හදීස් හෙවත් දිව්‍යමය වදන්

0

ඉස්ලාම් දහම පිලිබදව කථා කරන විට එහි මූලාශ්‍රයන්ට හිමිවන්නේ ප්‍රධාන තැනකි. මෙය ඉස්ලාම් දහමට පමණක් ආවේනික නොවන පොදු ගුණාංගයකි. ඒ අනුව ඉස්ලාම් දහමේ මූලාශ්‍රයක් වන ශුද්ධ වූ කුර්ආනය පිලිබදව එනම්, එය ග්‍රන්ථාරුඩ වූ ඉතිහාසය, එය ආරම්භයේ පටන් ආරක්ෂා වූ ආකාරය, එහි ඉගෙන්වීමන් කවරේද? යන්න, ශුද්ධ වූ කුර්ආන් පරිවර්ථනවල සිදු ඇති දෝෂ මොනවාද? යන්න… යනාදී ලෙස පුළුල්ව එම විෂය ‘යහමඟ‘ අඩවිය තුල සාකච්චා කොට ඇත. එසේ වුවත් ශුද්ධ වූ කුර්ආනය තරමට ම වැදගත් තවත් ඉස්ලාමීය මූලාශ්‍රයක් වන ‘ශුද්ධ වූ නබිවදන් හෙවත් හදීසය’ නම් විෂය පිලිබදව ‘යහමඟ’ අඩවිය තුල එතරම් ගැඹුරින් සාකච්චා නොවීම මෙතෙක් පැවතී විශාල අඩුවක් වන නිසාත්, ශ්‍රී ලාංකීය මුස්ලීම් නොවන සමාජයට මෙන්ම මුස්ලීම් සමාජයේ සැලකියයුතු තරම් පිරිසකට මේ විෂය පිලිබදව පැහැදිලි අවබෝධයක් ‍නොමැති වීමත් සැලකිල්ලට ගෙන ‘ශුද්ධ වූ නබිවදන්’ එසේත් නැත්නම් මුහම්මද් (සල්) තුමාගේ වදන්, ක්‍රියාවන් හා අනුමත කිරීමන් සරලව පවසනවා නම් ‘හදීස්’ නම් විෂය ‘යහමඟ’ අඩවිය තුල ‘හදීස් හෙවත් ශුද්ධ වූ නබිවදන්’ යන මාතෘකාව ඔස්සේ කථා කිරීමට අදහස් කරමි.

මෙම විෂය ‘යහමඟ’ අඩවිය තුල මෙලෙස සාකච්චා කිරීමට කාලීනව ප්‍රධාන හේතු ගණනාවක් ඇත. එනම්,

  • ශ්‍රී ලාංකීය සමාජය තුල වෙන කවරදාකටත් වඩා සිංහල භාෂාවෙන් ඉස්ලාම් පිලිබදව කථා කිරීම (එනම්, වෙබ් අඩවි, සංවාද මණ්ඩප, පුවත්පත්… යනාදී තුලින්) සිදුවන නිසා ‘හදීස්’ හෙවත් ‘ශුද්ධ වූ නබිවදන්’ ද ඒ තුල සාකච්චා වීම,
  • මුස්ලීම් නොවන සමාජය ඉස්ලාම් පිලිබදව කථා කිරීමේ දී ශුද්ධ වූ කුර්ආනයට ලබාදෙන තැන ශුද්ධ වූ හදීසයන්ට ලබා නොදීම,
  • මුස්ලීම් සමාජය පවා ශුද්ධ වූ කුර්ආනය කෙරෙහි අවබෝධය ගොඩනඟාගත් ආකාරයට ශූද්ධ වූ නබිවදන් පිලිබදව අවබෝධයන් ගොඩනඟා ගැනීමට අසමත්වීම,
  • ශුද්ධ වූ නබිවදනට මුස්ලීම් සමාජය තුල නිසි තැන නොලැබීම නිසා විවිධ වූ මතවාද මතභේද සමාජය තුල නිර්මාණය වී තිබීම,
  • ලොව කිසිදු දහමක් දර්ශනයක් අතීතයේ පටන් එසේම ආරම්භයේ පටන් ආරක්ෂා නොවූ ආකාරයට ඉස්ලාමීය මූලාශ්‍රයන් වන ශුද්ධ වූ කුර්ආනය සේම ශූද්ධ වූ නබිවදන් ආරක්ෂා වී ඇති බව තහවුරු කිරීම,
  • ශුද්ධ වු  කුර්ආනය සේම ‘හදීසය’ ද ශූද්ධ වූ දේව වදන් බව තහවුරු කිරීම,

මේ ආකාරයට මෙම විෂය සාකච්චා කිරීමේ කාලීන අවශ්‍යතාවය දීර්ඝ ලෙස පෙලගැසිය හැක. නමුත් මෙම ලිපියේ අනවශ්‍ය දීර්ඝ වීම සැලකිල්ලට ගෙන අදලා මාතෘකාව වෙත යොමු වීම සදහා දිව්‍යමය වදනක් වන ශුද්ධ වූ කුර්ආනය තුලින් පිවිසුමක් ලබාගන්නේ නම්,

ඔබට ‘වහී’ (දිව්‍යමය වදන්) මඟින් දැනුම් දෙන ලද දැයම ඔබ අනුගමනය කරන්න…

ශුද්ධ වූ කුර්ආනය – 10-109

ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය මුස්ලීම්වරයෙකු දිව්‍යමය වදන් හෙවත් ‘වහී’ පමණක්ම අනුගමනය කිරීම අත්‍යඅවශ්‍ය බව පැහැදිලිව සදහන් කරයි. මෙම කාරණය සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයේ කිසිවකු තුල කිසිදු මතභේදයක් ද නැත. එනම් සෑම මුස්ලීම්වරයෙකුම ‘වහී’ අනුගමනය කලයුතු යන්නෙහි එකඟතාවයක් ඇත. නමුත් ශුද්ධ වූ කුර්ආනය ‘වහී’ හෙවත් දිව්‍යමය වදන් යයි පිලිගන්නා මුස්ලීම් සමාජය තුල ‘හදීස්’ හෙවත් නබි තුමාණන්ගේ වදන් ‘වහී’ හෙවත් දිව්‍යමය වදන් යයි පිලිගැනීම සම්බන්ධයෙන් මතභේදයක් ඇත. එහි අනිසි ප්‍රතිපලයක් ලෙසය ‘අහ්ලුල් කුර්ආන්’ නම් ‘ශුද්ධ වූ කුර්ආනය පමණක් ප්‍රමාණවත් නබිතුමාණන්ගේ වදන් අවශ්‍ය නොවේ’ යැයි පවසන ආගමික නිකායක් ඉස්ලාම් නමින් මුස්ලීම් සමාජය තුල පසුකාලීනව නිර්මාණය වන්නේ. මා දන්නා පමණින් ශ්‍රී ලාංකීය සමාජය තුල මෙම නිකායවාදීන් පිලිබදව වාර්ථා නොවුවත් අනාගතයේදී ශියාවරුන්, අහමදියාවරුන් මෙන්ම මොවුන් ද ඉස්ලාමීය ලෝකයට ප්‍රබල අභියෝගයක් වන්නට පුළුවන. මේ හේතුව නිසා මෙවැනි නිකායන් පිලිබදව ද කිසියම් අවබෝධයකින් මුස්ලීම් සමාජය කටයුතු කිරීම අත්‍යඅවශ්‍යය. මෙම ‘අහ්ලුල් කුර්ආන්’ නම් නිකාය හා ඔවුන්ගේ නිකායට පදනම් කරගෙන ඇති කරුණූ කාරණා මොනවාද? යන්න පිලිබදව ඉදිරි ලිපියකින් දීර්ඝ ලෙස කරුණූ සාකච්චා කිරීමට අදහස් කරන අතර මේ ලිපියට අදාලව මෙතැන දී කරුණු කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසුමට තබන්නේ නම්,

‘ශුද්ධ වූ කුර්ආනය ප්‍රමාණවත් මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන් පිලිපැදීම අවශ්‍ය නොවේ’ යයි පවසන ඉහත නිකායවාදී පිරිස ඉස්ලාම් දහම ප්‍රායෝගිකව පිලිපදින්නේ කොහොමද? යන්නත්, නබිතුමාණන්ගේ ආදර්ශය නොමැතිව මුස්ලීම්වරයෙකු ඉස්ලාම් දහම අනුගමනය කරන්නේ කෙසේද?’ යන්නත් බුද්ධිමත්ව විමසා බැලීම පිණිස සරල කාරණා කිහිපයක් බුද්ධිමත් අවදානයට ගෙන එන්නට අදහස් කරමි. එනම්,

  • ශුද්ධ වූ කුර්ආනයේ අල්ලාහ් ‘සලාතය’ (දේව නැමදුම්) කරන ලෙස අණ කරයි. නමුත් එය කලයුතු ආකාරය ශුද්ධ වූ කුර්ආනයේ සදහන් ව නැත. එය ඇත්තේ මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශ හෙවත් ‘හදීස්’ තුලය. එපමණක් නොව මුහම්මද් (සල්) තුමාණන් දිනකට පස්වතාවක් ‘සලාත්’ කලයුතු බවට පෙන්වාදී ඇත. නමුත් ශුද්ධ වූ කුර්ආනය තුල ඉඟි ලබාදෙන්නේ අවස්ථා වතාවත් 03ක් සදහා පමණි. එසේනම්, ඉස්ලාම් දහමේ මූලික වගකීමක් වන ‘සලාතය’ ශුද්ධ වූ කුර්ආනය පමණක් පදනම් කරගෙන මුස්ලීම්වරයෙකු පිලිපදින්නේ කොහොමද?
  • ‘සලාතය’ පමණක් නොව ඉස්ලාම් දහමේ තවත් මූලික වගකීමක් වන ‘සකාත්ය’ සැලකුවේ නම් ශුද්ධ වූ කුර්ආනයේ බොහෝ තැන්වල ‘සකාත්’ නම් අනිවාර්‍ය බද්ධ ගෙවීමේ අවශ්‍යතාවය හා එය ලැබීමට සුදුසු පාර්ශවයන් කවුරුන් ද යන්න පිලිබදව දීර්ඝ ලෙස විස්තර කරයි. නමුත් එය කවර ආකාරයට, කවර අනුපාතයකට බෙදාදිය යුතු ද යන්න පිලිබදව ශූද්ධ වූ කුර්ආනයේ විස්තරයක් සදහන් ව නැත. එම ආදර්ශය ඇත්තේ මුහම්මද් (සල්) තුමාණන්ගේ මඟපෙන්වීම තුලය. එසේනම්, ඉස්ලාම් දහමේ මූලික වගකීමක් වන ‘සකාතය’ ශුද්ධ වූ කුර්ආනය පමණක් පදනම් කරගෙන මුස්ලීම්වරයෙකු ඉටුකරන්නේ කෙසේද?
  • ‘සලාතය’, ‘සකාත්ය’ පමණක් නොව ඉස්ලාම් දහමේ තවත් මූලික වගකීමක් වන ‘උපවාසය’ සැලකුවේ නම් ශුද්ධ වූ කුර්ආනයේ ‘උපවාසය’ සම්බන්ධයෙන් වූ මූලික නීතිරීති පිලිබදව කථා කොට ඇතත් ප්‍රායෝගික දිවිය තුල මතුවන ගැටළු හා ඒවාට ගතහැකි පිලියම් පිලිබදව දිර්ඝ විග්‍රහයන් එහි දක්නට නැත. එම විග්‍රහයන් ඇත්තේ මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශ තුලය. එසේනම්, ඉස්ලාම් දහමේ මූලික වගකීමක් වන ‘උපවාසය’ ශුද්ධ වූ කුර්ආනය පමණක් පදනම් කරගෙන මුස්ලීම්වරයෙකු ඉටුකරන්නේ කෙසේද?

ඉස්ලාම් දහමේ මූලික වගකීමන් වුවද නිසි ආකාරව ඉටු කිරීමට නම් ශුද්ධ වූ කුර්ආනයට අමතරව මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන් ද අත්‍යඅවශ්‍ය සාධකයක් යන්නට මීටත් වඩා සාධක අවශ්‍ය නොවේ යයි සිතමි. මෙම කාරණය ඔබ නිසි ආකාරව අවබෝධ කරගත්තේ නම් මීලඟට ඔබ තුල මතුවන කුතුහලය වන්නේ ‘ඇත්තටම මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශ ‘වහී’ යයි පවසන්නට ඇති සාධක මොනවාද?’ යන්නයි. ඒ කුතුහලයට පැහැදිලි කිරීමක් ලෙසත්, මේ ලිපියේ මාතෘකාවට පිවිසුමක් ලෙසත් පහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යය වෙත යොමු වන්නේ නම්,

නුඹලාගේ මිත්‍රයා (මුහම්මද්) දුර්මාර්ගික වුයේ නැත. වැරදි ‍ලෙස කිසිවක් කථා කලේ ද නැත. ඔහු (සිය) මනෝ කැමැත්තට කිසිවක් කථා කරන්නේ ද නැත. (ඔහු කථා කරන) එය වහී ලෙස පහල කල දිව්‍යමය වදන් මිස (අන් කිසිවක්) නැත.

ශුද්ධ වූ කුර්ආනය 53-2, 3, 4

මා ඉහතින් සදහන් ‘අහ්ලුල් කුර්ආන්’ නම් නිකායවාදීන් මෙන්ම සමහරක් ඉස්ලාමීය විද්වතුන් ද ඉහත ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට වැරදි විග්‍රහයන් ඉදිරිපත් කරනු බොහෝ විට දක්නට ලැබේ. ඔවුන් එහිදී ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය වන්නේ, ‘මෙම වාක්‍යයෙන් පැවසෙන්නේ (මුහම්මද් (සල්) තුමාණන් මඟින් ප්‍රකාශ වූ) ශුද්ධ වූ කුර්ආනය දේව වදන් යන්න මිස එතුමාණන්ගේ ස්වමත නොවේ.’ යන්නයි. මෙය සම්පූර්ණයෙන් ම වැරදි විග්‍රහයක් බව ප්‍රථමයෙන් අවබෝධ කර ගතයුතුය. එය තහවුරු කිරීම සදහා ඉහත ශුද්ධ වූ වාක්‍යයෙන් ඔබේ විශේෂ අවදානයට කරුණු දෙකක් ගෙන එන්නේ නම්,

  • …ඔහු (සිය) මනෝ කැමැත්තට කිසිවක් කථා කරන්නේ ද නැත…
  • … (ඔහු කථා කරන) එය වහී ලෙස පහල කල දිව්‍යමය වදන් මිස (අන් කිසිවක්) නැත.

ඉහත පලමු කාරණය සැලකූවිට ‘…ඔහු (සිය) මනෝ කැමැත්තට කිසිවක් කථා කරන්නේ ද නැත…’ යයි ශුද්ධ වූ කුර්ආනය පැවසීම තුල එතුමාණන් ස්වමත ලෙස කිසිවක් මිනිස් සමාජයට ප්‍රකාශ නොකරන බවත්, එතුමාණන් ප්‍රකාශ කරන ශුද්ධ වූ කුර්ආන් වදන් පමණක් නොව එතුමාණන් කථා කරන සියල්ලම ‘වහී’ යන්නත් පැහැදිලිව මෙහි වටහා ගතයුතුය. දෙවන කාරණය ලෙස ශුද්ධ වූ කුර්ආනය තහවුරු කරන්නේ, ඔහු කතා කරන සියල්ල වහී ලෙස පහල කළ දිව්‍යම වදන් මිසක් වෙන කිසිවක් නොවන බවයි.

ඉහත කරුණූවලට අනුව ඉස්ලාමීය ඉගෙන්වීම හෙවත් දිව්‍යමය මඟාපන්වීම යනු ‘ශුද්ධ වූ කුර්ආනය’ පමණක් නොව නබිතුමාණන්ගේ ආදර්ශය හෙවත් ‘හදීසය’ ද එයට අන්තර්ගත යන්න පිලිබදව ඔබට දැන් කිසියම් අවබෝධයක් ලැබී තිබිය යුතුය. එය තවදුරටත් පැහැදිලිව තහවුරු කිරීම සදහා තවත් ශුද්ධ වූ වාක්‍යයක් වෙත ඔබේ බුද්ධිමත් අවදානය යොමු කරවන්නේ නම්,

‘වහී’ මඟින් නොඑසේ නම්, තිරයක් පසුපස සිට හෝ දූතයෙකු මඟින් මිස අන් කිසිදු අයුරකින් මනුෂ්‍යා සමඟ අල්ලාහ් (දෙවි) කථා කරන්නේ නැත.

ශුද්ධ වූ කුර්ආනය 42-51

ඉහත වාක්‍යය තුලින් අල්ලාහ් (දෙවි) මනුෂ්‍යා සමඟ කථා කරන ආකාර 03 විස්තර කරයි. එහි පලමු ආකාරය වන ‘වහී’ මඟින් යන්න මොහොතකට තබා දෙවන ආකාරය එනම් ‘තිරයක් පසුපස හිඳ යන්න’ යන්න සැලකුවේ නම්, එය මුස්ලීම් සමාජයට අළුත් කාරණයක් නොවේ. නිදසුනක් ලෙස ශුද්ධ වූ කුර්ආනයේ 20-11 සිට 14 දක්වා වාක්‍ය තුල පැවසෙන අල්ලාහ් (දෙවි) සමඟ මූසා ((අලෛ) බයිබලයේ සදහන් ආකාරයට ‘මෝසස්’) තුමා කඳු මුදුනේ තිරයක් පිටුපස හිඳ කල සංවාදය සදහන් කලහැක. තෙවන ආකාරය සැලකුවේ නම්, ආරම්භක කුර්ආන් වාක්‍යයේ සිට දේව දූතයාණන් වන ජිබ්රීල් ((අලෛ) බයිබලයේ සදහන් ආකාරයට ගේබ්‍රියල්) තුමා මඟින් පහල වූ කුර්ආන් වාක්‍යයන් සදහන් කලහැක. මෙම කාරණයන් පිලිබදව මුස්ලීම් සමාජය තුල මතභේදයක් නැත. ඒ අනුව ඉහත 42-51 වාක්‍යය මඟින් දේව පණිවුඩ පහල වන ආකාර 03ක් පිලිබදව පැවසෙන බවත් එහි දෙවන හා තුන්වන ආකාරය කුමක්ද? යන්නත් දැන් පැහැදිලිය. දැන් මෙහි ඇති ගැටළුව අල්ලාහ් (දෙවි) පලමුවෙන් පවසන ‘වහී’ මඟින් යයි පවසන ආකාරය කුමක්ද? යන්නයි.

මෙම කාරණය පැහැදිලි කරගැනීම සදහා මූලික වශයෙන් අවබෝධ කර ගතයුතු  වැදගත් කාරණයක් ඇත. එනම්, ඉස්ලාම් යනු අල්ලාහ් (දෙවි)ගේ නියෝග (වූ ශුද්ධ වූ කුර්ආනය) හා මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය (වූ හදීසය)න්ය. මෙම හදීසය ද ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. එනම්,

  • හදීස් කුදිසි – අල්ලාහ් (දෙවි) පැවසූ බව පවසන නබිතුමාගේ වදන්,
  • හදීස් – නබිතුමාගේ වදන්, ක්‍රියාවන්, අනුමත කිරීමන්,

දැන් ඔබ තරමක් බුද්ධිමත්ව විමසා බලන්න. ශුද්ධ වූ කුර්ආනය දිව්‍යමය වදන් යන්න හි විවාදයක් නැත. ‘හදීසය’ සැලකුවේ නම් එහිද ‘හදීස් කුදිසි’ දිව්‍යමය වදන් යන්නෙහි විවාදයක් නැත. එසේනම් ඉහතින් සදහන් ‘හදීස්’ යන්නත් ‘හදීස් කුදිසි’ මෙන්ම නබිතුමාගේ සිතුවිලි තුල පහල වන දිව්‍යමය ආදර්ශයන් යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ. එයට ශුද්ධ වූ කුර්ආනයේ 53-2,3,4 වදන් මෙන්ම පහතින් සාකච්චා කරන කරුණු ද සාක්ෂි දරනු ඇත.

මේ සදහා නිදසුනක් ලෙස මුහම්මද් (සල්) තුමාණන්ගේ දිවිය තුල අල්ලාහ් (දෙවි)ගෙන් ආගමික විග්‍රහ අපේක්ෂාවෙන් බලා සිටී අවස්ථාවන් සදහන් කලහැක. කිසියම් ගැටළුකාරී තත්වයක දී එතුමාණන් ක්ෂණකින් ඒ සදහා විග්‍රහයන් හා පැහැදිලි කිරීමන් නොකොට ‍අල්ලාහ් (දෙවි)ගේ මඟපෙන්වීම හෝ සහය ලැබෙන තුරු බලා සිටී අවස්ථාවන් බොහෝ හදීසයන් තුල දක්නට ලැබේ. විශේෂයෙන් (මුහම්මද් (සල්) තුමාණන් මනු ලොව සිට දෙව් ලොව ගිය ගමන වන) ‘මිහිරාජ්’ ගමන (ශුද්ධ වූ කුර්ආනයේ 17-1) පිලිබදව හා එතෙක් එතුමාණන් කිසිදු දිනක නොගිය බයිතුල් මුකද්දස් දේවස්ථාන පිලිබදව ඉස්ලාම් විරෝධීන් ප්‍රශ්න කල අවස්ථාව සදහන් කලහැක. නිදසුනක් ලෙස එම හදීසය ගෙන එන්නේ නම්,

නබිතුමාණන් පැවසූ බවට ජාබිර් ඉබුනු අබ්දුල්ලා (රලි) තුමා මෙසේ පවසන ලදී ‘(මම එක් රාත්‍රියක (මක්කාවේ පිහිටි ශුද්ධ වූ දේවස්ථානය වන) කවබාවේ සිට (පලස්තීනයේ පිහිටි ශුද්ධ වූ දේවස්ථානය වන) බියිතුල් මුකද්දස් දක්වා ගොස් එතැන් සිට දෙවියන් හමුවට ගිය සිද්ධිය ජනයාට පැවසූ මොහොතේ ඉස්ලාම් විරෝධී) කුරෙයිෂ්වරුන් මාගේ එම ගමන ප්‍රතික්ෂේප කරමින් (බියිතුල් මුකද්දස් දේවස්ථානය පිලිබදව) ප්‍රශ්න කරන්නට විය. ඒ මොහොතේ මම කාවබාවේ ‘හිජ්ර්’ නම් ස්ථානයේ සිටිය අතර අල්ලාහ් (දෙවි) මාහට බියිතුල් මුකද්දස් දේවස්ථානය දර්ශනය කරන ලදී. එවිට ඒ දෙස බලාගෙන මම එම දේවස්ථානය පිලිබදව විස්තර කරන ලදී.’

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී (3886)

මේ අනුව ඉහත 53-2, 3, 4 යන වාක්‍යයන් තුලින් හා 42-51 වාක්‍යයන් තුලින් පවසන ‘වහී’ පලමු ආකාරය අල්ලාහ් (දෙවි) විසින් මුහම්මද් (සල්) තුමාණන්ගේ සිත්හි පහල කරන දිව්‍යමය පණිවුඩ හා විග්‍රහයන් යන්නත් එය දිව්‍යමය මඟපෙන්වීමන් බවත් අවබෝධ කරගත යුතුය. මෙය තවදුරටත් තහවුරු කරගැනීම පිණිස එනම්, ශුද්ධ වූ කුර්ආනයෙන් පරිභාහිර තවත් දිව්‍යමය මඟපෙන්වීමක් ඉස්ලාම් දහම තුල ඇති බව තහවුරු කරගැනීම පිණිස ශුද්ධ වූ කුර්ආනයෙන් වාක්‍යයන් දෙකක් ගෙන හැර දක්වන්නේ නම්,

…තවද අල්ලාහ් නුඹලාට දුන් අනුග්‍රහයන්ද එමගින් නුඹලාට අනුශාසනා දෙමින් නුඹලා වෙත පහළ කළ ධර්ම ග්‍රන්ථද හික්මත් ද සිහි කරනු…

ශුද්ධ වූ කුර්ආනය 2-231

(නබි මුහම්මද්!) අල්ලාහ්ගේ වරප්‍රසාදය හා ඔහුගේ දයාවද නුඹ කෙරෙහි නොවන්නේනම් ඔවුන්ගෙන් පිරිසක් නුඹ නොමඟ යැවීමට උත්සාහ කරන්නෝය. එසේ වුවද ඔවුන්තමන්වම මිස නොමඟ නොයවන්නෝය. තවද ඔවුහු නුඹට කිසි දැයකින් හානි නොකරන්නෝමය.අල්ලාහ් නුඹ වෙත ග්‍රන්ථය හා හික්මතය එවා නුඹ නොදත් දෑ නුඹට උගන්වා ඇත. නුඹ කෙරෙහි අල්ලාහ්ගේ වරප්‍රසාදය අති උදාරය.

ශුද්ධ වූ කුර්ආනය 4-113

ඉහත වාක්‍යයන් දෙක හොදින් විමසා බලන්නේ නම් අල්ලාහ් (දෙවි) මුහම්මද් (සල්) තුමාණන් වෙත ‘ග්‍රන්ථය’ (වන ශුද්ධ වූ කුර්ආනය) හා ‘හික්මතය’ පහල කල බව පවසයි. ඒ අනුව මෙතැනදී පැහැදිලිව අවබෝධ කරගත යුතු මූලික කාරණය වන්නේ අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයට අමතරව තවත් යමක් මුහම්මද් (සල්) තුමාණන්ට පහල කොට ඇති බවයි. මෙතැනදී විෂයට පරිභාහිර වුවත් මා ඉහතින් සදහන් ‘අහ්ලුල් කුර්ආන්’ නිකායවාදීන් සම්බන්ධයෙන් ද වචන කිහිපයක් සදහන් කලයුතුව ඇත. එනම්, ශුද්ධ වූ කුර්ආනය පමණයි දිව්‍යමය වදන් යයි පැවසීමත්, ශුද්ධ වූ කුර්ආනය පමණක් ප්‍රමාණවත් යයි පැවසීමත්, තුල දහමේ එක් කොටසක් ඔවුන‍්ගෙන් ගිලිහී ඇති බවත්, ඒ තුලින් ඔවුන් අවලංගු පාර්ශවයක් වී ඇති බවත් ඉහත වාක්‍යය තුලින් තහවුරු වන බව අවබෝධ කර ගතයුතුය. දැන් නැවත මාතෘකාවට යොමු වන්නේ නම්,

මෙතැනදී එනම්, ඉහත 2-231 හා 4-113 වාක්‍යයන් හි සදහන් ‘හික්මත්’ යන්නට සමහරක් ආගමික විද්වතුන් වැරදි විග්‍රහයන් ලබාදීමක් ද සිදු කරයි. ඒ ‘හික්මත්’ යන්නෙහි අරුථ ‘ඥානය’ බවත් මෙම වාක්‍යයෙන් පැවසෙන්නේ ‘ඥානය’ ලබාදුන් බවත් යනුවෙනි. සැබැවින්ම ‘හික්මත්’ යන අරාබි වදනෙහි අරුථ ඥානය, දැනුම, බුද්ධිය… යනාදීය බව සැබෑවකි. නමුත් ඉස්ලාම් දහම තුල අරාබි වදනකට අරුථ ලබාදීමේ දී අරාබි භාෂා සම්බන්ධ වූ දැනුම පමණක් පදනම් කරගෙන එය සිදුකල නොහැක. මෙය ඉස්ලාම් දහමට පමණක් අවේනික නියමයක් නොවේ. නිදසුනක් ලෙස ශ්‍රී ලාංකීය බහුතරය පිලිපදින බුදු දහම පදනම් කරගෙන මෙය විමසා බැලුවේ නම්, ඔවුන් සිංහල භාෂාව ප්‍රධාන භාෂාව ලෙස ගෙන කටයුතු කලත් එම භාෂා දැනුම පමණක් පදනම් කරගෙන බුදුදහමේ සියළු ඉගෙන්වීමන් විග්‍රහ කල නොහැක. උදාහර්ණයකට පූජ්‍ය, කර්ම, පුනර්භවය, ආත්ම… යනාදී වදන්වලට බෞද්ධ ඉගෙන්වීම පදනම් කරගෙන විග්‍රහයන් ලබාදෙනවා මිස භාෂා දැනුම පදනම් කරගෙන විග්‍රහයන් ලබාදීම සැබෑ බෞද්ධ විග්‍රහය නොවේ. ඒ ආකාරයටම විවිධ වූ ආරාබි වදන් වලට ඉස්ලාමීය විග්‍රහයන් ලබාදීම ඉස්ලාම් දහම තුල දක්නට ලැබේ. නිදසුනක් ලෙස ‘සලාත්, කිතාබ්, හිජ්රත්…’යනාදීය සදහන් කලහැක.

මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, ‘සලාත්’ යන වචනය ඇසූ පමණින් මුස්ලීම්වරුන්ගේ මතකයට ‍නැගෙන්නේ දිනපතා පස්වෙල් ඉටුකරන දේව වන්දනයයි. නමුත් ‘සලාත්’ යන වචනාර්ථය සැලකූවිට එහි අරුථ එය නොවේ. එහි අරුථ ‘ප්‍රාර්ථනාව යන්නයි. මෙය ශුද්ධ වූ කුර්ආනය තුලින්ම තහවුරු කරන්නේ නම්,

خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِم بِهَا وَصَلِّ عَلَيْهِمْ إِنَّ صَلاَتَكَ سَكَنٌ لَّهُمْ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ

(නබි මුහම්මද්!) ඔවුන් පිවිතුරු කර එමගින් ඔවුන් සිල්වත් කරන දාන ඔවුන්ගේ වස්තුවලින් ගනු. තවද ඔවුනට (දුආ) ප්‍රාර්ථනා කරනු. නියත වශයෙන් නුඹගේ (දුආ) ප්‍රාර්ථනාව ඔවුනට සැනසීම වේ. අල්ලාහ් සර්ව ශ්‍රාවකය, සර්ව ඥානීය.

ශුද්ධ වූ කුර්ආනය 9-103

මෙහි ඉහතින් ඉදිරිපත් කොට ඇති 9-103 වාක්‍යය ඔබ බුද්ධිමත් ලෙස විමසා බලන්නේ නම් එහි ප්‍රාර්ථනා යන්නට ‘සලාහ්’ යන යෙදුම භාවිතා කර ඇති ආකාරය පැහැදිලිව දැකගත හැක. මේ අනුව ඉහතින් සදහන් ‘හික්මත්’ නම් වදනට වුවද භාෂාමය විග්‍රහය නොව ඉස්ලාමීය විග්‍රහ කුමක්ද? යන්න මෙහි විමසා බැලීම එයට අදාල අරුථ ලබාදීම අත්‍යඅවශ්‍යය.

දැන් නැවතත් මාතෘකාව වෙත යොමු වන්නේ නම්, ඉහත 2-231 හා 4-113 ශුද්ධ වූ වාක්‍යයන් දෙක තුලින් නබිතුමාණන්ට ‘හික්මත්’ පහල කල බව පවසයි. එය ‘ඥානය’ ලෙස අර්ථකථනය කරන්නේ නම්, නබිතුමාණන්ට හැර අන් කිසිවකුටත් අල්ලාහ් (දෙවි) ඥානය ලබා නොදුන්නාද? යන ගැටළු මෙහි මතුවේ. ඒ අනුව මෙම ‘හික්මත්’ යන වදනට ‘ඥානය’ යයි අරුත් ලබාදීම සම්පූර්ණයෙන් වැරදි විග්‍රහයක් බව ප්‍රථමයෙන් අවබෝධ කරගත යුතුයි. මෙය තවදුරටත් හොදින් අවබෝධ කරගැනීම පිණිස තවත් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් ඔබේ බුද්ධිමත් විමසුමට ඉදිරිපත් කරන්නේ නම්,

(නබිගේ බිරින්දෑවරුණී!) නුඹලාගේ නිවැස්වල පාරායනය කරනු ලබන අල්ලාහ් වදන් (වන කුර්ආනය) හා හික්මතය සිහියට නඟන්න.

ශුද්ධ වූ කුර්ආනය 33-34

ඉහත 33-34 වාක්‍යයට අනුව නබිතුමාණන්ගේ කාලයේම ශුද්ධ වූ කුර්ආනයට අමතරව අල්ලාහ් (දෙවි) විසින් පහල කරන ලද ‘හික්මත්‘ නම් තවත් යමක් පැවතී බවත්, එයත් ශුද්ධ වූ කුර්ආනය ආකාරයට කියවීම සිරිතක්ව පැවතී බවත් ඉහත වාක්‍යයෙන් පැහැදිලි වේ. එවකට සමාජයේ එනම්, මුහම්මද් (සල්) තුමාණන් ජීවමානව සිටී වකවානුවේ ශුද්ධ වූ කුර්ආනයට අමතරව ලිඛිත ලේඛනයක් ලෙස මුස්ලීම් සමාජයේ පැවතුණේ නම් එය මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් වන වදන්, ක්‍රියාවන් හා අනුමත කිරීමන්(වන ‘හදීස්‘ යන්) පමණි. (එය පහතින් ඉදිරිපත් කරන හදීසයක් තුලින් ද සනාථ වේ) මෙය ශුද්ධ වූ කුර්ආනය සේම ලිඛිතව තබාගැනීම එවකට සමාජයේ සිරිතක්ව ද පැවතුණි. මෙය වඩාත් තහවුරු වන හදීසයන් (ශුද්ධ වූ නබිවදන්) දෙකක් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන එන්නේ නම්,

අබූ හුරෙයිරා (රලි) තුමා වරක් මෙසේ පවසන ලදී, ‘නබිතුමාගේ සහාභාවරුන් (සමකාලීන අනුගාමිකයන්) අතුරින් මට වඩා අධික ලෙස එතුමාගේ ආදර්ශයන් (හදීසයන්) ප්‍රකාශයට පත්කල කිසිවකු නැත. ඒ අබ්දුල්ලා බින් අම්ර් (රලි) තුමා හැරය. අබ්දුල්ලා බින් අම්ර් (රලි) තුමා නබිතුමාගේ ආදර්ශයන් (හදීස්) ලියා තබාගත් අතර මා වනපොත් කොට මතකයේ තබා ගත්තෙමි.‘

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

වරක් අලි (රලි) තුමාණන් මෙසේ පවසන ලදී ‘අල්ලාහ් (දෙවි)ගේ වදන් හා නබිතුමාගෙන් ලද මේ සන්නස හැර වෙන කිසිවක් මුහම්මද් (සල්) තුමාගේ පවුලේ සාමාජිකයන් වන අප හමුවේ නැත.‘

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීසයන් තුලින් ද මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් (හදීසයන්) ආරම්භයේ පටන් ලිඛිතව ආරක්ෂා වී පැවතුණු බවත්, ලිඛිත ලේඛන ලෙස නබිතුමාගේ පවුලේ තිබුණේ ශුද්ධ වූ කුර්ආනය හා ශුද්ධ වූ නබිවදන් පමණක් බවත් ඉහත හදීසයන් තුලින් තහවුරු වේ. ඒ අනුව ඉහත 33-34 වාක්‍යයෙන් පවසන ‘හික්මත්‘ යන්න නබිතුමාණන්ගේ ආදර්ශය හෙවත් ‘හදීසය’ යන්නෙහි මුස්ලීම් සමාජයට දෙවැනි මතයක් පැවතිය නොහැක.

මෙතෙක් සාකච්චා කල කරුණුවලට අනුව ශුද්ධ වූ කුර්ආනය සේම ‘හදීසය‘ ද දිව්‍යමය මඟපෙන්වීමක් බව දැන් ඔබට පැහැදිලි වියයුතුය. එසේනම් මේ දිව්‍යමය මඟපෙන්වීමන් වන ශුද්ධ වූ කුර්ආනය හා ‘හදීසය‘ අතර කිසිවකුටත් උස්පහත් භේදයක් එනම් ‘මේකට වඩා අරක් උසස්‘ යනුවෙන් අසමානතා වාදයන් ගොඩනැඟීමට නොහැක. ඒ සදහා ඉස්ලාම් දහම තුල ද කිසිදු ඉඩක් නැත. නමුත් මුහම්මද් (සල්) කාලයේ පටන් එතුමාගේ අධීක්ෂණය යටතේ ‘ශුද්ධ වූ කුර්ආනය‘ විදිමත් ලෙස ආරක්ෂා වූවත්, නබිතුමාගේ ආදර්ශයන් වන ‘හදීසයන්‘ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එවැනි නිවරුදි හා විදිමත් ක්‍රමවේදයන් එවකට නොපැවතුණි. මෙය පසුකාලීනව ඉස්ලාම් දහම තුල යම් යම් ව්‍යාකූල තත්වයන් නිර්මාණය වීමට ද හේතුවක් විය. එනම් ලෞකික ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් නබිතුමාණන්ගේ නමින් ගෙතූ හදීස් ප්‍රකාශ කරන තැනට සමාජයේ සමහරක් පිරිස් කටයුතු කරන්නට විය. එනම්,

  • පාලකයින් සතුටු කිරීමට හදීස් නමින් විවිධ කතා ගෙතීම,
  • දහම තුල නිකාය වාදයන් සාධාරණීකරණය කිරීමට හදීස් නමින් විවිධ කතා ගෙතීම,
  • ව්‍යාපාරික අරමුණ සඳහා හදීස් නමින් විවිධ කතා ගෙතීම,
  • සමාජයේ පුහු ගෞරවයන් දිනා ගැනීම සඳහා හදීස් නමින් විවිධ කතා ගෙතීම,
  • ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය අඩාල කිරීමට හදීස් නමින් විවිධ කතා ගෙතීම,

එවැනි කිහිපයකි. මෙවන් සමාජ පසුබිමක ශුද්ධ වූ නබිවදන් අනාගත මුස්ලීම් සමාජයට දායාද කරන්නේ කෙසේද? යන්න එවකට විසූ ඉස්ලාමීය විද්වතුන්ට පැවති මහත් අභියෝගයකි. විශේෂයෙන් නබිතුමාගේ සමකාලීන සහාභාවරුන්ගේ හා ඊට පසු කාලීනව විසූ ඉස්ලාමීය විදුවතුන්ගේ අභාවයෙන් පසු මේ ‘හදීසයන්‘ ඉදිරි පරම්පරාවට දායාද කරන්නේ කෙසේද? යන්න එහි පැවති එකම අභියෝගයයි. ඒ අනුව එම අභියෝගය තම උරටගත් ඉස්ලාමීය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ පාලකයා වූ උමර් බින් අබ්දුල් අසීස් (රහ්) තුමා එවකට විසූ ශ්‍රෙෂ්ඨ ආගමික විද්වතුනට එම වගකීම පවරන ලදී. ඒ අනුව එතුමාගේ පාලන සමයේ ශූද්ධ වූ නබිවදන් හෙවත් ‘හදීසයන්’ විදිමත් ලෙස ග්‍රන්ථාරෑඪ වීම ඇරඹූණි.

මේ ආකාරයට එම මෙහෙවර සිදුවන අතර තුර පවා ඉස්ලාම් නමින් විවිධ වූ මිත්‍යා පුරාවෘත්තයන් මෙන්ම ඉහතින් සදහන් ආකාරයේ ලෞකික අරමුණූ මුලික කරගත් මිත්‍යා නබිවදන් ඉස්ලාම් නමින් ලොවපුරා ව්‍යාප්ත වීමද ජයටම සිදුවුණි. මේ ව්‍යාකූල තත්වයෙන් ඉස්ලාම් දහම මුදවා ගැනීමට දිවා රෑ වෙහෙසුනු ඉස්ලාමීය විද්වතුන් අවසානයේ මේ සියල්ලට විසදුමක් ලෙස ලොව අසමසම කලාවක් ‘හදීස් කලාව‘ නමින් මුස්ලීම් සමාජයට දායාද කරන ලදී. මේ ‘හදීස් කලාව‘ පිලිබදව ද ‘යහමඟ‘ අඩවිය ලිපි මාලාවකින් ඉදිරියේ දී දීර්ඝ ලෙස සාකච්චා කිරීමට අපේක්ෂා කරන අතර ඒ පොරොන්දුවෙන් මෙම ලිපියට විරාමය තබන්නේ ශුද්ධ වූ නබිවදන් දිව්‍යමය මඟපෙන්වීමකි! යන්න නැවත නැවතත් බුද්ධිමත් විමසුමට තබමිනි.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *