බෝරා සහ මුස්ලීම්

0

කොළඹ නගරයේ හා ඒ අවට ප්‍රදේශවල උණූසුම් මාතෘකාවක් බවට ‘බෝරා මුස්ලීම්’ යන්න අද පත්ව ඇත. ඒ ඊයේ (එනම් 2019/09/01) දින සිට දින දහයක් පුරාවට බම්බලපිටිය ප්‍රදේශයේ පැවැත්වෙන බෝරාවරුන්ගේ ජාත්‍යන්තර සමුළුවක් හේතුවෙනි. මෙම සමුළුව සදහා ලොවපුරා වෙනෙස බෝරාවරුන්ගෙන් 21000 ක් පමණ සහභාගි වන බව සදහන් වේ. මේ නිසා කොළඹ අවට විශේෂයෙන් බම්බලපිටිය ප්‍රදේශයේ අධික ජන තදබදයක් හා බෝරා මුස්ලීම්වරුන් බහුලව දකින්ට ලැබීම මෙම මාතෘකාව උණූසුම් වීමට හේතු වී ඇත. ඒ අනුව මෙම ‘බෝරාවරුන් යනු කවුරුන්ද?’ යන්න පිලිබදව යහමග තුලින් මෙතැන් සිට විමස බැලීමට අදහස් කරමි.

මුලින්ම කිවයුතු කාරණය වන්නේ ඉස්ලාමීය මූලික ඉගෙන්වීමන්ට හා විශ්වාසයන්ට අභියෝග කරන ශියාවරුන්ගෙන් මෙම බෝරාවරුන් පැවත එනවා යන්නයි. ශියාවරුන් පිලිපදින දහම ඉස්ලාම් නොවන බවත්, එමනිසා ඔවුන් මුස්ලීම් ලෙස පිලිගත නොහැකි බවත්, මෙම අඩවිය තුල දීර්ඝ ලෙස පැහැදිලි කොට ඇත. (එම ලිපිය ‘ශියාවරුන් මුස්ලීම්ද?‘ යන ලිපිය තුලින් කියවීමට පුළුවන.) එම ශීයා නිකාය ප්‍රධාන කොටස් 03 කට බෙදෙන අතර එයින් එක නිකායක් වන ‘ඉස්මායිල්’ නිකාය තවත් කොටස් 06 කට බෙදේ. එයින් එක නිකායක් වන ‘තයියබි’ නිකායෙන් බෝරා නිකායන් ගණනාවක් නිර්මාණය වේ. එවැනි ‘බෝරා’ නිකායන් කිහිපයක් සදහන් කරන්නේ නම්,

  • දාවූද් බෝරා
  • ජෆාන් බෝරා
  • සුලෙයිමානි බෝරා
  • අලෙවි බෝරා
  • හැබිටස් බෝරා
  • අත්බාල් මලක් බෝරා…


ඒ අනුව ශීයා නිකායෙන් පැවත එන උප නිකායන් අතුරින් ‘බෝරා’ නිකාය ද එකක් යන්න පැහැදිලිය. ඉහත ‘බෝරා’ නිකායන් අතුරින් ජනප්‍රිය එසේම වැඩි පිරිසක් අනුගමනය කරන නිකාය වන්නේ ‘දාවූද් බෝරා’ නිකායයි. සමහරක් පිරිසගේ විශ්වාසය අනුව ඉහතින් සදහන් සියළු බෝරා නිකායන් ‘දාවූද් බෝරා’ නිකායේ අනුබෙදීම් බවද පැවසේ. එය කෙසේ වෙතත් අද අප රටේ ජාත්‍යන්තර සමුළුව පවත්වන්නේ ද මේ දාවූද් බෝරාවරුන්ය. ඔවුන් පිලිබදව දැන් විමසා බලමු.
ලොව ධනවත්ම ජන ප්‍රජාවන් අතර මොවුන් එනම්, දාවුඩි බෝරා නම් ඉස්ලාම් නමින් බිහිවූ නිකායවාදීන් ද සුවිශේෂි තැනක් දිනාගෙන සිටී. වෙළඳාම බෝරාවරුන්ගේ ප්‍රධාන ආර්ථිකමය ශක්තිය වන අතර එහි ඔවුන් කැපීපෙනෙන දක්ෂතාවයන් පෙන්වයි. ඔවුන්, ලොව අනිකුත් ප්‍රජාවන්ගේ සංස්කෘතීන්ගෙන් වෙන් වූ ඔවුනට ආවේනික සංස්කෘතියක් අනුගමනය කරයි. එසේම මෙම ප්‍රජාව 100% ම වාගේ අධ්‍යාපනයට මුල්තැන දෙන උගත් ප්‍රජාවකි. ඔවුන් අතුරින් 60% කට වඩා උපාධිධාරීන් සිටින බව සදහන් වේ.


ජනගහනය
ලොව පුරා සිටින දාවුඩි බෝරාවරුන් සංඛ්‍යාව මිලියන 01 ක් පමණ වන බව සදහන් වේ. ඒ අතුරින් ලක්ෂ 9 ක් පමණ ඉන්දියාවේ වෙසෙති. ශ්‍රී ලංකාවේ ද 3000 ක් පමණ බෝරා මුස්ලීම්වරුන් වෙසෙන බව සදහන් වේ.


ආරම්භය
1017 දී බෝරා නිකාය ආරම්භ වේ. සියවස් 04 ක් මුළුල්ලේ බෝරාවරුන්ගේ නිජබිම වූයේ යෙමනයයි. ඔවුන්ගෙන් කොටසක් මීට වසර 700 කට පෙර ඉන්දියාවේ මුම්බායි වෙත පැමිණි බවත්, එතැන් පටන් මෙම නිකාය එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය… වැනි රටවල්වලට ද ඉන්දියාවේ සිට ව්‍යාප්ත වූ බවත් ඉතිහාසයේ සදහන් වේ.


මූලස්ථාන හා දේවස්ථාන
බෝරා ප්‍රජාවගේ ජාත්‍යන්තර මූලස්ථානය ඉන්දියාවේ මුම්බායි හි පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ දේවස්ථාන කිහිපයක්ම තිබෙන අතර ඔවුන්ගේ මේ රට ප්‍රථම දේවස්ථානය තිබෙන්නේ ගාල්ල නගර මධ්‍යයේය. ඔවුන්ගේ මෙරට ප්‍රධාන දේවස්ථානය බම්බලපිටියේ දුම්රිය පොළ ඉදිරිපිට පිහිටා ඇත. බෝරා ප්‍රජාවගෙන් බහුතරයක් ජීවත් වන්නේ ඉන්දියාවේ ගුජරාටයේ වන අතර ශ්‍රී ලංකාවේ කොළඹ අවට ජීවත් වෙති.

ගාල්ල නගරයේ පිහිටි දේවස්ථානය


භාෂාව
ඔවුන්ගේ ප්‍රධාන භාෂාව ගුජරාටි වේ. මීට අමතරව අරාබි සහ ඉංග්‍රීසි යන භාෂාව ද ඔවුන් සරලව භාවිතා කරයි.


සුවිශේෂි ලක්ෂණ
• ඔවුන් ඔවුන් අතර සාමූහිකව හා සහයෝගයෙන් ජීවත්වීම ඔවුන්ගේ විශේෂත්වයයි.
• එසේම ඔවුන් සදහා වෙනම අරමුදලක් ගොඩනඟාගෙන ඔවුන් අතර පොලී රහිත ණය ක්‍රමයක් ඉතා සාර්ථක අන්දමින ක්‍රියාත්මක කරමින් ඔවුන් අතර ආර්ථිකමය ශක්තිය වර්ධනය කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
• මුස්ලිම්වරුන් අතර තිබෙන බොහෝ නිකායන් තුල කාන්තාවන්ට පල්ලියට නැමදුම සදහා පැමිණීමට අවසර නොදුන්නත්, මෙම බෝරාවරුන් කාන්තාවන්ට පල්ලියට ඇතුළුවීමට අවසර ලබාදී ඇත. පිරිමින් හා එකම වේලාවක, එකම පල්ලියක, නමුත් වෙන් වෙන්ව නැමදුම් ඉටු කිරීමට අවසර ලබාදී ඇත.
• ඔවුන්ගේ ඇදුම් විලාසය අනිකුත් ප්‍රජාවන්ගෙන් කැපීපෙනෙන්නකි. නැමදුම සඳහා පිරිමින් පිරිසිදු සුදු කුර්ටා, පිජාමා සහ ඉහළ කබාය වැනි ඇඳුම සහ තොප්පිය පැළඳිය යුතුය. වැඩිවියට පත් කාන්තාවන් ‘රිදා’ නම් බුර්කාවක් පැළඳිය යුතුය.

බෝරා ඇදුම

• මුස්ලීම්වරුන්ට අනිවාර්‍ය වූ සzකාත් බද්ධ මොවුන්ද ගෙවන අතර එය ඔවුන්ගේ ප්‍රධාන කාර්‍යාලය වෙත යවා එතැනින් ලොවපුරා වෙසෙන සzකාත් ලැබීමට සුදුසු බෝරාවරුන්ට බෙදාහැරීම සිදුකරයි.


අවසාන වශයෙන්…
‘බෝරා නම් ධනවතුන්’, ‘ධනවත් මුස්ලීම් නම් ඒ බෝරා’ යන්න අතීතයේ පටන් ම මුස්ලීම් සමාජයේ පවා දැඩි විශ්වාසය හා පිලිගැනීමයි. ඔවුන් රටේ සුළුතරයක් වූවත්, ඒ තරම්ට ප්‍රබලය. ලොවපුරා සිටින විශාල පිරිසක් එකම තැනකට එයත් රටේ අගනගරයේ රැස්කොට දින 10 ක ජාත්‍යන්තර සමුළුවක් පවත්වමින් තමන්ගේ ආර්ථික ශක්තිය පමණක් නොව මෙරට ප්‍රභූවරුන්ගේ ආශිර්වාදය ද නොඅඩුව ලැබෙන ප්‍රධාන සංවිධානයක් යන්න ශ්‍රී ලාංකීය සමාජයට ඔප්පු කොට ඇත.
ඔවුන් ඉහත සදහන් ආකාරයට සමාජයේ කොතරම් ප්‍රබල ප්‍රජාවක් වූවත් ආගමික වශයෙන් ඔවුන් සිටින්නේ අනිකුත් ඉස්ලාම් ආගමික නිකාය (කල්ලි)වාදීන් මෙන්ම මඩගොහොරක බව පැහැදිලිව සටහන් කරමින් මේ ලිපිය අවසන් කරමි.

ඉබුනු සහීර්

ලිපි ‍ටැග්: ,
Ibnu Saheer

Ibnu Saheer - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles