මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශ හෙවත් හදීස් හි අවශ්‍යතාවය

0

ඉස්ලාම් දහමේ මූලාශ්‍රය, නොඑසේනම් ඉස්ලාම් හි ඉගෙන්වීමන් අන්තර්ගත මුස්ලීම් සමාජයේ ශුද්ධ වූ ලියවිල්ල අල්කුර්ආනය බව සමස්ථ ලෝකයම හොදින් අවබෝධ කොට සිටී. නමුත් ඒ තරමට මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය හෙවත් ‘හදීසය’ පිලිබදව වත්මන් ලෝකයට අවබෝධයක් නොමැති බව දකින්නට ලැබේ. මේ විෂය  පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයට ද ඇත්තේ අවම වූ දැනුමක් බව ඔවුන්ගේ සමහරක් ක්‍රියාකලාපයන් දෙස බලනවිට පැහැදිලි වේ. මේ හේතුව නිසාම ‘හදීස්’ හෙවත් මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයට ඉස්ලාම් දහම තුල හිමිවන තැන පිලිබදව මෙහිදී කෙටියෙන් විමසා බලන්නට අදහස් කරමි.

දෙවියන් හමුවේ සිට මුහම්මද් (සල්) තුමාණණ්ට පහල වූ ශුද්ධ වූ කුර්ආන් පාඨයන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ  හා පැහැදිලි කිරීමේ වගකීම පැවරෙන්නේ නබිවරුන් හෙවත් දේව වක්තෘවරුන්ටයි. ඒ අනුව අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ට පහල වූ දේව පණිවුඩයන් සමස්ථ සමාජයට පැහැදිලි කිරීමේ වගකීම එතුමාණණ්ට පැවරේ. මෙම වගකීම ශුද්ධ වූ කුර්ආනය මෙසේ අවධාරණය කරයි.

“අප මෙම කුර්ආනය නබිවරයාට පහල කලේ එය ඔහු පැහැදිලි කිරීම පිණීසයි.”

ශුද්ධ වූ කුර්ආනය 12-6

ඉහත වාක්‍යය තුලින් පැහැදිලි වන්නේ ශුද්ධ වූ කුර්ආන් පාඨයන්ට විග්‍රාහයන් ලබාදීමේ වගකීම නබිවරුන්ට පැවරෙන බවයි. ඒ අනුව මුහම්මද් (සල්) තුමාණන්ට පහල වූ ශුද්ධ වූ කුර්ආන් පාඨයන් එතුමාණන් විසින් මුස්ලීම් සමාජයට පැහැදිලි කලයුතුව ඇත. එම පැහැදිලි කිරීම ද ආකාර කිහිපයකට සිදුවේ. එනම්,

  • වාචිකව පැහැදිලි කිරීම, (උදා – ශුද්ධ වූ කුර්ආනයේ ‘සකාත්’ නම් බද්ද ගෙවන ලෙස පවසයි. නමුත් ගෙවිය යුතු ප්‍රමාණයන් පිලිබදව එහි දීර්ඝ විග්‍රාහයන් නැත. එය ගෙවියයුතු ආකාරය දීර්ඝ ලෙස පැහැදිලි කරන්නේ නබිතුමාණන්ය)
  • ක්‍රියාවෙන් පැහැදිලි කිරීම, (උදා – නැමදුම් කරන ලෙස ශුද්ධ වූ කුර්ආනය පවසන විට එය කරන ආකාරය ක්‍රියාවෙන් පෙන්වීම)
  • යම්ක්‍රියාවක් හෝ සිද්ධියක් අනුමත කිරීම, (උදා – කිසියම් කෙනෙකු විසින් කරන ලද ක්‍රියාවක් ‘එය නිවරුදි’ යනුවෙන් අනුමත කිරීම)

ඉහත ආකාර 03න් කරනු ලබන පැහැදිලි කිරීමන් ඉස්ලාම් දහම තුල ‘හදීස්’ යනුවෙන් හදුන්වයි. ඉස්ලාම් දහම තුල එහි කිසියම් ඉගෙන්වීමක් අවබෝධ කරගැනීමේ දී ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීම මෙන්ම මෙම හදීසයන් ද අත්‍යඅවශ්‍ය සාධකයන් යන්න ඔබට දැන් පැහැදිලි වියයුතුය. එපමණක් නොවේ මුහම්මද් (සල්) තුමාණන් දහමේ ඉගෙන්වීමන් සම්බන්ධයෙන් කරනු ලබන ඉහත ආකාරයේ විග්‍රහයන් හි අවශ්‍යතාවය හා එහි වලංගුභාවය පිලිබදව ප්‍රබල සහතික දෙකක් මුස්ලීම් සමාජයට ශුද්ධ වූ කුර්ආනය ලබාදෙයි. එනම්,

“මෙම නබිවරයා ස්වමත කිසිවක් ප්‍රකාශ නොකරයි. ඔහු පවසන සියල්ල ‘වහී’ (දේව මඟපෙන්වීම් ම) වේ.

ශුද්ධ වූ කුර්ආනය 53-3, 4

“මෙම නබිවරයා හමුවේ නුඹලාට අලංකාර ආදර්ශයන් ඇත්තේම ය”

ශුද්ධ වූ කුර්ආනය 33-21

ඉහත වාක්‍යයන් දෙක තරමක් ගැඹුරින් විමසා බලන්න. මේ මුහම්මද් (සල්) තුමාණන් ස්වමත කිසිවක් ප්‍රකාශ නොකරන බවත්, ඔහු පවසන සියල්ල දෙවියන් හමුවේ සිට පහල වන බවත් පැවසීමෙ තුල ඔහුගේ මෙහෙවර පූර්ණ වශයෙන් දේව මඟපෙන්වීම හා මෙහෙයවීම මත පදනම් වී ඇති බව පැහැදිලි වේ. එපමණක් නොව දෙවියන් විසින් පහල කරන ලද දේව වදනට විග්‍රහයන් ලබාදීමේ වගකීම මුහම්මද් (සල්) තුමාණණ් හට ලබාදී ඔහු හමුවේ අලංකාර ආදර්ශයන් ඇති බව පැවසීම තුල එතුමාණන්ගේ ආදර්ශය හෙවත් ‘හදීසය’ ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීම මෙන්ම ඉස්ලාම් හි ප්‍රධාන සාධකයක් යන්නත්, මේ දෙකෙහි එකතුවයි ඉස්ලාම් යන්නත් පැහැදිලි වේ.

මේ විෂය පිලිබදව තවදුරටත් ඉගෙනගන්න – ” හදීස් හෙවත් දිව්‍යමය වදන්

 

ඉබුනු සහීර්

 

Ibnu Saheer

Ibnu Saheer - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles