හලාල් විරෝධයේ අවසානය කොතැනද?

2

(මෙය අන්තර්ජාලයෙන් උපුටාගත් ලිපියකි)

පසුගිය මැදින් පොහොය දවසේ එක්තරා පන්සලක දී දහම් සාකච්ඡා මණ්ඩපයකට සවන් දීමට මට ඉඩ ලැබිණි. එම සාකච්ඡාවට පෙර පළාතේ බෞද්ධ ප‍්‍රජාව අතරේ බෙදාහරින ලද පත‍්‍රිකාවක් කියවීමට ද මට හැකිවුණි. එම පත‍්‍රිකාවේ මාතෘකාව ලෙස යොදා තිබුණේ සිංහලයාගේ අවසානය එන තුරු කට ඇරගෙන බලා සිටිමු ද? යනුවෙනි. එසේම එහි මුල්ම වාක්‍යය මෙයයි – ක‍්‍රිස්තු වර්ෂ 2032 වන විට ලංකාවත් මිථ්‍යාදෘෂ්ටික මුස්ලිම් රටක් වන බව ඔබ නොදන්නවා විය හැකි ය. එම පති‍්‍රකාව පුරාම වූයේ මුස්ලිම් වෙළෙඳුන් විසින් සිංහල ස්ත‍්‍රීන් වඳ බවට පමුණුවන ටොෆි ලබාදුන් අවස්ථා ආදි සිද්ධි ඇතුළත් විස්තරයක් හා සිංහලයා ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ගය. එසේම එහි සිංහලයා බියවද්දන සඳහනක් ද වී ය. ඒ නම් රටේ මරක්කල ප‍්‍රතිශතය 50% ඉක් මවූ පසු සෙස්සන් ද මුස්ලිම් නොවුණහොත් බෙලි කපා හෝ නොයෙක් වධ හිංසාවන්ට ලක් කොට මරා දමනු ඇත යනුවෙනි.

එහෙත් එම පත‍්‍රිකාව කියවා ඇස වෙනසක යොමු කරන්නට පෙරම  මට උත්ප‍්‍රාසය හමුවුණි. ඒ පන්සලේ ධර්ම ශාලාවේ අලවා තිබූ දැක්වීමකිනි. එහි වූයේ ධර්මශාලාව පිළිසකර කිරීම සඳහා මූල්‍ය ආධාර ලබාදුන් මුස්ලිම් ජාතිකයකුට කෘතඥතාව පළ කිරීමකි. දැන් කාරණා පෙළ ගැසෙනා ආකාරය අනුව එළඹෙන වෙසක් මෙන්ම පොසොන් පොහොය සමයන් ද බුදු දහම කෙසේ වෙතත් “හම්බයන් වර්ජනය කිරීමේ දහම උත්කර්ෂයට නැගෙනා කාලයක් වනු ඇති බව අපට උපකල්පනය කළ හැකි ය.”
කවර ආගමක වුව පදනම ලෙස අප දකිනුයේ අහිංසාවයි. එහෙත් දැන් ආගම් තුළින් අපට දක්නට නොලැබෙන්නේ ම ද එයම ය. ඉස්ලාම් ආගමික අන්තවාදීන් දැඩි විවේචනයකට ලක්වන ලොවක දැන් අපට හමුවනුයේ ඊට එරෙහිව නැගෙන බෞද්ධ අන්තවාදයයි. තවදුරටත් සංවාද කිරීමට නොහැකි වන තරමට ම මේ බොදු උමතුව බලවත්ව ඇත. එසේම මැදහත් සිතින් කටයුතු කරනා අයට දේශද්‍රෝහී ලේබලය ඇලවීමට ඒ තරම් කාලයක් ගත නොවෙයි. බලය මෙන්ම ජාති හා ආගම්වාදය ද යෙදවෙනුයේම අනෙකාට වෛර කරවීම කෙරෙහි ය.
ආගමික අන්තවාදය මැද මේ ගෙවෙනුයේ අඳුරුතම හෝරාව නොවන්නේ නම් ඊට ආසන්නම හෝරාව විය හැකි ය. කාරණා පෙළ ගැසෙනා ආකාරයට “හම්බ විරෝධයේ” නාමයෙන් ජාතිවාදයේ ගිනිදැල් යළි ඇවිළෙනු දැකීමට ලැබේදෝයි යන බිය ඉතා සාධාරණ ය. එසේ සිතන්නට තුඩුදුන් තවත් අත්දැකීමකට මුහුණදීමට මට මේ පොහෝ දින රාත‍්‍රියෙම ඉඩලැබුණි. රාත‍්‍රියේ මා ඇමතු එක් තරුණයකු පවසා සිටියේ ගමේ තරුණයන්ගේ මැදිහත්වීමෙන් පන්සලට පැමිණි භික්ෂූන් කණ්ඩායමක් ශබ්ද විකාශය මාර්ගයෙන් ආයතනවල නම් ගම් සහිතවම මුස්ලිම් භාණ්ඩ හා මුස්ලිම් විරෝධයකට දේශනා පවත්වන බවයි.
පන්සල් ආසන්නයේම සිය නිවස පිහිටා තිබීමෙන් මේ දේශනාව කන්දීමට සිදුව තිබූ තරුණයා පසුවුයේ දැඩි විස්සෝපයෙනි. කුඩා අවධියේ සිට පන්සල සමඟ සමිප බැඳීමක් තිබූ ඔහුට මේ නව බුද්ධ දේශනාව දැඩි සිත් තැවුලට හේතුවි තිබුණි.
මේ දිනවල බොහෝ බෞද්ධයෝ අන්‍ය ලබ්ධිකයන් මිථ්‍යාදෘෂ්ටිකයන් බවට නම් කරමින් සිටිති. එහෙත් තමන් එලෙසම මිථ්‍යාදෘෂ්ටිකයන් නොවනුයේ කෙසේ දැයි පහදා නොදෙති. නැකැත් බලන, පොරොන්දම් ගළපන, තොවිල් කරන, වශී ගුරුකම් පිටුව නිතර පෙරළන දෑතින් බුදුන්ට මල් පිදෙන විට තමන් නියම විද්‍යාත්මක බෞද්ධයන් වන බව ඔවුන් සිතනවා විය යුතු ය. දැන් ලංකාව යනු බලාධිකාරයේ ආශිර්වාදය මැද එහෙම පිටින්ම බෙදන ලද ජන සමූහයකි. භූමි ප‍්‍රදේශයකි.
කොටසක් හලාල් විරෝධය අරඹන විට තව පිරිසක් එක්සත් ජාතීන්ගේ සංධානයට අවි අමෝරති. ඒ අතරේ තමිල්නාඩුවට එරෙහිව යුද ප‍්‍රකාශ කරති. එහෙත් තමිල්නාඩුවේ දමිල සිනමා පට පවා නැරඹීමට එපා යැයි කියනා ඊනියා දේශපේ‍්‍රමීහු කිසිවකුත් යුරෝපීයා හා ඇමෙරිකාවට අපේ නිෂ්පාදන අලෙවි නොකරන්නැයි කියනා තරමට අධිරාජ්‍ය විරෝධී නොවෙති. පුළුවන් තරම් ළමයි හදපල්ලා යැයි කියනා භික්ෂූන් ඇතුළු විවිධ පිරිස් එම දරුවන්ගේ අනාගතය කාබාසීනියා කරන අධ්‍යාපන පරිහානිය ගැන කටක් නොහරිති. ඔවුන් මහ ඉහළින් වර්ණනා කරනා දැයේ දරුවන් අධ්‍යාපන වළේ වැටී අතපය කඩා ගන්නා ආකාරය බලා සිටිති. ඉවසා වදාරති.
රටක බුද්ධිමතුන්ගේ නිර්භය මැදිහත්වීම ඉතා තීරණාත්මකව පවතින මොහොතකට අද අපි එළඹ සිටිමු. බුද්ධිමතුන්ගේ නිහැඬියාව නොවැරදීම මඟ පාදනු ඇත්තේ අතීත ඛේදය යළි පුනරුච්චාරණය කෙරෙන අනාගතයකට ය. මෙහිදී ලංකාවේ මැදහත් එමෙන්ම බලයක් සහිත භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීම ඉතා අවශ්‍ය ය. සසුන වසාගෙන පැතිරෙනා උමතුවට එරෙහිව අද අපිට වල්පොල රාහුල හිමි කෙනකු අත්‍යවශ්‍ය ය. එහෙත් අපේ අවාසනාවනට එවන් භික්ෂූන් යැයි සැලකෙන පැවිදි පාර්ශ්වයේ චරිත වෙතින් අප දකිනුයේ බරපතළ නිහැඬියාවකි. නොසලකා හැරීමකි.
මේ මොහොතේ අපේ ඉල්ලීම වනුයේ ප‍්‍රගතිශිලී භික්ෂුන් ස්වල්ප දෙනකු හෝ ඉතිරිව සිටී නම් එම භික්ෂූන්ට මේ විනාශය නතර කිරීම හා මැදිහත්වන ලෙසට ය. දැන් තත්ත්වය පෙළ ගැසෙන්නේ මේ බල සේනාවන්ගේ උදහසට ලක්වන කිසිම අයකුට ආගමික නිදහස හිමි නොවන තැනට ය. මේ වන විට තත්ත්වය කෙතරම් දුර දිග ගොස් ඇති දැයි කිවහොත් විවිධ පුද්ගලික ස්ථානවල පැවැත්වෙන යාච්ඥා මෙහෙයන්ට කඩා පනින තත්ත්වයට ආශ්චර්යමත් ලංකාව පරිවර්තනයවී තිබේ.
මේ කඩා පැනීම් එහෙම පිටින්ම අත්තනෝමතික ක‍්‍රියාවක් වුව ද පොලිසිය ද ඒ හමුවේ ක‍්‍රියාත්මක වන්නේ සාධාරණය ඉටු කිරීමට නොව පක්ෂග‍්‍රාහී වීමට ය. අනෙක් අතින් රටේ කතෝලික පල්ලියේ මෙන්ම බෞද්ධ අරමෙහි ද ඉහළම නායකයන් මෙහිදී සිය ආගමික භක්තියකන්ට හොඳ සිහිය ලබාදීමට මැදිහත් විය යුතු ය. එහෙත් මේ වන තුරු ද අපට එම මැදිහත්වීම ඉහළම ආගමික නාකයන්ගෙන් හෝ කෙසේවත් දක්නට නොලැබෙයි. උන්වහන්සේලා ද මේ ආගමික උමතුව හමුවේ පසුවන්නේ ගලේ පැහැරූ බළලූන් මෙනි.
අඳුරු හෝරාව පසුකර දැමීම සඳහා අපේ බුද්ධිමතුන් හා මැදහත් ආගමික නායකයන්ගේ ක‍්‍රියාත්මක වීම ඉතා වැදගත් ය.  පැවිදි පාර්ශ්වය විසින් තෙල් පොහොර යොදා ඉදිරියට තල්ලූ කෙරෙනා “ජාතිවාදී හා ආගම්වාදී” බෝම්බය පුපුරා හැළීමට ඉඩහැරීම යනු අඥානකම පිළිබඳ ඉතිහාසයක් ගැන ලියා තැබීම සඳහා අධිවේගී මඟක් විවෘත කිරීමකි. අද මේ රටේ සමාජයට වඩාත් අවැසි වනුයේ විවෘත සංවාද මණ්ඩපයකි. එතුළ අපට අදාළ කාරණා සැලකිල්ලට ගත හැකි ය.
සියලූ අත්තනෝමතිකවාදයන්ට පිළිතුර ඇත්තේ රාවණා, මහසෝන් ආදී වශයෙන් ආවරණ සංවිධාන පිහිටුවාලීම තුළ නොව විවෘත භාවය තුළ ය. අපට යළි යළි මේ එකම මාතෘකාවට අදාළව ලියන්නට සිදුව ඇත්තේ බුද්ධිමතුන්ගේ නිහැඬියාව දරා සිටිය නොහෙන බැවිනි. බෙල්ලන්විල විමලරතන හිමි වැනි බලපෑමක් කිරීමට සමත් භික්ෂූන් වහන්සේලා පවා සිය වගකීම වටහාගෙන ඇති දැයි සැක සිතෙන තරම් ය. ඒ වරෙක ඉදිරියට විත් අදහස් ප‍්‍රකාශ කරනා උන්වහන්සේලා ඊළඟ මොහොතේ දී මුනිවත රකින තත්ත්වයට පත්වනු අපට නිතරම දක්නට ලැබෙන බැවිනි.
ඉදින් අපට යළත් අර පැරණි වැකියම ලිවීමට සිදුව ඇත්තේ ය. ඒ මෙපරිදි ය.

“වඩා අනතුරුදායක වනුයේ නරක මිනිසුන්ගේ ක‍්‍රියා කලාපය නොව ඒ කෙරේ නුදුටු ඇස් ඇතිව පසෙකට වී ඉන්නා බුද්ධිමතුන්ගේ නිහැඬියාව ය.”

කතෘ – නුවන් උදය වික‍්‍රමසිංහ

උපුටා ගැනීම – http://sinhala.adaderana.lk/opinion.php?mode=karaliya&nid=4170

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 2 යි.

  1. Trash Bin 2013-04-19 at 22:34

    පැහැදිලිවම උත්තර දෙන්න​
    ඔබ අදහන කුරානයට අනුව කටයුතු කරන ඔබ (මුස්ලිම්වරු)
    1 ඔබේ ජන ගහන ප්‍රතිශතය යම් දිනෙක 50 % ඉක්මවුවහොත්, ඔබ ශරියාව නීතිගත කළ යුතුයි කියා ඉල්ලනවා ද​? නැතිද​?
    2 එසේ 50% ක් හෝ ඊට වඩා වැඩි වූ විට හෝ ඒ ආසන්න වූ විට හෝ ඔබ අනිකුත් ජාතිකයින්, අනිකුත් අගමිකයින් ඝාතනය කරනවා ද​? නැතිද​?

    (ඔබෙන් අසා ඇති පැන දෙකට “ඔවු/ නෑ” මේ පිලිතුරු දෙකෙන් එකක් බලාපොරොත්තු වෙමි. වැල්වටාරම් අනවශ්‍යයි. මේ ගැන බෞද්ධයෝ/ සිංහලයෝ මොනවද කරන්නේ කියන එක කතා කිරීම වෙනම කතාවක්)
    පිළිතුරු පැහැදිලි කිරීම් බලාපොරොත්තු නොවෙමි.
    හෑලි ඕන නෑ. පොතට අනුව කටයුතු කරන ඔබ මේ දේවල් කරනවාද ? නැතිද​.?

    • අබූ අර්ශද් 2013-06-24 at 19:03

      ඔබ පැහැදිලි උත්තරයක් විමසන ගමන් ‘ඔව්’/’නෑ’ වලින් පමණක් උත්තර ලබාදෙන්න යයි ද පවසනවා. මෙම ප්‍රශ්නය කොතරම් සාධාර්ණ ද යන්න තීරණය කිරීම පාඨක ඔබට භාරයි. කෙසේ වෙතත් ඔබ අපේක්ෂා කරන ආකාරයටම මා උත්තරර දෙන්නම් හැබැයි ඔබේ ප්‍රශ්නයේ පොඩි නිවරුදි කිරීමක් සමඟ එනම් මා ශුද්ධ වූ කුර්ආනය අනුව පමණක් නොව ශුද්ධ වූ නබිවදන් වන නබිතුමාණන්ගේ ආදර්ශ අනුවද කටයුතු කරන්නෙකි යන්න අවදාරණය කරමිනි.
      1. ප්‍රශ්නයට උත්තරය – ‘නෑ’
      2. ප්‍රශ්නයට උත්තරය – ‘නෑ’

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *