නිකාබ් තහනම පය බරවා වට පිටිකර බේත් බැඳීමකි.

0

පසුගිය 2019 අප්‍රේල් 21 රටේ විවිධ ප්‍රදේශවල පිපිරීගිය බෝම්බය හේතුවෙන් ශ්‍රී ලාංකීය සමාජය තුල බොහෝ තැන් දෙදරා ගොස් ඇත. දශක ගණනාවක් මුළුල්ලේ මුස්ලීම් ජනතාව සමඟ සාමයෙන් කටයුතු කල කිතුණු සමාජයට සිදුවූ කෲර ප්‍රහාරය හමුවේ ඔවුන් කම්පනයට පත්ව ඇත. ජාතිය ආගම පසෙකලා සාමුහිකව හා සහෝදරත්වයෙන් විසූ ජන සමාජය අද සියල්ල කුතුහලයෙන් හා සැකයෙන් බලන තරමට දෙදරා ඇත. අපගේ අනාගතය මේ රට තුල කවර අයුරින් තීන්දු වනු ඇත්ද? යන කම්පනය මුස්ලීම් ජන සමාජයට ද මේ ඛේදවාචකය අද උරුම කර දී ඇත. මෙලෙස ඉහත මිලෙඡ්ච ප්‍රහාරයෙන් විවිධ ජන සමාජ කම්පනයට හා පසුතැවිල්ලට පත්ව සිටින විටත් මෙම ඛේදවාචකය ආශිර්වාදයක් කොටගෙන තම පටු අරමුණු දිනාගැනීමට සූදානම් වන සමහරක් ද මේ සමාජය තුලම නැතුවා නොවේ.

එවැනි පිරිසගේ සටන් පාඨය හා  ඉල්ලීම් මේ ඛේදවාචකය ආශිර්වාද කොටගෙන දැන් දැන් සමාජගතවීමට පටන්ගෙන ඇත. එයට එක් සරල නිදසුනක් ලෙස ‘බුර්කාව (නම් සමහරක් මුස්ලීම් කාන්තාවන් සම්පූර්ණයෙන්ම තම ශරීරය ආවර්ණය වෙන ආකාරයට අඳින ඇඳුම) තහනම් කරමු’ යන සටන් පාඨය ගෙනහැර දැක්විය හැක. මෙහි හාස්‍ය ජනක කාරණය වන්නේ අප්‍රේල් 21 සිද්ධිය තුල මා දන්නා තරමින් කිසිදු අවස්ථාවක මෙම බුර්කාව මෙම විනාශයට හෝ ඉන්පසුව සිදු කෙරෙන ආරක්ෂ අංශයේ රාජකාරීවලට බාධාවක් වී නැත. එසේ තිබියදී ලහිලහියේ  මේ මොහොතේ මුඛ්‍ය කාරණය ලෙස ‘මේ බුර්කාව තහනම් කරන්න ඕන’ යන සටන් පාඨය ගෙන එන්නත් එය නීතිගත කරන්නත් සමහරක් ජන නායකයින් කඩිමුඩියේ උනන්දු වන්නේ කුමණ අරමුණින් ද යන්න ගැටළුවක් මතුවේ.

මෙම බුර්කාව ඉස්ලාම් අවදාරණය කරන ආගමික ඇදුමක් නොවනවා යන්න ‘යහමග’ මගේ ස්ථාවරයයි. ඉස්ලාමීය ඉගෙන්වීමන් විශ්ලේෂනය කිරීමේදී මුහුණ හා අතෙහි පහල කොටස විවෘතව තිබිය යුතු යන්න එහි ඉගෙන්වීමයි. (මේ පිලිබදව දීර්ඝ ලෙස සාකච්චා කල ලිපිය ‘අබායා සංස්කෘතිය හා ඉස්ලාමීය ඉගෙන්වීම’) නමුත් මුස්ලීම් සමාජයේ සමහරක් කාන්තාවන් මෙය ආගමික නීතියක් ලෙසත් තවත් සමහරෙක් තම අභිමතය ලෙසත් තම මුහුණ ඇතුළුව සම්පූර්ණ ශරීරයම ආවර්ණය වන ලෙස ඇඳුම් ඇදීම දක්නට ඇත. මෙය ඔවුන්ගේ දෘෂ්ඨියෙන් ආගමික අයිතිය හා නිදහස වන නිසා ඒ සම්බන්ධයෙන් නීති පැනවීමට උත්සාහ කිරීම කිසිදු ආකාරයකින් සාධාර්ණ ක්‍රියාවක් නොවේ යන්න යහමග ස්ථාවරයයි. නමුත් මුස්ලීම් සමාජයේ විද්වත් මඩුල්ලක් ඉදිරිපත් වී මෙලෙස අඳුම් අඳින කාන්තාවන්ට කරුණු පැහැදිලි කොට ඔවුන්ගේ කැමැත්ත මත මෙම ඇඳුම් විලාසය වෙනස් කිරීමට කිසියම් පියවරක් ගන්නේ නම්, එය අගය කලයුත්තකි. එසේ නොමැතිව නීති මඟින් මෙය තහනම් කිරීමට යාම ශිෂ්ඨසම්පන්න ක්‍රමවේදයක් නොවේ.

මීලඟට මෙහි මතුවන ගැටළුව වන්නේ, මෙම ‘බුර්කා තහනම්’ මාතෘකාව මේ මොහොතේ සමාජගතවීමට ඇති හේතුව කුමක්ද? යන්නයි.  රටේ මහා ඛේදවාචකයක් සිදුව ඇති මේ මොහොතේ මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වීමට නම් සාධාර්ණ හේතු කිහිපයක් පැවතිය යුතුය. එනම්,

  • අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයට මුස්ලීම් කාන්තාව අඳින මෙම ‘බුර්කාව’ බලපෑවා, යනුවෙන් හෝ රටේ ආරක්ෂාවට තර්ජනයක් යනුවෙන් කිසියම් අණාවර්නයක් ආරක්ෂක අංශය විසින් සිදුකොට තිබීම,
  • අඩුම තරමින් විපතට පත්ව අසරණව සිටින කිතුණු සමාජයෙන් ‘බුර්කාව තහනම් කරන්න’ යනුවෙන් මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් තිබීම,

ඉහත අවස්ථාවන් හි පවා මෙවැනි තීන්දුවක් ගැනීම ‘පය බරවා වට පිටිකර බේත් බැඳීමක්’ බදු ක්‍රියාවක් මිස කිසිසේත් සාධාර්ණ ක්‍රමවේදයක් නොවේ යන්න ‘යහමග’ ස්ථාවරයයි. (මේ පිලිබදව මෙම අඩවිය තුල ‘නිකාබය තහනම් කිරීමේ කැකිල්ලේ තීන්දුව’ යන ලිපිය තුලින් දිර්ඝ ලෙස සාකච්චා කොට ඇත) යම් සිද්ධියක් සිදුවී ඇති විට එයට බලපෑ හේතුකාරණා සොයා ඒවාට විසදුම් සොයනවා විනා ඇදගෙන සිටී ඇඳුම තහනම් කිරීම හා නීති මගින් ඒ තුල ජනතාව කොටු කිරීම බුද්ධිමත් ක්‍රමවේදයක් නම් නොවේ. එසේ තිබියදී මේ මොහොතේ ‘නිකාබ් තහනම’ සටන් පාඨය විකෘති මානසිකත්වයෙන් පෙලෙන සමහරකගේ ‘බොරදිය මාළු බෑමේ’ සටන් පාඨයක් පමණක්ම බව ශ්‍රී ලාංකීය සමාජය මෙහිදී අවබෝධ කරගතයුතු වේ.

මෙහිදී අවසාන වශයෙන් තවත් කාරණයක් සටහන් කරන්නට කැමැත්තෙමි. 2019/04/21 දින ප්‍රහාරය මෙහෙය වූ පුද්ගලයා අන්තවාදී වියරුවෙන් පෙලුනු පිස්සෙකු බව අපට දැන් හොදින්ම පැහැදිලිය. ඒ ඔහුගේ එකම අරමුණ වී තිබුනේ  කිතුණුවන් ඝාතනය කිරීම යන්න තුලින් පැහැදිලිය. (ඒ මීට මාස කිහිපයකට පෙර නවසීලන්තයේ මුස්ලීම් දේවස්ථානයකට පහරදුන් ඝාතකයා මෙනි.) ඔහුට රාජ්‍ය පාලන වැනි දේශපාලන අරමුණු නැත. රටේ භූමිය කඩා වෙන් කිරීමේ අරමුණූ නැත. ධනය රුස්කිරීම වැනි අරමුණු නැත. එමනිසා ඔහුගේ විනාශය තුල ඔහුගේ සියළු අරමුණු ද විනාශ වී ඇත. ඔහු වටා ඒකරාශි වී සිටී පිරිසද ඉක්මණින් සොයා නිතීය ඉදිරියට ගෙන දැඩි දඩුවම් ලබාදීම තුල මෙම පිලිලය සමාජයෙන් කඩිනමින්ම තුරන් කරදැමිය හැක. එය අප රටේ ආරක්ෂ අංශය ඕනෑවටත් වඩා හොදින් ඉටු කරනු ඇත. නමුත් මේ ඛේදවාචකය ආශිර්වාදයක් කරගෙන සමහරක් පිරිස් එනම්,

  • දේශපාලනය කරන සමහරක්,
  • (මුස්ලීම්) ආගමික නිකායවාදයන් මත යැපෙන සමහරක්,
  • (සිංහල) ජාතිවාදී ව්‍යාපාරයන් හි නියලෙන සමහරක්,

පිරිස් කරන ප්‍රකාශ හා ඔවුන්ගේ පිඹූරුපත් දකින විට ඔවුන්ට මේ රටේ සිදුවූ විනාශය හෝ කිතුණූ සමාජයට ඇති වූ කම්පනය පිලිබදව තැකීමක් නැත. ඔවුනට ඔවුන්ගේ න්‍යායපත්‍රය ක්‍රියාවට නැංවීමේ අරමුණ පමණයි ඇත්තේ. ඒ අනුව ඔවුන්ගේ ක්‍රියා කලාපයන් දෙස බලන විට මෙවැනි විනාශයක්  ඔවුන් මඟබලමින් සිටියාදෝ යන්නත්, මීට වඩා විනාශයකට මොවුන් මුලපුරනවාදෝ යන්නත් සිතේ.

 

ඉබුනු සහීර්

ඉබුනු සහීර්

ඉබුනු සහීර් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles