සzකාත් (සකාත්) පිලිබදව විමසුමක්

1

අද ‘යහමඟ’ අඩවිය තුල සාකච්චා කිරීමට අදහස් කරන්නේ කාලීන වශයෙන් වැදගත් එසේම මෙතෙක් ‘යහමඟ’ අඩවිය තුල සාකච්චා නොවූ විෂයක් පිලිබදවයි. ඒ ඉස්ලාම් පවසන ‘සzකාත්’ නම් (මෙතැන් සිට ‘සකාත්’ ලෙස හදුන්වන) බද්ද පිලිබදවයි. ඉස්ලාම් මූලික ප්‍රතිපත්ති 05ක් මත ගොඩනැඟී ඇති බවත්, එම ප්‍රතිපත්ති නිසිලෙස පිලිපැදීම සෑම මුස්ලීම්වරයෙකුගේම අනිවාර්‍ය වගකීම වන බවත් මීට ඉහත ලිපි ගණනාවකින්ම මෙම අඩවිය තුල පැහැදිලි කොට ඇත. එම වගකීම් අතර එක් ප්‍රධාන වගකීමක් වන ‘සකාත්’ බද්දයි. මේ පිලිබදව මෙහිදී තරමක් දුරකට සවිස්තරව කරුණු සාකච්චා කිරීමට අදහස් කරන අතර එය කාලීන වශයෙන් ද වැදගත් වේ. එයට ප්‍රධාන හේතූන් දෙකක් ඇත. එනම්,

  • මුස්ලීම් නොවන ප්‍රජාව – ‘ඉස්ලාමීය ශරීයා නිතීය(රාජ්‍ය පාලනය)ක් තුල මුස්ලීම් නොවන පිරිසගෙන් ‘ජිසියා’ බද්ධක් අය කරන ඉස්ලාම් මුස්ලීම්වරුන් සදහා එවැනි බද්ධක් ඉදිරිපත් නොකිරීම’ පිලිබදව විවේචන කරන වකවානුවක් වීම,
  • මුස්ලීම්වරුන් – උපවාස සමයක් ආරම්භ වීමත් සමඟ සකාතය පිලිබදව නිසි අවබෝධයක් නොමැතිව ඉස්ලාමීය ඉගෙන්වීමන් හා ආදර්ශයන්ගෙන් බැහැරව මෙම සකාත් බද්ධ ක්‍රියාවට නැංවීම,

ඉහත කාරණා දෙකෙන් පලමු කාරණය වන ජිසියා බද්ද පිලිබදව මීට ඉහත ‘ඉස්ලාම් පවසන බදු ක්‍රමය හා එහි ජිසියා බද්ද’ යන මාතෘකාව ය‍ටතේ මෙම අඩවිය තුල කරුණූ සාකච්චා කොට ඇත. එමනිසා මෙහිදී අවදානය යොමු කලයුතුව ඇත්තේ ‘සකාත්’ නම් විෂය පිලිබදවයි.

ලෝකයේ බොහෝ ආගම් තම දහම අසමසම දහම බවත්, ප්‍රායෝගික දහම බවත්, ලොකයේ පවතින සියළු ගැටළුන් සදහා එකම විසදුම ඇත්තේ තම දහම තුල බවත්… වහසිබස් දොඩන වකවානුවකි මේ අප පසුකරමින් සිටින්නේ. මෙවැනි වකවානුවක මේ සියළු පාර්ශවයන් ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව දැන්වත් විමසා බැලිය යුතුව ඇත. විශේෂයෙන් රටක සමාජයක පවතින ආර්ථික විෂමතාවයට ඉස්ලාම් දහම සකාත් තුලින් ඉදිරිපත් කරන විසදුම විමසා බැලිය යුතුම කාරණයකි.

ලොව සෑම දහමක් ම ඇදහිලි වත්වාත් තුලින් දිනාගන්නා විමුක්තියක් පිලිබදව කථා කරන විට ඉස්ලාම් දහම ද උපවාසය, සලාතය, හජ් වන්දනය… යනාදී වශයෙන් වතාවත් පිලිබදව කථා කොට එයින් නතර නොවී ලෝකයේ කිසිදු ආගමක්, ආගමික කටයුත්තක් ලෙස කථා නොකරන විෂයක් ඉස්ලාම් දහම ආගමික රාමුව තුල හිඳ කථා කරයි. ඒ සකාත් නම් අනිවාර්‍ය බද්ද පිලිබදවයි. එය කොතරම්ද යන්න පවසනවා නම්, ශුද්ධ වූ කුර්ආනයේ සෘජුවම සකාතය පිලිබදව ස්ථාන 30ක පමණ කථා කරන අතර එයින් ස්ථාන 27ක ‘සලාතය’ (දිනපතා ඉටුකරන පස්වේල වන්දනය) සම්බන්ධ කොට කථා කරයි. මුස්ලීම්වරයෙකුට ‘සලාතය’ කොතරම් දුරකට වැදගත් වනවාද? යන්න මා මෙහි පැහැදිලි කිරීමට අවශ්‍ය නොවනු ඇත. එවැනි ‘සලාතය’ සමඟ ‘සකාතය’ සම්බන්ධ කොට ශුද්ධ වූ කුර්ආනය කථා කරනවා නම්, එහි වැදගත්කම වෙන පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ. එවැනි වාක්‍ය කිහිපයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,

සලාතය ඉටු කරන්න සකාතය (බෙදා) දෙන්න

ශුද්ධ වූ කුර්ආනය 2-110

තවදුරටත් කියවන්න : – 98-5, 9-130, 51-19, 70-24, 6-141, 9-60, 9-103, 9-34, 30-38, 59-7

සzකාත් (සකාත්) යනු කුමක්ද?

ඉස්ලාම් දහම කිසියම් නීතිරීති පද්ධතියකට යටත්ව මුස්ලීම්වරුන් කෙරෙහි අනිවාර්‍ය බද්දක් ලෙස ‘සකාතය’ නියම කරයි. ‘සකාත්’ යන වදනේ සෘජු අර්ථය පිරිසිදුකම, පවිත්‍ර, වර්ධනය, භාග්‍ය… යනාදීය වේ. නමුත්  මුස්ලිම්වරයෙකු තම සතු දේපල, මිලමුදල් හා අනිකුතත් වස්තූන්වලින් කිසියම් අනුපාතයක් සමාජයේ ජීවත් වන දුප්පතුන්, අසරණයන්… වැනි (පිරිස් පිලිබදව මෙහි ඉදිරියට සාකච්චා වේ) පිරිස් වෙනුවෙන් ලබාදීම ඉස්ලාමීය දෘෂ්ඨි‍යෙන් සකාතයේ අරුථ වේ.

මා පෙර සදහන් කලාසේ මෙම සකාතය ඉස්ලාම් දහම මුස්ලීම් සමාජය කෙරෙහි අනිවාර්‍ය කරන්නේ ප්‍රධාන කොන්දේසි කිහිපයකට ද යටත්වය. එයින් එකක් වන්නේ ජිසියා වැනි බදු ගෙවීම ඉස්ලාමීය පා‍ලනයක් තුල පමණක් ක්‍රියාත්මක කලයුතු එකක් වුවත් ‘සකාත්’ බද්ධ එවැනි සීමා‍වකට යටත් කල නොහැකි සෑම කාලයටම කුමන තත්වයක් යටතේ වුවද වලංගු බද්ධක් යන්නයි. එනම්, ඉස්ලාමීය පාලනයක් තුල වුවත් නොවුවත් සකාත් බද්ධ ගෙවීම සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම අනිවාර්‍ය වේ. නමුත් එය ද තවත් ප්‍රධාන කොන්දේසියකට යටත්වය. එනම්, සකාත්දීම සදහා අවම සීමාවක් සපුරා තිබිම අත්‍යඅවශ්‍යය. (මේ සීමාවන් පිලිබදව ද පහතින් සාකච්චා කෙරේ) ඒ අනුව මුස්ලීම් සමාජයේ වෙසෙන සෑම කෙනෙකුට ම මෙම බද්ධ අනිවාර්‍ය නොවන අතර මේ සදහා අවම සීමාවක් පවතින අතර එය ඉස්ලාම් දහම ‘නිසාබය’ (සකාතය අනි‍වාර්ය‍ වන අවම ප්‍රමාණය) ලෙස හදුන්වයි. ඒ අනුව මෙතැන් සිට මේ සකාතය සදහා වලංගු වන දෑ පිලිබදව හා එහි ‘නිසාබය’ පිලිබදව දැන් කරුණූ විමසා බලමු. (එහිදී ඔබේ අවබෝධය පහසු පිණිස වර්ථමානයේ ලෝකයේ භාවිතා කරන සම්මත මිනුම් ඒකකවලට අනුව මෙහි ඉදිරපත් කරමි.)

සකාතය අනිවාර්ය වන ද්‍රව්‍යයන්

  • රන්
  • රිදී
  • වෙළඳ භණ්ඩ
  • සිවිපාවුන්
  • කෘෂි බො‍්ග
  • දේපල
  • මිලමුදල්

රන් හා රීදී සදහා නිසාබය

රන් හා රිදි කුමන තත්ත්වයේ (එනම් ආභර්ණ ‍වශයෙන් හෝ අමුද්‍රව්‍ය වශයෙන්) ඇතත් ඒ සඳහා සකාතය දීම අනිවාර්ය වේ. කවරෙකු සතුව හෝ රත්රන් හා රිදි නිසාබය (නියමිත අවම ප්‍රමාණය) සපුරා තිබේද? ඔහු සකාතය දිය යුතුය. ඒ අනුව,

  • රත්තරන් හි නිසාබය ග්‍රැම් 85කි (85 g).
  • රිදි හි නිසාබය ග්‍රැම් 595කි (595 g).

කවරෙකු හෝ සතුව ඉහත රත්තරන් නිසාබ් ප්‍රමාණයක් තිබේද එම ප්‍රමාණයට ඔහු 2.5% බැගින් සකාතය දිය යුතුය. එනම් රත්තරන් ග්‍රැම් 2.13 (2.13 g) ක් සකාත් දිය යුතුය. එසේම කවරෙකු හෝ සතුව ඉහත රිදි නිසාබ් ප්‍රමාණයක් තිබේද, ඔහු ග්‍රැම් 14.88 (14.88 g) ක් සකාත් දිය යුතුය. මෙම සකාතය මුදලින් දීමට කිසිවකු අදහස් කරන්නේ නම්, එම සකාත් ප්‍රමාණය වර්ථමාන වෙළද පොලේ වටිකමින් ගණනය කොට පසු එම වටිනාකම අනුව දේශිය මුදලින් සකාතය දිය හැකිය ඉහත නිසාබයට වඩා අඩු සීමාවක් තිබුනේ නම් ඒ සදහා සකාත් අනිවාර්‍ය නොවේ. නිදසුනක් ලෙස පුද්ගලයෙකු සතුව රත්රන් ග්‍රැම් 70 ක් තිබේ නම්, ඔහු එයින් සකාතය දීම අනිවාර්ය නොව් නමුත් ඔහු ලඟ ග්‍රැම් 1000ක් රන් තිබුණේ නම් ඔහු නිසාබය ඉක්මවා සිටින්නෙකු නිසා සකාතය ලෙස ග්‍රැම් 25 ක් ගෙවිය යුතු වේ.

වෙළඳ හාණ්ඩ සඳහා නිසාබය

අල්ලාහ් (දෙවි) විසින් මුස්ලීම්වරුන් වෙළඳ කටයුතුවල යෙදීමත්, එමඟින් ධනය රුස්කිරීමත් අනුමත කරයි. එසේ අනුමත කරනවා පමණක් නොව ඒ සදහා උනන්දු කරයි. එය කොතරම් දුරකටද යයි පවසනවා නම් මේ ධනය රුස් නොකල තැනැත්තා හට ඉස්ලාමීය මූලික වගකීම් 05ක් අතුරින් හජ් හා සකාත් නැමැති ප්‍රධාන කුසල් දෙක ඉටු කිරීමේ භාග්‍යය අහිමි වී යයි. මේ නිසා ඉස්ලාම් දහම තුල ලෞකික සම්පත් රුස් කිරීම වරදක් නොවේ. ඒ අනුව එලෙස ධනය රුස් කිරීමේ දී හා ධනය රුස් කිරීම සදහා ව්‍යාපාර කටයුතුවල නිරතවීමේ දී ඒ තුල ද ‘සකාතය’ වගකීම නිසිලෙස ඉටු කලයුතු බව ඉස්ලාම් අණ කරයි. මෙහිදී ලාභ අරමුණූ කරගෙන කරන සියලු ව්‍යාපාර කටයුතු (මිල දී ගැනීම හා විකිණීම) මේ සදහා අදාල වේ. මෙය චංචල දේපල, නිශ්චල දේපළ, සත්තුන්, කැම බීම, යාන වාහන… යනාදීය සදහා අදාල වේ. මෙහිදී ද නිසාබය (අවම ප්‍රමාණය) සදහා නීති මාලාවක් ඇත. මේ සඳහා රත්රන් හෝ රිදී හි වටිනාකමට බලා ඒ සදහා 2.5% ක් සකාත් ලබාදීම පහසුම ක්‍රමයයි. උදාහරණයක් වශයෙන්, පුද්ගලයෙකු සතුව රුපියල් 100,000 වටිනා වෙළඳ භාණ්ඩ තිබෙන්නේ නම්, ඔහු එයින් රුපියල් 2500 ක් සකාත් වශයෙන් දිය යුතුය.

පොළෙවෙන් ලැබෙන දේ සඳහා නිසාබය

කෘෂි වගාව තුලින් ලබා ගන්නා පලදාව රුස් කොට කාලයක් තැබිය හැකි ධාන්‍ය හා පලතුරු ඇතුළු බෝග වර්ග සදහා ද සකාත් බද්ද ගෙවීම අනිවාර්‍ය වේ. සහල්, කව්පි, මුංඇට, රට ඉදි, තිරිඟු (පොතු සහිත), තිරිඟු ඇට (පොතු රහිත) යනාදිය එවැනි කිහිපයකි. . මෙහිදී කාලයක් රුස්කොට තැබිය නොහැකි බෝග හෝ ධාන්‍ය පලතුරු හා එළවලු වර්ග සඳහා සකාතය අනිවාර්‍ය නොවේ. ඒ අනුව ඉහත සදහන් බෝග සදහා නිසාබය පහත ආකාරයට නිර්ණය කලයුතු වේ.

  • කිලෝග්‍රැම් 653 (653 kg) ක් තිරිගු ඇට හි නිසාබයයි

මෙහි නිසාබය ඉහත ප්‍රමාණය වුවත් මේ සදහා සකාත් ලබාදෙන ආකාරය මීට පෙර සදහන් කල ආකාරයට වඩා තරමක් වෙනස් වේ. මෙහිදී සකාතය නිර්ණය කිරීමේ දී තවත් මූලික කාරණයක් පිලිබදව ඉස්ලාම් අවදානය යොමු කොට එහි සීමාව නිර්නය කරයි. එය මෙසේය,

  • ගොවියා වියදමකින් තොරව වැසි හා ගංඟා ජලය වැනි පහසුකම් මගින් වගා කොට පලදාව ලබන්‍නේ නම්, ඒ සදහා සකාත් ගෙවිය යුතු වන්නේ මුළු අස්වැන්නෙන් (1/10) දහයෙන් පංගුව‍කි.
  • ගොවි‍යා වියදමක් දරා ජලය සැපයමින් වගා කටයුතු සිදු කොට එයින් පලදාවක් ලබන්නේ නම්, ඒ සදහා සකාත් ලෙස ගෙවිය යුතු වන්නේ මුළු අස්වැන්නෙන් (1/20) විස්සෙන් පංගුවකි.

මෙය සරල නිදසුනකින් විමසා බලන්නේ නම්, පුද්ගලයෙකු තිරිඟු වගාකර අස්වැන්න කිලෝග්‍රැම් 1000 ක් ලබයි නම්, එහි නිසාබය කිලෝ 653 ක් වන නිසා ඔහු සකාත් දියයුතු කෙනෙකු බවට පත්වේ. එහිදී ඔහු එම අස්වැන්න ලබාගත්තේ වගාවට අවශ්‍ය ජලය සදහා කිසිදු වියදමක් නොකර නම් එහිදී ඔහු දහයෙන් එකක් එනම් කිලෝග්‍රැම් 100 ක් ද, වියදම් කර ජලය සපයා වගා කොට නම්, විස්සෙන් එකක් එනම් කිලෝ 40ක්ද සකාත් දිය යුතුය. මේ ආකාරයට තිරිඟුවලට සාපේක්ෂව අනිකුත් ධාන්‍ය වර්ගවල සකාතය ද නිර්ණය කලයුතකු වේ.

සතුන් සදහා නිසාබය

මෙහිදී ඉහත කථා කල ක්‍රමවේදයන්ට වඩා වෙනස් ක්‍රමවේදයකට තමා සතුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ. එපමණක් නොව පොදුවේ සතුන් සදහා නිසාබය ලෙස මාතෘකාව යොදා තිබුණ ද ඉස්ලාමීය සකාත් නීතිය තුල සකාතය සදහා යටත් වන සතුන් වන්නේ ඔටුවා, ගවයා, බැටළුවා හා එළුවා යන සතුන් පමණි. මෙහිදී ඉස්ලාම් දහම නිසාබ් සීමාව ලෙස ඔටුවන් 05ක් ද, ගවයින් 30ක් ද, එළුවන් හා බැටළුවන් 40ක් ද වශයෙන් එකින් එකට වෙනස් වෙනස් ආකාරයේ නිසාබ් ප්‍රමාණයන් යෝජනා කරයි. නමුත් අප රටට ආවේනික සතුන් වන්නේ ගවයන් හා එළුවන් පමණක් වන නිසා ඒ සම්බන්ධයෙන් මේ පිලිබදව තවදුරටත් විමසා බලන්නේ නම්,

  • ගවයින් සදහා සකාත් සීමාවන්
    • සංඛ්‍යාව 30 සිට 39 දක්වා සකාත් ලෙස ලබා දියයුතු සකාත් ප්‍රමාණය වසරක් සම්පූර්ණ වූ එක් ගවයෙකි.
    • සංඛ්‍යාව 40 සිට 59 දක්වා සකාත් ලෙස ලබා දියයුතු සකාත් ප්‍රමාණය වසර දෙකක් සම්පූර්ණ වූ එළදෙනෙක්,
    • සංඛ්‍යාව 60 සිට 69 දක්වා සකාත් ලෙස ලබා දියයුතු සකාත් ප්‍රමාණය වසරක් සම්පූර්ණ වූ ගවයින් දෙදෙනෙක්,
    • සංඛ්‍යාව 70 සිට 79 දක්වා සකාත් ලෙස ලබා දියයුතු සකාත් ප්‍රමාණය වසර දෙකක් සම්පූර්ණ  වූ එළදෙනෙක් සහා වසරක් සම්පූර්ණ වූ ගවයෙක්,
    • සංඛ්‍යාව 80 සිට වැඩි වන සෑම 40ක් සදහාම වසර දෙකක් සම්පූර්ණ වූ එළදෙනෙකු බැඟින් ලබාදිය යුතුය.

 

  • එළුවන් හා බැටළුවන් සදහා සකාත් සීමාවන්
    • සංඛ්‍යාව 40 සිට 120 දක්වා සකාත් ලෙස ලබා දියයුතු සකාත් ප්‍රමාණය එක් එළුවෙක්.
    • සංඛ්‍යාව 121 සිට 200 දක්වා සකාත් ලෙස ලබා දියයුතු සකාත් ප්‍රමාණය එළුවන් දෙදෙනෙකු,
    • සංඛ්‍යාව 201 සිට 300 දක්වා සකාත් ලෙස ලබා දියයුතු සකාත් ප්‍රමාණය එළුවන් තිදෙනෙකු,
    • සංඛ්‍යාව 301 සිට 400 දක්වා සකාත් ලෙස ලබා දියයුතු සකාත් ප්‍රමාණය එළුවන් සතර දෙනෙකු,
    • සංඛ්‍යාව 401 සිට 500 දක්වා සකාත් ලෙස ලබා දියයුතු සකාත් ප්‍රමාණය එළුවන් පස් දෙනෙකු,
    • 501 සිට වැඩි වන සෑම 100 කටම එකක් බැඟින් එළුවෙකු ලබාදිය යුතුය.

මෙය තමා සතුන් සදහා සකාත් ලබාදීමේ දී අනුගමනය කලයුතු ක්‍රමවේදය වන්නේ මීට අමතරව වෙනත් මූල්‍යමය වටිනාකමක් ඇති ද්‍රව්‍ය, භාණ්ඩ හෝ සේවාවන් සදහා සකාත් ගණනය කිරීමේ දී එය වර්ථමාන මුදලේ වටිනාකම අනුව 2.5% බද්ද ගෙවීම සිදු කලයුතු වේ. එසේම දෛනික දිවිය තුල පරිභෝජනය කරන භාණ්ඩ සදහා සකාත් බද්ද ගෙවීම අවශ්‍ය නොවේ. මෙහිදී මේ මාතෘකාවට අදාලව විශේෂයෙන් සදහන් කලයුතු තවත් කාරණයක් ද ඇත. එනම් මුහුදෙන් ලබාගන්නා මුතු මාළු වැනි දෑ සදහා සකාත් ගෙවීම අවශ්‍ය නොවනවා යන්නයි.

මීලඟට අවදානය යොමු කලයුතු කාරණය වන්නේ මෙලෙස ගණනය කල සාකාත් ලබාදෙන්නේ කාටද? යන්නයි.

සකාත් ලබාදිය යුත්තේ කාටද?

ඉස්ලාම් දහම කිසියම් විෂයක් පිලිබදව කථා කිරීමේ දී එහි සෑම අංශයක්ම පූර්ණ ලෙස කථා කිරීම නිතර දකින පොදු ලක්ෂණයකි. සකාත් දෙන ලෙස අණ කරන ඉස්ලාම් දහම එය කවුරුන් ලබාදිය යුතුද?, එය කෙසේ ලබාදිය යුතුද?, කුමක් සදහා ලබාදිය යුතුද? යනාදී වශයෙන් කථා කල ආකාරය ඉහතින් අප දුටුවෙමු. එහි තවත් අංශයක් වන්නේ කවුරුන් සදහා ලබාදිය යුතුද? යන්නයි. ඒ පිලිබදව ද ඉස්ලාම් දහම ඉතා පැහැදිලිව ශූද්ධ වූ කුර්ආනය තුලින් මෙසේ පවසයි,

සිඟමන් යදින්නන්ට, දුප්පතුන්ට,  එය (සකාතය) එක්රුස් කරන්නන්ට, සිත් ආකර්ෂණය කරන්නන්ට, වහල්ලන් නිදහස් කරන්නට, ණයකරුවන්ට, දහම වෙනුවෙන් (ජීවිතය පරදුවට තබා යුද්ධයේ) පෙනි සිටින්නන්ට හා අතරමං වුවන්ට මෙය උරුම වන්නේය. මෙය අල්ලාහ් (දෙවි)ගේ යුතුකම වන අතර අල්ලාහ් (දෙවි) සියල්ල හොදින් දන්නා (අසමසම) ඥා‍නවන්තයා ද වේ.

ශුද්ධ වූ කුර්ආනය 9-60

ඉහත වාක්‍යය මඟින් සකාත් ලැබීමට සුදුසු පාර්ශවයන් 08 ක් පිලිබදව පැහැදිලිව පවසයි. ඒ එක් එක් පාර්ශවය පිලිබදව කෙටි විමසුමක් කරන්නේ නම්,

  1. සිඟමන් යදින දිළින්දන් – තම අවම අවශ්‍යතාවය පවා සපුරාගත නොහැකි අන්ත දිළිදු පිරිස මෙම සකාතය ලබන්න සුදුසුකම් ලබයි.
  2. දුප්පතුන්, – තම අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සපුරාගන්න සමත් නමුත් සම්පූර්ණ අවශ්‍යතාවය සපුරා නොගත් ‘දුප්පතුන්’ මෙම සකාතය ලබන්නට සුදුසුකම් ලබයි,
  3. සකාත් එක්රුස් කරන්නා, – සකාත් මුදල එක්රුස් කිරීමේ මෙහෙවරේ නිරතව සිටින එසේත් නැත්නම් ඒ සදහා නියම කරන ලද පුද්ගලයන් ද මෙම සකාත් මුදල් ලබන්න සුදුසුකම් ලබයි.
  4. සිත් ආකර්ශණය කරන්නන්, – මේ පිලිබදව තරමක් දුරකට විමසා බැලීම අත්‍යඅවශ්‍යය. එනම් කවුද මේ ‘සිත් ආකර්ශණ කරන්නන්’ මෙහිදී අල්ලාහ් (දෙවි) පවසන්නේ මුස්ලීම්වරුන් කෙරෙහි හා ඉස්ලාම් දහම කෙරෙහි පැහැදීමකින් කටයුතු කරන නමුත් ඉස්ලාම් දහම වැලද නොගත් පාර්ශවයන් හා ඉස්ලාම් දහම අලුතින් වැලදගත් පාර්ශවයන්ය. මේ පිරිස ද සකාත් ලබන්නට සුදුසුකම් ලබන්නේය.
  5. වහල්ලුන් – එදා සමාජයේ දරුණූවට පැවතී මිනිස් වෙළදාම නතර කිරීමට ඉස්ලාම් යෝජනා කල එක් විසදුමක් තමා සකාතය. වහල්ලුන් ලෙස ගෙන කිසියම් මුදලක් නියමකර අලෙවි කරන විට එසේත් නැත්නම් සිරකරුවන් ලෙස ගෙන ඔවුන් නිදහස් කිරීමට වන්දි මුදලක් නියම කරන අවස්ථාවල මෙම සකාත් මුදල් ඒ සදහා යොදවා ඔවුන් නිදහස් කිරීමට පුළුවන. ඒ අනුව වහල්ලුන් මෙම සකාත් ලබන්නට සුදුසුකම් ලබයි.
  6. ණයකරුවන් – ණය බරින් මිරීකී අසරණව ජීවත් වන පිරිස මෙම සකාතය ලබන්නට සුදුසුකම් ලබයි,
  7. දහම වෙනුවෙන් පෙනීසිටින්නන්, – මෙම කාරණය සම්බන්ධයෙන් කෙටි විග්‍රහයක් කලයුතුව ඇත. එයට හේතුව මේ කාරණය පිලිබදව මුස්ලීම් සමාජය තුල පවා වැරදි අවබෝධයක්ද පවතින නිසාය. විශේෂයෙන් ඉස්ලාමීය ආගමික සංවිධාන සංගම් පවත්වාගෙන යන පාර්ශවයන් හා ඉස්ලාමයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන අනිකුත් පාර්ශවයන් තම තමන්ගේ මෙහෙවර ඉදිරියට ගෙනයාම සදහා  තමන් ‘දහම වෙනුවෙන් පෙනී සිටින’ බව පවසමින් තමන් වෙත ද සකාත් මුදල් ලබාදෙන ලෙස ප්‍රසිද්ධීයේ ප්‍රචාරය කරමින් අරමුදල් රුස් කරන ආකාරයන් දක්නට ලැබේ. මෙය සම්පූර්ණයෙන් වැරදි අවබෝධයකි. ඉස්ලාම් මෙහිදී එවැනි පාර්ශවයන් අදහස් කලේ නැත. පැහැදිලි ලෙසම ශුද්ධ වූ කුර්ආනය මෙතැන දී පවසන්නේ කිසිදු ලෞකික ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන් තොරව ඉස්ලාමීයට එ‍රෙහිව ක්‍රියාත්මක සතුරන් පරාජය කිරීමට සටන් බිමට පිවිස දහම වෙනුවෙන් පෙනීසිටින පාර්ශවයන්ය. මේ පාර්ශවය ද සකාත් ලබන්නට සුදුසුකම් ලබයි.
  8. අතරමං වුවන්, – කොතරම් පොහොසත් කෙනෙකු වුවත් කිසියම් අවස්ථාවක අතේ සතයක් නොමැති ගමනක් අතර තුර අතරමං වීම අප දැක ඇත්තෙමු. එවැනි පිරිස් සදහා පිහිටවීමට ද සකාත් මුදල් යෙදවිය හැකි බව ඉස්ලාම් පවසයි.

ඉහත පාර්ශවයන් 08 තමා සකාත් මුදල් ලබන්නට සුදුසුකම් ලබන පාර්ශවයන් වන්නේ මින් පරිභාහිර කිසිදු පාර්ශවයක් සදහා සකාත් මුදල් යෙදවීමට ඉස්ලාම් දහම තුල අවසර නැත. ‘එම කාරණය දැඩිව අවධාරණය කරමින් අවසාන වශයෙන් මේ විෂය සම්බන්ධයෙන් ඔබේ බුද්ධිමත් අවදානයට කරුණු කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි. එනම්,

  • ඉහත පාර්ශවයන් 08 අතුරින් 03 වන හා 07 වන පාර්ශවය හැරුණූ විට අනිකුත් කිසිදු පාර්ශවයක් මුස්ලීම්වරුන්ට පමණක් සීමා වූවක් නොවේ. දුප්පත්කම, වහල්කම, ණය, අතරමං වීම… වැනි අවස්ථාවන් මුස්ලීම්වරුන්ට පමණක් ආවේනික තත්වයන් නොවේ. එමනිසා තමා මුස්ලීම්වරුන්ගෙන් පමණක් එක්රුස් කරන සකාත් බද්ද පවා බෙදාදීමේ දී මෙය ‘මුස්ලීම්වරුන් සදහා පමණයි!’ යයි ඉස්ලාම් දහම සීමාවන් සදහන් නොකලේ,
  • ‘සකාත්’ නම් ක්‍රමවේදයක් ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට යෝජනා කරන්නේ අරමුණු ගණනාවක් ඉලක්ක කරගෙනය. විශේෂයෙන් දුප්පතුන් දිළිදුබවෙන් මුදවා ගැනීමට විශාල මැදිහත්වීමක් සකාතයට කල හැකි යන්න ප්‍රධාන එකකි. එය වර්ථමානයේ සමහරක් මුස්ලීම් ධනපතියන් කරනවා සේ සකාත් මුදල 100,  50 නෝට්ටුවලට මාරුකොට තබාගෙන උපවාස මාසය පුරාවට දුප්පතුන්ට හා සිඟමන් යදින්නන්ට බෙදාදීම තුලින් නම් කල හැක්කක් නොවේ. එයින් සිදුවන්නේ මුස්ලීම් සමාජය යාචක මානසිකත්වයක් කරා පොළොඹවීමක් පමණි. මා පවසන ‍මෙම තත්වය අප රමලාන් මාසයේ දකිනවා නොවේද?
  • උපවාස මාසයේ 100, 50 නෝට්ටු බෙදීමේ ‘සකාත් ක්‍රමය’ සමාජය තුල නිර්මාණය වුයේ කෙසේද? යන්න මා නොදනිමි. මෙය වැරදි ආදර්ශයකි. අනික රමලාන් මාසයේ සකාත් නොව ‘සදකා (පරිත්‍යාග)’ ලබාදීමට තමා මුස්ලීම්වරුන් උනන්දු වියයුත්තේ. ‘සකාතය’ රමලාන් හෝ වෙනත් මාසයකට සු‍විශේෂි වූ වගකීමක් නොවේ. මෙම දුර්වලතාවය නිවරුදි කර ගතයුතුය.
  • ඉහත පාර්ශවයන් 08 අතුරින් වර්ථමානයේ වැඩි අවදානයක් යොමු කලයුතු පාර්ශවය වන්නේ දුප්පතුන් හා සිඟමන් යදින්නන්ය. සකා‍තයේ නිසි අරමුණූ දිනාගැනීමට නම් මෙම පාර්ශවය සදහා සැලසුම් සහගත ලෙස මැදිහත් වීමක් සිදු කලයුතව ඇත. ඔවුන්ගේ සැබෑ හැකියාව හා අවශ්‍යතාවය හදුනාගෙන ඒ සදහා මැදිහත්වීම අත්‍යඅවශ්‍යය. විශේෂයෙන් ස්වයංරුකියා වැනි රුකියා අවස්ථාවල් මේ සකාත් මුදලින් ඔවුනට සලසා දියයුතුව ඇත. අද සකාත් ලබන ඔවුන් ඉදිරියේ දී සකාත් දෙන පිරිසක් ලෙස පරිවර්ථනය කිරීමට සැලසුම් සකස් කලයුතුව ඇත.
  • ඉස්ලාමීය රාජ්‍ය පාලනයක් තුල භාණ්ඩාගාරයෙන් මෙවැනි කටයුතු ඉටු වුවත් අප වැනි රටවල ඒ සදහා රජයේ මැදිහත්වීමක් සිදු නොවේ. මේ නිසා බොහෝ විට සිදුවන්නේ පුද්ගලයන් තනි තනි වශයෙන් මෙම සකාත් මුදල් බෙදාදීමයි. නමුත් මෙවැනි ක්‍රමයන්ට යොමු නොවී සමාජය තුල මේ සදහා කිසියම් සංවිධානයක් ගොඩනඟා ගෙන ඒ තුලින් සකාත් මුදල් එක්රුස් කොට සුදුසු පුද්ගලයන් හා අවශ්‍යතාවය හදුනාගෙන මෙම මුදල් පලදායි අයුරින් යොදවන්න ක්‍රියා කලයුතුය. එසේ සිදු කිරීම තුල සකාතයේ අරමුණූ දිනාගැනීම පහසු වනු ඇත. (මෙවැනි සංවිධාන අප රටතුල විවිධ ප්‍රදේශවල දැනටත් ක්‍රියාත්මක වීම ද සතුටට කාරණයකි. එය විදිමත්ව හා සාමූහිකව ඉදිරියට ගෙන යාම හා මුස්ලීම් ව්‍යාපාරිකයන් මේ වටා ඒකරාශි වී තම කාලීන අවශ්‍යතාවය වන්නේ.)

එසේනම් ඉස්ලාම් පවසන ‘සකාතය’ තවදුරටත් තවත් දේව වන්දනයකට හෝ ඇදහීමකට සීමා කොට පමණක් බැලිය හැකි කාරණයක් නොවේ. එය ඊට ඔබ්බට ගිය ජීවන සැලැස්මක් මෙන්ම සමාජ අවශ්‍යතාවයක් යන්න අවබෝධ කරගත යුතුය. ලෞකික සැප සම්පත් තුල ගිලීයන මනුෂ්‍යත්වය හා ආත්මය පව්ත්‍ර කරන, ලෝභකම හා මසුරුකම තුරන් කරන, දුප්පතා හා පොහොසතා අතර අන්තර් අවබෝධයක් ගොඩනැඟීම තුලින් දිළිදුකම තුරන් කරන, අසරණ (දිළිඳු) ජනතාවට පිහිටවීමේ ගුණාංගය වර්ධනය කරන, පාප ක්‍රියාවෙන් මිනිසා මුදවා ගැනීමට (පවිත්‍ර වීමට) මඟපාදන මේ ‘සකාතය’ සැබැවින්ම අසමසම ආදර්ශයක් යන්න ඔබට අවබෝධ වනවා නොඅනුමානය?.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *