බුදුන් වහන්සේ මස් වැළඳුවේ ද?

5

(මෙය ‘යහමඟ‘ ට යොමු කර තිබූ පාඨක ලිපියකි )

බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බවට සුත්‍ර පිටකයේ හා විනය පිටකයේ නොයෙක් තැන්වල තොරතුරු සඳහන් වේ. එම අවස්තාවන් වශයෙන් අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රය, මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය, සුත්තනිපාතයේ ආමගන්ධ සුත්‍රය, මහාවගාපාලි භේසඡ්ඡඛන්ධකයේ සීහ සේනාපති කතා පුවත, පාරාජිකපාලි චීවරපටිග්ගහන ශික්ෂාපදය, දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්‍රයේ සඳහන් චුන්දකර්මාර පුත්‍රයාගේ සුකරමද්දව දානය ආදිය පෙන්වාදිය හැකිය. මෙම අවස්ථා බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බවට සාක්ෂි සපයයි.

මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රයේ සඳහන් කතා පුවත මෙසේය. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ජීවක වෛද්‍යවරයාගේ අඹ වනයෙහි වැඩ වසන සේක. එකල්හි ජීවක උපාසකතුමා (වෛද්‍යවරයා) බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීවේය. “ස්වාමීනි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ උදෙසා සතුන් මරණ බවත්, ඔබ වහන්සේ එම මස් දැන දැන වළඳන බවටත් මා විසින් අසන ලදී. “සුතං මේතං භන්තේ සමනං ගොතමං ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති

“ස්වාමීනි, ඒ ආකාරයට නොයෙක් දෙනා පවසන්නේ භාග්‍යවතුන් වහන්සේට අදාළ දෙයක්ද? නැතහොත් ඔවුන් ඔබ වහන්සේට කරුණු රහිතව අභුතයෙන් චෝදනාකරන්නෙහි ද? යනුවෙන් ජීවක උපාසකතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේය. එම ප්‍රශ්නයට බුදුරදුන් පිළිතුරු දුන්නේ මෙසේය. “ජීවකය, යමෙක් මෙසේ කියත් නම්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙනුවෙන් මිනිස්සු සත්තු මරති, ඒ කාරණය දැන දැන ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා පිළියෙළ කළ මස් වලන්දත් කියා කියත් නම් එම කරුණ පවසන ඔවුහු මා විසින් කියන ලද්දක් කියන අය නොවෙති. ඔවුහු ම හට අසත්‍යයෙන් අභුතයෙන් චෝදනා කරන අය වෙති” යනුවෙනි.

එසේ බුදුරදුන් ජීවක උපාසකතුමාට දේශනා කෙළේ තමන් වහන්සේ කරුණු තුනකින් පිරිසිදු වූ මාංශය අනුභව කරන බවයි. එසේ ම එය වැළඳීමට භික්ෂුන්ට අනුමැතිය ලබාදෙන බවයි. එම කාරණා තුන නම් ඉහතින් සඳහන් කළ තිකොටි පාරිශුද්ධ මාංශයයි. එනම්:

  1. අදිට්ඨං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නොදුටු
  2. අසුතං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නො ඇසු
  3. අපරිසඬ්කිත – තමා වෙනුවෙන් සතෙකු මැරූ බවට සැක නැති

මාංශයයි.

“ජීවකය, මම මෙම තුන් ආකාරයෙන් පිරිසිදු වූ මාංශය අනුභව කරමි. අනුභව කිරීමට අනුමැතිය ලබාදෙමි.” (මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය). එසේම සමාජයේ බුදුරජාණන් වහන්සේ උදෙසා සතුන් මරති, උන්වහන්සේ එම මස් දැන දැන වළඳත් යැයි බුදුරදුනට චෝදනාවක් ඇති වුයේ උන්වහන්සේ මස් වළඳන නිසා බවද මෙයින් පැහැදිලි වෙයි. මස් නොකන අයට සමාජයෙන් එවැනි චෝදනා එල්ල වන්නේ නැත.

මහාවග්ගපාළියේ භේසඡ්ඡඛන්ධකයේ ද බුදුරදුන් මස් වැළඳු බවට තොරතුරු සඳහන් වෙයි. සඳහන් ආකාරයට බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වාසය කරන කාලයක ලීච්ඡවීහු සන්ථාගාර (රැස්වීම්) ශාලාවෙහි රැස්වී බුදුරදුන්ගේ ගුණ කියත්, භික්ෂු සංඝයාගේ ගුණ කියත්, එම අවස්ථාවේ රැස්වීම් ශාලාවේ සිටි නිගණ්ඨ ශ්‍රාවකයෙකු වූ සිංහ නම් සේනාපතියෙක් බුදුරදුන් කෙරෙහි පැහැදී උන්වහන්සේ දැකීමට යාමට කැමතිවෙයි. ඒ බව නිගණ්ඨනාථ පුත්තයන් වෙත දැනුම දුන් විට ඔහු මෙසේ කීවේය. “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අකිරියවාදියෙකි. එයින් ම උන්වහන්සේ ශ්‍රාවකයන් හික්මවති. ඔබ කුමක් හෙයින් බුදුරදුන් හමුවීමට යන්නෙහිද?” නිගණ්ඨනාථ පුත්තයන් එසේ කීවිට සිංහ සේනාපතියන්ගේ බුදුරජාණන් වහන්සේ දැකීමේ අදහස නැතිවී ගියේය. එහෙත් දෙවන තුන්වන වර ද ලීච්ඡවීන් බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළ විට ඔහුට බුදුන් දැකීමේ අදහස යලිත් ඇතිවිය. එම අදහස නිගණ්ඨනාථ පුත්‍රයන්ට දැනුම් දුන් පසු ඔහු දෙවන තෙවන වර ද සිංහ සේනාපතියන් වළක්වනු ලැබීය. පසුව සිංහ සේනාපතියන් නිගණ්ඨනාථ පුත්‍රයන්ට නොදන්වා රථ පන්සියයක් සහිතව දහවල් කාලයේ බුදුරජාණන් වහන්සේ දැකීමට ගියේය. බුදුරදුන් හමුවූ සීහ සේනාපතියන් උපාසකයෙකු බවට පත්වීය.

ඔහු නිවසට ගොස් සේවකයෙකු අමතා වෙළඳ පොලට ගොස් මස් ගෙනෙන්නට නියම කළේය.

ගච්ඡ භණේ පවත්ත මංසං ජානාහී තී” (මහාවග්ගපාලි – 592 පිටුව)

පසුදා සීහ සේනාපතියා බුදුරදුන් ප්‍රමුඛ මහා භික්ෂු සංඝයා වහන්සේට මස් සහිත ප්‍රණීත භෝජනයෙන් සංග්‍රහ කෙළේය. සීහ සේනාපතියා උපාසකයෙකු බවට පත්වූ පුවත හා ඔහු බුදුරදුන්ට මස් සහිත දානයක් දුන් පුවත දැනගත් නිගණ්ඨයෝ විසාලා මහනුවර වීදිවල “අද සීහ සේනාපතියා තරබාරු සිවුපාවෙකු මරා ශ්‍රමණ ගෞතමයන්ට බත් කරන ලද්දේය. ශ්‍රමණ ගෞතමයන් තමන් උදෙසා කළ මාංශය වැළඳු වේ යැයි ‘අජ්ජ සීහේන සේනාපතිනා ථුල්ලං පසුං වධිත්වා සමණස්ස ගෝතමස්ස භත්තං කතං. සමණෝ ගෝතමෝ ජානං උද්දිස්සකටං මංසං පරිභූඤ්ජතී’ති පටිචචකම්මන්ති‘ ” යි ඝෝෂා කළහ.

