හරාම් හලාල් පිලිබදව විමසුමක්

1

මුස්ලීම්වරුන් දැඩි අවධානයෙන් කටයුතු කලයුතු මුස්ලිම් සමාජයට ඉස්ලාම් අවධාරනය කරන මූලික කාරණයක් තමා “හරාම් හලාල්” නීතිය. මෙහි “හරාම්” යන්නේ හි සරල තේරුම තහනම් එසේත් නැත්නම් මුස්ලිම්වරුන් විසින් වැලකී සිටිය යුතු කරුණු යන්න හෝ ක‍්‍රියාව යන්නයි. එසේම “හලාල්” යන්නෙ හි සරල තේරුම මුස්ලිම්වරුන් සදහා අනුමත කරුණු යන්න හෝ ක‍්‍රියාවන් යන්නයි.

සමස්ථ ශ‍්‍රී ලාංකීය ප‍්‍රජාවට “හරාම්” යන වචනය පිලිබදව එතරම් අවබෝධයක් නොතිබුන ද හලාල් යන වචනය පිලිබදව සැලකිය යුතු අවබෝධයක් ඇත. නමුත් ඔවුන් සමඟ මේ පිලිබදව අදහස් හුවමාරු කරගැනීමේ දී පැහැදිලි වන්නේ මෙය මුස්ලිම්වරුන් සදහා ආහාර පාන විශේෂයෙන් මාංශ අනුභවයට තෝරා ගැනීම සම්බන්ධයෙන් ඉස්ලාම් දහමින් පනවා ඇති නීතියක් යන්නයි. මෙය එක් අංශයකින් නිවරුදි වුවත් එය සම්පූර්ණ නිවරුදි අර්ථකථනය නොවේ.
මෙහි දී මූලිකවම අවබෝධ කරගත යුතු කාරණයක් ඇත. එනම් ඉස්ලාම් දහම වතාවත් පමණක් අවධාරණය කරන දහමක් නොවේ. එය පරිපූර්ණ ජීවන මාර්ගයකි. එහි මනුෂ්‍යයන් වශයෙන් දෛනිකව මුහුණදෙන නොයෙක් ගැටළු හා එයට විසදුම් වශයෙන් ජීවත් විය යුතු ආකාරය ඉස්ලාම් දහම නමින් මුස්ලිම් සමාජයට අවධාරනය කරයි.

එසේ ඉස්ලාම් මුස්ලිම්වරුන් සදහා අවධාරනය කරන අනුමත කරන සියල්ල හලාල් යයි හැදින්වේ. එය ආහාර පානවලට පමණක් සීමා නොවන අතර ඇදුම් පැලදුම්, ඖෂධ වර්ග, ගමන් බිමන්, කථාබහ, ආගමික කටයුතු… යනාදී වශයෙන් සියළුම කාරණා සදහා මෙම හරාම් හලාල් නීතිය වලංගු වේ. මෙහි දී අවධාරනය කලයුතු තවත් කාරණයක් ඇත. එනම් රටක නීතියෙන් යම් ක‍්‍රියාවක් එසේත් නැත්නම් ආහාරයක් භාවිතයට අනුමතිය දී තිබෙන්නට පුළුවන නමුත් එය ඉස්ලාම් තහනම් කරන්නේ නම් අනිවාර්‍යයෙන්ම ඉන් මුස්ලිම්වරුන් වැලකී සිටිය යුතුය. උදාහරණයකට ඌරු මාංශ අනුභවය හා අලෙවිය ශ්‍රී ලාංකීය නීතිය අනුව අනුමත වූ කරුණකි. නමුත් එය ඉස්ලාම් තහනම් කරයි. එමනිසා මුස්ලිම්වරුන් අනිවාර්‍යයෙන්ම එයින් වැලකී සිටිය යුතුය. තවත් උදාහරණයක් පවසනවා නම් මුස්ලිම්වරයෙකුගේ ඇදුම් සම්බන්ධයෙන් ඉස්ලාම් විවිධ කොන්දේසි යොදා ඇත. නමුත් ලාංකීය නීතිය අනුව ඒ සම්බන්ධයෙන් එවැනි නීතියක් ක‍්‍රියාත්මක නොවේ. නමුත් මුස්ලිම්වරුන් ඉස්ලාමීය නීතියට අවනත වීම අනිවර්ය වේ. එසේ නොවීම හරාම් හෙවත් බරපතල වරදක් ලෙස ඉස්ලාම් දකී. මේ අනුව හරාම් හලාල් යන්න පිලිබදව ඔබට දළ අවබෝධයක් ලැබී ඇතැයි සිතමි.

මෙහි මෙවැනි ලිපියක් ඉදිරිපත් කිරීමට පදනම් වූ කාරණය වන්නේ අද මෙම “හලාල්” (HALAL) යන වචනය භාණ්ඩ අලෙවිය සදහා යොදාගන්නා ප‍්‍රචාරන උපක‍්‍රමයක් බවට පත්වී තිබීමයි. එය කොතරම් ද යයි පවසනවා නම් ඌරු මාංශ අලෙවිකරන වෙළද ආයතන පවා මෙම “හලාල්” යන සලකුණ සූක්‍ෂම ආකාරයට භාවිතා කරමින් මුස්ලිම් ජනතාව නොමඟ යවමින් සිටී. විශේෂයෙන් අද බොහෝ ආහාරවල සත්ව තෙල් භාවිතා කරයි. එහි ද විශේෂයෙන් ඌරු තෙල් බහුලව භාවිතා කරයි. මේවා පිලිබදව මුස්ලිම් සමාජයේ දැඩි අවධානය යොමු විය යුතුය. “හලාල්” යන වචනය සටහන් වී තිබූ පමණින් එය හලාල් බව නිගමනය කල නොහැක. එය පිලිගත් විද්වත් මඩුල්ලක් විසින් සහතික කර තිබීමද අත්‍ය අවශ්‍ය වේ. මීට අමතරව ඕනෑම ආහාරයක එහි නිෂ්පාදනයේ දී භාවිතා කල අමුද්‍රව්‍ය සටහන් කරන අතර එහි දී E-cord සදහන් කරයි. මෙම E-cord මගින් ද යම්තාක් දුරකට කුමන වර්ගයේ සත්ව තෙල් මිශ‍්‍රකර තිබේ ද යන්න හදුනාගත හැක. මෙහි දී විශේෂයෙන් E-cord පිලිබදව කිසියම් දැනුමක් සමාජය ලබාගෙන සිටිය යුතුය, එසේම සමහරක් ඖෂධ නිෂ්පාදනයේ දී ද ඉස්ලාම් තහනම් කල සත්ව කොටස් භාවිතා කරයි. උදාහරණයකට දියවැඩියා රෝගීන් සදහා භාවිතා කරන “ඉන්සියුලින්” නිෂ්පාදනයේ දී ගවයා මෙන්ම ඌරා ද යොදාගනී. මේවා පිලිබදව හැකි පමණින් මුස්ලිම් ප‍්‍රජාව සොයා බලා සුදුසු දෑ තෝරාගත යුතුය.
මෙහිදී සෑම කෙනෙකුහටම මේවා තොරා බේරා ගැනීමේ හැකියාව හා තාක්ෂණ දැනුම නැති බව අප හොදින් දනිමු. එවන් තත්වයක් යටතේ විශ්වාසනීය ආකාරයට සමාජය දැනුවත් කරන විශේෂ විද්වත් උපදෙස් හා මේ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන සංගම් විශේෂයෙන් මේ සම්බන්ධයෙන්(ACJU) (ශ‍්‍රී ලාංකීය ආගමික විද්වත් සංගමය අනගි මෙහෙවරක් සිදුකරයි.) එම සංගමයේ වෙබ් අඩවිය තුලින් යම්තාක් දුරට නිවරුදි තොරතුරු ලබාගත හැක. මෙවැනි වෙබ් අඩවිවල තිබෙන තොරතුරු සමස්ථ මුස්ලිම් ප‍්‍රජාවගේම අවධානයට යොමු කරලීම සෑම මුස්ලිම්වරයෙකුගේම අනිවර්ය හා කාලීන වගකීමක් බව ද සෑම මුස්ලිම්වරයෙකුම අවබෝධ කරගත යුතුය. එසේම සමාජය නොමඟ යවමින් බොරුවට “හලාල්” යන ලේබලය භාවිතා කරන පිරිසට එරෙහිව නැගීසිටීම හා ඔවුන් නීතිය හමුවට පැමිණවීම ද අප සෑම කෙනෙකුගේම වගකීමක් බව ද වටහා ගත යුතුය. එසේම මේවා පිලිබදව නොසැලකීලිමත්ව නොහිද අවදියෙන් ක‍්‍රියා කිරීම ද අනිවාර්ය වේ. මේ පිලිබදව ඉස්ලාම් ඉතා අලංකාර උපදෙසක් පවසයි. එනම්,

“නබිතුමාණන් වරක් මෙසේ පවසන ලදී. ‘සැබෑ මුස්ලිම්වරයා කව්රුන්දයත් ඉස්ලාම් යමක් අනුමත කර තිබිය දී පවා (එය ඉස්ලාම් අනුමත කර තිබේද? නොතිබේද? එය කලොත් මා වරදක් කල කෙනෙකු බවට පත්වේද? යන) සැකය නිසා කිසිවකු ඉන් දුරස්වන්නේ ද ඔහු තමා සැබෑ මුස්ලිම්වරයා (මූමීන්වරයා) වේ.’ “

ග‍්‍රන්ථය :- තිර්මිදි

ඉහත නබිවදන අනුව මුස්ලිම්වරුන් යම් කාරණයක් සම්බන්ධයෙන් විශේෂයෙන් සැකයට තුඩුදෙන කාරණයක දී ක‍්‍රියා කලයුතු ආකාරය මනාව පිලිබිඹු කරයි. මේ අනුව මුස්ලිම්වරයෙකු කිසිදු කාර්යයක් අඩමානයේ හිද කටයුතු කල නොහැක. එසේම යම් කරුණක් සම්බන්ධයෙන් පූර්ණ ඥානයක් නැත්නම් ඉන් වැලකී සිටීම නුවනක්කාර ක‍්‍රියාවක් බව ශුද්ධ වූ අල්කුර්ආනය ද මෙසේ අවධාරනය කරයි.

“නුඹලාට කවරක් පිලිබදව ඥානයක් නැත්තේද එය අනුගමනය නොකරන්න.”

ශුද්ධ වූ කුර්ආනය

ඒ අනුව මුස්ලිම්වරුන් වන අප ඉස්ලම් පවසන හරාම් හලාල් හුදෙක් ලේබලයට පමණක් සීමා නොකොට ඒ පිලිබදව අවධියෙන් හා අවබෝධයෙන් කටයුතු කර හරාමයෙන් මිදුනු යහපත් සමාජයක් නිර්මාණය කිරීමට අප සැම අධිශ්ඨාන කරගනිමු.

අබූ අර්ශද්

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර 1 යි

  1. Rihana 2012-07-15 at 07:31

    Grate Clarification!
    Jazakallahu Kahira……….

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *