හොදට නරකට දෙකටම…

0

මුස්ලීම් සමාජයට සුවිශේෂි මාසයක් වන රමලාන් (උපවාසය රකින) මාසය උදාවීමට තව ඇත්තේ දින කිහිපයක් පමණි. ඒ අනුව එක්පසකින් රමලාන් මාසය අභිමුව සිටින මුස්ලීම් සමාජයට ඉතා කාලීන වන, එසේම තවත් පසෙකින් වෙන කවරදාකටත් වඩා වැඩියෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් අදහන ඉස්ලාම් දහමට එරෙහිව ප්‍රබල හා පදනම් විරහිත චෝදනාවන් හා මුසාවන් ගෙතෙමින් සමාජගත වන වකවානුවක මුස්ලීම් සමාජයට ඉස්ලාම් අවධාරණය කරන ආදර්ශයක් යහමඟ පාඨක ඔබගේ අවධානයට යොමු කිරීමට අදහස් කරමි. එම මාතෘකාවට යොමූවීමට ප්‍රථම මාතෘකාවට ඉඟියක් ලෙසත්, මාතෘකාවට ඌනපූර්ණයක් ලෙසත් ඉස්ලාමීය මූලාශ්‍රයන් තුලින් ඉගෙන්වීමන් දෙකක් ඔබගේ අවධානයට යොමු කිරීමට අදහස් කරමි. එනම්,

“කවරෙකු මුසාවන් පැවසීමත්, රැවටීමත්, අපචාරයන්හි නිරතවීමත් අත්හැර නොදමන්නේ ද ඔහු අනුභව නොකොට, පානය නොකොට සිටීම (උපපවාසය රැකීම) කෙරෙහි අල්ලාහ් (දෙවියන්)ට කිසිදු තැකීමක් නැත.” – (ග්‍රන්ථය බුහාරී)

“කරුණු දෙකකින් කවරෙකු ආරක්ෂා කරගන්නේ ද එනම්, තම දෙතොල් අතර තිබෙන අවයවය වන දිවත්, තම දෙකලවා අතර තිබෙන ලිංගික අවයවයත් ආරක්ෂාකාරී ලෙස ජීවත් වන්නේද? (මරණින් මතු උදාවන) විනිශ්චය දිනයේ ඔවුනට මා ආරක්ෂකයකු ලෙස හිදිමි.”

මූලාශ්‍ර – හදීස්

“කරුණු දෙකකින් කවරෙකු ආරක්ෂා කරගන්නේ ද එනම්, තම දෙතොල් අතර තිබෙන අවයවය වන දිවත්, තම දෙකලවා අතර තිබෙන ලිංගික අවයවයත් ආරක්ෂාකාරී ලෙස ජීවත් වන්නේද? (මරණින් මතු උදාවන) විනිශ්චය දිනයේ ඔවුනට මා ආරක්ෂකයකු ලෙස හිදිමි.”

මූලාශ්‍ර – හදීස්

ඉහත හදිසයන් හෙවත් නබිතුමාණන්ගේ ආදර්ශයන් දෙක කියවීමේ දී ලිපියෙහි මාතෘකාව පිලිබදව ඔබට කිසියම් අවබෝධයක් ලැබී තිබෙනු ඇත. මෙම ලිපියට මාතෘකාව ලෙස ඉදිරිපත් කර තිබෙන “හොදට නරකට දෙකටම…?” යන්න කියූ පමණින් ඔබට මතකයට එන්නේ “කට” පිලිබදවයි. නමුත් අද මා මෙහි කථා කරන්නේ කට ගැන නම් නොව ඊටත් ගැඹුරින් තිබෙන දෙවියන්ගේ විශ්මිත මැවීමක් වන “දිව” පිලිබදවයි. මෙහි මා “විශ්මිත මැවීමක්” යන්න පැවසීම කෙනෙකුට කුතුහලයක් වන්නට පුළුවනි. මෙය විද්‍යාත්මක විග්‍රහයකට නොයන ලිපියක් නිසා මෙම ඔබ දිවෙහි විශ්මිත බව පහසුවෙන් අවබෝධ කරගැනීම සදහා “නෙල්ලි” ගෙඩියක් ප්‍රමාණවත් යන්න පමණක් ඔබට සිහිකරමින් මාතෘකාවට යොමු වෙමි. මෙවැනි මාතෘකාවක් අද තෝරා ගැනීමේ අවශ්‍යතාවය ඉහත කරුණුවලින් දැනටමත් ඔබට පැහැදිලි වී තිබෙනු ඇත. මිනිස් සිරුරේ තිබෙන ඉතා කුඩා අවයවයක් වූ මේ “දිව” මනුෂයාට කරන බලපෑම සුළුපටු නොවේ. සමාජයේ ඉහල තැනක වැජඹෙන කෙනෙකු ක්ෂණයකින් පහත් තැනකට ඇද දැමීමටත්, පහල තැනක ජීවත් වූ කෙනෙකු ක්ෂණයකින් ඉහල සමාජ පිලිගැනීමක් හා ගෞරවයක් දිනාගැනීමටත් මේ දිවට ගතවන්නේ සුළුම සුළු කාලයකි.

ලෞකික දිවියේ මනුෂයාගේ ඉරණම මේ ආකාරයට තීන්දු කරන මේ “දිව” තම බලපෑම එතැකින් අවසන් නොකොට මනුෂ්‍යාගේ ලෝකොත්තර දිවියට තීරණාත්මක සාධකයක් බවට පත්වේ. ඒ මේ “දිව” උපයෝගි කරගෙන යහපත්, සමාජ වැඩදායි දෑ කථා කිරීම තුලින් ලෞකිකව තමන්ටත් සමාජයටත් යහපතක් සිදු කරනවා පමණක් නොව මරණින් මතු දිවියේ ජයග්‍රහණයට ද එය හේතුවක් කරගන්නේය. එසේම මේ දිව උපයෝගි කරගෙන අයහපත්, සමාජ විරෝධි දෑ කථා කිරීම තුලින් ලෞකිකව තමන්ටත්, සමාජයටත් හානායක් සිදු කරනවා පමණක් නොව මරණින් මතු දිවියේ අවාසනාවන්ත ඉරණමයන් උදාකරගැනීමට ද එය හේතුවක් කරගන්නේය. මෙවන් වූ බලගතු මේ කුඩා අවයවය පිලිබදව ඉස්ලාම් මිනිස් සමාජයට කරන උපදේශයන් හා අවවාදයන් අපමණය. ඉස්ලාම් දහම පමණක් නොව ලොව බොහෝ ආගම් අධ්‍යනය කිරීමේ දී මෙම කාරණය පිලිබදව අඩු වැඩි වශයෙන් කරන ලද අවවාදයන් දැකීමට ලැබේ. එවන් වූ මෙම “දිව” පිලිබදව එනම් එහි නිමැවුම, පිහිටීම හෝ ක්‍රියාකාරීත්වය පිලිබදව මෙහි කථා කිරීමට අදහස් නොකරමි. මෙම ලිපිය තුලින් කථා කිරීමට අපේක්ෂා කරන්නේ මේ “දිව” උපයෝගි කරගෙන මනුෂ්‍යා කරන ක්‍රියාවන්, ඒ තුලින් ඔහු ලඟා කරගන්නා අවාසනාවන්ත ඉරණම හා ඒ පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද? යන්නයි.

මේ දිව උපයෝගි කරගෙන සමාජය තුල සිදුවන ක්‍රියාවන් කිහිපයක් පිලිබදව කෙටි හැදින්වීමක් සිදුකරන්නේ නම්,

මුසාව…

මුසාව හෙවත් බොරුව පිලිබදව කථා කිරීමේ දී පිරිසක් ඇත්ත බව පවසමින් බොරු කියනවිට තවත් පිරිසක් විනෝදයට බොරු කීම අපට අලුත් දෙයක් නොවේ. මේවා ඒ ඒ බොරුවල තරම අනුව සිංහල භාෂාව තුල කෙප්ප, කෙඹර, බින්න, ගජබින්න… යනාදී වශයෙන් කොටස් කොට තිබීම ද මෙම ලිපිය කියවන ඔබට අළුත් කාරණයක් නොවනු ඇත. මෙම බොරුව සමාජය තුල කොතරම් රජකර ඇත්දැයි පවසනවා නම්, රටේ උත්තරීතර තැන වන පාර්ලිමේන්තුවේ සිට රටේ නීති ක්‍රියාත්මක කරන උසාවිය, පොලිසිය දක්වා මෙය සාමාන්‍ය කාරණයක් බවට පත්ව තිබීම ජනමාධ්‍යයන් තුලින් අසන්නෙමු දකින්නෙමු. මෙවන් වූ මුසාව වර්ථමාන තරඟකාරී සමාජය තුල නිරන්තරයෙන් දකින කාරණයකි. ‘කෙනෙකු තවත් කෙනෙකු එසේත් නැත්නම් කිසියම් ජන කොට්ඨාශයක් පහසුවෙන් අවමානයට හා අපහසුතාවයට ලක්කිරීමට කිසිදු පැකිලීමකින් තොරව යොදාගන්නා සරල උපක්‍රමය තමා “මුසාව” හෙවත් බොරුව. අද මෙම ක්‍රියාවලිය ඉතා සාර්ථක අන්ධමින් ඉස්ලාම් දහමට එරෙහිව ශ්‍රි ලාංකීය සමාජය තුල ක්‍රියාවට නැංවෙමින් පවතී. විශේෂයෙන් උදේ සවස “…මුසාවාදා වේරමණි සික්කා…” යනුවෙන් පැවසෙන බෞද්ධ සමාජයේ සමහරක් පිරිස් අතින් මෙය සිදුවිම මවිතයට කාරණයකි. මෙහි අවාසනාවන්ත තත්වය එය නොවේ ශ්‍රි ලංකාවේ ජනප්‍රිය බෞද්ධ විද්වතුන් සමහරක් පවා එම තත්වයට පත්ව පැවතීමයි. නිදසුනක් පවසනවා නම්, කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි තම “නුවණැස පාදන සිරි සදහම්” නැමැති කෘතියේ එක් ස්ථානයක මෙසේ පවසයි. “මොහොමඞ් නබි මිනිස්සුන්ව කඩුවෙන් කප කපා හැම තැනම ගිහින් ඒ ධර්මය ප‍්‍රචාරය කළේ. එයා ධර්මය ප‍්‍රචාරය කළේ කඩුවෙනුයි. එයාට අකුරු බැරි නිසා අකුරු දන්න කෙනෙකු ලවා කඩුවේ කොටව ගත්තා “ඉස්ලාම්” කියලා ඒකේ තේරුම “සාමය” දැක්කද සාමය කඩුවට දාපු හැටි” (මෙවැනි අනාවරණයන් බොහෝමයක් මීට ඉහත මෙම අඩවිය තුල සිදුකොට ඇත) මෙම ලිපිය තුලින් උත්සාහ කරන්නේ එවන් අන්තවාදීව හැසිරෙන “බිහිරි අලින්ට වීනා වැයීමක්” සිදුකරන්නට නොව ඉහතින් සදහන් කල ආකාරයේ ඉස්ලාම් විරෝධි මඩ ව්‍යාපාරයන් තුල ආවේශ වන එසේම ඉස්ලාමීය විනය ඉක්මවා යන මුස්ලීම් සහෝදරයන් ඉහත මඩ ව්‍යාපාරයන් හි නිරතවන පිරිසගේ තැනට වැටී විනාශය ලඟාකිරීම වලක්වා ගැනීමටය. එසේ වීමට නම් මෙම කාරණය පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද? යන්න පිලිබදව පැහැදිලි අවබෝධයක් මුස්ලීම් සමාජයට පැවතිය යුතුය. ඒ පිලිබදව දැන් අවධානය යොමු කලේනම්,

“නුඹලා කථා කලේනම් යහපත් දෑ කථා කරන්න. එසේ නොමැති නම් නිහඬව සිටින්න.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

“නුඹලා කථා කලේනම් යහපත් දෑ කථා කරන්න. එසේ නොමැති නම් නිහඬව සිටින්න.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදිසයට අනුව මනුෂ්‍යා කතා කලයුත්තේ යහපත් යයි හදුනාගත් කරුණු පමණක් යන්න පැහැදිලිය. මේ පිලිබදව තවත් අවස්ථාවක නබිතුමාණන් පැවසීමේ දි,

“(දෙවියන්ගේ) ගැත්තෙකු වචන ස්වල්පයක්, එය හරිද? වැරදිද? යන්න (ඔහු)නොසිතා පවසයි. මේ හේතුව නිසා නැගෙනහිර හා බටහිර යන දෙදිශා අතර දුර තරමට අපායෙහි පතුලෙම තැනක් ඔහුට හිමිවේ.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීස් දෙකට අනුව මුසාව හොවත් බොරුව සම්බන්ධයෙන් ඉස්ලාමීය ඉගෙන්වීම, ස්ථාවරය හා අවවාදය පැහැදිලිය. එසේනම් එවන් වූ අකුසල ක්‍රියාවන්වලින් සම්පූර්ණයෙන් වැලකී සිටීම අනිවාර්‍ය අවශ්‍යතාවයකි. විශේෂයෙන් ඉස්ලාම් දහමට එරෙහිව එල්ලවන මඩ ව්‍යාපාරවල ප්‍රධාන යටි අරමුණ ද කෙසේ හෝ මුස්ලීම් සමාජය ජාතිවාදී එසේත් නැත්නම් ආගම්වාදී ගැටුමකට පොළොඹවා ගැනීම යන්න ඔවුන්ගේ ලිපි කියවීමේ දී සිතන්නට හැඟේ. මුස්ලිම් සමාජය යන්න ඉස්ලාමීය දහම තුල ආදර්ශ ලද ජන සමාජයකි. ඔවුනට ඉලක්කයක් ඇත, මඟපෙන්වීමන් ඇත, හොද නරක කියා දෙකක් ඇත, අවසාන අරමුණක් ඇත, මේ සියල්ලටම ආදර්ශ සපයන ආරම්භයේ සිට ආරක්ෂා වූ මඟපෙන්වීමක් ඇත. මේ මුස්ලීම්වරුන් ආදර්ශභංග වූ ජන සමාජයක් නොවේ. එසේනම් කලයුතු වන්නේ ඉස්ලාමීය ඉගෙන්වීම හොදින් අවබෝධ කරගෙන එය තම ජීවිතය තුල ක්‍රියාවට නැංවීම පමණි.

කේලම්…

ඉහත ආකාරයට මුසාව හෙවත් බොරුව පිලිබදව අවවාද කිරීමෙන් නතර නොවී මේ “දිව” මුල්කරගෙන සිදුකරන තවත් අකුසල් ක්‍රියාවක් පිලිබදව ඉස්ලාම් මිනිස් සමාජයට අවවාද කරයි. ඒ බොරුව හා බැදුනු විටෙක බොරුවටද දෙවැනි නොවන “කේලම” පිලිබදවයි. මේ පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ 104-01 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවියන්) මෙසේ පවසයි.

කේලම් හා බොරු පවසමින් සැරිසරන සැම කෙනෙකුටම විනාශයන් ඇත

මෙම ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයට අනුව බොරුවසේම කේලමත් අකුසල් ක්‍රියාවක් යන්න පැහැදිලිය. නමුත් මේ දෙක අතර යම් යම් වෙනස්කම් ඇති බව කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැක. විටෙක කේලම ද බොරුව සේම වන නමුත් එය සැමවිට වලංගු නොවේ. එයට හේතුව “බොරුව” යන්න සැලකූවිට සමස්ථ මිනිස් සමාජයම එය ඒකමතිකව වරදක් ලෙස පිලිගෙන ක්‍රියා කරයි. නමුත් “කේලම” යන්න එසේ නොවේ. එය කියන ආකාරය, අසන පුද්ගලයා, කියන පුද්ගලයා, විටෙක වයස… යනාදී කාරණයන් මත එය වරදක් ද? එසේ නොවේද? යන්න තීරණය වීම සිදුවේ. අද සමාජයේ දෙදෙනෙකු හමුවුයේ නම් ඔවුන්ගේ මාතෘකාව තෙවැනි පුද්ගලයෙකු පිලිබදව යන්න ඔබත් අත්දැකීමෙන් දන්නා කාරණයකි. මා මෙසේ පවසන විට ඔබට ප්‍රශ්නයක් පැනනැඟෙනු ඇත. ඒ මුසාව හෙවත් බොරුව වරදක් බව පැවසීම සැබෑවක් නමුත් “කේලම” හෙවත් ඇති දෙයක් පැවසීම වරදක් වෙන්නේ කොහොමද?. මෙය අප සමාජයේ නිරන්තරයෙන් අසන්නට ලැබෙන පොදු ප්‍රශ්නයකි. එය “අපි ඇත්තනේ පවසන්නේ”, “අපි නැතිදෙයක් කියන්නේ නැහැනේ”… යනාදී වාක්‍යයන් මඟින් පැවසීම අප සමාජයේ අළුත් කාරණයක් නොවේ. මෙම විෂය ඉස්ලාමීය දෘෂ්ඨිකොණයෙන් සාකච්චා කරමින් තිබෙන නිසා මේ පිලිබදව ඉස්ලාමිය ඉගෙන්වීම කුමක්ද? යන්න අවධානය යොමු කලේනම්, එයට මුහම්මද් (සල්) තුමාණන් ලබාදුන් විග්‍රහය ඉතා අලංකාර ජනකය. එය මෙසේය…

“වරක් නබිතුමාණන් තම අනුගාමිකයන් (සහාභාවරන්) ගෙන් ‘කේලම් පැවසීම යනු කුමක්ද? යන්න නුඹලා දන්නෙහිද?’ යනුවෙන් විමසා මෙසේ පවසන ලදී. ‘නුඔගේ සහෝදරයා (නුඹ කථා කරන දෑ අතුරින්) කවරක් පිලිකුල් කරයිද?. එය ඔහු නොමැති විටක පැවසීම’ යනුවෙන් පවසන ලදී. එයට (අනුගාමික) සහාභිවරයෙකු ‘අප පවසන කාරණය ඔහු තුල පැවතුනත්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් “ඔබ පවසන කාරණය ඔහු තුල පැවතුණු නිසා තමා එය කේලමක් වන්නේ (එසේ නොවේ නම් එය මුසාවක්)” යනුවෙන් පවසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

“වරක් නබිතුමාණන් තම අනුගාමිකයන් (සහාභාවරන්) ගෙන් ‘කේලම් පැවසීම යනු කුමක්ද? යන්න නුඹලා දන්නෙහිද?’ යනුවෙන් විමසා මෙසේ පවසන ලදී. ‘නුඔගේ සහෝදරයා (නුඹ කථා කරන දෑ අතුරින්) කවරක් පිලිකුල් කරයිද?. එය ඔහු නොමැති විටක පැවසීම’ යනුවෙන් පවසන ලදී. එයට (අනුගාමික) සහාභිවරයෙකු ‘අප පවසන කාරණය ඔහු තුල පැවතුනත්ද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් “ඔබ පවසන කාරණය ඔහු තුල පැවතුණු නිසා තමා එය කේලමක් වන්නේ (එසේ නොවේ නම් එය මුසාවක්)” යනුවෙන් පවසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

ඉහත හදීසයට අනුව “කේලම” යනු කුමක්ද? යන්න පමණක් නොව ඉස්ලාම් අනුමත නොකරන කේලම කුමක්ද? යන්නත් පැහැදිලිවම විස්තර කර ඇත. තොරතුරක් ලෙස ආදර්ශයක් ලෙස අවවාදයක් ලෙස කෙනෙකු පිලිබදව විස්තරයක් තවත් කෙනෙකු වෙත පැවසීම ඉස්ලාම් අනුමත නොකල කේලමක් නොවේ. අප පවසන කාරණය එයට සම්බන්ධ පුද්ගලයාගේ නොසතුටට හේතුවක් වේ නම් එය ඉස්ලාම් අනුමත නොකල කේලමක් බවට පත්වන බව ඉහත හදීසය තුලින් පැහැදිලි වේ. ඒ අනුව ඉස්ලාම් අනුමත නොකල කේලම් පිලිබදව ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට දැඩිව අවවාද කොට ඇත. එවන් වූ තවත් හදීසයක් පවසනවා නම්,

” ‘කේලම් පවසන පිරිස් (මරණින් මතු උදාවන) විනිශ්චය දිනයේ දී ඉතා දැඩිව දඬුවම් ලබනු ඇත. තම අතින්ම තමාව දඬුවම් කරගනු ඇත.’ යනුවෙන් නබිතුමාණන් පවසන ලදී. (තවදුරටත් එතුමාණන් පැවසීමේ දී) ‘(දෙවියන් හමුවට ගිය ගමන වන) මිහ්රාජ් ගිය මොහොතේ මා එක්තරා පිරිසක් පසුකර ගියෙමි. එම පිරිසට උල්නිය තිබුණි ඒ නියවලින් ඔවුන් තම මුහුණ හා පපුව තුවාල කරමින් සිටියේය.’ එය දුටු මා ((දේවදූත) ජබ්රීල් (අලෛ) ගෙන්) ‘ජිබ්රීල් අර පිරිස කවුරුන්ද?’ යනුවෙන් විමසුවෙමි. එයට ජිබ්රීල් ‘ඒ පිරිස් මනුෂ්‍යන්ගේ මාංශ අනුභව කල (කේලම් පැවසූ) පිරිස් එනම් මනුෂ්‍යන්ගේ ගෞරවයට අතතැබූ පිරිස්’ යනුවෙන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – අහමද්

මනුෂ්‍යාගේ ගෞරවයට අත තබන ඒ මහා පාපය අප සමාජයේ කොතෙක් නම් සිදුවෙනවාද? අද කේලම යන්න සාමාන්‍ය කාරණයක් බවට පත්ව තිබුනත් නබිතුමාණන් හට “මිහ්රාජ්” හි ගෙනහැර දැක්වීමට තරම් එය වැදගත් කාරණයක් වී පැවතුණු බව ඉහත හදීසයෙන් පහසුවෙන් වටහාගත හැක. මනුෂ්‍යාගේ “දිව” මූලික වන මුසාව මෙන්ම කේලමත් ඉස්ලාමීය දෘෂ්ඨිකොණයට අනුව අකුසල් යන්න දැන් ඔබට පැහැදිලි වනු ඇත.

උපකාර කියාපෑම…

මිනිසා තම “දිව” මඟින් උදා කරගන්නා අවාසනාවන්ත ඉරණමයන් පිලිබදව කථා කිරීමේ දී ඉස්ලාම් දැඩිව අවවාද කරන තවත් අංගයක් වන්නේ “කල උපකාර කියාපෑමයි”. වර්ථමාන සමාජයේ බහුතරයක් පිරිස් තම පෞරුෂය ගොඩනඟා ගැනීම සදහා “කල උදව්, උපකාර කියාපෑම” නිරන්තරයෙන් දකින කාරණයකි. මෙවැනි පසුබිමක මෙම කාරණය සම්බන්ධයෙන් ඉස්ලාම් කුමක් පවසනවාද? යන්න අවධානය යොමු කලේනම්, පහත හදීසය එය මෙලෙස පැහැදිලි කරයි. එනම්,

“වරක් නබිතුමාණන් මෙසේ පවසන ලදී. එනම් ‘කවරෙකු තමන් කල උපකාරයක්, උදව්වක් කියාපාන්නේද, එම ක්‍රියාව වමනය කරවා එය නැවත අනුභව කිරීමට සමානය.’ ”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

“වරක් නබිතුමාණන් මෙසේ පවසන ලදී. එනම් ‘කවරෙකු තමන් කල උපකාරයක්, උදව්වක් කියාපාන්නේද, එම ක්‍රියාව වමනය කරවා එය නැවත අනුභව කිරීමට සමානය.’ ”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීසයට අනුව ‘කල උපකාරයන් කියාපෑම’ ඉස්ලාමීය ඉගෙන්වීමන්ට අනුව කොතරම් පහත් ක්‍රියාවක්ද? යන්න වටහා ගැනීම දුෂ්කර නොවේ. මෙම ක්‍රියාව කොතරම් බරපතල වූ වරදක් ලෙස ඉස්ලාම් දකිනවාද යන්න අවබෝධ කරදීම පිණිස තවත් හදීසයක් වෙත ඔබගේ අවධානය යොමු කලේනම්,

(මරණින් මතු උදාවන) විනිශ්චය දිනයේ දී අල්ලාහ් (දෙවියන්) තුන් පිරිසක් සමඟ කථා නොකරයි, ඔවුන් දෙස නොබලයි, ඔවුනට දැඩි දඬුවම් පමුණුවයි. යනුවෙන් නබිතුමාණන් පැවසූ විට (සමකාලීන අනුගාමික) සහාභිවරයෙකු “ඒ අවාසනාවන්තයන් කවුරුන්ද?” යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණන් “ආඩම්භරයට තම වස්ත්‍රය වළලුකරින් පහලට ඇන්ද මිනිස්සුන්, කල උපකාරයන් කියාපෑ මිනිස්සුන් සහා බොරුවට දිවුරා වෙළදාම් කල (වෙළන්දුන්) මිනිස්සුන්” යනුවෙන් පවසන ලදි

මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්ලීම්

ඉහත හදීසයන් දෙක මඟින් “කල උපකාර කියාපෑම” කියාපෑම කොතරම් පහත් ක්‍රියාවක්ද? යන්නත්, එය කොතරම් බරපතල වරදක් ද යන්නත් පැහැදිලිය. මේ ආකාරයටම “දිව” මුල්කරගෙන මිනිස් සමාජයේ සිදුකරන තවත් එක් පාපක්‍රියාවක් වෙත අවධානය යොමු කලේනම්,

බැනවැදීම…

ඉහත කාරණා තුන මෙන්ම අප සමාජය තුල නිරන්තරයෙන් සිදුවන සමහරක් පිරිසගේ ජීවිතය තුල එය සාමාන්‍ය කාරණයක් වී තිබෙන අංගයක් තමා “බැනවැදීම”. ඉස්ලාම් මෙම ක්‍රියාවද ඉතා බරපතල වරදක් ලෙස දකී. මේ පිලිබදව නබිතුමාණන් වරක් පැවසීමේ දී මෙලෙස පවසන ලදී.

“මුස්ලීම්වරයෙකුට බැනවැදීම පාපයකි. ඔහුව ඝාතනය කිරීම (ඉස්ලාම්) ප්‍රතික්ෂේප කිරීමකි.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

අද පුද්ගලයන් අතරත්, පවුල් ජීවිතවලත්, සමාජය තුලත් බොහෝ ගැටළු නිර්මාණය වීමට මූලික හේතුව මුසාව, කේලම, උපකාර කියාපෑම, හා බැනවැදීම යනාදියයි. මේ නිසාම තමා අපට සමාජය තුල “උගේ කට හොද නැහැ”, “අරුගේ කට තමයි ඔක්කෝටම මුල”, “කට වහගෙන හිටියානම් ඉවරයිනේ” යනාදී වදන් නිතර ඇසෙන්නේ. ඉහත කරුණවලට අනුව මනුෂ්‍යාගේ “දිව” ඔහුගේ ලෞකික හා ලෝකොත්තර විමුක්තිය සදහා කොතරම් තීරණාත්මක සාධකයක් වී තිබෙනවාද? යන්න පැහැදිලිය. හඳේ ඇති වන හොද හෝ නරක සිතුවිලි කිසිදු පාලනයකින් තොරව කටින් කියාපෑම තුල පුද්ගලයෙකු ලෙසත්, පවුලක් ලෙසත්, සමාජයක් ලෙසත්, රටක් ලෙසත්, මුහුණූ පෑ අවාසනාවන්ත ඉරණමයන් ඉතිහාසය පුරාවට මිනිස් සමාජයට කියාපාන සත්‍යයකි. මිනිස් හදවත් තුල අවේගකාරී, ඊර්ෂ්‍යාකාරී හා අනවබෝධයෙන් යුත් සිතුවිලි ඇතිවීම ස්වභාවිකය. මේ නිසා තමා ඉස්ලාම් මිනිස් සමාජයට දේශනා කලේ “කිසියම් පුද්ගලයකු තුල වැරදි සිතුවිල්ලක් ඇති වී එය ඔහු ක්‍රියාවට නොනංවා මැඩපැවැත් වුයේ නම් එහි දී එම වැරදි සිතුවිල්ල සදහා ඔහුට අකුසලක් අත් නොවේ. එම වැරදි සිතුවිල්ල අකුසල බවට පත්වන්නේ එය ඔහු ප්‍රකාශ කිරීම හෝ ක්‍රියාවට නැංවීම තුල පමණි” යනුවෙන්. මේ අනුව සැබෑ මුස්ලීම්වරයෙකු තුල “දිව” මුල්කරගෙන සිදුවන ඉහත ආකාරයේ වූ දුර්වලතාවයන් පැවතීමට නොහැකි බව පැහැදිලිය. මෙය නබිතුමාණන් ඉතා අලංකාර ලෙස මිනිස් සමාජයට මෙසේ දේශනා කරන ලදී.

“කෙනෙකු නබිතුමාණන් හමුවට පැමිණ ‘මුස්ලීම්වරුන් අතුරින් ශ්‍රේෂ්ඨතම කෙනා කවුරුන්ද?’ යනුවෙන් විමසන ලදී. එවිට නබිතුමාණන් ‘කවරෙකුගේ දිවෙන් හා දැතීන් තවත් අන් පිරිස ආරක්ෂාව ලබන්නේද? ඔහු තමා’ යනුවෙන් පවසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

“කෙනෙකු නබිතුමාණන් හමුවට පැමිණ ‘මුස්ලීම්වරුන් අතුරින් ශ්‍රේෂ්ඨතම කෙනා කවුරුන්ද?’ යනුවෙන් විමසන ලදී. එවිට නබිතුමාණන් ‘කවරෙකුගේ දිවෙන් හා දැතීන් තවත් අන් පිරිස ආරක්ෂාව ලබන්නේද? ඔහු තමා’ යනුවෙන් පවසන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී

ඉහත හදීසයට අනුව මුස්ලීම්වරයෙකුගේ ශ්‍රේෂ්ඨත්වයට ප්‍රධාන සාධකයක් ලෙස “දිව” බව නබිතුමාණන් සදහන් කර ඇත. එසේනම් ඉස්ලාමීය ආදර්ශය තුල පාඩම් උගත් මුස්ලීම් සමාජය තුල මෙම දුර්වලතාවය තවදුරටත් පැවතිය හැකිද?. මේ ලිපිය ආරම්භයේ මා පැවසුවා සේ මුස්ලීම්වරුන් අතරින් සමහරක් පිරිස් ඉස්ලාම් දහම තුලින් ආදර්ශ ලබනවා වෙනුවට ජාති වියරුවෙන් හා ආගම් වියරුවෙන් පෙලෙන පිරසට එකට එක කිරීමට යාමේ භයානක ප්‍රවණතාවයක් වර්ථමානයේ නිර්මාණය වීම දක්නට ඇත. ඉස්ලාම් දහමට හා මුස්ලිම් සමාජයට එරෙහිව කුමණ ආකාරයේ කුමන්ත්‍රණ සැලසුම් ක්‍රියාත්මක වුවත් ඉස්ලාමීය වලල්ලෙන් පිටතට ගොස් ඔවුනට පිලිතුරුදීමට මුස්ලීම් සමාජයට ඉස්ලාම් දහම තුල කිසිදු අවසරයක් නැත. මා නිතර පවසන කාරණයක් මෙතැනදීත් සදහන් කරන්නට කැමැත්තෙමි. ඒ ඉස්ලාමීය ඉතිහාසය පුරාවට දැකපු සත්‍යයක් තමා ඉස්ලාම් දහමේ පිබිදීමන් සිදුවී ඇත්තේ මුස්ලීම් සමාජය තීරණාත්මක අවස්ථාවන්ට පත්වූ අවස්ථාවලය. බැලූ බැල්මට පරාජයක් පසුබෑමක් ලෙස පෙනෙනු ඇත. නමුත් කලබල වියයුතු නොවේ. අප කලයුතුව ඇත්තේ ඉස්ලාම් පෙන්වාදෙන ආකාරයට ජීවත් වීම පමණි. ඒ සදහා දිව්‍යමය ආදර්ශය වන ඉස්ලාමීය ආදර්ශය මුස්ලීම්වරුන් වන අපට හොදටම ප්‍රමාණවත්ය. යන්න අවසාන වශයෙන් නැවතත් සටහන් කරමින් මෙම ලිපිය අවසන් කරමි

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *