හදීස් කලාවේ යෝධයින් – ඉමාම් මුහම්මද් ලියාවුර් රහ්මාන් අසමි තුමා.

සියළු ලිපි හදීස් කලාව

අල් ජාමිඋල් කාමිල් ෆීල් හදීසිස් සහීහිෂ් ෂාමිල් හදීස් ග්‍රන්ථ සහ එහි සම්පාදක අල්-මුහද්දිස් ඉමාම් මුහම්මද් ලියාවුර් රහ්මාන් අසමි තුමා.

ඉස්ලාම් දහමේ මූලාශ්‍රය කුමක් දැයි ඔබ මුස්ලිම් පුද්ගලයෙකුගෙන් ඇසුවහොත් අනිවාර්යෙන්ම ලැබෙන පිළිතුර දේව හෙළිදරව්ව වූ වහී යන්නයි. වහී යනු කුමක් දැයි ඇසුවහොත් පාරිශුද්ධ වූ අල්- කුර්ආනය හා පාරිශුද්ධ වූ අල් – හදීස් යනුවෙන් ඔහු පිළිතුරු දෙනු ඇත.

වහී නම් දේව හෙළිදරව්වේ එක් අංගයක් වන පාරිශුද්ධ වූ  අල්කුර්ආනය මුස්ලිම් හා මුස්ලිම් නොවන්නන් හොඳින්ම දන්නා ග්‍රන්ථයක්  වන අතර සෑම මුස්ලිම් නිවසකින්ම පහසුවෙන්ම දැකිය හැකි ලොව බොහෝ භාෂාවලට පරිවර්ථනය කරන ලද ග්‍රන්ථයක් ද වේ. නමුත් වහී හි දෙවන අංගය වන පාරිශුද්ධ වූ අල් හදීස් යනු කුමක් දැයි මුස්ලිම් කෙනෙකුගෙන් විමසුවහොත් ලැබෙන පිළිතුර පාරිශුද්ධ වූ  අල්හදීස් යනු අපගේ දේව වක්තෘතුමාණන් වන මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන් ක්‍රියා හා අනුමත කිරීම් යන්න වේ. දෙවන ප්‍රශණය ලෙස  පාරිශුද්ධ වූ අල්ක-කුර්ආනය මෙන් පාරිශුද්ධ වූ අල්- හදීසය ද  පෙන්වන්න යැයි ඔහුගෙන් ඇසුවහොත් ඔහු යම් අපහසුතාවයකට පත්වන්නේ පාරිශුද්ධ වූ අල්- හදීස් පාරිශුද්ධ වූ අල්-කුර්ආනය මෙන් එකම එක් ග්‍රන්ථයකින් පහසුවෙන් පෙන්විය හැකි පරිදි හෝ ලබාගත හැකි පරිදි නො පැවතීම  නිසාය.

කුතුබුස් සිත්තා යන නමින් හඳුන්වනු ලබන අල් බුහාරී, මුස්ලිම්, අබූදාවූද්, තිර්මිදී, නසාඊ, ඉබ්නු මාජා, යන හදීස්  ග්‍රන්ථ හය මුස්ලිම් සමාජය හොඳින් දන්නා හදීස් ග්‍රන්ථ වුවද හදීස් ග්‍රන්ථ සියල්ල ගනන් කළ විට හිජිරි 01 වන සියවස සිට හිජිරි 05 වන සියවස දක්වා වූ ශතවර්ෂ පහක කාලයක් තුල ලියන ලද සියලු ග්‍රන්ථ (ග්‍රන්ථ 170 ක ප්‍රමාණයක්) වල සඳහන් වන පාරිශුද්ධ නබි වදන් හදීස්  වන අතර මේ කාලය තුල ඇතැමුන් විවිධ හේතුන් මත නබිතුමාණන්ගේ නමින් බොරුද ගෙතූ නිසා ගොතන ලද (ලයීෆ් හා මෞලූ) හදීස් වලින් නිවැරදි සාක්ෂි සහිත සම්මත නබිවදන් (සහීහ් හදීස්) වෙන්කර හඳනා ගැනීමේ කලාවක් ද (උසූලුල් හදීස්) හදීස් කලාව නමින් මෙම කාලයේ ජීවත් වූ සැදැහැවත් විත්වතුන් විසින් හඳුන්වා දෙන ලදී. මේ කලාවට අනුව  ඕනෑම හදීසයක්  එය නබි (සල්)තුමාණන් විසින් පවසන ලද නිවැරදි සම්මත (සහීහ්) හදීසයක් ද නො එසේනම් එතුමාණන්ගේ නමින් ගොතන ලදද්දක් ද යන්න කිසිඳු සැකයකින් තොරව ඉතා නිවැරදිව තහවුර කර ගත හැකිය. එසේ නිරාවද්‍යතාවය තහවුර කරන ලද, නබි තුමාණන්ගේ වදන් යන්නෙහි කිසිඳු සැකයක් නැති සම්මත නබි වදන් සහීහ් හදීස් යැයි ඉස්ලාමීය ව්‍යවහාරයේ පවනනු ලැබේ. මෙසේ අල් – හදීස් වර්ග කර නිවැරදි සහීහ් හදීස් වෙන්කර හඳුනාගැනීමේ කළාව හැදෑරීමට බොහෝ විශ්ව විද්‍යලවල වෙනම පීඨ ද ඇති අතර මෙය දර්ශණ ශූරී (PhD) උපාධිය දක්වා ඉගෙන ගත හැකි කළාව කි. (අප දන්නා තරමට මෙම අංශයෙන් ආචාර්ය (දර්ශන ශූරී – PhD)  උපාධි ලැබූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ද සිටීම අපගේ සතුටට කරුණකි.)   (මෙම හදීස් වර්ගීකරණය කිරීමේ කලාව ගැන මූලීක අවබෝධයක් ලබාගැනීමට මෙම යහමග අඩවිය තුලින් සිංහල බසින් දීර්ඝ විස්තර සහිත ලිපි මාලාවක් ලබාගත හැකිය).

මෙසේ මෙම සියවස් පහක කාලය තුල එකරාශිකරන ලද ග්‍රන්ථ 170 හිම සඳහන් සියලු නබි වදන් අධ්‍යනය කර එයින් නිවැරදි වූ  සම්මත සහීහ් හදීස් පමණක් තනි ග්‍රන්ථයක් ලෙස ලබාගත හැකි නම් මෙම ලිපිය ආරම්භයේ දී මම සඳහන් කළ “හදීස් ග්‍රන්ථ පෙන්වන්න“ යන ප්‍රශ්ණයට පැකැලීමකින් තොරව උත්තර දිය හැකි අතර, මුස්ලිම් වරුන් වන අපට ද අපි පණටත් වඩා ආදරය කරන ඒකීය අල්ලාහ් ගේ  දහම ඉතා නිවැරදිව නබි (සල්) තුමාණන් දේශණා කළ ඒ පාරිශුද්ධ ආකාරයෙන්ම පිළිපැදීමටද මනා පිටුවහලක් වනු ඇත. මෙම සත් කාර්ය සඳහා  හදීස් විෂය ගැන නිපුණතාවක් ඇති බොහෝ විද්වතුන් ඉතිහාසය පුරාවටම උත්සාහ දැරුවද එය සපල කර ගැනීමට ඔවුන්ට නොහැ විය. එයින් එක් උත්සාහයකි, අප විසින් මෙම යහමග අඩවියහි දැනට පරිවර්ථනය කරනු ලබන සිරියානු ජාතික සමකාලීන හදීස් විද්වතෙක් වූ අහමද් සාලිහ් ෂාමී (හෆිලහුල්ලාහ්) තුමා විසින් සම්පාදිත මආලිමුස් සුන්නා ග්‍රරන්ථ ය. නමුත් එම ග්‍රන්ථය ද සියලු හදීස් ග්‍රන්ථවල සංෂිප්ත ය නොව, ඉතා බහුලව ව්‍යවහාරයේ පවතින ඉතා ප්‍රකට හදීස් ග්‍රන්ථ 14ක් වන මුඅත්තා, මුස්නද් අහ්මද්, අල් බුහාරී, මුස්ලිම්, අබූදාවූද්, තිර්මිදී, නසාඊ, ඉබ්නු මාජා, දාරමී, සුනනුල් කුබ්රා බයිහක, ඉබ්නු හුසෛමා, ඉබ්නු හිබ්බාන්, අල් හාකිම් සහ අල් අහාදීසුල් මුහ්තාරාහ් යන ග්‍රන්ථ 14 හි සාරංශ යයි.

මෙම ලිපිය තුලින් අපි ඔබ අවධාරණයට ගෙන ඒමට උත්සාහ දරන්නේ ඉතා සැදැහැවත්‍, හදීස් කලාව ගැන ඉතා නිපුණ දැනුමක් හා අත්දැකීමක් ඇති, ඉහල සුසුසුකම් සපුරා ඇති, දීර්ඝ කාලයක් මදීනා විශව විද්‍යාලයේ හදීස් මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ  සමකාලීන හදීස් විද්වතෙක්  විසින් මෙම සියලු  සහීහ් හදීස් එක්රැස් කර තනි ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශුභාරංචි යි. එම අසමසම පාරිශුද්ධ හදීස්  ගන්ථය නමින් අල් ජාමිඋල් කාමිල් ෆීල් හදීසිස් සහීහිෂ් ෂාමිල් යන්නයි. මින් ඉදිරියට මෙම අසමසම හදීස් ග්‍රන්ථය ග්‍රන්ථාරූඩ වූ ආකාරයත් එය සම්පාදනය කළ කෘතහස්ත හදීස් විද්වතා ගැනත් විමසා බලමු.

අල් ජාමිඋල් කාමිල් ෆීල් හදීසිස් සහීහිෂ් ෂාමිල් ග්‍රන්ථාරූඩ වූ ආකාරය

අල් ජාමිඋල් කාමිල් යන කෙටි නමින් හදුන්වනු ලබන අල් ජාමිඋල් කාමිල් ෆීල් හදීසිස් සහීහිෂ් ෂාමිල් (لجامع الكامل في الحديث الصحيح الشامل) යන ග්‍රන්ථය මේ මිහිපිට ඇති පාරිශුද්ධ වූ අල් කුර්ආනයට පමණක් දෙවැනි වන එකම පාරිශුද්ධ ග්‍රන්ථය යැයි පැවසුවහොත් මා නිවැරදි යැයි මම සිතමි. එය එසේ වන්නේ නබි (සල්) තුමාණන්ගේ සියලු සම්මත සහීහ් හදීස් අන්තරගත කළ එකම ග්‍රන්ථය එය වූ නිසා ය. සියලු සහීහ් හදීස් අන්තර් ගත කරන ලද පරිපූර්ණ එකතුව යන්න අල් ජාමිඋල් කාමිල් ෆීල් හදීසිස් සහීහිෂ් ෂාමිල් යන්නෙහි අර්ථය යි.

මෙවැනි ග්‍රන්ථයක් අප අතට පත්කරන්නේ කෘතහස්ත සමකාලීන හදීස් විද්වතක් වූ අල් – මුහද්දිස් මහාචාර්ය මුහම්මද් ලියාඋර් රහ්මන් නමින් ප්‍රසිද්ධ අබූ අහ්මද් මුහම්මද් අබ්දුල්ලාහ් අල් අසමි (රහිමහුල්ලාහ්) තුමා ය. මෙය ඔහුගේ ස්වඋත්සාහයක් නොව අල්ලාහු තආලා ඔහු තුලින් අපට ලබාදී ඇති ආශිර්වාදයක් මෙන්ම එතුමා ලවා තම සත් දහමට ගත් අගනා මෙහෙය කි.

දීර්ඝකාලයක් මදීනා විශ්ව විද්‍යාලයේ හදීස් කලාව පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙසද, හදීස් පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කර, 2000 වර්ශයේදී එතුමා විශ්රාම ගැනීමත් සමග මෙම අසමසම ග්‍රන්ථය සම්පාදනය කිරීමේ කටයුත්ත ආරම්භ කර, 2015 වර්ෂය දක්වා අවුරුදු 15 වක අඛණ්ඩ කැපකිරීමකින් පසු මෙම කටයුත්ත සම්පූර්ණ කලේ ය.

මුලින්ම එතුමා හිජිරි පළමු ශතවර්ශයේ සිට පස්වන ශතවර්ශය දක්වා වූ කාලය තුල සම්පාදනය කරන ලද හදීස් මත්න් ග්‍රන්ථ, තෆ්සීර් ග්‍රන්ථ, ෆික්හ් ග්‍රන්ථ, සූහූද් ග්‍රන්ථ අස්කාර් ග්‍රන්ථ ආදී  සියලු ග්‍රන්ථවල  අන්තර් ගත වූ සියලු හදීස් එක්රැස් කළේ ය.  මෙම කාල පරාසට අයත් ග්‍රන්ථ ගණනින් 170ක් විය.  එහි අන්තර් ගත වූ හදීස් ගණන දස ලක්ෂය ඉක්ම විය. ඉන්පසු නැවත නැවත ග්‍රන්ථ කිහිපයක සඳහන් වන එකම හදීසය මෙන්ම එකම ග්‍රන්ථයේ විවිධ ස්ථානයන්හි සඳහන් වන එකම හදීසය ද ඉවත් කළේ ය.

එනම් මෙය බුහාරි ග්‍රන්ථය උදාහරණයට ගැන මෙසේ වටහා ගත හැකි ය.  සහීහුල් බුහාරි ග්‍රන්ථය ගෙන එහි හදීස් ගනන එකතු කළහොත් අපට ලැබෙන උත්තරය 7397 යි. නමුත් බුහාරි ග්‍රන්ථයට සැබවින්ම අන්තර් ගතව ඇත්තේ හදීස් 2602 ක් පමණි. එකම හදීසය විවිධ මාතෘකා යටතේ කිහිප වරක්ම ඉමාම් බුහාරි තුමා සඳහන් කිරීම හේතුවන් එය 7397 වී ඇති.

මේ ආකාරයට නැවත නැවත සඳහන් වන හදීස් ඉවත් කළ විට හදීස් ගණන අසූ දහසක් පමණ විය. එයින් සහීස් වූ හදීස් පමණක් තොරා වෙන් කළ විට හදීස් ගණන 16800 කි.  මෙහිදී අපට කිව හැක්කේ දැනට කර ඇති හොඳම ගවේෂණයට අනුව නබි (සල්) තුමාණන්ගේ සියලු පිළිගත යුතු පාරිශුද්ධ සහීහ් හදීස් වල එකතුව 16800 ක් බවයි. මෙම හදීස් 16800  එතුමා බුහාරි මුස්ලිම් ග්‍රන්ථ මෙන් ෆික්හ් මාතෘකාවන් යටතේ පෙළ ගැසූ අතර  එක හදීසයක් එක් වරක් පමණක් සඳහන් කිරීමට ද වග බලාගත්තේ ය.

මෙහි පළමු මුදුණය දාරුස් සලාම් ප්‍රකාශකයින් විසින් වෙලුම 12 ක  ග්‍රන්ථයක් ලෙස 2015 දී  ප්‍රකාශයට පත් කර ඇත. එතුමා නැවත්ත මෙම ග්‍රන්ථය පුණරීක්ෂනයකට භාජනය කර වෙලුම 18ක  ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත් කළේ ය. දෙවන වර ප්‍රකාශයට පත් කළ සංශෝධිත මුදූණයේ දී හදීස් ගණනෙහි  (16800) හෝ වර්ගීකරනයෙහි කිසිඳු වෙනසක් සිදු නොවූ අතර, විවිධ මාතෘකා යටතේ පෙළ ගැසීමෙහි යම් යම් සංශෝධන සිදුකර වෙලුම් 18 ක ග්‍රන්ථයක් ලෙස සම්පාදය කර ඇත.

මෙම ග්‍රන්ථයට එතුමා  පිළිගත නොහැකි නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළ බවට සාක්ෂි නොමැති ලයීෆ් (බලහීන) හදීස් 3000 ක් ඇතුලත් කර ඇති අතර, ඒවා ලයීෆ් වන්නේ කෙසේද යන්නත් පැහැදිලව සඳහන් කර ඇත. මෙම ලයීෆ් හදීස් 3000 මුස්ලිම් සමාජයේ බොහෝ දෙනෙක් හොඳින් දන්නා, පිළිපදින ප්‍රසිද්ධ හදීස් බවත්, එයින් ඔවුන් මුදාගෙන ඔවුන් පිළිපදින මෙම කරුණු පදනම් විරහිත නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළ බවට කිසිඳු සාක්ෂියක් නොමැති ඒවා බවත් මුස්ලිම් සමාජය දැනුවත් කිරීම පිණිස එසේ සඳහන් කර ඇත.

මින් ඉදිරියට මෙම පාරිශුද්ධ ග්‍රන්ථයේ කීර්තිමත් සම්පාදකවරයා වන මහාචාර්ය මුහම්මද් ලියාඋර් රහ්මාන් නමින් ප්‍රසිද්ධ අල් මුහද්දිස් ඉමාම් අබූ අහ්මද් මුහම්මද් අබ්දුල්ලාහ් අල් අසමි (රහිමහුල්ලාහ්) තුමාගේ ජීවිතය ගැනත්  හදීස් විශාරදවරයෙක් වෙනතෙක් එතුමා ආ ගමන ගැනත් මෙතෙන් සිට විමසා බලමු.

උපත හා ජීවිතයේ මුල් අවධිය

1943 අවුරුද්දේ දී ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්  හි ඇසම්ගාත් නම් නගරයේ බිලර්යාගාන්ජ් නම් ගමේ හින්දු ආගම දැඩ භක්තියෙන් යුතුව පිළිපදින බ්‍රාහ්මණ පවුලක මෙතුමා උපත ලැබීය. උපතින් හින්දු භක්තියෙකු වූ එතුමාට දෙමාපියන් විසින් තබන ලද නම බෙන්කෙ ලාල් ය.

පහොළස් වන වියේ පසු වූ බෙන්කෙ ලාල් ගේ අතට සත්‍ය දහම නමින් පොත් පිංචක් අසු විය. එය කියවන්නට පටන්ගත් විට එහි සඳහන් වූ “නියත වශයෙන්ම අල්ලාහ් වෙත (පිළිගත් එකම) ධර්මය ඉස්ලාමය ය යන පාරිශුද්ධ වූ අල් කුර්ආන් වැකිය මොහු තුල කුතුහලයක් ඇති කළේ ය. මොහු සිතන්ට පටන්ගත්තේ ය.  එකම සත්‍ය දහම ඉස්ලාම් පමනක් ද? මෙය සත්‍ය විය හැක්කේ කෙසේ ද? එවකට බගවත් ගීතාවේ හා ක්‍රිෂ්නාගේ ප්‍රකාශන වල මොහු කියවා තිබුනේ “ඔබ කුමන මාර්ගය පිළියැද ද ඔබ දෙවියන් වහන්සේ වෙත ලඟා වනු ඇත. ඔබ කේසේ (දෙවියන් වන) මාව නැමදුම් කළ ද, ඔබ අවසානයේ මා වෙත ලඟා වන්නේ ය “  ලෙස යි. එවකට ඔහුගේ මතය වූයේ සියලු ආගම් ස්වභාවයෙන් වෙනස් වුවද, එකම අවසානයකට මග කියන, දෙවියන් වහන්සේ සමග මිනිසාව සමීපකරන සමාන්තර මාර්ගයන් බවයි. මෙවැනි මතයක් දරන බෙන්කෙ ලාල්ට දෙවිඳුන් පිළිගන්නා එකම ආගම ඉස්ලාම් යන ප්‍රකාශය දරාගත නොහැකි විය.

මෙම කුතුහලය නිරාකරය කරගැනීමට ඔහුට අවශය විය. මොහු හින්දු පූජකවරුන් මෙන්ම ජේෂ්ඪ හින්දු පඩිවරන්ව ද බැහැ දැක මේ ගැන සාකච්චා කලේ ය. ඔවුන්ගෙන් මොහු ඉල්ලා සිටියේ හින්දු ධර්මය නිවැරදි නම් ඉස්ලාම් දහම වැරදි බව ඔප්පු කිරීමට තමන් හට සහය වන ලෙසයි.  එසේම ඔහු මෙම ආගම් දෙක සංසන්දනය කරමින් තුලනාත්මක ගවේෂණයක ද නිරත වීමට පටන් ගත්තේ ය. ඔහු දන්නා හඳුනන මුස්ලිම් අය සමග ද මේ මාතෘකව ගැන සාකච්චා කළේ ය. අල් කුර්ආනයේ පරිවර්ථනය ද කියවීමට පටන් ගත්තේ ය. ඔහු අවසානට ආ නිගමනය වූයේ හින්දු ආගම මිත්‍ය පුරාවෘත පමනක් බවත් එකම සත්‍ය  දහම ඉස්ලාම් බවත් ය. ඒ අනුව තම 16 වන වියේ දී මොහු හින්දු දහම අතහැර ඉස්ලාම් දහම තම ජීවන මාර්ගය ලෙස තෝරා ගත්තේ ය.

මොහුගේ ජන්ම භූමිය වූ උත්තර ප්‍රදේශ් හී ඇසම්ගාත් නගරය නිතර හින්දු මුස්ලිම් කෝලහල ඇතිවෙන ජාතිවාදී නොසන්සුන්කාරී පරිසරයක් විය. එසේම එහි හින්දු භක්තිකයෙක් ඉස්ලාම් දහම වැළඳගැනීම ද ඉතා දුර්ලභ සිද්ධියක් විය.  මෙසේ ඉස්ලාම් දහම වැළඳගැනීම මොහුගේ ජීවිතයට ද තර්ජනයක් විය. එම නිසා මොහු තම උපන් ගම අතහැර උත්තර ප්‍රදේශ් හීම විවිධ ගම් වල සැරිසරමින් අවුරුදු එක හමාරක කාලයක් ගත කළේ ය. මෙසේ සිටීමද එතරම්ම ආරක්ෂාකාරී නොවන බව හැඟී ගිය නිසා මොහු උපන් ප්‍රදේශයම අතහැර දුර ගමනක් යෑමයට තීරණය කලේ ය. තම උපන් නගරය වන ඇසැම්ගාත් නගරයේ සිට කිලෝ මීටර් 2000 කටත් වඩා ඈතින් පිහිට දකුණු ඉන්දියාවේ තමිල් නාඩුවට පිටත්ව ගියේ ය.

අධ්‍යාපනය

අල් කුර්ආනය එහි මවුබස වූ අරාබියෙන්ම තේරුම් ගැනීමේ ආශවක් මොහුට තිබූ නිසා තමිල් නාඩුවට පැමිණි පසු, එහි පිහිටා තිබෙන ජාමියා දාරුස්සලාම් අරාබි විදුහට ඇතුලත් වී අරාබි භාෂාව හා අනිකුත් ඉස්ලාමීය විෂයන් පිළිබඳ මූලික අධ්‍යාපනය මෙම විදුහලෙන් ලබාගත්තේ ය.

ජාමියා දාරුස්සලාම් අරාබි විද්‍යාලයේ අවුරුදු 4 – 5 කාළයක් අධ්‍යාපනය හදාරා අරාබි භාෂාව හොඳින් ප්‍රගුණ කරගැනීමෙන් පසු, 1966 වසරේ දී මුහම්මද් (සල්) තුමාණන්ගේ නගර වන සෞදි අරාබියේ මදීනා නගරයේ පිහිටා ඇති ඉස්ලාමීය විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදෑරීමේ වරම මෙතුමාට හිමිවිය. කිසිඳු කළකෝලහලක් නොමැති ඉතා සාමකාමී පරිසරයක් වූ මදීනා නගරයේ බියක් සැකයකින් තොරව නිරුපද්‍රිතව ජීවත් වීමේ අවස්ථාව ද මෙමගින් හිමි විය.

1971 දී මෙතුමා මදීනා ඉස්ලාමීය විශ්ව විද්‍යාලයෙන් ඉස්ලාමීය නීතිවේදය පිළිබඳ ශාස්ත්‍රෙව්දී උපාධි (B.A in Islamic Law) තම ප්‍රථම  උපාධිය ලෙස ලබා ගත්තේ ය.

ශ්‍රාස්ත්‍රෙව්දී උපාධියෙන් පසු ශ්‍රාස්තපති (Master Degree) උපාධිය සඳහා මුහම්මද් (සල්) තුමාණන්ගේ ජන්ම භූමිය වූ මක්කා නගරයේ පිහිටා ඇති උමුමල් කුරා (එවකට අබ්දුල් අසීස් රජු) විශ්ව විද්‍යාලයට අයඳුම් කර, ඒ සඳහා තොරාගනු ලැබිණි. උසූලුල් හදීස් නම් හදීස් කළාව ශ්‍රාස්ත්‍රපති උපාධියේ විෂය ලෙස එතුමා තෝරා ග්තේ ය.

එම කාලවකවානුවේ ඇතැමුන් අබූ හරෛරා (රළි) තුමාට ඉදිරිපත් කළ විවෙචනයක් වූයේ අවුරදු තුනක තරම් කෙටිකාලයක් නබි (සල්) තුමාණන්ව ආශ්‍රය කළ අබූ හුරෛරා 5370 තරම් අධික ප්‍රමාණයේ හදීස් වල දැනුම් දෙන්නා වූයේ කෙසේ ද යන්න යි. මෙතුමා තම ශ්‍රාස්ත්‍රපති උපාධිය සඳහා ඉදිරිපත් කළ ශ්‍රාස්තීය නිබන්ධනයට මෙම අබූහුරෛරා (රළි) තුමාගේ විවේචනයට පිළිතුරු සැපයීම මාතෘකාව කරගත්තේ ය.

මෙතුමා මුලින්ම සියලු හදීස් ග්‍රන්ථවලින් අබූ හරෛරා (රළි) තුමා දැනුම්දෙන හදීස් සියල්ල එක්රැස් කලේ ය. මෙසේ අබූහුරෛරා (රළි) තුමා දැනුම් දෙන සියලු හදීස් එක්රැස් කර, ගවේෂණය කිරීමේ දී එතුමාට පෙනීගිය කරුණක් වූයේ එකම හදීසය බොහෝ දැනුම් දෙන්නන්ගේ මාර්ගයෙන් විවිධ ග්‍රන්ථ වල 5370 වාරයක් සඳහන් වුවත්, මතන් (නම් කරුණ) වලට අනුව එය 2000ත් නො ඉක්ම වන බවයි.  අබූ හුරෛරා (රළි) තුමා නබි (සල්) තුමාණන්ව ආශ්‍රය කළ කාලය දින වලින් ආසාන්න වශයෙන් දින 1000 කි. ඒ අනුව එතුමා දන්වා ඇත්තේ දවසකට හදිස් දෙකක් පමණි. අනික් අය මෙන් නොව කිසිඳු රස්සාවක් හෝ පවුලක් නොමැතිව පැය 24ම නබි (සල්) තුමාණන් සමග සිටින පුද්ගලයෙක් දවසකට හදීස් 02 දැනුම් දීමෙහි ඇති ප්‍රශ්ණය කුමක් දැයි බොහෝම තාර්කිකව හා ශ්‍රාස්ත්‍රීය කරුණ පදනම් කර ගනිමින් දීර්ඝ විස්තර සහිතව තම නිබන්ධනය මෙතුමා සකස් කලේ ය. මෙම නිබන්ධනය මෙම චෝදනාවට පිළිතුරු සපයන හොඳම නිබන්ධනය ලෙස මෙය කිය වූ බොහෝ දෙනෙක් සඳහන් කර ඇත. මෙම නිබන්ධනය පසුව පොතක් ලෙස ද ප්‍රකාශයට පත් කරන ලදී.

මෙතුමා  උම්මුල් කුරා විශ්ව විද්‍යාලයෙන් තම ශ්‍රාස්ත්‍රපති (MA Degree) උපාධිය සාරථකව හදාරා නිමකිරීමත් සමගම මක්කා නගරයේ පිහිටි ලෝක මුස්ලිම් ලීගය (The Muslim World League) නම් ඉස්ලාමීය ආයතනයේ සේවයට බැඳුනේ ය. ටික කළක් සේවය කිරීමෙන් අනතුරුව එම සංවිධානයේ මුල්‍යාධරයෙන් ලොව සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක් වන ඊජිප්තුවේ කයිරෝ නගරයේ පිහිටා ඇති අල්- අස්හර් විශ්ව විද්‍යාලයට හදීස් කලාව පිළිබඳ දර්ශන ශූරී උපාධිය (PhD) හැදෑරීමට ගියේ ය.  අල් – අස්හර් විශව විද්‍යාලයෙන් හදීස් කලාව පිළිබඳ ආචාර්ය උපාධිය (PhD) සාර්ථකව නිමකිරීමත් සමග, මදීනා විශ්ව විද්‍යාලයේ හදීස් කලාව පිළිබඳ කථිකාචාර්ය වරයෙක් ලෙස පත්කරනු ලැබිණි.

ඉස්ලාම් ධර්මයට කළ දායකත්වය

මදීනා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙකු ලෙස පත්වීම ලබා සේවය කරමින් පසුව හදීස් පිළිබඳ මහාචාර්ය වරයෙක් ලෙස උසස් වීම ලබා, අවසානසේ දී මදීනා විශ්ව විද්‍යාලයේ හදීස් පීඨයේම පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කර 2000 වසරේ දී විශ්රාම ගිය මෙතුමා, නබි (සල්) තුමාණන්ගේ හදිස් ගැන උනන්දුවක් දකවන, ඒ පිළිබඳ උසස් අධ්‍යාපනය හැදෑරූ මෙන්ම, ඒ පිළිබඳ ශාස්ත්‍රෙව්දී උපාධි (B.A), ශ්‍රාස්ත්‍රපති (MA) උපාධි, දර්ශනපති (MPhil) උපාධි මෙන්ම දර්ශන ශූරී (PhD)උපාධි හැදෑරිමට ලොව නන් දෙසින් පැමිනි ශිෂ්‍යයින් දහස් ගනනකට හදීස්  ඉගෙන් වූ ගුරුවරයා ය. මෙසේ මෙතුමාගෙන් උගත් බොහෝ අය සුප්‍රසිද්ධ හදීස් විශාරදයින් මෙන්ම දායී වරුන් වෙති. මෙයද මෙතුමා හදීස් අංශයට දැක් වූ විශිෂ්ථ දායකත්වය කි.

මීට අමතරව, මෙතුමා නබි (සල්) තුමාණන්ගේ මස්ජිදය වන මස්ජිදුන් නබවි හි හදීස් ගුරුවරයා ලෙස ද කළක් කටයුතු කර ඇත.

අප මෙම ලිපිය ලිවීමට හේතු වූ මෙතුමාගේ අල් ජාමිඋල් කාමිල් ෆීල් හදීසිස් සහීහිෂ් ෂාමිල් නම් පාරිශුද්ධ ග්‍රන්ථය ඉස්ලාම් දහමේ උන්නතිය සදහා දැක්වූ ඉහලම දායකත්වය යි. මෙය සම කළ හැක්කේ හිජිරි දෙවන තුන්වන හා සතර වන ශතවර්ශ වල ජීවත් වූ සැදැහැවත් ඉමාම් වරුන්ගේ සේවයට යි.

එසේම මෙතුමා තවත් විශිෂ්ථ ග්‍රන්ථ කිහිපයක්ම සම්පාදනය කරමින් ඉතාමත් විශ්ෂ්ථ දායකත්වයක් ඉස්ලාමය වෙනුවෙන් කර ඇත. එම පොත් විශ්ව විද්‍යාලවල ශවේෂණ මට්ටමින් උගන්වන ඉහල ශ්‍රාස්ත්‍රීය කෘති වේ.

මෙතුමා සම්පාදනය කළ ඉහත අප සඳහන් කළ  අල් ජාමිඋල් කාමිල් ෆීල් හදීසිස් සහීහිෂ් ෂාමිල් හදීස් ග්‍රන්ථයට අමතර පහත සඳහන් ග්‍රන්ථ ද ප්‍රසිද් ග්‍රන්ථ වන අතර, එවාද මෙතුමා විසින් ඉස්ලාම් ධර්මය වෙනුවෙන් කළ මහගු දායාදයන් වේ.

دراسات في اليهودية والمسيحية وأديان الهند

  • යුදෙව් ක්‍රිස්තියානී හා ඉන්දීය ආගම් ගැන අධ්‍යනයක්

فصول في أديان الهند الهندوسية والبوذية والجينية والسيخية وعلاقة التصوف بها

  • ඉන්දීය ආගම් වන හින්දු ආගම, බුද්ධාගම, ජෛනාගම හා සීක් ආගමට, සූෆිවාදය සමග ඇති සම්බන්ධය පිළිබද විග්‍රහ

دراسات في الديانات الهندية

  • ඉන්දීය ආගම් ගැන අධ්‍යනයක්

تحية المسجد

  • තහීයතුල් මුස්ජිද් සලාතය

صلاة التراويح

  • තරාවීහ් සලාතය

صلاة المسافر

  • මගී සලාතය

دراسات في السنة النبوية

  • නබි (සල්) තුමාණන්ගේ සුන්නාව පිළිබඳ අධ්‍යනයක්

  صلاة الجماعة

  • සමූහ සලාතය (ජමාත් සලාතය)

دراسات في الجرح والتعديل

  • අල් ජර්හ් වත් ත:දීල් ගැන අධ්‍යනයක්

المدخل إلى السنن الكبرى

  • (ඉමාම් බයිහකී ගේ) සුනනුල් කුබ්රාවට ආරම්භයක්

المنّة الكبرى شرح وتخريج السنن الصغرى

  •  මින්නතුල් කුබ්රා – (ඉමාම් බයිහකී ගේ) සුනනුස් සුහ්රාවට විග්‍රහය සහ තහ්රීජය

معجم مصطلحات الحديث ولطائف الأسانيد

  •    හදීස් පද මාලාව හා දැනුම් දෙනන්නන්ගේ දම්වැල පිළිබඳ විශ්ව කෝෂය

الرازي وتفسيره

  • ‍(ඉමාම්) රාසී සහ ඔහුගේ තෆ්සීරය

مرويات أبوهريره

  • අබූ හරෛරාගේ රිවායාත් (හදීස් දැනුම් දීම්) (ශාස්ත්‍රපති  (M.A) උපාධිය සඳහා ඉදිරිපත් කරන ලද ශ්‍රාස්ත්‍රීය නිබන්ධනය)

أقضية رسول الله صلى الله عليه

  • රසූල් සලල්ල්ලාහු අලෛහ වසල්ලම්ගේ තීන්දු තීරණ (දර්ශණ ශූරී (PhD)උපාධිය සඳහා ඉදිරිපත් කරන ලද ශ්‍රාස්ත්‍රීය නිබන්ධනය)

ثلاثة مجالس من أمالي ابن مردويه

  • ඉබ්නු මර්දවීයාගේ අමාලී  (පොත) ට මජ්ලිස් තුනක්

فتح الغفور في وضع الأيدي على الصدور

  • ලය මත අත් තබා පාපක්ෂමාව විවර කිරීම

بحوث متنوعة في الفقه السنة

  • ෆික්හුස් සුන්නාව ගැන විවිධ ගවේෂණ

التمسك بالسنة العقائد والأحكام

  • අකීදා (ප්‍රතිපත්තිමය) කරුණුවලත් අහ්කාම් (නීතිරීකි) කරුණුවලත් සුන්නාව තරයේ අල්ලා ගැනීම.

ඉහත අප සඳහන් කර ඇති ග්‍රන්ථ 19 ද සුවිශේෂි හදීස් ග්‍රන්ථය වූ අල් ජාමිඋල් කාමිල් ෆීල් හදීසිස් සහීහිෂ් ෂාමිල් ග්‍රන්ථයද  මෙතුමා අරාබි භාෂාවෙන් සම්පාදනය කළ ග්‍රන්ථ වේ.  එසේම තම මවුබස වූ හින්දි භාෂාවෙන් අල්- කුර්ආනයේ සියලු වචන වලට අර්ථ සපයන අල් -කුර්ආන් විශ්වකෝෂයක් ද මෙතුමා සම්පාදනය කර ඇති අතර එය බෝහෝ භාෂා වලට පරිවර්ථනය කර තිබීම ද විශේෂත්වයකි. මෙතුමාගේ තවත් අගනා ග්‍රන්ථයකි හින්දි භාෂාවෙන් ලියන ලද “කුර්ආනයේ කැඳවීම“ නම් ග්‍රන්ථය.  එසේම ඉතා අගතිගාමී ග්‍රාමයක හින්දු පවුලක උපත ලබා තමන් හදීස් විශාරදවරයෙකු වන තෙක් ආ ගමනේ දී මුහුණ දීමට සිදු වූ දුක් කම්කොටලු ගැන එතුමා විසින්ම  “ගංගා (නම් ගංඟාවේ) සිට සම්සම් දක්වා“  යන මැයෙන්ලියන ලද ස්වයං ජීවන චරිතාපදාන පොතත් සමග අගනා වටිනා අමිල පොත් 23ක් මෙතුමා සම්පාදන කර තම පන්හිදේ දායකත්වය මා කලින් ද සඳහන් කලාක් මෙන් හිජිරි දෙවන හා තුන් වන ශතවරශයේ ආකාරයට සමස්ත ලෝවාසී මුස්ලිම් උම්මාව වෙනුවෙන් මෙහෙයවා ඇත.

මෙතුමාගේ ඇතැම් ග්‍රන්ථ අන්තර්ගත කරන ලද මක්තබතුෂ් ෂේක් මුහම්මද් ලියාවුර් රහ්මාන් අල්- අ:ලමී නමින් පරිඝණක මෘදුක ද ඇත. එය මෙම සබැඳියෙන් භාගත හැකි.(මෙහි අල්ජාමිඋල් කාමිල් පොත අන්තර්ගත වී නොමැත.)

ඉහත අප සඳහන් කර ඇති මෙතුමා විසින් සම්පාදිත පොත් ලයිස්තුව දැකීමේ දී තමන් ආචාර්ය උපාධිය ලබාගත් හදීස් කලාවට අමරව තෆ්සීර්, ෆික්හ් වැනි ඉස්ලාමෙයේ අනිකුත් විවිධ අංශ ගැන මෙතුමා පුලුල් දැනුමක් ලබා තිබීමද  එතුලින් ද ඉස්ලාමට අගනා සේවයක් කර තිබීම ද දැකිය හැකි ය. 

මෙතුමා හින්දු, බෞද්ධ, ජෛන, සීක් වැනි ඉන්දීය ආගම් ගැන ද, ක්‍රිස්තියානී යුදෙව් වැනි සෙමිටක් ආගම් ගැනද, හොඳ ගවේශණයක් කර ඇති අතර, සමයාන්තර අධ්‍යනය ගැන ද පුලුල් දැනුමක් සහිත පුද්ගලයෙකු බව  ඉහත අප සඳහන් කළ එතුමා විසන් ලියන ලද ඇතැම් ග්‍රන්ථ අධ්‍යනය කිරීමේ දී පෙනී යයි.

වේදිකා ගානේ ගොස් තමා ඉස්ලාමය වැළඳ ගත් ආකාරය ගැන කතා පවත්වමින් ජනාදරය හා ජනාකර්ශනය ලබාගැනීම පසෙකින් තබා තමා සත්‍ය යැයි අවබෝධකර ගත් සත්ධර්මය තමාගේ අවසන් හුස්මය දක්වා ඉගෙන ගැනීමටත් උගැනවීමටත් ලිවීමටත් ඉස්ලාමය වැළඳගත් මොහොතේ සිට මරණය දක්වා මුලු ජීවිත කාලයම කැප කරමින් සත්ධර්මයට කළ හැකි උපරිම සේවය කිරීම මුලු ලෝකවාසී මුස්ලිම් ජනයා හටම ආර්ශයකි.

මේ ලෝතලය මත තිබෙන්නා වූ එකම සත් දහම වූ ඉස්ලාම් දහම වෙනුවෙන් තමාට කළ හැකි උපරිම සේවය ඉතා නිහඩව හා ඉතා ගැඹුරින් කළ මහාචාර්ය අල් මුහද්දිස් ඉමාම් අබූ අහ්මද් මුහම්මද් අබ්දුල්ලාහ් ලියාවුර් රහ්මාන් (රහිමහුල්ලාහ්) තුමා 2020 ජුලී 30 වන දින ඉස්ලාමීය දින දර්ශකයට අනුව  1441 දුල් හජ් මස නව වන (මුස්ලිම්වරුන් වන අපගේ සුවිශේෂි දිනයක් වූ අරෆා දින) තම ජීවිතයේ දීර්ඝ කලක් ජීවත් වූ සෞදි අරාබියේ නබි (සල්) තුමාණන්ගේ නගරය වූ මදීනා මුනව්වරා නගරයේ දී තම 77 වන වියේ දී කලූරිය කළේ ය. ඉන්නා ලිල්ලාහි වන්නා ඉලෛහි රාජිඌන්! සහාභාවරුන් බොහෝ දෙනෙක් මෙන්ම ඉස්ලාමයේ ශ්‍රේෂ්ඨ සියවස් තුනෙහි ජීවත් වූ බොහෝ සැඳැහැවතුන්ව භූමිදානය කර ඇති ජන්නතුල් බකී සුසාන භූමියේ එතුමාගේ දේහය භූමිදානය කරනු ලැබීය.  සර්ව බලධාරී දෙවියනී! එතුමාණන්ගේ සියලු පාප ක්ෂමා කර, සියලු යහ ක්‍රීයාවලට පූර්ණ කුලිය දී අති උත්තරීතර ස්වරගය වන ජන්නතුල් ෆිර්දව්ස් ස්වරගයේ නබිවරුන් සමග, සිද්දීකීන්වරන් සමග, ෂුහදා වරුන් සමග, සාලිහීන්වරුන් සමග සිටීමේ භාග්‍ය එතුමාට ලබා දෙනු මැනව!

සමකාලීන ලෝකයේ  උපන්ගේ මුස්ලිම් නොවී, ඉස්ලාම් දහමේ සත්‍යතාවය පසුව අවබෝධකරගෙන එයම තම ජීවන සැලැස්ම කරගෙන උප්පැන්න සහතිකයක් සහ අරාබි නමක් හේතුවෙන් තමන් මුස්ලිම් යැයි සිතා සිටින පාරම්පරික නාමික උපන්ගේ මුස්ලිම් වරුන්ටත් වඩා එය හොඳින් පිළිපදිමින්, අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පණටත් වඩා ආදරය කරමින්, අල්කුර්ආනය හා අස් සුන්නාව අකුරටම අනුගමනය කරමින් ජීවත් වූ / ජීවත් වන අය අතුරින් පික්ටෝල්, බිලාල් ෆිලිප්ස්, මර්යම් ජමීලා, මොරිස් බුකේල්, යූසුෆ් ඉස්ලාම්, යූසුෆ් එස්ටස්, අබ්දුර්රහීම් ග්‍රීන්, හම්සා සෝටිස්, උම්මු මුහම්මද් ලෙස අප දන්නා අයගේ නම් ලයිස්තුවක්ම ඉදිරිපත් කළ හැකි ය. ඔවුන් සියලු දෙනා පාරම්පරික නාමික මුස්ලිම් වරුන් මෙන් නොවී, මෙම ධර්මයට තමන්ට කළ හැකි උපරිම සේවය කර තිබීම අපි කොහෙත්ම අවතක්සේරු නොකරමු.  නමුත් අල්මුහද්දිස් ඉමාම් මුහම්මද් ලියාවුර් රහ්මන් (රහිමහුල්ලාහ්) මෙන්  දැනුමේ ඉනිපෙත්ත තරණය කර, හදීස් ග්‍රන්ථ සම්පාදනය කරමින්  කියාමත් දිනය දක්වාම මුස්ලිම් ජනයාට ආශිර්වාදයක් වූ වෙන කිසිවෙකු අප නොදනිමු. මින් ඉදිරියේදීත් මෙවන් අය බිහි වේවා යැයි සර්වබලධාරියාගෙන් ප්‍රාර්ථනා කරමි.

අවසාන වශයෙන්, මෙතුමාගේ අති උත්තරීතර සේවය වන මෙම අල් ජාමිඋල් කාමිල් ෆීල් හදීසිස් සහීහිෂ් ෂාමිල් හදීස් ග්‍රන්ථය දැනටමත් ඉංග්‍රීසි හා හින්දි භාෂාවල පරිවර්ථනය වෙමින් පවතින බව අපට දැනගන්නට ලැබී ඇත. එය අපගේ රටවැසියන්ගේ බස වන සිංහලට හා දමිල බසට ද පරිවර්ථනය කරනු ලැබ, අප සියලු දෙනාට එය කියවා ජීවතය සුන්නාවට අනුව හැඩගස්වා ගැනීමේ භාග්‍ය හිමිවේවා යැයි සර්ව බලධාරී අල්ලාහ් ව ප්‍රාර්ථනා කරමින්, අපට අල්-කුර්ආනය මෙන්ම සුන්නාව ද තනි පොතක් ලෙස තිබේ යන සතුටින් ඉපිලී මෙම ලිපිය අවසන් කරමි.

ඉබ්නු ජමීල්

1 thought on “හදීස් කලාවේ යෝධයින් – ඉමාම් මුහම්මද් ලියාවුර් රහ්මාන් අසමි තුමා.

Leave a Reply