මෙම කතා පුවතින්ද බුදුරජානන් වහන්සේ මස් වැළඳු බව තහවුරු වෙයි. සීහ සේනාපතියා “පවත්ත මාංශය” ගෙනෙන්නට කීමෙන් නිගණ්ඨයන් ද “පවත්ත මාංශය” අනුභව කරන්නට ඇති බව සිතිය හැකිය. ඔවුන් බුදුරදුන්ට චෝදනා කෙළේ උදෙසා කළ (උද්දිස්සකටං) මසක් වළඳන බවටයි. එනිසා පවත්ත මාංශය හෙවත් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ජෛනයන් හා වෙනත් ශ්‍රමනයන් ද වළඳන්නට ඇත. එනිසා බුදුරදුන් ද ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බවට මේ කතා පුවතින් ඉදිරිපත් කර ඇත.

මීට අමතරව පාරාජිකාපාලි විවරපටිග්ගහන ශික්ෂා පදයේ ද බුදුරදුන් මස් වැළඳු බවට කතා පුවතක් සඳහන් වෙයි. එහි සඳහන් පරිදි උප්පලවන්නාමෙහෙණිය පෙරවරු කාලයේ පිණ්ඩපාතයෙන් පසුව අන්ද වනයට වැඩමකරවා ගසක් මුල දිවාවිහරණය පිණිස වැඩ සිටියාය. ඒ වේලාවෙහි සොරු ගව දෙනක් මරා අන්ද වනයට පිවිසුණහ. සොර නායකයා ගසක් මුල වැඩ සිටින උප්පලවන්නා මෙහෙණීන් වහන්සේ දැක මාගේ දරුමල්හු මේ මෙහෙන දක්නාහු නම් වෙහෙසෙන්නාහයි (කරදර කරන්නේ යැයි) වෙන මගකින් ගියේය. අනතුරුව ඒ සොර නායකයා මස් පැසුණු විට හොඳ මස් ටිකක් ගෙන කොළ ආදියෙන් ඔතා බැඳ උප්පලවන්නා මෙහෙණීන් වහන්සේට ළඟ තැනක “යම් මහණ බමුණෙක් මෙය දකිත් නම් එය ගනිත්වා” යැයි කියා ගසක එල්ලුවේය. උප්පලවන්නා මෙහෙණීන් වහන්සේ සමාධියෙන් නැගී සිට සොර නායකයාගේ වචනය අසා ඒ මස් ගෙන මෙහෙණවරට ගියාය. පසුදා එම මස් පිළියෙළ කර උතුරු සිවුරෙහි ඔතාගෙන බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමට ජේතවනාරාමයට ගියාය. මෙම කතා පුවතින් ද බුදුරදුන් මස් වැළඳු බව තහවුරු වෙයි. මෙහි සඳහන් වැදගත්ම කාරණය නම් “ගාවිං වධිත්වා” යන්නයි. මෙයින් බුදුරජානන් වහන්සේ ද ගව මාංශ වැළඳු බව කියවෙයි.

අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රයේ බුදුරජානන් වහන්සේ ඌරු මස් වැළඳු කතා පුවතක් සඳහන් වෙයි. බුදුරජානන් වහන්සේ විශාලා මහනුවර කුටාගාර ශාලාවෙහි වැඩවසන සමයක සෝවාන් ඵලයට පැමිණි උග්ග නම් උපාසකයෙක් බුදුරජානන් වහන්සේ උදෙසා අපුරු ආකාරයක දානයක් පිළියෙළ කෙළේය. උග්ග ගෘහපතියා බුදුරජානන් වහන්සේට එම දානය පිළිගැන්වූයේ උන්වහන්සේ විසින් දේශනා කරණ ලද බණ පදයක්ද සිහිගන්වමිනි. “ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහිදී මෙසේ අසන ලදී. එනම් මනාප දේ දන් දෙන තැනැත්තා කැමති දෙයක් ම ලබන්නේය” යන බණ පදයයි. භාග්‍යවතුන් වහන්ස මා ඩෙබරඵල මුසු කළ ඌරු මස්වලට ඉතා මනාපය. එනිසා භාග්‍යවතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පා උපදවාගෙන මාගේ ඩෙබරඵල මුසු මේ ඌරු මස පිළිගන්වා සේක්වා. උග්ග ගෘහපතියා මෙසේ ප්‍රකාශ කර බුදුරජානන් වහන්සේ වෙත ඌරු මස් පිළිගැන්වූ විට උන්වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් එය පිළිගෙන වැළඳු සේක. මේ ප්‍රවෘතියෙන් ද බුදුරජානන් වහන්සේ මාංශ වැළඳු බව සනාථ වෙයි.

සුත්තනිපාතයේ ආමගන්ධ සුත්‍රයේ පෙර බුදුවරු පවා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බව සඳහන් වෙයි. එය මාංශ ආහාරය සම්බන්ධයෙන් බුදුවරු එකම ආකල්පයක් දරන බවට සාධකයෙකි. එහි සඳහන් ආකාරයට එම කතා පුවත කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ කාලයට සම්බන්ධ වෙයි. බ්‍රාහ්මණ වංශික තිස්ස නම් තාපසයෙක් පිරිවර තාපසයන් සහිතව මාංශ ආහාරවලටත්, මාංශ ආහාර අනුභව කරන අයටත් අපහාස කරමින්, බැනවදිමින් සිටියේය. තිස්ස තාපසයා ප්‍රකාශ කෙළේ, මිනේරි, අමු ඇට, තල කොළ, දළු, අල, මුල් පලතුරු ආදී දැහැමින් ලබන දේ වළඳන දැහැමින් සැනසෙන අය කාමය නොපතන, බොරු නොකියන අය බවයි.

දිනක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලිහිණි මස් සහිත ඇල් හාලේ බතක් දානය වශයෙන් ලැබ එය වළඳනු දුටු තිස්ස තාපසයා කාශ්‍යප බුදුරජානන් වහන්සේගෙන් මෙසේ විචාළේය. “ඔබ වහන්සේ කලින් පැවසුවේ, පිළී ගඳ තමාට කැප නැති බවය. එහෙත් දැන් ඔබ වහන්සේ මනාව පිසින ලද ලිහිණි මස් සමග ඇල් හාලේ බත් වළඳති”. කාශ්‍යප සමිඳුනි, ඔබ වහන්සේ පිළී ගඳ වශයෙන් සඳහන් කලේ කුමක්ද? තාපසයා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් කාශ්‍යප බුදුන් වහන්සේ ප්‍රාණඝාතය, වධදීම, අත්පය සිඳීම, සතුන් සිරකොට තැබීම, සොරකම, බොරුකීම, වංචා කිරීම, ක්‍රෝධයෙන් කල්ගෙවීම, අනුන්ගේ භාර්යාවන් ඇසුරු කිරීම, මෙලොව පරලොව නොපිළිගැනීම, පින් පව් නොපිලිපැදීම ආදී අයහපත් දේ සිදු කිරීම ආමගන්ධය වන බවත්, මාංශ ආහාරය ආමගන්ධය නොවන බවත් (ඒසාමගන්ධෝ නහි මාංශ භෝජනං) දේශනා කළහ. මෙම සුත්‍ර දේශනාවෙන් පෙර බුදුවරු පවා මාංශ භෝජනය වැළඳු බව කියවෙයි.

සරත් සිංහබාහු

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 5 යි.

  1. Roshan 2012-12-11 at 16:31

    මාහට පිළිතුරු ලබා දීම පිළිබදව පළමුව සතුටට පත් වන අතර, ඔබ සදහන් කර ඇති පරිදි මෙහි ඉදිරිපත් වන කරුණූ හා මූලාශ්‍ර බෞද්ධ විද්වතුන්ගේ අදහස් නම් ඔවුන් කවර අන්දමේ බෞද්ධ විද්වතුන් දැයි දැනගැනීමට අප කැමති වන අතරම ඔබ කුමන පදනමක සිට මෙම ලිපිය ලීයූ තැනැත්තා බෞද්ධ විද්වතෙකු වශයෙන් සලකන්නේද යනුවෙන්ද දැනගැනීමට අප කැමැත්තෙමු. එසේම අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රයේ යැයි සදහන් කතා පුවත සම්පුර්ණයෙන් සත්‍යය වසන් කිරීමක් බව හැගවෙයි. එසේම සුකරමද්දව යනු හතු විශේෂයක් මිස මාංශ වර්ගයක් නොවන බවද දක්වමු කැමැත්තෙමු. තවද අපගේ සිංහල සමාජ සම්ප්‍රදාය වනාහි බෞද්ධ සමාජ සම්ප්‍රදාය වන, අතර උදක්ම තථාගතයන් වහන්සේගේ ඉගෙන්වීම පදනම් කරගෙන අප ජිවත් වන්නෙමු. කෙසේ නමුත් ගව ඝාතනය හා ගව මස් අනුභවය සැබෑ සිංහල බෞද්ධ ජනතාව විසින් අත්හල දෙයක් වන අතර, ඉස්ලාම් භත්තික ඔබ ජන සමාජය කොතරම් මිලේච ආකාරයෙන් ගව ඝාතන සිදු සැටි නොපෙනේද? සියලුම ලිපි කියවා අවසානයේදී කිව හැක්කේ අප පෙර සදහන් කර පරිදි මෙම ලිපිය හුදෙක් ඔබලාගේ මානසික වින්දනය සදහා පල කර ලද්දක් මිස කිසිදු වගකීමක් සහිතව පල කල ලද්දක් නොවන බවය. අවසාන වශයෙන් කරුණාකර අප තථාගත බුදුරජාණන් වහන්සේට නිගා දෙන මෙවැනි ලිපි ඔබලාගේ වෙබ් අඩවියෙන් ඉවත් කරන ලෙස කරුණ පෙරදැරිව ඉල්ලා සිටිමු.

    • අබූ අර්ශද් 2012-12-11 at 16:59

      ඔබගේ අවසාන සටහනට අනුව – මෙම අඩවියේ පලකොට තිබෙන ඉහත ලිපි පෙල මඟින් බුදුදහමට හෝ බුදුන් වහන්සේට කිසියම් නිගාවක් සිදුවන්නේ නම් එය මෙම අඩවිය තුලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ‘යහමඟ’ට දෙවැනි මතයක් නැත. නමුත් ඔබ ඉහත ලිපිය පමණක් නොව ඒ සරත් සිංහබාහු සහෝදරයා ඉදිරිපත් කල ලිපි මාලාවම නැවත කියවා බලන්නේ නම් ඔබ පවසන ආකාරයේ තත්වයක් මේ ලිපි මාලාව තුල නොමැති බව අවබෝධ වනු ඇත. එහි ඉදිරිපත් වන කරුණූ කාරණා පදනම් විරහිත සටහනක් නොවේ. එය අප රටේ ජනප්‍රිය විද්වතුන්ගේ අදහස් සමූහයක් සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමකි. ඒ පිලිබදව ඔබට විරුද්ධ මතයක් හෝ විග්‍රහයක් ඇත්නම් එය ඉදිරිපත් කරන්න ඒ සදහා ‘යහමඟ’ ඉඩ සලසා දෙන්න සූදානම්. ඊලඟට ඔබේ පවසන සූකර මාංශ යන්න ‘හතු’ වර්ගයක් යන්න බොහෝ බෞද්ධයන් ඉදිරිපත් කරන ජනප්‍රිය තර්කයක් එයට ඇති පදනම ඔබ සාක්ෂි ඇතුව ඉදිරිපත් කලයුතුයි. එසේම ඉහතින් සූත්‍රයක් තුල සත්‍ය වසන් කොට ඇති බව ඔබ සදහන් කරයි. එහි සත්‍යය එලි කිරීම ඔබේ යුතුකමක් යන්න මාගේ හැඟීමයි. එපමණක් නොව මෙම අඩවිය තුල ඉදිරිපත් කර ඇති මාංශ ආහාර පිලිබදව ත්‍රපිටකයෙන් බිඳක් යන ලිපිය සම්බන්ධයෙන් ද ඔබේ ස්ථාවරය හා අදහස අපේක්ෂා කරමි.
      අවසාන වශයෙන් පවසන්නට ඇත්තේ, මෙවැනි ලිපි මෙම අඩවිය තුල ඉදිරිපත් කරන්නේ මෙම විෂය පටු ලෙස නොබලා බුද්ධිමත් ලෙස විමසා බැලිම තුල බහු ජාතීන් ජීවත් වන රටක් ලෙස ජාතීන් හා ආගම් අතර අවබෝධයක් ගොඩනැඟිය හැකි යන විශ්වාසය මතයි. එසේ නොමැතිව තවත් ජන සමාජයකට මාංශ අනුභවයට උනන්දු කිරීම සදහා හෝ ආගමික විශ්වාසයක් නිගා කිරීම සදහා හෝ නොවේ.

  2. Roshan 2012-12-09 at 14:44

    බුදුන් වහන්සේට හෝ කිසිදු භික්ෂුන් වහන්සේ නමකට කිසිවෙකු පිළිගන්වන දානය එපා යනුවෙන් කීමට නොහැක. නමුත් ඔබලා මෙවැනි කරුණු ඉදිරිපත් කිරීමෙන් බුදුරජාණන් වහන්සේ ත් ඌරු මස් වැළඳු බවට තර්ක ඉදිරිපත් කරමින් කාලකන්නි සතුටක් ලබනවා නොවේද. බුදුරජාණන් වහන්සේ ගසකින් කොලයක් පවා කැඩීම යම් ආකාරයකින් පවක් සිදුවන බව දේශනා කර ඇත. විශ්වීය දර්ශනයකට නිගා නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    • අබූ අර්ශද් 2012-12-10 at 16:43

      මේ ලිපියේ මාතෘතාව පමණක් පදනම් කරගෙන ඔබ අදහස් ඉදිරිපත් කරන ආකාරයක් පෙනේ. මෙහිදී ඔබේ බුද්ධීමත් අවධානයට කරුණූ කිහිපයක් සදහන් කලයුතුව ඇත. එනම්,
      මේ ලිපිය ඉදිරිපත් කරන්නේ බෞද්ධයෙක් යන්නත්,
      මෙහි ඉදිරිපත් වන කරුණූ හා මූලාශ්‍ර බෞද්ධ විද්වතුන්ගේ අදහස යන්නත්,
      සැබෑවටම බුදුන්වහන්සේ මාංශ වැලදුවේ නම් එය කාලකන්නි සතුට ට කාරණාවක් නොවේ යන්නත්,
      සැබෑවටම මේ පිලිබදව ඔබට වෙනත් මතවාදයක් ඇත්නම් එය පැහැදිලිව ලිවීමට ‘යහමඟ’ විවෘත යන්නත්,
      සමාජ සම්ප්‍රදායේ හිඳ නොව බුදුන්වහන්සේගේ ඉගෙන්වීම පදනම් කරගෙන මෙය විමසා බැලිය යුතු යන්නත්,
      ඔබගේ අවධානයට ගෙන එමින් අවසාන වශයෙන් මෙම විෂය හා ඉහත ලිපියට මූලික වූ සම්පූර්ණ ලිපි පෙල කියවීම සදහා මෙම අඩවිය තුල ඇති ‘නිර්මාංශ ප්‍රශ්න‘ යන ලිපිය කියවීමට ආරාධනා කරමි.

  3. නලීමි 2012-11-30 at 17:54

    මෙය බුදුදහම පිලිපදින ඡනයාට දැනලැනිමට සැලැස්විය යුතුයි. බොහො අය මෙය නොදන්නා බැවින් . බුදුදහම නිවරදිව සැම පාසලකම ඉගෙන්විය යුතුයි.

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *