෙවියන්) මිනිසා හට ඉතා සමීපව සිටින බව ශුද්ධ වූ කුර්ආනයේ 2-186 වාක්‍යය මඟින් මිනිස් සමාජයට අවධාරනය කරයි. මෙසේ අප සමීපයේ සිටින දෙවියන් අමතක කොට කිසිවකු කරකියාගත නොහැකි මළ කඳක් ලෙස පොළොවට දිරාගිය සොහොනක් වෙත අපගේ ප්‍රාර්ථනයන් හා අවශ්‍යතාවයන් භාරකිරීම කොතරම් බැරෑරුම් තත්වයක් ද? පහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය දෙස අවධානය යොමු කළේ නම්,.

“මාගේ ගැත්තන් මා ගැන ඔබගෙන් විමසුවහොත් ‘මා (ඔවුන්ට ඉතා) සමීපයේ සිටිමි. ප‍්‍රාර්ථනා කරන්නා මාගෙන් (මැදිහත් කරුවෙකුගෙන් තොරව සෘජුවම) ප‍්‍රාර්ථනා කරන කළ ඔහුගේ ප‍්‍රාර්ථනාවට පිළිතුරු දෙමි. එබැවින් (ඔවුන්) මාගෙන්ම ප‍්‍රාර්ථනා කරත්වා!, ඔවුහු යහමග යනු පිණිස මාවම විශ්වාස කරත්වා!’ (යැයි කියනු!).”

ඉහත වාක්‍යයට අනුව අල්ලාහ් (දෙවියන්) මනුෂ්‍යාහට ඉතා සමීපව සිටින බව මනාව පැහැදිලි වේ. එසේම සියලු ප්‍රාර්ථනයන්ම ඔහුගෙන්ම ඉල්ලා සිටීම ඔහු (දෙවියන්) අපේක්ෂා කරන බවද පැහැදිලි ය. එසේ දෙවියන්ගෙන් ප්‍රාර්ථනා නොකොට මියගිය (සොහොනෙන් හෝ පිළිම ලෙස සිටින) පිරිසගෙන් ඉල්ලා සිටින්නේ නම් එවන් පිරිසගෙන් අල්ලාහ් (දෙවියන්) ශුද්ධ වූ කුර්ආනයේ 27-80 මඟින් මෙසේ විමසා සිටී.

“ඔබට, මියගිය පිරිස් සවන් දෙන්නන් බවට පත් කළ නොහැක. කැඳවීමට පිටුපා දුවන බිහිරන්ව ඔබට සවන්දිමට සැලැස්විය නොහැක.”

වර්තමාන මුස්ලීම් සමාජයේ සමහරක් පිරිසකගේ ඉස්ලාම් විරෝධී ක්‍රියාකලාපයන් මෙලෙස අද මෙම අඩවිය තුල පෙලගසනු ලැබූවේ. එය මුස්ලීම් සමාජයට පමණක් නොව සමස්ත මිනිස් සමාජයම මුලාකරවන කාරණයක් බවට දිනෙන් දින වර්ධනය වෙමින් පවතින නිසා ය. සර්ව බලධාරී දෙවියන් පිළිගෙන ඔහුගේ පාරිශුද්ධ වූ වාක්‍යය ජීවිතයේ අත්තිවාරම ලෙස ගෙන මුහම්මද් (සල්) තුමාණන්ගේ මඟපෙන්වීම හා ආදර්ශය ලොව හොදම ආදර්ශය ලෙස ගෙන ඒ ඔස්සේ ජීවිතය ගොඩනඟමින් සාර්ථක දිවියක් ගොඩනඟා ගත යුතු මුස්ලීම් සමාජය ඉහත ආකාරයේ වූ මිත්‍යාවන්ගෙන් මිදීමට දැන් කාලය එළැඹී ඇත. ඒ සඳහා අල්ලාහ් (දෙවියන්) අපගේ මනස විවෘත කොට අප සැම යහමඟ යොමු කරත්වා!

අබූ අර්ෂද්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 12 යි.

  1. riyasdeen 2013-07-30 at 12:11

    දුවා දැමීමත් ශිර්ක් නේ ?කුර්ආන් හදීස් මගින් පැහැදිලි කරන්න.

    • අබූ අර්ශද් 2013-07-30 at 17:12

      නූල් බැදීම හා යන්ත්‍ර (දුවා) බැදීම මඟින් රෝග සුවවන බවට විශ්වාසයක් අද මෙන්ම එදා (මුහම්මද්(සල්) තුමාණන්ගේ කාලයේ) පැවතුණි. එක්තරා සහාභිවරයෙක් තම අතේ යන්ත්‍රයක් බැද සිටිනු දුටු නබිතුමාණන් මෙය කුමක්ද? යයි විමසාන ලදී. එයට එම සහාභිවරයා මගේ අතේ වේදනාවකට මෙය මා බැද ඇතතෙම්. යනුවෙන් පවසන ලදී. එයට නබිතුමාණන් ‘එය ඔබේ දුර්වලතාවය තව වැඩිකරණු ඇත. එය ඉවත් කරන්න. එසේ නොකොට ඔබ මරණයට පත්වුයේ නම්, ඔබට විමුක්තියක් නොලැබෙනු ඇත. (මූලාශ්‍ර ග්‍රන්ථය – හාකිම්)
      තවත් අවස්ථාවක නබිතුමාණන් මෙසේ පවසන ලදී. ‘යමෙකු යන්ත්‍රයක් බැදගන්නේ ද ඔහු ශිර්කයක් කරනු ලබන්නේය.’ (මූලාශ්‍ර ග්‍රන්ථය – අහමද්)
      මෙම හදීසයන්ට අමතරව තවත් බොහෝ හදීසයන් තුලින් ඉස්ලාම් දහම මෙම ක්‍රියාව තහනම් කොට ඇත. ශුද්ධ වූ කුර්ආනයේ අල්ලාහ් 6-17 මඟින් පවසන තත්වයට අභියෝග කරන මෙම ක්‍රියාව ශිර්ක් යන්නෙහි සැකයක් නැත.

  2. faizal 2012-11-21 at 12:42

    ඔබතුමාට ජසකල්ලාහ් කෙරන්.. ගොඩක් ප්‍රයෝජනවත් වටිනා ලිපියක්…

  3. SBObet Casino 2012-09-10 at 16:04

    It is actually a great and useful piece of information. I am glad that you simply shared this useful information with us. Please keep us informed like this. Thank you for sharing.

  4. muhammad 2012-03-10 at 19:44

    nabi thuma aisha rali thumiyage kamaraye thama ziyaram eka sidu kirima shirk walata baya wi bawa oba pawasimata mulashraya kumakda…

    ..Sahi Bukhari Volume 2, Book 23, Number 428…yana hadith walata theruma oba denawada

    • abuarshed 2012-03-11 at 11:01

      ඔබ විමසන පලමු ප්‍රශ්නයට අදාල පිලිතුර වන මූලාශ්‍රය එම ලිපියේත් මා සදහන් කර ඇත. කෙසේ වෙතත් එම හදීසය බුහාරී, මුස්ලීම්, අබූඅවානා, අහමද් යනාදී ග්‍රන්ථයන් හි සදහන් වේ. විශේෂයෙන් බුහාරි දෙමළ භාෂා පරිවර්ථනයෙහි (රහ්මත් ප්‍රින්ට්) හි 1330 වන හදීසය (දෙවන කොටසේ) ලෙස සදහන් ව ඇත.
      ඔබ විමසන දෙවන පැනය පැහැදිලි නැත. පෙර හදීසය මෙන් හදීසය සදහන් කරන්නේ නම් එය වඩාත් සුදුසුය. මන්ද හදීසය අංකය සදහන් කල පමණින් එය සොයා ගැනීම පහසු නොවේ. මක්නිසාද යත් විවිධ ආයතනවලින් හදීස් ග්‍රන්ථයන් මූදාණය කිරීමේ දී ග්‍රන්ථයෙන් ග්‍රනථයට හදීස් අංකවල වෙනස් වීමන් දකින්නට ඇති බැවිණී.

  5. muhammad 2012-03-07 at 02:34

    mata mathakai mage comment sadaha pilithurak natiwa tibunu hati masa gananak…

    Oba laga surakshithawa athnam ewa mehi saha mita samana aticle ekak tibunu pituwe saha music gana tibunu pitu wala dama mehi link eka post karanna..mage prashna ma laga natha …mata me pituwala bookmark pamanak laga taba sitiya pamani. Mage comment itha winitgawa dama tibuna pamanai

    • abuarshed 2012-03-08 at 06:51

      ඔබ පවසන කාරණය පැහැදිලි නැහැ. ‘පිලිතුරු නැතුව තිබුණු හැටි…’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? යන්න මා නොදනිමි. ප්‍රශ්නයකට පිලිතුරු ප්‍රමාද වීම් නම් සිදුවෙනවා එයට හේතු කිහිපයක් තිබෙනවා එනම් එම ප්‍රශ්නයෙන් විමසන කාරණය පිලිබදව මාහට නිසි අවබෝධයක් නොමැති වීම (එවිට එයට අදාල පැහැදිලි කිරීම මා ලබා ගන්නා තුරු පිලිතුරු ප්‍රමාද කරනවා) නමුත් නියත වශයෙන්ම පිලිතුරු ලබාදෙනවා. අනික් කාරණය ඔබ විමසන පැනයට අදාල කෙටි පිලිතුරුක් ලබා නොදී දීර්ඝ විග්‍රහයන් ලෙස ලිපියක් ඉදිරිපත් කිරීමට අදහස් කලේ නම් පිලිතුරු ප්‍රමාද වෙනවා. ඒ හැර ශිෂ්ඨ සම්පන්න ලෙස පලකල හැකි ආකාරයට වචන භාවිතා කොට යොමු කරන පැනයක් හෝ අදහස් දැක්වීමක් පල නොකර නැත.

  6. Muslim 2012-02-26 at 23:45

    This website must give reason on the DAY OF JUDGEMENT to One & Only GREAT ALLAH

  7. muhammad 2012-02-24 at 20:26

    oba obata awasha comment pamanak thora dama mage parana comment walata pilithuruth dimak sidukara nath arshad…

    • abuarshed 2012-02-25 at 21:54

      මුහම්මද් සහෝදරයා, ඔබ පවසන කාරණය නිවරුදි නැහැ. යහමඟ පරණ සයිට් එකේ තිබුණු comments අලුත් සයිට් එකට එක්කලේ නැහැ ඒක ඇත්ත. ඒක තරමක් දුෂ්කර ක්‍රියාවක් හැබැයි ඒ සියළු comments තවම මගේ ලග සුරක්ෂිතව තියෙනවා. comments අනුමත කිරීමේ දී සැලකිලීමත් වන්නේ අසභ්‍ය, පදනම් විරහිත පහත් විවේචන හෝ වෙනත් වෙබ් අඩවිවල link තිබෙනවාද? යන්න පිලිබදව පමණි. එවැනි comments සංස්කරණය කිරීමට හෝ අනුමත නොකිරීමට සිදුවෙනවා. ඒ හැර කිසිදු comments එකක හිතාමතා වලක්වන්නේ නැහැ. මේක සංවාදය සදහා විවෘත අඩවියක් මා ඔබට නැවත ආරාධනා කරනවා. ඔබේ අදහස් විවෘතව ඉදිරිපත් කරන්න. යහමඟ සූදානම් එයට අවස්ථාව ලබාදෙන්න.

  8. abuarshed 2012-02-01 at 19:13

    මෙහි පහතින් ඉදිරිපත් කර ඇත්තේ පැරණී යහමඟ අඩවිය තුල ඉහත ලිපි සදහා යොමුකල අදහස් දැක්වීම් කිහිපයකි.

    name:manjula
    mema viggrahaya anuwa anikuth aagam gana ma katha nokarami apa bududahama tula pilima vandanaya 32 k vu mahaa purisha lakshnayangen ukththavu guna warnana kala nohaki tharamvu siyalu loka sattwayage hith suwa pinisa deshanaa kalavu dahrmaskandhaya gurukota thaba karana pratipatthi poojawaki karunakara eya anekuth deeva adahili ha samana nokaranna apa budu pilimayata deviyan arooda nokaranna budu dahama avihinsawaadi darshnayaki budu rajanan wahanse deviyangen pawa vadum labana garu kalayutu (poojacha poojaneeyaann) keneki agamaka mulikama de viya yutte agamika nidahasai anya agam hssyata niggrahayata lakkireema hoda agamaka lakshanada meya buddiyen vimasa bala tteerana araganna samatama smma sambudu sarani

    name:Abu Arshed 12-06-2011
    මන්ජුලගේ අදහස් දැක්වීම සම්බන්ධවයි — ප්රiථමයෙන් මා ස්තූතිවන්ත වෙනවා ඔහුගේ භාෂා භාවිතය සම්බන්ධයෙන් (කලාතුරකින් තමා මෙවැනි comments දකින්නේ) දෙවැනි කාරණය මා මෙම ලිපිය තුල කථා කරන්නේ “පිලිම හා සොහොන් වන්දනය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය“ යන මාතෘකාවයි. එහිදී යම් යම් කරුණු දැක්වීම් බෞද්ධයන්ගේ සිත් තැවුලට හේතුවක් නම් ඒ පිලිබදව මා සමාව අයදිනවා (එය උපුටා දක්වන්නේ නම් වඩාත් යහපතකි). ඔබ සදහන් කල ආකාරයේ ඉගෙන්වීමන් ත්රියපිටකයේ පවා දක්නට ලැබෙන බව සැබෑවකි. ඒ අනුව එය තමා බුදුදහමේ ඉගෙන්වීම යන්න පිලිගැනීමත් සාධාර්ණ වූ තර්කයකි. නමුත් ශ්රීප ලාංකීය බෞද්ධ සමාජය තුල “බුදුන් හමුවේ තම අවශ්යපතාවයන් හා ප්රාරර්ථනයන් පවසා එය ඉටුවෙන තුරු බලාහිදින පිරිස් නැතැ“යි. පැවසීම සාධාර්ණ වූ තර්කයක් නොවේ යන්න මාගේ විශ්වාසයයි. නමුත් මේ තුල සමස්ථ බෞද්ධ සමාජයම අන්තර්ගත නොවන බවද සැබැවකි. එසේම මෙම පිලිම වන්දනය නම් මිත්යාබව හා මුස්ලීම් සමාජයේ සිදුවන සොහොන් වන්දනය සැලකූවිට බෞද්ධ සමාජයට වඩා ඉදිරියෙන් එම මිත්යාිව තුල මුස්ලීම් සමාජය සිටින බව සැබෑවකි. එම මිත්යාිවට එරෙහිව තමා මෙම ලිපිය මා ඉදිරිපත් කරන්නේ. එහිදී ශ්රීම ලාංකීය සමාජය පදනම් කරගෙන යම් යම් කරුණූ දැක්වීම් සිදුකල ද මෙම අඩවිය එක කාරණයක් සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක සිටී. එනම් කිසිදු විටක තවත් ආගමකට අපහසාත්මකව හෝ පදනම් විරහිත ආකාරයට චෝදනාවන් සිදු නොකරන බවට. ඒ අනුව මනුෂ්යතයන් වශයෙන් කිසියම් වරදක් ඉහත ලිපිය තුල හෝ මෙම අඩවිය තුල ඇති වෙනත් ලිපිවල සිදුවී ඇත්නම් එය හේතු සහිතව පෙන්වා දෙන්නේ නම් අනිවාර්ය යෙන්ම නිවරුදි කරගන්න මා සූදානම්

    name:manjula 12-06-2011
    buddiyen vimasa balanna meya dahame waradak nova pruthakjana minisage durwalakamya kiyanna kese kiwath asanna sihibuddiyen asiya yutui budu saranai

    name:Fasly Jiffry 14-06-2011
    Say, \”Is the blind equivalent to the seeing? Or is darkness equivalent to light? Or have they attributed to Allah partners who created like His creation so that the creation [of each] seemed similar to them?\” Say, \”Allah is the Creator of all things, and He is the One, the Prevailing.\”Quran 13:16

    name:Fasly Jiffry 14-06-2011
    those you invoke besides Allah will never create [as much as] a fly, even if they gathered together for that purpose. And if the fly should steal away from them a [tiny] thing, they could not recover it from him. Weak are the pursuer and pursued.Quran 22:73

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *

Contact Person WhatsApp