හලාල් සහතිකය පිලිබදව සමාජ කතිකාවක්

2

මෑතක පටන් අප රට තුල  ‘හලාල් සහතිකය’ පිලිබදව පුළුල් සංවාදයන් ගොඩනැඟෙමින් පවතී. එය කොතරම් ද යන්න පවසනවා නම්, ජාතිවාදී පිරිස් විසින් එය ජාතීන් දෙකක් අතර ජාතිවාදී ගැටුමක්, විරසකයක් ගොඩනැඟෙන තැනට මෙම කතිකාව දියත් කරමින් පවතී. මේ හේතුව නිසාම මෙම විෂය පිලිබදව ශ්‍රී ලාංකීය මුසලීම් නොවන සහෝදර ජනතාවට කිසියම් අවබෝධයක් ලබාදීම පිණීස ‘යහමඟ’ අඩවිය තුල කිහිප අවස්ථාවකම කරුණූ සාකච්චා කොට ද ඇත. එවන් ලිපි කිහිපයක් ඔබේ මතකයට ගෙන එන්නේ නම්, ‘හලාල් ලාංඡනය හා බොරු බිය‘, ‘හරාම් හලාල් පිලිබදව විමසුමක්‘ යන ලිපිය මෙන්ම ‘අනුන්ට හලාල් කැවීමට අපට උවමනාද?’ ලිපි සදහන් කල හැක.

කෙසේ වෙතත් අදටත් අප රට තුල උණූසුම් මාතෘකාවක් වී තිබෙන මෙම ‘හලාල් සහතිකයට’ එරෙහිව ප්‍රකාශ නිකුත් කරන පිරිසගේ තර්ක දෙස බලන විට ඔවුන්ගේ අනවබෝධය පමණක් නොව මේ හලාල් සහතිකය කෙරෙහි ඇති වියරුව ද මනාව පිලිඹිබු වේ. මෙහිදී සදහන් කලයුතු විශේෂ කාරණයක් ඇත. එනම් මෙවැනි සමාජ තත්වයක් අප රට තුල නිර්මාණය කිරීමට බොහෝ බ්ලොග් හා වෙබ් අඩවීන් ද ඉමහත් රුකුලක් ලබාදෙන බවයි. එවන් පසුබිමක මේ විෂය පිලිබදව තරමක් දුරකට සමබර කතිකාවත් ගොඩනැඟූ ලිපියක් අන්තර්ජාලය තුල අද දක්නට ලැබුණි. එම ලිපිය මෙසේ ඔබේ අවදානයට ද ගෙන එන්නේ බුද්ධිමත් සමාජයට මේ තුල අවබෝධ කරගත හැකි බොහෝ කරුණූ කාරණා ඇති බැවිණි.

ඉස්ලාමීය ඉගැන්වීම් තුළ ‘හලාල්’ හෙවත් අනුමත දේ සහ ‘හරාම්’ හෙවත් තහනම් දේ පිළිබඳ පහත ලෙස සංකල්පයක් ඉදිරිපත් කොට ඇත. අද වනවිට මේ සංකල්පයට අනුව ලාංකේය වෙළෙඳ භාණ්ඩ 4,500කට අධික ප්‍රමාණයක් හලාල් සහතිකය ලබාගෙන ඇති අතර ඒ තුළ මුස්ලිම් ජනතාවට හලාල් හෙවත් අනුමත නිෂ්පාදනයන් ලබාදෙන්නට මෙරට ව්‍යාපාරිකයන් කටයුතු කොට ඇත.

එහෙත් හලාල් (අනුමත) සහතිකය ලබාදීම සඳහා වූ එම සහතිකය ලබාදෙන සමස්ත ලංකා  ජමියතුල්ලා උලමා සංවිධානය අදාළ වෙළෙඳ ආයතන තුළින් විශාල මුදලක් අයකර ගැනීමත් ඒ සඳහා වූ කොන්දේසි කිහිපයක් හිමි කිරීමක් මත වෙනත් අරමුණු ඉටු කරගැනීමේ මෙහෙයුමක් දියත් කරන්නේදැයි සැකයක් සමාජය තුළ උද්ගතව තිබේ.

