2013 දුම්වැටි විරෝදි දිනය හා සුභ අනාගතය

0

මැයි මස 31 දිනට යෙදෙන ‘ලෝක දුම්වැටි විරෝධි දිනය’ 2013 වර්ෂයේ ද උදා වී ඇත. වර්ෂයක් පාසා මේ විෂය පිලිබදව ‘යහමඟ’ අඩවිය විවිධ පැති ඔස්සේ ලිපි ඉදිරිපත් කරමින් කරුණූ සාකච්චා කරනවා ඔබට අලුත් කාරණයක් ද නොවනු ඇත. එහිදී මේ දුම්වැටි භාවිතය හා එහා බැදුණු අනිකුත් මත්ද්‍රවය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්නත්, මෙවැනි භාවිතයන් හි අදීනය කුමක්ද? යන්නත්, ශ්‍රි ලාංකීය ජාතියක් ලෙස මේ විෂය අපට කොතරම් වැදගත් වනවාද? යන්නත්, මේ සම්බන්දයෙන් රටේ වගකිව යුතු පාර්ශව‍යන්ගේ හා බලධාරීන්ගේ වගකීම කුමක්ද? යන්නත් දිගින් දිගටම කරුණූ සාකච්චා කො‍ට ඇත. පාඨක ඔබේ මතකයට එවැනි ලිපි කිහිපයක් නැවත ගෙන එන්නේ නම්,

‘මතින් තොර හෙටක්’ මේ අප රටේ කලකට ඉහත ප්‍රසිද්ධ දේශපාලන තේමා පාඨයකි. නමුත් පුරුද්දක් ලෙස දේශපාලන තේමා පාඨයන්  බෝඩ් ලෑල්ලට ම සීමා කරන මේ රටේ ඉහත තේමා පාඨය ද තවත් බෝඩ් ලෑල්ලකට සීමා වීම අවාසනාවන්ත තත්වයකි. අද වනවිට ශ්‍රි ලාංකීය සමාජය තුල උණූසුම් මාතෘකා කිහිපයක් ඇත. ඒ අතර මුස්ලීම්වරුන් සදහා වූ හලාල් සහතික නිකුත් කිරීම, මුස්ලීම් කාන්තාවගේ ඇදුම් විලාසය, ගව ඝාතනය(ට එරෙහිව දිවි නසා ගැනීම)… යනාදිය එවැනි කිහිපයකි. මේ ආකාරයට අප රට තුල පටු අරමුණු ඔස්සේ ගොඩනැඟුණු කෘත්‍රිම ගැටළු නම් විශාල වශයෙන් පෙලගැසීමට පුළුවන. (මේවා පිලිබදව මෙම අඩවිය තුලම විවිධ අවස්ථාවල සාකච්චා කොට ඇත) මෙම කෘත්‍රිම වූ ගැටළු ජාතිය, ආගම නාමයෙන් ජනතාව හමුවේ තබමින් අප රටේ බහුතරය ඒ ඔස්සේ පෙලගැසීමට සමාජ වගකිවයුතු පාර්ශවයන් වන ආගමික නායකයන්, දේශපාලඥයින් මෙන්ම අනිකුත් පාර්ශවයන් ක්‍රියා කරන අතර තුර සෑම දහමක්ම හෙලාදකින විශේෂයෙන් මේ බෞද්ධ රටේ පන්සිල් පදය තුල පවා නිතර පොරොන්දු දෙන සුරාව හා අනිකුත් මත්ද්‍රව්‍ය භාවිතය නම් කවදාවත් ඔවුනට ගැටළුවක් නොවීම මෙම විෂය හමුවේ අපේ රට මුහුණපාන අවාසනාව තවත් මනාව කියාපෑමකි.

මෙම දුම්රකුසාගේ මනුෂ්‍ය වර්ගයාට කරන බලපෑම සුළුපටු නොවේ. 2012/05/12 දින දිවයින පුවත්පතට ශ්‍රී වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතා කල හෙළි කිරීම අනුව මේ දුම්කොල භාවිතය නිසා වසරකට ලොවපුරා මිය යන මනුෂ්‍ය සංඛ්‍යාව 6,000,000 කි. එතුමාගේ කරුණූ දැක්වීම අනුව දුම්කොළ භාවිතා නොකලත් වක්‍ර ආකාරයට මේ අවාසනාවන්ත මරණයට ගොදුරු වන මනුෂ්‍ය සංඛ්‍යාව 600,000 කි. එපමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ සමීක්‍ෂණයකින් හෙළිවී ඇත්තේ වසර 2015 වනවිට ලෝකයේ සමස්ථ මරණ සංඛ්‍යා‍වෙන් 10% ක් දුම්බීම ආශ්‍රිත රෝග නිසා සිදුවනු ඇති බවයි. ජාත්‍යන්තර තත්වය එසේ වුවත් අපේ රට ‘මතට තිත’ තබා ඇති නිසා ඒ පිලිබදව බිය වියයුතු නොවේ යයි කිසිවකුටත් සෑහීමට පත්විය හැකිද?. බලන්න පසුගිය දිනක සුරාබදු කොමසාරිස්වරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල වාර්තාව,

“ඉකුත් වසරේ මෙරට තුළ සැර මත්පැන් ලීටර මිලියන 53 .8 ක් නිපදවා ඇති අතර එය  2010 වසරට සාපේක්‍ෂව ලීටර මිලියන 4.8 ක  වැඩි වීමක් බවත් සුරාබදු කොමසාරිස්වරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල වාර්තාවේ සඳහන් වේ. එසේම  2011 වසරේ බියර් ලීටර මිලියන 87.4 ක් නිෂ්පාදනය කර ඇති අතර එය 2010 වසරට වඩා ලීටර මිලියන 14.1 ක වැඩි විමකි.”

අද අප රට තුල ඊනියා තර්ජන, කුමන්ත්‍රණ පිලිබදව කථා කරන පිරිස් ජාතියක් ලෙස දිශාගත වී තිබෙන අවාසනාවන්ත ඉසව්ව අවබෝධ කරගැනීමට ඉහත 2011 වර්ෂයේ මත්පැන් භාවිතයේ වර්ධනය හොඳම හා ප්‍රමාණවත් නිදසුනකි. මේ වර්ෂයට අදාලව එහි ප්‍රමාණාත්මක අගය ‘යහමඟ’ට අනාවර්ණය කරගැනීමට නොහැකි වූ නමුත් 1996 දී මේ රටේ මත්පැන් (නිල නොවන කසිප්පු පෙරීමන් හැර) පරිභෝජනය සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ පාලන වාර්තා අනුව එය පහතින් ඉදිරිපත් කරන්නේ 1996 වර්ෂයට සාපේක්ෂව 2013 තත්වය මේ තුලින් සාපේක්ෂව නිර්ණය කිරීම ඔබට අපහසු නොවන නිසාමය.

1996 වර්ෂය සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ පාලන වාර්තා අනුව ශ්‍රී ලංකාවේ පරිභෝනය කරන ලද රට බීම ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යා විස්තර පහත දැක්වේ.

මත්පැන් වර්ගය

පරිභෝජනය කරන ලද ප්‍රමාණය(ලීටර් වලින්)

1. බ්‍රැන්ඩි

663,427,525

2. රම්

24,440,615

3. සයිඩර්

168,900

4. අරක්කු

45,323,766,678

5. විස්කි

122,218,805

මෙහි දී විශේෂයෙන් අවධාරණය කලයුතු කාරණයක් ඇත. ඉහත බොහෝ සංඛ්‍ය ලේඛන මත්පැන් භාවිතය සම්බන්ධයෙන් වූ නිසා දුම්වැටි භාවිතයේ මෙවැනි අවාසනාවන්ත තත්වයන් අප රට තුල දක්නට නොලැබෙනවා යනුවෙන් ඔබ සතුටු වියයුතු නොවේ. මන්ද මේ දුම්වැටි භාවිතය නිසා අප රටේ වසරකට මිය යන පුද්ගල මරණ සංඛ්‍යාව 15000-25000 අතර (එනම් දළ වශයෙන් දිනකට පුද්ගල මරණ 55ක්) වන බවට වාර්ථා වන බැවිණි. එසේනම් මේ විෂය එනම් මත්ද්‍රව්‍ය හා ඒහා බැඳනු අනිකුත් මත්පැන් භාවිතය පිලිබදව සැබෑ හා අවංක වු කතිකාවක් හා මැදිහත්වීමක් සිදුකිරීම කාලීනමය වශයෙන් ඉතා වැදගත් මාතෘකාවකි. මේ හේතුව නිසාම මේ විෂය විද්‍යාත්මක, ආර්ථිකමය, සමාජීයමය, සෞඛ්‍යමය හා ආගමික… යනාදී  ක්ෂේත්‍රයන් ඔස්සේ මීට ඉහත ද මෙම ‘යහමඟ’ අඩවිය තුල ගැඹුරින් කරණු සාකච්චා කොට ඇත. ලොවපුරා අනිකුත් ජාතීන්ට සාපේක්ෂව මුස්ලීම් සමාජය මත් භාවිතයේ අවම මට්ටමක පසු වුවත් සැලකිය යුතු පිරිසක් තවමත් මෙම මත් උවදුරට වහල් වී සිටිනවා යන්න තිත්ත වූ ඇත්තකි. ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව මහා පාපයක් වන මෙම ඇබ්බැහිවීම පිලිබදව ඉස්ලාමීය දෘෂ්ඨි කෝණයෙන් කෙටියෙන් හෝ මෙහිදී ද විමසා බැලීමට අදහස් කරමි.

ප්‍රථමයෙන් ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් වෙත ඔබේ අවදානයට තබමින් සාකච්චාවට පිවිසෙන්නේ නම්,

විශ්වාසවන්තයෙණි!, නියත වශයෙන්ම මත්පැන් ද, සූදුව ද, පිළිරූ වැදීම ද, නිමිති බැලීම ද පිලිකුල් සහගත ශෙයිතාන්ගේ ක්‍රියාවන් වන්නේය. එමනිසා මේවායින් වැලකෙන්න. නුඹලා ජය ලබනු ඇත

ශුද්ධ වූ කුර්ආනය 5-90

මීට ඉහත යහමඟ අඩවිය තුල මේ විෂය මූලික කරගෙන මත්පැන් භාවිතයට එරෙහිව ඉස්ලාමීය  ආදර්ශය හා දුම්වැටි භාවිතය – ඉස්ලාමීය විමසුමක් යන ලිපියන් තුලින් මත්ද්‍රව්‍ය භාවිතය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්න පැහැදිලිව කරුනු ඉදිරිපත් කොට ඇත. එය ඉහත 5-90 වාක්‍යය තුල ‘ශෙයිතාන්ගේ පිලිකුල් සහගත ක්‍රියාවන්ගෙන් එකක්…’ යයි පැවසීම තුල මෙය කොතරම් පිලිකුල් සහගත ක්‍රියාවක්ද? යන්න තවදුරටත් පැහැදිලිව අවබෝධ කරගත හැක. මෙය තවදුරටත් හොදින් අවබෝධ කරගැනීම පිණිස ශුද්ධ වූ නබිවදනක් (හදීසයක්) ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එන්නේ නම්,

මුහම්මද් (සල්) තුමානණ් මෙසේ  පවසන ලදී ‘මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වුවන් (එම තත්වයේ ම) මියගියේ නම්, පිළිම වන්දනා කරන්න දෙවියන් හමුවන තත්වයේ ඔහු ද අල්ලාහ් (දෙවි) හමුවන්නේය.

මූලාශ්‍ර ග්‍රන්ථය – අහ්මද්

ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව දෙවියන්ට සමානයන් තැබීම එනම්, දෙවියන්ට කිසිවක් හෝ කිසිවෙක් එසෙත් නැත්නම් දෙවියන්ගේ ගුණාංගවලට කිසිවක් හෝ කිසිවෙක් සමාන කිරීම ‘ශිර්ක්’ නම් මහා පාපයකි. පිලිම වන්දනය ද අයත් වන්නේ මේ මහා පාපයටයි. මේ මහා පාපය කල තැනැත්තෙකු ලෙස මරණින් මතු දිනයේ නැගිටුවන්නට තරම් මහා පාපයක් ලෙස මෙම මත් භාවිතය ඉස්ලාම් දකින්නේ නම්, මේ පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය තවදුරටත් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ යයි සිතමි.

කෙසේ වෙතත් මෙහිදී මුස්ලීම් සමාජයේ විශේෂ අවදානයට ගෙන ආයුතු කාරණයක් ඇත. ඒ මෑතක පටන් ‘හලාල්’ ලේබලයන් සහිතව වෙළද පොළ තුල දකින්ට තිබෙන බියර් වර්ගයන් සම්බන්ධවය. ඉහතින් සදහන් ආකාරයට මත්පැන් හා අනිකුත් මත්ද්‍රව්‍ය භාවිතය ඉස්ලාමීය ඉගෙන්වීම අනුව තහනම් යන්නෙහි කිසිදු මුස්ලීම්වරයෙකුට සැකයක් නැත. නමුත් වර්ථමාන වෙළද පොළ තුල දකින්නට ලැබෙන ආකර්ශනීය නම්වලින් හා ලේබල්වලින් යුතු බියර් වර්ග පිලිබදව මුස්ලීම් සමාජය තුල ‘හරාම්’ (තහනම්)ද?, ‘හලාල්’ (අනුමත)ද? යන්න පිලිබදව කුතුහලයක් ඇත. සමහරක් පිරිස් මේවා සම්බන්ධයෙන් පවසන්නේ ‘අපි බොන්නේ පළතුරුවලින් හදපු බියර් ඒවා හලාල්’ යනුවෙනි. ඇත්තටම අද ‘හලාල්’ ලේබල් කල බියර් වර්ග වෙළද පොලේ තිබෙන බව සැබෑවකි. නමුත් එක් කාරණයක් පැහැදිලිව මෙහිදී අවබෝද කර ගතයුතුය. එනම්, අද අප පසුකරමින් සිටින්නේ ඉතා සංකීර්ණ නිෂ්පාදන ක්‍රමයන් භාවිතා කරන යුගයකි. මේ නිෂ්පාදන රටාව තුල හරාම් (තහනම්) හලාල් (අනුමත) තෝරා බේරා ගැනීම පවා දුෂ්කර වන තරමට සංකීර්ණ වී ඇත. එසේනම් මෙවැනි පසුබිමක මේවා සියල්ලෙන්ම දුරස්වීම මිස මුස්ලීම්වරයෙකුට වෙන විකල්පයක් නැත. එය තමා ඉස්ලාමීය ඉගෙන්වීම ද වන්නේ. බලන්න මුහම්මද් (සල්) තුමාණන් එදා කල අවවාදය.

මාගේ ජන සමාජයේ සමහරක් පිරිස් (අනාගතයේ දී) මත්පැන්වලට වෙනත් නම් භාවිතා කරමින් නියතවම එය පානය කරනු ඇත.

මුලාශ්‍ර ග්‍රන්ථය- අබූදාවූද්

මේ අනාවැකි පවසන තත්වය නොවේ ද අද අප සමාජය තුල අත්විදිමින් සිටින්නේ. ජනතාව මුලා කරන ආකාරයේ විග්‍රහයන් ඉදිරිපත් කරමින් දිනෙන් දින (මියයාමෙන්) අහිමි වන විශාල පාරිභෝගික සංඛ්‍යාව දිනාගැනීමේ අභියෝගය මේ මත්ද්‍රව්‍ය හා මත්පැන් ව්‍යාපාරිකයන් හට ඇත. විශේෂයෙන් මේ මහා පාපයෙන් දුරස් වී සිටින මුස්ලීම් සමාජය මේ මත් උවදුරට නතු කරගැනීම සදහාත් වූ විශාල උවමනාවක් බොහෝ පාර්ශවයන්ට ඇත. මේ වෑයම පැහැදිලිවම මුස්ලීම් සමාජය අවබෝධ කරගත යුතුය. ඒ සදහා මේ ‘යහමඟ’ අඩවිය තුල මීට ඉහත සාකච්චා කල කරුණු මෙන්ම මේ ලිපිය තුල සාකච්චා කරන කරුණු ද ඔබට පිටුවහලක් වනු ඇත. මීට අමතරව ‘මත්ද්‍රව්‍ය’ නිර්ණය කිරීමට පහතින් සදහන් සරල වූ ලෝක පිලිගත් විග්‍රහය හා ඉස්ලාමීය විග්‍රහය ද ඔබට ඉමහත් පිටුවහලක් වනු ඇත. එනම්,

ලෝක පිලිගත් විග්‍රහය-

මොළයේ ක්‍රි‍යාකාරිතවය කෙරේ බලපාන සහ මොළයේ සාමාන්‍ය මානසික ක්‍රියාකාරිත්වය වෙනස් කරන ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය ලෙස නීතියෙන් සැලකේ.

ඉස්ලාමීය විග්‍රහය

මුහම්මද් (සල්) තුමානණ් මෙසේ පවසන ලදී ‘මත් කිරීමට හේතු වන සියල්ල මත්ද්‍රව්‍ය වේ. මත් කර වන සියල්ල ‘හරාම්’ (තහනම්) වේ.

මූලාශ්‍ර ග්‍රන්ථ – මුස්ලීම්

මේ අනුව මත්ද්‍රව්‍ය හා මත්පැන් සම්බන්ධයෙන් ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්නත්, ඒ හමුවේ මුස්ලීම්වරයෙකුගේ ස්ථාවරය කුමක් වියයුතු ද? යන්නත් පැහැදිලිය. මෙහිදී මත්ද්‍රව්‍ය භාවිතයේ අදීනය අවබෝධ කරගෙන ඉන් දුරස් වනවාට වඩා මුස්ලීම්වරුන් වන අප එය ඉස්ලාමීය දෘෂ්ඨි කෝණයෙන් විමසා දුරස්වීම තමා ඉතා වැදගත් වන්නේ. අනිකුත් සමාජය මෙන් නොව මුස්ලීම්වරුන් වන අපට ආගමික විනයක් ඇත. පරිපූර්ණ හා ප්‍රායෝගික එසේම ආදර්ශමත් ජීවන සැලැස්මක් ඇත. එමනිසා හැඟීමන්ට වහල් වී හෝ පටු වින්දනයන් ඔස්සේ ක්‍රියා කිරීම‍ට ඉස්ලාම් දහම තුල මුස්ලීම්වරුන්ට අවසර නැත. මන්ද මුස්ලීම්වරුන් වන අපේ ඉලක්කය අල්ප වූ මේ ලෞකික දිවිය නොව නිමාවක් නොමැති ලෝකොත්තර විමුක්තියයි. ඒ සදහා මරණින් මතු ඔබට ලැබෙන විනිශ්චය ඉතා තිරණාත්මකය. අල්ලාහ් (දෙවි) ශුද්ධ වූ කුර්ආනයේ ඒ පිලිබදව ඔබට කරන අවවාදයකින් මෙම ලිපිය නිමා කරන්නට අදහස් කරමි.

එක් දිනයක් ගැන (නුඹලා) බියවන්න, (එදින) කිසිදු ආත්මයක් තවත් ආත්මයකට කිසිදු ප්‍රයෝජනයක් නොවන්නේය. කිසිදු ආත්මයකට තවත් ආත්මයකට උදව් කිරීමට හැකි වන්නේ ද නැත. ඒ වෙනුවෙන් කිසිවකු මැදිහත් වී කථා කිරීම ද ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. තවද ඔවුන්ට කිසිවකුගෙන් උදව් හිමිවන්නේ ද නැත

ශුද්ධ වු කුර්ආනය 2-123

අවසානම වශයෙන් සියල්ල සාරාංශ කොට පවසන්නට ඇත්තේ රටක් ලෙස ගත්තත්, ජාතියක් ලෙස ගත්තත්, ආගමක් ලෙස ගත්තත්, පුද්ගලයන් ලෙස සැලකුවත් මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය යන්න මනුෂ්‍යා හට විනාශය මිස යහපත ගෙන දෙන්නක් නොවේ. දිනපතා සිය ගණනින් මිනිස් ජීවිත බිලි ගනිමින් සුන්දර ලෝකයක් පිලිබදව සිහින ඇති කරවමින් මිනිස් දිවිය කාලකන්නි කරන මේ මත් උවදුරින් වර්ථමාන මිනිස් සමාජය මුදවා ගැනීමේ වගකීම ජාති ආගම් භේදයකින් තොරව සියළු පාර්ශවයන්ටම පැවරි ඇත. විශේෂයෙන් වර්ථමානයේ අප රටේ ජාති, ආගම් හා දේශමාමකත්වය පිළිඹිබු කරන්නට පටු අරමුණු තුල දඟලන සියළු පාර්ශවයන්ට ඇත්තටම රට, ජාතිය හා ආගම පිලිබදව හැඟීමක් ඇත්නම්, අවංක වූ උවමනාවක් ඇත්නම්, ඔවුනට මේ 2013/05/31 දුම්වැටි විරෝධි දිනය ඒ සදහා අභියෝග හා ඉලක්ක රාශියක් පිරි දිනයක් වනු ඇත. ඒ අභියෝගයන් ජය ගැනීමට හොද ආරම්භයක් සදහා මේ ‘දුම්වැටි විරෝධි’ දිනය පිටුවහලක් වේවා!, ඒ සදහා සියළු පාර්ශවයන් හට නුවණැස පෑදේවා!, යනුවෙන් ප්‍රාර්ථනා එක් කරමින් මේ ලිපියට විරාමය තබමි.

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *