IS භීතිය හා ප්‍රීතිය – විමසුම 1

4

IS ISISඅද මුස්ලීම් ලෝකය තුල මෙන්ම මුස්ලීම් නොවන සමාජය තුල උණුසුම් එසේම භීතිය උපදවන මාතෘකාවක් බවට IS (Islamic State) නොඑසේ නම්, ISIS (Islamic State in Iraq and Syria) යන්න පත්ව ඇත. මේ මාතෘකාව යටතේ ‘යහමඟ’ බොහෝ දිනක සිට ලිපියක් ඉදිරිපත් කිරීමට අදහස් කර සිටියත් හේතූන් ගණනාවක් නිසා එවැනි ලිපියක් පාඨක ඔබට මෙතෙක් ඉදිරිපත් කිරීමට හැකිවූයේ නැත. (එම හේතූන් මෙහි පහතින් සාකච්චා කෙරේ) එම සංවිධානය සම්බන්ධ සාධාර්ණ, සමබර එසේම බුද්ධිමත් කරුණු ඉදිරිපත් කිරීමක් කරන්න අදහස් කලත් එහි සැබෑ තත්වයන් දැනගැනීමට ඇති නොහැකියාව තුල එවැනි ලිපියක් ඉදිරිපත් කිරීම දිනෙන් දින ප්‍රමාද විය. පැහැදිලි සාක්ෂි නොමැතිවීම තුල ‘යහමඟ’ මේ විෂය පිලිබදව කථා කිරීමට ඉක්මන් නොවී සිදුවන්නේ කුමක්ද? යන්න විමසුම් ඇසින් හා අවදියෙන් බලා සිටියත්, ක්ෂේත්‍රයේ නිපුනයන් පවා අභිබවා ගොස් ලියන, කියන අප රටේ සමහරක් ඔස්තාර්ලාගේ ක්‍රියා කලාපයන් දැක මේ විෂය පිලිබදව ‘යහමඟ’ අඩවිය තම වත්මන් ස්ථාවරය මෙන්ම මේ මතභේදයට තුඩු දී ඇති අයි.එස්.අයි.එස්. (ISIS) නොහොත් (දැන්) අයි.එස්. (IS) සංවිධානය සම්බන්ධයෙන් මා පැහැදිලිව දන්නා කරුණු කිහිපයක් ඔබේ බුද්ධිමත් විමසුමට හා දැනුමට ගෙන එන්නට අදහස් කලෙමි. එනම්,

IS සංවිධානයේ ධජය,

මේ අනු මාතෘකාව දකින බොහෝ දෙනෙකුට මේකත් මාතෘකාවක්ද?. කථා කරන්න අවශ්‍ය දෑ බොහෝ තිබියදී මේ පිලිබදව කථා කිරීම අවශ්‍යද? යනුවෙන් පැනයක් මතු වන්නට ද පුළුවන. නමුත් මෙම සංවිධානයේ නිළ වශයෙන් ඉදිරිපත් කොට ඇති ධජය සමස්ථ මුස්ලීම් ලෝකයට ම හේතු දෙකක් නිසා වැදගත් වන බව මේ ලිපිය ඉදිරියට කියවීමේ දී ඔබට අවබෝධ වනු ඇත. එනම්,

  • එහි සටහන් වී ඇති පාඨය නිසා,
  • එහි වර්ණය නිසා,

මුලින්ම එහි සදහන් පාඨය පිලිබදව අවදානය යොමු කලේනම්, එහි ඉදිරිපත් කොට ඇති පාඨය වන්නේ ‘ලාඉලාහ් ඉල්ලල්ලාහ් මුහම්මදු රසූල්ලිල්ලාහ්’ යන්නයි. එය ප්‍රධාන කොටස් දෙකක එකතුවත් ලෙස එහි ඉදිරිපත් කෙරේ (රූපය බලන්න). එනම්,

  • ඉහලින් – ‘ලාඉලාහ් ඉල්ලල්ලාහ්’
  • පහලින් – ‘මුහම්මද් රසුල් ලිල්ලාහ්’

මෙහි ඉහත පාඨයන් දෙකෙහි එකතුව එනම්, ‘ලාඉලාහ් ඉල්ලල්ලාහ් මුහම්මදු රසූල්ලිල්ලාහ්’ යන්න ‘කලිමාව’ යනුවෙන් අප හදුන්වන්නෙමු. මෙහි සරල අරුථ වන්නේ ‘අල්ලාහ් හැර වෙන දෙවියෙක් නැත. මුහම්මද් ඔහුගේ වක්තෘවරයාය’ යන්නයි. සෑම මුස්ලීම් වරයෙකුම අනිවාර්‍යයෙන් පිලිපැදිය යුතු මූලික ප්‍රතිපත්ති 05 අතුරින් පලමු ප්‍රතිපත්තිය වන්නේ ඉහත ‘කලිමාව’ විශ්වාසයෙන් යුතුව පිලිගැනීමයි. කෙනෙකු ඉස්ලාම් දහම වැලද ගැනීමේ දී ද ඔහු ප්‍රථමයෙන් ප්‍රකාශ කොට පිලිගත යුත්තේ ද ඉහත පාඨයයි. එම පාඨය තම සංවිධානයේ නිළ ධජය තුල සටහන් කොට තිබීම මුස්ලීම් සමාජයට නොවැදගත් කාරණයක් නොවන බව නම් දැන් ඔබට පැහැදිලි වියයුතුය. ඔවුන් ඉස්ලාමීය රාමුව තුල කටයුතු කරන සංවිධානයක් නම්, එහි ප්‍රබල ගැටළු ඇති නොවූවත්, ඔවුන් ඉස්ලාමීය රාමුවෙන් පිටත කටයුතු කරන සංවිධානයක් බවට වර්ථමානයේ හෝ අනාගතයේ පත්වූයේ නම්, එහි ප්‍රබල ගැටළු රාශියක් මතුවේ. එපමණක් නොව මෙතැනදී මුස්ලීම් සමාජයේ විශේෂ අවදානයට සදහන් කලයුතු තවත් කාරණයක් ද ඇත. එනම්, මෙවැනි පාඨයක් තම ධජය තුල අන්තර්ගත කොට තිබීම එම සංවිධානය ඉස්ලාමීය දෘෂ්ඨි කෝණයෙන් කිසිසේත් ‘හරි’ යන්න හෝ ‘වැරදි’ යන්න තීන්දු කරන සාධකයක් නම් නොවන බවයි (එය පහතින් විස්තර කෙරේ). එම කාරණය ඔබේ බුද්ධිමත් විමසුමට මෙහි තබමින් තවදුරටත් ඉහත පාඨයේ ඉතා වැදගත් කොටසක් වෙත ඔබේ අවදානය යොමු කිරීමට කැමැත්තෙමි.

ඒ එම ධජයෙහි පහතින් සුදු පසුබිමක කළු අකුරින් සදහන් ‘මුහම්මද් රසුල් ලිල්ලාහ්’ යන කොටස වෙතයි. එයත් මුස්ලීම් සමාජයේ විශේෂ අවදානය දිනාගත යුතු ඉතා වැදගත් කොටසකි. එනම් එහි දැක්වෙන්නේ මුහම්මද් (සල්) තුමාණන් ජීවමානව සිටී වකවානුවෙහි. එතුමාණන්ට සාක්ෂරතා ඥානය නොතිබූ නිසා එතුමාණන් තමන්ව තහවුරු කිරීම සදහා නම ලියනවා වෙනුව‍ට යොදාගත් මූද්‍රාවයි. එය මෙහි ඉදිරිපත් කොට ඇති එතුමාණන් විසින් එක්තරා අවස්ථාවක යවන ලද ලිපියෙහි රූපරාමුව තුලින් ද ඔබට මනාව පැහැදිලි වනු ඇත (මේ පිලිබදව ද මීට පෙර මෙම අඩවිය තුල දීර්ඝ ලෙස කරුණු සාකච්චා කොට ඇත). මෙය මුහම්මද් (සල්) තුමාණන් තම මුදුවෙහි කොටා තිබූ පාඨයක් බවත් ඔබේ දැනගැනීම පිණිස තවදුරටත් මෙහි සටහන් කරමි.

මේ අනුව මතභේදයට තුඩු දී ඇති IS සංවිධානය තම නිළ ධජය වශයෙන් ඉදිරිපත් කරන ධජයෙහි යොදා ඇති පාඨය මුස්ලීම් සමාජයට අවැදගත් හෝ නොසලකාහැරිය හැකි එකක් නම් නොවන බව දැන් ඔබට පැහැදිලි වියයුතුය. එසේම එවැනි උපක්‍රම තම ධජයට යොදාගත් පමණින් එම සංවිධානය ඉස්ලාම් අනුමත සංවිධානයක් යන්නට ද සාක්ෂියක් නොවනු බව ද වටහා ගතයුතුය. එය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් එම ධජය සම්බන්ධයෙන් ඉහතින් සදහන් දෙවන කාරණය වන එහි ‘වර්ණය’ වෙත අවදානය යොමු කරමි. එනම්,

ධජයෙහි වර්ණය

මෙම ධජය ඉහත සංවිධානය කළු පාටින් ඉදිරිපත් කරයි. මෙම වර්ණය ඉස්ලාම් දහමේ අගයන හෝ වර්ණනා කරන විශිෂ්ඨ ඝනයේ වර්ණයක් නම් නොවේ. මා මෙහි එසේ පැවසීමට ප්‍රධාන හේතුවක් ද ඇත. එනම්, අද අප රටේ බොහෝ කාන්තාවන් කළු වර්ණයෙන් ඇදුම් ඇදීමට පුරුදු වී සිටීම හා එය ඉස්ලාම් අවදාරණය කරන වර්ණයක් ලෙස සමහරක් පිරිස් වැරදියට වටහාගෙන සිටීමයි. එසේම මෙම ස්ථානයේ විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ද ඇත. එනම්, ඉහතින් සදහන් මතභේදයට තුඩු දී ඇති සංවිධානයේ ධජයේ වර්ණයෙන් ඇදුම් ඇදීමටත් එය මොස්තරයක් කරගන්න කටයුතු කිරීමටත් සමහරක් තරුණ පිරිස් උනන්දුවක් දක්වමින් සිටී. මෙය ඉතා බොළද ක්‍රියාවක් මිස අගය කලහැකි හෝ අනුමත කලහැකි බුද්ධිමත් ක්‍රියාවක් නම් නොවන බව මෙහි පැහැදිලිව සටහන් කලයුතුව ඇත. එම කාරණය ඔබේ විමසුමට තබමින් මෙම සංවිධානයේ ධජයේ වර්ණය කළුපාට වුයේ ඇයි ද? යන්න තවදුරටත් විමසා බලමු.

මෙම ධජයේ වර්ණය ‘කළු’ වීම ලොව තිබෙන බොහෝ වර්ණයන් අතර තවත් එක් වර්ණයක් මෙහි යොදා ඇත යනුවෙන් නොසලකා හැරි හැකි එකක් නොවේ. ඔවුන්ගේ එම වර්ණ තෝරා ගැනීම සිදුව ඇත්තේ එක්තරා (ඉස්ලාමීය ඉගෙන්වීමන් අන්තර්ගත මූලාශ්‍රයක් වන) හදීසයක් පදනම් කරගෙන යන්න මාගේ දැඩි විශ්වාසයයි. එම හදීසය මෙසේය…

වරක් නබිතුමාණන් මෙසේ පවසන ලදී. එනම්, ‘කුර්රාසාන් දෙසින් කලු කොඩි (ඔසවාගෙන) පැමිණෙනවා ඔබ දුටුවේ නම්, ඔබ බඩගා (කොතරම් දුෂ්කරතාවයන් මධ්‍යයේ) හෝ ඔවුන් වෙත ගොස් එක්වන්න!, මක්නිසාදයත්, අල්ලාහ් (දෙවි)ගේ (අවසාන) කලීෆා වන ඉමාම් මහ්දි සිටින්නේ ඔවුන් අතර ය.’

මූලාශ්‍ර ග්‍රන්ථය – හාකිම්, අහමද්

නැගෙනහිරින් කළු කොඩි මතු වුවහොත් ඔවුන් ඊලියා (බයිතුල් අක්සා) හි පැළ වන තුරු ඔවුන්ව කිසිවෙකුටත් වැළෙක්විය නොහැකිය.

මූලාශ්‍ර ග්‍රන්ථය – හදීස්

ඉහත හදීසයන් දෙකට අමතරව කළු කොඩි සම්බන්ධයෙන් මෙවැනි හදීස් බොහෝමයක් ඉස්ලාමීය මූලාශ්‍රයන් තුල දක්නට ඇත. ඒ අනුව ඉහත මතභේදයට තුඩු දී ඇති IS සංවිධානයේ ධජය කළු වූයේ ඇයිද? යන ගැටළුවට ඔබටත් පිලිතුරක් ලැබී ඇතැයි සිතමි. කෙසේ වෙතත් ඉහත හදීසය හා එවැනි අනිකුත් හදීසයන් සම්බන්ධයෙන් ද කිවයුතු මූලික කාරණයක් ඇත. එනම්, එම හදීසයන් සියල්ල පිලිගත නොහැකි ‘ලයිෆ්‘ නම් තලයේ තිබෙනවා දුර්වල හදීසයන් යන්නයි. ඒ අනුව ‘ලයිෆ්’ හදීස් පදනම් කරගෙන ධජයක් නිර්මාණය කොට ‘අප ඉස්ලාමීය කිලාෆා මේ පොළොව මත ස්ථාපනය කරනවා’ යයි පැවසීම ශුද්ධ වූ කුර්ආනය හා වලංගු හදීසයන් අනුගමනය කරන මුස්ලීම්වරයෙකුට පිලිගත නොහැක.

වාදයකට ඔවුන් ඉදිරිපත් කරන හදීසය වලංගු තත්වයේ පැවතුනත් එයින් මෙම සංවිධානය ඉස්ලාම් අනාවැකි පවසන එම සංවිධානය බව ස්ථීරව පැවසිය නොහැක. මා එයට සරල නිදසුනක් මෙහි පවසන්නම්, නබිතුමාණන් එක්තරා අවස්ථාවක පැවසූවා මේ සමාජය කොටස් වශයෙන් බෙදී භේද වී ගිය විට ‘ජමාතුල් මුස්ලීමීන් සමඟ ඔබ අත්වැල් බැදගන්න. එදින ඔවුන් පමණයි සත්‍ය මාර්ගයේ සිටින්නේ’ යනුවෙන් (වැඩි විස්තර කියවන්න). මේ හදීසය පදනම් කරගෙන පකිස්ථානයේ එක්තරා පිරිසක් ‘ජමාතුල් මුස්ලිමීන් නම් සංවිධානයක් ස්ථාපනය කොට ‘නබිතුමාණන් අනාවැකි පැවසූ එම සංවිධානය අපයි !, අප සමඟ එකතුවූයේ නම් ඔවුන් මුස්ලීම් එසේ නොවේ නම් ඔවුන් මුස්ලීම් නොවේ.’ යනුවෙන් තර්ක කරන ලදී. එම සංවිධානය ලොවපුරා ව්‍යාප්ත වූ අතර අදටත් අප රටේ ද ඔවුන් ක්‍රියාත්මක වේ. මේ ආකාරයට නබිතුමාණන් කළු කොඩියක් පිලිබදව පැවසූ අනාවැකිය පදනම් කරගෙන තම සංවිධානයේ ධජය කළු වර්ණයෙන් ඉදිරිපත් කොට ‘අපි තමයි ඒ පිරිස’ යයි පැවසීම කියූ පමණින් පිලිගතයුතු කාරණයක් හෝ අඟ, මුල, මැද විමසා නො‍බලා ප්‍රතික්ෂේප කලයුතු කාරණයක් නොවන බව පැහැදිලිව වටහා ගතයුතුව ඇත.

එසේම මේ සංවිධානයේ ක්‍රියා කලාපයන් සදහා ඉක්මන් තීන්දු තීරණ ලබාදීමට ද අප ඉක්මන් නොවිය යුතුව ඇත. හැඟීමන්ට වහල් ව හෝ ආවේගකාරී ලෙස තීන්දු තීරණ ගැනීම ද ඉස්ලාම් අනුමත ක්‍රමවේදයක් නොවේ. සියල්ල බුද්ධිමත්ව විමසා බලා ක්‍රියා කිරීමයි ඉස්ලාම් දහමේ ආදර්ශය වන්නේ. එම කාරණය ඔබේ බුද්ධිමත් විමසුමට තබමින් මේ ලිපියෙහි පලමු කොටස මෙයින් අවසන් කරමි.

මේ ලිපියෙහි මීලඟ කොටස් වන්නේ…

 

අබූ අර්ශද්

 

අබූ අර්ෂද්

අබූ අර්ෂද් - ලිපි සියල්ල පෙන්වන්න

Similar articles



ප්‍රතිචාර ගනන 4 යි.

  1. usama piqdhal 2014-09-23 at 07:32

    abu arshad me article 1k madyasthay 1k.allah knows best and truth

අදහස් , යෝජනා හා විවේචන මෙහි පහතින් සටහන් කරන්න

විශේෂ අවදානයට - ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න. *