ෆිත්රා තුලින් ඉස්ලාම් කියාපාන අසමසම ආදර්ශය

2

ඉස්ලාම් මනුෂ්‍ය වර්ගයාගේ යහපත හා පැවැත්ම උදෙසා බොහෝ නිති රීති පනවා ඇති ආකාරය මෙම යහමඟ පුරාවට විවිධ මාතෘකාවන් ඔස්සේ කරුණු ගෙනහර දක්වා ඇත. අද දින ද මනුෂ්‍ය ක්‍රියාවන් මත පදනම් වූ කාරණයක් පිලිබදව මෙහිදී අවධානය යොමු කිරීමට අදහස් කරමි. ඉස්ලාමීය ඉගෙන්වීම අනුව මුස්ලීම්වරයෙකු කරන සෑම ක්‍රියාවක් ම ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒ ‘කුසල්’ හා ‘අකුසල්’ යනුවෙනි. එහි කුසල ක්‍රියාවන් වෙනුවෙන් ස්වර්ගය පිලිබදව සුභාරංචි පවසන ඉස්ලාම් අකුසල සදහා අපාය (නිරය) පිලිබදව අනතුරු අවවාද අඟවයි. මෙලෙස පැති දෙකක් පැහැදිලිව සදහන් කරන ඉස්ලාම් මේ දෙකට මැදි අවස්ථාවක් පිලිබදව ද කථා කරයි. ඒ දෛනික දිවිය තුල මනුෂ්‍යයන් වශයෙන් සිදුවන අතපසුවීම්, නොසැලකිල්ල, අනවබෝධය… යනාදී දුර්වලතාවයන් පිලිබදවයි. මෙහිදී එවැනි දුර්වලාතාවයන් හේතු කොටගෙන සිදුවන වරද සදහා ඉස්ලාම් එය නොසලකා හැරීමක් හෝ සෘජුවම දඬුවම් කිරිමකට පෙළඹෙන්නේ නැත.

මෙවැනි අවස්ථාවන් සදහා මිනිස් වර්ගයා උදෙසා සහනදායි පිලියම් ඉස්ලාම් යෝජනා කරන්නේ මෙය ‘දිව්‍යයම දහමක්’ යන්න පමණක් නොව ‘ලොව අසමසම දහමක්’ යන්න ද බුද්ධිමත් ජනයාට කියාපාමිණි. අද දින මෙලෙස ඔබගේ අවධානයට යොමු කරන්නේ උපවාස සමයට ආවේනික එවන් සහනයක් මෙන්ම මුස්ලීම් සමාජය කෙරෙහි වූ යුතුකමක් ඉස්ලාම් යෝජනා කරන ආකාරයයි. ලොව පුරා පවතින ආගම් මනුෂ්‍යාගේ ඉහත දුර්වලතාවයන් අවස්ථාවක් කරගෙන ඒ වෙනුවෙන් විවිධ දෙවියන්ට පුදපූජා පැවැත් වියයුතු බවටත්, දෙවියන් සදහා තුටුපඩුරු දියයුතු බවටත් විවිධ ප්‍රචාරයන් සිදුකරමින් ජනතා අපේක්ෂාවන් ඉටුකර දෙන බව පොරොන්දු දෙන දේව තැරව්කරුවන් සිටින වකවානුවක ඉස්ලාම් කොතරම් සැලසුම් සහගත ලෙස මනුෂ්‍යත්වය අගයමින් මිනිස් සමාජය උදෙසා දහම දේශනා කරනවාද? යන්න විවෘත මනසින් ඔබ බැලිය යුතුය. විශේෂයෙන් අද ඉස්ලාමීය දණ්ඩ නීති පිලිබදව පටු අරමුණුවල හිද කථා කරමින් එය විවේචනය කරන පිරිස් ඉස්ලාම් ලෝකයා වෙත යෝජනා කරන පහත ආදර්ශයන් පිලිබදව ද බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතුය. එවන් වූ පටු විවේචකයන් මෙන්ම මනුෂ්‍යාගේ අසරණකම අවස්ථාවක් කරගන්නා ඉහත සදහන් ආකාරයේ දේව තැරව්කරුවන් සිටින සමාජයක් හමුවේ ඉස්ලාමීය ආදර්ශයක් මොහොතක් විමසා බැලීම කාලීනය.

ඉස්ලාමීය ඉගෙන්වීම අනුව මනුෂ්‍යයා යන්න දුර්වල මැවීමකි. ඔහු තුල අතපසුවීම්, අමතකවීම්, නොසැලකිල්ල, අශාව, හැඟීම්වලට වහල්වීම… යනාදීය දුර්වලතාවයන් නොඅඩුව දක්නට ඇත. මෙවැනි දුර්වලතාවයන් හොදින් හදුනාගත් අල්ලාහ් (දෙවියන්) ඒ වරදට දඬුවම් ලෙස යෝජනා කරන ක්‍රමවේදය බුද්ධිමත් විමසුමකට බදුන් කලයුතුම අංගයකි. තම අනුගාමිකයන් අතින් සිදුවන වැරදි හා දුර්වලතාවයන් සදහා ඉස්ලාම් යෝජනා කරන විකල්ප කිහිපයක් දැන් විමසා බලමු.

  • ඉස්ලම් දහම ‘භාරයන්’ (භාරහාර)’ කිරීම සත්ක්‍රියාවක් ලෙස නොසලකයි. (ඒ සදහා ඉස්ලාම් දහම තුල තහනමක් ද නැත) නමුත් එවන් වූ භාරයක් පොරොන්දු වුයේ නම් එය ඉටුකිරීම අනිවාර්ය තත්වයට පත්වේ. දෙවියන් හමුවේ කරන එම භාරය කිසිවකු ඉටු නොකලේනම් එය වරදක් ලෙස ඉස්ලාම් දකී. මෙසේ එය වරදක් ලෙස දකින ඉස්ලාම් එම වරදට පිලියම් ලෙස ශුද්ධ වූ කුර්ආනයේ 5-89 මඟින් පිලියම් යෝජනා කිරීමේ දී මෙලෙස පවසයි.

…එයට පිලියමක් ලෙස දිළින්දන් දස දෙනෙකු සදහා ආහාර ලබාදෙන්න. නොඑසේ නම් ඇදුම් පැලදුම් ලබාදෙන්න. එසේත් නැත්නම් එක් වහල්ලෙකු (මිලදී ගෙන) නිදහස් කරන්න…

  • ඉස්ලාමීය යුතුකම් අතුරින් ප්‍රධාන යුතුකමක් වන “හජ්” වන්දනය (මක්කාවට ගොස් ඉටුකරන වන්දනය) දී එහි කිසියම් අඩුපාඩුවක් සිදුවූයේ නම් ඒ සදහා ඉස්ලාම් පිලියම් යෝජනා කිරීමේ දී දිළිදු ජනයාට දානධර්ම දෙන ලෙස ශුද්ධ වූ කුර්ආනය 2-196 පවසයි.
  • අතීතයේ සමාජයේ පැවතී ක්‍රමයක් නම් බිරිද සමඟ කෝප වූ විට ඇය දෙස බලා “ඔබ මගේ අම්මා” යයි පැවසීම. මෙය ඉස්ලාම් දැඩිව හෙලාදකින අංගයකි. මේ පිලිබදව ශුද්ධ වූ කුර්ආනයේ 58-3,4 හි අල්ලාහ් දෙවියන් පැවසීමේ දී එම වරදට පිලියම් ලෙස පහත ආකාරයට යෝජනා කරයි. එනම්,

“…(නුඹලා නැවත අඹුසැමින් ලෙස එක්වීමට පෙර) එක් වහල්ලෙක් නිදහස් කලයුතුය. එලෙස ක්‍රියා කිරීමට නොහැකි නම් මාස 02ක් අඛණ්ඩව උපවාසයේ නිරත වියයුතුයි. එයට ද ශක්තිසම්පන්න නොවේ නම් දිළින්දන් 60 දෙනෙකු හට ආහාර සැපයීය යුතුය…”

  • මීට අමතරව උපවාස සමයේ ස්වාමියා හා බිරිද ලිංගිකව එක්වුයේ නම් ඒයට පිලියමක් ලෙස දිළින්දන් 60 දෙනෙකුට ආහාර සැපයීය යුතු බවත්
  • වයෝවෘධිය නිසා උපවාසයේ නිරත විය නොහැකි පිරිස් එක් උපවාසයක් සදහා එක් දුගියෙකුට ලෙස ආහාර සැපයීම සිදුකලයුතු බවත්
  • උපවාසය පුරාවට එම උපවාසයේ තුල සිදුවන යම් යම් අඩුපාඩු සදහා සෑම මුස්ලීම්වරයෙකුම අනිවාර්‍යෙයන් දිළිදු ජනයා සදහා පරිත්‍යාගයන් සිදුකලයුතු බවටත් (මේ පිලිබදව පහතින් දීර්ඝ ලෙස සාකච්චා කෙරේ) පවසයි.
  • කිසිවකු විසින් පොරොන්දුවක් කඩ කලද ශුද්ධ වූ කුර්ආනයේ 5-89 සදහන් ආකාරයට ක්‍රියා කිරීම අනිවාර්‍ය වේ.

මේ ආකාරයට මනුෂ්‍යත්වය පෙරදැරි කරගෙන ඉස්ලාම් පවසන බොහෝ නීතිරීති තිබුණ ද ඒ පිලිබදව මුස්ලීම් සමාජයට පවා ඇත්තේ අවම වූ දැනුමකි. මේ ආකාරයට ඉස්ලාම් පනවන නියෝගයන් අතර මේ උපවාස සමයට අවේනික සෑම මුස්ලීම්වරයෙකු විසින් ඉදිරි දින කිහිපය තුල අනිවර්යයෙන් ඉටු කලයුතු වගකීමක් මෙන්ම ඉස්ලාම් මිනිස් සමාජයට පෙන්වාදෙන අසමසම ආදර්ශයක් පිලිබදව මෙහිදී ඔබගේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. ඒ මුස්ලීම්වරුන් “ෆිත්රා” ලෙස හදුන්වන ක්‍රියාදාමයක් පිලිබදවයි. මෙම “ෆිත්රා” ව සදහා කොතරම් සුවිශේෂත්වයක් ඉස්ලාම් ලබාදී තිබෙනවාද? යන්න පවසනවා නම් මාසයක් පුරාවට මුස්ලිම් ජනයා උපවාසයේ නිරතව ඉන් අනතුරුව සමරණ උත්සවය පවා ඉස්ලාම් නම් කරන්නේ “ඊදුල්ෆිතුර්” එනම් “පරිත්‍යාගයේ උත්සවය” ලෙසයි. එම “ෆිත්රා” පිලිබදව විමසුමක් සිදුකිරීමට මත්තෙන් ඒ සදහා පිවිසුමක් ලෙස ශුද්ධ වූ නබිවදන් (හදීසයන්) දෙකක් ඔබගේ අවධානයට මෙලෙස ඉදිරිපත් කරමි. එනම්,

“දිළිදු ජනයාට ආහාරයක් ලෙසත්, උපවාසය සමයේ එම උපවාසයේ නිරත වන්නා සිදුකල කුඩා පාපයන් හා අතපසු කිරීමන් සදහා පිලියමක් ලෙසත් නබිතුමාණන් උපවාස පරිත්‍යාගය (ෆිත්රා) අනිවාර්‍ය කරන ලදී.”

මූලාශ්‍ර ග්‍රන්ථය – අබූදාවූද්, ඉබුනු මාජා

“නබිතුමාණන් ‘කැදවන්නන්’ (පණිවුඩ ජනයාට ප්‍රකාශ කරන්නන්) සියල්ල මක්කාවෙහි වීදිවලට පිටත් කොට යවා ‘දැනගන්න!, නියත වශයෙන්ම ‘සදකතුල්ෆිත්රු’ එක් එක් මූස්ලීම්වරයෙකු කෙරෙහිම අනිවාර්ය වේ’ යන වාක්‍යය පවසන ලෙස අණ කරන ලදි.”

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි

උපවාස සමය (රමලාන් මාසය) අවසන්වීමත් සමඟ සෑම මුස්ලීම්වරයෙකු විසින්ම “ෆිත්රා” නම් වූ පරිත්‍යාගයක් ඉටුකිරීම පිලිබදව ඉස්ලාම් අණ කරයි. මෙය සෑම මුස්ලීම්වරයෙකු විසින්ම අනිවාර්යයෙන් ඉටුකලයුතු පරිත්‍යාගයකි. එය ඉහත හදීසයන් හෙවත් නබිවදන් මඟින් ද ඔබට පැහැදිලි වනු ඇත. මෙය ඉස්ලාම් කොතෙක් දුරකට අවධාරනය කරනවාද? යන්න විමසා බැලුවේ නම්, ඉස්ලාම් දහම මුස්ලීම් සමාජයට අවධාරනය කරන “සකාත්” (නම් ධනවතුන් විසින් දිලින්දන් සදහා බෙදාදියයුතු අනිවාර්‍ය බද්ධ) සදහා යොදාගන්නා “සකාත්” නම් වූ වදන මෙම “ෆිත්රා”ව සමඟ සම්බන්ධ කොට “සකාතුල් ෆිත්රු” යයි පැවසීම තුල එහි ඇති වැදගත්කම මනාව පැහැදිලි වේ. ඒ පිලිබදව නබිතුමාණන් පැවසූ හදීසය ඔබගේ අවධානයට යොමු කරන්නේ නම්,

කවරෙකු විසින් උත්සව දිනයේ ඉටුකරන “ඊදුල් ෆිත්රු” (නම් වූ මෙය උපවාස මාසය අවසන් වී උදාවන ඊලඟ දිනයේ ඉර උදාවත් සමඟ ඉටුකරන) වන්දනයට පෙර තම පරිත්‍යාගය ඉටුකරන්නේ ද එය අල්ලාහ් (දෙවියන්) විසින් “සදකා”වක් ලෙස පිලිගැනෙනු ඇත. ඔහු “ඊදුල් ෆිත්තුර්” වන්දනයට පසු එය පිලිගන්වන්නේ නම් එය “සදකා”වක් (සාමාන්‍ය පරිත්‍යාගයක්) ලෙස සලකනු ඇත.

මූලාශ්‍ර ග්‍රන්ථය – අබූදාවූද්, ඉබුනුමාජා, දාරකුද්නි

ඉහත නබිවදන් (හදීසයන්) දෙක හොදින් විමසා බැලුවේ නම් මෙම “ෆිත්රා” බෙදාදීමෙහි අවශ්‍යතාවය හා එහි අරමුණ මනාව පැහැදිලි වේ. විශේෂයෙන් එය ඉටුකිරීමට සදහා කාල වේලාවන් පවා ඉස්ලාම් නිර්ණය කිරීම තුල එහි අරමුණ, අවශ්‍යතාවය හා ඉලක්කය වඩාත් හොදින් පැහැදිලි වේ. මාසයක් පුරාවට දුප්පත් පොහොසත් භේදයකින් තොරව කුසට ආහාර පාන නොමැතිව උපවාස සමය ගෙවා දමා ඉන් අනතුරුව උදාවන උත්සව (ඊදුල්ෆිතුර්) දිනයේ ලෝව සෑම මුස්ලීම්වරයෙකුම එකාමෙන් ආහාර පාන භුත්කි විද සතුටින් එම දිනය ගෙවාදැමීම පිණිස ඉස්ලාම් මෙවැනි ආදර්ශමත් නීතියක් පනවයි. එය මෙම උත්සව දිනයේ උපවාසයේ නිරතවීම “හරාම්” (පාපයක්) යයි පැවසීම තුලද මනාව පැහැදිලි වේ. මේ ආකාරයට අපගේ උපවාසයන් හි ඇති වූ අඩුපාඩුකම් මඟහරවා ගැනීම පිණිස ඉස්ලාම් යෝජනා කරන මෙම “ෆිත්රා” සම්බන්ධයෙන් මුස්ලීම් සමාජය දැන ගතයුතු මූලික කරුණු කිහිපයක් ඇත. ඒ පිලිබදව එකින් එක විමසා බැලීම මෙම ලිපියෙහි මූලික අරමුණයි. එනම්,

“ෆිත්රා” අනිවාර්‍ය වන්නේ කාටද?

ඉස්ලාම් කිසියම් නීති නියෝගයක් මිනිස් සමාජයට යෝජනා කිරීමේදී එය සමස්ථ මුස්ලිම් සමාජයට යයි යෝජනා කරන්නේ නැත. සෑම විටම එම නීති නියෝග ක්‍රියාවට නැංවීම සදහා තිබිය යුතු අවම සුදුසුකම් ද යෝජනා කරයි. උදාහරණ කිහිපයක් පවසනවා නම්,

  • ඉස්ලාම් “උපවාසය” මුස්ලීම් සමාජයට අනිවාර්‍ය කලත් ඒ තුල දරුවන්, රෝගින්, දුර්වලයන්… යනාදී වශයෙන් එම පිරිසට සහනයක් යෝජනා කරයි.
  • ඉස්ලාම් “සකාත්” නම් බද්ධ මුස්ලීම් සමාජයට අනිවාර්‍ය කලත් ඒ සදහා තිබිය යුතු අවම සුදුසුකම් සංඛ්‍යාත්මක ලෙස විග්‍රහ කරයි.
  • ඉස්ලාම් “සලාතය” මුස්ලීම් සමාජයට අනිවාර්‍ය කලත් ඒ තුල ද වයස් සීමාව මෙන්ම ඔහුගේ තත්වය (ගමනකද, ගමතුලද, ගමෙන් පිටද සිටින්නේ යානාදී කරුණු) තම විවිධ සහනයන් යෝජනා කරයි.
  • ඉස්ලාම් “හජ්” වන්දනය මුස්ලීම් සමාජයට අනිවාර්‍ය කලත් ඒ තුල ද වයස් සීමාව හා වත්කම පිලිබදව අවම සුදුසුකම පැහැදිලි විග්‍රහයක් ලබාදෙයි.

මේ ආකාරයට මනුෂ්‍යා අපහසුතාවයන්ට ලක්නොවන පරිදි එසේම ඔහුගේ මූලික අයිතීන් සුරකින පරිදි ඉස්ලාමීය නීති සම්පාදනය වී ඇත. ඒ අනුව ඉස්ලාම් යෝජනා කරන “ෆිත්රා” සදහා ද විවිධ නීතිරීති පනවා ඇත. ඒ අනුව මෙම “ෆිත්රා” බෙදාදීමේ වගකීම පැවරෙන්නේ කාටද? යන කාරණය මෙහිදී විමසා බැලුවේ නම්, එය පහත හදීසය මෙලෙස විග්‍රහ කරයි. එනම්,

“(වහල්ලන් නොවූ) නිදහස් මුස්ලීම්වරුන්, වහල්ලන්, පිරිමි, කාන්තා, දරුවන්, මහල්ලන් යනාදී සියලුදෙනා කෙරෙහි මෙම මෙහෙවර ඉටුකිරීම අනිවාර්ය වේ”යනුවෙන් නබිතුමාණන් පවසන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, මුස්ලීම්

ඉහත හදීසයට අනුව සමාජය කිසිදු උස් පහත් භේදයකින් තොරව සියළුදෙනාටම මෙම වගකීම පැවරෙන බව පැහැදිලි වේ. මෙලෙස සමස්ථ සමාජයට මෙම වගකීම පැවරුණ ද එම යුතුකම ඉටුකිරීම සදහා සැපිරිය යුතු අවම කොන්දේසි කිහිපයක් ද ඇත. ඒ පිලිබදව සදහන් කරන්නේ නම්, මෙම “ෆිත්රා” පරිත්‍යාග වගකීම පැවරෙන්නේ -උදාවන “ඊදුල්ෆිත්රු” (අවුරුදු උත්සව) දිනයේ තම පවුලේ අවශ්‍යතාවයන් සදහා වැය කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා යමක් ඔහු සතුව තිබුණේ නම් පමණයි- එම අවම අවශ්‍යතාවය ඔහු නොසපුරන්නේ නම් මෙම “ෆිත්රා” පරිත්‍යාග ලබන්න සුදුස්සෙක් බවට ඔහු පත්වේ. මෙම “ෆිත්රා” නම් පරිත්‍යාගය ණය වී එසේත් නැත්නම් තමන් සතු සියළු ධනය යොදවා ඉටුකිරීමට ඉස්ලාම් අණ කරන්නේ නැත. මෙම කුසල ක්‍රියාව පමණක් නොව කිසිදු ආකාරයක කුසල ක්‍රියාවක් ඉස්ලාම් එලෙස අණ කරන්නේ නැත. කිසිවකු එලෙස සීමාව ඉක්මවා ක්‍රියා කරන්නේ නම් එය කුසලට වඩා අකුසල ගෙනදෙනු ඇතැයි යන්න ඉස්ලාමීය මූලික ඉගෙන්වීම යන්න ද තරයේ මතකයේ රදවා ගතයුතුය. මෙහි දී සදහන් කලයුතු තවත් වැදගත් කාරණයක් ඇත. එනම් එක් පවුල් ඒකකයක් සැලකූවිට එහි සිටින කුඩා, ලොකු, මහළු, ගැහැණු, පිරිමි… යනාදී සියළු දෙනා සදහාම මෙම “ෆිත්රා” ඉටුකිරීම අනිවාර්‍ය වුවද එහි වගකීම පැවරෙන්නේ ගෘහමූලිකයාටය. ඒ අනුව තම භාරයේ සිටින සියළු දෙනා වෙනුවෙන් ඔහු විසින් එම යුතුකම ඉටු කලයුතු වේ.

කොතරම් ප්‍රමාණයන් බෙදා දියයුතුද?

මා ඉහතින් සදහන් කලාසේම “ෆිත්රා” සම්බන්ධයෙන් ද “එය කොතරම් ප්‍රමාණයක් බෙදා දියයුතුද” යන්න පැහැදිලි විග්‍රහයක් සිදුකරයි. මේ පිලිබදව මුහම්මද් (සල්) තුමාණන් පැවසීමේ දී,

“… (ඊදුල්ෆිතුර්) උත්සව දිනය නිමිත්තෙන් සිදුකර ‘ෆිත්රා’ සදහා තිරිඟු ‘සාවූ’ එකක් හෝ රටඉදි ‘සාවූ’ එකක් බෙදාදෙන්න…”

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, මුස්ලීම්

ඉහත හදිසයට අනුව තිරිඟු හෝ රටඉදි “සාවූ” එකක් බෙදාදීම අවශ්‍ය බව පැහැදිලි වේ. මෙතැනදී පැහැදිලි කර ගතයුතු කාරණා දෙකක් ඇත. එහි දෙවන කාරණය වෙත ප්‍රථමයෙන් අවධානය යොමු කලේනම්, එනම් ඉහතින් “ෆිත්රා” ලෙස බෙදා දියයුතු ප්‍රමාණය සදහන් කිරීමේ දී එහි “සාවූ” නම් ඒකකයක් පිලිබදව සදහන් වේ. මේ “සාවූ” යනු කුමක්ද ? යන්න විමසා බැලුවේ නම්, එදා (මීට වසර 1400 පෙර පරවතී) ඉස්ලාමීය ආරම්භ සමාජයේ අද මෙන් කිරුම් මිනුම් ඒකක පැවතියේ නැත. ඒ අනුව එම සමාජයේ කිරුම් කටයුතු සිදුකරන ලද්දේ “සාවූ” නම් ඒකකයක් පදනම් කරගෙනය. අද සමාජයට එය පැහැදිලි කරන්නේ නම් හොදින් වර්ධනය වූ පුද්ගලයෙකුගේ අත් දෙකින් කිසියම් ද්‍රව්‍යයක් ඇල්ලූවිට එම දොතට අසු වන ප්‍රමාණය මෙන් 04 ගුණයකි. මෙය නිශ්චිත බරක් ප්‍රකාශ කිරීමට නොහැක. මන්ද “සාවූ” නම් ඒකකය බර නොව පරිමාවක් පදනම් කරගත් එකකයක් වන නිසාය. තවත් සරලව පවසනවා නම් රටඉදි “සාවූ” එකක්, තිරිඟු “සාවූ” එකක් හා අප රටේ ප්‍රධාන ආහාරය වන සහල් “සාවූ” එකක් සැලකූවිට මේ තුන් වර්ගයම පරිමාවෙන් එකක් වුවද බර අනුව වෙනස් වේ. මෙය සැලකිල්ලට ලොවපුරා සිටින ආගමික විද්වතුන් ඒ ඒ රටේ ප්‍රධාන ආහාර වර්ගයට කිසියම් බරක් නිර්ණය කොට ඇත. එය අප රටේ සහල්වලින් සැලකූවිට සහල් කිලෝග්රෑම් 2.4 ආසන්න වශයෙන් එය 2.5kg යනුවෙන් නිර්ණය කොට ඇත. මෙය වඩාත් නිවරැදි ගණනය කිරීමක් නොවන අතර නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් පරිත්‍යාගයන් සිදුකිරීම යහපත් අංගයක් ලෙස සලකා මෙලෙස ක්‍රියා කිරීමෙහි වරක් නොමැති බව සදහන් කලහැක. (හොදින් දන්නේ අල්ලාහ් පමණි)

කුමක් බෙදාදිය යුතුද?

ඉහත හදීසය එනම් “… (ඊදුල්ෆිතුර්) උත්සව දිනය නිමිත්තෙන් සිදුකර “ෆිත්රා” සදහා තිරිඟු “සාවූ” එකක් හෝ රටඉදි “සාවූ” එකක් බෙදාදෙන්න…” අවධාරනය කරන කාරණය එනම් “ෆිත්රා” සදහා තිරිඟු හෝ රටඉදි බෙදාදීම පිලිබදව පැවසෙන හදීසය පදනම් කරගෙන සමහරක් විද්වතුන් අතර කිසියම් මතවාදයක් ඇත. එනම් “එදා ප්‍රධාන ධාන්‍යය තිරිඟු නිසා එය බෙදා දුන්නා සේ අප රටේ ප්‍රධාන ආහාරය සහල් නිසා සහල් පමණයි දියයුත්තේ” යන්නයි. මේ සම්බන්ධ එන සියළු හදීසයන් තුල තිරිඟු සහා රටඉදි පමණක් සදහන් වන නිසා මෙවැනි වාදයකට ඉඩ නැතුවා නොවේ. නමුත් මෙම “ෆිත්රා” හි අරමුණ පිලිබදව සදහන් හදීසයන් හොදින් විශ්ලේෂණය කරණ විට මෙම වාදය පදනම් විරහිත එකක් බවට පත්වේ. අනික් කාරණය නම් තිරිඟු පදනම් කරගෙන ධාන්‍ය පමණක් ලබාදීම සිදු කලයුතු බව පවසන පිරිසට එහි සදහන් “රටඉදි” අතපසු වීම ද පුදුමයට කාරණයකි. මෙහි තිරිඟුවලට අමතරව රටඉදි ද සදහන් වීම තුල “ධාන්‍ය” පමණක් යන වාදය ප්‍රතික්ෂේප වන බව ප්‍රථමයෙන් අවබෝධ කරගත යුතුය.

අනික් කාරණය නම් එදා අරාබි සමාජයේ ප්‍රධාන ආහාරය රටඉදි හා තිරිඟු නිසා එය පදනම් කරගෙන එම සමාජයට එම ආහාර වර්ග “ෆිත්රා” ලෙස බෙදාදීමට ඉස්ලාම් අණ කරන ලදී. මේ තුලින් ද පැහැදිලි වන්නේ ඒ ඒ රටට ආවේනික ආහාර වර්ගවලින් මෙම “ෆිත්රා” බෙදාදීම සිදුකලයුතු යන්නයි. අනික් කාරණය නම් නබිතුමාණන් පවසන ආකාරයට එනම්, “එම දිළින්දන් ‘ඊදුල්ෆිත්ර්’ (නම් උත්සව) දිනයේ නිවසින් නිවසට ගොස් සිඟමන් යැදීමේ අවශ්‍යතාවයෙන් ඔබ ඔවුන් මුදවා ගන්න” යන්න නිසි අයුරින් ඉටුවීමට නම් අප රටේ සහල් පමණක් බෙදාදීම ප්‍රමාණවත් නොවේ. මන්ද අප රටේ ප්‍රධාන ආහාරය බත් වුවද හොද ආහාර වේලක් සකසා ගැනීමේ දී සහල්වලට වඩා වැඩි වියදමක් දරන්නට සිදුවන්නේ එහි අනිකුත් දෑ සදහාය. ඒ අනුව සම්පූර්ණ ආහාර වේලකට අවශ්‍ය සියල්ල පරිපූර්ණව ලබාදීම තමා නිවරැදි ක්‍රමවෙදය වන්නේ. එලෙස ක්‍රියාකලේ නම් පමණ මෙම “ෆිත්රා” ව තුලින් ඉස්ලාම් අපේක්ෂිත අරමුණ ද ඉටුවන්නේ.

මෙහිදී සදහන් කලයුතු තවත් කාරණයක් ඇත. එනම් අද සමාජයේ සමහරක් පිරිස් “ෆිත්රා” සදහා ද්‍රව්‍යයන් මිලදී ගැනීමේ දී තත්වයෙන් උසස් ඒවා මිලදී නොගෙන තමන් භාවිතා කරන තත්වයට වඩා පහත් තත්වයේ එනම් අවම මිලකට ඇති ද්‍රව්‍ය මිලදී ගෙන බෙදාහරී. මෙය සම්පූර්ණයෙන් වැරදි ක්‍රමවේදයකි. තමන්ගේ අවශ්‍යතාවයට මිලදී ගන්නා ආහාර ද්‍රව්‍යයෙන්ම ඔවුනටත් බෙදාදිය යුතු යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයි.

“ෆිත්රා” බෙදාහැරීම සිදුකලයුතු කාල පරාසය

මීලඟට අවධානයට ගතයුතු ප්‍රධාන කාරණය නම් “මෙම ෆිත්රාව බෙදාදීමේ කාලසීමා කුමක්ද?” යන්නයි. මෙය ඉතා වැදගත් කාරණයක් බව පහත හදීසයන් මඟින් ඔබට පැහැදිලි කරගත හැක. එනම්,

“කවරෙකු විසින් උත්සව දිනයේ ඉටුකරන ‘ඊදුල් ෆිත්රු’ (නම් වූ මෙය උපවාස මාසය අවසන් වී උදාවන ඊලඟ දිනයේ ඉර උදාවත් සමඟ ඉටුකරන) වන්දනයට පෙර තම පරිත්‍යාගය ඉටුකරන්නේ ද එය අල්ලාහ් (දෙවියන්) විසින් “සදකා”වක් ලෙස පිලිගැනෙනු ඇත. ඔහු ‘ඊදුල් ෆිත්ර්’ වන්දනයට පසු එය පිලිගන්වන්නේ නම් එය ‘සදකා’වක් (සාමාන්‍ය පරිත්‍යාගයක්) ලෙස සලකනු ඇත.

මූලාශ්‍ර ග්‍රන්ථය – අබූදාවූද්, ඉබුනුමාජා, දාරකුද්නි

ජනයා (අවුරුද් උත්සව වන්නදය වන) ” ඊදුල්ෆිත්රු” වන්දනයට පිටත්ව යාමට පෙර මෙම පරිත්‍යාගය ඉටුකොට අවසන් කලයුතු බවට නබිතුමාණන් අපට අණ කරන ලදී.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී, මුස්ලීම්, නසායි, අහමද්

“කවරෙකු ‘ඊදුල්ෆිත්රු’ වන්දනයට පෙර මෙම පරිත්‍යාගය ඉටුකරන්නේ ද එය තමා ‘ෆිත්රා’ වන්නේ. කවරෙකු ‘ඊදුල්ෆිත්රු’ වන්දනයට පසු එම පරිත්‍යාගයන් ඉටුකරන්නේ ද එය සමාන්‍ය දිනයන් හි සිදුකරන “සදකාව” (පරිත්‍යාගය)ක් පමණි.”

මූලාශ්‍ර ග්‍රන්ථය – අබූදාවූද්, ඉබුනු මාජා

ඉහත හදීසයන් හොදින් විමසා බැලුවේ නම් මෙම “ෆිත්රා”ව (ඊදුල්ෆිතුර්) උත්සව දින උදෑසන වන්දනයට පෙර ඉටුකොට අවසන් කලයුතු බව පැහැදිලි වේ. මෙහිදී සදහන් කලයුතු තවත් වැදගත් කාරණයක් ඇත. ඒ මෙම ෆිත්රාව බෙදාදීම සදහා උපරිම කාලය ඊදුල්ෆිත්රු සලාතය ඉටුකරන මොහොත වුවද, එය බෙදාදීම ඇරඹිය යුතු කාලය පිලිබදව ඉස්ලාම් නිෂ්චිත සීමාවක් පනවා නැත. එනමුත් නබිතුමාණන් මෙසේ පවසා ඇත. එනම්,

“රමලාන් (මාසයේ) අවසානයේ නුඹලාගේ උපවාස පරිත්‍යාගය (වන ෆිත්රාව) බෙදා දෙන්න.”

මූලාශ්‍ර ග්‍රන්ථය – අබූදාවූද්, නසායි

ඉහත හදීසය හා මෙම “ෆිත්රා” හි අරමුණ පිලිබදව සැලකිලීමත් වීමේදී උපවාස සමයේ අරමුණු කරගෙන මෙය බෙදාදීමට වඩා ඊදුල්ෆිතුර් දිනය ඉලක්ක කරගෙන බෙදාදීම ශ්‍රේෂඨ යයි හැඟේ. ලොවපුරා සිටින බොහෝ ආගමික විද්වතුන්ගේ නිගමනය ද එයම වේ.

බෙදා හැරීම සිදුකලයුත්තේ කෙසේද?

මෙම කාරණය ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජයට තරමක වැදගත් කාරණයක් වේ. මන්ද අප රටේ සමහරක් පිරිස් මෙම ෆිත්රාව බෙදාදීම සදහා ඉස්ලාම් පෙන්වා නොදුන් ආකාරයේ විවිධ උපක්‍රමයන් යොදාගන්නා බැවිණි. එවැනි එක් නිදසුනක් පවසනවා නම් සමහරක් ප්‍රදේශවල රමලාන් මාසයේ අගභාගයේ විශේෂයෙන් 27 වන උපවාසය සමඟ මුළු පවුල විසින්ම බෙදා දියයුතු ෆිත්රා ප්‍රමාණය සහල්වලින් වෙන් කරගෙන එම දිනයේ පටන් තම නිවසට සිඟමනේ එන පිරිසට සහල් පිරීසියක් ගානේ බෙදාදීම සිදුකරයි. මෙය ඉස්ලාම් පෙන්වා නොදෙන එසේම ඉස්ලාම් මෙම ෆිත්රාව තුලින් අපේක්ෂිත ඉලක්ක ඉටුනොවන වැරදි ක්‍රමවේදයකි. මා එසේ පැවසීමට ප්‍රධාන හේතුවක් ඇත. නබිතුමාණන් මෙම “ෆිත්රා” තුලින් අපේක්ෂිත ඉල්ක්ක පිලිබදව පැහැදිලි කිරීමේ දී මෙලෙස පවසන ලදී.

“එම දිළින්දන් ‘ඊදුල්ෆිත්ර්’ (නම් උත්සව) දිනයේ නිවසින් නිවසට ගොස් සිඟමන් යැදීමේ අවශ්‍යතාවයෙන් ඔබ ඔවුන් මුදවා ගන්න.”

මූලාශ්‍ර ග්‍රන්ථය – බයිහකී, දාරකුද්නි

ඉහත හදීසයට අනුව මෙම “ෆිත්රා” මඟින් ඉස්ලාම් අපේක්ෂිත ඉලක්කය මනාව පැහැදිලි වන අතර සමාජයේ ක්‍රියාත්මක වැරදි ක්‍රමවේදයන් ද එයින් පැහැදිලි වේ. මා ඉහතින් සදහන් කල ආකාරයට මේ “ෆිත්රාව” බෙදැහැරීමේ දී අනුගමනය කරන වැරදි ක්‍රමවේදයන් තුල මෙම ෆිත්රාව සදහා හිමිකම් ඇති නමුත් තමන්ගේ අඩුපාඩුව තවත් කෙනෙකුට ප්‍රකාශ කිරීමට ඇති ලැජ්ජාව නිසා මෙම අවස්ථාව අහිමිවන පිරිස් අප අවට ඕනෑ තරම් සිටිති. මෙවන් පිරිස් සොයා බලා ඔවුනට වැඩි අවස්ථාව ලබාදීම සියළුදෙනාගේ වගකීමකි. එය ඉස්ලාම් දහම ද දැඩිව අවධාරනය කරන අංගයකි. මෙවැනි අවස්ථාවන් මඟහරවා ගැනීම සදහා එක් එක් පවුල් ඒකකයන්ට අදාල “ෆිත්රා” එක් පොදු තැනකට එක්රුස් කොට විදිමත් ලෙස බෙදාහැරීම වඩාත් සාර්ථක ක්‍රමවේදයක් වේ.

කවුරුන් සදහා බෙදාදිය යුතුද?

ඉස්ලාම් සදකාවන් (හෙවත් පරිත්‍යාගයන්) පිලිබදව මුස්ලීම් සමාජයට පොදුවේ අණ කිරීමේ දී එහි ජාතිය, කුලය, ආගම යනාදී කරුණු පදනම් කරගෙන එය යෝජනා කරන්නේ නැත. නමුත් මෙම “ෆිත්රා” පිලිබදව ඉස්ලාම් කථා කිරීමේ දී එය මුස්ලීම්වරුන් සදහා පමණක් ක්‍රියාත්මක වියයුතු බවට අවධාරණය කරයි. එයට මූලික හේතුව මා සදහන් නොකලත් මෙතෙක් දුරට මෙම ලිපිය කියවූ ඔබට පැහැදිලි වනු ඇත. කෙසේ නමුත් ඉස්ලාම් මෙය මුස්ලිම්වරුන් සදහා පමණක් ඉටු කලයුතු ක්‍රියාවලියක් යන්න පැවසීම හි ඇති සාධාරණය කෙටියෙන් විමසා බලන්නේ නම්, සමස්ථ ලෝකවාසී මුස්ලීම් ජනයා සදහා පමණක් ආවේනික උත්සවයක් වන “ඊදුල්ෆිත්රු” දිනයේ දුප්පත් පොහොසත් යන සියළු පාර්ශවයන් මෙම දිනය සතුටින් ගෙවා දැමීමට නම් ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් වන ආහාර අවශ්‍යතාවය නිසි ලෙස සැපිරිය යුතුය. මේ පිලිබදව සැලකිලීමත් වන ඉස්ලාම් ඒ සදහා “ෆිත්රා” නම් ක්‍රමවේදයක් මුස්ලීම් සමාජයට පමණක් ආවේනික කොට යෝජනා කිරීම කිසිදු අසාධාරණයක් නොවන බව සාමාන්‍ය බුද්ධියක් පවා ඇති කෙනෙකුහට අවබෝධ කර ගැනීම අපහසු නොවනු ඇත.

ඉහත ආකාරයට “ෆිත්රා” නිසි ලෙස ඉටුකොට ඉස්ලාම් අපේක්ෂිත ඉලක්කය කරා සමස්ථ මුස්ලීම් සමාජය මෙහෙයවන්න සියළු දෙනා මේ උපවාසය තුලින් අධිශ්ඨාන කරගනිමු.

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 2 යි.

  1. Hazmath 2012-07-30 at 22:24

    Obage me karyya ithamath prashansaneeyai…..thawa thawath mewan islamaye harayan gana kiyapana mewan lipi pala kireemata obata shakthiya dhairyya ha allahu thalage ashirwadaya nomadawa labewa!

    • abuarshed 2012-08-01 at 00:39

      අල්හම්දුලිල්ලාහ් !, ඔබ වැනි පිරිස් ලබාදෙන ආශීර්වාදය මට ලොකු ශක්තියක්

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *