ඔබේ පරම ආයුෂ විනාඩි 90 ක් පමණි.

ඉස්ලාමීය විමසුම් බුද්ධිමත් විමසුමට සියළු ලිපි

ලොව බොහෝ දහමන් හා දර්ශනයන් මෙලොව ජීවිතය තාවකාලීක හා කෙටි කාලීන යන්න පිලිබදව දීර්ඝ ලෙස කරයි. ඉස්ලාම් දහම ද එය ඒ ආකාරයටම පිලිගනී. මේ අනුව ලොව සෑම දහමක් දර්ශනයක්ම තම අනුගාමිකයන් පරලොව විමුක්තිය සදහා මෙලොව ජීවිතය යහපත් අන්දමින් කළමනාකරණය කරගත යුතු යන්න එහි මුලික ඉගෙන්වීමයි. එම පරලොව ජයග්‍රහණය සදහා මෙලොව නිවැරදි ලෙස කළමනාකරණය කරගැනීමටයාමේදී එහි කාලයන් පිලිබදව නිවැරදි අවබෝධයක් තිබීම අත්‍යඅවශ්‍ය වේ. මෙම ලිපිය තුලින් විමසා බලන්නේ ඉස්ලාම් මේ පිලිබදව කුමක් පවසනවාද? යන්න පිලිබදවයි.

ඉස්ලාම් දහම මෙලොව ජීවිතය ‘දුන්යා’ යනුවෙන් ද, මරණින් මතු නැගිට්ටුවන ලොව එනම්, පරලොව ජීවිතය ‘ආහිරා’ යනුවෙන්ද හදුන්වයි. මෙම වචන දෙකෙහි ශබ්දකෝෂ විග්‍රහයන් වෙත අවදානය යොමු කලේනම්,

  • අරාබි බසින් ‘දුන්යා’ යනු – ලෝකය, මෙලොව, ආසන්න, පහත්, කුඩා, සමීප යන අරුථ ගෙනදේ,
  • අරාබි බසින් ‘ආහිරා’ යනු – මරණින් මතු නැඟිටුවන ලෝකය යන අරුථ ගෙනදේ,

ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව සෑම මනුෂ්‍යයෙකුටම මෙලොව හා පරලොව යන ජීවිත දෙකම හිමිය. මව් කුසකින් උපත ලබා ‘දුන්යා’හි කිසියම් කාලයක් ජීවිත් වී එම ජීවිත කාලය තුල කරන කුසල් අකුසල් අනුව මරණින් මතු නැගිටින පරලොව නොහොත් ‘ආහිරා’ හි ස්වර්ගයද? නිරයද? යන්න තීන්දු වී එහි සදාකල් වෙසෙනවා යන්න ඉස්ලාම් දහමේ මුලික ඉගෙන්වීමයි. මෙය ඉස්ලාම් දහමේ සේම ලොව බොහෝ දහමන් හා දර්ශනයන් හි පිලිගැනීමයි.

මරණින් මතු හිමිවන සදාතනික ජීවිතය යහපත් එකක් වීමට නම්, ‘දුන්යා’ හි ජීවත් වූ ආකාරය තීරණාත්මක සාදකයයි. මෙහි ජීවත් වු ආකාරය අනුවයි පරලොවේදී ස්වර්ගයද නිරයද යන්න තීන්දු වන්නේ. එවන් තීරණාත්මක ’දුන්යා’ හි ජීවිත කාලය පිලිබදව විමසා බැලීමකුයි මෙම ලිපිය තුලින් මෙතැන් සිට සිදු කරන්නේ.

වි‍ශේෂයෙන් මෙලොව එනම් ‘දුන්යා’ හි අප කොතරම් කලක් ජීවත් වෙනවාද?, නිමාවක් නැති ‘ආහිරා’ ව එනම්, පරලොව ජීවිතය සාර්ථක කරගැනීම සදහා අපට මේ ලැබී තිබෙන කාලය කොතරම් හොදින් පලදායි ආකාරයට කලමණාකරනය කරගෙන තිබෙනවාද?, යනාදීය මුස්ලීම්වරයෙකු නිතර නිතර විමසා බැලිය යුතුය. ‘දුන්යා’වෙහි සැපසම්පත් පසුපස හතිහලමින් දුව අපි අතුරින් බොහෝ පිරිස් ‘ආහිරා’ හි විමුක්තිය අමතක කොට ඇත්තෙමු. නමුත් ඉස්ලාම් මුස්ලීම්වරයෙකුගෙන් අපේක්ෂා කරන්නේ මෙවැනි තත්වයක් නොවේ. මේ ‘දුන්යා’ව මුහම්මද් (සල්) තුමාණන් දුටු ආකාරය මොහාතෙක් බුද්ධිමත්ව විමසා බලමු.

ඉබනු මස්වූද් (රලි) තුමා මෙසේ පවසයි…
අල්ලාහ්ගේ දූතයාණන් (වන මුහම්මද් (සල්) ) නබිතුමාණන් එක්තරා අවස්ථාවක ගසක් පාමුල පැදුරක නිදා සිටින ලදී. එම අවස්ථාවේ (තරමක රළු) පැදුරෙහි සලකුණු නබිතුමාණන්ගේ දේහයේ සටහන් වුනි. (එය දුටු) මා එම තැන් අතින් පිරිමදින ගමන්,
‘ඔබ තුමාට සුවපහසු ආකාරයට නිදාගැනීමට යමක් නිර්මාණය කරදීමට අපට අවසර නොදෙන්නේ මන්ද?’
යනුවෙන් විමසුවෙමි. එයට නබිතුමාණන්
‘මේ ලෝකයට මා කවුද?, මේ ලෝකය මට කුමකටද?’
යනුවෙන් පවසා තවදුරටත් මෙසේ පවසන ලදී.
‘මේ ලෝකය හා මා අතර ඇති බැඳීම (ගමන් විඩාවට) ගසක සෙවනක නතර වූ මඟියෙකු මෙනි. (ඔහු විඩාව නිවාගත් පසු) එම ස්ථානය අතහැර යන්නේය.’
යනුවෙන්පවසන ලදී.


මූලාශ්‍ර ග්‍රන්ථය – මුස්නද් අහමද්

ඉහත හදීසය බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, මනුෂ්‍යාගේ ජීවිත ගමන තුල මෙලොව ජීවිතය යනු ‘දීර්ඝ ගමනක නිරතව සිටින මඟියෙකු ගමන් විඩාව නිවාගැනීමට ගසක් පාමුල නතර වන සුළු කාලය තරම් කෙටි’ යන්න ඉස්ලාමයේ ඉගෙන්වීම යන්න පැහැදිලි වනු ඇත. මෙම කෙටිකාලීන ‘දුන්යා’ව නොහොත් මෙලොව ජීවිතය පිලිබදව තවත් අවස්ථාවක නබිතුමාණන් මෙසේ ද පවසන ලදී.

සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ ආයුකාලය අවුරුදු 60-70 ත් අතරය එය පසු කරන්නේ සුළු පිරිසක් පමණි.

මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි


ඉහත හදීස් දෙක බලන ඔබට මෙහි පරස්පරතාවක් තිබෙනවා නොවේද? යයි සැකයක් මතුවීමට පුළුවන. නමුත් මෙම හදීස් දෙකම සම්බන්ධ කරගෙන එහි ඉගෙන්වීම තේරුම් ගැනීමට උත්සාහ කලේනම්,
‘මනුෂ්‍යාගේ ජීවිත ගමන තුල ‘දුන්යා’ හි ජීවිත කාලය අවුරුදු 60-70 යන්න ‘ආහිර්’ හි කාලයට සාපේක්ෂව එම කාලය ගසක පාමුල විඩාවට නතර වීම තරම් ඉතාම ඉතා කෙටි කාලයක්’ යන්න අවබෝධ කරගැනීම අපහසු නොවේ.
මා එසේ පවසන්නේ උපකල්පනයන් මත හෝ පදනම් විරහිත තර්කයන් මත හිඳ නම් නොව, අල්කුර්ආනයේම ඉගෙන්වීමන් මත පදනම්වය. එනම්, අල්කුර්ආනයේ එක් ස්ථානයක ‘ආහිර්’ නොහොත් මරණින් මතු නැඟිටුවන ලෝකයේ දිනයක විශාලත්වය ‘දුන්යා’ නොහොත් මේ පෘථිවි දිනයට සාපේක්ෂව පැහැදිලිව විස්තර කරන වාක්‍යය පදනම් කරගෙනය. එම වාක්‍යය මෙසේය,

නුඹගේ දෙවි (අල්ලාහ්)ගේ සන්නිධානයේ දවසක්, නුඹලා ගණන් කරන අවුරුදු දහසක් බඳුය.

අල්කුර්ආනය 22-47

ඉහත වාක්‍යයට අනුව ‘දුන්යා’ හි එනම්, පෘථිවි අවුරුදු 1000ක් ‘ආහිර්’ හි එක් දිනයකට සමාන යන්න පැහැදිලි වේ. එම පදනමේ හිඳ සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ ‘දුන්යා’ හි ජීවිකාලය ‘ආහිර්’ ජීවිකාලයට සාපේක්ෂව ගණනය කිරීමක් කලේනම්,


(මෙහිදී ‘දුන්යා’ හි කාල මිනුම් ‘ආහිරා’ හි කාල මිනුමට උපකල්නය කලේනම්)

  • ආහිර් හි 01 දිනයක් = දුන්යා හි අවුරුදු 1000 කි,
  • ආහිර් හි 1/2 දින = දුන්යා හි අවුරුදු 500 කි,
  • ආහිර් හි පැය 01 ක් යනු = දුන්යා හි අවුරුදු 500/12 කි,
  • ආහිර් හි පැය 01 ක් යනු = දුන්යා හි අවුරුදු 41.7 කි,
  • ආහිර් හි පැය ½ක් යනු = දුන්යා හි අවුරුදු 20.8 කි,


මේ අනුව ඉහතින් සදහන් ‘තිර්මිදි’ හදීසයේ පැවසූ ආකාරයට සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ ‘දුන්යා’ හි ආයුකාලය අවුරුදු 60-70ත් අතර වන නිසා එම කාලයට සාපෙක්ෂව ‘ආහිර්’ හි කාලය ගණනය කලෙන්ම්,
එය,

  • ආහිර් හි විනාඩි 90 ක් යනු = දුන්යා හි අවුරුදු 62.5 ලෙස වේ.

එලෙස බලනවිට මනුෂ්‍යයෙකුගේ මෙලොව හි ආයුකාලය ‘ආහිර්’ හි ආයුකාලයට සාපේක්ෂව විනාඩි 90 ක් තරම් කෙටිම කෙටි එකක් යන්න පැහැදිලි වේ. මෙය පහත අල්කුර්ආන් වාක්‍යයන් මඟින් ද තවදුරටත් තහවුරු වේ. එනම්,

මෙලොව ජීවිතය අවසන් වී මරණින් මතු ‘ආහිර්’ හි නැගිටුවන ලද මනුෂ්‍යා සමඟ දෙවියන් කරන සංවාදයක් අල්කුර්ආනයේ පහත ආකාරයට විස්තර කරයි.
(මරණින් මතු නැඟිටුවන ජනයාගෙන්) නුඹලා අවුරුදු ගණනින් කොපමණ කාලයක් පොළොවෙහි වාසය කළේ දැයි ඔහු(අල්ලාහ්) විමසන්නේය.
(එයට ඔවුන්) අපි දවසක් හෝ දවසකින් කොටසක් වාසය කළෙමු. (දේවදූතයන් වන) ගණන් ගන්නන්ගෙන් අසනු මැනවයි ඔවූහු (නිවැරදිව) කියනු ඇත (යනුවෙන් පවසයි).
(එයට දෙවි) නුඹලා සුළු කලක් මිස එහි වාසය කළේ නැත. නුඹලා දන්නෙහුනම් යැයි ඔහු(අල්ලාහ්) කියන්නේය.
(තවද) අප නිකමට නුඹලා මැව්වේ යැයිද නියතවශයෙන් නුඹලා අප වෙත ආපසු පමුණුවනු නොලබන්නේ යැයිද නුඹලා සිතන්නෙහුද? (යනුවෙන් ද අල්ලාහ් (දෙවි) පවසයි)

අල්කුර්ආනය 23-112 සිට 115

එසේම අල්කුර්ආනයේ තවත් තැනක, මෙලොව ජීවත් වී මියගිය පිරිසක් පරලොවේදී එනම් ‘ආහිරා’ හි නැගිටු වූ විට සිතන ආකාරයක් ද විස්තර කරයි. එනම්,

එම (ආහිරා) දිනය දකින (මිනිසුන් වන) ඔවුන් ‘නියත වශයෙන්ම සවස් කාලයෙන් හෝ උදෑසන කාලයෙන් ඉතා කෙටි වේලාවක් මිස අප (පොළොවෙහි) රැදී නොසිටියෙමු යනුවෙන් සිතෙනු ඇත.


අල්කුර්ආනය 79-46


මෙම අල්කුර්ආන් වාක්‍යය තුලින්ද පැහැදිලි වන්නේ මෙලොව එනම්, ‘දුන්යා’ හි අපි ජීවත් වූ කාලය ඉතා සුළු වේලාවක් පමණක් ම බව ‘ආහිරා’ හිදී අප විසින්ම පිලිගන්නා බවයි. එසේනම් මෙහිදී මීලඟට මතුවන පැනය වන්නේ එම කෙටි කාලය කොතරම් පලදායි ආකාරයට වැය කරන්නේද? යන්නයි.
මෙලොව දිවිය නොහොත් ‘දුන්යා’ හි ජීවිත කාලය ඉස්ලාම් පවසන යහපත් ආකාරව භාවිතා නොකලේනම්, නියත වශයෙන්ම අපගේ ‘ආහිරා’ හි අප පරාජිතයන් වීම යන්නෙහි සැකයක් නැත. එලෙස පරාජිතයන් ව අප ‘ආහිරා’ හි කරන පසුතැවීම ද අල්ලහ් (දෙවි) අල්කුර්ආනයේ එක්තරා තැනක විස්තර කරයි.
එය මෙසේය…

එදින (එනම්, ‘දුන්යා’ හි කරන ලද කුසල් අකුසල් අනුව විනිශ්චය දෙන දිනයේ (අපරාධකරුවන් ඉදිරියට)) නිරය ගෙන එනු ලබන විට, මිනිසා (තමා (‘දුන්යා’ හි) කළ දෑ) අවබෝධ කරගනු ඇත. එම දිනයේ අවබෝධ කරගැනීමෙන් කවර ඵලක් ද?
‘අහෝ මාගේ දුර්භාග්‍යය, මෙම (‘ආහිර්’ වෙනුවෙන් ඒ ‘දුන්යා’) ජීවිතය මා ප්‍රයෝජනවත් අයුරින් වැයකොට කුසල් පෙරටු කරගත යුතුව තිබුණා නොවේද?’ යනුවෙන් මිනිසුන් එම මොහොතේ පසුතැවෙනු ඇත.

අල්කුර්ආනය 89 : 24/25

අද බොහෝ පිරිසක් මෙලොව ජීවිතය අවබෝධ කොට සිටින්නේ ‘ඉන්නා ටිකේ විනෝදයෙන් සතුටින් ජිවත් වී මිය යායුතුයි’ යනුවෙනි. නමුත් මෙම කෙටිම කෙටි දිවියේ යතාර්ථය බුද්ධිමත්ව විමසා බලන්නේ නම්, එය විනෝද වීම හෝ පුහු සෙල්ලම් සදහා නොවන බව පැහැදිලිව වටහා ගතහැකි වනු ඇත. මේ ‘දුන්යා’ ව යනු නිමාවක් නොවන ‘ආහිරා’ වේ විමුක්තිය පිණිස කුසල් රුස්කර ගතයුතු අවස්ථාවක් හා වරප්‍රසාදයකි. එය නිසි අයුරින් අවබෝධ කොට කළමනාකරණය කර නොගන්නේ නම්, අවසානයේ ඉතිරි වන්නේ ඉහතින් පවසන ආකාරයේ අවාසනාවන්ත පසුතැවීම පමණි.


එය අල්කුර්ආනයේ තවත් ස්ථානයක මෙසේ පවසයි.

තවද, මෙලොව ජීවිතය නිශ්පල පුහු සෙල්ලම හා විනෝදයත් මිස, වෙන නැත (යන්නත්),
තවද පරලොව (ස්වර්ගය නම්) නිවස නියත වශයෙන්ම ස්ථීර වාසස්ථානයක් වන්නේය (යන්නත්),
ඔවුන් දැන සිටියේ නම්, (වැරදි කරන්නට ඔවුන් ඉදිරිපත් නොවන්නාහ).

අල්කුර්ආනය 29-64

එසේනම්, මෙතෙක් සාකච්චා කල එම සත්‍යය හොදින් අවබෝධ කොටගෙන මේ කෙටිම කෙටි ‘දුන්යා’ව බුද්ධිමත් අයුරින් නිමාවක් නැති ‘ආහිරා’ව සදහා යහපත් හා පලදායි අයුරින් කළමනාකරණය කරගැනීමට සමස්ථ මිනිස් සමාජයට ම ශක්තිය හා ආශිර්වාදය හිමිවේවා! යනුවෙන් අල්ලාහ් (දෙවි)ගෙන් ප්‍රාර්ථනා කරමින් මේ සටහන අවසන් කරමි.

ඉබුනු සහීර්

Leave a Reply