හලාල් සහතිකය ලබාගැනීම සඳහා සමස්ත ලංකා  ජමියතුල්ලා උලමා සංවිධානය සුදුසුකම් ලෙස, – හලාල් සංස්කෘතියට අයත් අයකු එම සේවා ස්ථානයේ සේවය කිරීම – නිෂ්පාදනය සඳහා ලබාගන්නා අමුද්‍රව්‍ය හලාල් වීම – අමුද්‍රව්‍ය ලබාගන්නා ස්ථාන හා නිෂ්පාදනය සිදුකරන ආකාරය පිළිබඳ රහස් පැවසිය යුතු වීම, යන කරුණු දැක්විය හැකිය.

තවද මෙම සහතිකය ලබාගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 175,000ක මුදලක් වැය කළ යුතු වීමද, එම සහතිකය වසරක් පාසා අලූත් කරගත යුතු වීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහනය 10%කට ආසන්න ප්‍රමාණයක් වන අතර ඉන් පැවසෙනුයේ හලාල් අවශ්‍යතාවද 10%කට ආසන්න වන බවයි.

ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය, ජාත්‍යන්තර තත්ත්ව සහතිකය වැනි දෑට අමතරව හලාල් සහතිකයෙහි වැදගත්කම කුමක්ද යන්න පිළිබඳත්, ඒ තුළින් ඇති වී තිඛෙන ආර්ථීකමය, සමාජමය හා ආගමික තත්ත්වය පිළිබඳත් අපි සොයා බැලූවමු.

හලාල් සහතිකය සඳහා අයකරන මුදල් ත්‍රස්ත සංවිධාන වලට දෙන්නේ නැත – සමස්ත ලංකා ජමියියතුල්ලා උලමා සංවිධානය

හලාල් සහතිකය ලබා ගැනීමට සමස්ත ලංකා ජමියතුල් උලමා අයකරන මුදල් ජගත් ත්‍රස්ත අරමුදලට ලබා දෙන බවට නගා ඇති චෝදනාව ඔප්පු කරන ලෙස අභියෝග කරන්නෙමු.

මිනිසුන් උද්වේගයට පත් කිරීම සදහා මෙවන් මුසාවාද ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලා සිටිමු. හලාල් (අනුමත) සංකේතය පිලිබද මෙවන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමෙන් හෙලිදරව් කර ඇත්තේ මෙම ව්ෂය පිලිබද නොදෑනුවත් බව මිස අන්කිසිවක් නොවේ.

හලාල් හෝ අනිකුත් ඉස්ලාමීය ප්‍රශ්නයක් පිලිබද දැන ගැනීමට අවශ්‍ය නම් කරුණාකර අප සමග සම්බන්දවී කරුනු පෑහෑදිලි කර ගැනීම සුදුසුයැයි සිතන්නෙමු.

ප්‍රමිතියක් සදහා සහතික ලබාදෙන සෑම ආයතනයකට මෙන්ම හලාල් සහතිකය නිකුත් කරන අප ආයතනයටද කලමනාකරන ව්යදම් බොහෝ ඇතිබව වෙසෙසින් කිව යුතු නැත.

භාණ්ඩ සදහා ප්‍රමිති සහතිකය,නිෂ්පාදන පද්ධතිය සදහා වන සහතිකය, අවදානම් කලමනාකරනය සදහා වන සහතිකය යනාදිය නිකුත් කරන ව්ට යටිතල පහසුකම්, සන්නිවේදනය, ගමනාගමනය, මානව සම්පත්, ව්ශේෂ්‍ය සහ උපදේශන ගාස්තු යනාදී ලෙසින් මෙම ක්‍රියාවලියට අදාල වියදම් පියවීමට මිස රාශියක් ඇත.

මෙම අයකිරීම් ඉහත සදහන් වියදම් පිය වීමට මිස දේශීය හෝ විදේශීය වෙනත් අරමුනු සදහා උපයෝගී නොවන බව ඉතාම පැහැදිලි කරුණකි. කෙසේ වෙතත් අපගේ සියලුම ගිනුම් පිලිගත් විගණකාධිපතිවරු විසින් ගණනයට ලක්කර ඒ සම්බන්ද වාර්ෂික වාර්තා පවත්වාගෙන යන අතර යම් අයෙකුට මේ පිලිබද යම් පැහැදිලිකිරීමක් අවශ්‍ය නම් ඒ පිලිබද පෑහෑදිලි කිරීමට අපි සුදානම්ව සිටින්නෙයමු.

මේ සියලුම වියදම් අතර වුවද ලාභ අරමුනු නොමෑති සංව්ධානයක් ලෙසින් හා අප කරමින් සිටින පොදු ජන මෙහෙවරෙහි වෑදගත්කම මනාව වටහා ඇති සංව්ධානයක් හෑටියට අපගෙන් හලාල් සහතිකය ලබාගන්නා කර්මාන්තශාලා සහ සමාගම් වල ඇතිව්ය හෑකි මුල්‍යමය අසීරුතාවන් හෑකි පමන අවම කරමින් ඒ අනුව හලාල් සහතිකය වෙනුවෙන් වන ගාස්තු ව්‍යුහය ඉතා දෑරිය හෑකි මට්ටමකින් පවත්වා ගෙන යන්නෙමු.

හලාල් වලට අකමැති අයටත් නිෂ්පාදන වෙලඳපොලේ හිබිය යුතුයි- ජාතික හෙළ උරුමය

මේ රටේ මුස්ලිම් ප්‍රජාවගේ අවශ්‍යතාව වෙළෙදපොලේ සියලු නිශ්පාදන භාන්ඩ හලාල් කරනවා නම් එය සම්පුර්නයෙන්ම වෑරදි දෙයක් ව්දිහටයි අපි දකින්නේ.

මොකද මේක බහු ආගමික, බහු ජාතික.බහු සංස්කෘතික වගේම බහුව්ධ අවශ්‍යතාවන් නියෝජනය කරන ජනතාවක් ඉන්න රටක්. ඒ ඒ ජනතාවගේ අවශ්‍යතාවන්, ජනතාවගේ කැමැත්ත පරිදි වෙළෙදපලෙන් භාන්ඩ මිලදී ගෑනීමේ හැකියාව තිබිය යුතුයි.

වෙළෙදපලේ භාන්ඩ සියල්ලම හෝ සෑලකිය යුතු ප්‍රමාණයක් හලාල් සහතිකය යටතට නම් කරනවා නම් එතරම් හොද දෙයක් නොවේ. ඒක පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.

මුස්ලිම් අයට හලාල් සහතිකය සහිත භාණ්ඩ මිලදී ගෑනීමේ අයිතියක් තිබෙනවා හැබැයි වෙළෙදපොලේ සියලුම භාණ්ඩ හලාල් උනොත්, හලාල් නොවන භාණ්ඩ මිලදී ගන්න කැමැත්තක් දක්වන පාරිභෝගිකයන්ටත් අයිතියක් තියෙන්න ඕනෙ හලාල් නොවන භාන්ඩ මිලදී ගැනීමට.

හලාල් සහතිකය ඒ භාණ්ඩ වලට ලබාදීම හරහා යම් මිලක් අලුතෙන් එකතු වෙනවා. එතකොට ඒ එකතු වෙන මුදල හලාල් සහතිකය ලබා දෙන ආයතනය යොදවන්නෙ කුමන කටයුතු සදහා ද? කියන ප්‍රශ්නය තිබෙනවා.

9% කගේ අවශ්‍යතාව 89% ගෙන්ම හලාල් බද්ද එකතු කරනවා නම් ඒ තුල ව්ශාල අසාධාරණයක් සිදු වෙනවා හලාල් වලට අකමැති ජනතාවට. මේ හලාල් සහතිකය ලබාදෙන්න ඇතිකරලා තිබෙන ආයතනය කොතෙක් දුරට නියමිත ප්‍රමිතීන් අනුව කටයුතු කරනවාද, එහි නීත්‍යානුකූල භාවය,පිලි ගැනීම කියන ගැටලු තිබෙනවා.

මේ භාන්ඩ නිශ්පාදන කරන සමාගම් සහ ආයතන වලට අප කියන්න ඕනේ 9%කගේ අවශ්‍යතාව වෙනුවෙන් 89%කට අසාධාරනයක් සිදුවෙයි නම් සමාජයෙන් යම් බලපෑමක් සිදු වෙන්න පුලුවන්.

හැමදේකටම කලින් විදේශීය භාණ්ඩ වර්ජනය කරමු- මව්බිම ලංකා පදනම

මේ වෙලාවේ හලාල් කියන දේටත් වඩා විදේශීය භාණ්ඩ මේ රටෙහි ජනතාව බහුලව පරිභෝජනය කිරීමයි ගැටලුවක් වී තිබෙන්නේ.

ඒ නිසා මුලින් ඒ ගැටළුවට විසඳුම් සෙවීම අත්‍යාවශ්‍යයි. ඒ නිසා මුලින් ඒ ගැටළුවට විසඳුම් සෙවීම අවශ්‍යයි.

කිරිපිටි, තිරිඟු පිටි, සැමන් වැනි දේ සඳහා ඉතා විශාල මුදලක් වැය වෙනවා. මුලින් ඒ වියදම් පාලනය කල යුතුයි. පසුව අනෙකුත් කරුණු ගැන කතා කලාට ප්‍රශ්නයක් නැහැ.

මව්බිම ලංකා පදනමේ හැම ව්‍යාපාරිකයෙක්ම ඉන්නවා. ඒ හැමෝම අපිට වැදගත්. දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට තමයි දේශීය ව්‍යාපාරිකයන් හැමෝම කටයුතු කරන්නේ. තිරිඟු පිටි, කිරිපිටි, පිටරට සැමන් වර්ජනය කරන්න. ඊට පස්සේ අනෙක් ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන්.

දැන් තිබෙන්නේ අපේ පොල් පරාලේ තියාගන අනෙක් අයගේ පොල් කෙන්ද දකිනවා වගේ වැඩක්. මුලින් කළ යුත්තේ මේ රටින් පිටරටට ඇදී යන විශාල මුදල් කන්දරාව රැකගැනීමයි. එහෙම නැතුව ළමයා ගිලෙද්දී නියපොතු පාටකරලා වැඩක් නැහැ

“හලාල්” නෑ කියලා අපේ අලෙවියේ අඩුවක් නෑ- රයිගම් සමාගමේ සභාපති

රයිගම් ආයනතය හලාල් සහතිකය අරගන නෑ. හලාල් නෑ කියලා අපේ අලෙවියේ අඩුවක් සිදුවෙලත් නෑ.

සමහරදේ සම්බන්ධයෙන් හලාල් සහතිකය ඇති එකෙයි, නැති එකෙයි අතර මට සාධාරණ බවක් තේරෙන්නේ නෑ.

මං දන්නා හලාල් සහතිකයෙන් කියන්නේ ඌරු මස් හා ඌරු තෙල් හා ඒවා ආශ්‍රිත අමුද්‍රව්‍ය අදාල නිෂ්පාදනයේ අඩංගු නෑ කියලා කියන එක.

එක වතාවක් ඒ අයගේ සහතික මණ්ඩලයෙන් ඇවිත් ඒ ගැන හරි වැරදි සොයා බැලීමක් කලා. නමුත් අපි ඒ ටික ක්‍රියාත්මක කළේ නැහැ. මොකද අපි හලාල් සහතිකය ගත්තොත් ඔවුන් එතනින් එහාට අපිව පාලනය කරන්න හදනවා.

ඒ කියන්නේ අපි හලාල් සහතිකය ගත්තොත් එතනින් එහාට අපි අමුද්‍රව්‍ය ගත යුත්තේ හලාල් සහතිකය තියන සැපයුම්කරුවන්ගෙන් පමණයි.

මෙයින් සිද්ධ වෙන්නේ හලාල් සහතිකය හරහා අපේ සැපයුම් ජාලය පාලනය කරන්න උත්සාහ කිරීමයි. එහිදී සෘජුව නෙවෙයි මෙය සිද්ධ වෙන්නේ, වක්‍ර ආකාරයකට.

මේ හරහා අපේ සැලසුම් ජාලය වෙනත් පිරිසක් අතට ගන්නවා. ඒ බාහිර පර්ශවය තුලින් අපේ ආයතනික රහස පිටට යන්න පුළුවන්. මේ දෙකම සිදුවෙනවට අපේ කැමැත්තක් නැහැ.

“හලාල්” සහතිකය ඕනෑ මුස්ලිම් ජනතාවටයි- සිලෝන් බිස්කට්

මුස්ලිම් ජනතාවට ඒ අයගේ ආහාර සඳහා නියමිත පිළිවෙලක් තියනවා. ඔවුන්ට යම් දෙයක් ආහාරයට ගැනීමට අවශ්‍යය නම් ඒකට සහතිකයක් අවශ්‍යයයි.

ඉස්ලාම් ආගමේ හැටියට හලාල් සහතිකය තිබෙනවා නම් පමනයි එය ආහාරයට ගත හැක්කේ. ඒ නිසා එය ඒ විදිහටද කෙරෙන්නේ කියන එක කවුරු හරි ඇවිල්ලා හොයලා බලලා මේකේ අඩංගු දේ මොනවද කියලා සහතිකයක් දෙනවා. ඒ සහතිකයට අනුව ඒ අයට ඒ නිෂ්පාදනය ආහාරයට සිදුසුයි.

ඒ අයට කන්න සුදුසුයි කියන්නේ වෙන කෙනෙක්ට කන්න නුසුදුසුයි කියා එක නෙවෙයි. මාධ්‍ය වලින්, පත්තර වලින් ඕක කතා නොකලා නම් දැන් මේ රටේ උද්ගතවෙලා තියන හලාල් ප්‍රශ්නය දුරස් වෙලා යයි.

මං හිතන්නේ අපි වගකිවයුතු සමාජයක් හැටියට මේ ප්‍රශ්නය කතා නොකර ඉන්න එක හොඳයි. මොකද හලාල් නිෂ්පාදනයක් කියන්නේ කාටවත් හානියක් නොවන දෙයක්

දැන් බුද්ධාගමේ අය හරක් මස් ආහාරයට ගන්නේ නැහැ. අපිට යම්, නිෂ්පාදනයක හරක් මස් අඩංගු නෑ එහෙම නැත්නම් හරි මස් මාංශ අඩංගු නෑ කියලා හරි සහතික කරන්න කිව්වොත් අපි ඒ ටික කරනවා.

අපිට කොහේ හරි එක තැනකින් ඒ ගැන සහතිකයක් අරගන ඒ ලෝගෝ එක ගහන්න කිව්වොත් අපි ඒක ගහනවා.

මුදල් ගෙවලා ඔය සහතිකය ගන්න අපිට ඕනෑ නෑ- ලකී ලංකා සමාගම

පසුගිය දින කිහිපය පුරා ලකී යෝගට් සම්බන්ධයෙන් ෆේස්බුක් මාධ්‍ය හරහා විවිධ ප්‍රචාරය දියත් වුණා. ඒ සියළු දේ සත්‍ය ප්‍රචාරයන් ලෙස මම මුලින්ම සඳහන් කරන්න කැමතියි.

මුලින්ම ෆේස්බුක් තුලින් ප්‍රචාරය වුනේ ලකී යෝගට් වල හලාල් ලඛුන නැහැ. ඒ නිසා ලකී යෝගට් මිලදී ගන්න කියලයි.

ඉන්පසුව ලකී යෝගට් හලාල් සහතිකය ලබාගැනීමේ සූදානමක් තියනවා ඒ නිසා ලකී යෝගට් වර්ජනය කළ යුතු යැයි ප්‍රචාරය වුණා.

ඊලඟ පියව්‍රේදී අපි වෙළඳපලට හඳුන්වා දුන් රු. 5, 10 පැකට් වල තිබුණු හලාල් යැයි කියන සලකුණක් පෙන්වා ලකී යෝගට් හලාල් සහතිකය අරගන ඇති බවටත් ෆේස්බුක් මාධ්යයේ ප්‍රචාරය වුනා. පසුව අපි ඒ සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් ෆේස්බුක් හරහා ලබා දුන්නා.

අපි කිසිම දිනක හලාල් සහතිකය ලබාගන්නේ නැහැ. මුදල් ගෙවා ඒ ආකාරයේ සහතිකයක් ලබාගැනීමේ අවශ්‍යතාවයක් අපට නැහැ. අපේ නිෂ්පාදන සඳහා ආරම්භයේ පටන්ම හලාල් සහතිකය ලබාගැනීමේ විවිධ පෙලඹවීම් තිබුනා. නමුත් අපි තවමත් හලාල් සහතිකය ලබාගත්තේ නැහැ.

හලාල් සහතිකය සමඟ කිසිදු සම්බන්ධයක් නෑ- ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

හලාල් සහතිකය සමඟ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කිසිදු සම්බන්ධයක් නෑ. SLS සහතිකය ලබාදීමේදී එම නිෂ්පාදන සඳහා හලාල් සහතිකය ලබා තිබීම හෝ ලබා නොතිබීම ගැටළුවක් නැහැ.

නමුත් අපි SLS ප්‍රමිති සහතිකය ලබා දෙන නිෂ්පාදන සඳහා හලාල් සහතිකය ලැබී ඇති බව සඳහන් නම් එම සහතිකය පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කටයුතු කරනවා. ඒ හැර SLS සහතිකය හා හලාල් අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ. ඒ පිළිබඳ කිසිදු වගකීමක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නැහැ.

ප්‍රමිති සහතිකය ලබාදීම තුලින් එම ආහාර නිෂ්පාදනයේ තත්ත්වය පිළිබඳ සහතිකයක් සියළු පාරිභෝගිකයන්ට තහවුරු කිරීමයි සිදුවනේ. ඒතුලින් එම අහාර නිෂ්පාදන්යේ සුරක්ෂිතතාවය නිවැරදිව දැනගන්න පුළුවන්. හලාල් සහතිකය මඟින් සිදුවන්නේ මුස්ලිම් ජනතාවගෙ පරිභෝජනයට සුදුසු ආහාර නිෂ්පාදන හඳුනාගැනීමට සැලැස්වීමයි.

අපි තීරණ ගන්නේ තාක්ෂණික ප්‍රමිතීන් මත පමණයි- ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය

හලාල් සහතිකය කියන්නේ සංස්කෘතිය හා ආගම් පදනම් කරගත් සහතිකයක්. ඒ නිසා පාරිභෝගික අධිකාරියෙන් (හලාල් සහතිකය සඳහා) මැදිහත්වීමක් සිදුවන්නේ නැහැ.

ඒත් ප්‍රමිතිය සම්බන්ධයෙන් යම් නිෂ්පාදනයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුනොත් එතැනදී හලාල් සහතිකය තියනවද නැද්ද කියන එක අපිට වැදගත් නැහැ. අපි ඒ සඳහා පියවර ගන්න සූදානම්.

අපි එතැනදී ප්‍රමිති ආයතනයේ ප්‍රමිතින්ට අනුකූලද, කල් ඉකුත්විමේ දිනය හා නිෂ්පාදන දිනය නිවැරදිව තිබේද, අදාල භාණ්ඩයේ අන්තර්ගත වියයුතු දේ නිවැරදිව අන්තර්ගතද, නිවැරදිව ලේබල් කර තිබේද, උපරිම සිල්ලර මිල ලකුණු කර ඇද්ද වැනි දේවල් තමයි අපි පරීක්ෂාවට ලක් කරන්නේ.

හලාල් සහතිකය තිබුණා යන කරුන මත හෝ ඒ සහතිකයනැතිවුණා කියලා ඒ මත අපේ තීරණ ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ.

මුස්ලිම් අපිට හලාල් සහතිකය වැදගත්- මුස්ලිම් පාරිභෝගිකයෙක්

අපි ආහාර නිෂ්පාදනයක් මිලදී ගැනීමේදී ඊට හලාල් සහතිකය තිබේද යන්න සොයාබැලීම සමාන්‍ය දෙයක්. ඒක එහෙම වුනෙත් හේතුවක් ඇතිවයි.

ලංකාවේ ආර්ථිකය දියුණු වෙන්න කලින් අපේ ආහාර ද්‍රව්‍ය මිලදී ගත්තේ පොඩි පොඩි මුස්ලිම් කඩ වලින්. එතකොට ඒවගේ පිරිසිදු කම ගැන අපිට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නමුත් සුපිරි වෙලඳසැල් වගේ දේවල් ආරම්භ වුනාට පස්සේ අපිට ඒ තැන් වලට යන්න සිද්ධ වුණා. එතකොට ඒ කඩවල ආහාර ද්‍රව්‍යයන්ගේ පිරිසිදුභාවය වෙනුවෙන් තමයි පොදුවේ හලාල් සහතික ආවශයතාවය මතුවුනේ.

පිරිසිදු ආහාර කියන දේ අපට විතරක් නොවේ හැම පුද්ගලයාටම වැදගත්. ඊට පස්සේ තමයි “සිලෝන් ජමියතුල්ලා උලමා සංවිධානය” මේ වෙනුවෙන් සහතිකයක් නිකුත් කිරීම ආරම්භ වුනේ. ලංකාවේ ආහාර නිෂ්පාදන ආයතන විශාල ප්‍රමාණයක් හලාල් සහතිකය ලබාගත්තා. ඒ නිසා අපිට ඒ භාණ්ඩ මිලදී ගන්න පුලුවන්.

කුරානයේ කියලා තියෙන්නේ අපි කරන හැම දෙයක්ම හලාල් වියයුතුයි කියලා. මුදල් උපයන ආකාරය, වියදම් කරන ආකාරය, ජීවත් වන ආකාරය මේ හැම දේම හලාල් විදිහට තමයි අපි ගත කරන්නේ. “ජමියතුල්ලා උලමා සංවිධානය” වුනත් වැරදි දෙයක් කරනවා නම් ඒකට වුනත් විරුද්දාව මුස්ලිම් ජනතාවන් නැඟී සිටිනවා.

“හලාල්” ආගම් ප්‍රචාරයට වංචනිකව මුදල් ගැරීමක්- සිංහල පාරිභෝගිකයෙක්

අපි පංසලට ගියත් පිං කැටේට දාන්නේ රුපියලක් නැත්නම් දෙකක්. ඒත් මේ හලාල් සහතිකය හරලා මාසෙකට ලොකු මුදලක් අපේ අතින් වැය වෙනවා.

ඒ විදිහට මාසෙකට අපේ සල්ලි කොච්චර ප්‍රමාණයක් වැය වෙනවාද. මේ හරහා ඒ ගොල්ලෝ තමන්ගේ ආගම ප්‍රචාරය කරගන්න නොදැනුවත්වම යොදාගැනීමක් සිදුවෙනවා.

හලාල් සහතිකය කියන්නේ මොකක්ද කියලවත් හරියට මිනිස්සු දන්නේ නැහැ. අනිත් එක ඕක නිෂ්පාදනයකදී අනිවාර්යයෙන්ම ගන්න ඕනෑ සහතිකයක් නෙවෙයිනේ. දැන් ඔය සහතිකය ගත්තා කියලා නිෂ්පාදයේ ගුනාත්මක තාවය වැඩිවන්නේ නැහැනේ . කිසිම ප්‍රමිතියක් ඇත්තෙත් නෑ. මේකෙන් වෙන්නේ තමන්ගේ ආගම ප්‍රචාරය කරවාගන මිනිසුන්ගෙන් බලෙන් සල්ලි එකතුකරගැනීමක්. ඒ නිසා මම පෞද්ගලිකව මේ හලාල් සහතිකයට අකමැතියි.

දැන් මුස්ලිම් අය හලාල් සහතිකය නැති කුකුල් මස් කන්නේ නැහැ. ඒත් බිත්තර කනවා. මාලුත් කනවා. සමහර මුස්ලිම් අයවත් දන්නේ නෑ හලාල් කියන්නේ මොකක්ද කියලා. මේක තනිකරම බොරුවක් මුලාවක්. මේක තනිකරම ආගම ප්‍රචාරය කිරීම සඳහා සල්ලි කඩාගැනීමක්.

හලාල් සහතිකය ලබාගන ඇති නිෂ්පාදන වල නාමාවලියක් මෙතනින් දැකබලාගත හැක.

-සටහන-

1) රයිගම් නිෂ්පාදන හලාල් සහතිකය ලබාගන නොමැති බව පැවසෙන නමුත් HAFC (Halal Food Awarness Committee) ලෙස අරාබි බසද සහිතව පහත පරිදි සඳහන් වන්නේ කුමක්ද යන්න ගැටලුවකි.

 

2) ලකී යෝගට් සමාගම විසින් හලාල් සහතිකය ලබා නොගත්තද ඔවුන්ගේ යෝගට් වල අඩංගු ද්‍රව්‍ය වල “Halal Gelatin” ලෙස ජෙලටින් පහත පරිදි සඳහන් කර ඇත්තේ ඇයිද යන්න ගැටලුවකි.

 

 

ලිපිය උපුටා ගැනීම – http://www.gossip9.com/2013/01/blog-post_18.html

 

ඉදිරිපත් කිරීම – අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 2 යි.

  1. Rizan 2013-02-17 at 00:36

    ශුද්ධ කුරාණයේ 4 වැනි අන්නිසා සුරාව, 97 වැනි පදයේ ඉගැන්වීමට අනුව, ඉස්‌ලාම් බැතිමතකු මිය ගිය විට මැලෙයිකා දේව දූතයන්ගේ විමර්ශණයට භාජනය වෙනවා. එහිදී ඉස්‌ලාම් නොවන රටක ජීවත් වෙමින් හරියට ආගම අදහන්නේ නැතිව මිය ගියොත් අපායගාමී වන බව සඳහන් වෙනවා. එසේ අපායගාමී නොවන්නට නම් අන් අයගේ රටවල්වලින් බැහැර වී අල්ලාටම අයිති රටකටම යායුතු බවට උනන්දු කෙරෙනවා. (ඔබ සිටි ඒ රට අතහැර පිටව යා යුතුව නොතිබුණේ දැයි විමසන්නේ මය.)

    • අබූ අර්ශද් 2013-03-18 at 18:44

      ඔබේ පැනයට කෙටි පිලිතුරක් ලබා දෙන්නේ නම්, ඔබේ ප්‍රහ්නයට පිලිතුරැ ඉහත 4 වන පරිච්චේදයේම 98,99 වාක්‍යවල තිබෙනවා හොදින් කියවා බලන්න.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *