හජ් සහ උම්රා – ඉටුකළ යුතු ආකාරය

4

ඉස්ලාම් දහම මූලික වගකීම් නම් කුළුණු 05 ක් මත ගොඩනැඟී ඇති දහමක් යන්න මෙම ‘යහමඟ‘ අඩවිය තුල ලිපි ගණනාවකින් සාකච්චා කොට ඇත. එම කුළුනු 05 අතුරින් හජ් කර්තව්‍යය යනු ඉස්ලාම් දහමේ පස්වන කුළුනයි. (මේ පිලිබදව වැඩි විස්තර සදහා ‘හජ්‘ නම් ගොනුව මෙහි click කොට කියවන්න) වත්කම් හා නිරෝගී කමින් යුතු හජ් ඉටුකිරීමට හැකියාව ලත් සෑම මුස්ලිම් වරයෙක්ම ජීවිතයේ එක් වතාවක් මෙම කර්තව්‍ය ඉටුකිරීම අනිවාර්ය යුතුතමකි. මෙය සර්ව බලධාරී දෙවි තම ශුද්ධ වූ ග්‍රන්ථය වන පාරිශුද්ධ කුර්ආනයේ මෙසේ පවසයි.

එහි(මක්කා නගරයේ පිහිටා ඇති දේවස්ථානයෙහි) පැහැදිලි සංඥාද මකාමු ඉබ්රාහී (දේව වක්තෘ ඉබ්රාහී නැමදුම් කළ ස්ථානය) ද ඇත. එයට ඇතුළු වන කවරෙකු වුවද, ඔහු සුරක්ෂිත වන්නේ ය. (එබැවින්) එම (මක්කා නගරය) වෙත සැපවත් වීමට තරම් වත්පොහොසත් කම් ඇති මිනිසුන් කෙරෙහි අල්ලාහ් උදෙසා එම ගෘහය වෙත(ගොස්) හජ් වන්දනාව ඉටුකිරීම අනිවාර්ය වේ.

ශුද්ධ වූ කුර්ආනය  3-97

ඉහත කුර්ආන් වැකිය මගින් හජ් වන්දනාව කොතරම් වැදගත්ද යන්න මනාව පැහැදිලිවේ. ඒ අනුව ඉස්ලාම් අවදාරණය කරන අනිකුත් වත්පිළිවෙත් මෙන් හජ් සහ උම්රා ඉටුකළ යුතු ආකාරය ද නබි (සල්) තුමාණෝ ඉතා පැහැදිලිව ජනයාට පෙන්වා දී මෙසේ ප්‍රකාශ කොට ද ඇත.

‘ඔබලාගේ හජ් හා උම්රා නැමදුම (ඉටුකිරීමේ ක්‍රමවේදය) මාගෙන්ම ලබා ගන්න, මක්නිසාදයත් මාගේ මෙම හජ්වලින් පසු (නැවතත්)හජ් ඉටුකිරීමට නොලැබේ දැයි මම නොදනිමි’

ග්‍රන්ථය – සහීහ් මුස්ලිම්

ඉහත හදීසය තුලින් අවදාරණය කරන මූලික කාරණයක් වන ‘…හජ් හා උම්රා නැමදුම මාගෙන්ම ලබා ගන්න…’ යන වදන ‘යහමඟ’ පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මෙම හජ් කර්තව්‍ය කලයුතු ආකාරය ‍මෙතැන් සිට දැන් විමසා බලමු.

උම්රා – ඉටුකළ යුතු ආකාරය

ඉහ්රාම්

ඉහ්රාමයට පෙර ස්නානය කිරීම –

ආවර්ථය ඇති වූ කාන්තාවන්, දරු ප්‍රසූතිය නිසා රුධිර වහනය සිදුවන කාන්තාවන් ඇතුළුව හජ් සහ උම්රා ඉටුකරන සියළු දෙනා ඉහ්රාමයට පෙර ස්නානය කිරීම අනිවාර්ය වේ.

පුරුෂයින්ගේ ඉහ්රාමය –

මැහුම් නොමැති රෙදි කැබැලි දෙකක්. එක් කැබැල්ලක් සරමක ආකාරයට ඇඳ ශරීරයේ පහළ කොටස ආවරණය කළ යුතු අතර අනික් කැබැල්ලන් ශරීරයේ ඉහළ කොටස ආවරණය වන පරිදි ඇඳ ගත යුතු වේ. පාවහන් පැළඳ ගත හැකිය.

මෙහි ඉහත රූපයේ කළු පාටින් පෙන්වා ඇත්තේ ඉහ්රාම් ඇදීමේ දී  ශරීරයේ විවෘතව තිබිය යුතු ස්ථානයන්ය

පුරුෂයින්ට තහනම් ඇඳුම්

  • තොප්පි
  • තලපා
  • මසන ලද ඇඳුම්

කාන්තාවන්ගේ ඇඳුම්

සාමාන්‍ය පරිදි මසන ලද ඇඳුම් පැළදිය හැකි අතර හිස ආවරණය කළ යුතුය.

කාන්තාවන් නොපැළඳිව යුතු දෑ

  • මුහුණ ආවරණය නොකළ යුතුයි
  • අත් ආවරණය වන පරිදි මේස් නොපැළදිය යුතුය

ඉහ්රාම් වස්ත්‍රය ඇඳගත යුතු ස්ථාන

 1524حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ، حَدَّثَنَا وُهَيْبٌ، حَدَّثَنَا ابْنُ طَاوُسٍ، عَنْ أَبِيهِ، عَنِ ابْنِ عَبَّاسٍ، قَالَ: «إِنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَّتَ لِأَهْلِ المَدِينَةِ ذَا الحُلَيْفَةِ، وَلِأَهْلِ الشَّأْمِ الجُحْفَةَ، وَلِأَهْلِ نَجْدٍ قَرْنَ المَنَازِلِ، وَلِأَهْلِ اليَمَنِ يَلَمْلَمَ، هُنَّ لَهُنَّ، وَلِمَنْ أَتَى عَلَيْهِنَّ مِنْ غَيْرِهِنَّ مِمَّنْ أَرَادَ الحَجَّ وَالعُمْرَةَ، وَمَنْ كَانَ دُونَ ذَلِكَ، فَمِنْ حَيْثُ أَنْشَأَ حَتَّى أَهْلُ مَكَّةَ مِنْ مَكَّةَ»

صحيح البخاري

මදීනා වැසියන්ට දුල් හුලෛෆා නැමති ස්ථානයද, ෂාම් (සිරියා) වැසියන්ට ජුහ්ෆා නැමති ස්ථානයද, නජිද් වැසියන්ට කරනුල් මනාසිල් නැමති ස්ථානයද, ‍යෙමෙන් වැසියන්ට යලම්ලම් නැමති ස්ථානයද, ඉහ්රාම් අඳින ස්ථාන ලෙස නබි (සල්) තුමාණෝ නම් කර ඇත. මෙම ස්ථාන මෙම ස්ථානයන්හි ජීවත් වන අයට හා මෙම ස්ථාන හරහා හජ්  සහ උම්රාව අපේක්ෂාවෙන් පැමිණෙන අයටයි. මෙම සීමාවන් තුළ ජීවත් වන අයට ඔවුන් ජීවත් වන ස්ථානයම සීමාව වේ. මක්කා වැසියන් මක්කාවේදීම ඉහ්රාමය ඇඳගත යුතු යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.

බුහාරී – 1524,1526,1529,1530,1845

ඉහත හදීසයට අනුව නබි (සල්) තුමාණන් එක් එක් ප්‍රදේශවල අය ඉහ්රාම් ඇඳිය යුතු ස්ථානය නිර්නය කර ඇත. ඒ අනුව

  • මදීනා වැසියන්ට හා ඒ හරහා එන අයට දුල් හුලෛෆා නැමැත් ස්ථානයද
  • සිරියා වැසියන්ට හා ඒ හරහා එන අයට ජුහ්ෆා නැමැති ස්ථානයද
  • නජිද් වැසියන්ට හා ඒ හඑහා එන අයට කරනුල් මනාසිල් නැමැති ස්ථානයද
  • යෙමන් වැසියන්ට හා ඒ හරහා එන අයට යලම්ලම්(වර්ථමාන සහ්දීයා)

නබි (සල්) තුමාණන් නම් කර ඇත. හජ් හා උම්රා සඳහා එන සියලු දෙනා මෙම සීමාවේදී හෝ ඊට ප්‍රථම ඉහ්රාමය ඇඳගත යුතු වේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් යන අයට සීමාව වන්නේ යලම්ලම්(වර්ථමාන සහ්දීයා) නම් ස්ථාන යයි. මේ ආකාරයට උම්රා සඳහා ඉහ්රාම් අඳින විට ඉසිරිය යුතු වදනක් ද ඇත. එනම්,

لَبَّيْكَ عُمْرَةً (ලබ්බයික් උම්රතන්)

යැයි පැවසිය යුතු අතර හජ් සඳහා පමණක් ඉහ්රාම් අඳින්නේ නම්,

 (ලබ්බයික් හජ්ජන්) لَبَّيْك حَجًّا

යයි පැවසිය යුතුය. තවද හජ් සහ උම්රා යන දෙකම කරන්නේ නම්,

لَبَّيْكَ عُمْرَةً وَحَجًّا (ලබබයික් උම්රතන් හජ්ජන්)

යැයි පැවසිය යුතු  වේ.

ඉහ්රාම් ඇඳගත් කෙනෙකු වැළකී සිටිය යුතු කරුණු –
  • විවාහය –

ඉහ්රාම් ඇඳගත් පුද්ගලයා විවාහ වීම මගුල් කතා කිරීම වැනි කරුණු වලින් වැළකී සිටිය යුතුයි. (සාක්ෂි – සහීහ් මුස්ලිම් 2522,2524)

  • සංසර්ගය

තම භාර්යාව සමග හජ් හෝ උම්රා සඳහා ගිය පුද්ලයා ඉහ්රාම් ඇඳගත් පසු සංසර්ගයේ යෙදීම තහනම් වේ.(සාක්ෂි අල් කුර්ආන් – 2-197).

  • අනවශ්‍ය වාදභේදවල නියලීම

ඉහ්රාම් ඇඳගත් පුද්ගලයා අනවශ්‍ය වාදවල නියලීම තහනම් වේ (සාක්ෂි – 2-197)

  • දඩයම් කිරීම

ඉහ්රාම් ඇඳගත් පසු සතුන් දඩයම් කිරීම තහනම් වේ (අල් කුර්ආන් 5-95

  • සුවඳ විලවුන් ගෑම

ඉහ්රාම් අඳගැනීමෙන් පසු සුවඳ විලවුන් ගෑම තහනම් වන අතර ඉහ්රාම් ඇඳගැනීමට පෙර සුවඳ විලවුන් ගෑමෙහි ප්‍රශ්ණයක් නැත.(සාක්ෂි බුහාරී – 5928)

  • ශරීරයෙන් රෝම ඉවත් කිරීම

ඉහ්රාම් ඇඳගත් පසු හජ් කර්තව්‍ය ඉවරවන තෙක් නියපොතු කැපීම, රෝම ඉවත් කිරීම වැනි කරුණු වලින් වැළකී සිටිය යුතු වේ.(බුහාරී – 1814)

ඉහ්රාම් ඇඳිය යුතු කාලය –

හජ් වන්දනාවේ වත් පිළිවෙත් දුල් හිජ්ජා මස අටවන දින ආරම්භ වන නමුත් ඊට මාස දෙකකට කළින්ම ඉහ්රාම් ඇඳීම කළ හැකිය.

‘හජ් කර්තව්‍ය සඳහා වූ කාලය සැ‍‍වොම දන්නා නියමිත මාසයන් හි ය.’

ශුද්ධ වූ අල් කුර්ආන් 2-197

 

“وَأَشْهُرُ الحَجِّ الَّتِي ذَكَرَ اللَّهُ تَعَالَى فِي كِتَابهِ: شَوَّالٌ وَذُو القَعْدَةِ وَذُو الحَجَّةِ،” 1572 –

صحيح البخاري

‘අල්ලාහ් තම පුස්තකයේ සඳහන් කරන හජ් සඳහා වූ මාස වනුයේ ෂව්වාල්, දුල් කහ්දා සහ දුල් හිජ්ජා යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.’

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි 1572)

ඉහත කුර්ආන් වැකිය හා හදීසයට අනුව ෂව්වාල්, දුල් කහ්දා, දුල් හිජ්ජා යන මාස අතුරින් කුමන මසක වුවද ඉහ්රාම් ඇඳුම ඇඳිය හැකිය.

තල්බීය පැවසීම –

ඉහ්රාම් අඳින විට කිබ්ලා දෙසට හැරී තල්බීයාව පැවසිය යුතුය.(සාක්ෂි බුහාරී 1553). උස් හඬින් තල්බීයාව පැවසිය යුතු අතර කාන්තාවන්දටද තල්බීයාව උස් හඬින් පැවසිය හැකිය. මක්කාවට පැමිණි පසු තල්බීයාව නැවැත්විය යුතු ය.

තල්බීයාවේ වදන්

لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ، لَبَّيْكَ لاَ شَرِيكَ لَكَ لَبَّيْكَ، إِنَّ الحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَالمُلْكَ، لاَ شَرِيكَ لَكَ

ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික් ලාෂරීකලක ලබ්බයික්, ඉන්නනල් හම්ද වන් නිහ්මත ලක, වල් මුල්ක ලාෂරීකලක්

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී – 1549

මෙහි ඉහත රූපරාමුව තුලින් දැක්වෙන්නේ හජ් වන්දනය කරන පියවරයන් හා ඒහා සම්බන්ධ ස්ථානයන් පිලිබදව දළ විස්තරයන්ය.

මක්කාවට ඇතුළුවීම –

මක්කාවට ඇතුළුවීමට පෙර ස්නානය කර ගැනීමට අවස්ථාවක් ඇත්නම් ස්නානය කරගත යුතුයි. දවල් කාලයේ මක්කාවට ඇතුළුවීම ඉතා යෝග්‍ය වේ.(බුහාරී 1573) මක්කාවට ඇතුළු වන විට‍ මුඅල්ලාත් නැමැති ඉදිරිපසින් ඇතුළු විය යුතු යි.

ක:බාව පිහිටා ඇති මස්ජිදුල් හරමයට ඇතුළු වන විට ද අනිකුත් මස්ජිද් වලට ඇතුළු වන විට සිදුකරන්නාක් මෙන් වම්පාදය ඉදිරියට තබා ඇතුළු විය යුතු වේ. අනිකුත් මස්ජිද්වලට ඇතුළු වන අවස්ථාවේදී පාරායනය කරනු ලබන “اللهم افتح لي أبواب رحمتك අල්ලාහුම්මෆ්තහ් ලී අබ්වාබ රහ්මතික් (දෙවියාණෙනී! කරුණාවේ දොරටුව මා හට විවෘත කරනු මැනව) නැමැති දුආවම පාරායනය කළ යුතු වේ.

තවාෆුල් කුදූම් –

ක:බාවට ඇතුළු වූ විගස ඉටුකරනු ලබන පළමු තවාෆය තවාෆුල් කුදූම් යැයි හඳුන් වනු ලැබේ. තවාෆුල් කුදූම් යන්නෙහි තේරුම පැමි‍නීමේ තවාෆය යන්නයි. ක:බාවට පැමිණි විගස මෙම තවාෆය ඉටුකරන නිසා මෙයට තවාෆුල් කුදූම් යැයි කියනු ලැබේ.

තවාෆුල් කුදූම කළ යුතු ආකාරය –

ශුද්ධ වූ ක:බාවහි වටේට සත් වතාවක් සක්මන් කිරීම තවාෆ් වේ. තවාෆුල් කුදූම් වලදී පමණක් පළමු වට තුන දිව ගොස් තවාෆ කළ යුතු අතර ඉතිරි වට හතර සක්මන් කළ යුතු වේ.(බුහාරී – 1644,1617)

තවාෆ් කරන අවස්ථාවේදී පුරුෂයින් තම දකුණු උරහිස ආවාරණය නොව ආකාරයට ඉහ්රාම් ඇඳුම සකසා ගත යුතු වේ.( සාක්ෂි තිර්මිදී 787,අබූදාවූද් 1607)

ක:බාව තම වමතට පිහිටන පරිදි සිට ‍ගෙන හජරුල් අස්වද් ගල (මෙය ක:බාවේ එක් කොනක පිහිටා ඇත.) අතින් ස්පර්ශ කර, එම අත සිපගෙන තවාෆයේ වටය ආරම්භ කළ යුතු වේ. නැවතත් එම හජරුල් අස්වද් ගල පිහිටි ස්ථානයට පැමිණි විට එක් වටයක් ලෙස සලකා වට හතරක් ගමන් කළ යුතුය.(සාක්ෂි මුස්ලිම් 2213,2214) හජරුල් අස්වද්ගල අතින් ස්පර්ශ කළ නොහැකි තරමට සෙනග නම් හජරුල් අස්වද් ගල වෙත ඉඟි කර, තවාෆය ආරම්භ කළ යුතුවේ. එක් එක් වටයක් ආරම්භයේදී හජරුල් අස්වද්ගල අතින් ස්පර්ශ කර අත සිප ගත යුතු ය. සෑම වටයේදීම හජරුල් අස්වද් ගල වෙත පැමිණි විට අල්ලාහු අක්බර යැයි තක්බීර් පැවසිය යුතු ය.( බුහාරී – 1613)

ක:බාවේ තවත් කොනකි රුක්නුල් යමාන් නම් කොන. තවාෆ් කරන අවස්ථාවේ දී මෙම රුක්නුල් යමාන් නම් කොන වෙතින් ගමන් කරන විට එය ද අතින් ස්පර්ශ කර අත සිප ගත යුතු වේ. එසේ කිරීමට අපහසු තරමට සෙනග නම් ඒ දෙසට ඉඟි කිරීම අවශ්‍ය නොවේ.

රුක්නුල් යමානය හා හජරුල් අස්වද් ගල අතරින් ගමන් කරන විට පහත දුආව පාරායණය කළ යුතු යත. (අහ්මද් 14851, අබූ දාවූද් 1616)

رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ

“රබ්බනා ආතිනා ෆිද් දුන්යා හසනතන් වෆිල් ආහිරති හසනතන් වකිනා අසාබන් නාර්”(දෙවියනී! අපහට මෙලොවේදීත් යහපතම දෙනු මැනව! පරලොවේදීත් යහපතම දෙනු මැනව!)

වට හතක් අවසානයේ මකාමු ඉබ්රාහීම් නම් ස්ථානයට ගොස්,

وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى” (වත්තහදූ මිම් මකාමි ඉබ්රාහීම මුසල්ලා)

(අල්කුර්ආන් 2-125) යැයි පාරායණය කළ යුතු වේ. මෙම අවස්ථාවේදී පුරුෂයින් තවාෆ් අවස්ථාවේදී නිරාවරණය කර තිබූ දකුණු උරහිස ද ඉහ්රාම් රෙද්දෙන් ආවරණය කර ගත යුතු යි.

මකාමු ඉබ්රාහීම් නම් ස්ථානය තමා හා ක:බාව අතර පිහිටන සේ සිට රකඅත් දෙකක් සලාතය ඉටුකළ යුතු වේ. එම සලාතයේදී පළමු රකඅතය ඉටුකර විට කුල්යා අයුයුහල් කාෆිරූන් සූරාවද, දෙවන රකඅතයේදී කුල්හුවල්ලාහු අහද් සූරාවද පාරායනය කළ යුතු ය.(මුස්ලිම් 2137) සලාතය අවසන් වූ විට සම්සම් ජලය ඇති ස්ථානයට ගොස් එය පානය කර, එයින් ස්වල්පයක් හිසිහි තවරා ගත යුතු ය.(අහ්මද් 14707)

අවසානයේදී හජරුල් අස්වද් ගල වෙත නැවත ගොස් එය අතින් ස්පර්ශ කර අත සිප ගත යුතුය.(මුස්ලිම් 2137). මෙයින් තවාෆය අවසන් වන අතර ඉන් පසු සඊ කරීමට යා යුතු ය.

සෆා මර්වා අතර සඊ කිරීම –

සඊ යනු සෆා සහ මර්වා නම් ස්ථාන දෙක අතර දිවීම වේ. මෙසේ වාර හතක් දිවිය යුතුයි. සෆා සිට මර්වා දක්වා දිවීම එක් වාරයක් ලෙසද යළිත් මර්වා සිට සෆා දක්වා දිවීම තවත් වාරයක් ලෙස ද ගනන් ගෙන වාර හතක් දිවිය යුතු ය. දිවීම ආරම්භ කළ යුත්තේ සෆා වල සිටය. මර්වා වලින් අවසන් වේ.

මුලින් තවාෆ් වලින් පසු සෆා නැමැති ස්ථානයට පැමිණ,

“إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللَّهِ”(ඉන්නස් සෆා වල් මර්වත මින් ෂආයිරිල්ලා)

(සෆා සහ මර්වා අල්ලාහ්ගේ සලකුණු වේ. අල් කුර්ආන් – 2-158)

යන ශුද්ධ වැකිය පාරායනය කළ යුතු ය. දිවීම ස‍‍ෆා නැමැති ස්ථානයෙන් ආරම්භ කිරීමට ඒමත නැග ක:බාව දෙස බැලිය යුතු යි. ක:බාව දෙසට හැරී ‘ලාඉලාහ ඉල්ලල්ලාහ්’ යැයි පවසා ‘ අල්ලාහු අක්බර්’ යැයි තක්බීර් පැවසිය යුතු ය. පසුව පහත සඳහන් දුආව තුන් වරක් පාරායනය කළ යුතු ය.

“لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ، أَنْجَزَ وَعْدَهُ، وَنَصَرَ عَبْدَهُ، وَهَزَمَ الْأَحْزَابَ وَحْدَهُ”

ලායිලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීකලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයියින් කදීර්, ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහ්, අන්ජස ව:දා, වනසර අබ්දහ්, වහසමල් අහ්සාබ වහ්දා

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලිම් – 2137

මෙම දුආව පාරායනය කරන අතරතුර තමන්ට අවශ්‍ය ප්‍රාර්ථනාවන්ද කළ හැකිය.

මෙම දුආව පාරායනය කළ පසු මර්වා නම් ස්ථානය වෙත දිවිය යුතුය. මර්වාව වෙත දුවන අවස්ථාවේදී බදනුල් වාදී (වර්ථමානයේ මෙම ස්ථානය කොළ පැහැති විදුලි පහනින් සංඥා කර ඇත.) නම් ස්ථානයේදී වේගයෙන් දිවිය යුතු ය.

මර්වා නම් ස්ථානයට පැමිණි පසු මර්වා කන්දට නැග කිබ්ලා දෙසට හැරී සෆාවල ඉටුකළ එම දුආ ප්‍රාර්ථනාවම මෙම මර්වා නම් ස්ථානයේද කළ යුතු ය. පසුව සෆා නමැති ස්ථානයට දිවිය යුතු වේ. මෙය දෙවන වාරය යි. මේ ආකාරයට හත් වාරයක් දිවීමෙන් පසු මර්වා වලින් සඊ කිරීම අවසන් වේ.

හිස බූ ගෑම

මර්වා වලින් සඊ කිරීම අවසන් වූ  විටහිසකෙස කපා අඩු කර ගත යුතුය. මේ සමග උම්රාව අවසන් වේ. මින් පසු දුල්හජ් හස 8 වන දින යළිත් හජ් සඳහා ඉහ්රාම් ඇඳිය යුතුය. සංසර්ගය ඇතුළුව ඉහ්රාමය නිසා තහනම් වූ සියල්ල දැන් මොහුට අනුමත වෙයි. මෙම අනුමැතිය ඇත්තේ යළිත් දුල් හජ් මස 8 වන දින හජ් සඳහා ඉහ්රාම් ඇඳ ගන්නා තුරු පමණි.

හජ් ඉටුකළ යුතු ආකාරය

හජ් තමත්තවු

ඉහත සඳහන් කළ ආකාරයට උම්රාව අවසන් කොට යළිත්  හජ් සඳහා දුල් හිජ්ජා මස 8 වන දින ඉහ්රාම් ඇඳ ඉටුකරන හජ් කර්තව්‍ය හජ් තමත්තවු වේ. මෙහිදී උම්රාව ඉටුකර ඉහ්රාමයෙන් මිදුනු පසු යළිත් දුල් හිජ්ජා මස 8වන දින හජ් කර්තව්‍ය සඳහා ඉහ්රාම් ඇඳගන්නා තුර ඉහ්රාමය නිසා තහනම් වූ සියල්ල කළ හැකි වේ.

හජ් කිරාන්

හජ් සහ උම්රාව එකම ඉහ්රාම් ඇඳුමකින් ඉටුකිරීම හජ් කිරාන් වේ. තමත්තවූ වලදී මෙන් ඉහ්රාමයෙන් මිදී යළි හජ් සඳහා ඉහ්රාම් ඇදීමක් මෙහි සිදු නොවේ. උම්රාවට ඇඳගත් එම ඉහ්රාමයෙන්ම හජ් කර්තව්‍යද ඉටුකළ යුතුය. කිරාන් යන්නෙහි අර්ථය එකතු කර ඉටුකිරීම නම් වේ.

කිරාන් ක්‍රමයට හජ් ඉටුකරන විට උම්රා කරන අවස්ථාවේ ස‍ෆා හා මර්වා අතර සඊ කළ පසු, හජ් කරන අවස්ථාවේ සඊ කිරීමට අවශ්‍ය නැත. එසේ නැත්නම් උම්රා කරන අවස්ථාවේ සඊ නො කරන හජ වලදී පමණක් සඊ කළ හැකිය.

තමත්තවූ හා කිරාන් යන ක්‍රම දෙකෙන් කුමන ක්‍රමයකට හජ් කර්තව්‍ය ඉටුකළද, ඔවුන් කුර්බාන් දිය යුතුය. එසේ කුර්බාන් දිය නොහැකි අය මක්කාවේදී දවස් තුනක් හා තම ගමට හැරුණු පසු දවස් හතක් උපවාසය රැකිය යුතු වේ.

හජ් ඉෆ්රාද්

හජ් කර්තව්‍ය පමණක් ඉටුකිරීම ඉෆ්රාද් වේ. මේ ආකාරයට හජ් කරන විට ඔවුන් උම්රා කිරීමට අවශ්‍ය නැත. එම නිසා ඔවුන් කුර්බාන් දීමටද අවශ්‍ය නැත. ඉෆ්රාද් හා කිරාන් අතර ඇති වෙනස වන්නේ නීයත් නම් චේතනාව හා කුර්බාන් දීම හැර වෙන කිසිඳු වෙනසක් නොමැත.

දුල් හජ් මස 8 වන දින

දුල් හජ් මස 8 වන දින ‘ලබ්බයික් හජ්ජන්’ යැයි පවසා හජ් කර්තව්‍ය සඳහා ඉහ්රාම් ඇඳගත යුතු වේ. ඉහත උම්රාවලදී ඉහ්රාමයට පැවසූ නීතිරීති සියල්ල හජ්වලටද ඉහ්රාම් ඇඳගත පසු වලංගු වේ. තමා සිටින ස්ථානයේදීම හජ් සඳහා ඉහ්රාම් ඇඳගෙන තල්බීයාව පැවසිය යුතු යි. දුල් හජ් 10 වන දින ජම්රතුල් අකබාවේදී ගල් ගසන තුර නොකඩවා තල්බීයාව පැවසිය යුතුය.( සාක්ෂි මුස්ලිම් – 2137, බුහාරී – 1683,1687)

මෙසේ ඉහ්රාමය ඇඳගෙන මිනා නම් ස්ථානයට ගොස් එහි ඊලඟ දින එනම් 9 වන දින උදය වරුව දක්වා රැඳිය යුතුය. මිනාහි ලුහර්,අසර්,මග්රිබ්, ඉෂා, සුබහ් යන සලාතයන් අදාල වේලාවන්හිදී ඉටුකළ යුතුය. ලුහර්, අසර් හා ඉෂා නම් රකඅත් හතරකින් යුතු සලාතයන් රකඅත්දෙදක් ලෙස කස්රු(කෙටිකර) කර  ඉටුකළ යුතු වේ.( මුස්ලිම් – 2137)

දුල් හජ 9 වන දින – අර‍ෆා නම් ස්ථානයට යෑම

සූර්යා උදාවීමත් සමග මිනා නම් ස්ථානයේ සිට අරෆා නම් ස්ථානයට යා යුතු වේ. මෙසේ යන අවස්ථාවේදී තල්බීයාව හා (අල්ලාහු අක්බර් යැයි)  කත්බීරය කිව හැකිය.(බුහාරී 970)

 

අරෆා නම් ස්ථානයට යන අවස්ථාවේදී නමිරා නමින් ස්ථානයක් හමුවේ. නමිරා යනු අරෆාවට අසල ස්ථානයක් වන අතර මෙය අරෆාවට අයත් නොවේ. සූර්යා මුදුන් වී (එම තත්වය වෙනස වනතුරු එනම්,) මොහොතක් යනතුර මෙම ස්ථානයේ නැවතිය යුතුය.(මුස්ලිම් 2137)

සූර්යා මුදුනෙන් බැස ගිය පසු බත්නුල් වාදී(හෙවත් උර්නා) නම් ස්ථානයට පැමිණිය යුතු වේ. මෙම ස්ථානය අරෆා නම් ස්ථානයට මදක් ඉදිරියෙන් පිහිටා ඇත. මෙම ස්ථානයේදී ඉමාම් වරයා දේශණයක් පවත්වනු ඇත.(මුස්ලිම් 2137)

නමිරා සහ බතනුල් වාදී නම් ස්ථානවල රැදීමට නොහැකි තරමට සෙනග නම් කෙලින්ම අරෆාව වෙත යෑමෙහි වරදක් නොමැත. අරෆාහි ලුහර් සහ අසර් යන සලාතයන් දෙක ජම්උ කර එනම් එකම වෙලාව ඉටකළ යුතු අතර කස්රු කර එනම් රකඅත් හතර දෙකකට කෙටි කර ඉටුකළ යුතු ය. මෙම අසර් හා ලුහර යන සලාතයන් දෙක සඳහා එකම අදානයක් හා ඉකාමක් දෙකක් පැවසිය යුතු වේ. මෙම අසර් හා ලුහර් සලාතයන් දෙක අතරතුර නබි (සල්) තුමාණෝ වෙන කිසිඳු සලාතයක් ඉටුකර නොමැති බව අවධාරණය කළ යුතුය.(මුස්ලිම් 2137)

අරෆා නම් ස්ථානයට ගිය විට අරෆා සීමාව තුළ කුමන ස්ථානයක වුවද රැදී සිටිය හැකිය. හජ් කර්ත්‍යයෙහි ප්‍රධානම අංගය අරෆා නම් ස්ථානයේ රැදීමයි. නබි (සල්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ

“හජ් යනු අරෆා(වෙහි රැදීම) වේ. 10 වන දින රාත්‍රී‍යේ ෆජ්ර් වේලාවට පෙර (අරෆාවට) පැමිණි පුද්ගලයා හජ් යාච්ඡාව අයත් කරගත්තේය”

මූලාශ්‍ර ග්‍රන්ථය නසාඊ – 2966,2994 තිර්මිදී 814

 

ජබලුරහිමා හි ප්‍රාර්ථනා කිරීම

අරෆාවෙහි කුමන ස්ථානයක වුවද රැදිය හැකි වුවත් ජබලුර් රහිමා නම් කඳු මුදුනට වී එහි සිට කිබ්ලාව දෙසට හැරී ප්‍රාර්ථනා අත් දෙක ඔසවා ප්‍රාර්ථනා කිරීම හා තල්බීයා පැවසීම ඉතාමත් යහපත් ක්‍රියාවකි.

අරෆවෙහි වැඩියෙන් ප්‍රාර්ථනා කළ යුතු අතර එහි සිදුවන කුත්බා දේශණයටද සවන් දිය යුතු වේ.

අරෆා දිනයේදී උපවාසය රැකීම හජ් ඉටුනොකරන අයට සුන්නත් ක්‍රියාවත් වුවද, එදින හජ් කර්තව්‍ය ඉටුකරන අය උපවාසය රැකීම නබි (සල්) තුමාණන් විසින් තහනම් කර ඇත.(සාක්ෂි බුහාරී – 1658,5604)

මුස්දලිෆා නම් ස්ථානයට යෑම

ඉර බැස ගිය පසු අරෆාවේ සිට මුස්දලිෆා නම් ස්ථානයට නිශ්ශබ්දව හා සන්සුන්ව ගමන් කළ යුතු වේ. මුස්දලිෆායට ගොස් එක් අදානයක් සහ ඉකාමතයක් පවසා මග්රිබ් සලාතය ඉටුකළ යුතු ය. ඒ සමගම තවත් ඉකාමතයක් පමණක් පවසා ඉෂා සලාතය රකඅත් දෙකකට කෙටිකර (ක්සරු කර) ඉටුකළ යුතු වේ. මෙම සලාත් දෙක අතරත්, ඉෂා සලාතයට පසුවත් වෙනත් කිසිඳු සලාතයක් ඉටුනොකළ යුතු ය. පසුව සුබහ් වේලාව දක්වා නිදාගත යුතු ය. ෆජිර් වේලාව වූ විට එක් අදානයක් හා ඉකාමතයක් පවසා ෆජ්ර් සලාතය ඉටුකළ යුතු ය.(මුස්ලිම් 2137)

සුබහ් සලාතය මුස්දලිෆාවේ ඉටුකළ යුතු වුවද, සෙනග නිසා කාන්තාවන්ට වයෝවෘද්යන් වැනි බලහීණයන්ට මධ්‍යම රාත්‍රීයෙන් පසු සුබහ් වේලාවට පෙරම පිටවිය හැකිය. (බුහාරී – 1678,1677)

10 වැනි දිනය – මෂ්අරුල් හරාම් නම් ස්ථානයේ ප්‍රාර්ථනා කිරීම

මුස්දලිෆා නම් ස්ථානයේ ෆජ්ර් සලාතය ඉටුකළ පසු, මෂ්අරුල් හරාම් නම් ස්ථානයට ගොස් එහි කිබ්ලා  දිශාවට හැරී අල්ලාහ් ගෙන් ප්‍රාර්ථනා කළ යුතු ය. මෙහිදී අපට අවශ්‍ය ප්‍රාර්ථනාවන් කළ හැකිය. මෙම ස්ථානයේදී අල්ලාහු අක්බර්, ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන වදන් පවසා අල්ලාහ්ව සුවිශුද්ධ කර ඔහුට ප්‍රසංශා කළ යුතුය.සූර්යා උදාවීමට පෙර මෂ්අරුල් හරාම් නම් ස්ථානයේ දුආ කළ යුතුය.(මුස්ලිම් 2137)

මුස්දලිෆාහි කුමන ස්ථානයේ වුවද රැදී සිටිය හැකිය.(මුස්ලිම් 2138)

නැවතත් මිනාවට පැමිණීම

10 වන දින උදයවරුවේදී සූර්යා උදාවීමට ප්‍රථම මිනාවට නැවත පැමිණිය යුතු ය. මිනාවට යන විට බත්නුල් මුහස්සිර් නම් ස්ථානයේදී මදක් වේගයෙන් ගමන් කළ යුතු වේ. මිනාහි පිහිටා ඇති ජම්රතුල් අකබා නම් ස්ථානයට මාර්ගයෙහි මැදින් ගමන් කළ යුතු වේ.(මුස්ලිම් 2137)

මිනාහි ඉටුකළ යුතු කර්තව්‍යයන්
ගල් ගැසීම

දුල් හජ් 10 වන දින උදය වරුවේදී මුස්දලිෆාවෙන් පිටත් වී මිනාවට ඇතුළු වූ විගස ‘ජම්රතුල් අකබා’ නම් ස්ථානයේ පමණක් ගල් හතක් ගැසිය යුතුය. මුස්දලිෆාහි සිට මිනාවට ඇතුළු වන විට වමතට ජම්රතුල් අකබා නම් ස්ථානය පිහිටා තිබේ.මිනාහි ගල් අහුලාගත යුතු ය. කුඩා ගල් කැට හතක් අහුලා ගත යුතු ය. එක් එක් ගල විසිකරන අවස්ථාවේදී ‘අල්ලාහු අක්බර්’ යැයි තක්බීර් පැවසිය යුතුය. ගල් හතම ගැසූ පසු කිබ්ලා දිශාවට හැරී අත් දෙක ඔසවා දීර්ඝ වේලාවක් ප්‍රාර්ථනා කළ යුතුය.(බුහාරී 1753)

ගල් ගැසිය යුත්තේ සූර්යා උදාවීමෙන් පසුව වුවද, මුස්දලිෆාවේන් රාත්‍රීයේදීම පිටත් වූ කාන්තාවන්ට සූර්යා උදාවීමට පෙරම ගල් ගැසීම කළ හැකිය.(බුහාරී – 1679) සූර්යා මුදුන් වූ මොහොතේ ගල් ගැසීම සිදු නොකලයුතු අතර ඊට පෙර හෝ පසු රාත්‍රීය දක්වා වුවද ගල් ගැසීම කළ හැකිය.(බුහාරී 1723)

ජම්රතුල් අකබාවේ ගල් ගැසීම අවසන් කළ පසු මිනාහි කුර්බාන් කරන ස්ථානයට පැමිණ, එළුවෙක් හරකෙක් හෝ ඔටුවෙක් කුර්බාන් දිය යුතුය. මිනාව සම්පූර්ණයෙන්ම කුර්බාන් කරන ස්ථානය යැයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කර ඇති නිසා මිනාහි ඕනෑම ස්ථානයක කුර්බාන් කළ හැකිය. තමාම කුර්බාන් සතාව කැපීම නබි මග වේ. වෙනත් කෙනෙකු ලවා කැපීමෙහිද ප්‍රශ්ණයක් නොමැත.ඔටුවෙක් හෝ හරකෙ‍ක් කුර්බාන් කරන විට හත් දෙනෙක් එකතු වී එය කුර්බාන් දිය හැකිය.(මුස්ලිම් 2137,2138,2128)

තමත්තවු හෝ කිරාන් ක්‍රමයට හජ් ඉටුකරන අය මෙසේ කුර්බාන් දිය යුතු අතර, එසේ කුර්බාන් දිය නොහැකි කෙනෙකුට මක්කාවේදී දවස් තුනක් හා ගමට හැරුණු පසු දවස් හතක් ලෙස දවස් 10ක් උපවාසයෙහි යෙදිය යුතු ය. අයියාමුත්තෂ්රීක් යැයි හඳුන්වනු ලබන 11, 12, 13 යන දිනයන්හි එම උපවාසය රැකිය හැකිය.(බුහාරී 1998)

හිසකෙස් බෑම

කුර්බාන් දීමෙන් අනතුරුව  හිස බූගෑම කළ යුතුය. සම්පූර්ණයෙන් හිස කෙස් ඉවත් කර හිස බාගත යුතුය. හිස කෙස් බෑම  ඉතා යෝග්‍ය වේ. කාන්තාවන් හිසකෙස් කපා අඩුකර ගැනීම කළ යුතු ය.

හිස බූගෑමත් සමග ඉහ්රාමයේදී තහනම් වූ ක්‍රියා වලින් සංසර්ගය හැර අනිකුත් සියලු ක්‍රියා කළ හැකිය.(අබූ දාවූද් 1708)

තවාෆුල් ඉහ්ෆාලා

10 වන දින ක:බාව වෙත ගොස් (හජ් සඳහා වූ)තවාෆය ඉටුකළ යුතුය. මෙම තවාෆයේදී පළමු වට තුන වේගයෙන් ගමන් කිරීමට හෝ දකුණු උරහිස නිරාවරණය කිරීමට අවශ්‍ය නැත. තවාෆ‍යේ වට හත අවසානයේ මකාමු ඉබ්රාහීම් නම් ස්ථානයේ රකඅත් දෙකක් සලාත් ඉටුකළ යුතු ය. පසුව සෆා හා මර්වා අතර සඊ කළ යුතුය. කිරාන් ක්‍රමයට හජ් කරන අය උම්රා කරන විට සඊ කර ඇත්නම් මෙම අවස්ථාවේදී සඊ කිරීමට අවශ්‍ය නැත.(අබූ දාවූද් 1708, බුහාරී 396)

මෙම තවාෆය අවසානයේ සහමුලින්ම ඉහ්රාමයෙන් නිදහස් වන අතර සංසර්ගය ඇතුළු සියලු ක්‍රියාවල යෙදීමට අවසර ඇත.

හජ් කර්තව්‍ය ඉටුකර හාජිවරුන්ට හජ් අවුරුදු යාක්ඥාවක් නොමැති අතර, දුල් හජ් 10 වන දින නබි (සල්) තුමාණෝ මිනාහි දේශණයක් පැවැත් වූ බවට හදීස්වල සාක්ෂි ඇත.(අහ්මද් 19218,අබූදාවූද් 1669)

ගල් ගැසිය යුතු දින හා ස්ථාන

10 වැනි දින ජම්රතුල් අකබා නම් ස්ථානයේ පමණක් ගල් කැට හතක් ගැසිය යුතු බව මීට පෙර සඳහන් කළෙමු. එසේම දුල් හජ් 11, 12, 13 යන දිනයන්ද ගල් ගැසිය යුතු දින වේ. මෙම දිනයන්හිද ගල් ගැසීම සඳහා රාත්‍රීයේ මිනාවලම රැදිය යුතු ය. මෙම දිනයන්හිදී සූර්යා මුදුනේ සිට බැසයා‍ම ඇරඹු විට ගල් ගැසිය යුතු ස්ථාන තුනෙහිම ගල් හතක් බැගින් ගැසිය යුතු ය.

මිනාවට ඇතුළු වන ස්ථානයේ වමතට ජම්රතුල් අකබා නම් ස්ථානය පිහිටා ඇති බව කළින් සඳහන් කළෙමු. එහි සිට මීටර් 116.77ක දුරින් ජම්රතුල් උස්තා නම් ස්ථානයද ජම්රතුල් උස්තාහි සිට මීටර් 156.4ක දුරින් ජම්රතුල් උලා නම් ස්ථානයද පිහිටා ඇත. මෙම ස්ථාන තුනම ගල් ගැසිය යුතු ස්ථාන වේ.

“ඉබ්නු උමර් රළි තුමා උලා නැමැති ස්ථානයේ ගල් හතක් ගැසීය. එක් එක් ගල ගසන විට තක්බීර් පැවසිය. පසුව මදක් ඉදිරියට පැමිණ සමතලා තැනක් තෝරා, කිබ්ලාව දෙසට හැරී, දීර්ඝ වේලාවක් සිටගත්තේය. තම අත් දෙක ඔසවා දුආ කලේය. පසුව ජම්රතුල් උස්තා හි ගල් ගැසීය. ඉන්පසු වමතට ගමන් කොට සමතලා තැනක කිබ්ලා දිශාවට හැරී සිටගත්හ.  පසුව අත් දෙක ඔසවා දුආ කළේය. එහි දීර්ඝ කාලයක් ගත කළේය.පසුව බත්නුල් වාදී නම් ස්ථානයේ සිට ජම්රතුල් අකබාවෙහි ගල් ගැසීය. නමුත් එහි නොරැදී පිටත් විය. නබි (සල්) තුමාණෝ මෙසේ කළ බව මම දුටුවෙමියි පැවසීය.”

(බුහාරී – 1751, 1753)

මේ ආකාරයට දවස් තුනක් මිනාහි ගත කොට ගල් ගැසිය යුතුය. ගල් ගැසීමට මිනාහි නැවතී සිටීම නබි මග වුවද, යම් අනිවාර්ය හේතුවක් නිසා මක්කාවේ නැවතීමට සිදුවේ නම් එසේ කිරීමෙහි වරදක් නොමැත.(සාක්ෂි බුහාරී – 1634,1745)

තවාෆුල් විදා (සමුගැනීමේ තවාෆය)

මිනාහි ගල් 11, 12 සහ 13 දිනයන්හි ගල් ගසා අවසන් වූ පසු, හජ්හි සියලු කර්තව්‍යයන් අවසන් වේ. නමුත් අවසාන වශයෙන් තවාෆුල් විදා නැමැති සමුගැනීමේ තවාෆය ඉටුකළ යුතු ය. තවාෆුල් ඉහ්ෆාලා ඉටුකළ ආකාරයටම මෙම තවාෆයද ඉටුකළ යුතු ය. මෙම තවාෆයත් සමග හජ්හි සියලු කටයුතු අවසන් වන අතර හාජි වරුන්ට පිටත් විය හැකිය.

 

ඉබුනු ජෙමීල්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 4 යි.

  1. Mohamed 2014-10-03 at 09:48

    හජ් වන්දනාවට යෑමේදී අසල්වාසීන් නෑ හිතමිතුරන් සියල්ල සමග සලාම්දීම අනිවාර්ය ක්‍රියාවක්ද??

    • අබූ අර්ශද් 2014-10-05 at 07:29

      මුස්ලීම් තම සහෝදර මුස්ලීම්වරුන් සමඟ සහෝදරත්වය ගොඩනඟා ගැනීම හොද දෙයක්. නමුත් හජ් කර්තව්‍ය ඉටු කිරීමට යාමට පෙර ‘සලාම්දීම’ නම්, සම්ප්‍රදායක් ඉස්ලාම් පෙන්වාදී නැත.

  2. Nihad 2013-10-15 at 08:22

    Are Shia People allowed to perform Haji?? Are they Perform Haji?

    • අබූ අර්ශද් 2013-10-15 at 15:59

      ශියාවරුන් මුස්ලීම්වරුන් නොවේ යන්නෙහි කිසිදු විවාදයක් නොමැති බව මීට ඉහත මෙම අඩවිය තුලින් සාකච්චා කල ‘ශියාවරුන් මුස්ලීම්ද?’ යන ලිපිය තුලින් ඔබට කිසියම් අවබෝධයක් ඇතැයි සිතමි. එවන් තත්වයක ශියවරුන්ට හජ් ඉටුකරන්න සවුදි රජය අවසරඑ දෙනවාද? යන්න මෙහි ඔබේ පැනයයි. ඉස්ලාම් නමින් විවිධ නිකායන්ට බෙදී සිටින සියළු පාර්ශවයන් ‘හජ්’ වන්දනය සදහා මක්කාවට යන බව අපට හොදින් පෙනෙන කාරණයකි. ඒ අනුව ශියාවරුන් ද හජ් වන්දනය සදහා යන අතර මෙවැනි පිරිස් වැලැක්වීමට කිසිදු වැඩපිලිවලක් ක්‍රියාත්මක නොවන බවත් පැහැදිලිව පෙනේ. එපමණක් නොව ලොවපුරා මෙම ශියාවරුන් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන අතර අරාබි දේශයේ ද බොහෝ ප්‍රදේශවල මෙම ශියාවරුන් ජීවත් වෙති.
      කෙසේ නමුත් මෙතැන දී පැහැදිලිව වටහා ගතයුතු කාරණය වන්නේ ඉස්ලාමීය මූලික විශ්වාසයේ නිසි පිලිගැනීම නොමැති තැන කිසිදු වන්දනාවකින් පලක් අත් නොවනවා යන්නයි.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *