හූනියම හා එයට එර‍ෙහි අභියෝග – ඉස්ලාමීය විමසුමක්

1

හූනියම‘හූනියම’ මෙය බොහෝ දෙනාට ඇසු පමණින් බිය උපදවන වචනයකි. ලෝක ඉතිහාසය තුල දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මේ හූනියම් කලාව, මිනිස් සමාජයට අමිහිරි සිතුවිලි, අත්දැකීම් හා පුරාවෘත්ත රාශියක් උරුමකොට දී ඇති කලාවකි. මේ හූනියම් කලාවට අප රට තුල ද දීර්ඝ වූ ඉතිහාසයක් ඇත. අද තමන්ට සිදුවන විපත, අලාභ හෝ රෝග තත්වයන් කිසියම් කෙනෙකු විසින් තමන්ට කරන ලද හූනියමක ප්‍රථිපලයක් යයි දැඩිව විශ්වාස කරන පිරිස් අප සමාජයේ ඕනෑතරම් දක්නට ඇත. එහි ප්‍රථිපලයක් ලෙස අද වනවිට හන්දියක් හන්දියක් ගානේ හූනියම් කපන හා කරන දේවාල හා දේවවරම් ලද කුටි ද සමාජය තුල සුලභව දැකීමට ඇත. මේ ආකාරයට සමාජය තුල අති බහුතරය ‘හූනියම’ පිලිබද වූ විශ්වාසය තුල ගිලී ජීවත් වනවිට මෙම ‘හූනියම’ අභියෝග කරන එය මිත්‍යාවක් යයි පවසන පිරිස් ද මේ සමාජය තුල නැතුවා නොවේ. එවන් පිරිස් අතුරින් ඉතා ජනප්‍රිය චරිත දෙකක් ඔබේ මතකයට ගෙන එන්නේ නම්,

මෙතැනදී ‘යහමඟ’ විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. එනම්, සමාජයේ අති බහුතරය මිත්‍යාවකට තැතිගෙන බියෙන් සැකයෙන් ජීවත් වන වි‍ට එය මිත්‍යාවක් බව සනාථ කිරීමට කිසියම් පිරිසක් ධෛර්‍යයෙන් ඉදිරිපත් වී එයට අභියෝග කිරීම සැබැවින්ම අගය කලයුතු කාරණයකි. ඒ අනුව ඉහතින් සදහන් වෛද්‍ය කෝවූර් හා කාලෝ ‍ෆොන්සේකා යන මහත්වරුන් කල අභියෝගය අගය කලයුත්තකි. ඔවුන් දෙපලට එම ගෞරවය සමාජයෙන් නොඅඩුව හිමි වූ නිසාම අදත් ඔවුන් බුද්ධිමත් සමාජය හමුවේ වීර චරිතය. මේ පිලිබදව ‘යහමඟ’ ට ද විරුද්ධ මතවාදයක් නැතත් අද ඉන්දීය හා ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය තුල කථාබහට ලක්ව ඇති ‘හූනියමට එරෙහි අභියෝග කිරීම’ සම්බන්ධයෙන් ‘යහමඟ’ එකඟතාවයක් නැත.

ඉස්ලාමීය රාමුව තුල මුස්ලීම්වරයෙකුට කිසිසේත් නොගැලපෙන අභියෝගයක් වූ ඒ පිලිබදව ‘යහමඟ’ ස්ථාවරය හා මුස්ලීම්වරයෙකුගේ ස්ථාවරය විය යුත්තේ කුමක්ද? යන්න කථා කිරීමට මත්තෙන් එම මතභේදාත්මක අභියෝගය කෙටියෙන් ඔබේ විමසුමට ගෙන එන්නට කැමැත්තෙමි.

එය මෙසේය…

ඉන්දියාවේ සිටින ජනප්‍රිය ඉස්ලාම් ආගමික විද්වතෙකු පසුගිය දිනක ‘හූනියම මිත්‍යාවක් පුළුවන් නම්, ඔප්පු කරන්න යනුවෙන් කල අභියෝගයකට අනුව ඉන්දියානු (මුස්ලීම් නොවන) පූජකවරයෙකු එම අභියෝගය භාරගෙන ඇත. ඒ අනුව එම දෙපල අතර වූ ගිවිසුම 2014/08/01 දිනෙන් ආරම්භ වූ අතර 2018/09/17 දිනෙන් එනම් දින 47 කින් එය අවසන් වීමට නියමිතය. එම ගිවිසුමේ කරුණු කිහිපයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,.

  • අභියෝගය ඉදිරිපත් කල ඉස්ලාම් ආගමික විද්වතා පවසා සිටින්නේ හූනියම සත්‍යයක් බව ඔප්පු කලොත්, (ඉන්දියානු) රුපියල් ලක්ෂ 50 ක ත්‍යාගයක් ලබාදෙන බවයි.
  • එම අභියෝගය භාරගත් පූජකවරයා පවසා සිටින්නේ ඉහතින් සදහන් (ඉස්ලාම් ආගමික) විද්වතාව දින 47 ක් ඇතුලත සියදිවි හානි කරගන්න තබා හූනියම සත්‍යයක් බව ඔප්පු කරන බවයි.

හුනියම අභියෝගයට ලක්කොට ප්‍රචාරය කල පෝස්ටරය

ඉහත අභියෝගය ඉදිරිපත් කල ඉස්ලාම් ආගමික විද්වතා ඉන්දියාව හා ශ්‍රී ලාංකාව තුල ජනප්‍රිය චරිතයක් වන අතර ඔහුගේ ආගමික මතවාද සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයේ පක්ෂ මෙන්ම විපක්ෂ පිරිස් ද අති බහුතරයක් වේ. ඒ පිරිස් අද ඉහත අභියෝගය හමුවේ එම විද්වතා හා අභියෝගය සම්බන්ධයෙන් ප්‍රධාන මතවාද තුනක් ඔස්සේ බෙදී ගොස් ඇති ආකාරයක් මා හට දක්නට ලැබේ. එනම්,

  • මෙච්චර කාලයක් කාටවත් ඔප්පු කරන්න ධෛර්‍යයක් තිබුණේ නැති කාරණයකට අපේ නායක තුමා (ඉස්ලාම් ආගමික විද්වතා) ඉදිරිපත් වුනා. එතුමා අනිවාර්‍යයෙන් දිනනවා,
  • මෙයා (එනම්, ඉහතින් සදහන් ඉස්ලාමීය විද්වතා) මේච්චර කාලයක් අපේ සම්ප්‍රදායක ආගමික මතවාදයන්ට එරෙහිව කථා කලා, මේ පාර පාඩමක් ඉගෙන ගන්නවා. කොට්ටෝරුවාට වෙච්ච දේ තමයි එයාට වුණේ. මේ පාර එයා ඉවරයි.
  • මෙහෙම අභියෝගයන් කිරීම ඉස්ලාම් දහමට පටහැනි මුස්ලීම්වරයෙකුට මෙය ගැලපෙන්නේ නැහැ.

ඉහතින් මා ඉදිරිපත් කොට ඇත්තේ පසුගිය දිනවල ශ්‍රී ලාංකීය සමාජය තුල පෞද්ගලිකව මා අත්දැකීමෙන් දුටු ප්‍රධාන මතවාද 03 ක් පමණි. මීට අමතරව තවත් මතවාදයන් ද සමාජය තුල පැවතිය හැක. කෙසේ වෙතත් ඉහත මතවාදයන් 03, පදනම් කරගෙන ඒ එකින් එක විමසා බලන්නට මෙතැන් සිට අදහස් කරන අතර ඊට ප්‍රථම කෙටියෙන් හෝ ‘හූනියම’ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය මෙහි සදහන් කලයුතුව ඇත.

හූනියම් පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය,

ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව ‘හූනියම’ යන්න සත්‍යයකි. එය ඉස්ලාමීය මූලාශ්‍රයන් වන ශුද්ධ වූ කුර්ආනයේ හා හදීසයේ බොහෝ තැන් හි කථා කරන කාරණයකි. නමුත් එය වර්ථමාන සමාජය පිලිගන්නා තරම් ප්‍රබල හෝ බලසම්පන්න එකක් නොවේ. ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව හූනියම් නම් කලාවක් අතීතයේ පැවතී බවත් එයින් කලහැකි වන්නේ බිරිද හා ස්වාමියා අතර බේද කිරීමන් පමණක්ම බවත් ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. එය ශුද්ධ වූ කුර්ආනයේ 2-102 වාක්‍යයෙන් මනාව පැහැදිලි කරයි.

හුනියම සම්බන්ධ ඉස්ලාම් දහමේ ස්ථාවරය හොදින් මතකයේ රදවාගෙන ඉහත මතවාද 03, එකින් එක දැන් විමසා බලමු.

පලමු මතවාදය :

මෙච්චර කාලයක් කාටවත් ඔප්පු කරන්න ධෛර්‍යයක් තිබුණේ නැති කාරණයකට අපේ නායක තුමා (ඉස්ලාම් ආගමික විද්වතා) ඉදිරිපත් වුනා. එතුමා අනිවාර්‍යයෙන් දිනනවා,

ඉහත තර්කය තරමක් දුරකට සැබෑවක්. මන්ද මුස්ලීම් සමාජයට මෙය අළුත් අත්දැකීමක් ඒ අනුව ඔවුනට ඉහත විද්වතාගේ ඉදිරිපත් වීම වීර ක්‍රියාවක්. නමුත් මෙලෙස ඉදිරිපත් වීම සිදුවූ ලොව පලමු අවස්ථාව මෙය නොවන බව ඉන්දියානු සම්බවයක් ඇති වෛද්‍ය නොවූර් මහතාත් අප රටේ විද්වතෙකු වන කාලෝ ෆොන්සේකා‍ මහතාත් ඔප්පු කොට ඇති ආකාරය මේ ලිපිය ආරම්භයේ අප දුටුවෙමු. ඒ අනුව මෙය කාටවත් බැරි වූ වීර ක්‍රියාවක් නම් නොවන බව පලමුවෙන් වටහා ගතයුතුයි.

එසේම, මෙහිදී මුස්ලීම්වරයෙක් පැහැදිලිව එක් කාරණයක් වටහා ගතයුතුය. එනම්, ඉහතින් සදහන් ඉස්ලාම් ආගමික විද්වතා මෙම ගිවිසුමට අනුව පරාජ වූවත්, දිනුවත් එයින් ‘හූනියම’ සත්‍ය යන්න හෝ බොරුවක් යන්න සනාථ නොවේ. (ඒ පිලිබදව සවිස්තරව පහතින් කියවන්න) ඒ අනුව මෙම අභියෝගයේ ජය පරාජය අදේව වාදියෙකුට වැදගත් වූවත්, ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් නිසිලෙස පිලිපදින මුස්ලීම් සමාජයට කිසිසේත් වැදගත් නොවේ.

දෙවන මතවාදය :

මේච්චර කාලයක් අපේ සම්ප්‍රදායන්ට හා ආගමික මතවාදයන්ට එරෙහිව කථා කලා, මේ පාර පාඩමක් ඉගෙන ගන්නවා. කොට්ටෝරුවාට වෙච්ච දේ තමයි එයාට වුණේ. මේ පාර එයා ඉවරයි.

මෙලෙස පවසන පිරිස් දැන හෝ නොදැන ‘හූනියම තුලින් මනුෂ්‍යයෙකු සියදිවි හානි කරගන්න තියන්න පුළුවන්’ යයි විශ්වාස කරන බව පැහැදිලි වේ. මෙය ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන්ට පරස්පර වූ විශ්වාසයක් වන අතර එලෙස මුස්ලීම්වරයෙකු විශ්වාස කිරීම පවා මහා පාපයකි. ඒ අනුව මෙවැනි පාපකාරී සිතුවිලිවලින් මුස්ලීම් සමාජය සම්පූර්ණයෙන් වැලකිය යුතුය. එපමණක් නොව ඔහු ඉස්ලාම් දහම තුල කුමන මතවාද දැරුවත්, ඔහුගේ අනවබෝධය තුල කුමන අභියෝගයකට එළඹුණත් (වැඩි විස්තර පහතින් කියවන්න) ඔහුත් සහෝදර මුස්ලීම්වරයෙකු බව අප අමතක නොකලයුතුයි. ඒ අනුව ඔහුගේ යහමඟ වෙනුවෙන් අප ප්‍රාර්ථනා කලයුතුයි.

තෙවන මතවාදය:

මෙහෙම අභියෝගයන් කිරීම ඉස්ලාම් දහමට පටහැනි මුස්ලීම්වරයෙකුට මෙය ගැලපෙන්නේ නැහැ.

මෙම ලිපියේ ප්‍රධානම කොටස වන්නේ මෙයයි. මුස්ලීම් සමාජය තුල වීරකම් පාන්න කවුරු මොනදේ කලත්, තමන්ගේ තරහමරහා පිරිමසා ගන්න මොනදේ කීවත්, ඒ සියල්ල කොතරම් දුරකට වලංගුද? නැද්ද? යන්න තීරණය වන්නේ ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුවයි. ඒ අනුව මෙම විෂය ද විමසා බැලිය යුත්තේ ඉස්ලාමීය රාමුව තුල හිඳ මිස අපගේ බුද්ධියට ‍හෝ හැඟීමන්ට වහල් වී නම් නොවේ. ඒ අනුව මෙම අභියෝගය ඉස්ලාම් දහමට අනුකූලද? යන්න දැන් විමසා බලමු. එවිට එය මුස්ලීම්වරයෙකුට ගැලපෙනවාද? නැද්ද? යන්නත් පහසුවෙන් තීරණය කිරීමට හැකි වේ.

ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව මුස්ලීම්වරයෙකු අනිවාර්‍යයෙන් විශ්වාස කලයුතු කරුණු 06 ක් ඇත. ඒ අතර ‘කර්මය’ නොහොත් ‘දෛවය’ ද ප්‍රධාන එකකි. එනම්, මේ විශ්වය අරම්භ කිරීමටත් ප්‍රථමව මේ විශ්වය ආරම්භයේ පටන් අවසානය දක්වා වූ සියල්ල අල්ලාහ් (දෙවි) ‘ලහ්ෆුල් මහ්ෆුල්’ නම් පලකයේ (පුස්තකයේ) පැහැදිලිව සටහන් කර ඇති බවත්, ඒ අනුව සියල්ල සිදුවන බවත් විශ්වාස කිරීම එම විශ්වාසයයි. මෙය අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ මෙසේ පවසයි.

ගුප්ත කරුණූ පිලිබදව වූ යතුර ඇත්තේ තමා (අල්ලාහ්) හමුවේය.ඔහු හැර වෙන කිසිවකු ඒ පිලිබදව නොදනී. ඔහු ගොඩබිමේ මෙන්ම මුහුදේ ඇති දෙය දහොදින් දනී. (ගසකින්) පත්‍රයක් බිම වැටුනත් එයත් ඔහු නොදැන නොවේ. මේ භූමියතුල ඝන අඳුරෙහි ඇති බීජයක් වුවද, එය තෙත්ව ද වියලිව ද පැවතුනේ යන්නත්, පැහැදිලි පලකයේ නැතුවා නොවේ.

ශුද්ධ වූ කුර්ආනයේ 6-59

ඉහත වාක්‍යයට අනුව ගුප්ත කරුණු පිලිබදව වූ ඥානය මනුෂ්‍යා සතු නොවන බව පැහැදිලිය. එපමණක් නොව මෙලොව සියළු කාර්‍යයන් පෙර නියමය පරිධි සිදුවන බවත් ඉහත වාක්‍යයෙන් පැහැදිලිය. ඒ අනුව ඉහත ඉස්ලාම් ආගමික විද්වතාගේ අවසානය (මරණය) අල්ලාහ් (දෙවි) කුමන ආකාරයට තීන්දු කර තිබෙනවාද? යන්න අල්ලාහ් (දෙවි) හැර වෙන කිසිවකු නොදනී. (මන්ද ගුප්ත කාරණා පිලිබදව වූ යතුර ඔහු සතුම බැවිණි) දැන් වාදයකට අල්ලාහ් (දෙවි) ඔහුගේ අවසානය ඉහත කාලවකවානුව තුල සියදිවි හානිකර ගැනීමක් ලෙස ලියා තිබුණේ නම්, ඉහත අභියෝගය හමුවේ මුස්ලීම් සමාජය තුල ඇති වන තත්වය මොහොතක් බුද්ධිමත්ව සිතා බලන්න.

  • අද වනවිට ඉන්දියාව හා ශ්‍රී ලංකාව තුල ඉහත ආගමික විද්වතාව අන්ධ භක්තිකව පිලිපදින මුස්ලීම් පිරිස් විශාල ප්‍රමාණයක් ඇත. ඔවුන් ඉදිරියේ ‘හූනියම’ මුලාවක් බව ඔප්පු කරන්නට ගිය ඔහු අවසානයේ සමාජයට දෙන පණිවුඩය කුමක් වනු ඇත්ද?.
  • එපමණක් නොව ඉහත දෙවන කාරණයෙන් සදහන් ආකාරයට ඔහුට හානියක් වන තුරු බලා සිටින පිරිසට මේ තුලින් දෙන පණිවුඩය කුමක් වනු ඇත්ද?.

මේ සියළු පිරිස් ‘ඉස්ලාමයෙන් බැහැර වීම’ නම් මහා පාපයට යොමුවීමේ අවදානමක සිටිනවා නොවේද?. ඒ සමාජයට ඔහු ලබාදෙන අවදානම හා දැන් ඔහු තමන්ට අත් කරගෙන ඇති හානිය බුද්ධිමත්ව සිතා බලන්න. අල්ලාහ් (දෙවි) ඉහත 6-59 වාක්‍යයෙන් පැහැදිලිව ගුප්ත කරුණු පිලිබදව වූ ඥානය තමා සතු බව පවසද්දී, සියල්ල  පෙර සැලසුම් කොට අවසන් බව ද පවසද්දී, ‘ලහ්ෆුල් මහ්ෆුල්’ නම් පලකය කියවා පැමිණියා සේ ‘පුළුවන් නම් මාව සියදිවි හානි කරගන්න තියන්න’ යයි අභියෝග කිරීම මුස්ලීම්වරයෙකුට ගැලපෙන බුද්ධිමත් ක්‍රියාවක්ද?. මෙය වක්‍ර ආකාරයකින් අල්ලාහ් (දෙවි)ට කරන අභියෝගයක් නොවේද?. මෙය බුද්ධිමත් සමාජය බුද්ධිමත්ව විමසා බැලිය යුතු නොවේද?.

මේ කාරණය ඉහත අභියෝගයට පක්ෂව කථා කරන, එය අගය කරන, ඉහත විද්වතා අන්ධ භක්තිකව අනුගමනය කරන එක්තරා ඉස්ලාම් පූජකවරයෙකුගෙන් මා විමසූ විට ඔහු මාහට ලබාදුන් පිලිතුර වුයේ…

‘ඔහු මුඃමීන්වරයෙක් (දේව විශ්වාසවන්තයෙක්) කවදාවත් අල්ලාහ් (දෙවි) ඔහුට එවැනි මරණයක් දෙන්නේ නැහැ’

ආගම දහම ඉගෙන ගත්තු ‘ඉස්ලාම් යනු ශුද්ධ වූ කුර්ආනය හා හදීසය පමණයි’ යයි ප්‍රචාරය කරන කෙනෙකුගේ තර්කය මෙය නම්, ඔවුන් කොතරම් ඉහත විද්වතා කෙරෙහි අන්ධභක්තිකව කටයුතු කරනවාද? යන්න වටහා ගැනීමත්, මේ අභියෝගය මුස්ලීම් සමාජය කොතරම් අවාසනාවන්ත තැනකට යොමු කොට තිබෙනවාද? යන්න වටහා ගැනීමත් සාමාන්‍ය බුද්ධියක් ඇති කිසිදු මුස්ලීම්වරයෙකුට අපහසු නොවේ. කෙසේ වෙතත් මේ ලිපියට වස්තු බීජය වූ ඔහුගේ එම ප්‍රකාශයට ද මෙහි පිලිතුරක් ලබාදිය යුතුව ඇත. මන්ද ඉහත විද්වතාට පක්ෂව කටයුතු කරන, ඔහුව අනුගමනය කරන, ඔහුව සාධාරණීකරනය කරන… බොහෝ දෙනෙකු මතුකරන තර්කය මෙයම වන බැවිණි.

එම කාරණයට පිලිතුරු ලබාදීමට මත්තෙන් ඉහත මතභේදයට තුඩු දී සිටින විද්වතා ‘අව්ලියාවරුන්’ (අව්ලියාවරුන් – යනු දේව විශ්වාසයේ ඉනිපෙත්තට ගිය දෙවිගේ ආදරය ලබා සිටින පිරිසයි) සම්බන්ධයෙන් එක්තරා අවස්ථාවක කල ප්‍රකාශයක් ඔබේ බුද්ධිමත් විමසුමට තබන්නට කැමැත්තෙමි.

එය මෙසේය…

‘…කෙනෙකු අව්ලියාද? නැද්ද? යන්න හරියටම දන්නේ අල්ලාහ් (දෙවි) හා තමා ‘අව්ලියා’ යයි පවසා ගන්නා පුද්ගලයා පමණි. එහෙම වුනත්, බොරුවට වුවද තමා ‘අව්ලියා’ යයි ඕනෑම කෙනෙකුට පවසන්න පුළුවන්. නමුත් ඇත්තටම ඔහු අව්ලියාද? නැද්ද? යන්න හරියටම දන්නේ අල්ලාහ් (දෙවි) පමණයි. ඒ නිසා කිසිදු කෙනෙකුට ‘අව්ලියා’ යයි සහතික දීම අපට කල නොහැක…’

ආගම, දහම කියන්නේ මනුෂ්‍යා තම දෙවියන් සමඟ හදවතින් කරන ගනුදෙනුවක්. එයට තීන්දු තීරණදීමේ හැකියාව තෙවන පාර්ශවයකට නැත. ඒ අනුව ඉහත විද්වත් ප්‍රකාශය ‘යහමඟ’ ද පිලිගන්නා ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව ද සත්‍යයකි. දැන් බුද්ධිමත්ව සිතා බලන්න ‘අව්ලියාවරුන්’ සම්බන්ධයෙන් ම එවැනි තීන්දුවක් ගැනීමට නොහැකි යයි පැවසූ විද්වතාට ‘ඔහු මුඃමීන්වරයෙක්’ යයි පැවසීමට තරම් මේ අනුගාමිකයන් ඔහු කෙරෙහි අන්ධ භක්තික වී නොවේද?. ඔහු මුඃමීන්ද? නැද්ද? යන්න ඔහු හා අල්ලාහ් (දෙවි) අතර තිබෙන ගනුදෙනුවකි. එය අපට තීන්දු කල නොහැක. එසේ වාදයකට ඔහු මුඃමීන් යයි තීන්දු කලත්, ඔහුගේ අවසාන ඉරණම අල්ලාහ් (දෙවි) යහපත් අන්දමින් තියාවි යන්නට ඇති සහතිකය කුමක්ද?. මෙයට හොදම නිදසුනක් මා පවසන්නම්,

එක්තරා යුද්ධයක (කයිබර් යුද්ධය)ට සහභාගි වී සිටි සහාඟිවරයෙකු පෙන්වා මොහු ‘අපායවාසියෙක්’ (නිරයට යන කෙනෙක්) යයි මුහම්මද් (සල්)තුමාණන් පවසන ලදී. යුධ බිමේ ඉතා හොදින් සටන් කරමින් ඉදිරියට යන ඒ සහාභිවරයා දෙස බලා නබිතුමාණන් එසේ පැවසීම එතැන සිටී සහාභවරුන් මවිතයට මෙන්ම නබිතුමාණන්ගේ ප්‍රකාශය පිලිබදව සැකයක් ඇති කිරීමට ද හේතු විය. නමුත් යුධ බිමේ සාර්ථකව සටන් කරමින් ඉදිරියට ගිය ඔහු අවසානයේ යුධ බිමේ තුවාල ලබා එම තුවලයන් හි වේදනාව ඉවසා දරාගත නොහැකිව සියදිවි නසා ගන්නා ලදී. (මෙය දීර්ඝ හදීසයක සාරාංශයක් පමණි)

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි 6606, 6607

තම දිවිය පරදුවට තබා සටන් කල, සහාභාවරුන් පවා නබිතුමාණන්ගේ ප්‍රකාශය පිලිබදව සැක හිතන තරමට ඔහු ශ්‍රේෂ්ඨ කෙනෙකු බවට අවබෝධ කරගෙන සිටී ඒ පුද්ගලයාගේ හදවතේ තිබූ සිතුවිල්ල  හා ඔහුගේ අවසාන ඉරණම තීන්දු කිරීමේ හැකි වූයේ කාටද?. ඔහුගේ අවසාන ඉරණම අවසාන මොහොත වනතුරු තීන්දු කිරීමේ හැකියාව අල්ලාහ්ගේ දූතයාණන්ට මිස වෙන කාටවත් නොතිබුණි. නමුත් වර්ථමාන මෙම විද්වතා මුඃමීන්ද? නැද්ද? යන සහතිකය දීමේ ශක්තිය බලය ඔහුගේ අනුගාමිකයන් ලබාගෙන ඇත. මෙය අල්ලාහ් (දෙවි)ගේ බලය මත අත තැබීමක් නොවේද?, ඔබ බුද්ධිමත්ව සිතා බලන්න. මේ ‘හූනියමකට’ අභියෝග කරන්න ඔහු ඉදිරිපත්වීම ඔහු ‘මුඃමීන්වරයෙක්’ යයි තර්ක කරමින් ඔහුට එවැනි අවාසනාවන්ත ඉරණමක් අල්ලාහ් ලබා නොදෙනු ඇත යනුවෙන් කිසිවකුටත් තර්ක කල හැකිද?. නැවතත් වාදයකට ඔහු ‘මුඃමීන්වරයෙක්’ යයි සැලකූවත් අල්ලාහ් (දෙවි) ‘මුඃමීන්වරයෙකුගේ’ ඉරණම කොතරම් ක්ෂණිකව වෙනස් කරන්නට බලසම්පන්න ද? එයත් වටහා ගැනීමට ශුද්ධ වූ නබිවදන් දෙකක් කෙටියෙන් ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නට කැමැත්තෙමි. එනම්,

වරක් නබිතුමාණන් මෙසේ පවසන ලදී.

කෙනෙකු උදේ සිට සවස් වනතුරු මුඃමීන් ලෙස ජීවත් වී රාත්‍රියේ ඔහු කාෆිර් වෙයි. එසේම රාත්‍රිය පුරා මුඃමීන්වරයෙකු ලෙස ජීවත් වූ කෙනෙකු උදෑසන කාෆිර්වරයෙකු බවට පත්වේ.

තවත් අවස්ථාවක නබිතුමාණන් මෙසේද පවසන ලදී. එනම්,

කෙනෙකු මුඃමීන්වරයෙකු ලෙස ජීවත් වී අවසාන මොහොතේ ඔහුගේ දෛවය (කර්මය) ඔහුව අභිබවා ඔහු කාෆිර්වරයෙකු ලෙස මිය යයි. එසේම කෙනෙකු කාෆිර්වරයෙකු ලෙස ජීවත් වී ඔහුගේ අවසාන මොහොතේ තර්මය ඔහුව අභිබවා ඔහු මුඃමීන්වරයෙකු ලෙස මිය යයි.

මේ අනුව ඉහතින් සදහන් විද්වතා මුඃමීන් යයි තර්ක කිරීමටත්, ‘ඔහුට අවාසනාවන්ත මරණයක් අල්ලාහ් (දෙවි) කවරදාකවත් උරුම කර නොදෙනු ඇත’ යනුවෙන් තර්ක කිරීමටත් කිසිදු මුස්ලීම්වරයෙකුට ඉස්ලාම් දහම තුල අවසර නොමැති බව ඉහත කරුණුවලින් පැහැදිලි වටහා ගතයුතුව ඇත.

ඒ අනුව අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ, මෙම අභියෝගය ඉස්ලාමයෙන් බැහැරව බලන කෙනෙකුට වීර ක්‍රියාවක් ලෙසත්, අගය කලයුතු කාරණයක් ලෙසත් දැකිය හැකිය. නමුත් ඉස්ලාමීය රාමුව තුල එය කිසිසේත් එය අනුමත කල හැකි කාරණයක් නම් නොවේ. මෙතැනදී මුස්ලීම් සමාජයට පැහැදිලිව කිවයුතු තවත් කාරණයක් ඇත. එනම්, මා ඉහතින් ද සදහන් කලාසේ ඉස්ලාම් දහම ගොඩනැඟී ඇත්තේ විශ්වාසයන් මත පදනම් ව මිස මේ ආකාරයට සියල්ල අභියෝග කොට ඔප්පු කිරීම තුලින් නම් නොවේ. ඒ අනුව විමසා බැලුවත් මෙය වැරදි පූර්වාදර්ශයක් මිස අනුමත කලහැකි හෝ අගය කලහැකි කාරණයක් නොවේ. එපමණක් නොව මෙම අභියෝගය අද දේව නියමය වන ‘කද්රය’ (දෛවය) අභියෝගයට ලක් කරන තැනට පත්ව ඇත. එසේනම් මෙය ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව මහා පාපයකි.

එපමණක් ද නොව මේ දෙපලගේ අභියෝගයෙන් ලෞකිකව කවුරු දිනුවත්, කවුරු පැරදුනත් එයින් ඉස්ලාම් පවසන ‘හූනියම’ සත්‍ය යන්න හෝ බොරුවක් යන්න තහවුරු නොවේ. ඒ වෙනුවට අල්ලාහ් (දෙවි) හමුවේ මේ වනවිටත් ඒ දෙපලම මෙන්ම ඔවුන් පසුපස ගිය හා යන බොහෝ මුස්ලීම්වරුන් ද පරාජය අත්විඳ අවසන් බව පමණක් සමස්ථ මුස්ලීම් සමාජය පැහැදිලිව වටහාගත යුතුය. ඒ අනුව ඔවුන් තවදුරටත් අන්ධ භක්තිකයන් නොවී වහ වහා ‘තව්බාහ්’ කොට (දෙවියන්ගෙන් සමාව අයද) තමාගේ වරද නිවැරදි කර ගතයුතුව ඇත. ඒ සදහා සමස්ථ මුස්ලීම් සමාජයට, නුවණැස පෑදේවා !, ඔවුන් සියල්ල අන්ධ භක්තියෙන් මිදේවා!, ආගමික රාමුව තුල කටයුතු කරන්න ශක්තිය හා බුද්ධිය ලැබේවා ! යන ප්‍රාර්ථනාවන් එක් කරමින් මේ ලිපිය අවසන් කරමි.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *